Sunday, September 28, 2025

ධූමරථයේ අතීතාන්දරය..

           මෙයට සියවස් දෙකකට පෙර, එනම් 1825 වසරේ, එවකට මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක්ටන් සහ ඩාලිංටන් අතර, ලෝකයේ පළමුවන දුම්රිය සේවාව ආරම්භ විය. මෙම සටහන, ඒ පිළිබඳව සහ ලාංකේය දුම්රිය වංශකතාවේ මුල් පියවර ගැනයි..

          මෙයට ශතවර්ෂ දෙකකට පෙර කාලය වනවිට, කාර්මික යුගය ආරම්භ වී තිබුනා පමණි. වාෂ්ප එන්ජින් වල කලඑළි බැසීමත් සමගම නිෂ්පාදන සීඝ්‍රතාවය ඉහල ගිය නමුත්, ප්‍රවාහනය පැවතියේ තවමත් ඉතාමත් ප්‍රාථමික මට්ටමකය. ඇල මාර්ග සහ ගංගා මගින් දිගු දුර ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වූ අතර, ගොඩබිම් ප්‍රවාහනය අශ්ව කරත්ත සහ පයින් සිදු විය.

          මෙහි විප්ලවීය වෙනසක් සිදු කරන්නට, රිචර්ඩ් ට්‍රේවිතික්, ජෝජ් ස්ටීවන්සන් ආදී චින්තකයන් ක්‍රියා කලහ. විශේෂ මාර්ගයක එලූ යකඩ (පසුව වානේ) පීලි මත ධාවනය වන, අධි පීඩන වාෂ්පයෙන් බල ගැන්වූ යන්ත්‍ර මූලාකෘති මෙකල අත්හදා බැලීම සිදු විය.

          1821 වර්ෂයේ, බ්‍රිතාන්‍යයේ  ව්‍යාපාරිකයෙකු වූ එඩ්වර්ඩ් පීස් විසින්, බ්‍රිතාන්‍ය  පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ඉදිරිපත් කරන්නේ ඩාලිංටන් අවට පිහිටි පතල් ආදියෙන් යුතු කාර්මික ජනපද, සැතපුම් 27ක දුම්රිය මාර්ගයක් (එකල මේවා “ට්‍රෑම් වේස් - Tram ways” ලෙස හැඳින්වුනි) මගින් ස්ටොක්ටන් හිදී ටීස් ගංගාව සමග සම්බන්ධ කිරීමටයි. 

මුල් මාර්ගයේ සිතියම 
(සේයාරු අනුග්‍රහය - විකිපීඩියා වෙබ් අඩවිය) 

           මෙහි ප්‍රධාන ඉංජිනේරු තැන ලෙස කටයුතු කලේ, ජෝජ් ස්ටීවන්සන් මහතා ය. සම්මත ආකාරයේ පාසල් අධ්‍යාපනයක් හෝ විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු උපාධි ආදිය නොතිබුණු නමුත්, වාෂ්ප එන්ජින් සමග කටයුතු කිරීමෙන් සහ ඒවා අලුත්වැඩියාවෙන් ලත් දැනුම නිසා, වාෂ්ප දුම්රිය එන්ජින් සංකල්පය පිලිබඳ මනා නිපුණතාවයක් අත්කරගෙන සිටි ඔහු, මුලින්ම අශ්වයන් මගින් ධාවන කටයුතු සිදු කිරීමට සැලසුම් කොට තිබුණු මෙම මාර්ගය, වාෂ්ප දුම්රිය මගින් සේවා ධාවනයත්, මගී ප්‍රවාහනයටත් සුදුසු වන සේ නැවත සැලසුම් කරවීමට සැලසුම්කරුවන් පෙළඹවීය. 


