Monday, August 13, 2018

ආදිවාසීන් හමුවට ගිය විනෝද සවාරිය..


          මාස තුනක් එක දිගට දුවල දුවල දුවල, ඔන්න ආපහු නිවාඩුවක් හම්බුනා. මේ පැහු වෙච්ච වාරේ නම් වැඩ ටිකක් විකාරයි වගේ. ටිකක් විතර 2008 දෙවෙනි වාරෙට සමානයි. ඒ වාරේ නම් ඉවර උනේ උන්හිටි තැන් අහිමි වෙලා. ඒ ගැන කලින් දැම්ම නේ.
          හරි. කොහොම හරි, මේ වාරේ ඉවර උනේ පහුගිය අගෝස්තු 3 වෙනිදා. අපේ ගුරු මණ්ඩලය කතා උනා මේ නිවාඩුවේ විනෝද සවාරියක් යමු කියල. මට උගන්නපු ගුරුවරුයි තව වැඩිමල් අයයි එක්ක විනෝද සවාරි යන්න ගිහිං මොන මොන හෙණ ගෙඩි පාත් වෙයිද කියල බයකුත් තිබ්බත්, කමක් නෑ කියල ඔන්න ඔහේ මගේ නමත් ලියල සහභාගීත්වය ස්ථිර කරා.
          යනවයි කියල තිබ්බේ මුහුද පැත්තේ උනාට, පස්සෙන් පහු ඒක ටිකක් උඩහට කැරකිලා අපේ ආදිවාසී ජනතාව ජීවත් වෙන මහියංගනේ පැත්තෙන් නතර උනා. කොහොමින් කොහොම හරි, කැම්පස් එකේ වැඩත් අයින් වෙලා, දවසත් ෆ්‍රී උනා. 

යන ගමන් ෆොටෝ..
          6 වෙනිදා උදේ පාන්දර, කාලා බීලා, උදේ බස් එකේ ආව ඉස්කෝලෙට. ඇවිත් ඔන්න ලේලන්ඩ් එකේ කොනකට වෙලා වාඩි උනා. බස් තුනක් ගියා උනාට, අපේ එක ද කොහෙද අන්තිමට බලද්දී එලම එක. 


මේක තමා වාහනේ..



කට්ටිය කනවා මම ෆොටෝ අල්ලනවා..


          යනින් ගමන් අපි ගියේ 18 වංගුව පාරේ. මගදී ඉතිං ගිටාර් ගහගෙන සිංදු කියාගෙන කට්ටිය ෆුල් ෆන් එකේ ගියා. හැබැයි අනේ බස් එකේ වේගේ නම් 1800 බර ගණන් වල බරකරත්තෙකින් ගිය ගමනක් සිහිපත් කරා කිව්වොත් එකේ වැරද්දක් නෑ. 18 වංගුව කිට්ටු කරලා ඉතිං කට්ටිය නැවැත්තුව උදේ ට කන්න. මට ඉතිං මොන උදේ කෑම ද.. ඒත් අපේ සර් කෙනෙක් එයාගේ උදේ ආහාර වේල මගෙත් එක්ක බෙදාගන්න තරම් කාරුණික උනා. එතුමාට පිං! 


උදේ කෑම..



එක හිත නැති උඹේ හිතත් දහ අට වංගුව වාගේ...
          අපි කොහොම හරි මහියංගනේ ආදිවාසී ජනපදය හරියට එනකොට දවල් 11-11.30 වගේ උනා. අන්තිමට මම ඔය පලාතට මංගච්චල තියන්නේ 2002. අවුරුදු 16කට කලින්. එතකොට මම 4 වසරේ. හැබැයි ඉතිං, දැන් ඒ පැත්ත මොඩ් වෙලා තියන හැටි දැක්කම, අනේ අනිච්චං කියවුනා මට නම්. 

නව්‍යකරණය වූ ආදිවාසීන්..
          කෞතුකාගාරයක් එහෙම හැදිලා, කැකුලෝ දෙන්නෙක් ටිකට් කඩන්නත් දාලා. කලින් පාර යද්දී කටුමැටි ගේ පිල උඩ ඉඳගෙන එයාල එයාලගේ භාෂාවෙන් කියපු කතා අහගෙන හිටිය අපි, මෙදා පාර යද්දී නිකම් කොළඹ මියුසියම් එක බලන්න ගියා වගේ උනා. ඒ හින්දම ද මම දන්නේ නෑ මට එතන වැඩි වෙලාවක් රැඳෙන්න කැමැත්තක් තිබ්බේ නෑ. දුන්නකුයි ඊතල දෙකකුයි ගත්ත අපේ සර් කෙනෙක්. ඕකෙන් විද විද හිටියා පොඩි කාලේ පුරුද්දට. එච්චර තමා මම කලේ ෆොටෝ අල්ලනවට අමතරව ඉතිං. 

