Tuesday, October 4, 2022

තවත් එක පොතක් නොවේ...

          මාව ටිකක් ලඟින් ආශ්‍රය කරන අය දන්නවා මගේ එක විනෝදාංශයක් තමයි පොත් කියවන එක. ඔය පුරුද්ද මට ඇති උනේ බොහොම පොඩි කාලේදී. මම අපේ අම්මා ගැන වැඩිය සඳහනක් මේ බ්ලොග් එකේ නොකරට, ඒ පුරුද්ද ඇති කිරීම ගැන නම් සම්පූර්ණ ගෞරවය යන්න ඕනේ අපේ අම්මට. මම 3 වසරේ ඉන්නකොට දයා කළමුල්ල මහත්තයා ලියපු “මොණර නැටූ ගලේ නිධානය” පොතෙන් පටන් ගත්ත ඒ කියවීම සෑහෙන විෂයයන් ගාණක් යටතේ ලියවුන පොත් බර ගාණක් හරහා මේ වෙද්දී මාව අරගෙන ඇවිල්ලා තියනවා.

          ඒ කියවපු පොත් සෑහෙන ගාණක් අතරින්, මගේ හිතට දැනුන, ඒ කියන්නේ හිත කම්පනය කරන්න පුළුවන් උන, ගැඹුරෙන් ම හිතට දැනුන පොත් තියනවා කිහිපයක්. ඒ ගොඩට එකතු වෙන තවත් එක පොතක්, මට මේ ගිය සතියේ කියවන්න ලැබුනා. ඇත්තට ම කිව්වොත් පළවෙනි පාර කියවලා හිතට ආපු දේවල් එක්ක, ආපහු පාරක් පොත කියවලා තමයි මේ සටහන තියන්නේ.

          මොකද්ද එතකොට මේ පොත?? 


කංචුකය

           වෛද්‍යය බෝධිනී සමරතුංග මහත්මිය ලියපු “සායනික සටහන් නොවේ” කියන කෘතිය තමයි මේ විදියට මගේ හිත කම්පනය කරන්න සමත් උනේ. ඉතිං එහෙම කම්පනය කරන්න තරම් මොනවද ඒකෙ තියන්නේ? ඒ ගැන ෆේස්බුක් එක ට පොඩි සටහනක් තියන්න ඕනේ කියල හිතුවා. ඒ උනාට පස්සේ හිතුනා මේක ෆේස්බුක් එකේ යට යනවට වඩා බ්ලොග් එකේ තියෙයි නේද කියල, ඉතිං ටිකක් අමතර කරුණුත් එක්ක, සටහන මෙතෙන්ට දානවා.

2018- 2019 කියන අවුරුදු දෙකක කාල පරිච්ජේදය තුල “රැස” පුවත්පතේ පළවුණ තීරු ලිපි කිහිපයක් එකතු කරලා තමයි මේ පොත සකස් කරලා තියන්නේ. ගුරුවෘත්තිය ට පස්සේ මම දකින විදියට සමාජයේ විවිධ ජන කොට්ඨාශ එක්ක වඩාත් ලඟින් ආශ්‍රය කරන්න වෙන, ඔවුන්ගේ ජීවිත වලට එබිලා බලන්න ලැබෙන, ඒ වගේ ම ඒ ජීවිත වල මග තීරණය කරන ප්‍රධානතම වෘත්තීය තමයි වෙද වෘත්තීය (මේ කරුණ ගැන වාද විවාද තියෙන්න පුළුවන්, මේ ලිව්වේ මම දකින විදිය).

කොහොම හරි, ඔය සේවා දෙකේදී ම අපිට සමාජයේ විවිධ පැතිකඩ දකින්න පුළුවන් සෑහෙන්න යතාර්ථවාදී වගේ ම ප්‍රායෝගික ආකාරයට. එක එක ආටෝප සළුපිලි වලින් ඔතල හැඩවැඩ දාලා සරසලා තියන දේව පිළිම වල ඇතුළාන්තය දකින්න පුළුවන් ඒ ක්‍රියාන්විත වලදී. මෙතැනදී වෛද්‍ය වෘත්තීය ගුරුවරයාත් අභිබවා යන තැන් අප්‍රමාණයි.

