Thursday, December 31, 2015

ආපසු හැරී බැලීම...

           ඔන්න තවත් අවුරුද්දක් ඉවර වෙලා.. ඒ කියන්නේ අපි තව අවුරුද්දකින් වයසට ගිහිං.. මේ බ්ලොග් එක තව අවුරුද්දක් පරණ වෙලා...              

           මේ අවුරුද්දේ නම් වැඩිය කියන්න දෙයක් නෑ ඉතිං. වැඩිය ට්‍රිප් ගියේ එහෙමත් නෑ.. වැඩිය කියන්නේ ගියේම නැති තරම්. ගල්බොඩ දිය ඇල්ල බලන්න දෙවතාවක් ගියා, බ්ලොග් ගෙට් එකට ආවා.. ආ රේල්වේ ෂෙඩ් ටික බලන්න ගියා. ඔච්චරයි. ගෙදරටම ගෙවිච්ච අවුරුද්දක් කියන්න පුළුවන්.. 

කේ වී එස් 12 සෙට් එකක් ගිය වැඩිම උස- ගල්බොඩ..
           මේ අවුරුද්දේ යන්න හම්බුන වැදගත් ගමන් වලින් එකක් තමා විශ්‍රාමික දිස්ත්‍රික් පරීක්ෂකවරයෙක් වන තිබ්බොටුමුනුව මහතා හමුවෙන්න යන්න ලැබීම. ඒ ගමනෙන් මම පැරණි දුම්රිය එන්ජීන්, ඒ කාලේ මෙහෙයුම් කටයුතු, ධාවන කටයුතු ගැන බොහෝ දේ දැනගත්තා.. ආපහු ඒ පැත්තේ යන්න ඕනේ.. 

           මේ අවුරුද්දේ දෙසැම්බර් මාසේ බ්ලොග් ගෙට් එකක් නෑ. ඒක නම් ටිකක් අවුල්. ඒ උනාට සයිබර් අවුරුදු උත්සවයට මම ආවා. ඒ ගැන මීට කලින් පෝස්ට් එකක් ලියල තියනවා. ඒකෙදි හමු උනා හොඳ මිතුරුමිතුරියන් ගොඩක්. එයින් සමහර දෙනෙක් අදටත් කතා බහ කරනවා.. තවත් සමහරක් නම් ආ ගිය අතක් නෑ.. 

බ්ලොග් ගෙට් එක.. ලබන අවුරුද්දේ නම්....
          ඊළඟට, මට මේ පාරත් අපේ යකඩ යකා ගෙට් එක මිස් උනා. මේ පාර ඉතාම හොඳ වැඩ සටහනක් සංවිධානය කරලා තිබුනත්, මේ අවුරුද්දේ වැටිච්ච එකම විභාගය ඒ කාලෙටම වැටිලා තිබුන නිසා ඒ ගමන යන්න බැරි උනා. ඒ විභාගය නම් .... හාපෝ... සබ්ජෙක්ට්ස් දෙකක් ආයෙත් ලියන්න උනා දෙසැම්බර් වල. 
යකඩ යකා ගල්බොඩ ට්‍රිප් එක..
        වෙන අවුරුදු වල හෝ ගාලා රට වටේ අවිද්දට, මේ පාර යන්න උනේ එකම එක රේල් හයික් එකයි. ඒ නානුඔය- ග්‍රේට් වෙස්ටර්න් අතර ගිය එක. ඊට පස්සේ හයික් යන්න බැරි උනා, මොකද මම වෙනද හයික් යන යාලුවා, අශාන් විජේකෝන් පියාඹන හමුදාවට බැඳුනු නිසා.  
        ඒ වගේම, මට පාසල් කාලයේ ඉඳන් හිටිය හොඳම මිත්‍රයෙක් වුන කාංචන අතුරුපාන මිත්‍රයා, ඔහුගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත උනා.. ඒක නම් මට සෑහෙන පාඩුවක්. මොකද මට ප්‍රශ්නයක් ආපු හැම වෙලාවකම එයා මගෙත් එක්ක හිටියා.. කොහොම උනත්, මම ඔහුට සුභ පතනවා..!

        හරි දැන් ඔය ටිකේ කිව්වෙම මට කරන්න බැරි උන, නැත්තම් අසුභ දේවල් නේ.. රට පැත්තෙන් ගත්තත් මේ අවුරුද්ද මහා අපබ්‍රංස අවුරුද්දක් කියල තමා කියන්න තියන්නේ. මුලින්ම, 2005 ඉඳන් අපේ රටේ ජනාධිපති වෙලා හිටිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා, ජනවාරි 5 වෙනිදා පැවති ජනාධිපතිවරණයෙන් පස්සේ ගෙදර ගියා. ඒ වෙනුවට ආවේ රජරට පැත්තේ පසුබිමක් තියන මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. ඔහුට නම් එක පිට එක විරෝධතා එල්ල වෙනවා සෑහෙන්න. ඒවාට ඉතිං එතුමාත් වග කියන්න ඕනේ. දේශපාලනය මම කතා නොකරත්, ඒ ටික නම් මම කියන්න ඕනේ. අරහේ විල්පත්තුවේ කැලේ කපනකොට, හොරු එලියට එනකොට, අනංමනං වෙනකොට නොදන්නා තාලෙට ඉඳලා, කොහෙවත් යන බ්‍රා එකක් දැකපු ගමන් තමා ලයිට් එක පත්තු උනේ.. දැන්වත් එතුමා ඇස් ඇරලා බලන්න පුරුදු උනා නම් හොඳයි කියලයි අඟහරු අපේ අදහස.  
        රට ගැන කතා කරන්න ආපු නිසා, තව එකක් කියන්න ඕනේ. ඉස්සෙල්ලා තිබ්බ සන්ධාන (කොහෙද දන්නේ නෑ මේකේ සන්ධානයක් තිබ්බේ) ආණ්ඩුවක් නේ.. ඔන්න ඔය අගෝස්තු මාසේ (ද කොහෙද) තිබ්බා මැති වරණයක් කියල එකක්. එකෙන් ඔය ආණ්ඩුව පෙරලුනා (ලු). පෙරලිලා දැන් තියන්නේ අච්චාරුවක්. හැබැයි ඉතිං හට්ටි මාරු උනාට මාළුව එකයි වගේ තමා මට නම් පේන්නේ..  

