Saturday, December 16, 2017

වෙල්ඩින්..



පහුගිය නිවාඩු කාලේ ලිව්වට පස්සේ ආය පැත්ත පළාතක එන්න බැරි උනා. හේතු දෙකක් නිසා. එකක් ඔක්තෝබර් වෙනකල් එක දිගට එක්සෑම් පෝලිමක් සෙට් උන එක. ඊට පස්සේ ලැප් එකේ කීබෝඩ් වැඩ නැතුව ගියා. ඒක හම්බුනේ සති දෙකකට කලින්. එතකොට ඉස්කෝලේ ටර්ම් එක්සෑම්. ඔය මගුල් ඔක්කොම ඉවරල ඔන්න ආපහු නිවාඩුවක් හම්බුනා. 


මෙතන තමා ඔක්කොම වැඩකිඩ වෙන්නේ..

මේ ලඟදි අපේ ගෙවල් ගාව රේල්වේ එකෙන් දැම්මා පීලි වෙල්ඩින් කරන වැඩපොළක්. මේක මීට අවුරුදු 10කට කලිනුත් ඔතනම දාල තිබ්බ. හැබැයි ඒ කාලේ කලේ තර්මයිට් වෙල්ඩින්. මේ පාර ගෑස් ප්‍රෙෂර් වෙල්ඩින්. නිවාඩුව පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ සෙට් එකක් අරගෙන ඉන්ඩස්ට්‍රියල් විසිට් එකක් යන්න හම්බුනා. එතැනදී සුදු යකඩ වලට වෙනම වෙල්ඩින් ක්‍රමයක් දැක්කා. ඒ එක්ක හිතුනා මේ ගෑස් ප්‍රෙෂර් වෙල්ඩින් එක ගැන ලියන්න.

ගෑස් ප්‍රෙෂර් වෙල්ඩින්

නිවාඩුත් ලැබිච්ච එකේ, ගෙදරට වෙලා හිටි නිසා ඔන්න උදේට කාලා එහෙම ගියා වැඩපොළ පැත්තේ. එතන හිටපු කෙනෙක්ට කිට්ටු කරලා ඇහුව විස්තර ටිකක්. ඒ කියල දීපු දේවල් තමා මම මේ දාන්නේ.

මුලින්ම, මේ වෙල්ඩින් කරන්නේ සාමාන්‍යය කම්බි බට එහෙම නෙවෙයි. යාරෙට රාත්තල් 90ක් දරන්න පුළුවන් රේල් පීලි. මේවා එකක් අඩි 45ක් දිගයි. මේ වගේ පීලි 5ක් එකට වෙල්ඩ් කරනවා. ඇයි පහෙන් නවත්තන්නේ? එකක් ප්‍රවාහනයේ පහසුවට. අනික දාන තැන් වල තියන වංගු වලදී එහෙම පහසුවට.

පීලි ප්‍රවාහනය.

ලංකාවේ මේ පීලි පාස්සන ක්‍රම කිහිපයක් පාවිච්චි වෙනවා. එකක් තමා කලින් කියපු තර්මයිට් වෙල්ඩින්. මේක ඉන්දියන් ක්‍රමයක්. මේක තමා ඉස්සර මෙතන කලේ. තව එකක් තමා සාමාන්‍යය පාස්සන විදියට පෑස්සීම. ඒ කිව්වේ ආක් වෙල්ඩින්. අනික් ක්‍රමය තමා ගෑස් ප්‍රෙෂර් වෙල්ඩින් එක. මේක ඇවිල්ලා ජපන් ක්‍රමයක්. පියවරෙන් පියවර මෙහෙමයි කතාව-

ලෙවල් කරගැනීම.

පළවෙනියටම, පාස්සන්න ඕනේ පීලි දෙකේ පෑස්සුම් පෘෂ්ඨ දෙක සුද්ද කරලා, ග්‍රයින්ඩර් එකකින් ගාලා එක මට්ටමට හදාගෙන, එකකට එකක් හේත්තු වෙන්න ලං කරනවා. ඊට පස්සේ ද්‍රවශක්තියෙන් (Hydraulic pressure) ක්‍රියාත්මක වෙන පීඩක යන්ත්‍රයකින් වර්ග සෙන්ටිමීටරයට කිලෝග්‍රෑම් 200ක පීඩනයකින් මේ පීලි දෙක තෙරපනවා.

