Tuesday, December 31, 2024

අතහැරීම ප්‍රතිපත්තිය වූ වසරක සමාලෝචනය

            අවුරුද්දක අවසානයට ඇවිත්..

ඒ එක්කම, තවත් සමාලෝචනයක් ලියන්න කරුණු, මතක එකතු වෙලා. මේ විදියට සමාලෝචනයක් 2014ටත් ලිව්වා. හැබැයි ඒ අවුරුද්දට වඩා අත්දැකීම් සෑහෙන්න වෙනස්. කොටින්ම, 2014 ගොඩක් දේවල් හම්බුන අවුරුද්දක්. 2024 කියන්නේ සෑහෙන දේවල් අතහැරුණ අවුරුද්දක්.

මුලින්ම, අවුරුද්ද පටන් ගත්තෙම නිවාඩුවක් එක්ක. මොකද, උසස් පෙළ විභාගය තිබ්බ නිසා. මේ කියන්නේ 2023 වසරට නියමිත උසස් පෙළ විභාගය. ඇත්තටම මේ අවුරුද්ද කියන්නේ උසස් පෙළ විභාග දෙකක් පැවැත්වුන අවුරුද්දක් (2023 සහ 2024 - මේ ලියවෙන මොහොතේත් පැවැත්වෙනවා). 

ආපහු පීනන්න පටන්ගත්තා..

 එහෙමයි කියල ඉතින් මට නම් නිවාඩුවක් තිබ්බේ නැහැ. අපිව ඉස්කෝලෙන් පුහුණුවකට කැඳවලා තිබ්බා. ඒකටත් යන ගමන්, කොළඹ, දෙමටගොඩ, රත්මලානේ එහෙම ගියා පරණ යාළුවො ටික හම්බෙලා එහෙම එන්න කියල, සහ තව වැඩ කීපයකටත් එක්ක. 


රත්මලාන දුම්රිය කර්මාන්තශාලාව..

 පුහුණුවට යන පළවෙනි සතියෙම ශෝක් අත්දැකීමක් ලැබුනා. අපිව එක්කරන් ගිය බස් එක ඉස්කෝලෙන් එලියට දාලා පොඩ්ඩ දුරක් එද්දී තව බස් එකක හැප්පුනා. ලොකු අවුලක් නම් උනේ නැහැ, හැබැයි ඉතින් ශෝක් අවුරුද්දේ මුලදීම.. 

වීදුරු ලෙප්ට්
පළවෙනි ට්‍රේනිං එක..

 

ඒ අතරේ, අපි දන්න කාලේ ඉඳන් ඉස්කෝලේ සිංහල සාහිත්‍ය සංගමය බාර ආචාර්යතුමිය වෙලා හිටිය, අපි හැමෝටම හුරුපුරුදු රන්දෙණිය ටීචර් ගිය අවුරුද්ද අග විශ්‍රාම ගියා නේ. සිංහල සාහිත්‍ය සංගමයේ ටීචර් එක්ක වැඩ කරපු, විශේෂයෙන් ඉස්කෝලේ විවාද සංසඳයේ හිටිය අපි කීප දෙනෙක් ටීචර් ඇතුළු පවුලට සුහද සංග්‍රහයකට ආරාධනා කරා ජනවාරි මාසේ අග. 

රන්දෙණිය ටීචර්..

පෙබරවාරි මාසේ ඉස්කෝලේ පටන් ගත්ත ගමන් පළවෙනියට ත්‍යාග ප්‍රධානෝත්සවය. ඉස්කෝලෙට ගිය දා ඉඳන් මේවා සෑහෙන ගානකට ගිහින් තිබ්බත්, උපාධි ලෝගුව දාලා එකකට යන්නේ පළවෙනි වතාවට. 

ආ කස්ටිය කාලා ඉන්න.. ගෙදර හදපු ඒවා..

 ඊගාවට, ස්පෝට්ස්මීට් වැඩ. මේ අවුරුද්ද මුල ඇවිල්ලා හෙන ගහන්න අව්ව එක්ක පායපු දවස් ටිකක්. කොටින්ම, ළමයි එලියට දාන්න එපා කියල රජයෙන් චක්‍රලේඛ ගහන්න තරම් වැඩේ දරුණු අතට ගියා. කොහොම හරි, අන්තිමට කල් ගිහින් ගිහින් මේක තියාගන්න උනේ අධියර දෙකකට මේ අවුරුද්දේ. මම ඉතින් සුපුරුදු විදියට මාචින් ස්කොඩ් දෙක බැලුවා හවුස් දෙකේ. දෙකම දෙවැනි ස්ථාන අරගත්තා.. 

මෙවර පිරිත් මණ්ඩපය

 ඊට පස්සේ ටික දවසකින් සර්ව රාත්‍රික පිරිත් දේශනාව. එකටත් ඉඳලා, ඊළඟට බිග් මැච් ඩියුටිත් ඉඳලා, මාර්තු මාසේ අග වෙද්දී වාර විභාග. මේ අවුරුද්දේ මට ආපහු මගේ කොරෝනා අවුරුදු වලට කලින් තිබ්බ සුපුරුදු කාල සටහනක් හම්බුන නිසා 6 වසරේ ඉඳන් උඩට පන්ති ඔක්කොටොම වගේ වැඩ. විභාග ඉවරලා තමයි හුස්මක් කටක් ගන්න නිවාඩුවක් හම්බුනේ. ඒ අවුරුද්දත් ඉතින් ශෝක් එකට තිබ්බනේ නැකත් කොළ දෙකක් එක්ක.. ඒ වගේම, හයික් එකක් යන්නත් අවස්තාවක් ලැබුනා උඩරට පැත්තට..  ඒ ගැන ආය ලියන්න යන්නේ නැහැ අවුරුදු පෝස්ට් එකේ ලිව්ව නිසා.

අවුරුද්දෙන් පස්සේ, මට මහනුවර APIIT ආයතනයෙන් ආරාධනාවක් ලැබුනා, ඒකෙ ළමයින්ට විදුලි සහ විද්‍යුත් ක්ෂේත්‍රයේ ප්‍රායෝගික යෙදීම් ගැන වැඩසටහන් මාලාවක් කරන්න කියලා. ඉතින් ඒ වැඩේ හොඳටම ගිහින්, අන්තිමට එයාලා එක්සිබිෂන් එකක් පවා කරා. 

APIIT ආයතනයේ වැඩ සටහන..

 අප්‍රේල් නිවාඩුව සති දෙකකින් ඉවර කරලා, අප්‍රේල් මැද ආය ඉස්කෝලේ පටන් අරගත්තා සති දෙකකට වගේ. මේකට හේතුව තමයි, මැයි මාසේ 2023 වසරට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්න නියමිත වීම. ඉතින් ඒ සති දෙක ආපහු නිවාඩුවක් එන නිසා අප්‍රේල් සති දෙකක් වැඩ කරන්න උනා.

ඒ නිවාඩුවේ දි ඉස්කෝලෙන් සූදානම් කරලා තිබ්බා රදැල්ලට යන්න පොඩි ට්‍රිප් එකක්. එක දවසේ ගමනක්. ගෙදර පල්ලෙහයින්ම නගින්න පුළුවන් නිසාත්, කලින් සැරේ ගමන ඉතාම හොඳ උන නිසාත් (කලින් අවුරුද්දකත් මෙතනට ම ගියා), මේ සැරෙත් මම ගමනට සහභාගීත්වය ස්ථිර කරා. මේ පාර හැබැයි මම යනකල්ම ෆුට් බෝඩ් එකේ තමා ගියේ බස් එකේ (ඇයි අහන්න එපා). ඒ වගේම, මම ආපහු එන ටිකට තීරණය කරා ඒ තමයි මම සහභාගී වෙන අන්තිම ස්ටාෆ් ට්‍රිප් එක කියලත්. 

