Monday, December 31, 2012

අවුරුද්දක සාරාංශය.

 මේ අවුරුද්ද, එසේත් නැත්නම් ව්‍යවහාර වර්ෂයෙන් 2012 වර්ෂය මට සුභ මෙන්ම අසුභ දේ ද උරුම කර දුන් අවුරුද්දකි. නමුත් කල්පනා කර බලන විට මේ අවුරුද්දේ සුභ දේ වලට වඩා අසුභ දේ වැඩි බව මට සිතේ. අනික් අතට, මේ අවුරුද්දේ මා අවුරුදු 14ක් එක දිගට ගිය, මට ගෙදර සේ සමීප වූ මාගේ පාසල වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ මා ගත කල අවසාන වර්ෂය ලෙස මේ වසර සටහන් විය. මේ වසරේ සිදු වූ වඩාත්ම දුක් බර, අසතුටුදායක සිදු වීම නම් එයයි. එය හරියටම ගෙදරින් එලියට යාමට සිදු වූවාක් මෙන් දැනුනි.
මේ මා ශිෂ්‍යයෙක් ලෙස විදුහල දකින අවසාන අවස්ථාවයි....

මේ වසරේ අගෝස්තු මස මා අ. පො. ස. හුචස් පෙළ විභාගයට පෙනී සිටි අතර එයද  සිතූ තරම් යහපත් නොවීය. එහි රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රය දුටු විට මට එය කෑමට තරම් සිත් විය.
හුචස් පෙළත් ඉවරයි...
සිදු වූ තවත් දෙයක් නම් මට තව දුරටත් පාසල් වාරප්‍රවේශ පත්‍රය වලංගු නොවීමයි. මේ හේතුවෙන් කලින් රුපියල් 90ට ගිය මාසයට සැප්තැම්බර් මස සිට 240ක් ගෙවීමට සිදු විය. ප්‍රවාහනය ගැන කියද්දී මේ වසරේ මුලදී මහනුවරින් උදේ 10.15ට පිටත් වීමට තිබු දුම්රියද 9.40ට පිටත් වීමට වෙලාව වෙනස් කරන ලදී. ඒ අනුව දැන් උදේ 8ටේ දුම්රියෙන් නුවර ගොස් වැඩ ටිකක් කරගෙන අඩුම තරමේ පුස්තකාලයට වත් ගොස් ඒමට දැන් දුම්රියක් නැත.

තව බොහෝ දේවල් සිදු විය. ඒ අතර යහළුවන් ඈත් වීම් බොහෝ ප්‍රමාණයක් සිදු විය. ඒ ප්‍රමාණයද මේ වසරේ අධික විය. පාසලෙන් අස් වීම එක හේතුවක් වූ අතර තව නොයෙක් හේතුද ඒ සඳහා හේතු විය. තවත් සමහර මිතුරන් තරහ වූ අතර එයින් කිහිප දෙනෙක් මා සතුරෙක් හැටියට සලකන්නට පටන් ගෙන ඇත.

මේ වසරේ මට පමණක් නොව රටටද එතරම් සුභ කාලයක් නොවූ බව ආපසු මතක් කිරීමෙන් පෙනී යනුඇත.බොහෝ කලකෝලාහල ඇති වූ අතර උසස් පෙළ 2011 ප්‍රතිපල වලින් ආරම්භ වී අය වැය හරහා ලෝක විනාසයක් ගැන කතාවක් දක්වා එය ඇදී ආවේය..
                                     
                                                                      **********

අසුභ දේවල් වලින් සිදු වූ සුභ දේවල් පැත්තට ගියහොත් ඒ පැත්තෙන්ද දේවල් සිදු වී ඇත. ඒ අතර මා හට හොඳ යහළුවන් කිහිප දෙනෙක් අඳුනාගන්නට ලැබීම හා ඔවුන් සමග දුම්රිය චාරිකා කිහිපයක් සිදු කරන්නට ලැබීමද, S12 දුම්රිය මේ වසරේ මගේ උපන්දිනය යෙදී තිබු දිනම මහනුවරට සිය ප්‍රථම පරීක්ෂණ ධාවනය කිරීම හා ප්‍රියන්ත අයියා සමග එය බැලීමට යාමට ලැබීම ගත හැකිය. පසුව මහනුවරට ගොස් තවත් දෙදෙනෙක්, එනම්  නලින් අයියා  සහ  ප්‍රියංක මහතා  හමු වී එම S12 දුම්රිය ඇතුලට නැගී බැලීමට හැකි වීමද විශේෂයකි.
ප්‍රථම පරීක්ෂණ ධාවනය.

තවත් හොඳ දෙයක් නම් මා කලින්සඳහන් කල පරිදි අශාන්  සහ සංජය නම් මිතුරන් දෙදෙනා හමු වීමයි. ඒ අතරින් සංජය දුර වැඩි කම නිසා නිතර හමු නොවුනත් අශාන් සමග මහනුවර දුම්රිය  ධාවනාගාරය, දුම්රිය අංගනය, මහනුවර නගරය, සහ කඩුගන්නාව- රඹුක්කන අතර දුම්රිය පාගමන් දෙකක්ද  ඇතුළුව බොහෝ සංචාර සංඛ්‍යාවක් කලෙමි. ඒවාට මා සමග පැමිණීමට ඔහුට අතිශයින් ස්තුති වන්ත වෙමි.

ඒ සමගම හුචස් පෙළ විභාගය අවසන් වූ පසු රත්නපුර, ගම්පහ ආදී ප්‍රදේශ වලද සංචාරය කලෙමි. එම ගමන් තනියම ගිය අතර අලුත් දුම්රියෙන් නානුඔය බලා දෙවරක්ම යාමට ලැබුණි. ඒ එක් අවස්ථාවකදී සිදු වූ දෙය පිලිබඳ කලින්  සටහනකින් විස්තර ගෙනාවෙමි.

ඒ අතර තවත් යහළුවන් දෙදෙනෙක් සමග පොඩි මැණිකේ දුම්රියෙන් බදුල්ල. දක්වා අමතක නොවන චාරිකාවක් ගියෙමි. ඒ සඳහා අනුග්‍රහය දැක්වූ අකිල කරුණාරත්න හා ජනක මිලන්ත අයියලාට මාගේ ස්තුතිය පිරිනමමි.

තවත් දෙයක් නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ විධායක ශ්‍රේණියේ ඉහලම නිලධාරීන් දෙදෙනෙකු හමු වීමට ලැබීමයි. දෙමටගොඩ ධාවනාගාරය නැරඹීමට ලැබීම හා වසරේ අවසාන කාලයේදී අශාන් සමග මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සහ කැළණි මිටියාවත මාර්ගයේ මද දුරක් ගමන් කිරීමට ලැබීමද එක් හොඳ සිදු වීමකි.
මුහුදුබඩ මාර්ගයේ..

වර්ෂයේ අවසාන ගමන ලෙස උඩරට මැණිකේ දුම්රියෙන් ගම්පහ ගොස්පසුදා උදේ ආනන්ද පාසලේ පිහිනුම් තටාකයට බැස, පසුවදා මෝටර් රියකින් කෑගල්ලට පැමිණ 27 වනදා යතුරු පැදියකින් අයියා කෙනෙක් සමග ගෙදර පැමිණීම සටහන් කල යුතුමය. ඒ එය මගේ ජීවිතයේ මෙතෙක් කල් ගිය දුරම යතුරු පැදි සවාරිය වූ නිසාය...

රට පැත්තෙන් බැලුවද මේ වසරේ අද්භූත එලි, අමුතු පාට වැසි ආදියෙන් "කුල්මත්"වූ වසරක් බැව් නොකීවොත් මේ සටහන සම්පූර්ණ නොවනු ඇත..


සිදු වූ තවත් දෙයක් වන්නේ මේ බ්ලොග් අඩවිය ආරම්භ කිරීමයි..

ඉතින් මිතුරනි..
පුරා වසරක් පමණ කාලයක් මා සමග රැඳී සිටි සහ ඊටත් බොහෝ කලින් සිට මා දන්නා හඳුනන, මාගේ මිතුරු ඔබ සැමට උදා වන 2013 නව වසර සාමය සතුට සපිරි සුභම සුභ නව වසරක් වේවා!! කියා මා ප්‍රාර්ථනා කරන්නෙමි....

Friday, December 21, 2012

ලෝක විනාසය.

අද ඔය මොකද්ද ලෝක විනාසයක්ද මොකද්ද එකක් එනවා කිව්වනේ...
මම ඊයේ රෑ 12 වෙනකල්ඇහැරලා හිටිය ඕක ලයිව් බලාගන්න කියල...
ඒත් ආපු රෙද්දක් නෑනෙ..
ඉතින් ඔන්න ඔහේ කියල නිදාගත්තා..


යකෝ උදේ ඇහැරලා බලද්දී වැහැ වැහැ තිබ්බ එක මෙන්න හොඳට පායලා!!
ඇයි යකෝ මූණු පොත පැත්තේ තිබ්බනේ අද නිබිරු ඇවිත් වදිනවා, සීබ්‍රා ද මොකුන්දෝ එනවා, ටී සුනාමි එනවා කියල..
ඒ මුකුත් අහන්න වත් දකින්න වත් නෑ. අහසේත් එක වලාකුලක් තිබ්බේ නෑ. පියාඹන පීරිසියක් තියා කෝප්පයක්වත් දැක්කේ නෑ..
ඒ නිසා ඔන්න ඔහේ කියල ගියා නුවර පැත්තේ.. ටවුන් එකේ කිසි වෙනසක් නෑ වෙනද වගේම සෙනග හිටියා.


බලන් යද්දී මේකත් නිකම්ම පුස් බොරුවක් විතරයි කියලයි මට හිතුනේ.....


එත්..
මම දැක්ක ප්‍රවෘති වලට පෙන්නුවා ගාල්ලේ, කොළඹ එහෙම නගර එහෙම පිටින්ම වගේ පාලුවෙලා ගිහින්..
තව සමහර උදවිය ගෙවල් වලිනුත් එලියට බැහැල නෑ.

මේ ගැන මට හිතෙන දේ නම්,,
යකෝ, කැලෙන්ඩරයක් ඉවර වෙච්ච පලියට ලෝකේ විනාස වෙනවා නම්,, මෙලහට මේ ලෝකේ කීපාරක් විනාස වෙලා තියෙන්න ඕනෙද??

Friday, December 14, 2012

පිටසක්වල යානා..