මේ තියන්නේ අර ප්‍රෙෂර් කරන එකට ගිනි විසි වෙනවට දාන ආරක්ශකයක්. මේවා 4ක් තියනවා.

ඔය පීඩනය පවත්වාගන්න ගමන්ම, ඔක්සි-ඇසිටලීන් දාහකයකින් ඒ ස්ථානය රත් කරනවා. මේකේ අනුපාතය වෙන්නේ ඔක්සිජන් සීයට 80 සහ ඇසිටලීන් සීයට 20ක්. මේකට අපි කියනවා ඔක්සිකාරක දැල්ල (Oxidizing flame) කියල. ඔය තාපය නිසා, පීලි දෙක රත් වෙනවා සෙල්සියස් අංශක 1200ක් වගේ උෂ්ණත්වයකට.
දාහකය දැල්වීම.
දැන්, මේක ආසන්න දියර තත්වයේ තියන්නේ. ඒ වගේම, දෙපැත්තෙන් ලොකු පීඩනයක් යොදලා. මෙගා පැස්කල් 50ක පීඩනයක්. මෙන්න මේ පීඩනය නිසා, අර පීලි දෙක එකිනෙකා තල්ලු කරගෙන එකට වැදිලා තෙරපෙනවා. දෙපැත්තෙන් කොටස් දෙකක් එලියට යනවා. මේක හරියට අපි මැටි හරි ක්ලේ හරි ගුලි දෙකක් හදලා, ඒ දෙක අත් දෙකට අරගෙන එකක් අනිකට තියල තෙරපනවා වගේ වැඩක්.
මේ වැඩේ සම්පූර්ණ වෙන්න විනාඩි 7ක් වගේ යනවා. මේ ඒ කාලේ ඉවර උනාම පියවරෙන් පියවර ගලවන්න සූදානම් වෙන ගමන්.,
ඔහොම මේ පීලි දෙක එකක් අනිකට සෙන්ටිමීටර් දෙක හමාරක් තරම් දුරක් යනකල් තෙරපීම සහ රත් කිරීම සිදු කරනවා. ඒ දුර යනකල් අර කලින් කියපු ද්‍රවශක්ති තෙරපුම් යන්ත්‍රයෙන් පීඩනය අඛණ්ඩව තියාගන්නවා. ඒ දුර ගියාම, ඉස්සෙල්ලාම ඇසිටලීන් සහ ඊළඟට ඔක්සිජන් යන පිලිවෙලින් කරාම වහලා, දාහකය අයින් කරනවා..
ඔතනින් ඔය දුම යනවා පෙන්නේ දාහකය සිසිල් කරන්න දාපු වතුර වාෂ්ප වෙනවා.
ඊටත් පස්සෙ, පෑස්සුම හරියට උනාද, මට්ටම හරියට තියනවද, නියමිත විදියට පෑස්සීම වෙලා තියනවද කියල පරීක්ෂා කරලා බලලා, තෙරපුම් යන්ත්‍රය ඉවත් කරනවා.
මේ තමා පරීක්ෂා කිරීම. හරි ගානට තියනවද කියන එක තමා මේ අච්චුව තියල බලන්නේ.
ඊළඟට, ආපහු 19 වන සියවසේ තාක්ෂනය පාවිච්චි කරලා, ඒ පීල්ල එතනින් ඉවත් කරනවා. ඒ කියන්නේ, රෝලර් උඩ තියලා, අතින් පීල්ල ඉවතට තල්ලු කරනවා, පීල්ලේ කෙලවර පාස්සන තැනට එනකල්.
ඔය බෝට්ටුව වගේ තියන කෑල්ලෙන් තමා පීල්ල ගානට රෝලර් එකට සෙට් වෙන්නේ.

