Saturday, October 31, 2015

කාලයට අමතක වූ අඩවියක් වෙත..

       වෙලාව පෙරවරු 9.59 වී ඇත. ඉඟුරු ඔය දුම්රිය ස්ථානාධිපතිතුමාගේ නළා හඬ සමගම තිරිංග මැදිරි දෙකෙන්ද සංඥා නිකුත් විය. මද ගැස්මකුත් සමග ඇය නැවතත් ඉදිරියට ඇදෙන්නට විය. 

ගල්බොඩ බලා ඇදෙන පොඩි මැණිකේ...
       ඉදිරියට එන කොටස තරමක් දැඩි වංගු වලින් යුතුය. පා පුවරු සංචාරකයින්ගෙන් සහ සාමාන්‍ය මිනිසුන්ගෙන් පිරී ඇත. නමුත් අප පේරාදෙණියේ සිටම පා පුවරුවේ සිටි බැවින් අපට බාධාවක් නොවීය. නවීන බලවේග දුම්රියයන්ගේ නැති ආකර්ෂණයක් පැරණි පොඩි මැණිකේට සහ උඩරට මැණිකේට ලැබෙන්නේ මෙවැනි වංගු සහිත මාර්ගයේ ධාවනය වන විටය. ඇතින්නියකගේ ගමන සිහි කරවමින්, දෙපසට පැද්දෙමින්, වංගු වලදී දෙපසට නැවෙමින් පොඩි මැණිකේ සිය ගමනේ යෙදෙයි. 

        මෙම දුම්රිය බලය ලබන M6 පන්තියේ එන්ජිමේ හඬ ද එම ලාලිත්‍යටම එක් වෙයි. මෙම එන්ජිමේ හඬ සැබැවින්ම ගීතවත් හඬකි. වෙනත් එන්ජින් වල නොමැති සුමුදු හඬක් එයින් නැගෙයි. කලකට පෙර දුම්රිය ගැන වටිනා බ්ලොග් අඩවියක් ලියූ ගෙහාන් චන්දික මිත්‍රයා ඒ ගැන සටහන් කරමින්, “උඩරට කඳුකරයේ බටහිර ජර්මානු රිද්මය” නමින් මෙම එන්ජිම හැඳින්වීය.
එය සැබැවින්ම අත්දැකීමට නම් ඔබත් එම එන්ජිම සමගින් කඳු තරණය කර තිබිය යුතුය. ඔබ සිටින්නේ නැරඹුම් මැදිරියේ නම්, දුම්රියේ හඬ අතරින්, ඉදිරිපස ඇති එන්ජිමේ හඬ ඔබට සිහින් මුනුමුණු හඬක් ලෙස ඇසෙනු ඇත. මට නම් එය දැනුනේ පොඩි මැණිකේ සියුම් ගීතයක් මුමුණමින් කඳු අතරට ගමන් කරන්නාක් මෙන්ය. 
  
මෙම කුඩා නැවතුම අසල දුම්රිය සේවයේ ඛේදවාචකයක් සටහන්ව තිබේ. ඒ නම්, වර්ෂ 1973 දී, මෙහි නතර කල ගැරට් වර්ගයේ අංක 343 දරණ එන්ජිම ගිනිගෙන විනාශ වී යාමයි...
       මෙම කොටසේදී, අපට තවත් බිංග දෙකක් එකක් පසුපසින් එකක් ලෙසින් හමු වේ. කොළඹ සිට එන විට හමුවන 12 වන සහ 13න් වන බිංග දෙක ඒවාය. ඒ නමුත්, සැබැවින්ම මේ වනවිට පොඩි මැණිකේ බිංග 14ක් පසු කොට ඇත. ඒ, පසු කාලීනව නිර්මාණය වූ අංක 5A සහ 9A යන බිංග දෙකත් සමගය. 

පහලට යන යෝධ ජලනලය.
       බිංග දෙක අතරේ, කුඩා, එහෙත් සෑහෙන පහලින් ගලන විශාල වතුර පහරක් මතින් ඇය ඉදිරියට ඇදෙයි. මෙය පසෙකින්, පහලට ජලය ගෙන යන විශාල කොළ පැහැති නලයක් ඇත. 
  
