Thursday, April 20, 2017

අතීතයේ මංසලකුණු සොයා.



ගිය දෙසැම්බර් මාසේ බලංගොඩ ගිහින් ආවට පස්සේ, ආය නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් තත්වෙටම පත් උනා. එකම එක දවසක් රත්මලාන රේල්වේ වර්ක්ෂොප් එක බලන්න ගියත්, ඒකත් පාසලෙන් ගිය රාජකාරිමය ගමනක ස්වභාවයක් තමා තිබුනේ. කොහොමින් කොහොම හරි, අප්‍රේල් නිවාඩුවටත් ආවා කියමුකෝ. ඇත්තෙන්ම කියනවා නම් මම හෙම්බත් වෙලා හිටියේ.
ඔන්න ඊයේ මගේ ජාතික ගමන් සඟයා, අශාන්ගෙන් මැසේජ් එකක් එනවා උදේ කඩුගන්නාවේ යමුද කියල. මමත් ආය මොනවද එක පයින් හා කිව්වා. යන කෝච්චියයි කරන දේවල් ටිකයි ප්ලෑන් කරන්න මැසේජ් 3යි දෙපැත්තට ගියේ. අන්න ඒ විදියට, තවත් “අපේ විදියට” ගිය ටුවර් එකකට චාන්ස් එක වැදුනා..
මහනුවර සහ බදුල්ල බලා ඇදෙන පොඩි මැණිකේ.
මේ පාර අපි ගියේ දුම්රිය සම්බන්ධ ගමනක් නෙවේ ඇත්තෙන්ම කිව්වොත්. මේ පාර අපි දුම්රිය වෙනුවට මහා මාර්ග ඉතිහාසය පැත්තට අවධානය යොමු කරන්න තීරණය කරා.
ඇත්තෙන්ම කිව්වොත් ලංකාවේ දුම්රිය මාර්ගයට වඩා දිග ඉතිහාසයක් මහාමාර්ග පද්ධතියට තියනවා. සුදු ජාතිකයින් මේ රට අල්ලගන්න කරපු ක්‍රියාන්විතයේදී, එක රාජ්‍යයක් අපරාජිතව හිටියා. ඒ තමයි උඩරට රාජධානිය. ඉංග්‍රීසි ජාතිකයින්ට තේරුම් ගිය එක දෙයක් තමයි, මේකට ප්‍රධාන හේතුව හරියකට යාගන්න පාරක් තොටක් (ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන්) නැති එක කියන එක.
කොහොමින් කොහොම හරි මහනුවර රාජධානියේ බිඳවැටීමෙන් පස්සේ, ඒ ප්‍රදේශ වැවිලි ආර්ථිකයේ ආධිපත්‍යයට නතු වෙනවා. උඩරට නොයිඳුල් වනාන්තර වල වැවිලි ආර්ථිකයේ අවතාර හොල්මන් කරන්න ගනිද්දී, වනාන්තර ක්‍රමයෙන් මැකී ගිහිං කෝපි වතු බවට පත් වෙනවා. වර්ෂ 1820 ගණන් වෙනකොට, උඩරට එකම වැවිලි කලාපයක් බවට පත් වෙනවා..
නමුත්..
නමුත් මේ වැවිලිකරුවන් එක දැවැන්ත ගැටලුවකට මුහුණ පානවා. ඒ තමයි, ඒ කාලේ තිබ්බ “අනර්ඝ” මාර්ග පද්ධතිය නිසා, කොළඹට නිෂ්පාදන යවන්න සති මාස ගණන් යන එක. ඔය කාලේ ලංකාවේ ආණ්ඩුකාර ධූරයට පත් වෙනවා සර් එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා. මෙතුමා ලංකාවේ මහාමාර්ග පද්ධතිය දැකලා වික්ෂිප්ත වෙනවා. වහාම ක්‍රියාත්මක වන පරිදි, පවතින කරත්ත පාර දිගේ හෝ වෙන ප්‍රවේශයකින් මහනුවරට හොඳ මහාමාර්ගයක් තැනීමේ නියෝග නිකුත් වෙනවා.
මෙතනට තව අතුරු කතාවක් තියනවා. ගොඩක් අය කියන කතාවක් තමා සුද්දා පාර හැදුවේ නැත්තම් නුවර මිනිස්සු අදටත් වනචාරියෝ කියන එක. ඇත්තෙන්ම ඒකෙ ඇත්තක් නෑ. සුද්දෝ පාර හදන්න කලිනුත් මහනුවර දක්වා කරත්ත පාරක් වගේම අවශේෂ මාර්ග තිබුනා. ඒ කාලේ රටේ තිබුණු තත්වයේ හැටියට, ආරක්ෂක ක්‍රියාමාර්ගයක් වශයෙන් එම මාර්ග අබලන් වෙන්න ඉඩ හැර තිබුනා පමණයි.
කොහොම වෙතත්, බාන්ස් ආණ්ඩුකාරතුමාගේ නියෝග පරිදි, පැවති කරත්ත මාර්ගයෙන් වෙනස් වන විදියට, අලුතෙන් මහනුවර දක්වා මහාමාර්ගයක් ගොඩ නැගෙනවා. කෑගල්ල- මාවනැල්ල- හිඟුල- හරහා කඩුගන්නාවටත්, එතැනින් පිළිමතලාව හරහා පේරාදෙණියටත්, මහවැලි ගඟෙන් උද්භිද උද්‍යානය අසලින් එතෙර වී මහනුවරත් වශයෙන් එය සැලසුම් වෙනවා. මෙහි ඉදිකිරීමේ සහ සැලසුම් කටයුතු භාරව ඉන්නේ කැප්ටන් ඩෝසන් කියල කෙනෙක්. 
දුම්රිය මාර්ගයට ප්‍රථම මහාමාර්ගය පමණක් පැවති අවධිය. (සේයාරුව ගූගල් ඇසුරෙනි)


