Saturday, October 17, 2015

උඩරට ප්‍රධාන දුම්රිය ස්ථානය වෙතට...



          


නිදහසින් පසු වෙනස්වූ නාම පුවරුව.


            උලපනේ දුම්රිය ස්ථානය පසු කරන පොඩි මැණිකේ කුඩා පාලමක් වට කර ඇති වෙල් යායක් හරහා ගමන් කරයි. මෙය පසු කරන විට දකුණු පසින් ඈතින් දිස් වන්නේ නුවරඑලිය මහාමාර්ගය මහවැලි ගඟ හරහා යන පැරණි පාලම සහ ඒ සමගම ඇති අලංකාර නව පාලමයි. මෙය සේයාරුවකට ගැනීමට නම් බෙහෙවින් කල්පනාවෙන් යා යුතුවාක් මෙන්ම, ක්ෂණික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වේ. 

           මෙම ස්ථානය පසු කොට ඉහලට යන පොඩි මැණිකේ, ආනතිය ක්‍රමයෙන් අඩු වන මාර්ගයක නාවලපිටිය දෙසට පැමිණේ. නාවලපිටියට ආසන්නවත්ම, නාවලපිටිය- මහනුවර මහා මාර්ගය ස්ථාන දෙකකින් දුම්රිය මාර්ගය හරහා යයි. තවත් ටික දුරකින්, තවත් එවැනිම දුම්රිය හරස් මාර්ගයක් දක්නට ලැබේ. මෙම තුන්වැනි හරස් මාර්ගය පසු වූ වහාම, අඩි 60ට එකක් වූ තියුණු නැග්මක් ආරම්භ වේ. මෙය වාෂ්ප දුම්රිය යුගයේ “Summers Cutting” යනුවෙන් හඳුන්වා ඇති අතර, බරින් අධික දුම්රියකට තරණය කිරීමට ඉතා අපහසු ස්ථානයක් වී ඇත. 

           නාවලපිටිය පිහිටා ඇත්තේ කොළඹ සිට සැතපුම් 87ක් සහ දම්වැල් 32ක දුරකින් ය. මුහුදු මට්ටමේ සිට උස අඩි 1913කි. නාවලපිටිය වෙත දුම්රිය මාර්ගය ලඟා වූයේ 1874 වසරේය. ඒ වනවිටත් නාවලපිටිය කුඩා නගරයකි.

නාවලපිටිය වෙත පැමිණෙන පොඩි මැණිකේ..


          මෙම කන්ද නැගගෙන නාවලපිටියට එන දුම්රිය ලඟා වන්නේ මුලින්ම තිබු නාවලපිටිය දුම්රිය ස්ථානයේ ගබඩා සංකීර්ණය වෙතය. ඒ නම්, පෙර දුම්රිය වේදිකාව තිබුනේ අනෙක් පසය. වර්තමාන දුම්රිය ස්ථානය සහ වේදිකාව පිහිටි තැන පෙර තිබුනේ ගබඩාවක් සහ දුම්රිය පාලක මධ්‍යස්ථානයයි. අප මේ ගමන යන පොඩි මැණිකේ දුම්රිය මුලින්ම ගමනාරම්භ කලේ 1960 දශකයේ ය. ඒ අද මෙන් M6 හෝ M2 එන්ජින් වලින් නොව, S3 බලවේග කට්ටලයකිනි. එම පොඩි මැණිකේ, එදා නාවලපිටිය වෙත පැමිණෙද්දී තිබුනේ එම පැරණි දුම්රිය ස්ථානයයි.  1960 දශකයේ මැද භාගයේ  නාවලපිටිය දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම වාගේ නවීකරණය කෙරුණි. ඒ දැන් පිහිටි ආකාරයටයි. 

          නාවලපිටිය මහා නගරයක් මට්ටමින් සංවර්ධනය වීමට දුම්රිය මුල් විය. එමෙන්ම, අදටත් උඩරට දුම්රිය මෙහෙයුම් සිදු කෙරෙන්නේ නාවලපිටිය දුම්රිය පාලක මැදිරියේ සිටයි. වාෂ්ප එන්ජින් යුගයේ මෙහි අතිවිශාල ධාවනාගාරයක් සහ විශාල අංගනයක් තිබී ඇත. අංගනය තවමත් දක්නට ඇතත්, ධාවනාගාරය මේ වනවිට ගරා වැටී තිබේ. 