ගල්බොඩ දුම්රිය ස්ථානය වෙත ඇතුළුවන පොඩි මැණිකේ...
      බිංග තුලින් එලියට ආ පොඩි මැණිකේ, කෙටි ගමනකින් අනතුරුව, වංගුවක් සමග පිහිටි දුම්රිය ස්ථානයකට ඇතුළු වූවාය. ඒ, ගල්බොඩ දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 2581ක් උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ සිට සැතපුම් 94ක් සහ දම්වැල් 36ක දුරකින් පිහිටා ඇත. ඒ නම්, පසුගිය සැතපුම් හතර තුල, දුම්රිය අඩි 400ක් ඉහල නැග ඇත. 

ගල්බොඩ දුම්රිය ස්ථාන නාම පුවරුව..
      ගල්බොඩ, ඉතා පැරණි දුම්රිය ස්ථානයකි. විශාල වතුර ටැංකියක්, ගබඩාවක්, පැරණි ක්‍රමයට සෑදු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහ දුම්රිය දෙකක් මාරු වීමට පාෂ මාර්ගයකින් සමන්විත, අති දර්ශනීය දුම්රිය ස්ථානයකි. ලංකාවේ පවතින ඉතාම පිරිසිදු ජල උල්පත් අතරින් එකක් මෙම දුම්රිය ස්ථානයට නොමිලයේම ජලය සපයයි. ගල්බොඩ දුම්රිය ස්ථානයට පොඩි මැණිකේ ලඟා වීමට නියමිතව තිබුනේ 10.10ටය. හරියටම තිතට එම වෙලාවටම පැමිණීමට පොඩි මැණිකේ එදින සමත් වූවාය. 


     මගීන් දුම්රියට නැග අවසන්ය. වාෂ්ප දුම්රිය යුගයෙන් ඉතිරි වූ දැවැන්ත ජල ටැංකිය අබියස සිට නළා හඬක් නිකුත් කල පොඩි මැණිකේ, නැවතත් සිය කඳු අතරට යන සවාරියට අවතීර්ණ වූවාය...      
ගල්බොඩ දුම්රිය ස්ථානය.. ගබඩාවේ පාෂ මාර්ගයේ සිට ගත් සේයාරුවකි.

Saturday, October 24, 2015

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඳුකරයට පිවිසීම...



           නාවලපිටියෙන් පිටත් වූ පොඩි මැණිකේ, ගිනිගත්හේන මහාමාර්ගය දුම්රිය මාර්ගයට උඩින් යන පාලම පසු කල විට පිවිසෙන්නේ තරමක බෑවුමකටය. මෙම බෑවුම අවසන් වන්නේ නාවලපිටිය දුම්රිය ස්ථානයට සැතපුම් භාගයක් පමණ දුරින් පිහිටි කුඩා පාලමකින්ය. 

පාලම වෙත පිවිසෙන පොඩ්ඩි..

           පාලම පසු කරන පොඩි මැණිකේ, සිය කඳුකරය වෙත යන ගමන නියමාකාරයෙන් ආරම්භ කරයි. මාර්ගය ඉතාම කෙටි දුරකදී, උපරිම ආනතිය වන අඩි 1කට 45ක නැග්ම අත්කරගනී. නාවලපිටියට පසු මාර්ග කොටස  විවෘත කලාපයකින් ආරම්භ වුවත්, ටික දුරක් යන විට රූස්ස ගස් වලින් යුතු වනාන්තරයක් තුලට අවතීර්ණ වේ.. මේ තුලින් ඇදී යන දුම්රිය, විටින් විට කුඩා පාලම් වලින් එතෙර වේ.. විටින් විට පෙරලී ගිය දුම්රිය වැගන මාර්ගය දෙපස දක්නට ලැබේ.. වනාන්තරය තුලින් දකුණුපසට වන්නට අලංකාර ජල පහරක් දක්නට ලැබේ.  



දුම්රිය ඉතිහාසයේ අඳුරු මතකයන් සඟවාගත් මෙවැනි පෙරලී ගිය ගැල්, මැදිරි, මෙම මාර්ගය දෙපස බොහෝ විට දැකිය හැකිය.