          මේ මහාමාර්ගය ඉදිකිරීමේ කටයුතු, අති දුෂ්කර ප්‍රදේශ හරහා තමයි සිදු වෙන්නේ. විදුලි බලය, යන්ත්‍ර සූත්‍ර ආදිය නැති සමයක, මූලිකව මිනිස් ශ්‍රමයෙන්, ඒ වගේම උඩරට පැවති අධික තෙතබර කාලගුණයෙන් බැටකන මෙම කපිතාන්වරයා, මාර්ගයේ ඉදිකිරීම් කඩුගන්නාව ආසන්නයේ පවතින විට, අධික ලෙස රෝගාතුර වී මිය යනවා. සර්ප දෂ්ඨනයක් හේතු උනා කියලත් කියනවා..

         
1860 දශකයේ දුම්රිය මාර්ගය ඉදිවන අවධියේ කඩුගන්නාව.
(සේයාරුව- ලංකාපුර වෙබ් අඩවිය)

          ඒ නමුත්, මාර්ගය ඉදිකිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වී, 1830 වන විට, ඉහල තත්වයේ මහාමාර්ගයකින් කොළඹ සහ මහනුවර සම්බන්ධ වෙනවා. අදටත් ඔබ කොළඹ සිට මහනුවරට ගමන් කරන ප්‍රධාන මාර්ගය එයයි. එනම් A1 මාර්ගයයි. පසුකාලීනව පේරාදෙණිය පාලමෙහි වෙනසක් හැරෙන්නට මෙහි වෙනසක් නොවූ තරම්..
කැප්ටන් ඩෝසන් මහතා වෙනුවෙන් කෘතඥතාවය දැක්වීම පිණිස
1832 වසරේ මෙම කුළුණ පිහිටවූ බව දැක්වෙන සටහන.
          මහාමාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් කෘතඥතාවය පළකිරීමට, කැප්ටන් ඩෝසන් වෙනුවෙන්, ස්මාරකයක් කඩුගන්නාවේ ඉදි වෙනවා. මෙවර අප චාරිකාවේ අරමුණ වූයේ මෙම කුළුණ නැරඹීමයි. ඩෝසන් කුළුණ දැන් සංචාරක ආකර්ෂණයක්. කඩුගන්නාවේ කන්ද අවසන් වන තැන පිහිටා ඇති මෙය අසලම, පැරණි කඩුගන්නාව තානායම ද පිහිටා තිබෙනවා. 