        දේශපාලනයෙන් එලියට ගිහිං බැලුවොත්, මේ අවුරුද්දේ ප්‍රධානම ලක්ෂණය තමා කෙළවරක් නැති මල ඉලව් වැස්ස. අවුරුද්ද පටන් ගත්ත දවසෙත් වැස්සද කොහෙද. මේක ලියන දැනුත් වලාකුල් තියනවා අහසේ. හවසට දෙයිද දන්නේ නෑ.. ඔය ඉලව් වැස්ස නිසා මට හැදුනා හෙම්බිරිස්සාවක් දැන් මාස දෙක තුනකට උඩ දී. තාම තියනවා..

        ආ තව එකක්- මේ අවුරුද්දේ මොනවා නැතත් හොඳ කතා ටිකක් නම් අහගන්න ලැබුනා එහෙන් මෙහෙන්. දැන් මම දන්නවා බස් එකක හිටගෙන යනකොට කොන්දොස්තර ඇවිත් වාඩි වෙන්න කිව්වොත් උත්තර දෙන්න ඕනේ විදිය. මෙන්න මෙහෙමයි-

" ඇයි ඔය සීට් තියද්දි හිටගෙන ඉන්නේ? ඉඳගන්න ඉඳගන්න....."

මෙන්න මෙහෙමයි උත්තර දෙන්නේ-
"උඹ කවුද යකෝ මට ඉඳගන්න කියන්න? උඹ කවුද මාව වාඩි කරවන්න... * ක යා....."  

      හරි.. රට ගැන කිව්වා ඒ  ඇති.. ආය මොනවද ලියන්න ඕනේ කියල බැලුවම මතක් උනේ.. මේ අවුරුද්දේ එකම හොඳ දේකට තිබ්බේ මගේ දහම් පාසල් ගුරු ජීවිතය විතරද කොහෙද. මේ අවුරුද්දේ මම උගන්නපු පංති දෙකම ඉතාම හොඳට කටයුතු කරා. අපි එකතු වෙලා දන්සැල් තිබ්බා, වෙසක් කූඩු  හැදුවා.... හෝ ගාලා වැඩ කරා.. 

දන්සැල.. මේක නම් ලෙසටම ගියා..
      ඒත්, මේ අවුරුද්දෙන් පස්සේ ඒ එක පන්තියක් දහම් පාසල් ඉවර වෙලා යන්නම ගියා. ඒ තමා මම ඉස්කෝලේ ඉගෙනගන්න කාලේ ඉඳලම උගන්නපු අන්තිම පන්තිය. අනික් පන්තිය උනත් මට ආය හම්බවෙන එකක් නෑ.. බොහෝ විට මගේ දහම් පාසල් ගුරු ජීවිතය මෙතනින් ඉවර වේවි..  
10 වසරේ ක්ලාස් ඒකත් එක්ක ගැහුවා ගෘප් ෆොටෝ එකක්..
     ආ තව එකක්- ට්‍රිප් ගියේ නෑ කිව්වට නොගියමත් නෙවේ.. එකක් දෙකක් වැටුනා අහම්බෙන් වගේ. එකක් තමා ඔය කලින් කියපු ගල්බොඩ ඇල්ල බලන්න යන්න සෙට් උන ට්‍රිප් ටික. ගල්බොඩ ඇල්ල ගැන මම මෙතැනයි, ෆේස්බුක් එකෙයි කියපු නිසා ආය කියන්න යන්නේ නෑ. අනික් ට්‍රිප් එක තමා රත්නපුරේ හරහා බලංගොඩ යන්න ලැබුන එක. දවස් තුනක වගේ ගමනක් උනාට, නියමම දවස් තුනක්. එහෙ කට්ටියත් එක්ක වටේ ඇවිදලා, ක්‍රිකට් ගහලා, ෆිල්ම් බලලා නාලා එහෙම ආවා. හැබැයි ඉතිං මගේ අතින් උන (ඔව් මගේ කටට බ්‍රේක් නෑ නේ) වැරද්දක් නිසා දැන් බලංගොඩ කස්ටිය තරහ වෙලා..  