          මාර්ගයේ මෙම කොටසේ, නාවලපිටියත් ඉඟුරු ඔයත් අතර මැදට වන්නට කුඩා දුම්රිය නැවතුමක් හමු වේ. ඒ නමින් හයින්ෆෝර්ඩ් (Hyndford) නම් වේ. මෙවැනි කුඩා දුම්රිය නැවතුම් එකල ඉදි වූයේ තේ ප්‍රවාහනය පහසුකිරීමටයි. ආසන්න වත්තේ නමින්ම මෙන් නම් කෙරුණු මෙවැනි කුඩා දුම්රිය ස්ථාන වෙත තේ කොළ ලී පෙට්ටි වල පටවා ගෙන එන ලදී. 


හයින්ඩ්ෆෝර්ඩ් දුම්රියපොළ. මෙය අදටත් භාවිතයේ පවතී.


          එකල උඩරට මාර්ගයේ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය විශාල වශයෙන් ධාවනය විය. කෝපි, තේ ආදී වැවිලි ද්‍රව්‍ය පහළටත්, සහල්, පොහොර සහ වෙනත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉහළටත් වශයෙන් මේවායින් ප්‍රවාහනය කෙරුණි. සිය වත්තට අවශ්‍ය වූ ද්‍රව්‍ය ලැයිස්තුව කොළඹින් හෝ මහනුවරින් ඇනවුම් කොට, මෙම දුම්රිය නැවතුම් වලින් දුම්රියෙන් බාගන්නා ලද අතර, සේවකයන්ගේ කර මතින් ඒවා එතනින් ප්‍රවාහනය විය. 
           වර්තමානයේදී මෙම නැවතුම් ප්‍රයෝජනයට ගන්නේ මෙම ප්‍රදේශයේ පාසල් යන දරුවන් විසින්ය. ඒ සඳහා උදෑසන සහ හවස මැදිරි දෙක තුනකින් යුතු කුඩා දුම්රියයන් ධාවනය කෙරේ. මෙම ප්‍රදේශය වෙත අනෙක් ප්‍රවාහන සේවා බොහෝ අඩු අතර, දුම්රිය නැති දාට පා ගමනින් ගමන් කල යුතුය.. 


ඉඟුරු ඔය වෙත නොනවත්වා ධාවනයක යෙදෙන පොඩ්ඩි..

           කෙටි වංගු පසු කරමින්, නොනවත්වා නළාව හඬවමින් පොඩි මැණිකේ ඉහලටම ඇදෙයි. මාර්ගයේ දකුණු පසින් ඇති සෙමෆෝ සංඥා කණුවක සංඥා අත පහත් වී තිබුනේ, ඇයට ඉඟුරු ඔය නම් දුම්රිය ස්ථානයට ඇතුළුවීමට අවසර ලබා දෙමින්ය. නාවලපිටියේ සිට ගෙන ආ ටැබ්ලට් එක ඉඟුරුඔය දුම්රිය ස්ථානය වෙත භාර කෙරුණි.  


ඉඟුරු ඔය දුම්රිය ස්ථානය වෙත පිවිසීම...

           ඉඟුරු ඔය දුම්රිය ස්ථානය, මෙම මාර්ගයේ හමුවන කුඩා දුම්රිය ස්ථානයකි. දුම්රිය දෙකක් මාරු වීම සඳහා පාෂ මාර්ගයකින් පමණක් සමන්විත මෙය, සිය අතීතයේ උරුමයන් ඒ අයුරින්ම වාගේ ඉතිරි කරගෙන ඇත.. මුහුදු මට්ටමේ සිට අඩි 2176ක උසින් පිහිටි මම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් අනූවකුත් දම්වැල් 70ක දුරකින් පිහිටා ඇත.   


ඉඟුරු ඔයෙන් නික්මයාම...

Saturday, October 17, 2015

උඩරට ප්‍රධාන දුම්රිය ස්ථානය වෙතට...



          


නිදහසින් පසු වෙනස්වූ නාම පුවරුව.