කුළුණ උඩ..
          මෙම කුළුණ තුලින් ඉහලට නැගීම සඳහා, දැව කඳක් වටේට ඉදි වූ දැවමුවා පඩිපෙලක් තිබෙනවා. 
දැවමුවා පඩිපෙළ.. ඉහල සිට දැකිය හැකි අයුරු.
          ඇතුලත අඳුරු ස්වභාවයක් ගත් බැවින් අප ජංගම දුරකථන ආධාරයෙන් ඉහලට නැගුනා. අඩි 100ක් පමණ උස මෙම කුළුණ මුදුනේ, වේදිකාවක් වැනි නිරීක්ෂණ ස්ථානයක් තිබෙනවා. 


කඩුගන්නාව නගරය සහ දුම්රිය ස්ථානය.
          මෙහි සිට අලංකාර දර්ශනයක් නැරඹීමට හැකියි. මුළු කඩුගන්නාව නගරයත්, දෙපසකින් කන්ද තරණය කර කන්ද මුදුනෙහිදී එක් වන මහාමාර්ගය සහ දුම්රිය මාර්ගයත් මෙතනට මැනැවින් දර්ශනය වෙනවා.

මහාමාර්ගය සහ දුම්රිය මාර්ගය එක් වීම.
          එමෙන්ම, අප මෙහි සිටින අතරතුර, කඩුගන්නාව වෙත පැමිණෙන පොඩි මැණිකේ දුම්රිය සෙයාරූ ගත කිරීමටත් අපට හැකි උනා.  

කන්ද නැග කඩුගන්නාවට එන පොඩි මැණිකේ.

කුළුණ පාමුල..
         එතනින් ඉවත් වූ අප දෙදෙනා ඉන්පසුව ගියේ, මෙම මාර්ගයේ බොහෝ කතා බහට ලක්වූ තවත් ස්ථානයක් නැරඹීමටයි. ඒ නම්, ගල විදපු ස්ථානයටයි. මහා මාර්ගය ඉදිවෙමින් පවතිද්දී, කැණීම් සිදු කරන විට ඉතිරි වූ කුහරාකාර ගලක් කඩා නොදමා, එසේම තිබෙන්නට හැර තිබෙනවා.
ගල විදපු තැන..
        මෙය තුලින් පැරණි වාහන වලට යාමට හැකි වුවත්, වර්තමාන වාහන වලට යාමට උසත්, මෙයට ඇති වංගුව ගැනීමේ අපහසුවත් නිසා පසුව වෙනම මාර්ගයක් ඉදි වී තිබුනත්, අදටත් බොහෝ වාහන මෙය තුලින් ගමන් කරනවා. එහෙත් අද මෙය හරහා ගමන් කල හැක්කේ ඉහලට එන වාහන වලට පමණයි.

