Saturday, October 3, 2015

බදුලු සංචාරයේ දෙවන නැවතුම..

             ගම්පොළට පැමිණි පොඩි මැණිකේ විනාඩියක කාලයක් එහි නවත්වා තැබෙයි. ඒ මගීන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ය. මෙතැන් පටන් මෙම දුම්රිය ඉදිරියට ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනු ලැබේ. ඒ දිනවලද එය එසේම සිදු විය.

                    

            ගම්පොල, දුම්රිය සේවය ගැන, එහි ඉතිහාසය ගැන කතා කරන විට මග හැරිය නොහැකි සංධිස්ථානයකි. ගම්පොළට දුම්රිය සේන්දු වූයේ 1873දීය. ඒ නම් පේරාදෙණියට දුම්රිය පැමිණ හය වසරකට පසුවය. 

           ගම්පොල දුම්රිය ස්ථානය එකල දෙමහල් ගොඩනැගිල්ලක්ව තිබුණි. හැරවුම් වේදිකාවකින් (turn table) සහ ගබඩාවකින් යුතු තරමක් විශාල දුම්රිය ස්ථානයක් වුවත් මෙහි දෙවැනි වේදිකාවක් අදටත් නොවේ. ගම්පොල දුම්රිය ස්ථානය කොළඹ සිට සැතපුම් 73යි දම්වැල් 67ක දුරින් පිහිටා ඇත. මෙය මුහුදු මට්ටමේ සිට අඩි 1638ක් උසය. 

           ගම්පොල දුම්රිය ස්ථානය වෙත පැමිණි දුම්රිය මාර්ගය පළමුව අඩි තුන හමාරේ පටු මාර්ගයක් ලෙස ඉදි කිරීමට යෝජනා විය. එවකට මාර්ග හා කර්මාන්ත ඉංජිනේරුතැන වූ එස්. මැක්බීන් මහතා විසින් සැලසුම් කරන ලද සැලසුමකට අනුව මාර්ගය ඉදි වූයේ පහත් බිමක් හරහාය. 

           මෙහි ප්‍රතිඵලය වූයේ ගංවතුර උවදුරු බහුල වීමයි. ඉතිහාසය පුරාවටම මෙම දුම්රිය ස්ථානය ගංවතුරෙන් යට වී ඇත. ඒ ගංවතුර මට්ටම ගම්පොල සංඥා කුටියේ බිත්තිය මත සටහන් වී ඇත. 1947 ගංවතුර මට්ටම කෙතරම් ඉහල ගියේද යත්, වේදිකාවේ වෙනම පීල්ලක් සිටුවා, ඒ මත ගංවතුර මට්ටම ලකුණු කිරීමට සිදු වී ඇත. සංඥා කුටිය සම්පූර්ණයෙන්ම යට වී ඇත. 
ගංවතුර මට්ටම.
                               
                             
           1974 වසරේ විශ්‍රාම ගිය DIM (District Inspector- Mechanical) මහතෙකු පැවසුවේ එක් වරක් ගංවතුරට W2 පන්තියේ එන්ජිමක් යට වූ බවත්, එය වෙනත් එන්ජිමක් සහ මැදිරි කිහිපයක දුම්රියක් යොදා නාවලපිටියට ඇදගෙන ආ බවත්ය..  
           ගම්පොලින් පසු මාර්ගය උලපනේ දෙසට අඩි 50ට එකක ආනතියක් පෙන්වයි. බරින් අධික දුම්රිය මෙතැන් සිට පසුපසින් තල්ලු කල යුතුය. ඒ සඳහා පෙර කල යෙදවුණු වාෂ්ප එන්ජිම පැමිණියේ නාවලපිටියෙනි. එම සහයක එන්ජිම හැරවීම සඳහා භාවිතා වූ නිසා, මෑතක් වනතුරු එහි හැරවුම් මේසය ක්‍රියාකාරී තත්වයේ පැවතුනි. අදටත් බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය සඳහා සහායක එන්ජිම නාවලපිටියෙන් පැමිණේ. නමුත් ඩීසල් එන්ජිම එසේ හැරවීමේ අවශ්‍යතාවයක් නොමැත. එහෙත් හැරවූ එන්ජිම, සිය දුම්රිය එන තෙක් බලාසිටි පාෂ මාර්ගය (loop line) අදටත් භාවිතයේ තිබේ. 
         
          සියලු මගීන් දුම්රියට නැග අවසන්ය. මහනුවර බලා යන දුම්රියත් පැමිණ අනෙක් පාෂ මාර්ගයේ නවතා ඇත. රේල් ගේට්ටුව පහත වැටුණි. සෙමෆෝ සංඥාවත් පහත වැටුණි. දුම්රිය ස්ථානාධිපතිවරයා ඔහුගේ නලා හඬින් දුම්රියට ඉදිරියට යාමට අවසර දුන්නේය. කොළ කොඩි දෙකක් දුම්රිය ඉදිරිපස සහ පසුපස සිටි ගාඩ් මහතුන් දැක්වීය.


ගම්පොල දුම්රිය ස්ථානයට දර්ශනය වන අම්බුළුවාව.

           එතෙක් නිසලව සිටි පොඩි මැණිකේ, දීර්ඝ නළා හඬක් නගා, කඳුකරය වෙත යන සිය චාරිකාව නැවතත් ආරම්භ කළාය..




