තවත් අවුරුද්දක් ඉවරයි.. හැබැයි මේ අවුරුද්ද නම්, අර “අනේ අම්මෝ ඇති යන්තම් ඉවරයි” කියල අවසාන කරන්න පුළුවන් අවුරුද්දක්. වෙච්ච දේවල් නම් කෙළවරක් නෑ. සුබ - අසුබ දෙකම තිබ්බා උනාට, මගේ පැත්තෙන් ගත්තොත් නම් අසුබ තමා සෑහෙන්න වැඩියෙන් තිබ්බේ.
1969 ඉඳන් මහනුවර දකින්න පුළුවන් උන W පන්තියත් ආය මහනුවර දකින්න වෙන්නේ නෑ. මම ආසම තව දෙයක් ඒ විදියට නැති වෙලා ගියා..
ජනවාරි මාසේ පටන් ගත්තෙම අම්මා අසනීප වෙලා ඉස්පිරිතාලේ නවත්තන්න වෙලා. ඒ ප්‍රශ්න එක්ක, අම්මා එක්ක හිටිය මගේ එකම සොහොයුරිය ස්ථිර පදනම යටතේ අපේ ගෙදරට ආවා. අම්මා සනීප වෙද්දීම, අප්පච්චිට අසනීප උනා.
අවුරුද්ද ඔහොම පටන් ගත්තම ඉතින් ඉස්සරහ මොන වගේ වෙයි ද කියල හිතාගන්න එක නම් එච්චර අමාරු උනේ නැහැ. ඔය අහු අස්සේ ඉස්කෝලෙත් කෙළවරක් නැති වැඩ. පහුගිය අවුරුද්දට අදාළ වාර විභාග, ඊට පස්සේ ක්‍රීඩා උත්සව, පිරිත් අනංමනං එක දිගට සෙට් උනා.
අපේ
හවුස් එකේ මාචින් ස්කොඩ් එක. මොන තරම් කැපවීම් කරත්, අහක යන මරාල නිසා සහ
අසාධාරණය නිසා දේවල් අහිමි වෙනවා කියන එක ළමයින්ටයි මටයි ප්‍රායෝගිකව පහදපු
අවස්තාවක්.
ඉස්කෝලේ පිරිත. මේ පාර 50 වෙනි වතාවට නිසා තරමක් ලොකුවට නමුත් සාර්ථකව සිද්ධ උනා..
ඒ වගේම, මහනුවර ආදී විවාදක සංගමය ආපහු පණ ගහලා පටන් අරගෙන තියන නිසා, ඒකෙන් සෑහෙන්න වැඩ කොටසකුත් සිද්ධ උනා. විවාද වැඩමුළු, තරග සංවිධානය/ විනිශ්චය, ඒ වගේම අවුරුද්ද අන්තිම කාලේ සාමාන්‍ය පෙළ ළමයින්ට නොමිලේ මාර්ගගත විෂය මග පෙන්වීම් වැඩසටහනක් වගේ හොඳ වැඩ කොටසක් කරන්න පුළුවන් උනා.
අසනීප අනංමනං කරදර අස්සේ උන එක දෙයක් - පවුලේ හතර දෙනා අලුත් අවුරුද්දකට හම්බුන එක..
මේ පාර සිංහල අලුත් අවුරුද්දට උනත් ලොකු නිවාඩුවක් කියල එකක් ලැබුනේ නැහැ මුලින්. හැබැයි, දළදා මාලිගාවේ තිබ්බ දළදා ප්‍රදර්ශනයේ ආනුභාවයෙන්, වැඩ එක්ක හෙම්බත් වෙලා හිටිය මහනුවර අපිට නම් සති දෙකක් වගේ ගෙවල් වලට ගාල් වෙන්න පුළුවන් උනා. මම නම් දළදා වඳින්න ගියෙත් නැහැ, ගිය අය කාපු කටු දැකලා ගෙදරට වෙලා හිටියා.