කැලණිවැලි මාර්ගය දිගේ බයිසිකල් සංචාරයක් (මෙතන තමයි 2012 පියාඹල ගියේ)

ස්ටාෆ් ට්‍රිප් එක - ආපහු එන ගමන්..

මැයි මාසෙත් ඉතින් ඔය විදියට සෑහෙන්න වැඩ අධික මාසයක් උනා. ගිය අවුරුද්ද වෙනකල් දහම්පාසලේ වැඩ එක්ක බිසී වෙලා, මේ අවුරුද්දේ ඒ වැඩ නැති නිසා වැඩ වල අඩුවක් වෙයි කියල හිතාගෙන හිටියත්, එහෙමට අඩුවක් නම් තිබ්බේ නැහැ. අපි එකතු වෙලා, ගෙලිඔය දුම්රිය ස්ථාන කාර්යය මණ්ඩලයේ මග පෙන්වීම යටතේ එතන දන්සලකුත් කරා. 

දන්සැල

 

පරණ, හිතෛෂී මිත්‍රයෙක් එක්ක..

 ඉස්කෝලෙත් ඉතින් බයිසිකල් හැදුවා, තව එක එක ආවුද උපකරණ අලුත්වැඩියා කරා, පේපර් හැදුවා, පොත් හැදුවා.. මේ අවුරුද්දේ, මෙච්චර කල් අලුත් කර කර වසරක් පාසා නිකුත් කරපු “බුද්ධ ධර්මය කෙටි සටහන්” පොතේ අවසාන සංස්කරණයත් කරලා ඒක සාමාන්‍ය පෙළ පන්ති වල ළමයින්ට නිකුත් කරා. මෙතනින් එහාට ඒක මුද්‍රණය වෙන්නේ නැහැ. 

අන්තිම ප්‍රින්ට් එක..

 

මේ මගේ මේ පාර පන්තිය. මෙයාලා එකතු වෙලා මහනුවර ඉස්කෝලෙකට ප්‍රථමාධාර කට්ටල කීපයක් පරිත්‍යාග කරා. මේ ඒ ගමනට ගිය වෙලාවේ. අර ඉස්සර ලියපු 8I පන්තියට පස්සේ හම්බුන හොඳම පන්තියක් මේක.

 දෙවෙනි වාරේ මැද හරියේ කොහොම හරි පොඩි බ්‍රේක් එකක් හම්බුනා කියන්න පුළුවන්. හැබැයි එහෙමමත් නැහැ, මොකද සිලබස් අල්ලන්න එහෙම සෑහෙන දිවිල්ලක් දුවන්න වෙලා තිබ්බා. ඒ අතරම, ඊළඟ වාර විභාගෙට පේපර් හැදිලි එහෙමත් තිබ්බා. දෙවෙනි වාරේ කොහොම හරි අගෝස්තු වලින් සුපුරුදු විදියට ඉවර උනා (මහනුවර පාසල් වලට ඒක අනිවාර්යයි, හේතුව පෙරහැර එක්ක අමාරු වෙන නිසා). 

අවුරුද්දේ තුන් පාරක් ලේ දෙන්නත් පුළුවන් උනා.

 හැබැයි එහෙමයි කියල ඉතින් ඉස්කෝලේ වැඩ නම් ඉවර උනේ නැහැ. නිවාඩුවේ ඔටොමෝටිව් සොසයිටි එකෙන් අපි වර්ක්ෂොප් එකක් කරා. ඒ නිවාඩුවෙත් අතරමැද තව දෙදින පුහුණුවක් ලැස්ති කරලා තිබ්බා. කලින් වගේම ඒකත් තිබ්බේ පල්ලෙකැලේ, අපේ ඉස්කොලෙටම අයිති ඉඩමක. මේක ඉස්සර ඉස්කෝලේ කෘෂි විද්‍යාල භූමිය. මේ පුහුණුවේ නම් වැඩිය ෆොටෝ නැහැ, මොකද ෆෝන් ළඟ තියාගන්න බැරි ක්‍රියාකාරකම් තමා තිබුනේ. අපිට කියපු විදියට, ලංකාවේ OBT (Out Bound Training) එකක් ලබපු පළවෙනි ඉස්කෝලේ අපි. 

ෆොටෝ නැති ට්‍රේනිං එකේ රෑ ගත්ත එකක්..

 

පත්තරේකට ලිපියක් ලියාගන්න හැකි උනා..

 

ඔටොමෝටිව් වර්ක්ෂොප් එක

නිවාඩුව ඉවරවෙලා පටන් ගත්ත තුන් වෙනි වාරේ නම්, ඇකඩමික් ෆෝකස් එකක් එක්ක යන වාරයක් කිව්වට, එක එක දේවල් නිසා වැටුන රජයේ නිවාඩුයි, තව අනංමනං වැඩයි එක්ක, ඇත්තටම උගන්නන්න ලැබුණු කාලය හරිම අඩුයි. මේ වාරේ කියන්නම ඕනේ සිද්ධියක් තමයි, අවුරුදු 10කට පස්සේ අපි Bradby ශූරතා පලිහ දිනපු එක. මේක සජීවීව බලන්න මට පුළුවන් උනා. 

බ්‍රැඩ්බි දිනපු වෙලාව..

 

වෝටර් රොකට්.. මේ පාරත් සමස්ථ ලංකා 6 වෙනි තැනට එන්න පුළුවන් උනා..

පොත් ප්‍රදර්ශනය.. මේ පාර මහනුවර එකට වගේම කොළඹ එකටත් ගියා. හැබැයි පොත් ගත්තේ නැහැ දෙකේම එකතුව වත් 10ක් වෙන්න..

 

ලැප්ටොප් සර්විස් වර්ක්ෂොප් එක.. මේක අධියර දෙකකට කරේ, මේ අවුරුද්දේ මෝටර් යාන්ත්‍රික සංගමයේ සභාපතිතුමා එක්ක..

ඒවා මේවා ඉවර වෙලා, ඉස්කෝලේ සම්පූර්ණ ෆෝකස් එක එක්සෑම් වලට හැරෙද්දී ඔන්න තව එකක් පත්තු උනා. උසස් පෙළ ට ඉංජිනේරු තාක්ෂණවේදය කරන්න හිටිය සර් හදිසියේ ඉවත් වීමත් එක්ක, මට ඒ සම්පූර්ණ බර බාරගන්න උනා. ඒකට ඉඩ හදාගන්න, මෙතෙක් කරගෙන ආපු බුද්ධ ධර්මය පන්ති ටික අතාරින්න උනා, එක සතියක් වගේ ඇතුලත. 

අවුරුදු 10ක සේවා කාලයකින් පස්සේ විශ්‍රාම යන සඟයා සහ අලුත් යාලුවා.. (Casio AE1200)

කොහොම හරි, අවුරුද්ද අග නිවාඩුව වත් හරියට අපිට ලැබුනේ නැති තත්වයක් තමයි මේ පාර තිබුනේ. මොකද කිව්වොත් සාමාන්‍ය පෙළ පන්ති දෙක, ඒ ලෙවල් නිවාඩුව අස්සටත් සති දෙකක් ඇදලා, තුන් වෙනි වාර විභාගය පැවැත්තුවා. ඊට පස්සේ පේපර් දුන්නා අපිට ගෙදර ගෙනත් බලල, ජනවාරි ලකුණු දෙන්න සූදානම් කරගන්න කියල. 