විස්තර පුවරුව..
          තවත් කිවයුතු දෙයක් තිබෙනවා. සංචාරක ආකර්ෂණයක් වුවත්, දැන් මෙය කසළ බැහැර කිරීමේ ස්තානයකටත් අධික ලෙස කුණු එකතුවීමේ නැඹුරුවක් පෙන්වනවා. ප්ලාස්ටික් බෝතල්, ආහාර දවටනයේ සිට සියලු ආකාරයේ කැලිකසල එහි තිබෙනු අප දුටුවා. මෙවැනි සුන්දර ස්ථාන වල සුන්දරත්වය මෙතෙක් රැඳී පැවතුනේ පිරිසිදුකම නිසාම බවත්, අප එය විනාශ කළහොත්, අනාගත පරපුරට මෙම සුන්දරත්වය අහිමි වන බවත් පමණක් මා මෙහි සටහන් කරනවා.  
          මෙම ගමනෙන් පසු, අසල තිබුණු කඩයකට ගොස් සුළු අහරක් ගෙන, අප තවත් කටයුත්තක් ඉටු කරගැනීමට අවස්තාවක් බැලුවා. ඒ, මෙතෙක් කල් කල පරිදි දුම්රිය මාර්ගයේ සිංහ කට අසල සිට මහාමාර්ගය නැරඹීම, අනෙක් පසට කිරීමයි.. අප එහි සිටිනා අතරවාරයේ, කොළඹ- මහනුවර නගරාන්තර ශීග්‍රඝාමී දුම්රිය සිංහ කට පසු කලේ, අපේ බලාපොරොත්තු ඉටු කරමින්..
සිංහ කට යටින් ඇදෙන යකඩ යකා..
          සංචාරයේ සියලු අරමුණු සිතුවාටත් වඩා සාර්ථක කරගත් අප, ආපසු ඒමට පිටත් උනා. තවත් වේලා තිබූ නිසා, දුම්රිය මාර්ගය දිගේ සිංහ මුඛය වෙතට ගොස් එහි මද වෙලාවක් ගත කලේ අපේ පැරණි මතකයන් ඇවිස්සීමට සහ පැරණි කයිවාරු කියවීමටයි.. එම අතීතාවර්ජනයෙන් පසු, නැවත කඩුගන්නාව වෙත යාමට පා එසවූයේ, නැවතත් මෙවැනිම සංචාරයක හැකි ඉක්මනින් යෙදීමේ බලාපොරොත්තුවෙන්..  
සිංහ කට.

Friday, April 14, 2017

මෙදා පාර අවුරුදු..



ආ කට්ටිය... කොහොමද..?
මාස තුනකින් වගේ මේ පළාතේ ආවේ. තවම කට්ටිය ඉන්නවද.. හා ඉස්සෙල්ලම එහෙනම් කට්ටියටම-
                                 


ජනවාරි වල අන්තිම පෝස්ට් එක දැම්මට පස්සේ මේ පළාතේ ආවේ නැත්තේ ඇයි කියල අහන්න එපා. සමහරු නම් පණිවිඩ එවල අහල තිබ්බ තාම පණ පිටින් ද කියලත්.
මේ අවුරුද්දේ ආපහු ඉස්කෝලේ කාලේ පරණ ටයිම් ටේබල් එකටම වැඩ කරන්න වෙච්ච එක තමා හේතු උනේ නිශ්ශබ්දතාවයට. අවුරුදු පහක් අයින් වෙලා ඉඳල ආපහු ඒ ටයිම් වලට වැඩ කරන්න හුරු වෙන එක ටිකක් අමාරුයි. සමහර වෙලාවට ඒ කාලේ නොකරපු විදියටත් වැඩ කරන්න උනා. මොකද දැන් යන්නේ උගන්නන්න නේ..
මාස තුනේ සෑහෙන දේවල් ටිකක් නම් උනා. ස්පෝට්ස්මීට් එක, එතකොට 100 වෙනි බිග් මැච් එක.. මේවට අවුරුදු ගානක් ගියේ ශිෂ්‍යයකු විදියට. දැන් ගුරුවරයෙක් විදියටත් යන්න ලැබුනා. ඒ කාලේ ඔය අපි ගිහින් නටපු පිස්සු වලට සර්ලා ටීචර්ස්ලා බැන්නම අපිත් හිත යටින් අමතනවා. හැබැයි දැන් තමා ඉතිං තේරෙන්නේ.
මහා ක්‍රිකට් තරඟය. මේක නම් වැස්ස නෑවා.
මේ පාර වැදගත්ම කියල මම දෙයක් කරේ මුල්ම වතාවට මගේම මහන්සියෙන් උපයාගත්ත සල්ලි වලින් අප්පච්චිට, අත්තම්මට අත්තට අවුරුද්දට තෑගී (වෙන දාන්න වචනයක් නෑ) ගන්න පුළුවන් වෙච්ච එක. මම දීපුවා ගන්නකොට ඒ කට්ටියගේ මූණේ තිබ්බ සන්තොසෙයි මට විස්තර කරන්න බැරි හැගීම් ටිකයි දැක්කම මුළු වාරෙම මහන්සිය නැති වෙලා ගියා.. අම්මපා.

