සිංහල ක්‍රමය ට අනුව මේ ගෙවෙන්නේ අවුරුද්දක අවසාන හෝරා කිහිපය. අද ඉතිං ඇවිදලා කරලා රෙදි හෝදලා නාලා එහෙම ඉවර වෙලා අවුරුද්දේ අන්තිම වැඩේ හැටියට ආවා අවුරුදු පෝස්ට් එක දාන්න.
ඇත්තට ම කිව්වොත් මේ පාර නම් අවුරුදු සමරගන්න තරම් ලොකු හැකියාවක් ගොඩක් දෙනෙකු ට නැහැ. එදා වේල හොයාගන්න එක රටේ සෑහෙන දෙනෙක් ට ප්‍රශ්නයක් වෙලා තියන වෙලාවක, මොන අවුරුදු ද එක අතකට..
පහුගිය මාස 4 ගත්තොත් රටක් බංකොලොත් ලබන්නේ කොහොම ද කියන එක පියවරෙන් පියවර අපි දැක්කා සජීවී ව. ඇත්තට ම මේ සටහන ලියවෙන පැය වෙනකොට ලංකාව නිළ වශයෙන් බංකොලොත් භාවය ප්‍රකාශය ට පත් කරලා තියනවා.
ගෑස් නෑ, රයිස් කුකර් දාන්න පවර් එහෙමත් නෑ. ඒ නිසා ඔන්න පරණ පුරුදු ලාංකේය ක්‍රමය ට ගියා.. |
ඇත්තට ම මීට අවුරුදු 10ක ට කලින් 2012 තිබ්බ අවුරුදු කාලෙයි දැන් මේ අවුරුද්දයි අරගෙන බැලුවම වෙනස හොඳ ට තේරෙනවා. 2012 කියල කියන්නේ අපි උනත් සෙල්ලම් වයසෙන් එලිය ට ඇවිත් ලෝකේ දකින්න කරන්න පටන්ගත්ත වයස. හැබැයි ඒ වෙනකොට රටේ අර ඉස්සර කියන තරම් නැති උනාට අවුරුදු සිරිය තිබ්බා. මේ අවුරුද්දේ වසංගත තත්වයේ බලපෑම අඩු උනත්, අවුරුදු සිරිය පෑල දොරින් පැදුරටත් නොකියා පලා ගිහිං වගේ මූසල ගතියක් තමයි තියන්නේ.
ජරමර අස්සේ බර කරත්ත වගේ ඉඩම් මනින්න යන්නත් සෙට් උනා.. |
මේක ට හේතු නම් ඉතින් සෑහෙන්න කතා උනා මේ ටිකේ. ආර්ථික ව බංකොලොත් ලබලා, ජීවන වියදම අහස උසට නැගලා, උද්ධමනය රොකට් එකක වේගෙන් අහස උඩට නගින තත්වෙක නේ අපි ඉන්නේ. ඒ අස්සේ පැය 7 -8 (සමහර විට ඊටත් වැඩි) පවර් කට්, වතුර නෑ, බෙහෙත් නෑ.. ඕවත් එක්ක මොන අවුරුදු ද..
ඇත්තට ම මේ පාර අවුරුද්ද ගැන මෙහෙම තමා කියන්න වෙලා තියන්නේ.. (කාටූනය ෆේස්බුක් අඩවියෙන්) |
එක අතක ට මේ ඔක්කොටොම අර පාර්ලිමේන්තුවේ ඉන්න 226 ට විතරක් ඇඟිල්ල දික් කරන්නත් බෑ. මොක ද එකක් ඒ උන්දැල ව එතන ට පත් කරලා යැව්වේ මිනිස්සු. ගතිගුණ ගැන අවුරුදු බර ගානක අත්දැකීම් තිබිලත් එහෙම යවනවා නම්, ඒක සාධාරණීකරණය කරනවා නම්, එයිට පස්සේ වෙන දේවල් වලටත් වග උත්තර බඳින්න වෙනවා ඒ මිනිස්සුන්ට.