කොහොම හරි, ගුරුවරයෙක් විදියට මගෙත් අවුරුදු 12ක කාලය ඇතුලත ඇසුදුටු සමාජමය සිද්ධීන්, වෛද්‍යමය දෘෂ්ඨිකෝණයකින් දැකලා ලියවෙච්ච සටහන් පෙළක් තමා මේ සායනික සටහන් නොවෙන, සායනික සටහන්.

සමාජයේ මම දකින විදියට නම් ප්‍රශ්න නැති කිසි කෙනෙක් නෑ. හැමෝටම තමන් එලියට නොකියන කතා ගොඩාක් තියනවා. සමහරුන්ගේ ඒ කතා එලියට එන්නේ නැතුව, එයාලා එක්කම වැළලිලා යනවා. සමහරු කියන්න උත්සාහ කරනවා, ඒත් ඇහුම්කන් දෙන්න කෙනෙක් නැති වෙන නිසා, අවසානයේදී එයාලා ඒවා කියන්න හරිම අනුවේදනීය පියවර වලට එළඹෙනවා. වෛද්‍යවරයෙකුට මේවා හැමදාම වගේ දකින, ඇහෙන දේවල්. හැබැයි අපි මොහොතකට වත් නොහිතන, වෛද්‍යවරු ඒවායින් කොච්චර කම්පනයට පත් වෙනවා ද කියන එක ට මේ සටහන් හොඳ ම සාක්ෂි සපයනවා. මොකද, මේ ඒවා එක්ක කටයුතු කරපු කෙනෙක් ගේ හෘද සාක්ෂිය..

ඒ වගේම, මේ කාලේදී ගුරුවරු වෙන අපිටත් ලොකු සටනක් කරන්න වෙලා තියන දෙයක් තමයි මත් ද්‍රව්‍ය. ඉස්කෝල වල පිටු ගණන් රචනා ලිව්වට, උපදේශන කියල පැය ගණන් කතා කරාට, බෑග් චෙක් කරාට, දවසින් දවස අපේ ළමා සහ තරුණ පරම්පරාව මත් ද්‍රව්‍ය සුනාමියක් විසින් ගිලගනිමින් පවතිනවා. ඇත්තට ම කිව්වොත්, පොතේ සඳහන් වෙන විදියට ම, ඒක වීරකමක් කියල දකින තරමට සමාජය ඒවාට යොමු වෙලා.

මේකේ ප්‍රශ්නේ තමයි, ඇබ්බැහි උනාම නවත්තගන්න බෑ. ඊට පස්සේ ලබා ගන්න විවිධ අපරාද වලට, ඒ වගේම පාවිච්චි කරාට පස්සේ ඇති වෙන මානසික විකෘතියත් එක්ක සිද්ධ වෙන අපරාධ, අපචාර කරන්න මේ තරුණ පරපුර පෙළඹෙනවා. වැඩිහිටි පරම්පරා වල තත්වයත් එමමයි එසේමයි. තාත්තා විසින් දරුවන් දූෂණය කරන්න පවා පෙළඹෙන්නේ ඔය තත්වය උඩ ගොඩක් වෙලාවට. මේ විදියට අතවරයට ලක් උන ළමයි එක්ක මම ගුරුවරයෙක් හැටියට කතා කරලා තියනවා. එයාලා උඩින් හිනා වෙලා හිටියට, ඇතුළතින් මොන තරම් විඳවනවා ද, සමහර විට සමාජයට වෛර කරනවා ද කියන එක මම අත්දැකලා තියනවා. ඒ අතින් මේ සටහන් ටික, මගේ අත්දැකීම් වල වෛද්‍යමය කියවීමක් වගේ මට දැනුනා.