          ආ තව දෙයක්. මේ පාර වාර විභාගෙට පේපර් එකක් හදල ඒක අමාරු වැඩි වෙලා (ලු). කට්ටියට ලකුණු තිබ්බ සූ ගාලා. හැබැයි ඉතිං පෙළ පොතෙන්ම තමයි හැදුවේ නම්. ලබන වාරේ මොකක් හරි කේස් එකක් යයි කියල නිකමට හිතෙනවා.  


පේපර් එක.
දෙවෙනි කොටස.

          ඊළඟ එක ඉතිං හැමදාම කියන එක. මේ පාර මම අහස් කූරු ටිකක් ගෙනාවා. ඊට වඩා හොඳයි කොස් ඇට කාලා *ඩ්ඩා නම්. ඇයි යකෝ.. උඩ යන්නෙත් නෑ. පුපුරනවා පත්තු කරපු ගමන්. එකත් පොහ් ගානවා. එච්චරයි. අර හූ කියන අහස් කූරක් ආසාවට ගන්න කියල බැලුවා. යකෝ 5ක් රුපියල්ම 300යි. නටහන් කියලා ආවා.
මෙදා පාර අවුරුදු පෝස්ට් එක මෙච්චරයි ඈ.. එහෙනම් හැමෝටම සුබ මෙව්වා එකක් කිව්වා ආයෙත්..  

Sunday, January 8, 2017

ඔහු සිය චාරිකාව අවසන් කළේය.....



2014 වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක, මා සහ මට ඉගැන්වූ ගුරුවරයකු මාතර කෝච්චියෙන් කොළඹ පොත් ප්‍රදර්ශනයට ගියෙමු. එහිදී, අප දෙදෙනාම නොයෙකුත් පොත් මිළට ගත් අතර, මාගේ දුම්රියට ඇති ඇල්ම දැන සිටි ඔහු, මා හට දුම්රිය ගැන ලියැවුණු පොතක් පෙන්වීය. ඒ, එච්. යූ. තිබ්බොටුමුනුවේ නම් අයෙකු විසින් රචනා කොට තිබූ, “Adventures in Steam- British Era…” නම් කෘතියකි.


මට නිධානයක් සේ වටිනා කෘතිය..



