කොහොමද ළමයි!!
කිසිම විවේකයක් නැතුව ගෙවුන මාස 4කට වගේ පස්සේ ඔන්න දවස් කිහිපයක ඉස්පාසුවක් හම්බුනා. එච්චර මොනාද තිබ්බ වැඩ කියලා මම කොහොමත් අවුරුද්ද අග රිවීව් එකක ලියනවා නේ. එතකොට ම කියන්නම්.. කලින් ගිය හයික් එකෙන් පස්සේ, ඒ අවුරුද්දේ රිවීව් එකට පස්සේ, මේ ලියන්නේ කෙලින්ම අවුරුද්දට. එතකොට ඉතින් තත්වේ හිතාගන්න..
![]() |
හැක්ටර්
බ්ලොග් අඩවියෙන් අඟහරු ලෝකය වෙත තිළිණයක්! මේ සෙට් එකට වගේම, මට
පරෙස්සමෙන් ලැබෙන්න සලස්වපු තට්ට්යාගේ කොළම බ්ලොග් කතු තුමාටත් බෙහෙවින්
ස්තුතියි! |
මේ අවුරුද්ද කොච්චර ශෝක් ද කියනවා නම්, අවුරුදු නිවාඩුව මේ පාර හම්බුනේ අප්‍රේල් 11 වෙනිදා. අලුත් අවුරුදු 14. එකොළොස් වෙනිදා වෙනකල් ම එක දිගට ඉස්කෝලේ වැඩ. අවුරුදු ඉවරලා දළදා ප්‍රදර්ශනයක් තියන්න ලෑස්තියි අප්‍රේල් 28 වෙනකල්. ඒ වෙනකල් නුවර ඉස්කෝල වලට නිවාඩු. නැත්තම් අපිට අවුරුදු නිවාඩුවක් වත් නැති වෙන තත්වයක් තිබ්බේ..
ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ, ඒ කියන්නේ ඔය 2005 එහෙම නම් අවුරුදු නිවාඩුව මාසයක් වගේ ඇදෙනවා. රජයේ ඉස්කෝල වල උනත් සති තුනක් දෙනවා අඩුම. ඒ කාලේ හෝඩියේ පන්තියටත් ටියුෂන් දාලා, ඒවයෙත් පැය 8 – 10 එක දිගට ගෙන්නාගෙන, පේපර් ක්ලාස් අර ක්ලාස් මේ ක්ලාස් කිය කියා මරවන කතා නොතිබ්බ නිසා, ළමයින්ට සෑහෙන්න නිදහසක් හම්බුනා. අප්‍රේල්, අගෝස්තු, දෙසැම්බර් මාස තුනම වගේ නිවාඩු (මම කිව්වේ ඇත්තටම නිවාඩු) නිසා, ටොන් ගාණක් බර සිලබස් එකක පීඩනය ඇත්තටම ලොකුවට දැනුනේ නැහැ. ඒ කාලේ ඩිප්‍රෙෂන් හැදිච්ච ළමයි, සිලබස් පීඩනය වැඩි වෙලා එල්ලිලා මැරෙන ළමයි නොහිටියේ ඒකයි.
මාර්තු අග වාර විභාගයත් ලොකුවට යන්නේ නැහැ, මොකද පළවෙනි වාරේ අමතර වැඩ වැඩි නිසා. බොහෝ විට ප්‍රධාන විෂයය විතරයි ඒකට අහන්නේ. ඕකේ රිපෝට් එක ගෙදර අරන් ආවට ඉතින් ඕක ගෙදරට පෙන්නන්නේ ගොඩක් වෙලාවට ඉස්කෝලේ පටන් ගන්න දවසට කලින් දා රෑ තමා. නැත්තම් පටන් ගත්ත පළවෙනි දවසේ හවස..
2005 කියන්නේ මම 7 වසරේ. ඒ නිවාඩු කාල ඉතින් උදේ කාලා එලියට බැස්සම අපිව හොයන්න පොලිස් විශේෂ කාර්යය බළකායෙන් දැම්මත් බැරි තත්වයක් තමයි තිබ්බේ (නෑ ඒ කාලේ අපි ගාව සෙල්ෆෝන් කියල තිබ්බේ නෑ). උදේම එක ගෙදරකට සෙට් වෙලා තමයි තීරණය කරන්නේ එදා දවසේ මොකද කරන්නේ කියල.