ජෝජ් ස්ටීවන්සන් මහතා 
(සේයාරු අනුග්‍රහය - විකිපීඩියා වෙබ් අඩවිය)

           ඉදිකිරීම් සඳහා වසර හතරක් ගත වූ කාලයේ දී, මෙම මාර්ගයේ ධාවනය සඳහා සුදුසු දුම්රිය ඇන්ජිමක් නිපදවීම ජෝජ් ස්ටීවන්සන් මහතා සහ ඔහුගේ පුත්‍රයා වන රොබට් ස්ටීවන්සන් විසින් ආරම්භ කල සමාගමක් මගින් සිදු කරන ලදී. “ලෝකොමෝෂන්” ලෙස නම් කල එම එන්ජිම, අද අප දකින ආකාරයේ වාෂ්ප දුම්රිය එන්ජිමකින් මෙන්ම, ඊට පෙර එංගලන්තයේ නිපදවුණු එන්ජින් වලින් ද, බොහෝ වෙනස් විය.

          මෙම එන්ජිමේ සිලින්ඩර් දෙකක් තිබුණු අතර, ඒවා බොයිලර් බැරලය තුලම පිහිටුවා තිබුණි. රිචර්ඩ් ට්‍රේවිතික් අනුගමනය කල ක්‍රමය වන ජව රෝදයක් (Fly wheel) මගින් ජවය සම්ප්‍රේෂණය කිරීම, මේ නිසා අවශ්‍ය නොවීය. ඈදුම් දඬු (Coupling rods) මගින් පිස්ටන රෝද හා සම්බන්ධ කෙරුණි. එමෙන්ම, මෙම එන්ජිමට බලය සැපයීම සඳහා ගල් අඟුරු දහනයෙන් නොව, ගල් අඟුරු නිර්වායු තත්ත්ව යටතේ රත් කිරීමෙන් සෑදෙන “කෝක් (Coke)” නම් ඉන්ධනය යොදා ගැනුනි. 

ලෝකොමෝෂන් - 1 එන්ජිම 
(සේයාරුව - Railway Archives United States පිටුව)

           වර්ග අඟලට රාත්තල් 50ක බොයිලේරු පීඩනයක් සහිතව, පැයට සැතපුම් 15ක ධාවන වේගයක් තිබුණු මෙම දුම්රිය එන්ජිම, අදටත් එංගලන්ත දුම්රිය කෞතුකාගාරයේ සුරක්ෂිතව ඇත. 1975 වසරේ දී මෙහි සර්ව සම ආකෘතියක් තනනු ලැබූ අතර, එය අදටත් ප්‍රදර්ශනාත්මකව ධාවනය වේ.

          1825 සැප්තැම්බර් 27 වන දින සිට සේවා කටයුතු ආරම්භ කල ස්ටොක්ටන් - ඩාලිංටන් දුම්රිය සේවය, ලොව ප්‍රථම මගී සහ භාණ්ඩ දුම්රිය සේවාව ලෙස සැලකේ. එවක ප්‍රසිද්ධ වූ ඇල මාර්ග වල ආකෘතිය අනුව, පාලනාධිකාරිය වෙත ගාස්තු ගෙවා, මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රයෝජනයට ගැනීමට මහජනයාට සහ සමාගම් වලට අවස්තාව ලැබුණි. අනතුරුව බිහි වූ සෑම සියලු දුම්රිය සේවාවකටම මූලාරම්භය සැපයූයේ, මෙකී ස්ටොක්ටන් - ඩාලිංටන් දුම්රිය මාර්ගයයි.

          මෙම කාලය වනවිට ලංකාව බ්‍රිතාන්‍ය යටත්විජිතයක් බවට පත් වී ගත වී තිබුනේ යන්තම් දශකයක් පමණි. මෙම කාලය වන විට ලංකාවේ වැවිලි කර්මාන්තය ව්‍යාප්ත වෙමින් පැවති යුගයයි. කඳුකරය බ්‍රිතාන්‍යය සතු වීමත් සමගම, මහාමාර්ග ඉදිවීමෙන් තවත් දිරිලත් මෙකී වගාව උඩරට කඳුකරය වෙත සීඝ්‍රයෙන් ව්‍යාප්ත විය. එවක ආණ්ඩුකාර එඩ්වර්ඩ් බාන්ස් මහතා, එංගලන්තයේ පෙර කී දුම්රිය සේවාව විවෘත වූ 1825 වසරේදී ම, පෞද්ගලිකව කෝපි වගාවක් ආරම්භ කළේය.