            උලපනේ දුම්රිය ස්ථානය පසු කරන පොඩි මැණිකේ කුඩා පාලමක් වට කර ඇති වෙල් යායක් හරහා ගමන් කරයි. මෙය පසු කරන විට දකුණු පසින් ඈතින් දිස් වන්නේ නුවරඑලිය මහාමාර්ගය මහවැලි ගඟ හරහා යන පැරණි පාලම සහ ඒ සමගම ඇති අලංකාර නව පාලමයි. මෙය සේයාරුවකට ගැනීමට නම් බෙහෙවින් කල්පනාවෙන් යා යුතුවාක් මෙන්ම, ක්ෂණික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වේ. 

           මෙම ස්ථානය පසු කොට ඉහලට යන පොඩි මැණිකේ, ආනතිය ක්‍රමයෙන් අඩු වන මාර්ගයක නාවලපිටිය දෙසට පැමිණේ. නාවලපිටියට ආසන්නවත්ම, නාවලපිටිය- මහනුවර මහා මාර්ගය ස්ථාන දෙකකින් දුම්රිය මාර්ගය හරහා යයි. තවත් ටික දුරකින්, තවත් එවැනිම දුම්රිය හරස් මාර්ගයක් දක්නට ලැබේ. මෙම තුන්වැනි හරස් මාර්ගය පසු වූ වහාම, අඩි 60ට එකක් වූ තියුණු නැග්මක් ආරම්භ වේ. මෙය වාෂ්ප දුම්රිය යුගයේ “Summers Cutting” යනුවෙන් හඳුන්වා ඇති අතර, බරින් අධික දුම්රියකට තරණය කිරීමට ඉතා අපහසු ස්ථානයක් වී ඇත. 

           නාවලපිටිය පිහිටා ඇත්තේ කොළඹ සිට සැතපුම් 87ක් සහ දම්වැල් 32ක දුරකින් ය. මුහුදු මට්ටමේ සිට උස අඩි 1913කි. නාවලපිටිය වෙත දුම්රිය මාර්ගය ලඟා වූයේ 1874 වසරේය. ඒ වනවිටත් නාවලපිටිය කුඩා නගරයකි.

නාවලපිටිය වෙත පැමිණෙන පොඩි මැණිකේ..


          මෙම කන්ද නැගගෙන නාවලපිටියට එන දුම්රිය ලඟා වන්නේ මුලින්ම තිබු නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණය වෙතය. ඒ නම්, පෙර දුම්රිය වේදිකාව තිබුනේ අනෙක් පසය. වර්තමාන දුම්රිය ස්ථානය සහ වේදිකාව පිහිටි තැන පෙර තිබුනේ ගබඩාවක් සහ දුම්රිය පාලක මධ්‍යස්ථානයයි. අප මේ ගමන යන පොඩි මැණිකේ දුම්රිය මුලින්ම ගමනාරම්භ කලේ 1960 දශකයේ ය. ඒ අද මෙන් M6 හෝ M2 එන්ජින් වලින් නොව, S3 බලවේග කට්ටලයකිනි. එම පොඩි මැණිකේ, එදා නාවලපිටිය වෙත පැමිණෙද්දී තිබුනේ එම පැරණි දුම්රිය ස්ථානයයි.  1960 දශකයේ මැද භාගයේ  නාවලපිටිය දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම වාගේ නවීකරණය කෙරුණි. ඒ දැන් පිහිටි ආකාරයටයි. 

          නාවලපිටිය මහා නගරයක් මට්ටමින් සංවර්ධනය වීමට දුම්රිය මුල් විය. එමෙන්ම, අදටත් උඩරට දුම්රිය මෙහෙයුම් සිදු කෙරෙන්නේ නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ සිටයි. වාෂ්ප එන්ජින් යුගයේ මෙහි අතිවිශාල ධාවනාගාරයක් සහ විශාල අංගනයක් තිබී ඇත. අංගනය තවමත් දක්නට ඇතත්, ධාවනාගාරය මේ වනවිට ගරා වැටී තිබේ. 


නාවලපිටියපැරණි දුම්රිය ස්ථානය තිබුණු ඉසව්ව. නාවලපිටිය සතුව ඇති ආපදා සේවා දුම්රියට එක් කොට ඇති ඉපැරණි දුම්රිය මැදිරියක් මෙහි ඇත. මෙයට වසර සියයකට වඩා වයසය.