        ඊට පස්සේ ආපහු ඔය කතන්දරේ මුල ඉඳන් පටන්ගන්නවා.
ඔන්න පාස්සලා ඉවරයි..
දැන්, මෙතන එක දෙයක් වෙල්ඩින් ගැන අහල තියන අයට පෙනෙයි. මේකා ඔක්කොම ගැන කියල තියනවා වෙල්ඩින් කූරු ගැන කියල නෑ නේ කියල. ඔව්. මොකද, මේ ක්‍රමයේදී වෙල්ඩින් කූරු භාවිතයක් නැහැ! මේකෙදි මවු ලෝහයම තමා උණුවෙලා පෑස්සෙන්නේ.
මේ තියන්නේ ද්‍රව පීඩනය පවත්වාගන්න උපකරණය සහ පීඩක යන්ත්‍රය. දකුණේ තියන්නේ ඔක්සිජන් සහ ඇසිටලීන් සිලින්ඩර.
ඔය පාස්සන කතන්දරේ ඉවර කරලා, මූට්ටුව සම්පූර්ණයෙන් නිවෙන්න කලින්, ග්‍රයින්ඩර් දෙකකින් හොඳට ගාලා, මූට්ටුව සුමට කරනවා. ඊට පස්සේ ඉතිං දාලා තියනවා කවදා හෝ ඇවිත් අරගෙන යනකල්. කවදා හෝ කිව්වේ, 2007 පාස්සපු පීලිත් තාම මේ පැත්තේ තැන තැන තියනවා පාර මැද දාලා. ඒකයි.
ග්‍රයින්ඩර් කර අවසන් කිරීම.
මේ ක්‍රමයේ වාසි අවාසි ගැන කියනවා නම්, උවමනා දේවල් බොහොම පොඩ්ඩයි. ඔක්සි ඇසිටලීන් වායුව හදාගන්න ගෑස්, පීඩක යන්ත්‍රය, ඔය ටිකට බලය සපයන්න විදුලි ජනකය. ඔන්න ඔච්චරයි. හැබැයි මේක ටිකක් වියදම් අධිකයි. ඒ වගේම, මේ ක්‍රමයෙන් තහඩු වගේ දේවල් පාස්සන්න බෑ. හැබැයි, මේ ක්‍රමයේදී, අර තර්මයිට් වෙල්ඩින් වගේ කූරු කෑලි එහෙම ඉතුරු වෙන්නේ නෑ. ලස්සන නිමාවක් සහිත පීල්ලක් ලැබෙනවා. තර්මයිට් වෙල්ඩින් කරපු පීල්ලක කෝච්චියක් යද්දී දැනෙනවා. මේකේ නම් පීල්ල ඒකාකාරී විදියට තියනවා.
මම කිව්වේ අර සෙන්ටිමීටර් දෙක හමාරක් තෙරපනවා කියල.. මේ ඒ දෙපැත්තෙන් එලියට එන කොටස් ටික.
නිවාඩුවේ තව ට්‍රිප් එකක් දෙකක් යන්න හිතන් ඉන්නවා. ඒ වගේම තව ලියන්න දේවල් එකතු වෙලත් තියනවා. ඉඩ ලැබෙන හැටියට දාන්නම්. 
විශේෂ ස්තුතිය- ගෙලිඔය දුම්රිය පීලි වෙල්ඩින් වැඩපොළේ සේවයේ නියුතු ශිල්පීන්ට.

23 comments:

  1. හුඟක් හොඳ පැහැදිලි කිරීමක් ... ස්තූතියි

    ReplyDelete
    Replies
    1. වෙල්කම් වේවා! දෙයක් ගත්තා නම් ඒ ගැන සතුටුයි!

      Delete
  2. හොඳ විස්තරයක්. පින්තූර ටික තව ලඟින් ගත්තනම් තව මීට වඩා පැහැදිලියි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ලඟින් ටිකක් ගත්තා. ඒව එච්චර පැහැදිලි නැහැ. ඒකයි දැම්මේ නැත්තේ.

      Delete
  3. Replies
    1. අම්මෝ දැකපු කල්! ඔව්. මම ගෙලිඔයේ.

      Delete
  4. අගේ ඇති විස්තරයක්. පින්තූර හින්ද හොඳින් පැහැදිලි වෙනව.

    ReplyDelete
  5. හොඳ තාක්ෂණික දැනුම සපයන ලිපියක්. මේ විදියට අලුතින් හදන්නේ පීලි පැනීම අවම කරගන්න වෙන්න ඇති නේද ?
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. පීලි පැනීම අවම කරන්න වගේම, පීලි වෙන වෙනම සම්බන්ධ කරද්දී ඕනේ වෙන ෆිෂ් ප්ලේට්, ඇණ එහෙමත් ඕනේ නැති වෙනවා නේ. අනික මේ පීලි උඩින් කෝච්චිය යනකොට ගැස්සෙනවා අඩුයි. සද්දෙත් අඩුයි.

