![]() |
Nokia S30, Nokia S60, Android 9, iOS 16 |
මම මුලින්ම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්ත කාලේ තිබ්බ ඒවා ඇත්තටම “ෆෝන්” විතරයි. ඉන්ටර්නෙට්, වයර්ලස් චාජිං, රෙටිනා ඩිස්ප්ලේ අනංමනං තියා හරි හමං කැමරා එකක් වත් තිබ්බේ නැහැ. හැබැයි ඉතිං “සන්නිවේදනය” කියන මූලික අරමුණ නම් උපරිමයෙන් තිබ්බා. මම සෙල්ෆෝන් අතපත ගාන්න අරගෙන ගෙවුන දශක දෙක ඇතුලේ, මේ ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් දකින්න ලැබුනා.
මම ෆෝන් පටන්ගත්තේ නොකියා වලින්. පළවෙනි OS එක (මෙහෙයුම් පද්ධතිය) Nokia Series 30, එහෙමත් නැත්තම් කෙටියෙන් S30 (දැන් එන S30+ එක නෙවෙයි). හරිම සරලයි. අවශ්‍ය වැඩ ඔක්කොම වගේ තිබ්බා. මෙනු එක එහෙම ඇස් වහගෙන උනත් යන්න පුළුවන්. තව ඉතින් ඕකේ තිබ්බා මරු මරු වැඩත් (අර ටෝන් කම්පෝසර් එක, පික්චර් මැසේජස් එහෙම).. මලාට ක්‍රෑෂ් වෙන්නේ නෑ. අප්ඩේට් ප්‍රශ්න නම් කවදාවත් නෑ. ෆෝන් එක ඔන් කරලා විනාඩියෙන් කෝල් එකක් ගන්න හැකි. හොඳම කතන්දරේ තමයි බැටරි එක. මම යුස් කරපු විදියට, එක පාරක් ෆුල් චාජ් කරාම සතියක් ඇද්ද හැකි. සිග්නල් උනත් හොඳම තත්වෙන් තිබ්බා. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරේ නොකියා 1200.
![]() |
Nokia 1200 (මගේම වූ පළවෙනිම දුරකථනය.. තවම වැඩ) |
ඊළඟට මට හොඳටම සෙට් උන OS එක තමා Nokia Symbian Series 60, එහෙමත් නැත්තම් S60. ජාවා පාදක මෙහෙයුම් පද්ධතියක් උන මේක ඉතාම හොඳ, කාලයක් ලෝකේ ප්‍රසිද්ධම මෙහෙයුම් පද්ධතියක්. මේකේ විශේෂත්වය තමයි, ඉතාම අඩු බලයක හාඩ්වෙයා එක්ක උනත් බොහොම හොඳට දුවන්න පුළුවන් උන එක. GB ගණන් RAM අහල වත් තිබ්බේ නෑ ඒ කාලේ ෆෝන් වල. මෙගාබයිට් 128ක වගේ RAM මෙමරි එක්ක, අද කාලේ ස්මාට්ෆෝන් වලින් කරන්න පුළුවන් වැඩ උනත් ඒ කාලේ හැටියට සාර්ථකව කරගන්න පුළුවන් තරම් මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රබලයි. ඒ වගේම, ගේම්ස්, ඇප්ලිකේෂන් එහෙම හොඳට තිබ්බා. ඩවුන්ලෝඩ් කරගන්න නෙට් ඕනේ උනාට, බහුතරයක් වැඩ කරන්න නෙට් ඕනේ උනේ නැහැ. ලේසියකට ක්‍රෑෂ් වෙන්නේ එහෙමත් නැති හොඳ, වැඩහිතකාමී මෙහෙයුම් පද්ධතියක්. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරා කීපයක්ම. වැඩියෙන්ම ඇල්ලුවේ නොකියා 6220c.