ඒ වගේ ම, මේ සටහන ලියන්න ගනිද්දී මට මතක් උනා ඉස්සර අවුරුදු මෙහෙමයි, දැන් මෙහෙමයි, අපි පොඩි කාලේ මෙහෙම මෙහෙමයි, අපි ට මාස ගණන් සති ගණන් අවුරුදු, දැන් ඉන්න පොඩි උන් ට ඒ ළමා කාලය අහිමි වෙලා, ඒවා විඳින්න දන්නේ නෑ, වාසනාව නෑ, පින නෑ වගේ එක එක කට්ටිය කියපු කතා.
හැබැයි ඔය මිනිස්සු (මමත් ඇතුළුව) ටිකක් කල්පනා කරා නම් තේරෙයි, ඒ වෙනස් ඇති කරලා තියන්නෙත් අපි ම තමයි කියන එක. ඒ ලස්සන ජීවන රටාව ට පයින් ගහලා, ළමා කාලය ළමයින්ගෙන් ඈත් කරලා, ඒ අයව අතිධාවනකාරී රේස් එකක ට දැම්මේ අඟහරු ලෝකෙන් හරි කොහෙන් හරි ආපු කට්ටියක් නෙවෙයි නේ.
දැන් උනත් දරුවෙක් කොහේ හරි ටිකක් සෙල්ලම් කරන්න යන්න ඇහුවොත් හා කියන්නේ කීයෙන් කී දෙනා ද? ගොඩක් අම්මල තාත්තලා බලං ඉන්නේ කවද්ද ඉස්කෝලේ පටන් ගන්නේ, ටියුෂන් පටන් ගන්නේ කියල. ඇත්තටම කිව්වොත් මම දැක්කා 13 වෙනිදා ත් ටියුෂන් දාලා තියනවා සමහර ළමයින් ට. අලුත් ම නාටකේ තමා ඔන්ලයින් ක්ලාස්. මම දන්න එක දරුවෙක් ඉන්නවා එයා ට හිස්ට්‍රි ක්ලාස් ඉවර වෙන්නේ රෑ 1 ට! ඉතිං මේ ළමයින්ට මොන අවුරුදු සිරි ද.. හොඳ අනාගතයක් කියන මුලාවෙන් කරන මේ වැඩේ නවත්තන්න කාලේ හරි මම නම් කියන්නේ.
පහුගිය මාස 4 ගෙවුනේ කොහොම ද කියල නම් මෙතන වැඩිය කතා කරන්න උත්සහ කරන්නේ නැහැ, මොක ද මම අවුරුද්ද අන්තිමේ රිවීව් එකක් ලියන නිසා. ඒ උනා ට ඉතින් නිකම් පොදු දේවල් ටිකක් කිව්වොත්, ගෑස් පෝලිම්, තෙල් පෝලිම්, කෑම පෝලිම් වගේ පෝලිම් සෑහෙන ගොඩක් එක්ක තමා මේ කාලේ ගෙවුනේ.
ක්‍රීඩා උත්සවය තිබ්බා 2020න් පස්සේ සම්පූර්ණ උත්සවය විදියට. අපි ස්ටාෆ් රිලේ එක දිව්වා. මේ ඉන්නේ ටීම් එක.. |
පිරිත ත් තිබ්බා මේ පාර සම්පූර්ණ එක. ගෝලබාලයෝ එක්ක වැඩ කරන්න හම්බුනා ඒ වෙනුවෙන්.. |
ඒ අස්සේ ඩොලර් සංචිත හිඳිලා ගිය නිසා (නෑ නෑ මේ වෙන මුකුත් නිසා නෙවේ පෑවිල්ල ට) තෙල් එහෙම ගේන්න බැරුව පැය 13ක වගේ විදුලි ඇනහිටීම් වල ට යන්න උනා. මේක පැය 20 දක්වා යන කතා ත් ඇහුනා. ඇත්තට ම සෑහෙන කාලෙකින් අද තමා පැය 24 එක දිගට පවර් තිබ්බේ.