ගොඩක් වෙලාවට කරන්නේ පාරක හරි මෙහෙ පස්සහ මිදුලට හරි සෙට් වෙලා ක්‍රිකට් ගහන එක. එහෙමත් නැත්තම් සෑහෙන ඒරියා එකක් කවර් වෙන්න තිබ්බ පිහිල්ල පාරේ කැලේ හැංගිමුත්තම් කරන එක. මේක නම් ඉතින් හොයන්න ලේසි නෑ. ගස් උඩ, බිම, පඳුරු අස්සේ ඔක්කොම හොයන්න ඕනේ. එක පාරක් හැංගුනාම විනාඩි 15ක් වත් යනවා හොයන්න. ඕක පොඩ්ඩක් ඇඩ්වාන්ස් කරලා, බිම ටින් එකකට ගල් ටිකක් දාලා රවුමක් මැද්දේ තියලා තියනවා. හැංගිලා ඉන්න අය ටික ටික කිට්ටු කරලා කෙනෙක් ඕකට පයින් එකක් ගහපු ගමන් ආපහු ගේම් එක රීසෙට් වෙනවා.
එදා පිහිල්ල පාර අද.. ඔය ලයිට් කණුව කෙලින් එහා පැත්තේ පිහිල්ලක් තිබ්බා. පාර පළල් කරද්දී එක ඉවරයි.. |
කැලේ තිබ්බා කජු, හිඹුටු, දං එහෙම. තව කොකෝවා, කුරුම්බා, අඹ එහෙමත් හම්බෙනවා. ගෙදරක නම් ඉන්නේ එහෙනුත් ඔය මොන මොනා හරි හම්බෙනවා ආමාශගත කරගන්න. ඒ නැතත්, ළඟ කඩයක් තිබ්බා එකෙන් 5 බයිට් පැකට් එකක් හරි රුපියලේ, රුපියල් දෙකේ, රුපියල් 5 අයිස් (නෑ නෑ මත්ද්‍රව්‍ය නෙවේ) පැකට් එකක් දෙකක් ගත්තම ඉතින් දවල් කෑම වෙනකල් ඇති.
ඒ දවස් වල රතිඤ්ඤා, අහස්කූරු එහෙමත් දැනට සාපේක්ෂව සෑහෙන්න ගණන් අඩුයි. ඕවා අරං ඇවිත් පොල් කටු, ටින් එහෙම අස්සට දාලා පත්තු කරනවා. පිහිල්ල පාර තිබ්බේ වෙළ අද්දර. ඒ නිසා ගෙවල් වලට වත් කොහේටවත් වදින්නේ නැතුව, අපිත් පරෙස්සම් වෙලා ඕවා කරන්න පුළුවන්. රතිඤ්ඤා එහෙම ටයිම් කරලා පුපුරවන්න, ෆියුස් එක ඩිලේ කරන්න ක්‍රම අපි ගාව තිබ්බා. ඒ නිසා අතේ පුපුරන ප්‍රශ්න අපිට තිබ්බෙම නෑ.
![]() |
මෙන්න දැන් තියන රතිඤ්ඤා... නූල අඟලක් වත් නෑ.. |
දැන් ළමයි (අවුරුදු 20ක් කියන්නේ ඉතින් සෑහෙන කාලයක්, ඒක පිළිගන්න වෙනවා) සෑහෙන්න වෙනස් ඒ අතින්. එයාලගේ ලෝකේ තියන්නේ ෆෝන්, කම්පියුටර්, ටැබ්ලට් අස්සේ. මුන් අවුරුදු උත්සව තියන්නෙත් ඔන්ලයින්. යුද්ධ කරන්නෙත් ඔන්ලයින්. සැබෑ ජීවිතේ සෙට් උනොත් එකෙක් හරි කුඩු ගහනවා, නැත්තම් තූල් තියනවා. ඉතින් සෙට් වෙන්නත් බයයි. වැඩි හරියක් හිතාගෙන ඉන්නේ උන් පාතාලේ කියල. වරදක් කියන්න බෑ ඉතින්, මොකද ඒ ළමයි. එයාලව ඒ තත්වෙට පත් කරන්න වැඩිහිටියෝ සෑහෙන තරමකින් දායක වෙලා තියනවා.