          නාවලපිටියේ දී දුම්රිය කාර්ය මණ්ඩල මාරු විය. එය අදටත් සිදු වේ. අලුතෙන් දුම්රිය භාරගන්නා රියදුරු මහතුන් එන්ජිම පරීක්ෂාකර බලා, වැලි පෙට්ටි, තිරිංග ආදිය නැවත පරීක්ෂා කරයි. නියාමකවරුන් සිය මැදිරි වල රාජකාරී අරඹයි. මේ කටයුතු සඳහා නාවලපිටියේ දුම්රිය විනාඩි 5ක් පමණ නවත්වා තැබේ. 

එදා පොඩි මැණිකේට බලය දුන් M6 පන්තියේ එන්ජිම.


         ඇත්තෙන්ම කඳුකරයට යන ගමන පටන් ගන්නේ මෙතැන් සිටය. පෙර කාලයේ නාවලපිටිය- ගිනිගත්හේන මහාමාර්ගය පිහිටා තිබුනේ දැන් මෙන් නොව, දුම්රිය මාර්ගය හා සම මට්ටමකය. 1960 දශකයේ එය දැන් තිබෙන අයුරින් සකස් කර, ඉඟුරුඔය දෙසින් පැමිණෙන දුම්රියට ලේසියෙන් දුම්රිය ස්ථානයට ඇතුල් විය හැකි ලෙස සකසා ඇත.
 

මහනුවර බලා යන දුම්රිය.

        දුම්රියට සියලු පාර්සල් පටවා අවසන්ය. කාර්ය මණ්ඩලය ගමන් ඇරඹීමට සූදානම්ය. සංඥා නිකුත් වීමත් සමගම, තිරිංග මැදිරි දෙකෙන් කොළ කොඩි දෙකක් එසවුනි. දීර්ඝ නලා හඬත් සමගින්, පොඩි මැණිකේ හෙමිහෙමිහිට ඉදිරියේ ඇති පල්ලම වෙත ඇදෙන්නට වූවාය. සීතල කඳුකරය වෙත යන ත්‍රාසජනක චාරිකාව ඇරඹී ඇත....

Saturday, October 10, 2015

තුන්වන අදියර- ගම්පොල සිට උලපනේ දක්වා...

          ගම්පොලින් ගමන් ඇරඹු පොඩි මැණිකේ, වල්ලහගොඩ, තැඹිලිගල ආදී නැවතුම් පසු කරමින් වේගයෙන් ධාවනය වේ. දැන් නම් බලවේග කට්ටලයකින් ධාවනය වන පොඩි මැණිකේ තැඹිලිගලත් නතර වේ. නමුත් එකල පොඩි මැණිකේ නැවත නතර වන්නේ උලපනේ ය.
   
උලපනේ දුම්රිය ස්ථානය..
                   
          උලපනේ අලංකාර දුම්රිය ස්ථානයකි. පාෂ මාර්ග දෙකකින්, එක් වේදිකාවකින්, බඩු ගබඩාවකින් සහ උසට ඉදි කල සංඥා කුටියකින් සමන්විත මෙම හුදෙකලා දුම්රිය ස්ථානය මලින් ගැවසී ඇති අමුතුම ආකර්ෂණයක් සහිත ස්ථානයකි. මෑතදී (1960 දශකයේ) ඉදි වූ ටකරං වහලය නොවන්නට මෙය මුල් කාලයේ දුම්රිය ස්ථානයම වන්නට තිබුණි. 
උලපනේ පාෂ මාර්ගයේ සිට ගත් සේයාරුවක්..
                     
                       
  
          උලපනේ දුම්රිය ස්ථානය වෙත පැමිණිය යුතු වන්නේ කලින් ද සඳහන් කල අඩි 50ට එකක් වූ තියුණු නැග්ම පසු කරමින්ය. මෙවැනි තියුණු ආනතියක් තැබීමට හේතු වී ඇත්තේ, ඒ වන විට ඉදි කෙරෙමින් තිබුණු බිංගයක භූමියේ සහ පසේ ස්වභාවය හේතුවෙන් එය අත්හැර දැමීමට සිදු වීමයි. 

