Tuesday, December 4, 2012

අනේ ඉතින් ඒ කාලේ....


           මම මේ පෝස්ට් එක ලියන්න පටන් ගන්නේ ටිකක් හිතේ අමාරුවෙන්.. ඒ මොකද කියනවා නම් අවුරුදු 10ක් පමණ පුරා එක දිගට කරගෙන ආ, වෙනස් නොවූ පිළිවෙත් කිසිවකින් තොරව තවත් අවුරුද්දක අවසානයේ මුවගට පැමිණ සිටීමයි..........
         වෙනද මේ දවස් වෙනකොට අඟේ අමාරුවටම නිදි රෑ 9 විතර වෙනකොට. ඇයි ඉතින් උදේ 7.20ට ඉස්කෝලේ ගියාම සෙල්ලම් කරන්න පටන් ගන්න එක නවත්තනේ ආයෙත් එක ඇරෙන වෙලාවට, ඒ කියන්නේ දවල් දෙක හමාරටනේ. (මහනුවර ත්‍රිත්ව විදුහල දවසේ වැඩ අවසන් කරන්නේ දෙකයි තිහට) ඒ සෙල්ලම එතනින් නවතින්නෙත් නෑ. මොකද මම පිහිනුම් කණ්ඩායමේ හිටි නිසා ඒ පුහුණුවීම් තියනවා. ඉතින් හොඳට නාගෙන එහෙම පාසලෙන් එලියට බහිද්දී වෙලාව හවස 4.30යි! 
                                 
මේකේ ආය කවදා පීනන්නද...........

           ඒ දවස් වල ඉතින් උදේ නම් ලකුණු කරන්න පන්තියට ඇවිත් ගියාම අය යන්නේ හදිසියෙන්වත් ලකුණු දෙනවා කිව්වොත්, නැත්තම් ඉතින් දවල්ට කන්න තමයි. ඒ කරලත් ආයෙම කරන්නේ සෙල්ලම් කරන එක. ක්‍රිකට් ගහන බොලේ පලුනම එකෙන්ම ටැප් රගර් සෙල්ලම් කරපු ඒ සුන්දර කාලේ ආය කවදාවත් එන්නේ නෑ........


මෙතන තමා අපි හය වසරේ ඉඳන් පාසල් ජීවිතයේ අවසාන දවස දක්වා සෙල්ලම් කරේ... (පිට්ටනිය තිබුනත් එතෙන්ට වඩා මෙතන හොඳයි)


           එහෙම සෙල්ලම් කරන්න නොගිය දාට කරන්නේ පන්තියේ මුල්ලකට වෙලා සෙට් එකත් එක්ක සින්දුවක් ගහන එක. අපේම බීට් එකට සමහර විට වචන අතින් දාල හරි සින්දුව ගහනකොට එන ත්‍රිල් එක මොන මියුසිකල් ෂෝ එහෙකින්වත් ගන්න බෑ කියල මම ඕනෙම ඔට්ටුවක් අල්ලනවා.

           මේ දවස් වල ඉතින් ටර්ම් ටෙස්ට් ඉවර නිසා ගෙදර ඇවිල්ලත් පොතක් අල්ලන්නේ නෑ. ඒ දවස් වල මේකාලෙට තිබ්බ පිස්සුව උනේ සරුංගල් හැදීම සහ එව්වා යැවීම. ඒකට ඉතින් තල් කූරු හොයල හෙන ගේමක් දීල සල්ලි හොයාගෙන සව් කොළ ගෙනල්ල තව තංගුස් නූල් පන්දුවකුත් ගෙනල්ල එකත් ලීයක් වටේ ඔතාගෙන පොඩි ගේමක් දෙන්න ඕනේ. අනික අපිට සරුංගල් යවන්න කියල ලොකු ඉඩක් තිබ්බේ නෑ. ඉතින් අපි තෝරාගත්තේ ගෙදර ඉස්සරහින්ම යන රේල් පාර. ඕක දෙපැත්තෙයි උඩින් හරහටයි ඇදල තියන කම්බි වල නොපැටලී සරුංගලේ නග්ගගන්න එකයි කෝච්චි වලට හැප්පෙන්නේ නැතිව සරුංගල් යවන එකයි හෙන යුද්දයක්.
මේක ලියන වෙලාව වෙද්දී ඒ කාලේ (2007තේ විතර) සරුංගල් දෙකක් තියනවා සාලේ පුටු දෙකක් උඩ. එකක් පට්ටමක්. අනික අලවල වේලෙන්න තියපු එකක්. ඔය සරුංගල් අරිනකොට පාවිච්චි කරන්න අපි ගාව වෙනම වචන සෙට් එකකුත් තිබ්බා. දැන් කාලේ මල්ලිලා එහෙම එව්වා අහලවත් නැතිව ඇති. කඩෙන් පොල් ඉරටු සරුංගලයක් ගෙනල්ල සන් නූල දාල ගෙදර බැල්කනියේ ඉඳන් නේ දැන් කාලේ සරුංගල් යවන්නේ..