          කෙතෙක් මංමාවත් ඉදි කලද, කරත්ත සපයාගැනීමේ දුෂ්කරතාවයත්, තිබුණු මහාමාර්ග පද්ධතිය අධික භාවිතය හමුවේ අබලන් වීමත්, වර්ෂා කාලයේ ගමන්බිමන් ඉතාමත් අපහසු වීමත්, යහපත් තත්ත්වයන් යටතේ වුවත් කොළඹ - මහනුවර ගමන් කාලය පැය 10 ඉක්මවීමත් ආදී කරුණු මත, ලක්දිව කොළඹ - මහනුවර අතර දුම්රිය මාර්ගයක අවශ්‍යතාවය ඉස්මතු විය.

          ඒ අනුව, දිවයින ඉංග්‍රීසි යටත් විජිතයක් බවට පත් වී දශක දෙකකට පසු, ලන්ඩනයේ දී “ලංකා දුම්රිය සමාගම (Ceylon Railway Company)” යනුවෙන් සමාගමක් ලියාපදිංචි කෙරුණි. ප්‍රාග්ධනය පවුම් දශ ලක්ෂයක් වූ අතර, ලංකාවේ හිටපු යටත් විජිත ලේකම්වරයකු වූ ෆිලිප් ඇන්ට්ස්ටෘතර් (Philip Anstruther) මහතා සභාපති ලෙස පත් විය. ලන්ඩනයේ බ්‍රෝඩ් වීදියේ අංක 8 දරණ ලිපිනයේ සමාගම් කාර්යාලය පිහිටුවන ලදී. 

ලංකා දුම්රිය සමාගම ආරම්භ කිරීම පිලිබඳ නිවේදනය 
(සේයාරු අනුග්‍රහය - මිත්‍රයකු විසින් ෆේස්බුක් අඩවිය වෙත යොමු කර තිබුණි)

           මෙකී සමාගමේ අරමුණ වූයේ, කොළඹ සිට කඳුකරය (මහනුවර) වෙත ලාබදායී ප්‍රවාහන සේවාවක් ලෙස, දුම්රිය මාර්ගයක් ඉදිකිරීමයි. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල ලෙස සැතපුමකට පවුම් 6000ක් ලෙස ගෙන, පවුම් දශ ලක්ෂයක මුදලක් නිවේදනය කෙරුණි. වසරක අවෑමෙන්, 1846 දී, සමාගමේ ප්‍රධාන ඉංජිනේරු තැන ලෙස, තෝමස් ඩ්‍රෙන් (Mr. Thomas Drane) මහතා ලංකාවට පැමිණ, මාර්ගය සඳහා ප්‍රවේශ සොයාබැලීමට මිනුම් කටයුතු ආරම්භ කළේය. 

ලංකාවට ගෙන ආ පළමු දුම්රිය ඇන්ජිම මාර්ගයේ ඉදිකිරීම් අතරතුර 
(සේයාරුව ෆේස්බුක් අඩවියෙන් උපුටාගන්නා ලදී. ෆේවියල් එකතුවෙන් විය යුතු ය. ෆේවියල් යනු කොළඹ - මහනුවර මාර්ගය ඉදිකිරීම් භාරව සිටි කොන්ත්‍රාත්කරු ය.)