අපේ එකක් නම් නෙවේ ඔන්න..
මේ දවස් වල ඉතින් රතු වැහි උල්කා වැහි අර වැහි මේ වැහි වලින් කෙළවරක් නෑ.. වහින වැස්සේ වතුර බනිදු වලටත් වඩා වැහි තොගයක් ලංකාවට වහිනවා.. ඒ අස්සේ මතු වෙච්ච අලුත්ම කේස් එක තමා පියාඹන පීරිසි කේස් එක. පියාඹන පීරිසි කිව්වට අමුතු එලි කියල තමා කතාව එලියට ආවේ. මේ වෙනකොට උඩරට කඳුකරයෙන් ඇරෙන්න රටේ අනිත් හතර දිගින්ම මේ ගැන වාර්තා වෙලා තියනවා. (මම හිතන්නේ පීරිසි වලට කඳු අදින්න බැරුව ඇති එක්කෝ නැත්තම් කඳු වල හැප්පෙයි කියල බය ඇති)

මේක නම් ඇත්තටම ගත් එකක් කියල කියන්නේ.. අනේ මන්දා....
කොහොමින් කොහොමින් හරි පළවෙනියට පුත්තලමෙන් පටන් ගත්තු එලි කතාව මේ වෙනකොට ගාල්ල, ගම්පහ, අකුරණ වගේ හැමතැනටම ගිහින්. ඔයාලට මතක ඇති සමහර විට 2001කේ එහෙමත් අනුරාධපුර පොලොන්නරුව පැත්තේ මේ වගේම පාතින් යන නිල් පාට එලි වගයක් ගැන කතාවක් ගියා. ඒක ගැන ප්‍රවෘති වලට හිටන් පෙන්නුවා. කට්ටියක් පරාක්‍රම සමුද්‍රය හරියට වෙලා ගවේෂනයකුත් කරාලු. එකේදී එයාලටත් මොනවදෝ අමුතු එලි වගයක් දකින්නන ලැබුන කියල තමා මේ පැත්තට ආරංචිය ආවේ.

ඒ මේ කොහොම වෙතත් කව්රුත් නොහිතන පැත්තකුත් මේ කතා ඇතුලේ තියෙන්න පුළුවන්. ඒ තමා දියුණුයි කියල කියාගන්න රටවල් අනික් රටවල් වල කටයුතු හොයා බලන්න දාපු අපූරු උපක්‍රමයක් වෙන්නත් පුළුවන් මේක. මොකද මේවා දැකපු ගමන් සාමාන්‍ය මිනිස්සු දුවල හැන්ගෙනවා. හමුදාවක් උනත් වෙඩි තියන්න නිර්භීත වේවි කියල හිතන්න අමාරුයි.  එන්න ඒ නිසා අර වගේ වැඩක් වෙන්න හොඳටම ඉඩ කඩ තියනවා.

ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කල රේඩාර් වලට අහු නොවෙන ගුවන් යානයක් වන F117- Night Hawk යානය.
ඇමෙරිකාවේ ප්ලේන් හදල තියනවා මොනම රේඩාර් උපාංගයකට වත් අහු නොවෙන. ඉතින් අපේ ලෝකෙම එහෙම දේවල් තියද්දි මේවා රේඩාර් වලට අහු වෙලා නෑ කියලා මෙහෙම දේවල් නෑ, ඕව බොරු කියල අහක දාන එකත් එච්චරම හොඳ නෑ.

අනික තව සමහර අය කියන දෙයක් තමා මේ අරන් තියන පින්තූර බොරු, ඒවා නිකම්ම බල්බ් එහෙම අරන් ෆොටෝ ෂොප් වගේ එව්වලින් එඩිට් කරලා දාපුවා කියල. එකේ වරද්දකුත් නෑ මොකද එහෙම කරන අයත් ඉන්න නිසා. ඒත් එක එහෙමයි කියල හැම ජායාරූපයක්ම එහෙම නෙවෙයි නේද?
 තව සමහරු කියනවා ඒවා කැමරා වල කාච දෝෂ, ජල වාෂ්ප, දූවිලි නිසා හැදුන ඒවා කියල. ඒකට නම් මම එකඟ නෑ මොකද ඉස්සෙල්ල ඇහින් දකලානේ පස්සේ වීඩියෝ කරන්නේ..
අනික ගොඩ දෙනෙක් එක වර දැකපු තැනුත් තියනවා.. ඒ හැමෝගෙම ඇස් වල එකම වෙලාවේ එකම දොශේ එන්න අමාරුයි නේද??

ඉතින්...
මේ ගැනතවත් මම කතා කරලා වැඩක් නෑ.. මම මේ සටහන අවසන් කරන්නම් ඉංග්‍රීසි නාට්‍ය රචක ශේක්ස්පියර් මහතාගේ නාට්‍යකින් උපුටාගත් කොටසකින්..
"හොරෙශෝ.. ඔබගේ දර්ශනයට හසු නොවන බොහෝ දේ ස්වර්ගයේත් මහා පොළොවේත් ඇත.."

Wednesday, December 5, 2012

පරපුරක අවසානය..


W1- 650 මරදානේදී ගත් ජායාරූපයක්. (2012-11-20)
ඩීසල්- ද්‍රවශක්ති එන්ජින් පරපුරේ ආරම්භක පරපුර වූ W1 ධාවන පන්තිය එහි අවසානය කරා ලඟාවෙමින් සිටි..
1969 වසරේ දුම්රිය ස්වර්ණමය යුගයේදී එකල දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරය දැරූ බී. ඩී. රම්පාල මහතා ධාවන බලය ඩීසල් වලට හැරවීමේ අරමුණින් බටහිර හා නැගෙනහිර ජර්මනියෙන් ඩීසල්- ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් 60ක් ගෙන ඒමට ඇනවුම් කිරීමත් සමගම මේ රටේ ගල් අඟුරු හා ඩීසල් - විදුලි ක්‍රමයට පමණක් සීමා වී තිබු දුම්රිය ප්‍රවාහනය යාන්ත්‍රික විය. බටහිර ජර්මනියෙන් W1 පන්තිය යටතේ අශ්ව බල 1150කින් යුතු එන්ජින් 45ක්ද, නැගෙනහිර ජර්මනියෙන් W2 පන්තිය යටතේ අශ්ව බල 1578ක බලයකින් යුත් එන්ජින් 15ක් උඩරට මාර්ගයේ ධාවනයට ගෙන්වන ලදී. ඒ එන්ජින් අතුරින් W2 පන්තියේ එන්ජින් අධික ජවයකින් යුතු වූ බව පැවසෙන අතර දිශා තෝරන ලීවරය (Direction of travel lever) එක පැත්තකට දමා එන්ජිම පන ගැන්වූ විට එන්ජිම ඒ පැත්තට පනින බව කියවේ.

කෙසේ නමුත් මේවායේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත මෝටර් රථයක මෙන් සුමට ධාවන හැකියාවක් වූ අතර සමකාලීන අන් එන්ජින් මෙන් නොව ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය විය. ඉතා අධික බ්‍රමණ වේගයක් සහිත එන්ජින් වලින් සමන්විත වූ මේ එන්ජින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති දුම්රිය මාර්ග වල කරක් ගැසුවේ ධාවනය වූ සෑම ආකාරයකම දුම්රිය ධාවනය කරමිනි. (පටු දුම්රිය මාර්ගයක් වූ කොළඹ- ඕපනායක මාර්ගයේ හැර). උඩරට මාර්ගයේ තියුණු නැග්ම එක එන්ජිමක් භාවිතයෙන් තරණය කිරීමට මේවාට හැකි වූ බව කියවේ.

කෙසේ නමුත් රම්පාල මහතාගේ නික්ම යාමත් සමග දුම්රිය සේවයේ කඩා වැටීම ආරම්භ වූ අතර මෙම ද්‍රවශක්ති එන්ජින් වල අදාළ අලුත්වැඩියාවන් ඒ නියමිත කාලයටම කල යුතු වූ අතර එසේ නොවීමෙන් ඒවායේ අධික බ්‍රමණ වේගයන් හේතුවෙන් ගෙවීම් අධික වීමෙන් හානි වේ. එසේම ද්‍රවශක්ති එන්ජින් වල බල සම්ප්‍රේෂණය කිරීමට ඇති ද්‍රවයට නිසි ගණත්වයක් වන අතර එය නොමැති වීමෙන් ඒ උපකරණද හානි වේ. නුපුහුණු කාර්මිකයින්ගේ නොසැලකිලිමත් අලුත්වැඩියාවන් ආදී කටයුතු නිසා 1980 දශකය වන විට මෙම එන්ජින් වලින් සැලකිය යුතු කොටසක් ධාවනයෙන් ඉවත්ව තිබු බව පෙනෙන අතර එසේ ඉවත් වූ එන්ජින් වලින් කොටස් ගෙන එන්ජින් කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තම්නේතුව කටයුතු කර තිබේ.

මේ අතරම මේවායේ නිෂ්පාදකයින් කියා තිබුනේ වසර 10කින් මේවායේ බලසැපයුම් එන්ජින් වෙනස් කලයුතු බවයි. නමුත් ඒ අතරම W2 නිපදවූ සමාගම වැසී යාමෙන් එම පන්තියට අවශ්‍ය අමතර කොටස් හිඟ වන්නට විය. එන්ජින් අලුතෙන් තබන්නට යන වියදමින් අලුත් එන්ජින් කිහිපයක් ගත හැකි වූ බැවින් මෙම වටිනා එන්ජින් තැන තැන අත්හැර දැමෙන්නට පටන් ගත්තේය. එයින් බොහෝ එන්ජින් යකඩ වලට කපා අලෙවි කරන ලද අතර අනෙක් ඒවා වල වැදුනි.

නමුත් වර්ෂ 1997තේදී ජර්මන් ජාතිකයෙකුගේ මැදිහත්වීමෙන් W1 පන්තියට අයත් 631, 636, 638, 647, 659, 665, 666, 667, 669 හා 673 දරණ එන්ජින් වලට කැටපිලර් එන්ජින් හා ඩයිනමික් බ්රේක් එකතු කර W3 ධාවන පන්තිය යටතේ නැවත ධාවනයට එකතු කරන ලදී. එම එන්ජින් සියල්ලම වගකීම් කාලය ඉක්මවා අවුරුදු 5 කට පසුවත් ඉතා හොඳින් ධාවනය වේ.
W1 පන්තියේ එන්ජින් වලට අලුතෙන් බල සැපයුම් එන්ජින් සවි කර W3 යනුවෙන් ධාවනයට එක් කල 666 එන්ජිම. 