පොඩි කාලෙට...
          ඊට පස්සේ ඔන්න අපි ගියා දිවා ආහාරය වළඳන්න. සොරබොර ගෙදර කියල අපේ ඉස්කෝලෙම ආදි ශිෂ්‍යයෙකුට අයිති හෝටලයක්. කෑම ටික නම් හොඳට තිබ්බා. හැබැයි ඉතිං අර කොහෙදිත් මට සෙට් වෙන පෝරියල් එක වෙන, මස් මාංශ නැත්තම් කන්න දේවල් හරිම අඩු වෙන එක මෙතනදීත් සෙට් උනා. මම ඉතිං ටාර් පටාර් ගාලා කාලා, පිහිනුම් තටාකය ලඟට වෙලා හූල්ල හූල්ල හිටිය. 

තනි අඟක් තිබ්බ මුවා...
          ඔය අතරේ ඒ අස්සට ආවා එක අඟක් තියන මුවෙක්. හැබැයි මුවා උනාට මේ යකා බල්ලා වගේ හපනවා. ඉතිං වැඩිය සෙල්ලම් දාන්න ගියේ නෑ. අනික් සෙට් එක හෙමි හෙමිහිට කාලා බීලා ඉවර වෙලා, සෙට් වෙලා ෆොටෝ අල්ලන්න පටන්ගත්තා. මමත් ඉතිං ඔහේ කොනකට සෙට් වෙලා දෙක තුනක් ගත්තා. 

ඔය ඉන්නේ අපි සෙට් එක..
          ඊට පස්සේ ඉතිං එයාලට ස්තුති කරලා, එතන නවතින සෙට් එක එහෙ හිටවලා, අපි ආවා අපේ නවාතැනට. ඔන්න දැන් තමා මට නම් ට්‍රිප් එක හරියට පටන් ගත්තේ. ගිහිං ටික වෙලාවක් රෙස්ට් එකේ ඉඳලා, කාමර එහෙම බලල, මමයි තව අපි එක්ක ගිය මල්ලි කෙනෙකුයි බැස්සා පූල් එකට. 2016 මැලේසියාවේ ගියාට පස්සේ පූල් එකකට බැස්ස ම ද කොහෙද.
          සෙනසුරාදා හෙන ගහන්න උන හැදිලා බෙහෙත් බිබී හිටි නිසා, පැය බාගෙකින් එලියට එන්නම් කියල බැස්සට, අන්තිමේ ගේම් එකකටත් සෙට් වෙලා එලියට එවෙද්දී පැය එක හමාරක් පූල් එකේ. මොන වාසනාවකට ද දන්නේ නෑ වෙලාවට හෙම්බිරිස්සාව හැදුනේ නෑ. මම හිතන්නේ ඒ පළාතේ දේශගුණේ නිසා.
          පූල් එකෙන් එලියට ඇවිත් කාමරේට යනකොට මම දැක්කා කොනක බයිසිකල් 3ක් නවත්තල තියනවා. අපේ හෝටලේ වෙච්ච මාපාකඩ විලේජ් කියන හෝටලේ එක පැත්තකින් මායිම් වෙන්නේ පරණ පොඩි වැවකට. මේ දවස් වල ඒ පලාතට හිටු කියල වහින නිසා, වැවේ බොහොම දුරක් යනකල් වේලිලා කර වෙලා ගිහිං. මම ඉතිං මොකද කලේ බයිසිකල් එකක් අරගෙන ගිහිං ඔය වැව වටේට පැද්දා. එක එක සත්තු එහෙමත් හම්බුනා. අලි ඉන්න බවටත් සලකුණු තිබ්බා. 

මට ඉතිං බයිසිකලයක් සෙට් උනා කියන්නේ කෑමත් එපා..
          හවස තේ වෙලාව ඉවරල, මමයි තව ස්ටාෆ් එකේ 4 දෙනෙකුයි ඒ වැව ඉවුරේ තිබ්බ ඔරුවකට වෙලා කයියක් දාගෙන හිටියා. ඉර බැහැගෙන ගිහින් තරු එක දෙක පායාගෙන එද්දී ඒ පරිසරය හරිම ලස්සනයි. ඒ වගේම නිස්කලංකයි. එතන දාල එන්න ලෝබ හිතුනත්, අන්තිමේ හවස 7 වදිනකොට අපි එතනින් ආවා. 

ඔන්න අපේ වීව් එක.. මේක ගැනනම් කට්ටියක් හූල්ල හූල්ල හිටියා..
          අපි එතන ඉන්න අතරේ කට්ටිය ගිනි මැලයක් එහෙම ගහල කට්ටිය සාදයක් පටන් අරං. අපිත් ඉතිං හෙමීට ගිහිං සෙට් උනා. මට නම් ආසම තැන උනේ ගිනි ගොඩ ගාව. ටික වෙලාවක් එතෙන්ට වෙලා ඉඳල, ලස්සන ෆොටෝ ටිකකුත් අල්ලගත්තා. 

