Wednesday, December 5, 2012

පරපුරක අවසානය..


W1- 650 මරදානේදී ගත් ජායාරූපයක්. (2012-11-20)
ඩීසල්- ද්‍රවශක්ති එන්ජින් පරපුරේ ආරම්භක පරපුර වූ W1 ධාවන පන්තිය එහි අවසානය කරා ලඟාවෙමින් සිටි..
1969 වසරේ දුම්රිය ස්වර්ණමය යුගයේදී එකල දුම්රිය සාමාන්‍යාධිකාරි ධූරය දැරූ බී. ඩී. රම්පාල මහතා ධාවන බලය ඩීසල් වලට හැරවීමේ අරමුණින් බටහිර හා නැගෙනහිර ජර්මනියෙන් ඩීසල්- ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වන දුම්රිය එන්ජින් 60ක් ගෙන ඒමට ඇනවුම් කිරීමත් සමගම මේ රටේ ගල් අඟුරු හා ඩීසල් - විදුලි ක්‍රමයට පමණක් සීමා වී තිබු දුම්රිය ප්‍රවාහනය යාන්ත්‍රික විය. බටහිර ජර්මනියෙන් W1 පන්තිය යටතේ අශ්ව බල 1150කින් යුතු එන්ජින් 45ක්ද, නැගෙනහිර ජර්මනියෙන් W2 පන්තිය යටතේ අශ්ව බල 1578ක බලයකින් යුත් එන්ජින් 15ක් උඩරට මාර්ගයේ ධාවනයට ගෙන්වන ලදී. ඒ එන්ජින් අතුරින් W2 පන්තියේ එන්ජින් අධික ජවයකින් යුතු වූ බව පැවසෙන අතර දිශා තෝරන ලීවරය (Direction of travel lever) එක පැත්තකට දමා එන්ජිම පන ගැන්වූ විට එන්ජිම ඒ පැත්තට පනින බව කියවේ.

කෙසේ නමුත් මේවායේ ස්වයංක්‍රීය ගියර් පද්ධතියක් සහිත මෝටර් රථයක මෙන් සුමට ධාවන හැකියාවක් වූ අතර සමකාලීන අන් එන්ජින් මෙන් නොව ඉතා අඩු ශබ්දයක් සහිතව ධාවනය විය. ඉතා අධික බ්‍රමණ වේගයක් සහිත එන්ජින් වලින් සමන්විත වූ මේ එන්ජින් ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම ඇති දුම්රිය මාර්ග වල කරක් ගැසුවේ ධාවනය වූ සෑම ආකාරයකම දුම්රිය ධාවනය කරමිනි. (පටු දුම්රිය මාර්ගයක් වූ කොළඹ- ඕපනායක මාර්ගයේ හැර). උඩරට මාර්ගයේ තියුණු නැග්ම එක එන්ජිමක් භාවිතයෙන් තරණය කිරීමට මේවාට හැකි වූ බව කියවේ.

කෙසේ නමුත් රම්පාල මහතාගේ නික්ම යාමත් සමග දුම්රිය සේවයේ කඩා වැටීම ආරම්භ වූ අතර මෙම ද්‍රවශක්ති එන්ජින් වල අදාළ අලුත්වැඩියාවන් ඒ නියමිත කාලයටම කල යුතු වූ අතර එසේ නොවීමෙන් ඒවායේ අධික බ්‍රමණ වේගයන් හේතුවෙන් ගෙවීම් අධික වීමෙන් හානි වේ. එසේම ද්‍රවශක්ති එන්ජින් වල බල සම්ප්‍රේෂණය කිරීමට ඇති ද්‍රවයට නිසි ගණත්වයක් වන අතර එය නොමැති වීමෙන් ඒ උපකරණද හානි වේ. නුපුහුණු කාර්මිකයින්ගේ නොසැලකිලිමත් අලුත්වැඩියාවන් ආදී කටයුතු නිසා 1980 දශකය වන විට මෙම එන්ජින් වලින් සැලකිය යුතු කොටසක් ධාවනයෙන් ඉවත්ව තිබු බව පෙනෙන අතර එසේ ඉවත් වූ එන්ජින් වලින් කොටස් ගෙන එන්ජින් කිහිපයක් ධාවනය කිරීමට දෙපාර්තම්නේතුව කටයුතු කර තිබේ.