         වෙන දවස් වලට ඉතින් ඉස්කෝලේ අරුන ගමන්ම වෑන් එකෙන් ඇවිත් තියන මොනාහරි ගිලදාලා දුවනවා සෙල්ලම් කරන්න. ඒවා ඉවරල ගස් වැද්දෝ වගේ දූවිලි පෙරාගෙන ගෙදර එන්නේ 6ට විතර. ඒ ඇවිත් නාල එහෙම තේ එකක් බීල ගෙදර වැඩ කරලා නිදි. එච්චර තමා. ක්ලාස් බ්ලාස් මොකුත් නෑ ඒ කාලේ. (පන්තියෙන්ම අන්තිමටම ක්ලාස් යන්න පටන්ගත්තේ මමද කොහෙද)

          කිව්වට විස්වාස කරන්න මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ තමා අවුරුදු දාහතරකට පස්සේ ප්‍රගති වාර්තා පොත නැතිව ගෙදර ඉන්න පලවෙනි දෙසැම්බර් මාසේ. ඒ කාලේ අමාරුම වැඩේ ඕක ගෙදරට පෙන්නන එක. (මොකෝ ඉතින් අපි පයිතගරස්ලා නෙවෙයිනේ )

ඒ කාලේ දෙසැම්බර් වල තියන තව දෙයක් තමා දහම්පාසල් විභාගේ. එකට නම් මම පාඩම් කලේ දෙපාරයි. ඒ දහය වසරේ විභාගේටයි දහම් පාසල් අවසාන විභාගේටයි විතරයි. අනිත් අවුරුදු වල නම් පොත අල්ලන්නේ වත් නෑ.

         ඒ දවස් වල පාසල් කාලේ කරපු තව වැඩක් තමා නිවාඩු දෙන දවසේ ගුරුතුමන්ටයි තුමියන්ටයි වැඳලා එන එක. ඇත්තෙන්ම ඒ ගොල්ලන්ගේ ආශිර්වාදය ඉතාම වටිනා දෙයක්. ඉතින් අපි අපිට උගන්නපු ගුරුවර ගුරුවරියන්ට බුලත් දීල වැඳලා තමා නිවාඩුවට ගෙදර එන්න පිටත් වෙන්නේ. මේ දෙසැම්බර් මාසේ ඒ කිසිම දෙයක් නෑ...

         අවුරුද්ද අන්තිමේ බොහෝ අවුරුදු වල අපි පන්තියම එකතු වෙලා පාටියක් දානවා. හැමෝම මොනාහරි ගෙනල්ල කාල බීල සන්තෝසෙන් අවුරුද්ද ඉවර කරනවා. නමුත් ඉතින් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙද්දී ඒ යාළුවො රටේ තැන තැන. එහෙම එකතු වීමක් ගැන දැන් හිතන්නවත් අමාරු විදියට අපි ඈත් වෙලා..