අවුරුද්දේ අන්තිමට ගියා මෙයාලව හම්බවෙලා එන්නත්..

 

ගෙලිඔය දුම්රිය ස්ථානය මගින්සංවිධානය කල රුධිර දාන කඳවුර  

ඔන්න ඔහොම තමා ඉතින් මේ පාර අවුරුද්ද ගෙවුනේ. ඔය අවුරුද්ද යන අතරවාරෙදි, කලාකාරයෝ, තව ප්‍රසිද්ධ පුද්ගලයෝ එහෙම සෑහෙන්න මේ ලෝකෙන් යන්න ගියා. එතනින් මට ලොකුවටම දැනුන කෙනෙක් තමා මැයි මාසේ දෙවෙනි දා අපෙන් සමු අරගත්ත නලින් ද සිල්වා මහාචාර්යතුමා. 

මහාචාර්ය නලින් ද සිල්වා (සේයාරුව ෆේස්බුක් අඩවියෙනි)

 ඒ වගේම, මම උසස්පෙළ පන්ති වලට ආපු අවුරුද්දේ ඉඳන් මට ගුරුහරුකම් දීපු, ත්‍රිත්ව විද්‍යාලයේ වාණිජ අංශයේ වගේම වෙනත් අංශ වලත් ගෞරවය දිනාගත්ත ගුරුවරියක් උන දීපිකා ටීචර්, ඒ වගේම මම එන්න කලින් ඔටොමෝටිව් සොසයිටි එක කරපු ජයතිලක සර් සහ තව කීප දෙනෙක්ම මේ අවුරුද්දේ ඉස්කෝලෙන් සමුගත්තා. 

ජයතිලක සර් 

දීපිකා ටීචර් 

 

 

 

 

 

 

 

 

 

 

මගේ පැත්තෙන් බලද්දී, මාතෘකාවේ කියපු විදියටම ගොඩක් දේවල් අතහැරපු අවුරුද්දක් උනා. මම ඉතින් සෑහෙන තරමක් දේවල් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙන නිසා, සාමාන්‍ය විදියට බලද්දී ඒවා කිහිපයක් වෙන්න පුළුවන්. නමුත් ලොකුවට දේවල් නැති නිසාම, තියන දේවල් වලින් කිහිපයක් අතහැරුනත් ඒක මගේ පැත්තෙන් දැනෙනවා. 

මේ මම ඉස්කෝලෙට ගිය සතියේ ඉඳලා සාමාන්‍ය පෙළ වෙනකල්ම දිගටම උගන්නපු ළමයි ටිකක්. මෙයාලාගෙන් දෙන්නෙක් අර බුද්ධ ධර්මය සටහන් ටික හදන්නත් උදව් කරා. මේ මෙයාලගේ අන්තිම අවුරුද්ද ඉස්කෝලේ.

 

කථික සංසඳයේ සෙට් එක එක්ක.. මේ අවුරුදු 10කට එහා වෙනස් නොවුන, යාළුවො, සහෝදරයෝ වගේ ගෝලයෝ කට්ටියක්.. මෙතන ඔක්කොම නෑ. ඔක්කොම එකතු කරගන්න එක ගැන කතා නොකර ඉමු.

ඒ විදියට පළවෙනියට ම අතෑරලා දැම්මේ දහම්පාසලයි පන්සලයි. දහම්පාසල නම් මම ගිය අවුරුද්දෙම තීරණය කරගෙන හිටියේ 2023 දෙසැම්බර් වලින් මම නතර වෙනවා කියල. හේතුව ඒ ආයතන පද්ධතිය සහ වැඩ පිළිවෙල යන දිශාවට අනුගත වෙන්න, එහෙමත් නැත්තම් ඒ විදියට වැඩ කරන්න මට කීයට වත් එකඟ වෙන්න බැරි තත්වෙකට ඇවිත් තිබුනා. ඇත්තටම කිව්වොත් මේ අවුරුද්දේ පන්සලට අඩිය තිබ්බේ 5 වතාවයි. එකෙනුත් දෙකක් ම ජන්දේ දවස් දෙක.

ඊළඟට, සෑහෙන මිනිස්සු ගානකුත් මම අතෑරලා දැම්මා. යාළුවො මාළුවෝ සඟයෝ එහෙම කියලා ළඟ තියාගෙන හොය හොයා කතා කරපු, බලපු අයට මම එහෙම හොයන බලන එක නැවැත්තුවා. පන්න පන්නා හොය හොය උදව් කරන්න යන එක මේ අවුරුද්දේ නම් කරේ නැතිම තරම් කියන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් අවුරුද්ද අන්තිමේ මේ සටහන ලියවෙනකොට, ලඟින් ආශ්‍රය කරන්න ඉතුරු වෙලා ඉන්නේ අත් දෙකේ ඇඟිලි ගානට වගේ තමා කට්ටිය.

ඊළඟට, සමහර දේවල් ගැන ඕනෙවට වඩා හිතන එක අතෑරලා දැම්මා. ඒ කියන්නේ, අද කාලේ අපි ගොඩක් දෙනෙක්ට ජීවත් වෙන්න වෙලා තියන්නේ අපිට ආස නැත්තම් අපි කැමති විදියට නෙවෙයි නේ. සමාජෙට, එහෙමත් නැත්තම් අනුන්ට ඕනේ විදියට. මම ඒකත් හැකි තරම් නවත්තල දැම්මා. මොකද මට තේරුම් ගන්න පුළුවන් උනා, එක එක්කෙනා ජීවිතේ සාර්ථක බව, සතුට දකින්නේ එයාට සාපේක්ෂව කියල. එක්කෙනෙක්ට ලොකු වාහනයක් තියන එක සාර්ථකත්වය උන පලියට, අපිටත් අනිවාර්යයෙන් ඒක එහෙම වෙන්න ඕනේ නැහැ.

අනික් දේ තමයි පාසල් විවාද ක්ෂේත්‍රය. ඉස්කෝලේ ස්ටාෆ් එකට බැඳිලා මාසයක් වගේ යන්නත් කලින්, ඉස්කෝලේ කාලේ බොහොම පොඩි කාලයක් කරලා අතෑරපු විවාද ක්ෂේත්‍රයට ආපහු පිවිසෙන්න ලැබුනා, සිංහල අධ්‍යයනාංශය බාරව හිටිය දුනුවීර සහ රන්දෙණිය ටීචර්ලගේ මගපෙන්වීම එක්ක. එතන ඉඳලා ට්‍රේනිං කාලේ හැරෙන්න එක දිගටම ත්‍රිත්ව විද්‍යාලයීය විවාද සංසඳය එක්ක කටයුතු කරපු මම, මේ අවුරුද්දේ ඒ සංසඳයට තව දුරටත් මගේ සහයෝගය අවශ්‍ය නොවෙන බව දැනුන නිසා, සහ සම්පූර්ණයෙන් ම ත්‍රිත්ව විද්‍යාලයේ විවාද ක්ෂේත්‍රය අතහැරියා. මේ අවුරුද්දේ විවාද තරඟ විනිශ්චය කරන්න ලැබුන ආරාධනා කිහිපයක් සඳහා යනකොට කණ්ඩායම එක්ක ගියත්, එතනින් එහා යමක් මම නොකරන තැනට මම ආවා. 

විවාද සංසඳය බාරව අරගෙන ගියපු අන්තිම විවාද තරඟයට යන අතරමග

 

ට්‍රේනිං එකක් ඉවරල එහෙමම දුවපු විවාද තරඟයක්..

