Sunday, April 12, 2020

නිවාස අඩස්සියේ සිට ලියමි...


          මාසයක් විතර ගෙදර කෙලින්ම. කෙලින්ම කියන්නේ ඉතිං වෙනදා නම් මේ වගේ නිවාඩුවක් හම්බුනහම එක දවසක් හරි අඩුම ගානේ නුවර හරි ගිහිං එන්න යනවා. ඒත් මෙදා සැරේ ගෙදරටම ගාල් කරා.. අර ඒ ලෙවල් ඉවරල හිටපු ගන්ධබ්බ කාලේ වත් මෙහෙම ගෙදර හිටියේ නෑ.
          වෙනදා නම් අවුරුදු පෝස්ට් එක ලියන්නේ අවුරුදු උත්සවේ එහෙම ඉවරලා, ඉස්කෝලේ වැඩ එහෙමත් ඉවරලා, හැමදාම යන ෂොපින් රවුම එහෙම ඉවරල සමහරවිට තව ට්‍රිප් එකක් දෙකක් එහෙමත් ඉවර කරලා, නැන්දලා මාමලා එහෙමත් ඇවිත් ගියා ට පස්සේ, බොහෝ විට නොනැගතේ වෙලාවේ.
          මේ අවුරුද්දේ ඒ කියපුවයින් එකක් වත් කරගන්න උනේ නෑ. ඇයි, මාර්තු 12 වෙනිදා හෙන ගැහුවා වගේ කිව්වා නේ ඉස්කෝලේ නිවාඩු කියල. 13 වෙනිදා නුවර ගිහිං අත්‍යවශ්‍ය කටයුතු ටිකක් තිබ්බා කරගෙන ආවත් ආවා, තාම ඒ ආපු පාර ම ගෙදර. එයිට කලින් ඉරිදා දහම් පාසලේ අවුරුදු උත්සවය තියන්න ප්ලෑන් කළා 5 වෙනිදා. ගිය අවුරුද්දෙත් නැති වෙච්ච නිසා මේ අවුරුද්දේ වත් පුළුවන් වෙයි කියල හිතං හිටියා. ගිය පාර නානා කෙලියා මේ පාර චීනා කෙලියා.
ගෙදරට කොටු වෙන්න කලින් අවසන් දුම්රිය ගමන- අංක 142..
          ඉස්කෝලේ වාරේ ගත්තත් ඉතිං පලවෙනි වාරේ යන අධ්‍යාපන චාරිකා වලට මේ වාරේ මට සම්බන්ධ වෙන්න ලැබුනේ නැහැ. මොකද මේ අවුරුද්දේ මම පන්ති භාර ගුරුවරයෙක් නොවෙන නිසා. ඒක එක අතකට හිතට නිදහසක් උනාට, යන්න තිබ්බ ට්‍රිප් එකක් මිස් උනා..
          මිස් උනයි කිව්වට මිස් උනේමත් නෑ, මොකද විදුහල්පතිතුමා ඇතුළු පරිපාලනය 10 වසරේ ළමයි ටිකක් අරගෙන ගවේෂණාත්මක සංචාරයක් යන්න සූදානම් කරලා තිබ්බා. ඒ කමිටුවට මගේ නමත් ඇතුලත් වෙලා, අපි මූලික කටයුතු සංවිධානය කරද්දී තමා මේ වෛරස් එක ඇවිත් වැඩේ අනුභව කලේ.
          ඒ අතරම, වාර්ෂික ක්‍රීඩා තරඟය එහෙම සුපුරුදු පරිදි තිබ්බා. ඒකෙන් මේ පාර ගුරු මහත්වරුන්ට සහය දිවීමේ තරඟයක් තිබුනා. අපේ නිවාසයේ කණ්ඩායම පළවෙනි තැනට ආවා. ඒ තමා මම පාසලට ගුරුවරයෙක් හැටියට සේවයට එකතු වෙද්දී ඉඳපු විදුහල්පති “ඇන්ඩෘ ෆව්ලර්- වොට්” මහතාගේ අවසාන සේවා දිනය.
හිටපු විදුහල්පතිතුමා අතින් ධාවන තරඟයේ ත්‍යාගය..
          පාසැල් නිවාඩු ලැබෙන්න කලින්, සාමාන්‍යය පෙළ විභාගයට යාන්ත්‍රික තාක්ෂණවේදය හදාරණ සිසුන් එක්ක රත්මලාන දුම්රිය කර්මාන්තශාලාව බලාගන්න යන්න හම්බුනා. මට පේන හැටියට මේ අවුරුද්දේ කරන්න වෙන එක ම විසිට් එක ඔච්චරයි අපිට. මොකද පාසැල් වාරයේ වැඩ සති තුනක් විතර ම අතපසු වෙච්ච නිසා, ඒ ටික අල්ලගන්න එක දිගට අදින්න වේවි ඉස්සරහ වාරේ අමතර වැඩ නැතුව. මැයි 11 වෙනිදා පාසැල් පටන්ගන්නවා කියල රජය මේ සටහන ලියවෙද්දී තීරණයක් අරගෙන තියනවා.
පිරිත් කොටුව..
          අන්තිමට ඉතිං වාරේ ගැන කියද්දී කියන්න තියන්නේ ඉස්කෝලේ පිරිත ගැන තමා. ඒකත් කොහොමින් කොහොමින් හරි කරගත්තා සාර්ථකව. මේ පාර මගේ නම් ලොකු දායකත්වයක් තිබ්බේ නැහැ, එක එක හේතු නිසා. එත් දානෙත් ඉවර වෙනකල් ම ඉඳලා එන්න හැකි උනා. ඉස්කෝලේ කාලේ ඉඳන් මගේ මිත්‍රයෙක් වෙන කාංචන ගේ මල්ලි 2014 පිරිත වෙලාවේ සෙට් උනා පොර ඉස්කෝලේ ඉද්දි. මේ පාර ආපහු මනුස්සයා ඇවිත්, දානේටත් ඉඳලා, අන්තිමේ මාත් එක්ක ස්ටේෂන් එකට ම ආවා. ඒ මේ දේවල් එක්ක ඉතිං අපූරු මතකාවර්ජනයක් උනා ඒ පිරිත.