බලංගොඩ ඉඳන් එන ගමන්...
    ඉතිං ඔයින් මෙයින්, 2015 අවුරුද්ද ගෙවිලා ගියා.. මේ අවුරුද්දේ අන්තිම ට්‍රිප් එක විදියට, මට දෙමටගොඩ Hydraulic Locomotive Shed එක බලන්න යන්න අවස්තාවක් හම්බුනා අපේ සහන් ජයසුරිය මලයට ස්තුති වන්ත වෙන්න. එදා මම මගේ තවත් හීනයක් සැබෑ කරගත්තා.. ඒ තමා කාලයක් උඩරට වැඩකාරයා වෙලා හිටිය W2 පන්තියේ එන්ජිමක් දකින එක..
    

ඩබ්ලිව් 2 එන්ජිම සමග අඟහරුවා..
(සේයාරු අනුග්‍රහය- සහන් ජයසුරිය)
     අද පන්සලේ උදේ දානයක් තිබ්බා. ඒකට ගිහිං ඇවිත් තමා මම මේ ලියන්නේ. සාමාන්යෙන් ඔත්තේ අංක වල අවුරුදු මට කොහොමත් ටිකක් අසුභයි. 2014 අවුරුද්ද මම ගෙවපු හොඳම අවුරුදු වලින් එකක්.. බලමු නේද 2016 කොහොම වෙයිද කියලා... එහෙනම් ඔන්න කට්ටියටම, 
  ලබන්නා වූ නව වසර සුභම සුභ නව වසරක් වේවා..!!!

Friday, December 25, 2015

උඩරට දුම්රිය මාර්ගයේ උප ප්‍රධාන දුම්රිය ස්ථානය වෙත...

          ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වූ පොඩි මැණිකේ, උස ගස් වලින් සමන්විත පෙදෙසකට අවතීර්ණ විය. මාර්ගයේ ඇති තියුණු නැග්ම නිසා, ග්‍රේට් වෙස්ටර්න් වලින් පිටත් වී සුපුරුදු වේගය ගැනීමට ඇයට සුළු වෙලාවක් ගත විය. 

රූස්ස ගස් වියන තුලින්...
       
   C අකුරේ හැඩයට පිහිටි විශාල වංගු දෙකක් පසු කල පොඩි මැණිකේ, ඉන් අනතුරුව තේ වතු අතරට එකතු වූවාය.

තේ වතු අතරින්....
           ඒ අතරින්ම පිහිටි කුඩා පාලමකින් එතෙර වී, නැවතත් තියුණු වංගුවකින් දකුණට හැරුණු ඇය පිවිසියේ, මෙම ගමනේදී හමුවන තවත් නැවතුම්පොළක් වන රදැල්ල දුම්රිය නැවතුම වෙතයි.. 

රදැල්ල දුම්රිය නැවතුම.
          රදැල්ල දුම්රියපොළ අවට තේ වතු ආදියට සේවා සපයන කුඩා දුම්රියපොලකි. දුම්රිය කිහිපයක් පමණක් නවත්වන මෙහි ටැබ්ලට් ආදිය නැත. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 125කත් දම්වැල් 58ක දුරකින් පිහිටි මෙම කුඩා දුම්රියපොලින්, එදා මගීන් බොහෝ පිරිසක් බැස ගියහ. 
තේ වතු අතරින් නානුඔය බලා..
          රදැල්ල දුම්රියපොලින් පිටත් වූ පොඩි මැණිකේ, තවත් මද දුරක් ගමන් කලේ අලංකාර පරිසර කලාපයක් තුලිනි. එක පසෙකින් තේ වත්තක් ද, අනෙක් පසින් තරමක දල බෑවුමක් ද පිහිටි මෙම ප්‍රදේශය, දිඹුල දිස්ත්‍රික්කයේ මනරම් දසුන් පෙළක් ඇස් මානයේ දක්වයි. එම දර්ශනපථය ශ්‍රී පාදස්ථානය දක්වා විහිදෙයි..  
උඩරට එළවලු වගාවන් අතරින්..

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය සහ දිඹුල නිම්නය..
          මෙම කොටසේදී අපට මෙම ගමනේ හමුවන අංක 17 බිංගය හමු වේ. එය හමු වී, මද දුරක් ගමන් කරන දුම්රිය, තවත් පාලමකින් එතෙර වේ. ඈතින් දුම්රිය ස්ථානයක් දිස් වේ. 

පා පුවරුවේ ගමන් කිරීම දරුවන් ලැබිය හැකි වරදකි..
          තවත් පාලමකින් එතෙරවන දුම්රියට ලැබී තිබුණු සංඥාව අනුව, ඇය වේගය බාල කරමින් තවත් ප්‍රධාන දුම්රිය ස්ථානයකට ඇතුළු වූවාය.. 


    
නානුඔය පිවිසුම..
      
නානුඔය වේදිකාවට ඇතුළු වීම සඳහා Inner Home සංඥාව ලැබී තිබුණු අයුරු..
       ඒ, ලංකාවේ ප්‍රධානතම දුම්රිය ස්ථානයක් වන නානුඔය දුම්රිය ස්ථානයයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 128ක් සහ දම්වැල් 5ක දුරින් පිහිටි මෙම ඉපැරණි, එහෙත් මනස්කාන්ත දුම්රිය ස්ථානය, මුහුදු මට්ටමේ සිට අඩි 5291ක උසකින් පිහිටා ඇත. එක් කලෙක මෙම දුම්රිය ස්ථානය උඩරට මාර්ගයේ අන්තය වශයෙන් ද, සුන්දර උඩු පුස්සැල්ලාව මාර්ගය බෙදී යන මංසන්ධිය වශයෙන් ද පැවතුනි. 