මේ
අපේ ෆැකල්ටි හෙඩ් තුමිය.. අනුත්තරා අක්කා. ඉස්කෝලේ මට හම්බුන හොඳම
මිතුරියක් වගේම ෆැකල්ටි හෙඩ් කෙනෙක්.. අප්‍රේල් මාසේ ගිහිං හම්බෙලා කයියක්
දාලා ආවා..
දෙවැනි වාරේ කියන්නේ අපේ ඉස්කෝලේ තරමක් නිහඩ කාලයක් උනත්, මේ පාර ඒ වාරෙත් සෑහෙන වැඩ හිටියා. මම මේ අවුරුද්දේ පන්තියක් බාර ගත්තේ නැහැ, මොකද ගිය අවුරුද්දේ බාර ගත්ත 11 වසරේ පන්තියේ වැඩ ඉවර උනේ මේ අවුරුද්දේ මාර්තු වල එයාලා සාමාන්‍ය පෙළ ලියපු එකෙන් නිසා.
2024 අවුරුද්දේ 11G පන්තිය. මේ එයාලා සාමාන්‍ය පෙළ විභාගයට යන්න කලින්.. වැඩ කරපු හොඳම පන්ති වලින් එකක්..
තෙල්දෙණිය
මහා විද්‍යාලයේ විද්‍යා හා තාක්ෂණ දිනය. මේකේ තිබ්බ අන්තර් පාඨශාලයීය ජල
රොකට් තරගයෙන් අපේ විද්‍යාලයේ කණ්ඩායම පළමු ස්ථානය ලබාගත්තා.
හැබැයි එහෙමයි කියලා, අපේ ඉස්කෝලේ වැඩ වලින් අඩුවක් තිබ්බේ නැහැ. රෙකෝඩ් බුක් ලියන්න, පේපර් හදන්න, පේපර් බලන්න, එක්සෑම් ඩියුටි ඉන්න, පොත් පරීක්ෂා කරන්න වගේ නොයෙක් වැඩ තිබ්බා. ඒ අස්සේ අපේ පාසලේ කෘත්‍රිම බුද්ධිය සහ ඒ ආශ්‍රිත වැඩ කටයුතු වලට ළමයින්ව පුහුණු කරන්න විද්‍යාගාරයක් හැදුවා. ඒකෙ වැඩසටහන් සම්බන්ධවත් කටයුතු කරන්න ලැබුනා.
AI විද්‍යාගාරය විවෘත කිරීමේ උත්සවයේ අවස්ථාවක්
මේ මෝටර් යාන්ත්‍රික සංගමයේ ළමයි ටිකක් පටන්ගත්ත වැඩක්. දැන්නම් සෑහෙන්න වැඩ ඉවරයි.
ඔය අතරේ ළමයින්ව විවිධ වැඩසටහන් වලට ඉස්කෝලෙන් එලියට එක්කරගෙන යන්න, ඉස්කෝලේ විවිධ වැඩසටහන් සංවිධානය කරන්න එහෙමත් අවුරුද්ද පුරාවටම අවස්තාව හම්බුනා. ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික සංගමය බාරව ඉන්න නිසා, ඒ හා සම්බන්ධ වැඩසටහන් සහ ව්‍යාපෘති එක්ක කාර්යය බහුල වෙන්න උනා.
අනික් ඉස්කෝල අර දළදා ප්‍රදර්ශනයට වහලා තිබ්බ දවස් අල්ලන්න පැයක් වැඩිපුර වැඩ කරපු එකත් එක්ක, එයාලගේ සහ අපේ කාල සටහන් සමගාමී කරගන්න අදහසක් තිබ්බත්, අවුරුද්ද අග වෙනකොට ආපහු එතන විෂමතාවයක් ආව නිසාත්, දෙවෙනි වාරේ රජයේ ප්‍රශ්න පත්‍ර දීලා වෙච්ච කතන්දරත් එක්ක, මේ පාර අපි නොවැම්බර් මාසේ තුන් වෙනි වාර විභාගය තියමු කියල සැලසුම් කරලා තිබ්බා.
සෑහෙන කාලෙකින් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් බලාගන්න පුළුවන් උනා.
මහනුවර පොත් දැක්ම බලන්න වැඩිම වාර ගානක් ගිය වතාව මේ පාර වෙන්න ඕනේ. හතර වතාවක් ගියා දවස් 4ක..
