Tuesday, June 17, 2014

A Walk to Remember... කඳුකරයේ පහසින් සිත සුවපත් කිරීම....

Photo and caption by- Kanchana Athurupane.



              ජීවිතේ කියන්නේ, හරි කෙලින් ගලා යන දෙයක් නෙවෙයි.. එක්තරා විදියකට බැලුවම, ජීවිතේ හරියට රේල් පාරක් වගේ... සමහර විට කඳු අහු වෙනවා.. සමහර ඒවා ලොකු කඳු, බොහෝ දුර විහිදෙන ඒවා. තවත් වෙලාවල් වලට පල්ලම් අහු වෙනවා.. ජීවිතේ කියන්නේ මේ හැම දේකම එකතුව කියල තේරුම් යන්න, මම අත්දැකීම් සෑහෙන්න ලබල තියනවා... ඒ වගේම, සමහර වෙලාවට කරදර පාත් වෙන්නේ, හරියට හෙණ ගහන්නා වගේ. කොහෙන්ද, මොකද්ද, මොනවද කියල වත් හිතාගන්න නොදී.. ඉතින්, මේ පහුගිය සතියක විතර කාලේ මටත් අන්න එහෙම කරදර කාලයක් උනා.. මිනිහෙකුට නෙවේ කාට උනත් දෙයක් උහුලාගෙන සාමාන්‍ය තත්වේ ඉන්න පුළුවන් සීමාවක් තියනවා. ඒකට ලං වෙද්දී, කරන්න තියන්නේ හිත නිදහස් කරගන්න එක. අලුතෙන් හිතන එක..  ඉතින්, මමත් හිතුවා මේ දේවල් වලින් පොඩ්ඩක් ඈත් වෙන්න, භාහිර ලෝකයේ පීඩනයෙන්, සම්බන්ධතා වලින් තාවකාලිකව හරි ඈත් වෙලා, කොහේ හරි ගිහිල්ල එන්න.
          ඒ ගමනට, මගේ පාසල් මිතුරෙක් වෙන කාංචන, දුම්රිය සම්බන්ධ ගමන් වලදී නිතරම මගෙත් එක්ක ඉන්න අශාන්, සහ තවත් මිතුරෙක් එකතු උනා.. මේ, ඒ කෙටි, එහෙත් සොඳුරු පා ගමනේ මතක සටහන්... මේ සටහන ලියවෙන්නේ, අශාන් විජේකෝන් මිත්‍රයා මගෙන් කල ඉල්ලීමක් හැටියට...
           වෙනදා උඩරට මාර්ගයේ ඉහල කොටසට යන එකේ මේ පාර කඩුගන්නාව- ඉහල කෝට්ටේ අතර ඇවිදින්න තීරණය කලේත් ගමනේ අරමුණ හිත නිදහස් කරගැනීම නිසාමයි. උදේ පාසැල් දුම්රියෙන් පේරාදෙණියට පැමිණි මම, එතනින් කාංචන සහ කසුන් සමග කඩුගන්නාව බලා පිටත් උනා.

කඩුගන්නාව දුම්රිය ස්ථානයට දිස් වූ ඩෝසන් කුලුන..
           කඩුගන්නාවට අපි එනකොට උදේ හත හමාරට විතර ඇති. කන්නත් දේවල් ටිකක් කඩුගන්නාවෙන් ගන්න උනා. මොකද ඔලුවේ තිබ්බ දේවල් නිසා ඊයේ ගෙනියන්න ගත්ත බිස්කට් එක අමතක වෙලා ආපු නිසා.. ඉතින් ඒවත් අරගෙන හෙමීට පල්ලම් බහින්න පටන් ගත්තා..


අලට කන්න බැරි- අලගල්ලේ කන්ද....
බතට කන්න බැරි- බතලේගල කන්ද...
හුනට කන්න බැරි- හුන්නස්ගිරි කන්ද...
මේ තුන් හෙලට අධිපත-සිරිපාකන්ද....

අඳුර තුලින් ආලෝකය දැකීම....
        අපි ඉතින්  වටේ සිරි බල බලා, කතා කර කර හෙමීට ඉස්සරහට ගියා.. සිංහ මුඛය එහෙම පහු කරාම අහු වෙනවා බිංගයක්.. එකක් නෙවේ සෑහෙන තියනවා මේ ටිකේ. මේ එයින් එකක්..  
                          