නානුඔය නතර කරන පොඩ්ඩි..
          නානුඔය දුම්රිය ස්ථානයේ විශේෂතා කිහිපයකි. විශාල අංගනයක්, එන්ජින් 4ක් සඳහා ධාවනාගාරයක් මෙන්ම ක්‍රියාකාරී තත්වයේ හැරවුම් මේසයක් මෙන්ම, සියලු පහසුකම් සහිත විශාල දුම්රිය ස්ථානයක් මෙහි ඇත. කලක් නානුඔය උඩරට දුම්රිය මාර්ගයේ අන්ත්‍ය දුම්රිය ස්ථානය වශයෙන් පැවතුනි. මෙකල නාවලපිටිය- නානුඔය අතර ධාවනය වූ දුම්රිය සඳහා වැඩි බලයකින් යුත් එන්ජින් අවශ්‍ය විය. ඒ සඳහා 4-6-0 ඇක්සල් සැකැස්ම සහිත එන්ජින් ආනයනය කොට, ඒවා මෙම දුම්රිය ධාවනාගාරයට එක් කෙරුණි. නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථාන කේතය NOA ආශ්‍රයෙන් එම දුම්රිය එන්ජින් NOA පන්තිය ලෙස හැඳින්වුනි.
නානුඔය දුම්රිය ධාවනාගාරය.
            එමෙන්ම, මෙහි වේදිකා දෙක පිහිටා ඇත්තේ දුම්රිය මාර්ග අතර පිහිටි දූපතක් ආකාරයටය ( Island platforms). දුම්රිය ඉංජිනේරු කාර්යාලය දුම්රිය ස්ථානයට ආසන්නව පිහිටා ඇත. 

දිස්ත්‍රික් ඉංජිනේරු කාර්යාලය (ඉහල දිස්ත්‍රික්කය)
            එක් කලක් මෙම දුම්රිය ස්ථානය උඩුපුස්සැල්ලාව පටු දුම්රිය මාර්ගය සමග මංසන්ධියක් නිර්මාණය කළේය. එකල මෙම පටු මාර්ගයට අයත් වේදිකාව, වර්තමාන 1, 2 වේදිකා අතර (Bay platform) පිහිටියේය. මෙම මාර්ගය ආරම්හ වූ ස්ථානයේ තිබුණු සැතපුම් 0 කනුව (Zero mile post)  අදටත් එතැන දැකිය හැකිය.
එකල උඩුපුස්සැල්ලාව මාර්ගය ආරම්භ වූ ස්ථානයේ ඇති සැතපුම් 0 කණුව.
           නානුඔයෙන් ආරම්භ වූ උඩුපුස්සැල්ලාව මාර්ගය අධික ආනතියක් ඇති මාර්ගයක් ඔස්සේ ගමන් ගනී. මෙම මාර්ගය වැටී තිබුණු ඉසව්ව අදටත් දැකිය හැකිය. එහෙත් අද නම් එය අඩි පාරකි. 

උඩුපුස්සැල්ලාව මාර්ගය නානුඔය මංසන්ධියට ඇතුළු වූ ස්ථානය.
          1960 දශකයේ නානුඔය දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම නවීකරණය විය. අද දක්නට ඇත්තේ එම නවීකරණය වූ ගොඩනැගිල්ලයි. එහෙත් පැරණි සිහිවටන තැනින් තැන දක්නට ලැබේ. 

          නානුඔය දුම්රිය ස්ථානය මෙම ගමනේ තවත් වැදගත් ස්ථානයකි. එනම්, ඉහලට යන පොඩ්ඩි සහ පහලට එන පොඩ්ඩි මුණ ගැසෙන්නේ මෙතැනදීය. වර්තමානයේ එය ග්‍රේට් වෙස්ටර්න් වලදී සිදු වුවත්, එකල එම මාරු වීම සිදු වීමට නියමිත වූයේ නානුඔය දුම්රිය ස්ථානයයි. මෙදිනත් අප පහලට එන පොඩ්ඩි එනතුරු මද වෙලාවක් රැඳී සිටියෙමු. ඒ අතර අප ජයාරූප ගත්තෙමු. මා නානුඔයට පැමිණියේ වර්ෂ 1997 පැමිණියායින් පසුවය. 

කොළඹ බලා ඇදෙන පොඩ්ඩි..
         පහලට ආ පොඩ්ඩි ආ පසු, අප වෙත නැවතත් ඉහලට ගමන් කිරීමට අවසර ලැබුණි. දුම්රියට ටැබ්ලට් ලබා දුනි. සංඥා පහත් විය. හැටන් වලදී මෙන්ම, පහලට යන පොඩ්ඩිගෙන් නලා හඬක් ඇසුනි. ආචාර සමාචාරයෙන් අනතුරුව, අප රැගත් පොඩ්ඩි, සොඳුරු කඳුකරයට යන ගමන නැවත ආරම්භ කලාය...  
නානුඔයෙන් එලියට යන පොඩි මැණිකේ දුම්රිය ඇතුලත.. (තුන් වන පන්තිය).
(සේව් කොට තිබු පෝස්ටුව අවසාන වෙනස්කම් රහිතව පෝස්ට් වී තිබීමෙන් සිදු වූ අපහසුතාවයට කණගාටුව.)