නාවලපිටියපැරණි දුම්රිය ස්ථානය තිබුණු ඉසව්ව. නාවලපිටිය සතුව ඇති ආපදා සේවා දුම්රියට එක් කොට ඇති ඉපැරණි දුම්රිය මැදිරියක් මෙහි ඇත. මෙයට වසර සියයකට වඩා වයසය.

          නාවලපිටියේ දී දුම්රිය කාර්ය මණ්ඩල මාරු විය. එය අදටත් සිදු වේ. අලුතෙන් දුම්රිය භාරගන්නා රියදුරු මහතුන් එන්ජිම පරීක්ෂාකර බලා, වැලි පෙට්ටි, තිරිංග ආදිය නැවත පරීක්ෂා කරයි. නියාමකවරුන් සිය මැදිරි වල රාජකාරී අරඹයි. මේ කටයුතු සඳහා නාවලපිටියේ දුම්රිය විනාඩි 5ක් පමණ නවත්වා තැබේ. 

එදා පොඩි මැණිකේට බලය දුන් M6 පන්තියේ එන්ජිම.


         ඇත්තෙන්ම කඳුකරයට යන ගමන පටන් ගන්නේ මෙතැන් සිටය. පෙර කාලයේ නාවලපිටිය- ගිනිගත්හේන මහාමාර්ගය පිහිටා තිබුනේ දැන් මෙන් නොව, දුම්රිය මාර්ගය හා සම මට්ටමකය. 1960 දශකයේ එය දැන් තිබෙන අයුරින් සකස් කර, ඉඟුරුඔය දෙසින් පැමිණෙන දුම්රියට ලේසියෙන් දුම්රිය ස්ථානයට ඇතුල් විය හැකි ලෙස සකසා ඇත.
 

මහනුවර බලා යන දුම්රිය.

        දුම්රියට සියලු පාර්සල් පටවා අවසන්ය. කාර්ය මණ්ඩලය ගමන් ඇරඹීමට සූදානම්ය. සංඥා නිකුත් වීමත් සමගම, තිරිංග මැදිරි දෙකෙන් කොළ කොඩි දෙකක් එසවුනි. දීර්ඝ නලා හඬත් සමගින්, පොඩි මැණිකේ හෙමිහෙමිහිට ඉදිරියේ ඇති පල්ලම වෙත ඇදෙන්නට වූවාය. සීතල කඳුකරය වෙත යන ත්‍රාසජනක චාරිකාව ඇරඹී ඇත....

20 comments:

  1. දැන් ඉන්න චීන පොඩිමැණිකේ තනියම අදිනවද මේ කඳු?

    එදා මම ගෙලිඔය ගියේ පොඩිමැණිකේ එක්ක.

    ReplyDelete
    Replies
    1. ඔය විචාරක තුමා හන්නේ පරණ අත්දැකීමක් වෙන්න ඕන. මොකද ඉස්සර පොඩි මැණිකේ උඩරට මැණිකේ දෙකම ගියේ එන්ජින් දෙකක් එක්ක , එකක් අදින්න සහ එකක් තල්ලු කරන්න . ඒ කාලේ කෝච්චියේ පෙට්ටි දාහතරයි එන්ජින් දෙකයි , දැන් පෙට්ටි අටයි එක එන්ජිමයි

      Delete
    2. දැන් එන චීන මැණිකෙලා දෙන්නත් එක්කම එන්ජින් දෙකක් එනවා. එකක් ඉස්සරහින් එකක් පස්සෙන්. හැබැයි මේ මැදිරි නම් එච්චර බර නැති නිසයි අශ්වබල 2000ක් එක එන්ජිමක තියන නිසයි අදීවී තනියෙන්. ගෙලිඔයේ එනවා කියල කිව්වා නම් එන්න තිබ්බ ස්ටේෂන් එකට. අපරාදේ.

      ඉවාන්- නෑ. ඔබතුමාට පොඩි වැරදීමක්. මැණිකෙලා කවදාවත් (කලාතුරකින් දවසක් ඇරෙන්න) එන්ජින් දෙකක් දාල ගියේ නෑ. පොඩි මැණිකේ නම් 1960 දශකයේ පටන්ගන්නකොට S3 පවර් කාර් දෙකක් දාල දිව්වා. ඒ මැදිරි 9ක් එක්ක. උඩරට මැණිකේට M1 දෙකක් දාල මැදිරි 9ක් දිව්වා මුල් කාලේ. ඒත් M2 ආවට පස්සේ ඔය පවර්සෙට් වෙනකල්ම ඕවා තනි එන්ජින් එකෙන් දිව්වේ. මැණිකෙලා පෙට්ටි 14න් ගියේ නෑ. ඒ නයිට් මේල් එක.