අවුරුද්දට දෙපාරක් ලේ දෙන්න පුළුවන් උනා..
සාමාන්‍යයෙන් තුන් වෙනි වාර විභාගය තියන්නේ දෙසැම්බර් මුල. හැබැයි මේ පාර පාසල් සැලැස්ම අනුව අපේ විභාග තිබ්බේ නොවැම්බර් මුලට වෙන්න. ඒ නිසා, තුන් වෙනි වාරේ සෑහෙන්න අති ධාවනකාරී එකක් උනා. මම නම් කොහොම හරි මට බාර වෙලා තිබ්බ පන්ති වල සිලබස් ඉවර කරගත්තත්, අන්තිම පාඩම් කිහිපය සමහර ශ්‍රේණි වලට මගේ අතින් උනත් කෙරුණ විදිය ගැන මට ම සෑහීමක් තිබ්බේ නැහැ.
පශ්චාත් උපාධි වැඩසටහනේ සමාරම්භක උළෙල..
සුපුරුදු
පරිදි කොළඹ පොත් ප්‍රදර්ශනය බලන්නත් ගියා. මේ පාර ගියේ අන්තිම දවස් දෙකෙන්
එකක වගේ. අසනීප තත්වය නිසාත්, ගමන ෂුවර් නැති උන නිසාත් කාටවත් එන්න
කිව්වේ වත් නෑ මේ පාර.
දහම්පාසලේ ඉගෙනගත්ත දෙන්නෙක් මාව කඨින පෙරහැරටත් ඇදගෙන ගියා..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුහුණු වැඩමුළුව.. මේ ප්‍රතිසංස්කරණ නම්................
පාසලේ යාන්ත්‍රික තාක්ෂණවේදය ඉගෙනගන්න ළමයි ටික රත්මලාන දුම්රිය කර්මාන්තශාලා පරිශ්‍රයට ක්ෂේත්‍ර චාරිකාවක් අරගෙන ගියා.
විභාග ඉවර වෙලා අපිට පිළිතුරු පත්‍ර අරගෙන ගෙවල් වලට යන්න කියලා, ඉස්කෝලේ නිවාඩු දුන්නා. හැබැයි ඒ නිවාඩුව, 2004 දෙසැම්බර් නිවාඩුව වගේ ම රටේ හැමෝටම වගේ ඉතාම අවාසනාවන්ත කාලයක් බවට පත් උනා. කොටින්ම කිව්වොත්, නිවාඩු අරගෙන ගෙදර ගිය සමහර ළමයි, ගුරුවරු, ඒ නොවැම්බර් මාසේ ඉවර වෙනකොට කිසිම සමුදීමකින් තොරවම අපෙන් සමු අරගෙන ගිහිං..
නොවැම්බර්
28 වෙනිදා උදේ වෙද්දී අපේ ගෙදර පල්ලෙහා තිබ්බේ මෙහෙම. ගෙලිඔය ටවුන් එක අඩි
35- 40 වගේ යට වෙලා තිබ්බා. ඒකෙන් විනාස උන සමහර කඩ එහෙම තාම ඇරලා නෑ.
මහපාර දිගේ බෝට්ටු එනවාත් දැක්කා පළවෙනි වතාවට.
මේ අවුරුද්ද ගෙවුන අධිවේගී, අතිධාවනකාරී විදිය එක්ක, කොහෙවත් යන්න වත්, අමතර මුකුත් කරන්න වත් ලොකු වෙලාවක් හම්බුනේ නැහැ. නංගි අවුරුද්ද අන්තිමේ නොවැම්බර් මාසේ නුවර එළියේ යමු කියල දත කට මැදගෙන හිටියත්, අන්තිමට සිද්ධ උනේ නුවර එළිය ගෙදරට ආපු එක.