කෙසේ හෝ මෙය ලියන 2012 වර්ෂය පටන් ගන්නා විට W1 ධාවන පන්තියේ එන්ජින් 3ක් ධාවනය වූ අතර ඒ අංක 650, 657 හා 658 යන එන්ජින්ය. ධාවන තත්වයේ තිබු අවසාන W2 එන්ජිම වූ අංක 715 දරණ එන්ජිම 2011 වසරේ අගදී අත්හැර දැමුණු බව දැනගන්නට ඇති අතර ඒ අනුව ඒක කලෙක විශිෂ්ට සේවයක් කල දුම්රිය සේවයේ යෝධ පරපුරක අවසානය එසේ සනිටුහන් විය.
W1 පන්තියටද මේ ඉරණමම අත්වෙන්නට යන බව පෙනෙන්නට තිබෙන අතර අද දින (2012-12-05) සිදු වූ පීලි පැනීමකින් පසු ධාවන තත්වයේ ඇති ගණන 1ක් බවට පත් වී ඇත. දැනට ධාවනය වන්නේ 657 පමණකි. 658 දරන එන්ජිමත් මෑතකදී අලුත් වැඩියාවන් අත්හැරදමා ඇති සැටියකි. 650 දරන එන්ජිම අද දින පීලි පැනීමට ලක් විය. ඒ අනුව ළඟදීම ඓතිහාසික දුම්රිය පන්තියක සාක්ෂි රහිත අවසානය ළඟදීම සිදු වනු ඇත...........

ප/ලි-  ද්‍රවශක්ති බල සම්ප්‍රේෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න- මෙතනින් හෝ   මෙතනින්..

W1 ධාවන පන්තිය ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

W2 ධාවන පන්තියේ විස්තර සඳහා පිවිසෙන්න.

W3 ධාවන පන්තියේ විස්තර මෙතනින්.

Tuesday, December 4, 2012

අනේ ඉතින් ඒ කාලේ....


           මම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නේ ටිකක් හිතේ අමාරුවෙන්.. ඒ මොකද කියනවා නම් අවුරුදු 10ක් පමණ පුරා එක දිගට කරගෙන ආ, වෙනස් නොවූ පිළිවෙත් කිසිවකින් තොරව තවත් අවුරුද්දක අවසානයේ මුවගට පැමිණ සිටීමයි..........
         වෙනද මේ දවස් වෙනකොට අඟේ අමාරුවටම නිදි රෑ 9 විතර වෙනකොට. ඇයි ඉතින් උදේ 7.20ට ඉස්කෝලේ ගියාම සෙල්ලම් කරන්න පටන් ගන්න එක නවත්තනේ ආයෙත් එක ඇරෙන වෙලාවට, ඒ කියන්නේ දවල් දෙක හමාරටනේ. (මහනුවර ත්‍රිත්ව විදුහල දවසේ වැඩ අවසන් කරන්නේ දෙකයි තිහට) ඒ සෙල්ලම එතනින් නවතින්නෙත් නෑ. මොකද මම පිහිනුම් කණ්ඩායමේ හිටි නිසා ඒ පුහුණුවීම් තියනවා. ඉතින් හොඳට නාගෙන එහෙම පාසලෙන් එලියට බහිද්දී වෙලාව හවස 4.30යි! 
                                 
මේකේ ආය කවදා පීනන්නද...........

           ඒ දවස් වල ඉතින් උදේ නම් ලකුණු කරන්න පන්තියට ඇවිත් ගියාම අය යන්නේ හදිසියෙන්වත් ලකුණු දෙනවා කිව්වොත්, නැත්තම් ඉතින් දවල්ට කන්න තමයි. ඒ කරලත් ආයෙම කරන්නේ සෙල්ලම් කරන එක. ක්‍රිකට් ගහන බොලේ පලුනම එකෙන්ම ටැප් රගර් සෙල්ලම් කරපු ඒ සුන්දර කාලේ ආය කවදාවත් එන්නේ නෑ........


මෙතන තමා අපි හය වසරේ ඉඳන් පාසල් ජීවිතයේ අවසාන දවස දක්වා සෙල්ලම් කරේ... (පිට්ටනිය තිබුනත් එතෙන්ට වඩා මෙතන හොඳයි)


           එහෙම සෙල්ලම් කරන්න නොගිය දාට කරන්නේ පන්තියේ මුල්ලකට වෙලා සෙට් එකත් එක්ක සින්දුවක් ගහන එක. අපේම බීට් එකට සමහර විට වචන අතින් දාල හරි සින්දුව ගහනකොට එන ත්‍රිල් එක මොන මියුසිකල් ෂෝ එහෙකින්වත් ගන්න බෑ කියල මම ඕනෙම ඔට්ටුවක් අල්ලනවා.

           මේ දවස් වල ඉතින් ටර්ම් ටෙස්ට් ඉවර නිසා ගෙදර ඇවිල්ලත් පොතක් අල්ලන්නේ නෑ. ඒ දවස් වල මේකාලෙට තිබ්බ පිස්සුව උනේ සරුංගල් හැදීම සහ එව්වා යැවීම. ඒකට ඉතින් තල් කූරු හොයල හෙන ගේමක් දීල සල්ලි හොයාගෙන සව් කොළ ගෙනල්ල තව තංගුස් නූල් පන්දුවකුත් ගෙනල්ල එකත් ලීයක් වටේ ඔතාගෙන පොඩි ගේමක් දෙන්න ඕනේ. අනික අපිට සරුංගල් යවන්න කියල ලොකු ඉඩක් තිබ්බේ නෑ. ඉතින් අපි තෝරාගත්තේ ගෙදර ඉස්සරහින්ම යන රේල් පාර. ඕක දෙපැත්තෙයි උඩින් හරහටයි ඇදල තියන කම්බි වල නොපැටලී සරුංගලේ නග්ගගන්න එකයි කෝච්චි වලට හැප්පෙන්නේ නැතිව සරුංගල් යවන එකයි හෙන යුද්දයක්.
මේක ලියන වෙලාව වෙද්දී ඒ කාලේ (2007තේ විතර) සරුංගල් දෙකක් තියනවා සාලේ පුටු දෙකක් උඩ. එකක් පට්ටමක්. අනික අලවල වේලෙන්න තියපු එකක්. ඔය සරුංගල් අරිනකොට පාවිච්චි කරන්න අපි ගාව වෙනම වචන සෙට් එකකුත් තිබ්බා. දැන් කාලේ මල්ලිලා එහෙම එව්වා අහලවත් නැතිව ඇති. කඩෙන් පොල් ඉරටු සරුංගලයක් ගෙනල්ල සන් නූල දාල ගෙදර බැල්කනියේ ඉඳන් නේ දැන් කාලේ සරුංගල් යවන්නේ..

         වෙන දවස් වලට ඉතින් ඉස්කෝලේ අරුන ගමන්ම වෑන් එකෙන් ඇවිත් තියන මොනාහරි ගිලදාලා දුවනවා සෙල්ලම් කරන්න. ඒවා ඉවරල ගස් වැද්දෝ වගේ දූවිලි පෙරාගෙන ගෙදර එන්නේ 6ට විතර. ඒ ඇවිත් නාල එහෙම තේ එකක් බීල ගෙදර වැඩ කරලා නිදි. එච්චර තමා. ක්ලාස් බ්ලාස් මොකුත් නෑ ඒ කාලේ. (පන්තියෙන්ම අන්තිමටම ක්ලාස් යන්න පටන්ගත්තේ මමද කොහෙද)

          කිව්වට විස්වාස කරන්න මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමා අවුරුදු දාහතරකට පස්සේ ප්‍රගති වාර්තා පොත නැතිව ගෙදර ඉන්න පලවෙනි දෙසැම්බර් මාසේ. ඒ කාලේ අමාරුම වැඩේ ඕක ගෙදරට පෙන්නන එක. (මොකෝ ඉතින් අපි පයිතගරස්ලා නෙවෙයිනේ )

ඒ කාලේ දෙසැම්බර් වල තියන තව දෙයක් තමා දහම්පාසල් විභාගේ. එකට නම් මම පාඩම් කලේ දෙපාරයි. ඒ දහය වසරේ විභාගේටයි දහම් පාසල් අවසාන විභාගේටයි විතරයි. අනිත් අවුරුදු වල නම් පොත අල්ලන්නේ වත් නෑ.

         ඒ දවස් වල පාසල් කාලේ කරපු තව වැඩක් තමා නිවාඩු දෙන දවසේ ගුරුතුමන්ටයි තුමියන්ටයි වැඳලා එන එක. ඇත්තෙන්ම ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය ඉතාම වටිනා දෙයක්. ඉතින් අපි අපිට උගන්නපු ගුරුවර ගුරුවරියන්ට බුලත් දීල වැඳලා තමා නිවාඩුවට ගෙදර එන්න පිටත් වෙන්නේ. මේ දෙසැම්බර් මාසේ ඒ කිසිම දෙයක් නෑ...

         අවුරුද්ද අන්තිමේ බොහෝ අවුරුදු වල අපි පන්තියම එකතු වෙලා පාටියක් දානවා. හැමෝම මොනාහරි ගෙනල්ල කාල බීල සන්තෝසෙන් අවුරුද්ද ඉවර කරනවා. නමුත් ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී ඒ යාළුවො රටේ තැන තැන. එහෙම එකතු වීමක් ගැන දැන් හිතන්නවත් අමාරු විදියට අපි ඈත් වෙලා..

         මීට අවුරුදු 14කට කලින් මුල්ම දවසේ අප්පච්චිගේ අතේ එල්ලිලා පාසල් භූමියට පා තියද්දි ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙන එක ගැන දැනුනු දැඩි කනගාටුවට වැඩි කනගාටුවක් ඊට අවුරුදු 14කට පස්සේ එතන දාල එද්දී නොදැනුනා කිව්වොත් ඇත්තෙන්ම එක බොරුවක්. මම හිතන්නේ එක දිගට එච්චර කාලයක් ඒ වගේ තැනක හිටපු ඕනෙම කෙනෙක්ට එක සාධාරණයි. අනික අපි මුලින්ම ඇතුලට යද්දී අපිව සනසන්න, අපිව භාරගන්න ගුරුවර ගුරුවරියන් හිටිය. එයාල ගෙදරින් පිට කියල නොහිතෙන්න වෙනසක් නොදැනෙන්න අපිව බලාගත්ත. ඕනේ දෙයක් කතා කරන්න යාළුවො හිටිය. නමුත්, නමුත් ඊට අවුරුදු 14කට පස්සේ අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට බැහැල පය තියන්නේ සමාජයට. එතන කවුරු විස්වාස කරන්නද, මොනවා වෙයිද කියල කලින් කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ ඇත්තටම අපි වෙනම ලෝකෙකට යනවා වගේ. එහෙම තැනකට ගිහින් බොහෝ විට කරදරේක වැටුනම, එහෙමත් නැත්තම් අමාරු අවස්ථාවකට මුහුණ දීපු වෙලාවක තරම් අපිට අපේ පාසල ගැන මතක් වෙන වෙලාවක් තවත් නෑ කියල මම කියනවා.