සෙන්සේෂනල් රොක් නම් ස්ථානයට පිවිසීමට පෙර මද විවේකයක් සහ "වේපස්" කෑම සඳහා නතර වී සිටි අතර ගන්නා ලද සේයාරුවකි.

          කන්න අපි හැමෝම වගේ ගෙනාවේ බිස්කට්. වතුර එහෙමත් හැමෝම ගෙනාව මොකද වතුර පහසුකම් නැති නිසා.. මග දිගට ඒවා කකා බිබී තමා ඉතින් ගියේ..
                                    
සෙන්සේෂනල් රොක්..

             ඔන්න බලාගන්නකෝ සෙන්සේෂනල් රොක් කියන එක. මෙතනින් පහලට අඩි 1000ස් ගානක තනි කෙලින් ප්‍රපාතයක් තියන්නේ.. රේල් පාර හදල තියන්නේ කැපුමක් උඩ.
ඔය ළඟදීම අපිට මෙන්න මෙයා හම්බුනා.. මේ උඩහට යන උඩරට මැණිකේ..



       මේ ගමන් යනකොට මේ පැත්තේ පාලු ස්වභාවය එක්ක එකතු වෙච්ච නිහඩ බව වගේම අවට සුන්දරත්වය හිතට මාර නිදහසක් එකතු කරනවා.. ඉඳ හිට ධාවනය වන දුම්රියකින් ඇරෙන්න ඒ නිහඩ බව නොබිදෙන තරම්...
                                          
මීයන්ඇල්ල දුර්ගය හරහා වැටී තිබූ පැරණි දුම්රිය මාර්ගයේ කොටස..
මීයන්ඇල්ල හරහා වැටී තිබ්බ දුම්රිය මාර්ගය බලන්න ගිය ගමන්..
            
       මේ ගමන යන අරමුණ උනේ හිත නිදහස් කර ගැනීම උනාට, මම තවත් අරමුණක් හිතේ තියාගෙන ආව. ඒ තමා, කලින් රේල් පාර ගිහිල්ල, දැන් අතැරලා දාල තියන මීයන්ඇල්ල දුර්ගය දැකබලා ගැනීම. අපි ඒ පැරණි මාර්ගය මතින්, ඒ කියන්නේ අංක 5A දරණ බින්ගෙයට පිටින් මද දුරක් ගමන් කළා..(මීයන්ඇල්ල දුර්ග මාර්ගය හා ඒ ආශ්‍රිත තොරතුරු ගැන සටහනක් මට හමු උනා. එය බැලීමට මෙතනින් යන්න.)

තවත් එක බිංගයක්..


උඩරට මාර්ගයේ ගමන් කරන විට දිය ඇලි විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. මේ එයින් පොඩි එකක් පමණයි...



අද දවසේ අපිට යන්න පුළුවන් උපරිම දුර උනේ ගංගොඩ දුම්රිය ස්ථානය. මේ එය ඉදිරියේ ඇති පොකුණ.
ඔන්න අපි හතර දෙනාම එකට.. මේ ගංගොඩඋප දුම්රිය ස්ථානය ඉදිරිපිට.
                ඔය හතර වටේ බල බල, ඕප දූප කියව කියව ආව අපි ගංගොඩ වෙනකල්. එතනින් එහාට යන්න ගියොත් උඩට එන කෝච්චිය මිස් වෙයි කියල අපේ නඩේ ගුරා වෙච්ච අශාන් කියපු නිසා, ගමන මෙතනින් නතර කරා.. පොකුණ ගාවට වෙලා කාල එහෙම, බංකුවක් උඩට වෙලා කතාවක් දාගෙන හිටිය ආපහු යන්න දුම්රිය එනකල්..
             ආපහු එනකොට, හිතේ තිබ්බ කරදර ගතිය, මහන්සිය අඩු වෙලා තිබුනත්, එකක් පස්සේ තව එකක් වගේ දැන් ආපහු එකක් පත්තු වෙලා... ඒ කොහොම වෙතත්, මේ ගමනේදී මගෙත් එක්ක හිටිය හැමෝටමත්, කරදර වෙලාවේ හොයල බලපු පොඩි කුමාරිහාමි අක්කටත්, කාංචන, අශාන්, නිපුන අයියා, ගෙහාන් අයිය, තූර්ය අයිය ඇතුළු කී නොකී හැමෝටමත් මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා.. එහෙම යාළුවො ඉන්න එක ගොඩාක් වටිනවා.
             