ගෝල බාලයෝ ටික..
(සේයාරූ අනුග්‍රහය- ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය)


අතුරුපාන මල්ලි එක්ක සෙල්ෆියක් ගැහුවා.. මේකා ආය කවද දකින්න වෙයි ද දන්නේ නෑ නේ..
          වෙනදා නම් නිවාඩුව ඉවර කරලා ගෙදර එන්නේ අවුරුද්දට ඇඳුම් එහෙමත් අරගෙන. ඒක 2010 ඉඳන් මම කරගෙන ආපු දෙයක්. එහෙමත් දවසක තමා ආපහු දවසක යන්න උනේ. වෙනදා මම කරන්නේ ඔය රෙදි කඩේකට හවස් වෙලා ගිහිං හිතට අල්ලපු ඩෙනිමක්, ටී ෂර්ට් දෙකක්, කොට කලිසමක් ඇරගෙන, කාලා එහෙම 5.00 හරි 7.10 හරි ගෙදර එන එක. මේ සැරේ ඒවා නෑ ඉතිං. හැබෑවටම අප්පච්චි අද මතක් කරනකල් ඔලුවට ආවේ වත් නැහැ හෙට අවුරුදු කියලා.
          මේ පාර ඉතිං ඔය රට වටේ තියන්න හිතාගෙන හිටිය අවුරුදු උත්සව කානිවල් අනංමනං එහෙමත් නෑ. එක අතකට ඒක නම් සෑහෙන හොඳයි. අනික් එක ඉතිං කනක් ඇහිලා හිටියා මාසයක් විතර සද්ද බද්ද එහෙම නැතුව. ඔය අහු අස්සේ මම දැක්කා ෆේස්බුක් එකේ අවුරුදු උත්සවයකට තරඟ වගයක් ලැස්ති කරලා තියනවා. මෙන්න මෙහෙම-
·        * සැඟවුණු කොරෝනා රෝගීන් සෙවීම.
·        * නිරෝධායන කුමරා/කුමරිය සෙවීම.
·        * තරඟෙට චූන් පාන් කෑම.
·        * එළවලු ලොරිය පසුපස දිවීම.
·        * සූප්පුවෙන් කොත්තමල්ලි බීම.
·        * කොස් ගහේ නැගීම.
·        * රා මුට්ටිය බිඳීම.
·        * කොරෝනා රෝගියෙක් සමග පොර බැදීම.

          හොඳම එක-
·        * මාස්ක් නැතුව හොස්පිටල් යාම.
-         ඔය අන්තිම එකට නම් ජයරත්න උන්නැහේලා මිනී පෙට්ටියක් දෙනවයි කියල තිබ්බා.
හැබැයි ඉතිං නිවාඩුවේ යමක් නොවුනා ම යි කියන්නත් බෑ. ගෙදර තිබ්බ පරණ ඉලෙක්ට්‍රික් කෑලි බෑලි එහෙම රිපෙයා කරා ඇති හැකි විදියට. අලුතීන් කෑලි ගන්න නැති උනා ට, ගෙදරදී පුළුවන් ඒවා හැදුවා පුළු පුළුවන් විදියට. එතකොට තව ඔය පරණ හාඩ් වල එහෙම තිබ්බ වැදගත් ඊ බුක්ස්, පරණ ෆොටෝ එහෙම බලලා ඇදලා ගත්තා. ඉස්කෝලේ කාලේ ෆොටෝ එහෙමත් හම්බුනා. අන්තිමට ඒවත් ඇති වෙලා පරණ ඇඳන් පුටු එහෙමත් රිපෙයාර් කළා කෑලි උපකරණ තිබ්බ තිබ්බ විදියට.

පුටු හැදිල්ල- මේ ඇවිල්ලා වැලි කඩදාසියෙන් මදින ගමන්. ඔය බළල් තඩියත් ඇවිල්ලා හිටියා ඒ අහලපහල.