ඕවා වලින් නිදහස් උනාම ඇත්තටම සෑහෙන්න ඔලුවට හොඳයි. සෑහෙන මානසික නිදහසක් දැනෙන්න ගත්තා. ඒ වගේම ගොඩක් නිදහස් කාලය හම්බුනා. ඔය නිදහස් කාලය පාවිච්චි කරලා, මගේ එක විනෝදාංශයක් වෙන ඉලෙක්ට්‍රොනික් රිපෙයාර් වැඩ සෑහෙන තරමක් කරගන්න පුළුවන් උනා අවුරුද්ද පුරාම. මගේ මිත්‍රයෙක් වෙන කාංචනගේ හෙඩ් සෙට් එකකින් පටන් අරගෙන, ඉස්කෝලේ සර් කෙනෙක්ගේ, වෙන කවුදෝ හාපු ලැප්ටොප් එකක් ගොඩ දැමීමේ ඉඳන්, අවුරුද්ද අන්තිමේ මට ම කියලා දෝලනේක්ෂයක් (Oscilloscope) එකලස් කරගැනීම දක්වාම ඒක අරගෙන එන්න පුළුවන් උනා. ඒ වගේම, උසස් ඩිප්ලෝමා එකෙන් ලබාගත්ත දැනුම යාවත්කාලීන කරගන්නත් අවස්තාවක් ලැබුනා. 

ගොඩ දාපු ලැප්ටොප් එක..

 

ගෙදර හදපු ඔසිලොස්කෝප් එක..

 

නොකියා E-52.. මේකත් මැරිලා තිබ්බේ. දැනට දුවනවා පණ ගහලා අරගෙන..

අවුරුද්ද අගට එනකොට, මගේ ෆෝන් එක වගේම ලැප් එකත් වයෝවෘද්ධතා ව්‍යසනයට ලක්වීමේ ලක්ෂණ පෙන්නුවා. හරි ඉතින් ඒ කිසි දෙයක් සදාකාලික නැහැ නේ. ඒ නිසා මමත් ඉතින් ඒකට ලැස්ති වෙන්න පටන් ගත්තා. අලුතෙන් ස්මාට්ෆෝන් නම් ගන්නේ නැහැ කියන තැන තමයි මම ඉන්නේ. ඒ නිසා, මට කරගන්න වෙන සරල පරිගණක කටයුතු කරගන්න ටැබ් එකක් තියාගෙන, ස්මාට්ෆෝන් ලෝකෙට සමුදෙන්න මම තීරණය කරා. 

අලුත් බුවා..

අතහැරුණා කිව්වට දේවල් හම්බ නොවී තිබ්බෙත් නැහැ. එකක් තමා, අපේ ගෙදරට අලුත් සාමාජිකාවක් එකතු උන එක. ඤාව්වෙක් සෙට් උනා අවුරුද්ද මුලදීම. දැන් එයා ස්ථිර පදිංචිය මෙහෙ. මේක ලියන වෙලාවෙත් මෙතැනට වෙලා බලාගෙන ඉන්නවා. ඊළඟට, අවුරුද්ද පටන් ගත්ත ගමන්ම වගේ, ඉස්කෝලේ අලුතෙන්ම පටන් අරගත්ත “Trinity Edu-Care Institute” කියන ඒකකයේ ප්‍රධානත්වය මට ලැබුනා. ඒ යටතේ, මේ අවුරුද්දේ සාධනීය කාර්යයභාරයක් අපිට කරගන්න පුළුවන් උනා. 

නපුරි

 රට පැත්තෙන් ගත්තත්, මේ අවුරුද්ද සෑහෙන වැදගත් වසරක්. නිදහසින් පස්සේ මෙතෙක් රට පාලනය කරපු ප්‍රධාන පක්ෂ දෙක (සහ/හෝ ඒවායින් මතු උන අංකුර පක්ෂ)ම නැතුව, තුන් වන බලවේගයක් අතට රටේ පාලන බලය පැවරුන වැදගත් අවස්තාවක් අපිට දකින්න ලැබුනා. මේ කියන්නේ අවුරුදු 70ක විතර පාලන සම්ප්‍රදායක වෙනස් වීමක්. කලින් පක්ෂ ඔක්කොම ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති එක්ක බලයට ආවට, මෙවර පාලන බලය (අරගලයකින් හෝ “විප්ලවයකින්” නැතුව) ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයටම හිමි කරගත්තේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නායකත්වය දරන, සමාජවාදී ප්‍රතිපත්ති දැරූ ඉතිහාසයක් සහිත, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය.

මේ ආණ්ඩුව සාර්ථකද, නැත්තම් අවුල්ද කියන්න තවම කල් වැඩියි. කවදත් මැදිහත් ඒ වගේම විවේචනාත්මක ඇසින් දේශපාලනය ගැන බලපු මම, මෙතනදීත් එහෙමම ඉන්නවා. කවුරු හරි ඇවිත් මේ රටට හොඳක් කරනවා නම් ඒක තමා අඟහරු අපේ බලාපොරොත්තුව. හැබැයි මම මේකත් කියල තියනවා - ආණ්ඩු මාරු උන පලියට රටවල් හැදෙන්නේ නැහැ. පුරවැසියන්ගේ ආකල්ප සහ චර්යාවන් හැදුනම තමා රටවල් හැදෙන්නේ.

ඇමරිකාවෙත් ජන්දෙන් ආපහු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා දිනලා. මගේ ඇමරිකන් ජාතික මිත්‍රයෙක් කියපු විදියට, ජනවාරි මාසයේ ඔහු වැඩ බාරගන්න නියමිතයි. අනික් පැත්තෙන් රුසියාව යුක්‍රේනය එක්ක තවම යුද්ධෙක. චීන - ඇමරිකා සම්බන්ධතාත් සෑහෙන උණුසුම් තත්වෙක තියන්නේ. ඊශ්‍රායල් යුද්ධයත් ලොකු දෙයක් වෙන්න ඔන්න මෙන්න තත්වෙකට ගිහින් දැන් තරමක් නිමිලා තියනවා. අපි බලමු එන අවුරුද්ද ඉවර වෙනකොට මේ දේවල් කොහෙන් කොයි විදියට නතර වෙලා තියේවි ද කියල.

මේ අවුරුද්දට සුනාමි ව්‍යසනයට අවුරුදු 20ක් ගත වෙලා. හැබැයි ඒ අඳුරු මතක සටහන් තවම කෝස්ටල් බෙල්ට් එක දිගේ තියනවා. ඒ වගේම තමයි, ජීවිතේ උනත් සමහර දේවල් වලින් ඇති වෙන මානසික කැළැල් මකන්න බෑ. පුළුවන්, ඒත් සෑහෙන ලොකු කාලයක් යනවා. දැනට මගේ පැත්තෙන් මේ අවුරුද්ද ගැන කියන්න තියන්නේ මෙපමණ තමයි. 

මැරිලත් අවුරුදු දහයක් ගිහිං..

එහෙමනම්, උදා වන්නා වූ 2025 වසර සැමටම සුබ නව වසරක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා..!

Wednesday, December 18, 2024

උඩරට කඳුකරයේ සංචාරය

 

එක්තරා දුම්රිය ස්ථානයක මහා පාන්දර...

          පහුගිය ටිකේ එක දිගටම වැඩ වැඩ වැඩ වැඩ වැඩ ඉවරයක් නෑ. ඒ අස්සේ ලෙඩ, වෙන වෙන ප්‍රශ්න එක්ක හෙම්බත් වෙලා හිටියේ. නිවාඩුව වත් හරියට හම්බුනේ නැහැ ඉස්කෝලේ. ඔය මේ දේවල් එක්ක, ඇඟට වගේ ම හිතටත් නිදහසක් ඕනේ වෙලා තිබ්බා.