Friday, June 13, 2014

අපේ තුවක්කු ඉහලම.....

              ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආව බ්ලොග් එක පැත්තේ.. බ්ලොග් එක පැත්තේ විතරක් නෙවේ ලැප් එක හරියට දැක්කෙත් මාසෙකට විතර පස්සේ තමා.. මොකද මට පහුගිය ටිකේ වි භාගයක් තිබ්බ. ඒකෙ වැඩ නිසා මේ හතරමායිමට තහංචියක් දාගෙන තමා හිටියේ.
             හරි, පහුගිය ටිකේ කෝච්චි ගැනයි හොල්මන් ගැනයි කතා කරා.. මාව ආපහු ලැප් එක ගාවට අරගෙන ආවෙත්නම් කෝච්චියක් තමයි. ඒ උනාට ඒ ගැන වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ.. කෙටියෙන් කිව්වොත්, සෑහෙන කාලෙකට පස්සේ වාෂ්ප දුම්රිය එන්ජිමක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කොටසට ආපු එක තමා හේතු උනේ. හරි ඒ ඇති.
             ඔය පහුගිය දවසක පෝස්ට් එකක් දාපු වෙලාවක දැන් මේ පැත්තේ දකින්න නැති ධාරා කියල තිබ්බ විභාග කාලෙට තමා ලියන්න දේවල් හිටු කියල මතක් වෙන්නේ කියල. ඒක සහතික ඇත්ත අෆ්ෆා. ඔය විභාගෙට උවමනා කරන පරණ පොතක් හොයන්න අල්මාරියක් ඇදපු වෙලාවක, මට බොහොම අපූරු "වස්තුවක්" හම්බුනා..
        
මේ තමා උන බට තුවක්කුව...
      මේ තුවක්කුවට තව නමක් කියනවා.. අනික් පළාත් වල කොහොමද මම දන්නේ නෑ අපි නම් පොඩි කාලේ මේකට අච්චු බටේ කියන නමත් පාවිච්චි කරා.. ඔය දැන් තියන ප්ලාස්ටික් Air gun කියන පිස්තෝල වගේ නෙවෙයි. මේකකින් වෙඩි තියනකොට ඩෝන් ගාල සද්දෙත් එනවා. ඒ වගේම, පරිසරයට කිසිම හානියක් නෑ.. ඔය මම දාල තියන තුවක්කුව හැදුවේ මම 6 වසරේ ඉන්නකොට. ඒ කියන්නේ 2004. අගෝස්තු වල තමා මගේ දිනපොතේ හැටියට. ඒ කියන්නේ දැනට අවුරුදු 10කට කලින්. ඒ උනාට, පුංචි පිපිරීමක් ඇරෙන්න, තාමත් ඉතා හොඳ ක්‍රියාකාරී මට්ටමෙන් තියනවා!!
         මේකක් හදාගන්න හැටි කියනවා නම්, මුලින්ම හොයාගන්න ඕනේ උණ පඳුරක්. ඒ කියන්නේ මෙන්න මෙව්වා..
මේ තමා කහ උණ. කොළ උණත් තියනවා. හැබැයි කහ උණ බටේ හයියයි වගේම වැඩි කල් පැවැත්මක් තියනවා..
විද්‍යාත්මක නාමය- Bambusa vulgaris.