      Delete
  6. සුපිරි මචං! දැනගෙන හිටියේ නෑ මේ ගැන

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වේවා! යමක් කියල දෙන්න ලැබීම ගැන සතුටුයි!

      Delete
  7. වටිනා පැහැදිලි කිරීමක් මචං...

    ReplyDelete
  8. තැන්ක්ස් වේවා වැටට!

    ReplyDelete
  9. හම්මේ මෙයා දන්නා දේවල්. බොහොම වටිනවා.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි..
      ස්තුතියි!

      Delete
  10. දෙහිවල ස්ටේසම ලඟත් පොඩි වෙල්ඩින් වැඩපොළක් තියෙනවා. කෝච්චියේ යනකොට නිතරම දකිනවා. රේල්පීලි පාස්සන ක්‍රමය ගැන විස්තර කරලා තියෙන නිසා මේ ලිපිය ගොඩක් වටිනවා. පිංතුර තියෙන නිසා වඩා හොඳින් පැහැදිලි වෙනවා. බොහොම ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. දෙහිවල කරන්නෙත් මේ ක්‍රමය මද? පුලුවන්නම් ඒ ගැන ලියන්න.

      Delete
    2. ඔවු. දෙහිවල පාවිච්චි කරන්නෙත් ගෑස් ප්‍රෙෂර් වෙල්ඩින් ක්‍රමයම තමයි. කෝච්චියේ යද්දී වෙල්ඩින් කරන හයිඩ්රොලික් උපකරණයත් ඔක්සිජන්, ඇසිටලින් සිලින්ඩර් ටිකත් පේන්න තියෙනවා. සාමාන්‍යයෙන් මම සති අන්තයේ උදේ හවස එතනින් යන නිසා වෙල්ඩින් කරන හැටි නම් දකින්නේ නෑ. දවසක් දවල් කෝච්චියක යද්දී ට්‍රැක් මෝටර් කාර් එකට (අර පීලි ප්‍රවාහනය කියන පින්තූරේ තියෙන්නේ) සම්බන්ධ කරපු ට්‍රොලි වලට වෙල්ඩින් කරපු රේල්පීලි පටවනවා දැකලා තියෙනවා. රේල් පීල්ල කිහිප තැනකින් චේන් වලින් ගැටගහලා බොලොක්ක පාවිච්චි කරලා තමයි ඒවා පටවන්නේ. මං අහලා තියෙන විදිහට රේල් පාරවල් වල වැඩ කරන අය රේල් පීල්ලට කියන්නේ 'කම්බිය' කියලා. ඔය වෙල්ඩින් කරලා හදන පීල්ලට කියන්නේ 'පැනල් එක' කියලා.

      Delete
    3. රේල් පීලි මෙහෙ නම් පටවන ක්‍රමය ටිකක් වෙනස්. මෙහෙ කරන්නෙ රේල් පාරට අරං පාර දිගේ ඇදගෙන යන එක.

      Delete
  11. තාක්ෂනය හොඳයි.. ආරක්ෂාව ගැන නම් සැළකිලිමත් වෙනවා මදි වගේ.. නොදැනුවත්කම නිසා වෙන්න ඇති.. ලෝහ පෑස්සීමේදී පිටවෙන බැර ලෝහ අඩංගු fume එකෙන් ස්වසන පද්ධතිය ආරක්ෂා කරගැනීමත් අධික උෂ්ණත්වය සමඟ පිටවන අධෝරක්ත කිරණ වලින් ඇස් ආරක්ෂා කර ගැනීමත් ඉතා වැදගත්. නැත්නම් මේ 'ශිල්පින්' ටික කාලයකින් වැඩකට නැති 'රෝගීන්' වෙනවා.. :/ පුලුවන්නම් ඔවුන්ව දැනුවත් කරන්න උත්සහ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඒක නම් සහතික ඇත්ත. කොහොමත් ලංකාවේ තාම කාර්මික ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා ඉතාම අඩුයි. විශේෂයෙන් විදුලි වැඩ වලදී.

      Delete