 

          ප්‍රවේශයන් කිහිපයක් ඔස්සේ සැලසුම් යෝජනා වී, වර්ෂ 1858 අගෝස්තු මස 3 වන දින ඉදිකිරීම් ආරම්භ වූයේ අඹේපුස්ස දක්වා ය. එතැන් සිට මහනුවර දක්වා දුම්රිය මග ඉදිකිරීමේ කටයුතු, මෙම සටහනේ සීමා ඉක්මවා යන, ගැඹුරු විමර්ශනාත්මක සටහන් පෙළක් වන බැවින්, වර්ෂ 1865, එනම් එංගලන්තයේ පළමු දුම්රිය සේවය ආරම්භ වී දශක 4කට පසු ලංකාවේ පළමු දුම්රිය සේවය ආරම්භ වූ බවත්, ඉන් දෙවසරක අවෑමෙන්, 1867 වසරේ දුම්රිය මහනුවර වෙත ලඟා වූ බවත් සටහන් කරමි.

          1864 වසරේ දී මෙම මාර්ගයේ ඉදිකිරීම් සඳහා, යථෝක්ත පිය- පුතු දේපල ආරම්භ කල එන්ජින් නිෂ්පාදන සමාගමේ නිෂ්පාදන අංක 1263 යටතේ නිෂ්පාදනය වූ වාෂ්ප එන්ජිමක් ආනයනය කරන ලදී. වර්ෂ 1905 පමණ වන තෙක් වාර්තා සොයාගත හැකි එම එන්ජිමට පසු ද, කිහිප වතාවක් එම ස්ටීවන්සන් ලෝකොමොටිව් වර්ක්ස් (Stephenson Locomotive Works) සමාගමෙන් එන්ජින් ආනයනය කිරීම සිදු විය. වර්තමානයේ ධාවන තත්වයෙන් ඉතිරිව ඇති B1D  පන්තියේ අංක 340 එන්ජිම ද, මෙම සමාගමේ නිෂ්පාදනයකි. 

B1D - 340 එන්ජිම වර්තමාන ද්‍රවශක්ති ධාවනාගාරයේ දී 
(සේයාරුව මා විසින් ගන්නා ලදී) 

 

          1825 සිට 2025 දක්වා කාලය තුල, හුදෙක් කර්මාන්ත අමුද්‍රව්‍ය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ආරම්භ වී, ලොව පුරා පැතිරී ගිය දුම්රියේ කතාන්දරය, වාසනාව, අවාසනාව, ඛේදජනක අනතුරු, ජයග්‍රහණයන්, ඉංජිනේරු ශිල්පයේ මතු නොව මානව සමාජ ප්‍රගමනයේ පැතිකඩක් නිරූපණය කෙරෙන මහා අන්දරයකි. දුම්රිය වනාහී තවත් එක් ප්‍රවාහන මාධ්‍යයක් නොව, විවිධ අතට අතු විහිදා වැඩුනු මහා වෘක්ෂයක් වැනි ය. ඒ පිලිබඳ වෙනම සාහිත්‍යයක්, ඉංජිනේරු ශිල්පයක්, ඉතිහාසයක්, සංස්කෘතියක්, සමාජයක් ඇති ය. එකී දුම්රිය වංශකතාවේ දෙසිය වසරක ඉතිහාසයෙන්, වසර 180ක් පමණ පුරාවටම ලාංකාවේ නම ද සඳහන් වේ.

          දුම්රිය විසින් ඇති කල සමාජීය, ආර්ථික, තාක්ෂණික විප්ලවය මෙතෙකැයි කියා නිම කල නොහැකිය. එය තවමත් අවසන් නොවූ, අනවරත විප්ලවයකි. අඟුරු කකා වතුර බිබී දිව ගිය යකඩ යකා ද, කාලයට ඔබින අයුරින් පරිණාමය වී ඇත්තේ, වර්තමාන පරම්පරාවල් විසින්, එම “දුම්රිය” යන නාමයේ අර්ථය ද ප්‍රශ්න කරන තරමට ය. මීට වසර දෙසියයකට පෙර, ඩාලිංටන් සිට ආරම්භ වූ දුම්රිය ගමන, ලෝකයේම ගමන්මග වෙනස් කල, අනුස්මරණීය ගමනක් වන්නේ එම නිසා ය..