         උණ පඳුරක් හොයාගෙන, එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ. ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි. මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි. සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි. දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..
         ඔය ටික කරාම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ.
ඔන්න තුවක්කු බටේ.. මේකේ නම් සෙලෝටේප් වලින් සීල් කරලා තියන්නේ වටේට. අලුත් එකක ඒවා ඕනේ නෑ. මේක කොළ උණ වලින් හදපු එකක්.
         රයිට්. ඊළඟට වෙඩි තියන කොටස, නැත්තම් ට්‍රිගර් එක කිව්වා නම් හරි යයි.. මේකට, අර ගහේම, ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලට ලඟම පුරුකෙන් වගේ, සෙන්ටිමීටර් 5ක් විතර දිග කෑල්ලක් කපාගන්න, හැබැයි, ගැටේකුත් අහු වෙන්න. එකරලා, කිතුල් කෝටුවක් හරි ඒ වගේ නැවෙන්නේ නැති, හයිය තියන, අර ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලේ බටේ ඇතුලෙන් ලේසියෙන් යවන්න පුළුවන්, ඒ බටේට වඩා සෙන්ටිමීටර් 5ක් වගේ වැඩියෙන් තියන කෝටුවක් කපාගන්න. පරණ හයිය හැඳි මිටක් තියනවා නම් සුද්ද කරලා ගත්තත් කමක් නෑ. ඔය කෝටුව, අර ගත්ත පොඩි උණ කෑල්ලේ ඇතුලට යවාගන්න. මේක හොඳට හිරවෙන තරමට හොඳයි.. ගැටේ තියන්න කිව්වේ, වෙඩි තියනකොට ඔය කෝටුව අනික් පැත්තෙන් එන එක වලක්වන්න. මේක සම්පූර්ණ කරගත්තම මේ වගේ වෙන්න ඕනේ...
පේනවා නේද මම අගින් ගැටයක් තියල තියන හැටි..
         දැන් ඔය වැඩ ටික කරගත්ත නම්,තුවක්කුව හදල ඉවරයි. එතකොට කෝ උණ්ඩ?? මේකට දාන ඔරිජිනල් උණ්ඩ තමා කුඩුදවුල ඇට. දැන් කට්ටිය අහයිද දන්නේ නෑ ඒ මොන කුනුහරපයක්ද කියල. :D
නෑ නෑ බයවෙන්න ඕනේ නෑ. මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එකතු කරගන්න මෙන්න මේ ටික-
පරණ පත්තර පිටු දෙක තුනක්,
ටිකක් ලොකු කෝප්පයක්,
කෝප්පෙන් භාගයක් තරමට වතුර.
         ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න. ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න. අච්චු කූර (ඔය උඩ තියන්නේ.. ) අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ. බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි. (මූනට අල්ලාගෙන එහෙම ඔය වැඩේ කරන්න එපා ඇහැක් හොයන්න යන්න වේවි ඊට පස්සේ)
          මේ තියන්නේ ඔය සම්පූර්ණ කට්ටලය..
ඔන්න සම්පූර්ණ කට්ටලය. ඔතන එකක් තෙමපු උණ්ඩයක්. අනික කලින් පාර පාවිච්චි කරලා ඇතුලේ තිබ්බ එක.
                            
         ඔය තුවක්කුවෙන් වෙඩි තියන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. අපි ඒ දවස් වල ඕවලින් යුද්ධ හිටන් කරලා තියනවා. ලේ පාට හිටින්න, කොල පොඟවන වතුරට රතු පාට දිය සායම් හරි ගඩොල් කුඩු හරි දිය කරනවා.. :D

          මේකේ ක්‍රියාකාරීත්වය තියන්නේ වායු පීඩනය මත. ඒ කියන්නේ, කොළ ගුලි දෙකෙන් හිර වෙනවනේ වාතය කොටසක්. බටේ හරහා එලියට යන්නත් බෑ. ඉතින් එක පැත්තකින් තල්ලු කරද්දී, වායු පීඩනය නිසා ලේසි කෙලවරින් කොළ ගුලිය විසි කරගෙන වාතය නිදහස් වෙනවා. එහිදී වායුවේ තිබ්බ ශක්තියෙන් කොටසක් ශබ්දය විදිහටත් නිදහස් වෙනවා. බැරි වෙලාවත් උණ බටේ දුර්වල උනොත්, බටේ පුපුරන්නත් ඉඩ තියනවා.. ඔය අච්චු බටේට සමාන යාන්ත්‍රණයක් මත තමා වාෂ්ප දුම්රිය වැඩ කරන්නෙත්.. වායු බලයේ තරම හිතාගන්නකෝ ඉතින්...