මේ අතරම මේවායේ නිෂ්පාදකයින් කියා තිබුනේ වසර 10කින් මේවායේ බලසැපයුම් එන්ජින් වෙනස් කලයුතු බවයි. නමුත් ඒ අතරම W2 නිපදවූ සමාගම වැසී යාමෙන් එම පන්තියට අවශ්‍ය අමතර කොටස් හිඟ වන්නට විය. එන්ජින් අලුතෙන් තබන්නට යන වියදමින් අලුත් එන්ජින් කිහිපයක් ගත හැකි වූ බැවින් මෙම වටිනා එන්ජින් තැන තැන අත්හැර දැමෙන්නට පටන් ගත්තේය. එයින් බොහෝ එන්ජින් යකඩ වලට කපා අලෙවි කරන ලද අතර අනෙක් ඒවා වල වැදුනි.

නමුත් වර්ෂ 1997තේදී ජර්මන් ජාතිකයෙකුගේ මැදිහත්වීමෙන් W1 පන්තියට අයත් 631, 636, 638, 647, 659, 665, 666, 667, 669 හා 673 දරණ එන්ජින් වලට කැටපිලර් එන්ජින් හා ඩයිනමික් බ්රේක් එකතු කර W3 ධාවන පන්තිය යටතේ නැවත ධාවනයට එකතු කරන ලදී. එම එන්ජින් සියල්ලම වගකීම් කාලය ඉක්මවා අවුරුදු 5 කට පසුවත් ඉතා හොඳින් ධාවනය වේ.
W1 පන්තියේ එන්ජින් වලට අලුතෙන් බල සැපයුම් එන්ජින් සවි කර W3 යනුවෙන් ධාවනයට එක් කල 666 එන්ජිම. 


කෙසේ හෝ මෙය ලියන 2012 වර්ෂය පටන් ගන්නා විට W1 ධාවන පන්තියේ එන්ජින් 3ක් ධාවනය වූ අතර ඒ අංක 650, 657 හා 658 යන එන්ජින්ය. ධාවන තත්වයේ තිබු අවසාන W2 එන්ජිම වූ අංක 715 දරණ එන්ජිම 2011 වසරේ අගදී අත්හැර දැමුණු බව දැනගන්නට ඇති අතර ඒ අනුව ඒක කලෙක විශිෂ්ට සේවයක් කල දුම්රිය සේවයේ යෝධ පරපුරක අවසානය එසේ සනිටුහන් විය.
W1 පන්තියටද මේ ඉරණමම අත්වෙන්නට යන බව පෙනෙන්නට තිබෙන අතර අද දින (2012-12-05) සිදු වූ පීලි පැනීමකින් පසු ධාවන තත්වයේ ඇති ගණන 1ක් බවට පත් වී ඇත. දැනට ධාවනය වන්නේ 657 පමණකි. 658 දරන එන්ජිමත් මෑතකදී අලුත් වැඩියාවන් අත්හැරදමා ඇති සැටියකි. 650 දරන එන්ජිම අද දින පීලි පැනීමට ලක් විය. ඒ අනුව ළඟදීම ඓතිහාසික දුම්රිය පන්තියක සාක්ෂි රහිත අවසානය ළඟදීම සිදු වනු ඇත...........

ප/ලි-  ද්‍රවශක්ති බල සම්ප්‍රේෂණය ගැන වැඩි දුර විස්තර සඳහා පිවිසෙන්න- මෙතනින් හෝ   මෙතනින්..

W1 ධාවන පන්තිය ගැන වැඩි විස්තර සඳහා පිවිසෙන්න.

W2 ධාවන පන්තියේ විස්තර සඳහා පිවිසෙන්න.

W3 ධාවන පන්තියේ විස්තර මෙතනින්.

No comments:

Post a Comment