ඒ වගේ ම මේ පොතේ තවත් ලොකුවට ම කතා කරලා තියන දෙයක් තමයි, උතුරු- දකුණු සම්බන්ධය. හේතුව, යුද්ධේ අන්තිම කාලේ වගේ මේ කතුවරිය ගත කරලා තියන්නේ රටේ උතුරු කොනේ (මේ ගැන වෙනම ම පොතක් තියනවා “උතුරු කොන” කියල. හොයාගෙන කියවන්න ඕනේ). උතුරත් දකුණත් අවුලපු අය, අවුලපු හේතු, ඇවිලුන විදිය ගැන කතා, නිර්වචන සෑහෙන්න තියනවා, ඒවා මෙතන මම ලියන්න යන්නේ නැහැ. හැබැයි දශක තුනක් පුරාවට රටක් ගිනි තියන්න ඒ ගින්නට පුළුවන් උනා.

මට ඒ පරිච්ජේද කියවනකොට, මම සෙල්ලම් කරපු පරිඝණක ක්‍රීඩාවක එන පාඨයක් මතක් උනා. “Older men declare war. But it is the youth that must fight and die.” මේක කියල තියන්නේ හර්බර්ට් හූවර් කියල ඇමරිකානු හිටපු ජනාධිපතිවරයෙක්, 1944දී. ඉතිං ඒ වගේ ම, ලංකාවේ තිබ්බ යුද්ධෙනුත් රටට අහිමි උනේ ශ්‍රම බලකායට විවිධ ආකාරයෙන් දායක වෙලා රටේ සංවර්ධනයට උර දෙන්න හිටිය මහා ජනකායක්. ඒ වගේම, රටේ සංවර්ධනයට දායක කරගන්න තිබුන සම්පත්, මුදල් ගිණිය නොහැකි ප්‍රමාණයක්.

ඔය ඔක්කොම එහෙම වෙද්දී, එකම රටේ එකම භූමියේ ජීවත් වෙන එකම වාතලයෙන් හුස්ම ටික බෙදාගන්න ජනවර්ග දෙකක්, එකම භූමියේ පර සතුරන් කරලා දාන්නත් මේකට හැකි උනා. ඒ උනාට උඩින් පෙන්නන ප්‍රතිරූපයට වඩා බිම් මට්ටමේ තිබ්බ යතාර්ථය කොහොමද කියන එක මේ සටහන් අතර විවිධ ආකාරයෙන් පෙන්නලා දෙන්න මේ කතුවරිය තමන්ගේ පෑන මෙහෙයවලා තියනවා.

ඔය වගේ, ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රයට අහු වෙන විවිධාකාර සමාජ ගැටළු- මානසික රෝගීන් , ළමා මෙහෙකාරකම්, මූලික පහසුකම් නොමැති ගම්මාන, මාපිය- දූදරු සම්බන්ධතා, දරිද්‍රතාවය වගේ සෑහෙන වපසරියක් පුරා විහිදුන විස්තර ගොඩක්, මේ පරිච්ජේද 60 අස්සේ තියනවා. ගුරුවරයෙක් විදියට ඇත්තටම මගේ හිතත් කම්පනය කරන්න හේතු උනේ අන්න ඒ පරිච්ජේද අස්සේ කියවෙන කතා, නම් ගම් වෙනස් කරලා ගත්තම මට හම්බුන සමහර අයටත් කොච්චර දුරකට ආදේශ කරන්න පුළුවන් ද කියල ආපු හැඟීම. සමහර විට, මගේ ම ජීවිතයට උනත්.. 

පටුන (මුල් සටහන් 30)

මේ ග්‍රන්ථය මම අවුරුද්ද මුල ඉඳලා අරගන්න බලාගෙන හිටිය එකක්. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් අරගන්න ගියත්, මට ඒක එතැනින් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතන ගොඩක් දෙනා අහද්දීම කිව්වේ ලංකාවේ ජාතික පිළිතුර - නෑ!