ජනවාරි 1 - දෙසැම්බර් 31 අතර කාලය ගියපු විදිය එක්ක, මගේ සෞඛ්‍යය පැත්තෙන් උනත් එච්චර සුවදායක උනේ නැහැ. සේවය කරපු අවුරුදු 9ක කාලය තුල, අවුරුද්දකට වැඩිම නිවාඩු ප්‍රමාණයක් ගන්න උනේ මේ අවුරුද්දේ. එයින් සමහර ඒවා නොවැලැක්විය හැකි නිවාඩු. සමහර වෙලාවට, හිතේ තිබ්බ කලබල, කරදර එක්ක, දවසක් නිවාඩු ගත්ත වෙලාවල් තිබ්බා. පෞද්ගලික අංශයේ සේවක නිවාඩු පහුගිය අර්බුධ ආණ්ඩුවෙන් අඩු කරා නේ. ඒ මිනිස්සුන්ට ඒ කරපු දේ ට නම් හැම නියං කාලෙම වතුර ලැබෙන්න ඕනේ.
කොහොම හරි, මේ අවුරුද්දේ මට අලුත් දේවල් කිහිපයකුත් නොලැබුණා නෙවෙයි. එයින් පළවෙනි දේ තමා, අධ්‍යාපනික ගමන් මගේ තව පියවරක් ඉදිරියට තියන්න හැකි වීම. පශ්චාත් උපාධි අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ක එකතු වෙන්න පුළුවන් උනා මේ අවුරුද්ද අග. ඒකට මග පෙන්වපු අපේ ඉස්කෝලේ මම ප්‍රාථමික අංශයේ ඉන්න කාලේ ඉඳන් මට උගන්වපු රුචිර ගංගහගෙදර සරුත් දැන් ඉස්කෝලේ නැහැ.
නව සොයාගැනීම් - ඩ්‍රිල් එක එග් බීටරයක් ලෙස භාවිතා කර ලාවා කේක් සෑදීම.
ඒ වගේම, සෑහෙන කාලයක් බල බලා ඉඳලා, මගේම කියලා මෝටර් වාහනයක් අරගන්න පුළුවන් උනා. මේකට නම් සමහරු තාම බනිනවා, හැබැයි පහුගිය අවුරුද්දේ යෙදුන වැඩ එක්ක මට හොඳටම තේරුණ දෙයක් තමයි, හදිසියකට යන්න එන්න ෆුට් සයිකල් එකකට වැඩි යමක් තියෙන්න ඕනේ කියන එක.
පරණ ගමන් සඟයා සහ අලුත් යාලුවා..
ඒ ෆුට් සයිකල් එකත්, අවුරුදු 20ක වටිනා, ප්‍රශංසනීය සේවයක් සපයලා තාම ඉතාම හොඳ ධාවන තත්වයෙන් තියනවා. කෙටි ගමන් වලට හොඳ උනත්, දුර ගමන් වලට සහ හදිසි ගමන්බිමන් වලට ඒක නැවත සකසලා උනත් භාවිතයේ ප්‍රශ්න තියනවා.
ලියාගෙන යද්දී මතක් උන තව දෙයක් තමයි, මේ අවුරුද්දේ ඉලෙක්ට්‍රොනික් රිපෙයාර් වැඩ සෑහෙන්න තොගයක් කරන්න ලැබුනා. සමහර ඒවා ස්වේච්ජා සේවයක් විදියටත්, අනික් ඒවා මුදලටත් කරා. අපේ පැත්තට පහුගිය නොවැම්බර් 27- 28 ආපු ගංවතුරෙන් හානි උන, මගෙන් ඉගෙනගත්ත ළමයින්ගේ සහ එයාලගේ යාලුවන්ගේ කම්පියුටර්, ෆෝන් කීපයක් මම නොමිලේ අලුත්වැඩියා කරලා දුන්නා.
අලුත්වැඩියා කරන්න ආපු පරිගණකයක්.. ඉගෙනගත්ත ශිල්පයෙන් යමක් කරන්න පුළුවන් වෙච්ච එක ගැන සන්තෝසයි..