ගිනි මැලේ..
          එකත් ඉවරලා නටලා එහෙම, ඔන්න කට්ටිය කන්න සෙට් උනා. ඒ අහු අස්සේ ආරංචියක් ආවා සෙංකඩගල මැණිකේ බ්‍රේක් වෑන් එකක් කුඩු වෙන්න ඉන්දියන් ලදරමක් ඇවිත් ඇනල කියල. ඒ ගැන හොයන්න වෙලාවක් තිබ්බේත් නෑ මොකද ඇත්තටම ඒ වෙලාවේ එතන එකතු වෙලා හිටිය අපි සෙට් එක සෑහෙන විනෝදයෙන් හිටි නිසා.
          කාලා බීලා අන්තිමට ඉතිං අනික් හෝටලේ ඉන්න කට්ටිය පිටත් වෙලා ගියා. 10 ට විතර අපිට හම්බුනා හෝටලේ අයිති අයියා. එයත් අපේ ඉස්කොලෙමයි. ඉතිං පරණ කයිවාරු අවුස්සා අවුස්සා ඉද්දි, ඔන්න ඈතින් අලි වෙඩිල්ලකුත් ඇහුනා. තව ටික වෙලාවක් ඉද්දි, එක වලාකුලක් නැති අහසේ, අපේ චක්‍රාවාටයත් ලස්සනට පේන්න ගත්තා. ඒත් ඒවා ෆොටෝ ගන්න කැමරා නෑ නෙහ්..
          ඊළඟ දවසේ ඉතිං නිදහසේ ඉන්න තිබ්බේ. උදේම කාලා එහෙම පැන්නා පූල් එකට. පැයක් විතර නාද්දී, ඇස් දෙකට ෂොට් එක හම්බුනා. ක්ලෝරීන් දැම්ම කියල අමතක උනා උදේම. ඉතිං එලියට ඇවිත්, ඇඟ රත් වෙන්න සමහන් එකක් එහෙමත් අරං ඇවිත් බීලා, වැව් ඉවුරට වෙලා සර් කෙනෙක් එක්ක කයියක් දාගෙන හිටියා. 

වැව් ඉවුරේ තුරු සෙවනේ...
දුලාංජය සර් විසින් ස්තුති කතාව..

නවාතැනේ අයිතිකරුවන් දෙදෙනා ඇතුළු ආදී ශිෂ්‍යයන්..
          ඔය වැඩ ටික ඉවර වෙලා, දවල්ට කාලා එහෙම, අපි ආපහු එන්න පිටත් උනා. ඒ අස්සේ ඔන්න ලක්ෂරි කියපු බස් එකේ බැටරි එක පුපුරලා! අනේ ඉතිං ලක්ෂරි පැත්තක දාලා, එකෙන් කස්ටියක් අපේ එකට ගොඩ උනා. හවස 4 වෙනකල් ඔය කෙරුවාව නිසා අපි දොරකඩ. 

වියන් ඇල. මේක පහුගිය ටිකේ සෑහෙන කතා බහට ලක් උනා..
          බස් එක පිටත් උනත් හරි, කට්ටිය නිදි. මට ඉතිං දවල්ට මලාට නින්ද යන්නේ නෑ නේ. ඉතිං ඉස්සරහට ගිහින් රියදුරු මහත්තය එක්ක කයියක් දාගෙන, අහු වෙන සත්තුයි පාරේ විස්තරයි ෆොටෝ ගහගෙන, හිපාටු වාහන කාරයින්ට බැන බැන ආවා. අපි ආවේ ගිය පාරේ නෙවේ. රන්දෙනිගල හරහා එන පාරේ. වේල්ල පහු වෙද්දී එක එක්කෙනා ඇහැරලා, වෙෆර්ස් එහෙම එහෙ මෙහෙ යන්නයි, සිංදු එක දෙක කියවෙන්නයි පටන් ගත්තා. 

අවිවාහක සෙට් එක..
          එක එක්කෙනාට විහිලු කර කර, කයිය ගහගෙන, ඔන්න කොහොමින් කොහොම හරි, චාරිකාව සාර්ථකව නිමා කරලා, හවස 7.10 වෙද්දී ඉස්කෝලෙට ආවා. කට්ටියට ගුඩ් බායි කියල, මම එන්න ක්‍රමයක් හොයද්දි, එක ටීචර් කෙනෙක් මාව පේරදෙණිය හංදියට දාන්නම් කියල එක්කං ආවා. ඒ ටීචර්ටත් බොහොම පිං! 

ආපසු එන රජ මාවත..
          මේ ට්‍රිප් එක ජීවිතයේ ගිය තවත් එක සොඳුරු චාරිකාවක්. කෝච්චියේ නොවුනත්, අමුතු දෙයක් නොබැලුවත්, හැමදාම දකින පිරිසකගේ හැමදාම නොදකින අංශයක් අඳුරගන්න ලැබුනා. ඒ වගේම, ගුරු වෘත්තීය කියන්නේ කොයි වගේ රස්සාවක්ද කියල දන්නේ එකේ යෙදෙන අය පමණයි. ඉතිං ඒ පීඩනයෙන් ටිකකට හරි නිදහස් වෙලා, ,ඒ වගේ හුදෙකලා පරිසරයකට අපිට යන්න ලැබෙන එකත් වටිනා අවස්තාවක්. ඒ අවස්තාව උදා කල ත්‍රිත්ව විද්‍යාලයීය ගුරු මණ්ඩලයට සහ සංවිධායක මණ්ඩලය ට බොහොමත් ම ස්තුතියි!!