          මෙම ආනතිය තරණය කිරීම වඩාත් අපහසු වී ඇත්තේ දැන් නොව වාෂ්ප එන්ජින් යුගයේ ය. වාහනයක ඉදිරි ගමනට ඝර්ෂණය බාධා කරන්නාක් මෙන්ම, දුම්රියට අඩු ඝර්ෂණය විටෙක බාධාවක් වේ. මෙය ජයගැනීම සඳහා අධික බලයකින් යුතු දුම්රිය එන්ජින් ගෙන්වීමෙන් පලක් නැත. දුම්රිය එන්ජිමේ රෝද සහ පීල්ල අතර ඝර්ෂණය රඳවාගත යුතුය. එසේ නොවුනහොත් රෝද එක තැන කැරකීම සිදු වේ.

          වාෂ්ප එන්ජින් වල බර අඩුය. එම නිසා ඝර්ෂණයත් අවමය. මෙවැනි දුම්රියක්, අධික බරක් සමගින් ආනතියක නවතා, නැවත ගමනාරම්භ කිරීමට නම්, ඉතා හොඳ පළපුරුද්දක් අවශ්‍ය වේ. 

          කෙසේ වෙතත්, අද ඩීසල් යුගයේදීත්, මැදිරි 8කට වැඩි දුම්රියක් සඳහා සැම විටම වාගේ පසුපසින් සහායක එන්ජිමක් යෙදවේ. මෙම සහායක එන්ජිමේ රියදුරු සහ ප්‍රධාන එන්ජිමේ රියදුරු අතර සම්බන්ධතාවය තබාගන්නේ එන්ජිමේ නළාව සහ තිරිංග පීඩනය මගින් ය. ඉතිරිය සම්පූර්ණයෙන් අත්දැකීම සහ පළපුරුද්ද මත තීරණය වේ. 

          ගම්පොල දෙසින් කන්ද නැගගෙන එන දුම්රිය, එක් වරම මද බෑවුමකට යොමු වෙමින් දුම්රිය ස්ථානයට ඇතුළු වේ. පසුපසින් සහායක එන්ජිමක් යොදවා ඇත්නම්, මෙවිට එන්ජින් දෙකම ත්වරණය නොකර ධාවනය වීමට හැර තිබේ. උලපනේ නොනවත්වන්නේ නම්, ප්‍රථම වශයෙන් ඉදිරි එන්ජිමේ රියදුරු කෙටි නලා හඬක් නංවයි. එය ඇසී, පසුපස එන්ජිමේ රියදුරු මහතා ඔහුගේ එන්ජිම ත්වරණය කරයි. ඉදිරි එන්ජිම ත්වරණය කරන්නේ ඉන් අනතුරුවය. මෙම ක්‍රියාන්විතය වැරදුනොත් පීලි පැනීමකට ලක්වීමේ අවධානමක් ඇත. 


          පෙරවරු 9.22ට උලපනේට ලඟා වූ පොඩි මැණිකේ, දැන් නැවතත් ගමනාරම්භ කරයි. ඒ, උඩරට දුම්රිය ධාවනයේ කේන්ද්‍රස්ථානය වන නාවලපිටිය බලා පිටත් වීමටයි...   

උලපනේ පසු කරමින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ..
                      

Saturday, October 3, 2015

බදුලු සංචාරයේ දෙවන නැවතුම..

             ගම්පොළට පැමිණි පොඩි මැණිකේ විනාඩියක කාලයක් එහි නවත්වා තැබෙයි. ඒ මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. මෙතැන් පටන් මෙම දුම්රිය ඉදිරියට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. ඒ දිනවලද එය එසේම සිදු විය.

                    

            ගම්පොල, දුම්රිය සේවය ගැන, එහි ඉතිහාසය ගැන කතා කරන විට මග හැරිය නොහැකි සංධිස්ථානයකි. ගම්පොළට දුම්රිය සේන්දු වූයේ 1873දීය. ඒ නම් පේරාදෙණියට දුම්රිය පැමිණ හය වසරකට පසුවය. 