ගංවතුර ගැන නම් මම ලොකුවට කතා කරන්න කැමති නැහැ, මොකද ඒ ගැන ෆේස්බුක් එකෙයි අරහෙයි මෙහෙයි සෑහෙන්න කතා උන නිසා. හැබැයි එක දෙයක් කියල තියන්න ඕනේ. මොනම ස්වභාවික (හෝ වෙනත්) ව්‍යසන අවස්තාවක වත්, දුරකථන සේවා උඩ කිසිම විශ්වාසයක් තියන්න අමාරුයි කියල හොඳටම තේරුම් ගිය අවස්තාවක් තමයි ඒ.
කතාව සරලව කිව්වොත්, අපේ පැත්තට නොවැම්බර් නොවැම්බර් 25 (අඟහරුවාදා) පටන් ගත්ත වැස්ස, එක දිගට නොවැම්බර් 28 වෙනකල් වැස්සා. හැබැයි ගෙලිඔය ආශ්‍රිත පැති වලට නොවැම්බර් 27 රෑ වෙනකල් විදුලිය විසන්ධි උනේ නැහැ. ඒ උනෙත් ටවුන් එකට විතරයි. 27 වෙනිදා හවස 6.20ත් 25ත් අතර, ඩයලොග් සහ එයාටෙල් ජාල දෙකේම සංඥා නැති උනා (2G, 3G, 4G, wifi ඔක්කොම). මොබිටෙල්, හච් සහ එටිසලාට් ටික පහුවදා උදේ 8.30 වගේ වෙනකල් අල්ලාගෙන හිටියා.
මේකේ බරපතළකම කියන්නේ, ගෙලිඔය නගරයේ ඉඳන් කළුගමුව පාර දිගේ, ගෙලිඔය ඉවුර දිගේ සහ පස්සේ මහවැලි ගං ඉවුර දිගේ අය බහුතරයක් පාවිච්චි කරේ ඩයලොග්. මොකද ඒ හරියට මෑතක් වෙනකල් අනික් ජාල එච්චර සර්විස් තිබ්බේ නැහැ. ගෙලිඔය නගරය රෑ 7 වගේ වෙද්දී යට වෙන ගමන් තිබ්බේ.
අපිට රෑ 10 පහු වෙලා කොත්මලේ වාන් දොරටු ඇරෙනවා කියන පණිවිඩය ලැබුනා. ලැබුන ගමන් මට මතක් උනේ ඔය පැත්තේ ඉන්න මගෙන් ඉගෙනගන්න/ගත්ත ළමයි. හැබැයි ඒ පැත්තේ දන්න ඔක්කොගෙම නම්බර් ඩයලොග්. අනාගතය ඇද උන පාර සිග්නල් නෑ. ඉතින් පණිවිඩයක් යවාගන්න ක්‍රමයක් නෑ.
කොහොම හරි එක ගෙදරකට, අපි දෙගොල්ලොම දන්න වෛද්‍යවරියක් හරහා පණිවිඩය දීගන්න පුළුවන් උනා. ඒ පණිවිඩය හම්බ වෙලා විනාඩි 10ක් ඇතුලත ඒ ගෙදර සම්පූර්ණයෙන්ම යට වෙලා තිබ්බා. ඔය විදියට ජීවිත කීපයක් බේරගන්න මට දායක වෙන්න හම්බුනා.
ගංවතුරෙන් පසු ගඟ පාර.. මේ ඇවිල්ලා මහනුවර ආදී විවාදක සංගමයේ කීප දෙනෙක් එක්ක එයාලා අරගෙන ආව ආධාර ටිකක් දෙන්න ආපු ගමන්..
ඩයලොග්, එයාටෙල් ආපහු සංඥා හරියට හම්බුනේ 29 වෙනිදත් පහු වෙලා 30 වෙනිදා වගේ වෙද්දී. මේකට නිදහසට එක එක කතා කිව්වත්, මට නම් කියන්න තියන්නේ, මේ සමාගම් හැම එකකම අවසාන අරමුණ ලාබය. ඒක අපි හැමෝම හොඳට මතක තියාගන්න ඕනේ. අත්තාහි අත්තනෝ නාථෝ..