Saturday, December 19, 2015

මිහිබට පාරාදීසය වෙත..

          වටගොඩ පසුකර ඉදිරියට යන පොඩි මැණිකේ ඇතුළු වූයේ, මිහිපිට සුරපුරයක් වැනි අඩවියකටය. තේ වතු වලින් වට වූ මෙම ප්‍රදේශයේ, අතරින් පතර කුඩා දිය ඇලි දක්නට හැකි විය. එමෙන්ම ඒ මැදි කරගත් තේ වතු සහ අතරින් පතර ඉතිරි වූ කැලෑ අතරින්, දම්වැල් පහ ප්‍රමාණයේ වංගු සහිතව ඉදි වූ දුම්රිය මාර්ගය දිව්‍ය විමානයකට යන මාර්ගයක සිරි ගත්තේය..

තේ වතු වලින් වට වූ පරිසරය..
         මෙම මාර්ග කොටස ද තරමක් කෙටි එකකි. එනම් සැතපුම් තුනක දුරකි. පොඩි මැණිකේ මෙම දුර ගෙවීම සඳහා මිනිත්තු 8ක් ගෙන තිබුණි. දිගටම පැවති අඩි 44ට එකක් වූ දැඩි ආනතියත්, වංගු සහිත මාර්ගයත් එම කාලය සාධාරණීකරණය කළේය. 

         මද දුරක් කැලැව තුලින් ඇදී ගිය පොඩි මැණිකේ, පැරණි පෙනුමක් තිබූ පටු පාලමක් යටින් ගමන් කළේය. මා එය දුටුවේ අවසාන මොහොතේය. එහෙත් මාගේ විශ්වසනීය ජංගම දුරකථනය එය මැනවින් කැමරාවේ සටහන් කරගන්නට සමත් විය. 

වතු කම්කරුවන්ට ගමන් කිරීමට ඇති පාලම.
         දුම්රිය තරමක් විවෘත බිමකට අවතීර්ණ විය. වම් පසින් දැවැන්ත ප්‍රාකාරයක් බඳු කඳු වළල්ලක් නැගී සිටියේය. ඒ, ග්‍රේට් වෙස්ටර්න් කඳු යායයි.  
ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය..
         C  අකුරේ හැඩයට පිහිටි දැවැන්ත වංගුවක් පසු කල පොඩි මැණිකේ, දිවයිනේ පිහිටි සුන්දරතම දුම්රිය ස්ථානයකට ලඟා වූවාය..  
දුම්රිය ස්ථානය වෙත අවතීර්ණ වෙමින්..
         ඒ නම්, ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 123ක් සහ දම්වැල් 25ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4774ක උසකිනුත් පිහිටි මෙම මනස්කාන්ත දුම්රිය ස්ථානය, දුම්රිය දෙකක් මාරු වීම සඳහා පාෂ මාර්ගයකින්, වේදිකා දෙකකින් සහ උස්ව පිහිටි සංඥා කුටියකින් සැදුම්ලත් කුඩා දුම්රිය ස්ථානයකි. 

ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානය වෙත ලඟා වන පොඩ්ඩි..
        ග්‍රේට් වෙස්ටර්න් කන්ද පාමුල පිහිටි මෙම දුම්රිය ස්ථානය, පිහිටා ඇත්තේ තැනිතලා බිමක නොව අඩි 45ට එකක් පමණ වූ ආනතියක පිහිටි මාර්ගයකය. එබැවින් මෙම දුම්රිය ස්ථානයේ නතර කෙරෙන දුම්රියක්, නැවත ගමනාරම්භ කිරීම සඳහා සෑහෙන උත්සාහයක් දැරිය යුතුය. රියදුරු මහතා මනා පළපුරුද්දක් සහිත කෙනෙකු විය යුතුය. නොඑසේ නම් තිරිංග මුදාහල වහා දුම්රිය නැවත කොළඹ දෙසට ඇදී යනු නියතය. 

        ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ විශේෂත්වයක් ඇත. එනම්, කාලයකට කලින්, මෙහි ටැබ්ලට් යන්ත්‍ර රාත්‍රී කාලයේ ක්‍රියා විරහිත කෙරුණි. වටගොඩ සිට කෙලින්ම නානුඔය ටැබ්ලට් යන්ත්‍රය වෙත සංඥා ලබා දීම සහ ටැබ්ලට් ලබාදීම කළහැකි වුනි. නමුත් දැන් එම ක්‍රමය වෙනස් වී ඇත. රාත්‍රී තැපැල් දුම්රිය දැන් මෙහි නතර කෙරේ. 

ග්‍රේට් වෙස්ටර්න් දුම්රිය ස්ථානයේ නැවතී සිටින පොඩි මැණිකේ..
        පොඩි මැණිකේ මෙම මනස්කාන්ත දුම්රිය ස්ථානයේ විනාඩි දෙකක් නතර වී සිටියාය. දැන් අය නැවතත් ගමන් ඇරඹීමට සූදානම්ය. සේයාරුවක් ගැනීමට ඉදිරියට දිව ගිය මා නැවත පාපුවරුවට අඩිය තැබුවා පමණි. පොඩි මැණිකේ නැවතත් ඉදිරියට ඇදුනි..

