Friday, May 16, 2014

හොල්මන් සහ අවතාර...


                                         

මේ ලෝකයට ආ කිසිවෙක් සදාකාලික ජීවිතයකට උරුම කම් නොකියති... යම් දවසක ඔහු/ ඇය ආදරය කල සියල්ල හැර දා කිසිවෙකු නොදන්නා ගමනක් යාමට ඔහුට/ ඇයට සිදු වේ..
                                          
  
ඒ නමුත්, ඒ නමුත්.......
 මේ ලෝකයට බැඳ තබන බැමි සියල්ල ලිහාගැනීමට අසමත් වූ, නොඑසේ නම් මෙලොව කිරීමට තිබුණු රාජකාරි සියල්ල ඉටු කිරීමට අපොහොසත් වූ අය සිය භෞතික කය ඇතිව හෝ නැතිව මෙලොව හැසිරෙන බවට නොයෙක් සාක්ෂි ඉදිරිපත්ව ඇත... සාමාන්‍ය ව්‍යවහාරයේදී ඔවුන් හඳුන්වනුයේ...
                                 ........අවතාර නමිනි....

     මීට හරියටම වසරකට පෙරාතුව, මා අවතාර ගැන සුළු හැඳින්වීමක් මෙන්න මේ පෝස්ටුව හරහා මා ඉදිරිපත් කළා ඔබට මතක ඇතුවා විය හැකිය. එසේ නමුත්, මේ මාතෘකාව එසේ ලෙහෙසියෙන් සාකච්ජා කර ඉවත ලිය හැකි එකක් නොවේ.. සාමාන්‍ය භාවිතයේදී මිනිසා භය කරමින්, ජීවමාන දඩයම් සොයා මළවුන්ගේ ලෝකයෙන් පැමිණි නොමල සත්වයින් ලෙස හඳුන්වන අවතාර වනාහී තවමත් නූතන ලෝකයේ භාවිත විද්‍යාවන්ගෙන් සැඟව පවතින එක්තරා අද්භූත අභිරහසකි...
    කොටින්ම අවතාරයක් යනු කුමක්ද, ඒවා එන්නේ කොහේ සිටද, ඒවායේ අරමුණ කුමක්ද යන ප්‍රශ්න පමණක් නොව සත්‍ය වශයෙන්ම අවතාර හෙවත් භෞතික කයකින් තොර වූ ජීවීන් කොට්ඨාශයක් පවතීද යන්න පිළිබඳවද විද්‍යා ලෝකයේ නිරන්තර වාද විවාද ඇති වේ..
     මේ පිලිබඳ සිත් ගන්නා සුළු මත කිහිපයක් බටහිර විද්‍යා ලෝකයේ ඇති අතර, එයින් එක් මතයකින් කියවෙන්නේ පිටසක්වල ජීවීන් සහ අවතාර යන ජීවීන් වෙන කොහෙවත් නොව පෘථිවියේ සිටම පැමිණෙන බවයි! ඒ නම්, අප ජීවත් වන්නේ ත්‍රිමාන ලෝකයකය. ත්‍රිමාන යනු අප ලෝකය හැසිරෙන්නේ, වැඩ කරන්නේ, ක්‍රියාකාරී වන්නේ උස, දිග සහ පළල යන මාන තුන මත පිහිටාය. මේ ලෝකයේ අපට කාලය නම් වන හතරවන මානය පාලනය කල නොහැකිය. ඒ නම්, අප මහනුවර සිට කොළඹට ආදී වශයෙන් ගමන් කරන විට, ඉහත සඳහන් වූ මාන තුල ඉදිරියට, පසුපසට හා පැත්තට ආදී වශයෙන් චලනය වීමට නිදහස තිබුනත්, කාලය යන මානය දිගේ අපට ඉදිරියට හැර චලනය වීමට නොහැකිය. ඒ නම්, අපට උදෑසන 9ට මහනුවරින් පිටත් වී උදෑසන 8.30ට කොළඹ සිටීමට නොහැකිය. ඒ නමුත් එවැනි සීමා ඇත්තේ මේ ලෝකයට පමණක් විය හැකිය. කාලය යන සාධකය පාලනය කල හැකි සිව් මාන පංච මාන ලෝක වල පැවැත්ම විග්‍රහ කරමින්, මාන වෙනස් ලෝක දෙක තුනක් එකිනෙක මත පැවතිය හැකි ආකාර මහා විද්‍යාඥ අයින්ස්ටයින් මහතා සාකච්ජා කළේය.. ඔහුට අනුව, මාන වෙනස මත එක් ලෝකයක සිටින්නවුන් අනික් ලෝකයට දර්ශනය නොවුනත්, විශේෂ තත්ත්ව මත සිදු වන එවැනි දර්ශනය වීම් අපට අවතාර දර්ශන ලෙස ගැනිය හැකිද???