පස්සේ දවසක මහනුවර ගුණසේන පොත්හලෙන් තමා අරගන්න හැකි උනේ. ඒ අරගෙන ඇවිල්ලා භාගයක් කියවලා මම කියවන එක ටිකකට නතර කරා, ඒ භාෂාවත් එක්ක කතන්දර මට ටිකක් තදින් දැනුන නිසා. ගුරුවරයෙක් විදියට මම මේ බ්ලොග් එක කියවන, ඒ වගේම සටහන දකින හැමෝටම ඇරයුම් කරනවා මේ පොත එක පාරක් හරි කියවන්න කියල. බෙහෙත් අහුරක් දීලා සාක්කුව හිස් කරන, රටේ ප්‍රශ්න ගැන අසංවේදී පිරිසක් විදියට පවා සමාජයේ හැඳින්වෙන වෛද්‍යවරු දකින ලෝකේ මොන වගේ ද කියල තේරුම් ගන්න මේ සටහන් සෑහෙන්න ප්‍රයෝජනවත් වේවි. මේ සටහන් අපිට කියවන්න මෙහෙම ලිව්වට, බෝධිනී අක්කට ගොඩක් ස්තුතියි!

            

Wednesday, April 13, 2022

අර්බුධයක කට උඩ සිට අවුරුදු....

සිංහල ක්‍රමය ට අනුව මේ ගෙවෙන්නේ අවුරුද්දක අවසාන හෝරා කිහිපය. අද ඉතිං ඇවිදලා කරලා රෙදි හෝදලා නාලා එහෙම ඉවර වෙලා අවුරුද්දේ අන්තිම වැඩේ හැටියට ආවා අවුරුදු පෝස්ට් එක දාන්න.

ඇත්තට ම කිව්වොත් මේ පාර නම් අවුරුදු සමරගන්න තරම් ලොකු හැකියාවක් ගොඩක් දෙනෙකු ට නැහැ. එදා වේල හොයාගන්න එක රටේ සෑහෙන දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක, මොන අවුරුදු ද එක අතකට..

පහුගිය මාස 4 ගත්තොත් රටක් බංකොලොත් ලබන්නේ කොහොම ද කියන එක පියවරෙන් පියවර අපි දැක්කා සජීවී ව. ඇත්තට ම මේ සටහන ලියවෙන පැය වෙනකොට ලංකාව නිළ වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශය ට පත් කරලා තියනවා. 

ගෑස් නෑ, රයිස් කුකර් දාන්න පවර් එහෙමත් නෑ. ඒ නිසා ඔන්න පරණ පුරුදු ලාංකේය ක්‍රමය ට ගියා..

ඇත්තට ම මීට අවුරුදු 10ක ට කලින් 2012 තිබ්බ අවුරුදු කාලෙයි දැන් මේ අවුරුද්දයි අරගෙන බැලුවම වෙනස හොඳ ට තේරෙනවා. 2012 කියල කියන්නේ අපි උනත් සෙල්ලම් වයසෙන් එලිය ට ඇවිත් ලෝකේ දකින්න කරන්න පටන්ගත්ත වයස. හැබැයි ඒ වෙනකොට රටේ අර ඉස්සර කියන තරම් නැති උනාට අවුරුදු සිරිය තිබ්බා. මේ අවුරුද්දේ වසංගත තත්වයේ බලපෑම අඩු උනත්, අවුරුදු සිරිය පෑල දොරින් පැදුරටත් නොකියා පලා ගිහිං වගේ මූසල ගතියක් තමයි තියන්නේ. 

ජරමර අස්සේ බර කරත්ත වගේ ඉඩම් මනින්න යන්නත් සෙට් උනා..

මේක ට හේතු නම් ඉතින් සෑහෙන්න කතා උනා මේ ටිකේ. ආර්ථික ව බංකොලොත් ලබලා, ජීවන වියදම අහස උසට නැගලා, උද්ධමනය රොකට් එකක වේගෙන් අහස උඩට නගින තත්වෙක නේ අපි ඉන්නේ. ඒ අස්සේ පැය 7 -8 (සමහර විට ඊටත් වැඩි) පවර් කට්, වතුර නෑ, බෙහෙත් නෑ.. ඕවත් එක්ක මොන අවුරුදු ද.. 