           ගම්පොල දුම්රිය ස්ථානය එකල දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබුණි. හැරවුම් වේදිකාවකින් (turn table) සහ ගබඩාවකින් යුතු තරමක් විශාල දුම්රිය ස්ථානයක් වුවත් මෙහි දෙවැනි වේදිකාවක් අදටත් නොවේ. ගම්පොල දුම්රිය ස්ථානය කොළඹ සිට සැතපුම් 73යි දම්වැල් 67ක දුරින් පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 1638ක් උසය. 

           ගම්පොල දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය මාර්ගය පළමුව අඩි තුන හමාරේ පටු මාර්ගයක් ලෙස ඉදි කිරීමට යෝජනා විය. එවකට මාර්ග හා කර්මාන්ත ඉංජිනේරුතැන වූ එස්. මැක්බීන් මහතා විසින් සැලසුම් කරන ලද සැලසුමකට අනුව මාර්ගය ඉදි වූයේ පහත් බිමක් හරහාය. 

           මෙහි ප්‍රතිඵලය වූයේ ගංවතුර උවදුරු බහුල වීමයි. ඉතිහාසය පුරාවටම මෙම දුම්රිය ස්ථානය ගංවතුරෙන් යට වී ඇත. ඒ ගංවතුර මට්ටම ගම්පොල සංඥා කුටියේ බිත්තිය මත සටහන් වී ඇත. 1947 ගංවතුර මට්ටම කෙතරම් ඉහල ගියේද යත්, වේදිකාවේ වෙනම පීල්ලක් සිටුවා, ඒ මත ගංවතුර මට්ටම ලකුණු කිරීමට සිදු වී ඇත. සංඥා කුටිය සම්පූර්ණයෙන්ම යට වී ඇත. 
ගංවතුර මට්ටම.
                               
                             
           1974 වසරේ විශ්‍රාම ගිය DIM (District Inspector- Mechanical) මහතෙකු පැවසුවේ එක් වරක් ගංවතුරට W2 පන්තියේ එන්ජිමක් යට වූ බවත්, එය වෙනත් එන්ජිමක් සහ මැදිරි කිහිපයක දුම්රියක් යොදා නාවලපිටියට ඇදගෙන ආ බවත්ය..  
           ගම්පොලින් පසු මාර්ගය උලපනේ දෙසට අඩි 50ට එකක ආනතියක් පෙන්වයි. බරින් අධික දුම්රිය මෙතැන් සිට පසුපසින් තල්ලු කල යුතුය. ඒ සඳහා පෙර කල යෙදවුණු වාෂ්ප එන්ජිම පැමිණියේ නාවලපිටියෙනි. එම සහයක එන්ජිම හැරවීම සඳහා භාවිතා වූ නිසා, මෑතක් වනතුරු එහි හැරවුම් මේසය ක්‍රියාකාරී තත්වයේ පැවතුනි. අදටත් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සඳහා සහායක එන්ජිම නාවලපිටියෙන් පැමිණේ. නමුත් ඩීසල් එන්ජිම එසේ හැරවීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙත් හැරවූ එන්ජිම, සිය දුම්රිය එන තෙක් බලාසිටි පාෂ මාර්ගය (loop line) අදටත් භාවිතයේ තිබේ. 
         
          සියලු මගීන් දුම්රියට නැග අවසන්ය. මහනුවර බලා යන දුම්රියත් පැමිණ අනෙක් පාෂ මාර්ගයේ නවතා ඇත. රේල් ගේට්ටුව පහත වැටුණි. සෙමෆෝ සංඥාවත් පහත වැටුණි. දුම්රිය ස්ථානාධිපතිවරයා ඔහුගේ නලා හඬින් දුම්රියට ඉදිරියට යාමට අවසර දුන්නේය. කොළ කොඩි දෙකක් දුම්රිය ඉදිරිපස සහ පසුපස සිටි ගාඩ් මහතුන් දැක්වීය.


ගම්පොල දුම්රිය ස්ථානයට දර්ශනය වන අම්බුළුවාව.

           එතෙක් නිසලව සිටි පොඩි මැණිකේ, දීර්ඝ නළා හඬක් නගා, කඳුකරය වෙත යන සිය චාරිකාව නැවතත් ආරම්භ කළාය..