අවුරුද්ද අන්තිමේ ටුවර් එක.. පේරාදෙණිය ට බයිසිකලෙන් ගිහිං ආවා පරණ යාලුවෙකුත් හම්බෙලා.. මේක ඇත්තට ම පොඩි ට්‍රයල් එකක්.. |
කොහොමින් කොහොම හරි අවුරුදු කට උඩ තියද්දි මිනිස්සුන්ට මේක එපා වෙලා, උද්ඝෝෂණ කරන්න පාරට බහින තත්වයක් ඇති උනා. දැන ට නම් සාමකාමී ව යනවා. මේ විරෝධතා එක එක මුහුණුවරින් පැවැත්වුනා. මමත් එකක ට සහභාගී උනා. හැබැයි එක දෙයක් මම මෙතන ලියල තියන්න හිතුවා. අපි ට පේනවා එක එක චරිත මේ උද්ඝෝෂණ වල ට එකතු වෙමින් ඉන්නවා. සමහර අය ආව ම මාර ප්‍රතිචාරත් දැක්කා.
මහනුවර සංවිධානය වූ "විරෝධයේ ගී හඬ".. |
හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමා මේ ඔක්කොම තාවකාලික දේවල්. ඒ වගේ ම මිනිස්සු උද්ඝෝෂණ කරන්න ඕනේ. ඒක ගැන කිසි ම විවාදයක් නැහැ. මමත් එකඟයි. හැබැයි ඒ හරහා එක එක්කෙනා පුම්බන එක වත්, එක එක්කෙනා ගේ පෞද්ගලික න්‍යායපත්‍ර වල ට ඉඩ දෙන එක වත් කොහොමත් ම වෙන්න ඕනේ නෑ. මේ රටේ මිනිස්සු හරි දක්ෂයි බොර දියේ මාළු බාන්න. මේක නැවතත් සිද්ධ වෙන්න ඉඩ නොදී, පළවෙනි ප්‍රධාන අරමුණෙ ම හිටියොත්, අඩුම ගානේ ලංකා ඉතිහාසයේ පළවෙනි සාර්ථක උද්ඝෝෂණය කරා කියල අනාගත පරම්පරාවට ඉගෙනගන්න, කියන්න ලැබේවි (මොකද 1818 ඉඳන් ලංකාවේ ගහපු කැරලි/ උද්ඝෝෂණ ඔක්කොම අමු අසාර්ථකයි).
අවුරුද්ද ගැන ලියන්න ආවත්, වෙනද වගේ අවුරුදු සම්බන්ධ රස කතා වත්, අවුරුද්ද ගැන ස්පෙසිෆිකලි වත් ලියන්න දේවල් ඔළුව ට එන්නේ නැහැ. වෙනදා ට වඩා ටිකක් නිදහස් ලේඛන ශෛලියක් අරගෙන ලිව්වෙත් ඇත්තට ම ඒකයි. මේ අවුරුද්දේ ඇඳුම් කඩ වල එහෙමත් ලොකුව ට සෙනගක් මම දැක්කේ නැහැ (වෙනද ට සාපේක්ෂ ව). මමත් අප්පච්චි ට විතරයි ඇඳුමක් වත් අරගත්තේ.
මේ පාර මම ගත්තේ මේ ටික තමා අවුරුදු ෂොපින් රවුමෙන්. බයිසිකලේ වැඩටත් යන්න වෙයි ද කියල හිතෙනවා.. |
මේ දවස් ටිකේ පවර් නැති වෙන නිසා, UPS, බැටරි මුදලාලිලා ට, සෝලා කරන අය ට එහෙම සෑහෙන හොඳ කලක් ගිහිං. අවුරුදු බර ගණන් පරණ ස්ටොක් එහෙමත් අලුත් ඒවා වගේ ගිනි ගණන් වල ට විකුනනවා දැක්කා. පාර්ලිමේන්තුවෙන් රට හදන්න කලින් මට නම් කියන්න තියන්නේ අපි අපි ම හැදිලා ඉන්න ඕනේ කාලය ඇවිල්ලා කියල. මොක ද මේ වගේ වෙලාවල් වල ත් ඒ වගේ ජඩ වැඩ කරන එක තරම් පහත් වැඩක් නෑ.