         මීට අවුරුදු 14කට කලින් මුල්ම දවසේ අප්පච්චිගේ අතේ එල්ලිලා පාසල් භූමියට පා තියද්දි ගෙදරින් වෙන් වෙලා ඉන්න වෙන එක ගැන දැනුනු දැඩි කනගාටුවට වැඩි කනගාටුවක් ඊට අවුරුදු 14කට පස්සේ එතන දාල එද්දී නොදැනුනා කිව්වොත් ඇත්තෙන්ම එක බොරුවක්. මම හිතන්නේ එක දිගට එච්චර කාලයක් ඒ වගේ තැනක හිටපු ඕනෙම කෙනෙක්ට එක සාධාරණයි. අනික අපි මුලින්ම ඇතුලට යද්දී අපිව සනසන්න, අපිව භාරගන්න ගුරුවර ගුරුවරියන් හිටිය. එයාල ගෙදරින් පිට කියල නොහිතෙන්න වෙනසක් නොදැනෙන්න අපිව බලාගත්ත. ඕනේ දෙයක් කතා කරන්න යාළුවො හිටිය. නමුත්, නමුත් ඊට අවුරුදු 14කට පස්සේ අපි ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට බැහැල පය තියන්නේ සමාජයට. එතන කවුරු විස්වාස කරන්නද, මොනවා වෙයිද කියල කලින් කියන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නෑ. ඒ කියන්නේ ඇත්තටම අපි වෙනම ලෝකෙකට යනවා වගේ. එහෙම තැනකට ගිහින් බොහෝ විට කරදරේක වැටුනම, එහෙමත් නැත්තම් අමාරු අවස්ථාවකට මුහුණ දීපු වෙලාවක තරම් අපිට අපේ පාසල ගැන මතක් වෙන වෙලාවක් තවත් නෑ කියල මම කියනවා.

         මම මේ ටික ලිව්වේ හිතේ තියන හැම දෙයක්ම එලියට දාන ඕනෙවට. නමුත් එක හිතුව තරම් ලේසි නෑ. අපි ඇත්තටම මුල්ම දවස් වල ඉස්කෝලෙට වෛර කරනවා. ගුරුවරුන්ට පලු යන්න බනිනවා. උදේට සමහර ගෙවල් වල දෙවෙනි ලෝක යුද්දේ රිපීට් වෙනවා.. ඒ උනාට, අපි ගොඩ දෙනෙක්ට පාසල් කාලය තරම් සුන්දර කාලයක් අය ජීවිතේටම එන්නේ නෑ. ඒ කාලේ සිද්ද වෙච්ච පුංචි සිදුවීමක් උනත් පහු කාලේ ආසාවෙන් සිහිපත් වෙන දෙයක් වෙනවා.. මේ සටහන අවසන් කරන්න මම පාසල් පුස්තකාලේ තිබිල මට හම්බ වෙලා කියවපු ගුණදාස ලියනගේ මහත්මය ලියපු "මල්ලිගේ විත්ති " කියන පොතේ හැඳින්වීමෙන් උපුටාගත් පාඨයක් යොදාගන්නම්...
"පසු වී ගිය යුගය නිතර ම රසවත්ය. අප මේ ගත කරන යුගය ද ඒ තරමටම නැතිනම් ඊටත් වඩා රසවත්ය. එහෙත් ඒ රසය අපිට අද නොතේරේ. කාලයාගේ ගමන සමග මේ අප ගත කරන යුගයට 'පසුගිය යුගය' යන නම යම් දිනක ලැබේද, එදාට එහි රසවත් බවත් ඉස්මතු වී පෙනෙන්නේය. එදා කරදර, හිරිහැර, කටුක දේවල් ලෙස අප සලකූ සිද්දීන් අද තනිකර රස වැදලි බවට පත් ව ඇත"

           පාසල් යුගය පසු වී ගොස් ඇත. එය නම් නියම රස වැදැල්ලක් බව සැබෑය. නමුත් ඒ රසවත් කාලය කිසි දා නැවත  මේ භවයේදී නම් නොඑනු ඇත..........
    
ඉතින් ආයුබෝවන්...

No comments:

Post a Comment