![]() |
මේ තියන්නේ අද ළමයින්ගේ මානසිකත්වය පෙන්නන උදාහරණයක්. බිග් මැච් එකකට දාපු, ළමයින් විසින් "මොඩ්" කරපු රතිඤ්ඤයක් ඔතන්න යොදාගෙන තියන්නේ පාසල් පෙළපොත්.. |
මේ පාර අවුරුදු උත්සව ගැන ලියන්න දේකුත් නැහැ. මොකද මම ගිය එකම අවුරුදු උත්සවය දහම් පාසලේ එක. ඒ සේවයෙන් 2023 අග සමුගත්ත නිසා ආය එතනට මට යන්න බෑ නේ. ඒ නිසා දැන් අවුරුදු ගානක ඉඳන් අවුරුදු උත්සව ගැන ලියන්න දෙයක් නැහැ (2019 ඉඳන් අවුරුදු 3-4ක් තිබ්බේ නැහැ. 2024 තිබ්බා, ඒත් මම ගියේ නැහැ සේවයෙන් ඉවත් වෙලා නිසා).
![]() |
බහුකාර්යය උපකරණ භාවිතයෙන් ආහාර නිෂ්පාදනය හෙවත් ඩ්‍රිල් බීටිං.. |
මේ පාර හැබැයි අපේ දිහා අවුරුදු කෑම නම් ටිකක් හැදුනා. ඒ කාලේ අත්තම්මා ඉද්දි නම් මුං කැවුම්, කොන්ඩ කැවුම්, කොකිස් (විශේෂයෙන් මට), තව අනංමනං කීපයක් ම හදනවා. අත්තම්මා නැති උනත් හරි ඒවා අභාවයට ගියා. අත්තම්මගේ කොකිස් රෙසිපි එක මට මතක තිබ්බට, කවදාවත් මට ඒ පදම අරගන්න බෑ. අත්තම්මා කොකිස් වලට බිත්තර දාන්නේ නැහැ. දෙපාරක් බදිනවා, ඊට පස්සේ ආය පොඟන්නේ නැහැ.
![]() |
අඟහරු කේක්.. |
ඒ ගැන කියද්දී, මට මතක් උනේ, අපිට කොච්චර දේවල් ඒ පරම්පරාවෙන් අත්ඇරිලද කියල. ගොඩක් දේවල් කඩෙන් ගන්න පුරුදු වෙලා ඉන්න නිසා ඒ දැනුම පාස් කරගන්න කාටවත් ලොකු උවමනාවක් උනෙත් නැහැ. ඒ අතින් බැලුවම අපි වාසනාවන්තයි යම් තරමකට හරි. ඒ වගේම, මට 10ක්, 20ක් බාල පරම්පරාවල අය, අපි දන්න දේවල් වලින් උනත් දන්නේ කොච්චර පොඩ්ඩක් ද කියලත් මට හිතුනා. තල් කූරු කපාගෙන සරුංගලයක් හදනවා කිව්වම මගේ දිහා කට ඇරගෙන බලාගෙන ඉන්න පොඩි අය මට හම්බ වෙලා තියනවා. ඒ වගේම, සරුංගලයක් හැදුවා කිව්වම “වවුලෙක් ද මොණරෙක් ද, ඉබ්බෙක් ද, මාළුවෙක් ද” ඇහුවම “ඒ මොනවද ඒ” කියල අහන අයත් මට හම්බවෙලා තියනවා.
මේ අධ්‍යාපන රේස් එකත් ඒ ඛේදවාචකයට ලොකු දායකත්වයක් දීලා තියනවා. ඒ රේස් එක ගැන කිව්වොත්, දැන් දැන් ලංකාවේ කාර්යාල, ඉස්කෝල, සමාජ ජීවිතය කියන හැම පැතිකඩක් ම වහගෙන පැතිරෙන බව පේන්න තියනවා. “ඉක්මනට වැඩ කරන්න, ඉක්මනට පොහොසත් වෙන්න” කියන තදියම කොහෙන් හරි ප්‍රධාන ජීවන ඉලක්කය විදියට පෙන්නලා තියනවා.