ඇත්තට ම මේ පාර අවුරුද්ද ගැන මෙහෙම තමා කියන්න වෙලා තියන්නේ..
(කාටූනය ෆේස්බුක් අඩවියෙන්)

එක අතක ට මේ ඔක්කොටොම අර පාර්ලිමේන්තුවේ ඉන්න 226 ට විතරක් ඇඟිල්ල දික් කරන්නත් බෑ. මොක ද එකක් ඒ උන්දැල ව එතන ට පත් කරලා යැව්වේ මිනිස්සු. ගතිගුණ ගැන අවුරුදු බර ගානක අත්දැකීම් තිබිලත් එහෙම යවනවා නම්, ඒක සාධාරණීකරණය කරනවා නම්, එයිට පස්සේ වෙන දේවල් වලටත් වග උත්තර බඳින්න වෙනවා ඒ මිනිස්සුන්ට.

ඒ වගේ ම, මේ සටහන ලියන්න ගනිද්දී මට මතක් උනා ඉස්සර අවුරුදු මෙහෙමයි, දැන් මෙහෙමයි, අපි පොඩි කාලේ මෙහෙම මෙහෙමයි, අපි ට මාස ගණන් සති ගණන් අවුරුදු, දැන් ඉන්න පොඩි උන් ට ඒ ළමා කාලය අහිමි වෙලා, ඒවා විඳින්න දන්නේ නෑ, වාසනාව නෑ, පින නෑ වගේ එක එක කට්ටිය කියපු කතා.

හැබැයි ඔය මිනිස්සු (මමත් ඇතුළුව) ටිකක් කල්පනා කරා නම් තේරෙයි, ඒ වෙනස් ඇති කරලා තියන්නෙත් අපි ම තමයි කියන එක. ඒ ලස්සන ජීවන රටාව ට පයින් ගහලා, ළමා කාලය ළමයින්ගෙන් ඈත් කරලා, ඒ අයව අතිධාවනකාරී රේස් එකක ට දැම්මේ අඟහරු ලෝකෙන් හරි කොහෙන් හරි ආපු කට්ටියක් නෙවෙයි නේ.

දැන් උනත් දරුවෙක් කොහේ හරි ටිකක් සෙල්ලම් කරන්න යන්න ඇහුවොත් හා කියන්නේ කීයෙන් කී දෙනා ද? ගොඩක් අම්මල තාත්තලා බලං ඉන්නේ කවද්ද ඉස්කෝලේ පටන් ගන්නේ, ටියුෂන් පටන් ගන්නේ කියල. ඇත්තටම කිව්වොත් මම දැක්කා 13 වෙනිදා ත් ටියුෂන් දාලා තියනවා සමහර ළමයින් ට. අලුත් ම නාටකේ තමා ඔන්ලයින් ක්ලාස්. මම දන්න එක දරුවෙක් ඉන්නවා එයා ට හිස්ට්‍රි ක්ලාස් ඉවර වෙන්නේ රෑ 1 ට! ඉතිං මේ ළමයින්ට මොන අවුරුදු සිරි ද.. හොඳ අනාගතයක් කියන මුලාවෙන් කරන මේ වැඩේ නවත්තන්න කාලේ හරි මම නම් කියන්නේ. 

මේ පාර අපේ රටේ තියන ජන (අ)ප්‍රිය ම දෙපාර්තමේන්තු වලින් එකක් වෙන අජ්ජාපන දෙපාර්තමේන්තුවෙන් ගුරුවරුන්ගෙන් දිග ට හරහා ට පලි ගන්නවා දැක්කා අර ලැබුණු පඩි වැඩි වීම (ඇත්ත ට ම නම් විෂමතාවය අහක් කිරීම) නිසා. කොටින් ම අවුරුදු නිවාඩුව වත් දුන්නේ නෑ. මේ අවුරුදු අස්සේ පේපර් බලන ගමන්..