Saturday, December 12, 2015

පාරාදීසයේ ඉම වෙත...


         
ඉහල කොත්මලේ ජලාශය හරහා..
          තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩ්ඩි, මෑත කාලයේ අප සමාජයේ විශාල කතාබහකට ලක් වූ ඉහල කොත්මලේ ජලාශය හරහා ගමන් කලාය. ජලාශය හරහා ඇයට එතෙර වීමට වංගුවක පිහිටි ඉතා අලංකාර පාලමක් සාදා ඇත. 
ජලාශය හරහා ඇති පාලම.
ඉහල කොත්මලේ ජලාශයේ දොරටු සහ වේල්ල.
            එයින් එතෙර වී, ජලාශය වටේට ඇය ගමන් කරේ, ඉතා දැඩි ආනතියක් සහිත වූ මාර්ගයක බව අපට දැනුනි. එන්ජිමට ආසන්න මැදිරියේ සිටි මට, පසුපස නිරීක්ෂණ මැදිරිය මා සිටි මට්ටමට බොහෝ පහලින් ඇති බව දක්නට හැකි විය. 
  
ජලාශයෙන් එතෙර වී කන්ද නගින්නට සැරසෙමින්..
            මෙම අඩවිය පසුකරන පොඩි මැණිකේ, මද දුරකට පසු පිවිසෙන්නේ වක්‍රාකාර මාර්ගයකටයි. මෙම කොටසේ තිබෙන වංගු සංඛ්‍යාව කොපමණ දැයි කිවහොත්, තලවාකැලේ සහ වටගොඩ අතර සිතියමක තනි කෙලින් ඉරක් ඇන්දහොත්, දුම්රිය මාර්ගය එම ඉර ස්ථාන නමයකින් කැපී යයි! 
වංගු සහිත මාර්ගය තරණය කරන පොඩ්ඩි..
            තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් සැතපුම් එක හමාරකට දෙකකට පමණ ඉහලින්. ඩෙවෝන් ඇල්ල පිහිටා තිබේ. දැන් නම් එය නොපිහිටි තරම් ය. 
මෙන්න ඉතිරිය..
            දුම්රිය වංගු, තේ වතු පසු කරමින් ඉහලට ඇදෙයි. ඈතින් ඉතා අලංකාර පාලමක් දිස් වේ.  
ඈතින් දිස් වූ පාලම..
“තව ටිකකින් අර පාලම උඩින් අපි යනවා. ෆොටෝ එකක් ගහල තියාගනින්..” 

අකිල අයියා එසේ කියනු ඇසෙයි. මා හනිකට සේයාරුවක් ගනිමි.. තවත් විනාඩියක පමණ ඇවෑමෙන්, පොඩි මැණිකේ ඉතා සීරුවෙන් එම පාලම හරහා ගමන් කරයි..! 
පාලම උඩින් ගමන් කරන පොඩි මැණිකේ..
            පාලම පසුකරන පොඩි මැණිකේ, මෙම ගමනේදී අපට හමුවන 16 වන බිංගය පසු කරයි. එසේ පසු කරන පොඩි මැණිකේ, මෙම මාර්ගයේ හමුවන තවත් අලංකාර මෙන්ම තරමක් විස්මයජනක ඉදිකිරීමක් වෙත පිවිසේ. ලංකාවේ දුම්රිය මාර්ගයක (පුළුල් ආමාන - Broad Gauge) උපරිම ආනතිය අඩි 44ට එකකි. කිසිම හේතුවක් නිසා මෙය ඉක්මවා යා නොහැකිය. එම නිසා උඩරට මාර්ගයට භූවිෂමතාවයට අනුව සැකසීමට ඇති එකම ක්‍රමය නම්, උස වෙනස් වීම් වලදී, ඉතා දිගු දුරවල් යොදා වක්‍රාකාර මාර්ගයක උස මෙන්ම දුර තරණය කිරීමයි. 
Soda Bottle Curve.
            මෙම කොටසේදී, දම්වැල් දහයක දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර ඇති අඩි 90ක උස පරතරය තරණය කිරීමට, දුම්රිය මාර්ගය සැතපුමක පමණ දුරක් ගෙවයි! මෙම කොටස හඳුන්වන්නේ “Soda bottle curve” යනුවෙන්ය. ඒ, මෙම මාර්ගය ඉහල සිට බැලීමේදී පැරණි සෝඩා බෝතලයක හැඩයට දිස් වන නිසාය. එමෙන්ම, මෙම කොටසේ යන දුම්රියකට, සෝඩා බෝතලයේ කට කොටසේදී, පසු කර ආ මාර්ගය ඉතා පහලින් දැකිය හැකිය. 

            මෙම වංගුව පසුකල පොඩි මැණිකේ, තවත් කෙටි දුරක ධාවනයෙන් පසු, ලඟා වූයේ තවත් ඉපැරණි බවේ ලක්ෂණ ඉතිරි කරගෙන සිටින දුම්රිය ස්ථානයක් වන වටගොඩ දුම්රිය ස්ථානය වෙතයි.. 
ඉපැරණි බව කියාපාන දුම්රිය ස්ථානය..
           වටගොඩ දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 120කුත් දම්වැල් 10ක දුරකින් ද, මුහුදු මට්ටමේ සිට අඩි 4400ක උසකින් ද පිහිටා ඇත. වටගොඩ වනාහී තරමක කුඩා දුම්රිය ස්ථානයකි. පාෂ මාර්ග තුනක්, එක් බඩු ගබඩාවක් සහ රෝද 4 ගැල් රථවල බර කිරීම සඳහා තරාඳියකින් යුක්ත මෙම දුම්රිය ස්ථානය සතුව, පැරණි වතුර ටැංකියක් ද ඇත. 
වටගොඩ වතුර ටැංකිය.

          වටගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් කඳු වළල්ලට පිවිසුමේය. මෙහි වායුගෝලයේ ද පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි. එනම් විශේෂයෙන් එදින හිරු සහිත දිනයක් වූ බැවින්, වායුගෝලය නැවුම් බවක් ඉසිලීය. පොඩි මැණිකේ එදින නියමිත වෙලාවට විනාඩියක් කලින් වටගොඩ වෙත ලඟා වූවාය. එබැවින්, විනාඩි දෙකක කාලයක් එහි නවතා තිබුණු දුම්රිය, පෙරවරු 11.55ට, වටගොඩ දුම්රිය ස්ථානයෙන් ග්‍රේට් වෙස්ටර්න් බලා පිටත් වූවාය...  

පාලුවට ගොස් වල් වැදී ඇති වටගොඩ අංගනය සහ තරාඳිය.






Saturday, December 5, 2015

අතීතයේ තේ සුවඳ රැඳුනු තලවාකැලේ වෙත...

       කොටගලින් පිටත් වූ පොඩි මැණිකේ, ඉතාම අලංකාර ඉසව්වක් වෙතට අවතීර්ණ වූවාය. මෙහි චමත්කාරය කෙතෙක්ද යත්, මා හට සෙයාරූ ගැනීම අමතක විය. සටහන් වූ සුළු සෙයාරූ කිහිපය මෙම සටහනට එකතු කරන්නේ එම මතකය සිතේ අදටත් හොල්මන් කරද්දීය.. 
කොටගලින් නික්මීම..
        කොටගල පසු කර ටික දුරක් යන තෙක්, පැවති බෑවුම ඒ අයුරින්ම තිබේ. ඉන් අනතුරුව, කෙටි නැග්මක් ඇත. එහි ප්‍රමාණය අඩි 60ට එකකි. එය එකනෙහිම අවසන් වී, නැවතත් දුම්රිය අඩි 44ට එකක් වූ තියුණු ආනතියකින් පහලට යොමු වූ මාර්ගයක් කරා යොමු වේ. 