         මම මේ ටික ලිව්වේ හිතේ තියන හැම දෙයක්ම එලියට දාන ඕනෙවට. නමුත් එක හිතුව තරම් ලේසි නෑ. අපි ඇත්තටම මුල්ම දවස් වල ඉස්කෝලෙට වෛර කරනවා. ගුරුවරුන්ට පලු යන්න බනිනවා. උදේට සමහර ගෙවල් වල දෙවෙනි ලෝක යුද්දේ රිපීට් වෙනවා.. ඒ උනාට, අපි ගොඩ දෙනෙක්ට පාසල් කාලය තරම් සුන්දර කාලයක් අය ජීවිතේටම එන්නේ නෑ. ඒ කාලේ සිද්ද වෙච්ච පුංචි සිදුවීමක් උනත් පහු කාලේ ආසාවෙන් සිහිපත් වෙන දෙයක් වෙනවා.. මේ සටහන අවසන් කරන්න මම පාසල් පුස්තකාලේ තිබිල මට හම්බ වෙලා කියවපු ගුණදාස ලියනගේ මහත්මය ලියපු "මල්ලිගේ විත්ති " කියන පොතේ හැඳින්වීමෙන් උපුටාගත් පාඨයක් යොදාගන්නම්...
"පසු වී ගිය යුගය නිතර ම රසවත්ය. අප මේ ගත කරන යුගය ද ඒ තරමටම නැතිනම් ඊටත් වඩා රසවත්ය. එහෙත් ඒ රසය අපිට අද නොතේරේ. කාලයාගේ ගමන සමග මේ අප ගත කරන යුගයට 'පසුගිය යුගය' යන නම යම් දිනක ලැබේද, එදාට එහි රසවත් බවත් ඉස්මතු වී පෙනෙන්නේය. එදා කරදර, හිරිහැර, කටුක දේවල් ලෙස අප සලකූ සිද්දීන් අද තනිකර රස වැදලි බවට පත් ව ඇත"

           පාසල් යුගය පසු වී ගොස් ඇත. එය නම් නියම රස වැදැල්ලක් බව සැබෑය. නමුත් ඒ රසවත් කාලය කිසි දා නැවත  මේ භවයේදී නම් නොඑනු ඇත..........
    
ඉතින් ආයුබෝවන්...

Friday, November 30, 2012

බෝඩිමේ ක්‍රමයට මැගී සෑදීම.


සතියකට එක ගානේ ලියන්න හිතාගෙන පටන් ගත්තට බලන් ගියාම එහෙමකට ලියන්න දෙයක් නෑනේ.. හරි හරි එව්වයින් කමක් නෑ අද කතාව කියන්නම්කො.

මේ දවස් වල ඉතින් මම අ.පො.ස. හුචස් පෙළ විභාගෙට ලියල ගෙදර ඉන්න කාලෙනේ.. මේ දවස් වල වැඩේ ඉතින් ඇවිදින එක තමයි. නැත්තම් අඩුම ගානේ නුවර වත් යනවා. එහෙමත් නොගිය දවසට ඉතින් ගෙදර. අදත් ඒ වගේ දවසක්. අදත් නුවර යන්න හිටියට මුණගැහෙන්න ඕනේ කෙනා ඊයෙම දුම්රියෙන් ගම රට බලා ගියා කියපු නිසා මම ඉතින් ගෙදර හිටිය. යකෝ හිටිය වගේ නෙවේ දැන් කන්නත් එපයි දවල්ට.

දවල්ට මෙහෙ උයලත් නැති නිසා, මට තිබ්බ එකම විසඳුම උනේ මැගී නූඩ්ල්ස් එකක් හදා ගැනීම තමා. එත් එව්වා එක පැකට් එකක් කන එක නිකම් අර මොකෙන්ද එකෙන් මොකද්ද ගියා වගේ නිසා දෙකක්වත් ඕනේ. හොයල බලද්දී දෙකක් හම්බුනා.. ඒත් දැන් තව පුරස්නයක්. අපේ ගෙදර තියන්නේ දර ලිපක්. ඕක පත්තු කරගන්නවා කියන්නේ හෙන ගේමක්. එතකොට බඩගින්න ගිහිල්ල තියෙයි.. ඉතින් ඕක ගැන කම්පනා කර කර ඉන්නකොට මතක් උනා ඉස්සර මම පාසලේ 4 වසරේදී බෝඩිමේ ඉන්නකොට ඔය නූඩ්ල්ස් හදාගත්තු විදිය. දැන් හරි.
ටාර් ගාල ගැහුවා හීටරේ.. රත් කරගත්ත වතුර ජෝග්ගුවක්. වතුර ප්‍රශ්නේ හරි. ඉතිරි ටික බොහොම ලේසි. වතුර රත් උනාට පස්සේ හීටරේ ගලවල අයින් කරලා මැටි ගත්ත මැටි මඩක්කුවක්. එකට වතුර දාල මැගී නූඩ්ල්ස් පැකට් දෙක කඩලා එක ඇතුලේ තියන අර අනුපානු පැකට් දෙක දැම්ම වතුරට. දාල හොඳට දිය කරා. ඒ කරලා දැම්ම නූඩ්ල්ස් ටිකත් වතුරට. කියවල හදනවා නම් එහෙම නූඩ්ල්ස් ටික කියුබ් එක පිටින්ම දාන්න එපා දෙක තුනට කඩලා දාන්න. නැත්තම් එක කොටසක් හොඳට ඉවිලා තව කොටසක් බාගෙට ඉවිලා තියෙයි. එව්වා කාල බඩේ අමාරු හැදුනම ඔන්න අපි නෑ...

ඉතින් ඔය කියපු විදියට නූඩ්ල්ස් ටිකත් දාල තව ටිකක් මිශ්‍ර කරලා ඕක වහල තිබ්බ විනාඩි දෙකක් තුනක්. (කොහොමත් 2 මිනිට්ස් නූඩ්ල්ස් කියලනේ කියන්නේ) මම ඉතින් ඕක වහල තියල පොඩ්ඩක් ගේ වටේ එහෙම කැරකිලා ආව. ඇවිත් බැලුවම ගානට ඉදිලා. දැන් ඉතින් වතුර පෙරන්නත් එපයි.. මම කරේ මඩක්කුව පිඟානකින්   වහල දෙකම අල්ලලා උස්සල හරහට නැමුව. එතකොට වතුර බේරිලා අයින් උනා නූඩ්ල්ස් කෑල්ලක් වත් හලන්නේ නැතිව. වතුර ඔක්කොම ගියාට පස්සේ ආපහු අනිත් පැත්ත හරවල ටිකක් කලවම් කරලා ගත්ත පිඟානකට දාල. මේ තියන්නේ ඒක. 
මේස රෙද්දේ ලියල තියන එව්වා ගණන් ගන්න එපා..

                             
   

Monday, November 26, 2012

අලුත් දුම්රියෙන් නානුඔයට ගිය විනෝද ගමනක් නොවූ විනෝද ගමන.




මම මේ පොස්ට් එක දාන්නේ මුළු දුම්රිය දෙපාර්තමේන්තුව ගැනම මහා කලකිරීමෙන්...  2012-11-10 දින මම මගේ පාසල් මිතුරන් දෙන්නෙක් එක්ක ගියා අලුත් බල වේග දුම්රියෙන් නානුඔයට.  අපි තුන් දෙනා ඉතින් පේරාදෙණියෙන් නුවරටත් ගිහින් ආපහු නානුඔය ගියා.. ඒ උනාට ඒ ගමන 921-922 සෙට් එක යන තරම් වේගවත් උනේ නැහැ.
අපි බලාපොරොත්තු උනේ නානුඔයේදී මොනවා හරි කන්නත් අරගෙන, උඩුපුස්සැල්ලාව දුම්රිය මාර්ගයෙන් ඉතිරි වෙලා තියන එව්වත් බලල ෆොටෝ ටිකකුත් අරගෙනම එමුයි කියල. එත් ඒ වැඩ එකක්වත් කරගන්න උනේ නැහැ මොකද ඒක ප්‍රමාද වෙලා නානුඔයට යනකොට 2.44 උනා.. ඉතින් අපිට ආපහු එන්න ටිකට් ගන්නයි ඔක්කොම කරන්නයි විනාඩි 8ක් තමා ඉතිරි උනේ..
                              

                                                            
ඒ අස්සේ 924 කැබ් එකේ දොර ඇරෙන්නේ නැතිව විනාඩි 10ක් විතර ඒක ඇරගන්න වලි කාපු අතරේ අපි ෆොටෝ ටිකක් නම් ගත්ත. දොරත් ඇරගෙන ගාට ගාට ආව ග්‍රේට් වෙස්ටන් වලට. එතැනදී මොකද්දෝ දුම්රියක් එක්ක මාරු වෙලා ගල්බොඩට ආව. ඔන්න එතන හිටිය උඩරට මැණිකේ එනකල්. ඒ අතරේදී ගාඩ් මහත්තය කිව්වා කඩයක් තියනවා ඕනේ නම් කන්න මුකුත් ගන්න කියල එයා මම අඳුරනවා ටිකක්. එතනත් පරක්කු වෙලා තලවකැලේට ආව. එතෙන්දි තමයි කරදර පටන් ගත්තේ..
924 ඉස්සරහට අදින්නේ නැතිව ගියා. රියදුරු මහත්තය පුළුවන් උත්සාහය දාල බැලුවත් වැඩේ හරි යන්නේ නැති නිසා ඔන්න පස්සහ කැබ් එකේ(923) හිටපු චීන්නු දෙන්නට කතා කෙරුව. උන් දෙන්න ඊට එහා. හතර පස් පාරක් කතා කරහම තමයි ආවේ. පොරවල් වගේ ආවට මොකද ඒ හිපාටුවෝ දෙන්නට මෙලෝ සංසාරයක් කරගන්න බැරි උනා.. ඔය අතරේ රියදුරු මහත්තය ගිහින් මෝටර් එකේ පින් බලල. එතකොට එයා දැකල එතන පොඩි අවුලක්. එක හදාගෙන ඇද්ද. ඒ උනාට මීටර් 10ක් වත් යන්න උනේ නැහැ ආපහු මග. ඒ වෙලාවේ තමා ඔය පින්තූරේ ගත්තේ.. පේනවනේ? සිග්නල් දීල එත් කෝච්චිය කොට උඩ..           
                          