මේ ව්‍යසනයේ ප්‍රතිපලයක් විදියට, උඩරට දුම්රිය සේවය සහ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා නතර වෙලා තියන්නේ. රඹුක්කන ඉඳන් කඩුගන්නාව දුර්ගය හරහා පිවිසුම් මාර්ගය, පිළිමතලාව, උලපනේ, ඒ වගේම මාතලේ මාර්ගයේ උකුවෙල වගේ තව තැන් සෑහෙන ගානක දරුණු හානි සිද්ධ වෙලා. 1947 වර්ෂයෙන් පස්සේ හදපු පේරාදෙණිය පාළමත් විනාශ වෙලා. ඒ පාළම ගැන නම් තියන අලුත්ම ආරංචිය තමා, ඇද උන කණු කෙලින් කරලා, අවම වේග සීමාවක් යටතේ ධාවන කටයුතු පටන්ගන්න හැකි තත්වයක් තියනවා කියලා.
මැදින් ඇද වී, විනාශ වී ඇති පේරාදෙණිය දුම්රිය පාළම.
ව්‍යසනය වෙලාවේ මට පෞද්ගලිකව එක එක දේවල් වලට ලොකුවට මැදිහත් වෙන්න හැකියාවක් තිබ්බේ නැහැ. හැබැයි මේ පැත්තේ තත්වය වගේම රජයේ නිවේදන මම ඉතාම නිවැරදිව අදාළ තැන් වලට යොමු කරලා, සමහර සහන සේවා එහෙමත් සම්බන්ධීකරණය කරලා දුන්නා. විනාශ උන දුම්රිය සේවය යථා තත්වයට අරගන්න ස්වෙච්ජාවෙන් එකතු වෙන්න කැමතියි කියල අදාළ අංශ කිහිපයකට පෞද්ගලිකව අමතලා කිව්වත්, ප්‍රතිචාරයක් නොලැබුන නිසා ඒ අදහස අතැරලා දැම්මා.
සරසවි
උයන - මහනුවර ද්විත්ව මාර්ගය සෑහෙන තරමකට සම්පූර්ණයි. හැබැයි දැන් තියන
තත්වය යටතේ මේකේ දුම්රියක් ධාවනය කරන්න කවදා වෙයිද කියන්න බෑ.
ඒ වගේම, මේ අවුරුද්දේ මිනිස්සුන්ගේ තව පැතිකඩ කීපයක්ම අත්දකින්නත් පුළුවන් උනා. අනුන්ගෙන් අවංක බව, මානුෂීයත්වය, සාධාරණය, අවධානය වගේ දේවල් බලාපොරොත්තු වෙන ගමන්, ඒවා අනික් පැත්තට දෙන්නේ කීයෙන් කී දෙනාද කියන එක.
ඒ වගේම, අනික් පැත්තෙන්, මොනවා උනත් අපි එක්ක ඉන්න කීප දෙනෙක් හරි ඉන්නවා නේද කියන එකත්, එයාලා එහෙම ඉන්න එක කොච්චර හයියක් ද කියන එකත් තේරුම් ගන්න පුළුවන් උන අවුරුද්දක් තමා මේ අදින් ඉවර වෙන අවුරුද්ද.
මේ පෝස්ට් එක පටන් ගන්න මාතෘකාවක් කල්පනා කරද්දී, මට මුලින්ම ඔලුවට ආවේ මේ අවුරුද්දේ හෙන විතරයි නේද ගැහුවේ නැත්තේ කියන එක. ප්‍රසිද්ධ පුද්ගලයන්, අපි ආදරය කරපු කලා කරුවන් කාරිනියන් කිහිපදෙනෙක් ම අපි අතරින් වෙන් උනා. රිය අනතුරු, ස්වභාවික අනතුරු, සෞඛ්‍ය අනතුරු අනංමනං බර ගානක් එක්ක ගෙවුන මේ අවුරුද්ද අදින් කොහොම හරි ඉවරයි..
හෙටින් පස්සේ එළඹෙන 2026 අවුරුද්ද, හැම දෙනාටම වාසනාව ලඟා කරගන්න පුළුවන්, තමන් ඉන්න තැනින් සුබ, යහපත් පැත්තට අදියරකින් හරි ලං වෙන්න පියවර තියන්න පුළුවන් වෙන යහපත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අවසාන වශයෙන්!