එදා ගෙදර ආ මම, මෙම කෘතිය ගැන කලින් අසා කියවා තිබුනත්, මෙය කියවීම මදක් කල් දැම්මෙමි. සති තුනකට පමණ පසු, රාත්‍රී ආහාරයට පෙර විදුලිය විසන්දි වූ අවස්තාවක, ඉටිපන්දම් එළියෙන් මෙම පොත කියවීමට ගත්තේ විදුලිය එනතුරු කිරීමට දෙයක් වශයෙනි..
නමුත්, මෙම පොත මා සිත කෙතරම් ඇදගත්තේ ද කිවහොත්, විදුලිය නැවත පැමිණි පසුද, පොත පසෙකින් තබා රාත්‍රී ආහාරය සඳහා ගියේ මෙහි පිටු සියල්ලම කියවා හමාර කිරීමෙන් පසුවය.
අනතුරුව, මා ලත් අත්දැකීම්, ඇසුදුටු කරුණු ආදිය නිසාත්,  මා විසින්ද ලිපි සම්පාදනය කල “Lanka Railway Digest” නම් සඟරාවට එහි කතුවරයා විසින් සපයා තිබුණු ලිපි නිසාත්, ඔහු හමු වී කතාකිරීමේ ආශාවක් ඇති විය. වරින් වර එක එක කරුණු නිසා කල් ගිය මෙම කටයුත්ත, 2015 වසරේ ඉටුකරගැනීමට, මා පොතේ දී තිබුණු අංකය අනුව ඔහු ඇමතුවෙමි.
Hello! Can I speak to Mr. Thibbotumunuwe please? “
-         “Yes, speaking, who is this?”
මා හඳුන්වාදීමෙන් සහ හමුවීමට දිනයක් යොදාගැනීමෙන් ඒ කෙටි සංවාදය අවසන් විය. දවස් තුනකට පසු, මහනුවරින් මරදානටත්, මරදානෙන් කොට්ටාවටත් දුම්රියෙන් ගොස්, එතනින් කියූ මංසලකුණු අනුව නිවස සොයාගෙන මත්තේගොඩ ප්‍රදේශයට ගියේ ගැහෙන හදින්ය.
එදින මද වර්ෂාවක් විය. බස් නැවතුම අසල කඩයකට වී සිටි වයස්ගත පුද්ගලයකු, මා බැස වටපිට බලනු දැක ලඟට විත්, සුභාෂ් දැයි විමසා සිටියේය. හඳුනාගැනීමෙන් අනතුරුව, පයින් යන දුරින් පිහිටි ඔහුගේ නිවස වෙත අප ඇවිද ගියෙමු. වයස අවුරුදු 94ක් පිරී සිටි ඔහුගේ කාය ශක්තිය සහ නිරෝගීභාවය මා විශ්මයට පත් කිරීමට සමත් විය. ඔහු අඩුම ගනනේ හරමිටියකදු භාවිතා කලේ නැත!
නිවසට පැමිණ ආසනයක් පැනවූ ඔහු, ආ කාරණය විමසීය. මා ඇසූ ප්‍රශ්න වලට පැහැදිලිව පිළිතුරු සැපයූ ඔහු, අමතර කරුණු සහ මතක සටහන් ගෙනහැර දැක්වීය. ආ වැඩේ ඉවර නම් යන්න යයි නොකී ඔහු,
You must be thirsty than me” යයි කියා මා හට සිසිල් බීම එකක් පිළිගැන්වීමට තරම් කාරුණික විය. ඒ අප පළමුවෙන් හමු වූ දිනය විය.. 
 
දෙවැනි වතාවට හමු වීම..
පසුව, මා ඔහුගෙන් එදා අසාගත් දෑ සහ තවත් මා මතකයේ තිබුණු දෑ ගොනු කොට, උසස්පෙළ සහ නොයෙක් සටහන් ඉක්මනින් ලිවීමට හුරු වී විනාශ වුනු මගේ අත් අකුරින් ලියා, තරමක් දිග ලිපියක් යැව්වෙමි. මේ, එයට ඔහු එවූ පිළිතුරයි.. 

අත් අකුරු පැහැදිලි කරගන්නා ලෙස උපදෙස් දෙමින් ලියු ලිපිය..

මීට පසුව දුරකතනයෙන් ද, කිහිප වරක් ලිපි මගින් ද මාගේ ප්‍රශ්න වලට කාරුණිකව පිළිතුරු දීමට තරම් ඔහු නිහතමානී විය. තමාට දැන් වයස යයිද, කැමති දෙයක් ඔහු වෙත පැමිණ අසාගෙන යන ලෙසද කිසි දා මට නොකීවේය. තරමක් දීර්ඝව පැහැදිලි කල යුතු දෙයක් පමණක්, නැවත ආ දිනයක අසන ලෙස කීවේය. ඒ4 කොළ දෙක තුනක් පුරාවට මා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලියා එවීමට තරම් කාරුණික වූයේ, මා දුම්රිය දෙපාර්තමේන්තුව සමග කිසි සම්බන්ධයක් නැති කෙනෙක් බව නොසලකාය. 
 