ඒ පාර මොකද්ද මගුලක් කරලා ඔන්න හදා ගත්ත. ඒ උනාට එතනම පැය බාගයක් පරක්කුයි. ඒ ඇද්දත් ඩයිනමික් බ්රේක් වැඩ කරන්නේ නැහැ . ඒ අස්සේ හුලන් බ්රේක් රිලීස් වෙන්නෙත් නැහැ ඔහොම හැටන් වලටත් ආව.
මෙතනින් රියදුරු මහත්තය බැස්ස පාලක මධ්‍යස්තානෙට කතා කරලා මොකද්ද කරන්නේ කියල අහන්න. මොකද එක එන්ජිමකින් බලය දෙන්නේ නැතිව පිටිපස්සේ විතරක් එන්ජිමක් තියාගෙන යන්න කැමති උනේ නැහැ ඉස්සරහ එන්ජිමේ බ්රේක් එහෙමත් නැතිව. චීන්නු දෙන්න දන්නා ලබ්බක් නැහැ මහා ලොකුවට ආවට. උන් දෙන්න එහාට මෙහාට කතා කරකර එක එකාගෙන් අහනවා. කොහොම හරි එතන හිටපු වෙන රියදුරු මහත්තයෙකුත් එක්ක එකතු වෙලා ඇදගෙන යන්න පුළුවන් වෙන්න හදාගත්තා. ඒ මදිවට දැන් ඩයිනමික් නැති නිසා යන්න වෙන්නේ හුලන් බ්රේක් වලින් සහ හෑන්ඩ් බ්රේක් වලින්.
යකෝ මේ මගුලේ හෑන්ඩ් බ්රේක් මෙලෝ සන්සාරෙකට නැහැ. ඒක තද කරගෙන යන්න පුළුවන් ෆ්ලැට් එකෙත්.
කොහොමින් කොහොම හරි හැටන් වලින් බස් වල යන්න හැදුවත් අන්තිම බස් එක එතනින් යන්නේ 5.30ට!! අපි එතෙන්ට එද්දිත් 6! ඉතින් මිනිස්සුන්ට තිබ්බේ දුම්රියේම පිහිට තමයි. පස්සේ ඔන්න ඕනේ ඇති කෙහෙල් ගෙඩියක් කියල කට්ටිය එන්න පිටත් උනා. 30km/h වේගෙකින් ඇවිල්ල ඔන්න නාවෙලපිටිය ලඟට එද්දී ඉබේටම අවුල හරි ගියා.. එතන ඉඳල 50ට විතර ආව. ඔහොම ඇවිල්ල යන්තම රෑ 9.06 වෙද්දී මහනුවරට ලඟා උනා. ඒ කියන්නේ පෑ 3ක ප්‍රමාදයක්!!! මම කොහොම හරි නුවරින් අපේ පැත්තට යන අන්තිම බස් එක අල්ලගත්තා.
අර චීන්නු ටික මොන මගුලකට ඇවිල්ල රවුම් ගහනවද මන්ද මොකද උන්ට මෙලෝ සංසාරෙක දෙයක් කරගන්න දන්නේ නෑ. ඒකේ එන්ජිම වැඩ කරපු නිසා ඕක කොම්පියුටර් එකේ ප්‍රශ්නයක් නම් එන්ජිම නැවත පන ගන්නල බැලුව නම් ඕක වෙච්ච වෙලාවේම බොහෝ විට හරි යන්න තිබුන. ඒ මදිවට තලවකැලේදී එයින් එකෙක් මොකද්දෝ සුකුරුත්තමක් ඔබල එක ආපහු උඩට ගන්නත් හෙන ගේමක් දුන්න. මේ කට්ටලය ආපු දවසේ ඉඳල මේ දුම්රිය ප්‍රමාදයි. මේ දවස් වල නම් දෙයියනේ කියල 921-922 ආපහු ඇවිත් තියනවා. ඒ වගේම 965 926, 972 928 කියන කට්ටල ටිකත් ඇවිත් තියනවා.. ඒ උනාට ඒවගෙත්  හෑන්ඩ් බ්රේක් නම් අර විදියම තමා. මට කියන්න තියන්නේ මෙච්චරයි..
මේ වගේ හිපාටු දුම්රිය නම් අපිට නැතුවට කමක් නැහැ. වෙලාවට දුවන්න පුළුවන්, මග හිටින්නේ නැති, කෑලි හැලෙන්නේ නැති ටිකක් දෙනවා නම් දෙන්න නැත්තම් නැතිවට කමක් නැහැ.
මේ වගේ රස්තියාදු කරන්නේ නැතිව හදාගන්න වෙලා යනවා නම් නැත්තම් බැරිම නම්, ඒ බව මගීන්ට කියල එයාලට වෙන ප්‍රවාහන ක්‍රමයක් හොයාගන්න හරි පුළුවන් වෙන්න දැනුවත් කරන්න ඕනේ. දුම්රිය සේවයේ වග කීම තමා මේ වගේ වෙලාවට දුම්රිය සේවයෙන්ම බස් රියක් හෝ වෙන ක්‍රමයක් සූදානම් කර දෙන එක. එව්වා ඉතින් වෙන දේවල් නොවෙන නිසා, මිනිස්සු නිකම් රස්තියාදු නොකර කලින්ම කියන්න ඕනේ.

අනික තමා මාර්ග තත්ත්ව බලල මැදිරි ආදිය ගෙන්නන එක. මේ චීන බලවේග දුම්රියේ හෑන්ඩ් බ්රේක් වදින්නේ එක බෝගියකට විතරයි. ඒත් දුවන්නේ කේබල් එකක්. අර පරණ රුමේනියානු මැදිරි වල වගේ යකඩ බාර් හෝ දම්වැල් ක්‍රමයක් නෙවේ තියන්නේ. මේවා ගැනත් පොඩ්ඩක් හිතුවොත් තමා හොඳ.

Friday, November 9, 2012

අලුත් දුම්රියෙන් නානුඔය බලා..




ඔන්න කාලෙකට පස්සේ ආපහු ආව බ්ලොග් එක පැත්තේ.. ටික දවසක ඉඳල දුවනවා මෙහෙ අලුත් කෝච්චියක්. ඒක ගැන මම රත්නපුරේ යන්න කලින් ලියලනේ ගියේ. ඉතින් මටත් නිකම් ගෙදරට වෙලා ඉන්න වෙලාවේ හිතුන ඔකේ රව්මක් ගිහින් බලන්න ඕනේ කියල. අනික ඉතින් උඩරට දුම්රිය මාර්ගය කියන්නේ මේ රටේ තියන ලස්සනම දුම්රිය මාර්ගයක් කියන එක අමුතුවෙන් කියන්න දේකුත් නෙවෙයිනේ..

මෙහෙම ඉන්න අතරේ මගේ හිතවතෙක් වෙච්ච ඔනාල් කරුණාරත්න කියන කෙනා මගෙන් ඇහුව යමුද කියල රව්මක්. මමත් ඉතින් හා කිව්වා.. මම මුලින්ම කිව්වනේ මේ දුම්රියේ පන්ති 3ක් තියනවා කියල. මගේ නම් අදහස උනේ 3න් වෙනි පන්තියේ යමු කියන එක. අනික මේකේ පළමුවෙනි පන්තිය නැරඹුම් මැදිරියක් නෙවේ වායු සමනය කල මැදිරියක්. යකෝ.. උඩරටට මොන වායු සමනයද? නාවෙලපිටියෙන් උඩහට යද්දීම ස්වාභාවික ඒ සී තියනවා ඇති වෙන්න. ඒත් ඉතින් අර ගොයියට ඕනේ උනේම ඒකේ එන්නමනේ.. මනුස්සය මටත් එක්කම ටිකට් එකත් ගන්නම් කිව්ව නිසා අය මොකටද මමත් බැහැ කියන්නේ කියල ඔන්න එහෙනම් යමු කියල සෙට් උනා..
මෙන්න චීනා..


ඉතින් වර්ෂ 2012ක්  වූ නොවැම්බර් මස 6 වන දා අඟහරුවාදා ගමන යොදා ගත්තා.. මම ඉතින් 9.48ට ගෙලිඔයෙන් අදින දුම්රියෙන් (9.48 උනාට ඒ වෙලාවට කවදාවත් ඕක එන්නේ නැහැ. එන්නේ 10ට. දුම්රිය ප්‍රමාදය ගැන වෙනම ලිපියක් පස්සේ ලියන්න බලාපොරොත්තු වෙනවා) ආව පේරාදෙණියට. ඇවිත් ඉතින් බලන් හිටිය ඒ හිපාටුව එනකල්.
මොන.. 2000හෙ දෙකක් දෙපැත්තේ තිබුනට ඒක අනිකට හපන්.. වෙලාවට පේරාදෙණියට කිට්ටු කරලවත් නැහැ. මමත් ඉතින් බන්දගත්තු බෙරේ ගහපන් කියල කියන නිසා ඉඳගෙන හිටිය. ඔන්න ඉතින් ඉඳල ඉඳල ඕකත් ආව. ඒ අස්සේ නාවෙලපිටියට යන දුම්රියකුත් එනවා.. ඔය ඔක්කොම ජල බැරි ටික කොහොම කොහොම හරි ඉවරල අපි ඉතින් ගමන පටන් ගත්තා..

මේ දුම්රියේ ගාඩ් මදිරියේත් තියනවා වේග මාපකයක්. ඉතින් සරින් සැරේට අපි ගිහින් බැලුව ඒක මොකද්ද කියන්නේ කියල. යකෝ සමහර තැන වලදී 60ට විතර යනවා..
ඔන්න යන වේගේ..
ඔන්න අපි පේරාදෙණියේ..
උලපනේදී..



ඔන්න ඉතින් නාවෙලපිටියෙන් උඩහට ගියාම අපිට නොහිතු කරදරයකට මුහුණ පාන්න සිදු උනා.. ඒ තමයි මොර සූරන්න වහින වැස්ස. මේ නිසා ෆොටෝ අල්ලන්නත් බැරි උනා..
මොන ඇල්ල ද කියල නම් දන්නේ නැහැ..
තලවකැලේ ජලාශය හරහා..


තලවකැලේ පහු කලාම මුහුණ දෙන්න උනේ අධික සීතලකට. ෆෝන් එකේ බැටරි මේකට මුහුණ දෙන්න බැරිය කියල වර්ජනයක් පටන් ගත්ත.. ඉතින් මොකෙන්ද බොලව් ෆොටෝ ගන්නේ.. මමත් වැඩේ අතාරියේ නැහැ. අන්තිම තිතටම යනකල් වැඩ ගත්ත. කොහොම කොහොම හරි නානුඔයටත් ආව.

නානුඔය ගුවන් පාලමේ සිට.