ගොඩක් කට්ටිය මේ අවුරුද්දේ සුබ පතන්නේ නැති බවත්, තමන් ට සුබ පතන්න එපා කියල ත් දාලා තියනවා දැක්කා. ජනාධිපතිවරයා ට ගෙදර යන්න බල කරන්න ගාලු මුවදොර ට එකතු උන ලොකු පිරිසක් “ගෝටාගෝගම” කියල ගම්මානයක් පිහිටවාගෙන දිවා රෑ අරගල කරද්දී, අවුරුද්ද සමරන්නේ කොහොම ද කියන එක තමා එයාල ගේ තර්කය. ඒ ගැන විවාදයක් කරන්න මට උවමනාවක් නැහැ, ඒ නමුත් එක දෙයක් මම කියල තියන්නම්. මේ පාරත් සමහර තැන් වල ගිනිකෙළි වලින් නම් අඩුවක් නැහැ. මම දැක්කා පන්සලේ වරු ගාණක් අහස කූරු උඩ යනවා නිකම් පලස්තීනේ නැත්තම් යුක්‍රේනේ වගේ.
ගාලු මුවදොර ලෝකල් පප්පා ගම.. සේයාරුව- අන්තර්ජාලයෙනි. |
අපි කාට හරි සුබ පතලා කරන්නේ බලාපොරොත්තුවක් දෙන එක. බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. අරගල කරන්නත් බලාපොරොත්තුවක් ඕනේ. නැත්තම් අරගලයක ජවය හිඳෙනවා. ඒ නිසා, මම අවසානය ට මෙහෙම කියල මේ සටහන නිමා කරන්නම්..
ලියන, කියවන සියලු දෙනාට ත් රටට ත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!
එක හුස්මට කියෙව්වා. ස්තූතියි, මේ අමාරු කාලෙත් අප්ඩේට් පෝස්ට් එකක් ලිව්වට. මේ කියල තියෙන දේවල වලට සමපාත වෙන පෝස්ට් දෙකක්:
ReplyDelete225ටම බය හිතෙන කතාවක්
ඉතියෝපියාව
අද තමා අකවුන්ට් ඇක්සස් හම්බුනේ. ස්තුතියි පෝස්ට් දෙකට පාරවල් කිව්වට!
Deleteසූරිය කුමරුට ලජ්ජා හිතිලා වඩින්න බෑ කිය කියා හඬයි
ReplyDeleteහේතුව ඇහුවම, ඇඟිල්ල දිගු කර පෙන්වල තියෙන්නෙ ලක් දීපෙයි
'නඩු නැති රටකට මොටද පායලා' කියලත් ඇහු බව ආරංචියි
"නඩු පිට නඩු එයි - අවුරුද්දෙන් පසු" සහතික වූයේ විෂ්ණු දෙවියි
අද තමා අකවුන්ට් ඇක්සස් හම්බුනේ. ස්තුතියි ඒ කවියට. නමුත් නඩු තාම නම් නෑ.. එක අතකට, නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ..
Deleteඇත්තම කීවොත් 2019 අවුරුද්දෙන් පස්සේ හරියට අවුරුද්දක් සැමරුවේ නැති ගාණයි. විශේෂයෙන්ම කොවිඩ් වසංගතය නිසා පනවලා තිබ්බ සෞඛ්‍ය නීති ඒකට ගොඩක් තදින්ම බලපෑවා. මේ 2022 අලුත් අවුරුද්ද කියලාත් වැඩි වෙනසක් නෑ ඉතින්. රටේ ආර්ථික තත්වය එක්ක මිනිස්සුන්ට අවුරුදු සමරන්න වත්කමක් තියෙනවා ද කියලාත් සැකයි. හැබැයි රෙදි කඩවල්වලට නම් සරු පාටයි.
ReplyDeleteඅවුරුදු උත්සව, නෑදෑ ගමන් ආදිය නම් සෑහෙන්න සීමා වෙලා තියෙනවා ගොඩක්ම තෙල් ප්‍රශ්නය නිසා.
අර 03 වැනිදා මහජන සාමය වෙනුවෙන් (ලු) ඇඳිරි නීතිය දැම්ම නිසා දහම් පාසල් විභාග කල් යාමත්, වගේම සැලසුම් කරලා තිබ්බ විදියට දහම් පාසලේ අවුරුදු උත්සවය තියාගන්න බැරිවේච්ච එකත් ලොකු අවුලක් අපිට නම්. ඊළඟ අලුත් අවුරුද්දවත් මීට වඩා යහපත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයකුත් නෑනේ ඉතින්.