      Delete
    3. ඉවානයෝ, යකෝ මම ඔය උඩරට පාරේ මුලින්ම ගියේ 1964 දී ( අර ලංකාවට නිදහස ලැබුණ කාලේ :D) ඒ කාලේ තිබුනේ ගල් අඟුරු වලින් වැඩකොරන ඇන්ජින්. ඒ කාලේ රඹුක්කනදී තමයි දෙවැනි ඇන්ජිම සමබන්ධ වෙන්නේ. ඒක කඩුගන්නාව වෙනකල් යනවා.

      Delete
    4. ඒ සටහන හරියටම හරි විචාරක තුමා.. 1960 දශකයේ මුල් කාලයේ තමා ඔය පොඩි මැණිකේ පටන් ගත්තේ. රතු පාට පවර් සෙට් එන්ජින් දෙකකින් ඇදපු නානුඔයට ගිය පොඩි මැණිකේ මතකත් ඇති සමහර දවස් වල. කඩුගන්නාවෙන් සෙට් කරන්නේ බොහෝ විට A ක්ලාස් එන්ජින් එකක් නැත්තම් ගැරට් එක.

      Delete
  2. //මෙය සේයාරුවකට ගැනීමට නම් බෙහෙවින් කල්පනාවෙන් යා යුතුවාක් මෙන්ම, ක්ෂණික ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය වේ.// බොට එහෙම එකක් තිබු‍ෙණෙ නැද්ද?

    හා එහෙනං කඳු නගින්න පටංගමුකො.

    ReplyDelete
    Replies
    1. අපෝ මගේ ගාව තුන හතරක් තියනවා ඔතන ෆොටෝ. එකක් දාන්නම්. අමතක උනා මේක ලියද්දි දාන්න.

      Delete
  3. මෙව්වා කියවද්දි කෝච්චියක රවුමක් යන්න හිතේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් යන්න. කරදරයක් නැතුව යාගන්න ලැබුනොත්, මේ දවස් වල තමා ඔය ටුවර් ඒකෙ නියම ලස්සන තියන්නේ..

      Delete
  4. ත්‍රාසජනක? :O

    හම්මෝ ආසාවෙන් බලන් ඉන්නවා. ඇයි පොඩිමැණිකෙට මොනා හරි කරදර වුනාද?

    ReplyDelete
    Replies
    1. ත්‍රාසජනක කිව්වේ ඉතිං පොඩ්ඩි ගැනම හිතල නෙවේ. එයාව එක්කරගෙන යන අය ගැන එහෙමත් හිතල. ඒ වගේම, මේ ගමන යන පොඩ්ඩි මුහුණ දීල තියනවා කරදර ගොඩකට. ඒවත් ඉස්සරහට කියන්නම්කො..

      Delete
  5. මම ලිව්ව බදුලු සවාරිය අඟහරුවා කියෙව්වද? On Rails To Badulla...

    ReplyDelete
    Replies
    1. අනේ ඒක නම් මට මිස් උනා.. ලින්ක් එකක් දෙන්න පුලුවන්ද කරුණාකරලා?

      Delete
    2. ස්තුතියි ප්‍රසන්න අයියා!

      Delete
    3. ඒක එල ද බ්‍රා පෝස්ට් එකක්

      Delete
  6. කෝච්චියේ උඩරට යන්න තියෙන මගේ ආසාව උඹ අවුස්සනවා..

    ReplyDelete
    Replies
    1. ආය බලබලා ඉන්න එපා.. ගන්න ටිකට්- යන්න ගිහිං එන්න. එක දවසෙන් පුළුවන්. පොඩ්ඩි එක්ක ගියා, මේල් ඒකෙ ආවා.

      Delete
  7. මම යනවා සදුයි පොඩි මෙන්ඩයි එක්ක දෙසැම්බර්
    මේ ලිපිය එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. කවුද සඳු? කෝච්චියේ හඳවල් පටවන්න නම් දෙයිද දන්නේ නෑ.. තැන්ක්ස් වේවා එල ද බ්‍රා එකට!!

      Delete