                                  
   මතක තබාගන්න, මෙලොව කිසිවක් සදහටම අතුරුදන් නොවේ.. එය කිසියම් හෝ ස්වරූපයකින් කොහේ හෝ පවතී.. අප ශරීරය මරණයෙන් පසු විනාශ වන බව පැවසුවත්, සිදු වන්නේ එය වෙනත් ආකාරයක ද්‍රව්‍ය සමූහයක් බවට පරිවර්තනය වීම විනා මෙලොවින් අතුරුදන් වීම නොවේ.. ඉතින්, කාලය පාලනය කරගතහොත්, අප විඥාන ශක්තියට කාලය අධිගමනය කොට නැවත පෙර කාලයකට ගොස් ජීවත් විය නොහැකිද? යම් හෙයකින් කාලය අධිගමනය කොට මෙලොවට පැමිණි ඔබේ ඥාතියෙක් දුටුවහොත් ඔබ ඔහු හඳුනාගන්නේ අවතාරයක් විලස නොවේද??




       එමෙන්ම තවත් මතයක් වන්නේ මෙලොව සත්‍ය වශයෙන්ම කාලය කියා දෙයක් නොපවතින බවයි! ඒ නම්, ඔබට මේ මොහොත දක්වා සිදු වූ සැමදෙයක්ම ක්ෂණයකින් අමතකව ගියහොත්, ඔබට අතීතය කියා කතා කරන්නට යමක් ඉතිරි නොවේ.. එමෙන්ම ඒ නිසාම ඔබට අනාගතයක් ගැන සිතීමට අවැසිතාවක්ද මතු නොවනු ඇත. සත්‍ය වශයෙන්ම කාලය වනාහී අප සිදුවීම් දෙකක් අතර පරතරය මැනීම පිණිස සාදාගත් මිනුමකි. අපට බටහිර භෞතික විද්‍යාවේදී යම් කිසි දුරක් කාලයෙන් මැනිය හැක්කේ ඒ නිසාය..
    මෙය තවත් සරල කොට කතා කළහොත්, අප සැම සිතා සිටින්නේ සියල්ලන් එකම කාල රාමුවක වැඩ කරන බවයි.. නමුත්, ඔබ නිවසේ කාමර දෙකක ඇති ඔරලෝසු දෙකක් සිතේ මවාගන්න.. දැන්, එක් කාමරයක ඔරලෝසුව විනාඩි 5ක් අඩුවෙන් දුවන සේ සකස් කරන්න.. මෙසේ මාසයක් පමණ දිවූ පසු, එම කාමරයේ වසන තැනැත්තා එම මාසය තුල සෑම විටම අනෙක් කාමරයේ සිටි තැනැත්තාට සාපේක්ෂව විනාඩි 5ක් අඩුවෙන් කාලය ගෙවූ බව ඔබ තේරුම් ගනු ඇත! එසේ නම් ඔවුන් දෙදෙනා එම මාසයේ ජීවත් වූයේ කාල මානයන් දෙකකද??? එවිට හදිසියේ  කාමරයේ සිටි කිසිවෙක් උදෑසන 10ට මිය ගියේ නම්, ඔබෙන් සාක්ෂි විමසීමේදී ඔබ පවසන්නේ 10ට ඔහු ජීවතුන් අතර සිටි බව නොවේද?? මෙසේම මෙය පැයක පමණ වෙනසකට ආදේශ කර බලන්න..
       මීළඟට මා ඔබව මා ළඟදී කියවූ පොතක් වෙත කැඳවාගෙන යමි. ඒ නම් මා කලින් පෝස්ටුවේද සඳහන් කල "Ghost of the Air" නම් කෘතිය වෙතටයි.. එහි අවසාන පරිච්ජේදයේ මෙසේ සටහනක් වෙයි..
 "ක්වොන්ටම් යාන්ත්‍රිකය සැබෑවකි. එය විද්‍යාවේ එක් නිශ්චිත ශාඛාවකි...... මෙය පැහැදිලි කරන්නේ පදාර්ථයේ හැසිරීමයි.. නමුත් ඒ, ඔබ අප ජීවත්වන මහා ලෝකය තුල නොව, උප පරමාණුක ලෝකය තුලයි.."
 මේ ආකාරයේ හැඳින්වීමකින් අනතුරුව, එම කතුවරයා විසින් පැහැදිලි කරන්නේ කිසියම් දෙයක් පවතිනා බව අපට නොදැනෙන්නේ නම්, එය නොපවතින බව අප සිතනා බවයි..
 තව දුරටත් මේ ගැන පැහැදිලි කරමින් ඔහු කියන්නේ, විශ්වයේ දෙකෙළවර පවතින ෆෝටෝන (ආලෝක කිරණ සැදුම්ලත් අංශු) දෙකක් අතර දුර සැතපුම් ට්‍රිලියන මිලියන ගානක් උවත්, එකිනෙකාට සිදු වන වෙනස්කම් වලට අනෙකා ක්ෂණිකව ප්‍රතිචාර දක්වන බවයි!! ඒ නම්, ඒ විශ්වයේදී කාලය කියා වැදගත් සාධකයක් නොපවතින බවයි!! මා පෙර සඳහන් කලාක් මෙන් කාලයටද අප අත්දකින අනෙක් මාන මෙන්ම නැවෙන්නට, දිග හැරෙන්නට, හැකිලෙන්නට පුළුවන.. එවිට, තුන් කල් එකම මොහොතක පැවතිය හැකිය! ඒ හරහා, අතීතයෙන් හෝ අනාගතයෙන් පැමිණි ජීවියෙක්ට අප අතර ජීවත් වීමට කිසිඳු බාධාවක් නැත!