     


17 comments:

  1. 1980 දශකයේදී දුම්රිය ධාවනයට හමුදා ආරක්ෂාවක් දෙන්න සිදුවුණා. මට භාරව තිබුණේ නාවලපිටිය සිට නානුඔය දක්වා කොටස. මෙහිදී මට එන්ජින් ඩ්‍රයිවර්ලා විසින් දුම්රිය ධාවනයට අදාළ විවිධ කරුණු කියාදුන්නා. සමහර ඩ්‍රයිවර්ලා නම් කෝච්චිය එලවන්නේ තමනුත් පොඩ්ඩක් රත්වෙන ගමන්.

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඉතිං අදටත් එහෙම තමා.. සමහර ඩ්‍රයිවර්ලා හැබැයි ඔක්කොම නෙවෙයි. 1970 දශකයේත් ඇඳිරි නීතිය නිසා මහාමාර්ග මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනය අපහසු වූ විට දුම්රිය මගින් එම කටයුතු සිදු කල බව මම අසා තිබෙනවා.
      ඔබතුමාට අසන්නට ලැබුණු තොරතුරු අප සමග බෙදා හදාගැනීමට හැකි නම් ඉතාමත් සතුටුයි!

      Delete
  2. හොඳ විස්තරයක් එක්ක.
    ඉතුරු කොටසත් ලියමුකො බලන්න.

    ReplyDelete
    Replies
    1. තවත් විස්තර ඇතුලත් කරන්නම් ඉදිරි කොටස් වලට! මාර්ගයේ සමහර ස්ථාන ගැන දීර්ඝව සඳහන් කරන්න විස්තර තියනවා. ඒ වගේම සමහර තැන් ගැන විශේෂ තොරතුරු අඩුයි. එන්නකෝ දිගටම..

      Delete
  3. දැන් නම් අඟහරු ලෝකෙට ගියා වගේමයි. කෝච්චියේ එහේ ගියා වගේ දැනුනේ... :D

    ReplyDelete
    Replies
    1. මම හිතුවා කවුරුහරි ඔය කතාව කියයි කියලා.. :D එහෙනම් අඟහරුත් ඇවිත් බදුලුත් ගිහිං යමු..

      Delete
  4. සෑහෙන දවසක් යයි වගේ බදුල්ලට යන්න , කොහොම වුනත් සාර්ථක සටහනක් අඟහරු

    ReplyDelete
    Replies
    1. ඔව්.. හෙමි හෙමිං යමුකෝ නේ.. වටපිට බලාගෙන එහෙම.. එන්න දිගටම ඈ..

      Delete
  5. පට්ට විස්තර ටික බොස්... බදුලු යන හැටි නං ඕනෙ කෙනෙක්ට ගිහිං බලාගන්න බැරියැ. මේ තියෙන විස්තර නෙ හොයාගන්න අමාරු.

    නරකද මේ විස්තර ඇතුළත් කරලා ට්‍රැවල් පොතක් ලිව්වොත්...?

    ReplyDelete
    Replies
    1. ආ වැම්පයර් තුමා කොහොමද? බයිසිකල් රේස් එකෙන් කවුද දිනුවේ?
      පොතක් ලියන්න අදහසක් තියනවා. මේ සටහන ඉවර කරලා බලමුකෝ..

      Delete
    2. සයිකල් පැදලා මං නිතරඟයෙන් දිනුවා. උඹ දාපු කමෙන්ට් එකට බයේ විචාරක මාමා පැත්ත පළාතෙ ආවෙ නෑ. කප් එකෙං බාගෙයක් මං උඹේ පීරිසිය උඩිං තියලා එව්වා. මගදි, නිට්ටඹුව හරියෙදි ඒක බිම වැටිලා මටම ආපහු හම්බුනා...

      Delete
    3. සිරාවටම ට්‍රැවල් පොතක් ලියහං. විකුණගන්නත් පුළුවන් උණු කැවුං වගේ. ඒ ගැන බය වෙන්න එපා. ලාබයක් නං එච්චර හම්බෙන එකක් නෑ. ඒ වුනාට තමන්ගෙ නම අනාගතයට ඉතුරු කරන්න පුළුවන්.

      Delete
    4. මල මගුලයි... පොඩ්ඩක් කියල එවන්න එපාය කප් එක..
      ලියමුකො පොතකුත්. මේ සටහන් ටික තියද්දි කරුනුත් ඔලුවට ඒවි.

      Delete
  6. එල ද බ්‍රා
    ඉතුරැ ටිකත් ලියහන්

    ReplyDelete
    Replies
    1. ආ මෙන්න එලද බ්‍රා මෙන්ඩා ඇවිල්ලා... වෙල්කම් කිව්වා ඈ!

      Delete
  7. අනේ තව පින්තුර ටිකක් වැඩියෙන් දාලා ඊ ළඟ එක ලියන්ටකෝ

    ReplyDelete
    Replies
    1. ඔය පින්තූර ටික ගත්තේ ඒ ගමනේදී සහ ඒ ආසන්න දවස් වල. පස්සේ කාලේ ගත්තුවා නොදා ලියන්න හැදුවා..

      Delete