අපි මතක තියාගන්න ඕනේ දේ තමයි, මනුස්සයා විතරක් නෙවෙයි, හැමෝම ජීවත් වෙන්නේ කාලා, වැඩ කරලා, නැහිලා යන්න නෙවෙයි කියන එක. මම මේ ටිකේම දකිනවා “ඉස්සර අවුරුදු කාලෙට තිබ්බ සතුට දැන් දැනෙන්නේ නෑ නේද” කියන කතාව. ඉතින් ඇත්ත නේ.. පහුගිය වාරේ ඉස්කෝලේ වැඩ කරපු විදියට මට තේරිලා තියනවා හොඳටම, යකෙක් පස්සෙන් පන්නන ගානට වැඩ කරද්දී තියන තත්වේ. ඇත්තටම එහෙම කරාම වෙන්නේ වැඩේ කාර්යය සාධනය පහල යන එක. මිනිස්සු හොඳටම වැඩ කරන්නේ සතුටින් වැඩ කරද්දී.
ඒ ටිකත් එක්ක, ඔයාල අපි හැමෝටම ආපහු පරණ අවුරුදු සිරි විඳින්න ඕනේ නම්, කරන්න තියන ප්‍රධානම දේ හැටියට මගේ අදහසත් කියලා මම මේ අවුරුදු පෝස්ට් එක ඉවර කරන්නම්. පළවෙනි ම දේ, අපි මතක තියාගන්න ඕනේ මිනිස්සු ජීවත් වෙන්නේ වැඩ කරන්න නෙවෙයි, වැඩ කරන්නේ ජීවත් වෙන්න. ඒ නිසා කරන වැඩේ හිත නිදහසේ, තමන්ට පුළුවන් වේගෙන් හරියට කරන්න.
ඊළඟ දේ තමයි, සල්ලි හම්බ කරන එකම නෙවෙයි ජීවිතේ එකම වැඩේ. ජීවත් වෙන්න අවශ්‍ය තරමට හම්බ කරගන්න. හැබැයි ඒක ජීවිතේ එකම වැඩේ කරගන්න එපා.
අනික් එක තමා තමන්ට මොකක් හරි දෙයක් හොඳටම පුළුවන් උන පමණින්, අනික් කෙනෙක්ටත් ඒක එහෙමම පුළුවන් වෙන්න ඕනෙමයි කියල එකක් නැහැ. අපි මැෂින් වලින් වෙනස් වෙන්නේ අන්න එතැනදී. මිනිස්සු වාත්තු යකඩ නෙවෙයි නේ. ඒ නිසා හැමෝම එක අච්චුවට දාන්න යන්න එපා.
අන්තිම දේ, නීති දාලා, පන්නලා, ගහල බැනලා, මයික්‍රෝ මැනේජ් කරලා එපා කරවලා වැඩ කරගන්න බෑ මිනිස්සුන්ගෙන්. වැඩ හිතකාමී පරිසරයක් එක්ක, සතුටින් වැඩ කරන්න පුළුවන්, කෙරෙන කාර්යය ඇගයෙන තැනක තමා හොඳටම මිනිස්සු වැඩ කරන්නේ. ඒ නිසා, තමන්ගේ දියුණුව වෙනුවෙන් අනුන්ගේ සතුට විනාශ කරන්න එපා.
ඔන්න ඔය දේවල් ටික ට අපි හැමෝම අපේ වපසරිය ඇතුලත අනුගත උනොත්, ඉස්සර වගේම හිත නිදහසේ ගමේ හරි ගෙදර හරි ගිහිං, පවුලේ හරි තමන් ආදරේ කරන කෙනෙක් එක්ක හරි අවුරුදු සිරිය සතුටින් විඳලා ජීවිතේට සුන්දර මතක එකතු කරගන්න පුළුවන් වෙයි. ඒ දේ හැමෝටම ලැබේවා කියල මේ අවුරුද්දේ අවුරුදු ප්‍රාර්ථනාව හැටියට තියලා මම මේ සටහන ඉවර කරන්නම්..
එහෙම නම්, හැමෝටම
සතුටින් ගෙවෙන සුබ අලුත් අවුරුද්දක් වේවා!