          නිවාඩුව කියලා සති දෙකක් විතර දුන්නා (ඒකෙත් බලන්න කියලා පේපර් ලොට් එකක් ම දීලා තියන්නේ). තවත් හිටියොත් නහරයක් හරි පුපුරලා වලගම්පිටි යන්න වෙන තත්වයක් තිබ්බ නිසා, මම බැලුවා මේ ඔක්කොගෙන්ම පොඩි විරාමයක් අරගන්න ක්‍රමයක්.

            මම ඉතින් හැමදාම වගේ බැලුවේ කොහේ හරි ඇවිදින්න යන්න. හැමදාම වගේ මං එක්ක හයික් යන මිත්‍රයාට කතා කරලා බැලුවම, එයත් ඉරිදා රෑ ම (දෙසැම්බර් 15) බදුල්ල ස්පෙෂල් එකේ දෙමෝදර යනවා කිව්වා. වැඩි කල් හිටියොත් ඕක යන්න වෙන්නෙත් නෑ කියල, මමත් ඒ හයික් එකටම සෙට් වෙන්න හිතුවා.

          මේ වැඩේ කන්ෆර්ම් වෙද්දී යන වෙලාවට ඉතුරු වෙලා තිබ්බේ බොහොම අඩු කාලයක්. කිසිම ගමන් සැලැස්මක් මට තිබුනේ නැහැ. ලොකුවට ඕනේ වෙයි කියල හිතුවෙත් නැහැ. ෆෝන් දෙක චාජ් කරගත්තා, ටවුමට දුවලා පාන් එකක් අරගෙන ආවා වේපස් එකක් එක්ක, කැමරාවයි ටෝච් එකයිත් ගත්තා. ඔච්චර තමා මගේ සූදානම.

          දැන් යන්න කෝච්චියක් එපැයි ගම්පොළට හරි පේරාදෙණියට හරි (බදුල්ල ස්පෙෂල් එක ගෙලිඔයේ නවත්තන්නේ නෑ). මගේ පළවෙනි තීරණය උනේ අංක 596 මිශ්‍ර දුම්රියෙන් පේරාදෙණියට යන එක. හැබැයි ඒක පැයක් විතර පරක්කුයි කිව්වා. ඕකට අතරමගදී මොන හෙන ගෙඩි පාත් වෙයිද දන්නේ නැති නිසා, කෝකටත් කියල මම අංක 185 දුම්රියෙන් නාවලපිටියට ගියා. මොකද මට පොඩි උවමනාවක් තිබ්බා අලුතෙන් ආව KV එස් 12 එකේ නාවලපිටියට යන්නත්. මේකේ නාවලපිටිය පැත්තට තියන්නේ ඩමි කාර් එක. ඕකට වෙලා මමත් ගියා. පිටිපස්සෙන් S12- 923 තල්ලු කරන විදිය බලාගෙන (සාමාන්‍යයෙන් අපිට පුරුදු ඇදීම් බලය ඉස්සරහින් ලැබෙන එක නේ).

          නාවලපිටියට යනකොට අංක 596 එතන! ඉතින් නාවලපිටිය ප්ලැට්ෆෝම් එකට වෙලා රෑ 12 වෙනකල් ඉන්නවටත් වඩා, පේරාදෙණියට ගියොත් සීට් එකකුත් අල්ලගන්න පුළුවන් එකේ මම ආපහු ගියා M6- 789 එක්ක පේරාදෙණි. යද්දී නම් සින්දුවක් අහගෙන ටිකක් නිදාගෙන ගියා.

          ගිහිං කාර්යාලයෙන් අහල බැලුවමයි, අශාන්ගේ අප්ඩේට් එක්කයි දැනගත්ත විදියට කෝච්චිය නියමිත වෙලාවටම වගේ එනවා. ගිහින් විනාඩි 15කින් වගේ කෝච්චිය ආවා. ලොකුවට සෙනගක් නැතත්, රිසර්ව් නොකර යන්න පුළුවන් සෙකන්ඩ් ක්ලාස් තියන්නේ එක පෙට්ටියයි මේකේ. ඒක පිරෙන්න සෙනග. නුවරින් බහීවි නේ කියල අපි දෙන්නා ඉතින් ෆුට් බෝඩ් එකකට වෙලා කයියක් දාගෙන ගියා. නුවරදී සීට් එකකුත් ලැබුනා.

          මේකේ ඉතින් රෑ කියල බලන්න දෙයක් නැහැ නේ. අපි ගෙස් කරා මේක දෙමෝදර යද්දී පාන්දර 4 වත් වෙයි කියල. එතකල් මම නම් සැපට නිදාගත්තා. මේ S14 සෙට් එකේ දෙවෙනි පන්තියේ මැදිරි සෑහෙන්න සුව පහසුයි. එයා සස්පෙන්ෂන් නිසා ලොකුවට ගැස්සෙනවා දැනෙන්නෙත් නැහැ. එකම දේ කකුල් දිගාරින්න නම් ඉඩ අඩුයි. කොහොමින් කොහොම හරි, මගදී වැස්සකටත් අහු වෙලා, අපි පාන්දර 4.45 වෙනකොට දෙමෝදර. 

දෙමෝදර දුම්රිය වේදිකාව. මේක දකිද්දී නම් හොග්ස්මීඩ් ස්ටේෂන් එක මතක් උනා..

 

දෙමෝදර දුම්රිය ස්ථානය ඉදිරිපස. මේක මෙහෙම හිස් තියන වෙලාවක් අල්ලගන්න හරිම අමාරුයි..

          මේ හයික් එක තනිකර ප්ලෑන් කරේ අශාන්. මම කරේ එයා එක්ක ගිය එක විතරයි. මොකද මට ඕනේ උනේ ඇවිදින්න. කොහෙද කියන එක මට එච්චර වැදගත් උනේ නැහැ. මම ෆෝන් දෙක ම උනත් ෆ්ලයිට් මොඩ් දාලා තිබ්බේ වැඩි හරියක්ම. අශාන්ගේ ප්ලෑන් එක උනේ, දෙමෝදර කළු පාළමේ දී නයිට් මේල් එකයි ඔඩිසි එකයි ෆොටෝ අරගෙන, පොඩ්ඩි එක්ක පහලට ඇවිත්, රදැල්ලේ ඉඳන් ග්‍රේට් වෙස්ටර්න් වලට පොඩි හයික් එකක් යන්න. 

දුම්රිය කාල සටහන - දෙමෝදර

           මේකේ මුල් අදියර පටන්ගන්න ඉතින් එලිය වැටෙනකල් ඉන්න උනා. උදේ 7ට වගේ අපි මූණ කට එහෙම හෝදගෙන, තරමක වැස්සේම ස්ටේෂන් එකෙන් පිටත් වෙලා, කෙටි මාර්ගයක් ඔස්සේ කළු පාළම ලඟට ආවා. එතනට ආවම, අශාන් පෙන්නුවා තව අමතර දෙයක්.

මේ පහුගිය දවස් ටිකේ සෑහෙන හිට් එකක් වෙලා තිබ්බා “මැයි මාර ප්‍රසංගය” කියල පොතක්. මේක කියවන්නම කියලා මට සෑහෙන දෙනෙක් කිව්වා. පොත අරගත්තා, හැබැයි කියවන්න උනේ නැහැ. ඒ අහු අස්සේ ෆේස්බුක් එකේ තිබ්බා මේ පොතේ කතාවට පසුබිම් උන ප්‍රදේශයේ සහ ස්ථාන වල සේයාරු එකතුවක්. ඕකත් ඔලුවේ තිබ්බා. 