                               


 "ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව මහා ලෝකයේ ජීවීන්ට ඌනනය කල විට, එම ජීවීහු අවතාර ආකාර වෙති.""

      එමෙන්ම බුදු රජාණන් වහන්සේ ජීවමාන අවදියේම වෙනත් ලෝක වල ජීවීන්ටධර්මදේශනා පැවැත්වූ බවත්, සාමාන්‍ය මිනිසුන්ට නොපෙනුණු භෞතික කය රහිත ජීවීන් රහතුන් වහන්සේලාට දර්ශනය වූ බවත් අපට බුද්ධ ධර්මයේ සඳහන් වනු දක්නට ලැබේ.. බුදුන් වහන්සේ සිය ලෝක විවරණයේදී සිත මිස කය නැති බ්‍රහ්ම ලෝක සතරක්ද, සිතක් තොරව කය පමණක් ඇති බ්‍රහ්ම ලෝක එකක්ද, අසුර, ප්‍රේත ආදී නිකායයන්ද ගැන සඳහන් කොට ඇත්තේය.. වර්තමාන මිනිසුන් මෙවැනි ජීවීන් අහම්බෙන් හෝ දුටු විට, එවැනි ජීවීන් තුලින් දිස් වන "පෘථිවි නොවන" ස්වභාවය නිසා කැළඹීමට පත්ව, අවතාර දර්ශනය වීම් ලෙසට මේවා පත් කරනු විය හැකිය..

    
     එමෙන්ම, සාමාන්‍ය අවතාර සහිත තැන් ලෙස සැලකෙන පාලු සොහොන් පිටි, නාන ලිං ආදී ස්ථාන ආශ්‍රිතව අවතාර ගැවසීම් වැඩි වීමට හේතුවක්ද මේ ආශ්‍රයෙන් සිතාගත හැකිය. සමහර විට එවැනි ජලාශ්‍රිත හෝ කාලයක් මරණය සමග බැඳුනු ස්ථාන හරහා මාන නමැති සාදකය තරණය කිරීමට ලෙහෙසි කපොලු ඇති බවට තර්ක කල හැකිය..
    එහෙත්, මෙසේ වාර්තා වන සියලු සිදුවීම් අවතාර ගණයට නොවැටීමට ඉඩ ඇත.. ඒ පිලිබඳ පැවසෙන අපූරු සිද්ධාන්තයකින් මා මෙම සටහන අවසන් කිරීමට සිතුවෙමි.. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේදී පාසලක්, පාලු බස්/ දුම්රිය නැවතුමක්, යුද්ධ කාලයේ ජනාකීර්ණ ගුවන් තොටක් ආදී ස්ථාන අසලින් ගමන් කරන විට, ඩෙස් පුටු අදින ශබ්ද, ළමයින් කෑගසන ශබ්ද, බස් නවත්වන ශබ්ද, දුම්රිය නලා ශබ්ද, ගුවන් නැවියන්ගේ ශබ්ද වැනි දේවල් ඇසීම සිදු විය හැක. එසේ වන බව පරීක්ෂණ වලින් ඔප්පු කොට තිබේ... එහෙත්, මේ සියල්ල අවතාර නොවේ. වාතයට ශබ්ද ගබඩා කරගත හැකිය. රාත්‍රිය උදා වත්ම, එසේ දහවල් කාලයේ ගබඩා වූ ශබ්ද නොයෙක් අයුරින් නිදහස් වීම සිදු වේ.. එවැනි ශබ්ද ඇසුණු විට අවතාර යයි කියා බිය වන මිනිසුන්, එවිට මැවෙන චිත්ත රූපද යොදාගෙන සර්ව සම්පූර්ණ අවතාර කතාවක් නිර්මාණය කරති.... නමුත්, මේ විෂය කෙරෙහි ලොකු කුඩා සැමදෙන කුතුහලය මුසු බියකින් ඇද තබාගැනීමට එවැනි කතා මහත් සේවයක් ඉටු කරන බව නම් සැබෑය!!