නානුඔය කියන්නේ ඉස්සර දුම්රිය මංසන්දියක්. ඒ කිව්වේ දුම්රිය මාර්ග දෙකක් එකට එකතු වෙන තැනක්. බොහොම ඉස්සර නානුඔය ඉඳන් නුවර එලිය හරහා රාගලට පුංචි කෝච්චියක්, ඒ කිව්වේ පටු ආමාන දුම්රියක් ගමන් කරලා තියනවා. ඒ දුම්රිය මාර්ගයේ නම් දැන් ලකුණක් වත් දකින්න නැහැ. ඒ උනාට එහෙම එකක් තිබ්බ කියල කියන්න තියන සාක්කියක් තවමත් නානුඔය දුම්රිය වේදිකාවේ තියනවා. මේ තියන්නේ ඒක.

ආ හා ඔය උඩුපුස්සැල්ලාවදුම්රිය මාර්ගයට යන මගීන් මේ පැත්තට යන්න...

ඉතින් ඔහොම ගිහින් 2.50ට අපි නානුඔයෙන් පිටත් වෙලා වැස්සේම ආපහු එන්න ගත්තා. මේ ඒ.සී පෙට්ටිය ගැන කියන්න ගත්තම තව දෙයක් කියන්න ඕනේ. මීට ඉස්සර මේ උඩරට මාර්ගයේ S5 කියල බලවේග දුම්රියක් ධාවනය උනා. ඒකේ තිබ්බ සැපපහසුකම් වලට නම් ලං වෙන්නවත් මේ දුම්රිය මැදිරියට බැරි බව. ඒක ගැන ඕනේ අය මෙතනින් ගිහින් බලල එන්නකෝ..
 කොහොමින් කොහොමින් හරි අපි හැටන් වලට එනකොට බැටරි නැවත පනගන්වාගන්න බැරි වෙන්නම බැහැල ගිහින්.. ඒ නිසා අය පින්තූර ගන්න නම් බැරි උනා..
හැටන්.

ඒ වගේම තමා තව දේකුත් කියන්න ඕනේ. මේ දුම්රිය අලුත් එකක් නිසා මේකේ කට්ටිය තවම නැහැ. ඒ උනාට සාමාන්යෙන් ගොඩාක් වැඩ කරන මිනිස්සු සහ හවස පන්ති වලට සහභාගී වෙලා ගෙදර යන ළමයි යන දුම්රියන් මේ විශේෂ දුම්රිය නිසා ප්‍රමාද වෙනවා. එතකොට දුම්රිය දෙපාර්තමේන්තුව තව දුරටත් පාඩු ලබනවා ඇරෙන්න වෙන සෙතක් නැහැ. එදා ගමන ආපහු එද්දී පේරාදෙණියේදී සිග්නල් නැතිව විනාඩි 25ක් විතර ඉන්න උනා.. ඊට පස්සේ මම නුවරින් 7.10ට නාවෙලපිටිය බලා පිටත් වෙන දුම්රියෙන් ගෙදර ආවා.. හැබැයි ඒ...
..ආයෙත් දවසක මේ ගමන යන්න හිතාගෙන.

Tuesday, October 30, 2012

රත්නපුරයට ගිය සවාරිය..






සති දෙකක නිහැඩියාවක් තිබ්බේ මම අන්තිමට දාපු පෝස්ටුවෙන් පස්සේ සති දෙකක නිවාඩුවකට රත්නපුරේ බලා පිටත් උනු හින්ද. මේ තියන්න යන්නේ අන්න ඒ ගමන ගැන පොඩි සටහනක්..

2012හෙ ඔක්තෝබර් 14 වෙනිදා ඉරිදා මම උදෙන්ම ලැස්ති වෙලා හිටන් ගෙලිඔයේ දුම්රිය නැවතුම්පොළට ගියා නුවර යන්න දුම්රිය අල්ලගන්න.
මෙන්න  මෙයා ආව මාව නුවර එක්කන් යන්න.
W3-659

නුවරින් එහාට රත්නපුරේ බලා යන්න දුම්රියක ගිහින් බැහැ. ඉතින් මට තිබ්බ අනික් විකල්ප ක්‍රමේ උනේ බස් රථය. මම ගියා ලංගම බස් නවත්තන තැනට. ගිහින් බැලුවම තියනවා එකක් 8.30ට. ආය හොය හොයා හිටියේ නෑ නැගල අයිනක් අල්ලාගෙන ඉඳගත්ත. මෙයා ඉතින් හරියටම 8.30 වෙද්දී ඇද්ද. ඔහොම ගිහින් දෙහිඔවිටදී නතර කළා තේ බොන්න. ඔය පැත්තටත් ඉස්සර පටු දුම්රිය මාර්ගයක් ගිහින් තියනවා කොළඹ ඉඳල අවිස්සාවේල්ල හරහා ඇවිත් යටියන්තොටට. මේ පාරේ නෂ්ටාවශේෂ තවමත් දකින්න පුළුවන්. එන්න ඒ වගේ පාලමක් තමා මේ පහලින් දාල තියන්නේ


දෙහිඕවිට පාලම.



එතනින් පිටත් වෙලා කොහොමින් කොහොම හරි 12.30 වෙද්දී මම කොස්පැළවින්නෙන් බැස්ස. එතන ඉඳල කිලෝ මිටරේකට ආසන්න දුරක් පයින් ගිහින් නැන්දලාගේ දිහාටත් ගියා..
එදා එහෙම ඉඳල පහුවදා ඉතින් බයිසිකල් එක එහෙම හදාගෙන ගියා ඒ පැත්තේ සිරි නරඹන්න. ඔය කොළඹ ඉඳන් ඕපනායකට ගිය පටු දුම්රිය මාර්ගය, එහෙමත් නැත්තම් දැන් ගොඩක් අය හඳුන්වන විදිහට "කැළණි වැලි පටු දුම්රිය මාර්ගය" වැටිලා තිබුනේ අපේ නැන්දලාගේ ගෙවල් ගාවින්. ඉස්සර ඒ හරියේ "කොස්පැවින්න" කියල දුම්රිය ස්ථානයකුත් තිබිල තියනවා. මේ ලඟක් වෙනකල් ඒකෙ වැසිකිලි ටික එහෙම්මම තිබුන. ඒක අද දකින්නත් නෑ.


හිතාගන්නකෝ කොතනද ස්ටේෂම තිබ්බේ කියල.


 
මේ පාර දිගේ මේ විදියට රත්නපුර ඉඳල කුරුවිටට යනකල් යන්න පුළුවන් වෙන්න තාර/ සිමෙන්ති දාල හදල තියනවා. පරණ දුම්රිය පාලම් උඩිනුත් සිමෙන්ති දාල වාහන යන්න පුළුවන් විදියට හදල තියනවා.  මේ තියන්නේ පොල්හේන්ගොඩ කළු පාලම කියල හඳුන්වපු රේල් පාලම.




පොල්හේන්ගොඩ කළු පාලම.
 මෙතනින් පිටත් වෙලා මම කුරුවිට පැත්තට යන්න හැරුනා. මේ තියන්නේ ඒ යද්දී ගත්තු ෆොටෝ..
මේ තියන්නේ තවත් පාලමක්. මේක උඩින් යන්න ගිහින් තව පොඩ්ඩෙන් මම උඩින්ම එහා ලෝකෙට යනවා. ඒ ඉතින් ගිය වේගේ මදි වෙලා.. :-D






මේ ගමන ගිහින් එද්දී ඇඟට නිකම් හෙන ගහල වගේ.. ඔය ගෙදර ලඟ තියනවා කටු ගස් ඇල්ල කියල දිය ඇල්ලක්. ඉතින් ගෙදරිනුත් අවසරේ අරන් මම ගියා ඕකෙන් හොඳට නාගෙන එන්නම් කියල.



ඔන්න ඕක තමා දිය ඇල්ල.
ආ නෑ නෑ දිය ඇල්ලේ එක කොටසක්..





මෙතන ඉතින් උඩහට ගිහිල්ල එහෙම ඇවිත් පැයක් හමාරක් නා ගත්තා. දැනුනෙවත් නෑ වෙලා යනවා.                                          .............................................................................


ආයෙත් දවසක පිටත් උනා රේල් පාර දිගේ නැතිව වෙන පැත්තකට යන්න. එදා මේ දිය ඇල්ල එහෙම පහු කරගෙන ඒ පාරේ ටිකක් ඉස්සරහට ගියා. එතකොට හම්බුනා රත්නපුරේ ග්‍රිඩ් උපපොළ. එතන ජායාරූප කිහිපයක් අරගෙන තවත් උඩහට යද්දී පුංචි විදුලි බලාගාරයක් හම්බුනා. මේ තියන්නේ ඒ දෙකේ පින්තූර.
රත්නපුර ග්‍රිඩ් උපපොළ.

කිලෝ වොට් 115වේ විදුලි බලාගාරය.

ඔය ඔක්කොම බැලුවට පස්සේ ආය ඉතින් මෙහෙ ඇවිදින දුරින් කියල බලන්න දෙයක් නෑ. ඉතින් ඊළඟ සති අන්තේ මම එහෙ මල්ලිලා දෙන්නත් එක්ක ගියා රත්නපුර කෞතුකාගාරේ බලන්න. එතන නම් පින්තූර ගන්න හම්බුනේ නෑ.. එහෙ ඉද්දි කරපු අනිත් කටයුතු තමා බයිසිකල් පැදීම. ගම වටේ ගියා. අන්තිම දවසේ පරණ දුම්රිය මාර්ගය දිගේ යන්න ගිහින් ගිය වේගේ මදි වෙලා පාලමකටත් උඩින් ගිහින් වැටුන :-D
ඒ ගියේ ඇල්ලේ ගෙදර කියල තව දිය ඇල්ලක් බලන්න. මේ ඒක.
ඇල්ලේ ගෙදර.
වැටිලා කකුලක් ලෙලි ගිහින් තිබ්බ නිසාත්, රෑ උනු නිසාත් මේකේ උඩට නගින ඒක ආයේ ආපු දවසක කරන්න හිතාගෙන අපි ආපහු ආව. මේ ඉතින් එහෙදි ගත්තු පින්තූර ටිකක්.
මහවෙල තේ ෆැක්ටරිය.
බලන්නකෝ හවසට ගෙදර යන අපූරුව.

මේ ඇවිල්ල දුම්රිය මාර්ගය තිබ්බ කාලේ හිටවපු මායිම් කණුවක්.


ඔය කඳු තුනෙන් මැදින් පේන එක තමයි සිරි පාද කන්ද. ඕක අහු වෙන්නෙත් පරණ කෝච්චි පාර දිගේ යනකොට තමයි..