පුටු හැදිල්ල- මේ ඇවිල්ල වැලි කඩදාසියෙන් මැද්දට පස්සේ..



පුටු හැදිල්ල ආසන්න වශයෙන් ඉවරයි. එක ටොප් කෝට් ලේයර් එකක් ගාන්න ඕනේ. ඒත් ටොප් කෝට් ඉවරයි.. ගේන්න බෑ හාඩ්වෙයාර් වහලා.

ය ඔය කාලෙකින් අතෑරලා දාලා තිබ්බ පරණ පොත්, පත්තර එහෙමත් නැවත කියෙව්වා. ඉස්සර මට සෑහෙන පිටසක්වල පිස්සුවක් තිබ්බ නේ (ඔව් ඔව් එකෙන් තමා මේ බ්ලොග් එකටයි මටයි නමත් වැටුනේ). ඉතිං ඒ පොත් පත්තර සඟරා එහෙම ආපහු ඇදලා අරගෙන දැනුම අලුත් කරගත්තා. බලං ගියහම මම 8-9 වසර වල සෑහෙන දේවල් තොගයක් දැනගෙන ඉඳලා නේ කියල කල්පනා උනේ නැතුවමත්  නෙවෙයි ඒවා කියවද්දී. 

පොත් සෙට් එක..
 කොරෝනා තත්වේ නම් මේ ටිකේ හිටු කියල යනවා. ඒ ගැන ඉතිං ඕනෙවටත් වඩා වාර්තා සටහන් තියන නිසා මේකෙත් කියවන්න යන්නේ නැහැ. මට නම් ඇත්තටම කිව්වොත් ඔය වචනෙත් දැන් අහල එපා වෙලා කිව්වොත් ඒ තමා ඇත්ත. ඒ අස්සේ එංගලන්තේ ඉන්න අපේ මාරයා තුමාටත් අසනීප වෙලා තිබ්බා. එතුමා නම් කොහොමින් කොහොම හරි කරලා හොඳ කරගත්තා.
          වෙන ඉතිං මේ පාර ලියන්න කියල ලොකූවට දෙයක් නැහැ. 2018න් පස්සේ කොහොමත් අපි ලොකුවට අවුරුද්දක් සැමරුවේ නැහැ, අත්තම්මල එහෙම නැති උනාට පස්සේ. ගිනි කෙළි එහෙම ගෙනාවේම නැහැ. මේ පාර නම් හොයාගන්න තියා හදාගන්න වත් නෑ මම හිතන්නේ. පන්සලත් නිශ්ශබ්දයි කියන්නේ ඉතිං ආය හොයන්න නෑ ම තමා.
          ඒ අහු අස්සේ කට්ටිය ට ගෙදර ඉඳන් කරන්න වැඩ නැතුව ද කොහෙද අපි ට මගුල් ජෝඩු කරන්න වලි කනවා. එහෙං මෙහෙන් යෝජනා විතරක් නෙවේ මැර තර්ජන පවා එල්ල වෙන්න පටන් අරගෙන “දැන් කෙනෙක් හොයාගනීන් යකෝ” කියන ශීර්ෂ පාඨය ඇතුව. ඇත්තට ම මමත් පොඩ්ඩක් හොයලා බලලා කෙනෙක් ගැන අදහසක් ඔලුවට දාගත්තා.. තාම ඉතිං වැඩි දුර ලොකුවට ගියේ නැති නිසා ඒ ගැන මෙතනින් එහාට කිසි ම සඳහනක් කරන්නේ නැහැ. ඕවා වෙයි ද නැද්ද දන්නේ නෑ නේ. විවාහ තර්ජන එල්ල කරන අයට නම් ඉතිං එන එන විදියට මමත් උත්තර දීලා නිකා ඉන්නවා.
මට නිකම් කල්පනා උනේ අපේ රටේ ආසන්න ඉතිහාසයේ හැම පරම්පරාවක් ම කන්න පෝලිමේ ඉඳල තියනවා. 1800 ගණන් වල අය කැරලි කාලෙයි ලෝක යුද්ධ කාලෙයි, පස්සේ 1973 ආර්ථික අර්බුධ කාලේ, දැන් අපේ පරම්පරාව කොරෝනා කාලේ..
          පහු ගිය සිංහල අවුරුද්ද සලකල බලද්දී හරියට වඩා රුවිතෙට හැම දෙයක් ම සිද්ධ වෙච්ච හැටි තමා දකින්න තිබ්බේ. හෙටිං උදා වෙන අලුත් අවුරුද්ද වත් ටිකක් හරි හරි පැත්තට මේවා වෙනස් වෙයි කියල හිතමු. එහෙම නම් ඒ ප්‍රාර්තනාවත් එක්ක, ලියන කියවන හැමෝට ම,
සාමය,
සතුට,
සෞභාග්‍යය සපිරි,
නිරෝගීමත්,
ඉසුරුමත්,

සුභ නව වසරක් වේවා!!