මැයි මාර එක්ක කළු පාළම

අපි ආපු තැනට, මල් පිපිලා තිබ්බ මැයි මාර ගහක් එක්කම, කළු පාළමේ ලස්සන වීව් එකක් තිබ්බා. එතැනින් ගිය කෝච්චියක් ෆොටෝ ගත්තට පස්සේ තමයි ඇත්තටම අපිත් ඒක දැක්කේ. ඔය හරියෙත් ෆොටෝ ටිකක් අරගෙන, අපි ගියා ඊළඟ ෆොටෝ එක අරගන්න.

බදුලු මේල් එක එන්න විනාඩි 45ක් වගේ තිබ්බ නිසා, අපි බැලුවා ෆොටෝ එක ලස්සනට අල්ලගන්න තැනක්. පාළම එහායින් තේ වත්තක් හරහා ගියාම තිබ්බා පොඩි කඳු ගැටයක්. අශාන්ගේ අදහස උනේ එතන ඉඳන් ෆොටෝ එක ගත්තොත් ලස්සනට තියෙයි කියන එක. මටත් ඉතින් කමක් නෑ කියලා, මහ පාන්දර තේ වත්තක් හරහා මවුන්ටන් හයික් එකකුත් ගියා. ඒ අතරේ ලේ පයින්ට් එකක් විතරත් දන් දුන්නා.. 

තේ වතු හයික්..

 

මේ තියන්නේ මේ පැත්තේ ලෝකල් ප්‍රවාහන සේවය. ඩක්කුවක් කියන්නේ මේකට. පහලට යනකොට මාර්ගයේ ආනතිය එක්ක ගුරුත්වය යටතේ ධාවනය වෙනවා. ඉහලට යන්න ඕනේ උනාම ඉහලට ධාවනය වෙන දුම්රියක පසුපසින් අමුණනවා.

අපි ඒ කඳු ගැටය උඩට වෙලා බලාගෙන ඉද්දි, පල්ලෙහා රේල් පාරට මාර්ග අංශයේ පිරිසක් ඇවිත් උදේ පාන්දරම වැඩ පටන් ගත්තා. ඒත් එක්කම අනික් පැත්තෙන්, අහසම කළු කරගෙන වැස්සකුත් පාත් උනා. වටෙන්ම මීදුම එක්ක අපි නම් හිතුවා ෆොටෝ අරගෙන හමාරයි කියල. හැබැයි කොහොම හරි රේල්පාර අවුලක් නැතුව පේන්න තිබ්බා. 

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය..

මේල් එකේ ෆොටෝ ත් අරගෙන, ආපහු තව ලේ පයින්ට් බාගයක් විතරත් දන් දීලා පහලට ඇවිත්, ඊළඟට උඩහින් එන්න තිබ්බ ඔඩිසි එක අල්ලගන්න යන්න හදද්දී අපිට තේරුනා ඉස්සෙල්ලම යන්න ගිය තැනට ගියොත් රක්ත හීනතාවය හැදිලා ස්වර්ගස්ථ වෙන්න වෙනවා කියල. ඒ නිසා ඔඩිසිය අල්ලගන්න අපි පාළම ගාව හිටියා. 

ඔඩිසිය...

කෝච්චි ටික අල්ලගෙන, හයික් එකේ පළවෙනි අදියර ඒ විදියට සාර්ථකව අවසන් කරා. අපේ කෝච්චිය ට තව පැය භාගෙකට වඩා තිබ්බ නිසා, අපි තීරණය කරා ආපහු යන්න කෙටි පාරෙන් නැතුව රේල් පාර පාවිච්චි කරන්න. ඉතින් අපි සුප්‍රසිද්ධ දෙමෝදර රේල් ගැටය දිගේ ආපහු දුම්රිය ස්ථානයට ආවා. අපි එද්දිත් පොඩ්ඩි හාලිඇලෙන් පිටත් වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා, කැමරා අනංමනං සුද්ද කරගෙන, බෑග් එහෙම ආපහු හදාගන්න අවස්තාවක් ලැබුනා. 

වැස්ස, පින්න, සීතල මේ කිසි දෙයක් මෙයාලට අදාළ නෑ.

 

අංක 22 බිංගය (දෙමෝදර දුම්රිය ස්ථානය යටින් පිහිටි රේල් ගැටයේ බිංගය)

මේ තියන්නේ බිංගය අස්සේ හදලා තියන පොඩි මුවාවක්. වැඩ කරන අය හරි වෙන කවුරු හරි බිංගේ හරහා යනකොට කෝච්චියක් ආවොත්, මේකකට අයින් වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි හැම බිංගේකම මේවා නැහැ. ඒ වගේම සමාන දුරවල් වලිනුත් නැහැ.

දෙමෝදර දුම්රිය ස්ථානයට පිවිසුම.

විනාඩි 10ක වගේ ප්‍රමාදයක් එක්ක පොඩ්ඩි ඔය අතර දෙමෝදර ආවා. මේකේ වැඩේ කියන්නේ, අපි කලින් දවසේ රෑ මෙහෙ ආපු සෙට් එකම තමා (S14- 983/984)  එදා පොඩ්ඩි විදියටත් ධාවනය උනේ. ඒ සෙට් එකට මොකක් හරි ආයතනේක ළමයි ටිකක් නැගලා පෙට්ටි දෙකක්ම පිරෙන්න. ඒ නිසා ඉතින් අපි පෙට්ටි දෙකකට අහු වුන විදියට නැගලා, කාලෙකින් මේ පැත්තට ආපු ඒ ළමයි සෙට් එකට වටපිට බලාගන්න දීලා ඇතුලට ඇවිත් වාඩි උනා. 

දෙමෝදර රේල් ගැටය තරණය කරන පොඩ්ඩි. මේක අරගත්තේ දෙමෝදර දුම්රිය ස්ථානයේ ඉඳලා.

මම වාඩි උන සීට් එකේ හිටියා ඉදල්ගස්හින්න බලන්න ආපු සෙට් එකක්. එයාලා බදුල්ලට ගිහින් එතනින් නැගලා කොළඹ යනින් ගමන් හිටියේ. වටේටම මීදුම එක්ක ඒ පරිසරය එයාලට හරිම අමුතු බව පෙනුනා. කතා කරන්න සෙට් උනාම කොළඹ ඉඳන් ආපු සෙට් එකක්. මගෙන් ඇහුවා අයියා කොහෙද යන්නේ කියල. මම ඉතින් අපේ ගමන් විස්තරය කිව්වම, එයාලටත් හයික් එක එන්න ඕනේ උනා.

ඔය අහු අස්සේ, කලින් දවසේ දෙමෝදර ආරුක්කු 9 පාළම උඩ දි සෙල්ෆි එකක් අරගන්න ගිහිං එක්කෙනෙක් 8 ඩවුන් එකට වදින එක වීඩියෝ කරලා, හතර වටේ ශෙයා වෙලා තිබ්බා. හැබැයි ඒ කියලත් පාළම උඩ මිනිස්සුන්ගෙන් නම් අඩුවක් තිබ්බේ නැහැ. මේක තනිකර හයිප් කරපු ටුවරිස්ට් ලොකේෂන් එකක්. අපි දැක්කා මෙතන යන තව වැඩකුත්. එක්තරා (So called) “ගයිඩ්” කෙනෙක්, පාළම ලං වෙද්දීම ෆුට් බෝඩ් වල හිටිය මිනිස්සු ඔක්කොම ඇතුලට පැන්නුවා. ඒ කරලා දොරවල් 4ට සුද්දෝ සෙට් එකක් දැම්මා.