       මෙවැනි වෙනස් වන සුළු මාර්ග තත්වයන් යටතේ දුම්රිය ධාවනය කිරීමට, එම රියදුරු මහතා සතුව මනා පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම, ඉහලට යොමු වන ආනතියක් සහිත ස්ථාන වලදී, පමණට වඩා වැඩියෙන් බලය යෙදීමෙන් රෝද ලිස්සීමට පටන් ගනියි. පමණට වඩා අඩුවෙන් බලය යෙදුවහොත් දුම්රිය නතර වේ. රෝද ලිස්සන විට වැලි දමා දුම්රිය නැවත ධාවනය කරවාගත හැකි වුවත්, එය සෑම විටකම සාර්ථක නොවේ. එමෙන්ම වැලි පෙට්ටි (Sand boxes) වල ඇත්තේ සීමා සහිත වැලි ප්‍රමාණයකි. එය බදුල්ලට යන තුරුම ප්‍රවේසම් කරගෙන භාවිතා කල යුතුය. උඩරට දුම්රිය මාර්ගයේ සේවය සඳහා පළමුවන පන්තියේ දුම්රිය රියදුරු මහත්වරුන් පමණක් අනුයුක්ත කෙරෙන්නේ මෙම කරුණු සලකාගෙනයි. 
ඉහල කොත්මලේ ව්‍යාපෘතියට සමගාමීව ඉදි වූ නිවාස.
       දෙපසින්ම තේ වතු සහිත අලංකාර වටපිටාවකින් යුතු මෙම කොටසට, කුඩා දුම්රියපොළ දෙකක් ඇතුලත්ය. ඒවාද, තේ වතු නිසා ඇති වූ කුඩා දුම්රියපොළ (Estate platforms) පසුව මගී ප්‍රවාහනය සඳහා සැකසුනු ඒවාය. Derryclare සහ Saint Clair යන නම් දෙකින් මෙම දුම්රියපොළ ද්විත්වය හැඳින්වේ. ඩෙරික්ලෙයා දුම්රියපොළ ඉතා කුඩා දුම්රියපොලකි. මෙය අලුතෙන් ගොඩනගා ඇත. 
ඩෙරික්ලෙයා නැවතුම්පොළ. නවීකරණය වී ඇත. සෙයාරූ අනුග්‍රහය- නිපුන දොඩන්තැන්න මිත්‍රයා.
      මෙම කලාපයේ ඇති වැදගත්ම, එමෙන්ම ඉතාම සිත්ගන්නාසුළු දෙය නම් මේ කිසිවක් නොව, සෙන්ට් ක්ලෙයා දිය ඇල්ලයි. දුම්රිය මාර්ගයේ යන විට ඉතාම අලංකාර දර්ශනයක් මවා පාන මෙම දිය ඇල්ල, දුම්රිය මාර්ගයේ සිට සෑහෙන දුරින්, වම් පසට වන්නට පිහිටා ඇත. මෑත භාගයේ ඉදි වූ ඉහල කොත්මලේ ව්‍යාපෘතිය නිසා මෙහි ජල ධාරිතාව අඩු වුවත්, එමගින් එහි ලස්සන නම් අඩු වී නොමැත. මෙහි සේයාරුවක් ගැනීමට නම් ඉතාම කල්පනාකාරීව ගමන් කල යුතු මෙන්ම, ඉවසිලිවන්ත, ඉක්මන් ක්‍රියාකාරී බවක් අවශ්‍ය වේ. 
සෙන්ට් ක්ලෙයා දිය ඇල්ල එදා අපට දිස් වූ අයුරු..
       දිය ඇල්ල පසුකල විට, අපට සෙන්ට් ක්ලෙයා දුම්රිය නැවතුම දක්නට ලැබුණි. සෙන්ට් ක්ලෙයා දුම්රිය පොළ, සෙන්ට් ක්ලෙයා වතුයාය සතු තේ කර්මාන්තශාලාව අසලම ඉදි වූවකි. කොළඹ සිට සැතපුම් 114ක් සහ දම්වැල් 69ක දුරින් පිහිටි මෙම අලංකාර දුම්රියපොළ, දැනට භාවිතයෙන් තොර වී ඇත. මේ අසලම පිහිටි තේ කර්මාන්තශාලාවේ සිට කෙලින්ම තේ ප්‍රවාහනය කිරීමට, වාහක පටියකින් පවා සමන්විත වූ මෙම දුම්රියපොලේ වර්තමාන තත්වය කණගාටුවට කරුණකි. 
සෙන්ට් ක්ලෙයා දුම්රියපොළ සහ තේ කර්මාන්තශාලාව.
      මෙම දුම්රිය නැවතුම පසුකල ඉක්මනින්ම පොඩි මැණිකේ මෙම මාර්ගයේ හමු වන අංක 15 බිංගය තුලට ඇතුළු වූවේ අප සැම මොහොතකට අන්ධකාරයේ ගිල්වමිනි. එයින් එලියට පැමිණි පොඩ්ඩි, ජල තලාවක් අසල පිහිටි, ඉපැරණි බවක් විදහා දැක්වූ දුම්රියස්ථානයක නතර වූවාය. ඒ, තලවාකැලේ දුම්රිය ස්ථානයයි..
කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 115යි දම්වැල් 72ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 3935ක උසකිනුත් පිහිටා ඇති මෙම විශාල දුම්රිය ස්ථානය, දිවයිනේ ප්‍රධාන තේ දිස්ත්‍රික්ක දෙකක් වූ දිඹුල සහ ආගරපතන යන වැවිලි කලාප වෙත සේවා සපයන ප්‍රධාන දුම්රිය ස්ථානයයි. ගබඩා සංකීර්ණයක්, හැරවුම් වේදිකාවක්, විශාල දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහිත මෙම දුම්රිය ස්ථානය සතුව පාෂ මාර්ග කිහිපයකින් යුතු අංගනයක් ද ඇත. 
තලවාකැලේ දුම්රිය ස්ථාන නාමපුවරුව.
      තේ ප්‍රවාහනය කිරීමේ ප්‍රධාන ක්‍රමය දුම්රිය වූ යුගයේ, වසරකට තේ රාත්තල් මිලියන විස්සක් පමණ මෙම දුම්රිය ස්ථානයෙන් පමණක් දුම්රියට පටවා ඇත! ඒ සඳහා යොදාගත්තා යයි සිතිය හැකි ගබඩා, අද හොල්මන් ගුහා මෙන් නැගී සිටින්නේ එම සශ්‍රීක යුගයේ මතකයන් වර්තමානයට දායාද කරමිනි. තලවාකැලේ දුම්රිය ස්ථානය සේවා සඳහා විවෘත වී ඇත්තේ 1884 නොවැම්බර් මස 20 වන දාය. ඒ අනුව මෙම දුම්රිය ස්ථානයට වසර 130ක් වයසය. නමුත් එම 130 වසරටම, මෙහි වෙනස් වී ඇති දේ නම් ඉතාමත් අල්පය. 

ඉහල කොත්මලේ ජලාශයේ වේල්ල. මේ ගැන මීළඟ පොස්ටුවෙන් විස්තර බලාපොරොත්තු වන්න..
      තලවාකැලේ වෙත පැමිණි පොඩි මැණිකේ, එන්ජිම සහ ප්‍රථම තිරිංග මැදිරිය අතර ඈදුමෙහි (Coupling) යම්කිසි දෝෂයක් දැක්වූවාය. ඉදිරි ගමන ප්‍රමාද වේදැයි මා සිතේ තරමක සැකයක් ඇති විය. එහෙත් රියදුරු මහතා සහ නියාමකවරයා එයට පිළියම් යොදා, විදුලි කේබලයකද සුළු සැකසීමක් කළහ. එම කටයුතු ඉවර වී, සංඥා ලැබූ පොඩි මැණිකේ, සිය බදුල්ල බලා යන ගමන නැවතත් ආරම්භ කලාය...  
තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් පිටත්වීමට සූදානම් වූ පොඩ්ඩි..