වාෂ්ප එන්ජින් ගැන මගේ ආසාව දැනගත් ඔහු සකස් කොට එවූ ලිපි.
වර්ෂ 1942 ලෝක යුද්ධ සමයේ දුම්රිය දෙපාර්තමේන්තුවට විශේෂ ආධුනික රියදුරු  (Special Apprentice Driver)  කෙනෙකු ලෙස බැඳී, අවුරුදු පහක පුහුණුව නිම කර 1947 වසරේ වාෂ්ප එන්ජින් රියදුරකු වශයෙන් සේවයට එක් වූ ඔහු සතුව, ඉතාමත් වටිනා, දුම්රිය ලෝලී අපහට සහ ඉතිහාසයට ලැදි සැමට, ධන නිධානයක් මෙන් වටිනා අත්දැකීම් රාශියක් විය.
ගල් අඟුරු වෙනුවට ලෝක යුද්ධ සමයේ දර යොදා වාෂ්ප එන්ජින් ධාවනය කිරීම, ගැරට් එන්ජින් වලට ගල් අඟුරු වෙනුවට දැවී තෙල් භාවිතය, 1971 කැරලි සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් විශේෂ දුම්රිය ධාවනය, ඒ මෙන්ම සහල් ප්‍රවාහනය තහනම් වූ අවධියේ දුම්රිය රියදුරන් සහල් ප්‍රවාහනය ආදී නැවත කිසි දා නොලැබෙන අත්දැකීම් මෙන්ම, දිස්ත්‍රික් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලද පසු, පැවැත්වූ පරීක්ෂණ, ඒවායින් හැකි සැම විටම රියදුරන් සහ අනෙකුත් දුම්රිය සේවකයින් නිවරදිකරුවන් වන අයුරින් වාර්තා සකස් කල හැටි, කඩුගන්නාවේ දුම්රිය එන්ජිමක් තැපැල් දුම්රිය පසුපස ධාවනය වූ සිදුවීමෙන් පසු, අදටත් භාවිතයේ පවතින  “Scotch Block” නම් උපකරණය දුම්රියට හඳුන්වාදීම ආදී බොහෝ වටිනා අත්දැකීම් ඔහු සතුවිය. ඒ මෙන්ම, ඒවා නිර්ලෝභීව ඔහු අපට බෙදා දුන්නේය. 