අපිත් බලාගෙන හිටියා මොකද්ද මේ නාඩගම කියල. වැඩේ මෙහෙමයි- කපල් හරි තනි විදියට හරි දොරෙන් එලියට එල්ලිලා ගන්න ෆොටෝ දැකල ඇති ඕනේ තරම් කට්ටිය. මේක තමා මේ සිද්ධ වෙන්නේ. ෆොටෝ ගන්නේ ගයිඩ් සහ එයා එක්ක යන සෙට් එකේම තව එක්කෙනෙක්. ගන්නේ ජනේලෙක ඉඳන් (අනේ ඒ ජනේලේ ළඟ ඉඳන් ඉන්න අයට පාළම නම් බලන්න වෙන්නේ නැහැ). ඉතාම අනතුරුදායක මේ වැඩෙන් ළඟදී ම එක්කෙනෙක් හෝ දෙන්නෙක් පරලොව යනවා. ආරුක්කු 9 පාළම ආශ්‍රිත මේ සංචාරක ජාවාරම මම හිතන්නේ දැන් ඕනෙවට වැඩිය සෑහෙන දුර ගිහින්. 

බණ්ඩාරවෙලට වෙලා විශ්‍රාම ගන්න G2 - 535 






 

පට්ටිපොළ සමිට් ලෙවල් එක පහු කරන පොඩ්ඩි..

කොහොමින් කොහොම හරි, මීදුම පිරුණු යුරෝපීය වනාන්තරයක් හරහා වැටුන මාර්ගයක යන ගමනක් සිහිපත් කරමින් අපි සෑහෙන වෙලාවක් ගියා. කොටින්ම, අංක 18 බිංගය දෙපැත්තේ පවා එදා කිසිම වෙනසක් තිබ්බේ නැහැ (මේ තමා උඩරට තෙත් කලාපය සහ වියලි කලාපයේ සීමාව). නානුඔය ට එනකොට කෝච්චිය රයිට් ටයිම්.

අශාන් මෙතැනදී ඇහුවා “මොකද කරන්නේ, හයික් එක යමු ද නැත්තම් ගෙදර යමු ද” කියල.

මම කිව්වා “මීදුමයි පොද වැස්සකුයි විතරනේ තියන්නේ, ඔන්න ඔහේ යමු” කියල.

අශාන් ලෑස්ති වෙලා හිටියේ හයික් එක ඉවරල ආපහු හපුතලේ ගිහිං, කාලා එහෙම ෆොටෝ ටිකක් අරගෙන, පහලට මේල් එක අල්ලගන්න. එයාත් ප්ලෑන් එක වෙනස් කරලා කිව්වා එයත් එහෙනම් මම එක්ක 8 ඩවුන් එකේ එන්නම් කියල දිගටම. අර සෙට් එකත් හයික් එක යනවාමයි කියලා ඔන්න සෙට් උනා.

රදැල්ලේ කෝච්චිය නැවත්තුවම, අඩි 50කට 100කට එහා නොපෙනන තරම් මීදුම. අර සෙට් එක මට පස්සෙන් බැස්සත්, එයාලට එතැනින් එන්න උවමනාවක් තියන පාටක් පෙනුනේ නැහැ. නානුඔයෙන් 8 ඩවුන් එක එන්න තියන්නෙත් 2ට වගේ. අපිට කිලෝමීටර් 3 හමාරක් යන්න, පැය එක හමාරකට ආසන්නව තිබ්බා. හැබැයි මීදුමයි වැස්සයි එක්ක නිසා, මමයි අශානුයි කෝච්චිය පස්සෙන්ම ගමන පිටත් උනා. 

මීදුමයි වැස්සයි එක්ක හැබැයි උඩරට ගතිය නම් තිබ්බා ශෝක් එකට..

දැන් මේක කියවන ඔයාලා බලයි, ඉස්සරහ පාරේ පෙනීම මෙච්චර අඩු වෙද්දී, ඒ එක්කම වැස්සේ, හදිසියේ කෝච්චියක් ආවා නම් ලඟට එනකල්ම පේන්නෙත් නෑ ඇහෙන්නෙත් නෑ නේද, සෑහෙන අනතුරක් නේද මෙතන කියලා. ඔව්, ඒ අවධානම තියනවා. නමුත් අපි ඒ අවධානමට පෙර සූදානමක් උනා. මුලින්ම අපි සහතික කරගත්තා, අපිට පස්සෙන් කෝච්චියක් එන්නේ නැහැ කියල. ඒ වගේම, ඉස්සරහට අපිට හම්බ වෙන්නේ එක කෝච්චියක් විතරයි කියලා. එතකොට අපි දන්නවා අපිට කොහෙන්ද කොහොමද මොනවද හම්බ වෙන්නේ කියල.

දැන් කියන්න එපා, ඕවා දැනගත්තට ඔයාලා කොහොමද ෂුවර් එකටම කියන්නේ, වැරදිලා වත් එකක් ආවා නම් මොකද වෙන්නේ කියල. එහෙම වෙන්නේ නෑ, මොකද ප්‍රායෝගිකව එහෙම වෙන්න බෑ. ඇයි? තාම ලංකාවේ කෝච්චි වලට පියාඹන්න බැරි නිසා.

කොහොම හරි, අපිට මගදී හම්බුනා අමු වැස්සේම පාළමක් අලුත්වැඩියා කරන මාර්ග අංශයේ තවත් කණ්ඩායමක්. එයාලගෙනුත් ඉස්සරහින් එන කෝච්චිය ගැන විස්තර අහගෙන, අපි හෙමි හෙමීට ඉස්සරහට ගියා. යන ගමන් ඉතින් අපේ ජාතික හයික් ආහාරය වෙන “වේපස්” එකක් එහෙමත් කෑවා. 

ජාතික හයික් ආහාරය - වේපස්..

 

බදුල්ල බලා යන පොඩ්ඩි.. පේනවා නේ කොච්චර මීදුම ද කියලා.. මම ඊළඟ ෆොටෝ එක අරගන්න හැරෙන ටිකට මෙයා මීදුම අස්සේ ගිලිලා අතුරුදහන් වෙලා.

ඔහොම යද්දී, හරියටම යන්න ඕනේ දුරෙන් භාගයක් විතර දි අපිට බලාපොරොත්තුවෙන් ගිය ඉහලට එන පොඩි මැණිකේ හම්බුනා. හැබැයි ඒ හරියේ හොඳ ෆොටෝ එකක් ගන්න පුළුවන් තැනක් නම් නෙවෙයි. පායන දවසක නම් ඉස්සරහට හෝ පිටිපස්සට දුවලා පැනලා හොඳ තැනකට සෙට් වෙන්න පුළුවන් උනත්, තිබ්බ වාතාවරණය එක්ක ඒකට කිසිම ඉඩක් නැහැ. මගේ නම් වැඩි උනන්දුවක් තිබ්බෙත් නැහැ, මොකද මම ආවේ ෆොටෝ ගන්නත් වඩා, නිදහසේ වටපිට බලාගෙන ඇවිදින්න. 

මීදුමින් වැහෙන මාර්ගය. මේ ග්‍රේට් වෙස්ටර්න් වලට කිට්ටුවෙන්. මේක ගත්තේ මගේ පරණ නොකියා 6220 ක්ලැසික් එකෙන්. එයා තවම වැඩ.

මේ සෙක්ෂන් එක අපි කවර් කරන තුන් වෙනි නැත්තම් හතර වෙනි වතාව තමයි මේක. ඒ නිසා ඉතින් ලොකුවට අමුතුවෙන් බලන්න දෙයක් තිබ්බෙත් නැහැ. සූම් ලෙන්ස් එකක් අරගෙන ගියාට, අඩි 50-100ක දෘශ්‍යතාවය එක්ක ඒකෙන් වැඩක් උනෙත් නැහැ. හයික් එක අවසන් කරලා, අපි හවස 2.05 වෙනකොට ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයට ලඟා උනා. 