![]() |
Nokia 6220c (මගේ පළවෙනි "ස්මාට්" දුරකථනය.. මේකත් තවම වැඩ..) |
ඊට පස්සේ අපි ගොඩක් අයට සමීප OS එක උනේ Android. මම මේකෙන් ෆෝන් 3ක් පාවිච්චි කරා, ඒ වගේම කලින් ඒවා වගේ නෙවෙයි, මේකේ ළඟ ළඟ සංස්කරණ යාවත්කාලීන වෙන නිසා, එයින් කීපයක්මත් පාවිච්චි කරා. හැබැයි මුල් කාලේ මට ඔය මෙහෙයුම් පද්ධතිය ඇල්ලුවෙම නැහැ. අර කලින් දෙකේ තිබ්බ “ලේසිය, පහසුව සහ රිලයබිලිටි එකත් එක්ක ආපු සරල බව” නැති වීම කියන කතාව මට ටිකක් තදින් දැනුනා. ආපහු එකක් එක දිගට යූස් උනේ මේ ලඟදි, මට යාලුවෙක්ගෙන් හම්බවෙලා, රිපෙයාර් කරලා ගත්ත ෆෝන් එකක් නිසා. හැබැයි ඒ පාවිච්චි කරද්දී මට තේරෙන්න ගත්තා ඉස්සරට වඩා දැන් මේ OS එක සෑහෙන්න පොලිෂ් වෙලා කියලා. සංකීර්ණ බව නම් වැඩි වෙලා, හැබැයි කලින්ට වඩා මගේ විදියට හැඩගස්වගන්න පුළුවන් කියල මට තේරුනා. මෙතන මගේ අත්දැකීමට පාදක උනේ Android 9 සංස්කරණය උඩ දුවන නොකියා 8.
![]() |
Nokia 8 (මේක නම් මම ගත්ත එකක් නෙවෙයි, අක්‍රීය තත්වයෙන් මට ඇවිත්, දැන් ඉගෙනගන්න ගමන් පාවිච්චියේ) |
අන්තිමට, අද කාලේ තවත් ඉතාමත් ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියක් වෙන, iOS, එහෙමත් නැත්තම් Apple සමාගමේ iPhone වලට එන මෙහෙයුම් පද්ධතිය. මේකෙත් මම මුලින්ම පටන්ගනිද්දී තිබ්බේ 9 සංස්කරණය. එතන ඉඳන් මම දැන් මේ යූස් කරන 16 වෙනකල් හැම එකක්ම වගේ මම හොඳටම පාවිච්චි කරා. කලින් දෙක වගේ නෙවෙයි, මේක ක්ලෝස්ඩ් සෝස් (ඒ කියන්නේ මුල් කේත සටහන නිදහස් නැහැ). ඒ වගේම, මේ OS එකට ෆෝන් හදන්නේ ඇපල් එක විතරයි. එක අතකට ඒ නිසා වැඩ කරන්න සෑහෙන ලේසි, මොකද හාඩ්වෙයා හදලා තියන්නේ මේකට ගැලපෙන්න නිසා. මේකෙත් රිසෝසස් පාවිච්චිය ඉතාම හොඳයි. 128GB වලින් 1GB වලටත් අඩුවෙන් ෆ්‍රී තියද්දීත් සෑහෙන තරමක වේගයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, විශ්වාසී, ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධතියක්. මේකෙත් මම ෆෝන් කීපයක්ම පාවිච්චි කරා. මෙතන දාලා තියන්නේ අයිෆෝන් SE2.
![]() |
Apple iPhone SE2 (අන්තිමටම ගත්ත දුරකථනය. දැන් දුවන්නේ මේක) |
මම මෙතන මේ හතරෙන් හොඳම OS එක මොකද්ද කියලා නෙවෙයි කියන්න උත්සාහ කරේ. මට වඩාත්ම ගැලපුනේ, පහසු උනේ මොකද්ද, මගේ අත්දැකීම මොකද්ද කියන එක. අපි හැමෝම ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. ඒ නිසා, එක්කෙනෙක්ට හරියන OS එක තව කෙනෙක්ට හරි නොයන්න පුළුවන්.
මම උනත් ඔය අතරට Windows phone, Series 30+, Series 40 වගේ අනික් OS එහෙමත් විටින් විට පාවිච්චි කරා. හැබැයි මට අදටත් හොඳටම ගැලපුනා සහ ගැලපෙනවා කියල මට තේරෙන්නේ නොකියා S60 ෆෝන් එක. කාලයට අනුව iPhone එකක් මම පාවිච්චි කරනවා ලොකු ගැටළුවක් නැතුව. හැබැයි දැන් තියන එකෙන් පස්සේ iPhone පරිණාමය උන දිශානතිය (සහ ගණන්) එක්ක බැලුවම, බොහෝ දුරට මගේ ඊළඟ තේරීම Android එකක් වෙන්න ඉඩ සෑහෙන්න තියනවා.
ප.ලි - මා සතු වූ තෙලබණු මැයෙන් කලෙකට පෙර ලියැවුණු සටහනකට මෙතැනින් පිවිසිය හැකියැ..