දෙවෙනි පොත..
පසුගිය වසරේ, දෙසැම්බර් මස 16 වනදා, මා තවත් මිතුරකු සමග ඔහු හමුවන්නට ගියේ, වෙනදා මෙන් මගේ අවශ්‍යතාවයකටම නොව, පැමිණෙන ලෙස ඔහු විසින්ම කරන ලද ආරාධනයකට අනුවය. අප යන විට මදක් රෝගී තත්වයක පසු වුවද, පෙර මෙන්ම විවිධ කරුණු කියමින් අප සමග පැය තුනකට ආසන්න කාලයක් පිළිසඳරේ යෙදුනි.
“ මට හම්බුන උගන්නපු ඒ මහත්තය හරි හොඳයි. ගොඩ්ෆ්‍රී කිංග්ස්ටන් කියල නම. මාව රෝස්ටර් කරනකොට බුකින් ක්ලාක් කිව්වෙත් හරි අමාරුයි වැඩ කරන්න, පුලුවන්ද කියල. මම හා කමක් නෑ කියල භාරගත්ත. පලවෙනි අපිට වැඩ කරන්න තිබ්බේ තලෙයිමන්නාරම කෝච්චිය. මම කලින් ගිහිං ටූල් බොක්ස් එක එහෙම හොඳට සුද්ද කරලා, ආවුද හොඳට දිලිසෙන්න සුද්ද කරලා තිබ්බ. එන්ජිමත් කට්ටිය එක්ක හොඳට සුද්ද කරා.
මිනිහ ඇවිත් බැලුව, මොකද්ද නම ඇහුව, එච්චරයි. ඊට පස්සේ කිසි කතාවක් නෑ එලවාගෙන යනවා. මම අඟුරු දානවා.. ගිහිං අනුරාධපුරෙන් බැස්ස. බැහැල යනකොට කිව්වා I will be waiting for you in the Booking Office කියල. ඔන්න ඔච්චරයි. බුක් ඔෆ් කරලා ඉවර වෙලා යනකොට තමා කතා කරේ....”
මෙලෙස සංවාදයේ යෙදී, ළඟදී ඔහු විසින් ලියු පොත ගැනද සඳහන් කොට, ඒ සඳහා සේයාරුවක් රැගෙන දිය හැකි දැයි විමසීය. එයට අප එකඟ වූ පසු, ඒ ගැන විස්තර කතා කොට, ඔහුට සුභ පතා, අප ඔහුගෙන් සමුගත්තෙමු. ඒ, නැවත හමුවන පොරොන්දුව පිටය.. එහෙත්..
එම පොරොන්දුව කිසිදා ඉටු නොවන පොරොන්දුවක් වන්නට දෛවය තීන්දු කොට තිබුණි.
එම සෙනසුරාදා දිනම ඔහුට උවමනා සේයාරුව ගැනීම පිණිස පිටත් වීමු. එය හමාර කොට, ගෙදර පැමිණි මා හට රත්නපුරය බලා පිටත් වීමට සිදු විය. එහිදී මා ඔහු අමතා, මා බලංගොඩ බලා පිටත් වන බවත්, සේයාරුව ලබාගත් බවත් දැන්වීමි. ඒ, මා ඔහු ඇමතු අවසාන වතාව විය.
ජනවාරි පළමුවන දා, දිවා ආහාරයෙන් පසුව අලුත් අවුරුද්දට සුභ පැතීමට ගත් ඇමතුමට ප්‍රතිචාරයක් නොවීය. ගෙදර දුරකතනයද විසන්දි වී තිබුණි. අනතුරුව පාසල් පටන්ගත් බැවින්, එම කටයුතු වල නියැළී, අද දින උදයේ, ෆේස්බුක් අඩවිය වෙත පිවිසුණු විට දුටු දෙයින් මා හදවත මොහොතකට නතර විය.
ඒ, ඔහුගේ අවමංගල උත්සවය වෙනුවෙන් පවුලේ සාමාජිකයින් විසින් පල කෙරුණු පුවත්පත් දැන්වීමේ ජායාරූපයකි.. 2016 අවුරුද්ද, මෙරට සිටි ප්‍රබුද්ධ, වැඩ දායක, වටිනා පුද්ගලයින් බොහෝ දෙනෙක් බිලිබාගත්තේය. එයින් අවසාන වශයෙන්, අවුරුද්ද අවසන් වන්නට හොරා කිහිපයක් තිබියදී, මෙම වටිනා සොඳුරු මිනිසාද මෙලොවට ආයුබෝවන් කියා තිබුණි.. 
 
පුවත්පත් දන්වීම..
මා හට කල හැක්කක් නොවීය. නිවසට ඇමතුමක් ගෙන මාගේ කනගාටුව ප්‍රකාශ කලෙමි. සවස ඔහු ලියූ පළමු කෘතිය නැවත අතට ගත්තේ කියැවීමට වඩා, ඔහුගේ මතකයන් ආවර්ජනය කිරීමටය. එහි පිටු පෙරලන සෑම අවස්ථාවකම, එම පිටු අතරේ සිට, ඔහු එම කතාව ඔහුගේ හඬින් මා හට පවසනු ඇසේ.. ඔහු නික්ම ගොස් ඇත. ජීවිත කෝච්චියේ සැතපුම් 96ක් ගෙවා, දුම්රිය නතර වී ඇත.. එන්ජිමේ ගින්දර නිවී ඇත.. ඔහුම පැවසූ පරිදි, ඔහු වර්ෂ 25ක් ගින්දර රස්නය වින්දේය. වාෂ්ප එන්ජින් වල දුම් බිව්වේය. ගැරට් එන්ජින් වල තෙල් මිශ්‍ර දුම ද, ඩීසල් දුමද ඇති තරම් වින්දේය.. නැවත සංසාරයේ ගින්දර නොවිඳ, නිර්වාණයේ සුවය අත් වේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි....!