පහුගිය මාස 4 ගෙවුනේ කොහොම ද කියල නම් මෙතන වැඩිය කතා කරන්න උත්සහ කරන්නේ නැහැ, මොක ද මම අවුරුද්ද අන්තිමේ රිවීව් එකක් ලියන නිසා. ඒ උනා ට ඉතින් නිකම් පොදු දේවල් ටිකක් කිව්වොත්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කෑම පෝලිම් වගේ පෝලිම් සෑහෙන ගොඩක් එක්ක තමා මේ කාලේ ගෙවුනේ. 

ක්‍රීඩා උත්සවය තිබ්බා 2020න් පස්සේ සම්පූර්ණ උත්සවය විදියට. අපි ස්ටාෆ් රිලේ එක දිව්වා. මේ ඉන්නේ ටීම් එක..


පිරිත ත් තිබ්බා මේ පාර සම්පූර්ණ එක. ගෝලබාලයෝ එක්ක වැඩ කරන්න හම්බුනා ඒ වෙනුවෙන්.. 

ඒ අස්සේ ඩොලර් සංචිත හිඳිලා ගිය නිසා (නෑ නෑ මේ වෙන මුකුත් නිසා නෙවේ පෑවිල්ල ට) තෙල් එහෙම ගේන්න බැරුව පැය 13ක වගේ විදුලි ඇනහිටීම් වල ට යන්න උනා. මේක පැය 20 දක්වා යන කතා ත් ඇහුනා. ඇත්තට ම සෑහෙන කාලෙකින් අද තමා පැය 24 එක දිගට පවර් තිබ්බේ. 

අවුරුද්ද අන්තිමේ ටුවර් එක.. පේරාදෙණිය ට බයිසිකලෙන් ගිහිං ආවා පරණ යාලුවෙකුත් හම්බෙලා.. මේක ඇත්තට ම පොඩි ට්‍රයල් එකක්..

කොහොමින් කොහොම හරි අවුරුදු කට උඩ තියද්දි මිනිස්සුන්ට මේක එපා වෙලා, උද්ඝෝෂණ කරන්න පාරට බහින තත්වයක් ඇති උනා. දැන ට නම් සාමකාමී ව යනවා. මේ විරෝධතා එක එක මුහුණුවරින් පැවැත්වුනා. මමත් එකක ට සහභාගී උනා. හැබැයි එක දෙයක් මම මෙතන ලියල තියන්න හිතුවා. අපි ට පේනවා එක එක චරිත මේ උද්ඝෝෂණ වල ට එකතු වෙමින් ඉන්නවා. සමහර අය ආව ම මාර ප්‍රතිචාරත් දැක්කා. 

මහනුවර සංවිධානය වූ "විරෝධයේ ගී හඬ"..

හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමා මේ ඔක්කොම තාවකාලික දේවල්. ඒ වගේ ම මිනිස්සු උද්ඝෝෂණ කරන්න ඕනේ. ඒක ගැන කිසි ම විවාදයක් නැහැ. මමත් එකඟයි. හැබැයි ඒ හරහා එක එක්කෙනා පුම්බන එක වත්, එක එක්කෙනා ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වල ට ඉඩ දෙන එක වත් කොහොමත් ම වෙන්න ඕනේ නෑ. මේ රටේ මිනිස්සු හරි දක්ෂයි බොර දියේ මාළු බාන්න. මේක නැවතත් සිද්ධ වෙන්න ඉඩ නොදී, පළවෙනි ප්‍රධාන අරමුණෙ ම හිටියොත්, අඩුම ගානේ ලංකා ඉතිහාසයේ පළවෙනි සාර්ථක උද්ඝෝෂණය කරා කියල අනාගත පරම්පරාවට ඉගෙනගන්න, කියන්න ලැබේවි (මොකද 1818 ඉඳන් ලංකාවේ ගහපු කැරලි/ උද්ඝෝෂණ ඔක්කොම අමු අසාර්ථකයි).  