කොහොම වෙතත් අවසන් විදියට පොදු ප්‍රාර්ථනාව තමයි ලැබුවා වූ නව වසර ඔබ ඇතුළු සකල ලෝකවාසීන්ට සතුට, සෞභාග්‍ය, යහපත, යසස සපිරුණු සුබම සුබ නව වසරක් වේවා කියන එක.
සතුට සෞභාග්‍ය නම් උතුරයි වගේ තමා මේ යන විදියට. අද තමා අකවුන්ට් ඇක්සස් හම්බුනේ.
Deleteමහ පොළොවට ඔබින ධයාපනයක් නෙවේ අපිට තියෙන්නෙ කඩදහි පුරෝන අධ්ජාපනයක්.. ඕක වෙනස් කාරොත් බොහෝ විට දැනෙන යමක් විය හැකි ඉදිරි පරම්පරාවෙදිවත්....
ReplyDeleteඔන්න අඟහරුවටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා හිට...!
සහතික ඇත්ත. කඩදාසි හොඳට ම පුරවන අය තමා දක්ෂ කියල ගණන් ගන්නේ.
Deleteආයෙත් ඉස්සර වගේ අවුරුදු උත්සව, වෙසක් දන්සැල් තියන්න බැරිවෙයි, පරිප්පු කිලෝවක්ම රුපියල් 500ක් වෙනව දැනට... හෙට දවසක් ගැන නොදන්න තරුණ පරම්පරාව ගැන ඇත්තටම තියෙන්නෙ මහා දුකක් මටනම්, මහන්සියෙන් කන්න අඳින්න දුන්න දෙමව්පියෝ දෙන්න නොවෙන්න දැනටමත් මේ රටින් ගිහින්...
ReplyDeleteඅද ගියා නේ වෙසක් බලන්න රවුමක්. කිසි දෙයක් නෑ. ඔහේ ගෙවුන සාමාන්‍ය පෝයක් වගේ ම තමා.
Deleteලංකාවෙ අධ්‍යාපනේ ගොන්නු හදන අධ්‍යාපනයක් කියල තමයි මටනං පේන්නෙ.
ReplyDeleteමොනව උනත් අරගලය අලගරය වෙන්නැති වෙන්න කියල පතමු.
අධ්‍යාපනය ගැන කතාව නම් සහතිකෙන් ම ඇත්ත.
Deleteමල්ලිගේ අඩවිය අහම්බෙන් හම්බුනේ කෝච්චි ගැන කියවන්න ගිහින්. ගොඩක් ස්තූතියි.අපේ ගේ ළඟ අස්ගිරිය රේල් ගේට්ටුව තියෙන්නේ.මමත් ලැබෙන හැම වෙලාවකම කෝච්චිය තමයි තෝරා ගන්නේ. මල්ලිව අපි දැකලත් ඇති.අපේ අම්මාටත් මම මේ බ්ලොග් විස්තර කිව්වා. එයාත් පරණම දුම්රිය මගියෙක් මහයියාවයි පේරාදෙණියයි අතර.මල්ලිගේ අඩවියට ජය!
ReplyDeleteසාදරයෙන් පිලිගන්නවා!
Deleteඅස්ගිරියේ ගේට්ටුව ළඟ නම් අනිවාර්යයෙන් මාව දැකල ඇති. මොකද මම 2008 ඉඳන් ඔතනින් දෛනිකව යනවා.
This comment has been removed by the author.
Deleteඒක තමයි. අනිවාර්යෙන්ම දැකලා ඇති. මාතලේ මාර්ගය ගැන මල්ලිගේ ලිපිය කියෙව්වා. අපේ මහත්තයා බස්නාහිර පළාතේ නිසා ඒ පාරේ හා හා පුරා කියලා එක්කන් ගියා ඒ ලිපිය නිසා මගේ පැරණි මතක අලුත් වෙලා.ඔන්න මල්ලිට අපි දෙන්නගෙම විශේෂ ස්තුතිය..අපි ජෝඩුවත් වේයන්ගොඩ මරදාන අතර දෛනික දුම්රිය මගියෝ
ReplyDelete