ඔන්න අපි ආවා මහා බටහිර ට..

ඒ වෙද්දීත් අඹේවෙල දුම්රිය ස්ථානයෙන් 8 ඩවුන් එක පිටත් වෙලා තිබ්බේ නැහැ. අර සෙට් එක එනවද එනවද කියලත් අපි මග දිගටම බලාගෙන ආවත්, එන පාටක් පේන්න තිබ්බෙත් නැති නිසා අපි හිතුවා එයාලා රදැල්ලේ නතර වෙන්න ඇති කියල (අපිට හැමදාම වගේ දැකලා එකම වගේ උනාට එයාලගේ පැත්තෙන් බලද්දී එතැනත් හරි ලස්සනයි, විශේෂෙන් එදා මීදුම එක්ක).

අපි ඉතින් ස්ථානාධිපතිතුමාගෙන් අවසර අරගෙන, දවල්ට අපි අරන් ගිය පාන් එක්ක රොටී කාලා, පොඩ්ඩක් ඇවිද ඇවිද හිටියා වටේ ෆොටෝ ටිකක් එහෙම අරගෙන. මම ගිය අවුරුද්දේ ට්‍රේනිං ඉන්නකොට ග්‍රේට් වෙස්ටර්න් සංඥාකරු විදියට හිටපු කෙනාත් තාම එතන. මම ඉතින් පොඩ්ඩක් කතා බහ කරලා ආවා (මේ දුම්රිය ස්ථානයේ විශේෂත්වයක් තියනවා. මම ආපහු “කාර්මාන්ත පුහුණුව” සටහන් පෙළ පල කරන නිසා ඒ ගැන එතැනදී කියන්න ඉතුරු කරගන්නවා). 

ඉහලට යන උඩරට මැණිකේ.. ඔය කුඩයක් ඉහලාගෙන පල්ලෙහා ඉන්නේ ටැබ්ලට් එක ගන්න ගිය කෙනා.

විනාඩි 50ක විතර ප්‍රමාදයක් එක්ක, අමු වැස්සේම 8 ඩවුන් එක ග්‍රේට් වෙස්ටර්න් වලට ආවා. ඊට විනාඩි 10කට වගේ කලින්, අර සෙට් එකත් තෙමීගෙනම ස්ටේෂන් එකට ආවා (මම හැබැයි කිව්වා ඔයාලා මරු, බැරි වෙලාවත් ඕක මිස් උනා නම් හෙට උදේ තමයි ගෙදර යන්න වෙන්නේ කියල). කෝච්චියේ වැඩි සෙනගක් හිටියෙත් නැති නිසා, අපිට ජනෙල් අයිනේ සීට් ටිකක්ම හම්බුනා.

වෙනදා වගේ නැතුව, ලොකුවට මග පරක්කු වෙන්නේ නැතුව, S14 එක්ක එන පොඩි මැණිකේට වඩා තරමක දැනෙන සීඝ්‍රගාමී ගමනකින් M6 – 783 එක්ක 8 ඩවුන් එක පල්ලම් බැස්සා. මගදී ෆොටෝ එකක් වත් ගන්න දෙයක් නැහැ, වටේටම මීදුම. හරියට මොකක් හරි අද්භූත බලයකින්, මුළු දුම්රිය මාර්ගයම අහසට උස්සලා තිබ්බා වගේ හැඟීමක් තමයි දැනුනේ. 

සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල.. අල්ලගන්න පුළුවන් උන එකම දිය ඇල්ල ඕක. ඇයි අනික්වා ඔක්කොම මීදුමෙන් වැහිලා..

අපි නාවලපිටියට එනකොට, ප්‍රමාදය විනාඩි 40ක් දක්වා අඩු කරගන්න දුම්රියේ කාර්යය මණ්ඩලය සමත් වෙලා තිබ්බා. නාවලපිටියෙන් පහලට ධාවනය වෙද්දී, මෙතෙක් අහන්නට නොලැබුන යම් ශබ්දයක් මට ඇහෙන්න ගත්තා. පොඩ්ඩක් කන්දිහාගෙන ඉන්නකොට මට තේරුනා මේ වෙන්නේ අපිට පිටිපස්සේ පෙට්ටිය වෙච්ච TC – 16023 මැදිරියේ පළවෙනි ඇක්සල් එක හිර වෙලා, ඇදි ඇදී එන එක කියලා. ගම්පොල වෙනකල් ටිකක් බලාගෙන ඉඳලා, ගිහිං කාර්යය මණ්ඩලය දැනුවත් කරා. 

බ්‍රේක් හිර උන ඇක්සල් එක. මේක ගත්තේ ගම්පොළට එන අතරමග..

ගම්පොල දී අපිව ඉහලට එන ටිකිරි මැණිකේ එක්ක මාරු වෙන්න පාෂ මාර්ගයට ගත්තා. ඒ ෂන්ටින් එකේදී, අදාළ ඇක්සලය කිසිම විදියකට කැරකෙන්නේ නැති වෙන්නම ලොක් උනා. ඒ අමු වැස්සේ උනත් ෆුට් බෝඩ් එකට දැනුනා ඇක්සල් එකේ රස්නය. ටිකිරි මැණිකේ එනකල් කොහොම හරි උප නියාමක මහතා ඒ ප්‍රශ්නය බලලා, අදාළ පියවර අරගෙන, බ්‍රේක් රිලීස් කෝඩ් ඇදලා හිර වෙලා තිබ්බ තිරිංග පලු නිදහස් කරලා ප්‍රශ්නය විසඳුවා.

ඉතිං ඔන්න ඔහොම මේ අවුරුද්දේ ගිය පළමු සහ එකම දුම්රිය හයික් එක, 1008 එක හවස 6 හමාර වෙනකොට ගෙලිඔයට සේන්දු වීමත් එක්ක අවසන් උනා. අශාන් එහෙමම 8 ඩවුන් එකේ ගියා. මම අමු වැස්සේම ගෙදර ආවා. ඇත්තටම කිව්වොත් මේ ගමන හිතේ තිබ්බ අඳුරු මූසල බර ගතිය සෑහෙන තරමකින් අඩු කරන්න සමත් උනා. ඒ වගේම මට පුදුම හිතුන දේ තමයි, මෙහෙදී පොඩි වැස්සකට තෙමුනත් හෙම්බිරිස්සාව හැදිලා ඤාව් වෙන මට, අච්චර අමු සීතලේ වැස්සේ ඉඳලත් කිබුහුමක් වත් ගියේ නැති එක.

කොහොම හරි, මම ස්තුතිවන්ත වෙනවා මගේ මිත්‍රයා අශාන්ට, එයා තනියම යන්න හිටි ගමනට මාවත් එක්කරගත්තට. ඒ වගේම, ගෙලිඔය, නාවලපිටිය, පේරාදෙණිය, දෙමෝදර, නානුඔය සහ ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථාන කාර්යයමණ්ඩල වලටත්, අපිට උදව් කරපු බණ්ඩාරවෙල, නානුඔය මාර්ග අංශයේ අයටත්.

ඊළඟ සතියේ අවුරුද්ද අග රිවීව් එක ලියන්නත් තියනවා, ඒ වගේම එතනින් පස්සේ සුපුරුදු විදියට සතියක් ගානේ කර්මාන්ත පුහුණුව ලිපි පෙළ පල කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම්, වසර අග සමාලෝචනයෙන් හමු වෙමු..