විරෝධාකල්ප ගීත සාහිත්‍ය කියන්නේ ලංකාවේ තිබ්බ/ තියන එක්තරා පරිණත සාහිත්‍ය කලාවක්. පෝස්ටර්, වචන 1000කින් කියන්න බැරි දේ එක ගීතයකින් කියන්න පුළුවන්. මේ මහනුවර ටොරිංටන් එකේ තිබ්බ සාමකාමී ගීතමය උද්ඝෝෂණයක්..

අවුරුද්ද ගැන ලියන්න ආවත්, වෙනද වගේ අවුරුදු සම්බන්ධ රස කතා වත්, අවුරුද්ද ගැන ස්පෙසිෆිකලි වත් ලියන්න දේවල් ඔළුව ට එන්නේ නැහැ. වෙනදා ට වඩා ටිකක් නිදහස් ලේඛන ශෛලියක් අරගෙන ලිව්වෙත් ඇත්තට ම ඒකයි. මේ අවුරුද්දේ ඇඳුම් කඩ වල එහෙමත් ලොකුව ට සෙනගක් මම දැක්කේ නැහැ (වෙනද ට සාපේක්ෂ ව). මමත් අප්පච්චි ට විතරයි ඇඳුමක් වත් අරගත්තේ. 

මේ පාර මම ගත්තේ මේ ටික තමා අවුරුදු ෂොපින් රවුමෙන්. බයිසිකලේ වැඩටත් යන්න වෙයි ද කියල හිතෙනවා..

මේ දවස් ටිකේ පවර් නැති වෙන නිසා, UPS, බැටරි මුදලාලිලා ට, සෝලා කරන අය ට එහෙම සෑහෙන හොඳ කලක් ගිහිං. අවුරුදු බර ගණන් පරණ ස්ටොක් එහෙමත් අලුත් ඒවා වගේ ගිනි ගණන් වල ට විකුනනවා දැක්කා. පාර්ලිමේන්තුවෙන් රට හදන්න කලින් මට නම් කියන්න තියන්නේ අපි අපි ම හැදිලා ඉන්න ඕනේ කාලය ඇවිල්ලා කියල. මොක ද මේ වගේ වෙලාවල් වල ත් ඒ වගේ ජඩ වැඩ කරන එක තරම් පහත් වැඩක් නෑ.

ගොඩක් කට්ටිය මේ අවුරුද්දේ සුබ පතන්නේ නැති බවත්, තමන් ට සුබ පතන්න එපා කියල ත් දාලා තියනවා දැක්කා. ජනාධිපතිවරයා ට ගෙදර යන්න බල කරන්න ගාලු මුවදොර ට එකතු උන ලොකු පිරිසක් “ගෝටාගෝගම” කියල ගම්මානයක් පිහිටවාගෙන දිවා රෑ අරගල කරද්දී, අවුරුද්ද සමරන්නේ කොහොම ද කියන එක තමා එයාල ගේ තර්කය. ඒ ගැන විවාදයක් කරන්න මට උවමනාවක් නැහැ, ඒ නමුත් එක දෙයක් මම කියල තියන්නම්. මේ පාරත් සමහර තැන් වල ගිනිකෙළි වලින් නම් අඩුවක් නැහැ. මම දැක්කා පන්සලේ වරු ගාණක් අහස කූරු උඩ යනවා නිකම් පලස්තීනේ නැත්තම් යුක්‍රේනේ වගේ. 

ගාලු මුවදොර ලෝකල් පප්පා ගම..
සේයාරුව- අන්තර්ජාලයෙනි.

අපි කාට හරි සුබ පතලා කරන්නේ බලාපොරොත්තුවක් දෙන එක. බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. අරගල කරන්නත් බලාපොරොත්තුවක් ඕනේ. නැත්තම් අරගලයක ජවය හිඳෙනවා. ඒ නිසා, මම අවසානය ට මෙහෙම කියල මේ සටහන නිමා කරන්නම්..

ලියන, කියවන සියලු දෙනාට ත් රටට ත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!