මේ මමතුමා පරණ කෝච්චි පාර දිගේ යන ගමන්. මේක ගත්තේ එහෙ ගෙදර මල්ලි.



ඔක්කොම පිස්සු ටික නටල ඉවර වෙලා සති දෙකක් සැප සේ ඉඳල ඉතින් එන්න පිටත් උනා.. ඒ එද්දී මගදී රුවන්වැල්ල හරියේ ඉඳන් මහා ධාරානිපාත වැස්සකට අහු උනා. ඉතින් මෙහෙම රෑ වෙලා යන ඒක ටිකක් අනතුරුදායක නිසා අපි එදා, ඒ කියන්නේ 27 වෙනිදා ගමන මාවනැල්ලෙන් නැවැත්තුව. මේ උදේ ඒ ගෙදරින් එලියට බැහැල බලපුවාම දැක්ක දේ..
මාවනැල්ලේ ගෙදරට පේන කඳුකරයේ දර්ශනයක්..
.
                                ඊළඟ දවසේ, ඒ කියන්නේ 28වෙනිදා ඉරිදා, අපි අපේ ගෙදරට ආවා..

ගමන අවසන් කර අපේ ගෙදරදී..

Friday, October 12, 2012

අලුත්ම බඩුව..

     මේ දවස් වල ලංකාවට සූ ගාල ආධාර ලැබෙනවා.. විදේශ ආධාර, ණය ආධාර, බස් ආධාර, ප්‍රථමාධාර, මූල්‍යාධාර, අර ආධාර, මේ ආධාර කිව්වට ඉවර කොරන්න පුළුවන් ලිස්ට් එකක් නෙවෙයි ඒක..
     මේ අතරේ ලැබෙන එක ආධාර වර්ගයක් තමයි ණය ආධාර වශයෙන් ලැබෙන දුම්රිය ආධාර.
මම ඉතින් හිතුව මේක ගැනත් මොනවා හරි කුරුටු ගාල තිබ්බොත් හොඳයි කියල...

      මේ තියන්නේ මෙහාට ආපු අලුත්ම දුම්රිය ආධාරේ..
Class S12..
      මෙයාව හම්බුනේ චීනෙන්. අවුරුදු පහළොවකින් ගෙවන්න මැක්සිම් බැංකුවෙන් ණය ආධාරයක් යටතේ තමා මෙව්වා අපිට දීල තියන්නේ.. ඇත්තම කියනවා නම් මෙව්වා තවම ලැබෙමින් පවතිනවා.. දුම්රිය දෙපාර්තමේන්තුව කියන විදියට නම් මෙව්වා ගෙනල්ල තියන්නේ උඩරට මාර්ගයේ (ඒ කිව්වේ කොළඹ- මහනුවර- බදුල්ල එහෙම) දුවන්නයි කැළණි වැලි මාර්ගයේ  (ඒ කිව්වේ කොළඹ- අවිස්සාවේල්ල) දුවවන්නයි.. කලින් ඉන්දියාවෙන් එහෙමත් මේ වගේ S පන්තියේ එකක් (S- 11) ගෙනල්ලා හෙන කට්ටක් කාලා එපා වෙලා හිටපු නිසා අපේ අය මේක චීනෙන් එද්දී සෑහෙන බලාපොරොත්තු තියන් හිටියා කිව්වොත් ඒක බොරුවක් නෙවේ.. අනික මේ වගේම, මේ සමාගමෙන්ම හදපු තවත් බලවේග කට්ටලයක් දැනට ඇති සාර්ථක ලෙස ධාවනය වෙන නිසා ඇත්තටම මේ ගැන කස්ටිය ආසාවෙන් බලන් හිටියා..
     මේකේ ඉතින් කෑලි බෑලි ගොඩාක් වැඩියි.. උඩරට මාර්ගයේ ධාවනය කරන්න ගෙනාපු එව්වගේ 3න් වන පන්තියේ මැදිරි 3ක්, 2වන පන්තියේ මැදිරි 3ක්, 1 පළමුවන පන්තියේ වායු සමීකරණය කල මැදිරියක්, 3න් වන පන්තියේ භෝජනාගාර මැදිරියක් තිබෙනවා. ඒ කියන්නේ පෙට්ටි 8ක් තිබෙනවා. මේ දුම්රිය කට්ටලයේ දෙපසින් අශ්ව බල 2000ක් බැගින් ඇති එන්ජින් 2ක් තිබෙනවා.ඕනේ අය මේකේ තාක්ෂණික විස්තර මෙතනින් ගිහින් බලාගෙන එන්නකෝ..
      නමුත් මේකේ කියන්න තියන දේ තමා මේක ආවත් ආව තවම උඩරට මාර්ගයේ දෛනික ධාවනයට එකතු වුනේ නම් නෑ.. මට මතක විදියට මේක මෙහාට ගොඩබැස්සේ මේ අවුරුද්දේ ජූලි මාසේ විතර. නමුත් එදා ඉඳන් උඩරට මාර්ගයේ ප්‍රථම පරීක්ෂණ ධාවනය කරේ නෑ 2012හෙ අගෝස්තු 19 වෙනිදා වෙනකල්. ඔය දාල තියන ජායාරූපෙත් ගත්තේ එදා මහනුවරදී තමා.
       එදා පරීක්ෂණ ධාවනය නම් අතිසාර්ථකයි මම දන්නා විදියට. තව ටිකක් කල් ඉඳලා තවත් ධාවනයක් සිදු කරා.. ඒක නම් පට්ටිපොලත් පන්නල ගියා කියල තමයි ආරංචිය. මම ඒකත් අල්ලගත්ත උලපනේදී. තව එකක් මේ ළඟදී දවසක නවෙලපිටිය බලා ගියා. මේ දෙක අතරේ මාතර හෝ ගාල්ල බලා පරීක්ෂණ ධාවන 2ක් සිදුකරලා තියනවා. අද (2012/10/12) දිනත් බදුල්ල බලා ධාවනයක් සිදු කරා. නමුත් එක ලෙඩක් හරියනකොට තව ලෙඩක් මතුවෙන එක ඇරෙන්න මේ ධාවන වලදී සිදු වෙච්ච දෙයක් නෑ කියල තමයි පේන්න තියන්නේ.. මුලින්ම කිව්වා බෙයාරිංග් ගියා කියලා. පස්සේ කිව්වා හෑන්ඩ් බ්රේක් මදි කියල. දැන් මේ පාර මොනවා කියයිද දන්නේ නෑ..
        උඩරට සෙට් එකේ කතාව එහෙම උනත් කැළණි වැලි සෙට් 4 නම් මේ වෙනකොට ධාවනයට එකතු වෙලා.. ඒ උනත් ඒවත් නිතරම මග හිටීමේ දෝෂයට ලක් වෙන බව තමයි අහන්න ලැබුනේ.. එව්වගේ තියන වැඩ කෑලි නිසා කියලත් කියනවා සමහරු කියනවා කලින් එව්වා තරම් ඉහල තත්වෙක නෑ කියලත්. ඒ මේ කතා කොහොම වෙතත් කවදත් වගේ අන්තිමට උඩරට මාර්ගෙට අලුත් දෙයක් උනේ නෑ.. වෙලාවකට හිතෙනවා මෙව්වා ගෙනාවේ ට්‍රයල් දුවන්නම විතරද කියලත්.
        ඒ අතරේ ඇහෙන තව කතාවක් තමා මේ අලුත් එව්වයෙන් උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුවවන්න යනවා කියල. පොඩි මැණිකේ නම් පටන් අරන් තියන්නෙත් බලවේග කට්ටලෙකින් කියල තමා දැනගන්න තියන්නේ.. ඒ උනත් දැන් බලවේග කට්ටල ආවොත් නැරඹුම් මැදිරිය අයින් වෙනවා.. ඒකට නම් ගොඩක් අය ඒ හැටි කැමැත්තක් නෑ.. අනික මේකේ තියන 1වෙනි පන්තියේ මැදිරිය පෞද්ගලික අංශයට දුන්නොත් දුම්රිය සේවයේ සේවකයන්ට දීල තියන බලපත්‍රය පාවිච්චි කරන්න බැරි වෙනවා.. ඒ නිසා එයාලත් මේකට ඇතුලෙන් කැමති නැතිව ඇති. මමනම් කියන්නේ තියන එව්වා එහෙම්මම තියල මෙව්වයින් අලුත් දුම්රිය සහ ඉස්සර දුවල එන්ජින් නැති කමෙන් අයින් කරපු දුම්රිය නැවත පටන් ගන්න ඕනේ.
      මේ මොන කතාව කිව්වත් උඩරට දුම්රිය මාර්ගයට සෑහෙන කාලෙකින් එන අලුත් සඟයා පිළිගන්න අපි ලෑස්තියි.. ඉස්සරහට බලමු එයාගේ වැඩ කොහොමද කියල. හැබැයි කවදා එයිද කියන සැකය තමයි මට තියන්නේ....
                          .............කවදා හෝ ඔබ එනතුරු අපි බලන් ඉන්නවා.........................





ප. ලි:-
   මෙම දුම්රිය ඔක්තෝබර් මස 19වන දින සිට උඩරට මාර්ගයේ නානුඔය දක්වා ධාවනයේ යෙදෙන බව සතුටින් සටහන් කරමි.

ප. ප. ලි:-
   මෙම දුම්රියේ තාක්ෂණික විස්තර බලන්න කියල දීපු ලින්කුව වැඩ නෑ කියල කස්ටිය කියනවා. එහෙනම් මෙන්න මේකෙන් බලාගන්න.

ප. ප. ප. ලි:-
මේ දුම්රිය නිසා උඩරට මාර්ගයේ ධාවනය දැන් සහ සම්පූර්නෙම්ම අවුල් වී ඇති බව තමයි දකින්න ලැබුනේ. මෙහෙ විතරක් නෙවේ කැළණි වැලි දුම්රිය මාර්ගේත් ප්‍රශ්න ගොඩයි කියල තමා තේරෙන්නේ. උඩරට මාර්ගේ ප්‍රමාදය අඩු කරගන්න කියල දැම්මට මේක නිසා ප්‍රමාදය වැඩි වෙලා පෙර නොවූ වීරූ අයුරින්. ළඟදීම මේ දුම්රියට ගල් මුල් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානම තියනවා..

Thursday, October 11, 2012

මම ළඟ ඇති එක..


මේ දවස් වල ඉතින් ගෙදරම තමයි. පහුගිය දවස් ටිකේම රවුම් ගහල රවුම් ගහල අද ටිකක් ගෙදරට වෙලා ඉන්න හිතුව.
ඒ උනාට කරන්න දෙයක් නැති නිසා ආව බ්ලොග්ගේ පැත්තේ. ලියන්න දෙයක් හිත හිත ඉන්නකොට ආව ටාර් ගාල අයිඩියා පාරක්..


මේක ලියන්න ගනිද්දී මම පත්තර කෑල්ලක කියවපු කතාවක් මතක් උනා..
"මේකක් නැති කෙනෙක් හරියට බාල්දු වූ සුපියල වාගේය.. නැති එකෙකුට ගෙදරකින් වතුර වත් දෙන්නේ නැත... ඉලව්වක් මගුලක් කියනවා තබා ගෙදරකට වද්දා ගන්නේ වත් නැත."
දැන් ගෙවල් වල ඉන්න මාළු බලු බළල්ලු ඇරෙන්න අලුත උපන් පොඩි එකාට පවා මෙව්වා එකක් තිබේ..
මේකක් නොමැතිව පාරේ බැහැලා යෑමට පවා බැරිය. වෙන මොක නැතත් මේකක් නැත්තම් අද මේ රටේ ඉඳලා හමාරය. කන්න සල්ලි නැතත් තියන මගුල විකුනලා හෝ මෙව්වා එකක් ගත යුතුමය...
දැන් ඉතින් හිතාගන්න ඕනේ මොකක් ගැනද මේ කුරුටු ගාන්න හදන්නේ කියල...
ඔව්.. මේ කියන්න යන්නේ කුදලාගෙන යන දුරකථනය හෙවත් තේරෙන සිංහලෙන් කියනවා නම් සෙල්ෆෝන් එක ගැන..
මම මුලින්ම සෙල්ෆෝන් පොල්ලක් අතට ගත්තේ 2008 මාර්තු මාසේ. ඒ අපේ අයිය කෙනෙක් රට යද්දී එයාගේ පරණ තිබ්බ වැඩ කරන්නෙත් නැති එකක් ඉල්ලගෙන. (ඉල්ලගත්තේ නම් ගලවල ඇතුල බලන්න. ඒ උනත් පස්සේ එහෙන් මෙහෙන් ඇදල කරලා ඕක වැඩ කරන්න හදා ගත්ත). Nokia 5110 එකක්..
ඒ උනත් ඉතින් ෆෝන් එකක් විතරක් තිබිල හරියන්නේ නෑනේ... ඒකත් හරියට මැටි පූසෙක් ගෙනාව වගේ වැඩක්...
ඕකට සිම් එහෙකුත් එපයි ඕක පාවිච්චි කොරන්න... ඉතින් ගෙදරට පොඩි මොර්තයක් දාල අලුත්ම අලුත් සිම් කෑල්ලක් ගෙන්නගත්තා.. කිව්වට මොකද ඒක තවමත් මම පාවිච්චි කරනවා.. ඒ ෆෝන් ඒක නම් අතුරුදහන් උනා ඒ දවස් වලම. තවමත් ඒකට උන දෙයක් හිතාගන්න බෑ... 
මේක තමා මගේ මුල්ම ෆෝන් එක..

පේනවා නේද සයිස් එක? ආය වලියකට උනත් බය නැතුව අරන් ගිහින් ඔලුවක් උනත් පලන්න පුළුවන්. මූගේ එකම අවුල තිබ්බේ මම හදලගත්තු එකක් නිසා බැටරි ඉක්මනට බැහැල යන එක තමා..
අනික ඉතින් පේනවනේ මේකේ හැටියට සාක්කුවේ නම් කීයටවත් දාගෙන යන්න බෑ..

ඔහොම මාස 4ක් ඉඳල අප්පච්චි මට පොඩි ෆෝන් කට්ටක් ගෙනත් දුන්නා.. ඒක නම් එලම භාණ්ඩයක්.. මම තවමත් ඒක පාවිච්චි කරනවා අදටත් කිසිම අලුත්වැඩියාවක්, කෑලි මාරු කිරීමක් නොමැතිව. අඩුම ගානේ බැටරියවත් මාරු කරේ නෑ තවම. දවස් 7ක් දුවනවා සම්පූර්ණෙන් චාර්ජ් කලාම. වැටිලා ඇති හිසේ කෙස් ගානට ඒත් වැඩිම උනොත් හීරුනා ඇරෙන්න වෙන ලොකු හානියක් නම් උනේම නෑ.. තාමත් මෙතනට වෙලා ඉන්නවා.. කිසි ලෙඩක් නැති එකා.. ඒ තමා Nokia 1200...
මේ ඉන්නේ පොර..

සාමාන්‍ය පෙළ කරලත් මාස 4ක්ම යනකල් පාවිච්චි කරේ ඕක තමයි.. ඊට පස්සේ අපේ තව අයිය කෙනෙක් මට එයා ළඟ තිබ්බ එහෙකුත් දුන්නා. වැඩිය වැඩ කෑලි තියන එකක් නෙවේ උනාට මට නම් ඒ දවස්වල i- phone එකක් ලබුනටත් වඩා ඒක වැදගත් උනා.. මම ට්‍රිප් ගිහින් ෆොටෝ ගත්තේ, මූණු පොතට මුලින්ම රිංගුවේ, සින්දු ඇහුවේ ඔක්කොම කරේ ඕකෙන් තමා.. ඒ උනත් මෙයා නම් හදිසි අනතුරක් (වගේ එකක්) නිසා චාර්ජ් වෙන්න බෑ කියල කියන්න පටන් ගත්තා.. මේ ඇවිල්ලත් නොකියා එකක්ම තමයි.. 6230i. ඔකේ මෙමරි කාඩ් දාන්න පුළුවන් 512Mb වෙනකන් විතරයි කියල කියන්නේ. ඒත් මම 2Gb කාඩ් දාලත් ඕක පාවිච්චි කරා..
මේ ඉන්නේ එයා තමයි.. ස්මාර්ට් ෆෝන් කියන ඒවා කැලේ...

ඔහොම ඉඳල මේකේ අර චාර්ජ් වෙන්න බෑ කියන ලෙඩේ ආවට පස්සේ ඉතින් තව එකක් ගන්න අවශ්‍යතාවය ආව. මම ඉතින් අප්පච්චිට යෝජනාව දැම්ම. මගේ ඉමහත් සන්තෝෂයට හේතු වෙමින් ඒකට යහපත් ප්‍රතිචාරයක් ලැබුන..!! ඉතින් ගත්ත නොකියා 2700 එකක්... යකෝ ඒක අරක තරම්වත් හොඳ නෑනේ.. ඒක හිර වෙනවා එහෙම ලෙඩ ගොඩක් ආපු නිසායි 3G නැති නිසායි ඒකව එලවල දැම්ම. මේ තියන්නේ ඒ හිපාටුව.
එකම හොඳේ තමා බැටරි බහින්නේ හෙමීට..

ඕක එලවල දාල ගත්තේ මේකෙම 3G තියන එක. ඒ කිව්වේ 2730. ඕක නම් නොකිය තමයි ගත්තේ. මේකෙන් නම් සෑහෙන වැඩ තොගයක් ගත්ත. මූණු පොතේ ඉර උඩ සිටීම, පරිගණකයේ අවශ්‍ය දේවල් යාවත්කාලීන කිරීම, උසස්පෙළ ව්‍යාපෘතියට ජයාරූප ගැනීම, කෝච්චි පිස්සුව තිබුණු නිසා ඒක හොඳ වෙන්න ෆොටෝ ගැනීම, සින්දු ඇසීම, සින්දු බෑම, සිතියම් බැලීම වගේ මෙකී නොකී සමදෙයක්ම කරා.. ඒ උනත්, මෙයත් ගිය අවුරුද්දේ අග හරිය වෙනකොට ලෙඩ දෙන්න පටන් ගත්ත.. ඒ කොහොම උනත් ඇදගෙන ආව මමත්. ඒ ඇවිත් ගිය මාසේ මූවත් අඳුරන අයිය කෙනෙකුට සෙටමෝල් කලා..
මේ ඉන්නේ බුවා තමා..

මේ ඔක්කොම අස්සේ මට අන්තිමේට හම්බු වෙච්ච එකා තමා දැන් පාවිච්චි වෙන්නේ. එකේ නැති මගුලක් නෑ,, කැමරාව, සිතියම්, අරව මේවා හම දෙයක්ම තියනවා ඒත් මේ අලුත් බුවා ගැන නම් කියන්න තවම කල් වැඩියි කියලයි මට හිතෙන්නේ. බලමුකෝ මූ කොහොම ඉඳීද කියල.. දැනට නම් කිසිම අවුලක් නැති එකා..
Nokia 6220 classic...

ඒ උනත් මේ ඔක්කොටොම වඩා මට 1200 වටිනවා මොකද තවම මේවගේ බැටරි බැහැල ඕෆ් වෙලාම ගියාම, නැතිනම් සිකනල් මදි උනාම පිහිටට ඉන්නේ ඌ තමා..
ඔන්න ඔහොමයි ජංගම දුරකථන වලින් මම පරිනාමය උනේ.. හැබැයි ඔක්කොම නොකියා තමා....!!!
ප/ලි-
මේ අන්තිමට කියල තියන එකා තමා සුපිරිම භාණ්ඩේ.. පොරගේ කැමරාවත් සුපිරි. වේගයෙන් ධාවනය වන බයිසිකලයකින් වැටිලත් තවම කිසි අවුලක් නැතුව තියනවා.. මෙයා Classic එකක් උනාට වැඩ නම් එක්ස්ප්‍රස් මියුසික් වගේ! කිසිම ප්‍රශ්නයක් නැතුව කැමරාවක් විදියට පාවිච්චි කල හැකි..
 මේ ලඟදි මට නොකියා 6720 එකකුත් ලැබුනා. එයත් තරමක් සුපිරි වගේ.. එත් අලුත් නිසා දැම්මම මුකුත් නොකියා ඉන්නම්..
ප.ලි..
නොකියා ඉන්නම් කිව්වට නොකියම ඉන්නත් බෑනේ.. ඒ ෆෝන් එකත් සුපිරිම භාණ්ඩයක් කියල කියන්නම ඕනේ. පොඩි අවුලකට තියන්නේ 6220 තිබ්බ Xe ෆ්ලෑෂ් එක LED වෙලා තියන එකයි, ඒකෙ වගේ කැමරාවේ කාචේ සීරීම් වලින් බේරගන්න වහල තියන්න එකක් නැති එකයි තමයි.. නැත්තම් සුපිරිම භාණ්ඩේ.. ආය වලියකට උනත් අව්ලක් නෑ ගහන්න බැරිනම් පිටිපස්සේ ෆ්ලැප් එක ගලවල අරන් අතක් උනත් කපන්න පුළුවන්...
දැනට නම් කොල්ල ගින්දර වගේ වැඩ. ඔය ඉන්නේ එයා තමයි..