Wednesday, October 9, 2013

ශතවර්ෂ පූර්ණය...


මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමයට ශතවර්ෂයක් සැපිරීම ව්‍යවහාර වර්ෂ දෙදහස් දහතුනක් වූ ඔක්තෝබර් මස 9 වන දිනට යෙදී තිබිණ.. මේ සටහන ඒ වෙනුවෙනි.....
           වර්ෂ එක්දාස් නවසිය දහතුනක් වූ ඔක්තෝබර් මස දිනයක ගරු විදුහල්පති ඒ.ජී. ෆ්රේසර් මහතා ගේ ධූර කාලය තුල ඇරඹුණු ත්‍රිත්ව විද්‍යාලයීය සිංහල සාහිත්‍ය සංගමය විවිධ වූ අභියෝග, බාධක, කරදර මෙන්ම ජයග්‍රහණ තුලින් සියවසක කාලයක් සිසු දරුවන්ගේ දැනුම, රසවින්දනය පෝෂණය කරමින් දිගු ගමනක් පැමිණියේය... එදා මෙදා තුර කාලයේදී එයැ ගොඩනැගීමට උරදුන්,  එහි ජයග්‍රහණ මෙන්ම පරාජයන් ද සමසිතින් දරමින් සිසුන් දිරිමත් කළා වූ ගුරු මහත්ම මහත්මීන්ද බොහෝය.. එම ගුරුපියවරුන් හා ගුරු මවුවරුන් ගෙන් කිහිප දෙනෙකුට උපහාර පිදීම වස් සහ මේ ශතවර්ෂ පූර්ණය සිහිකරනුවස් අදදින (2013/10/09) උත්සවයක් පැවැත්වීමට යෙදිනි...
සන්නස් පත්‍රය කියවමින්...
              මෙම උත්සවය ත්‍රිත්ව විදුහල් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට යෙදී තිබුනේ වාර්ෂික සිංහල භාෂා දින වැඩසටහනට සමගාමීවයි.. පස්වරු එකට යෙදී තිබුණු සුභ මොහොතින් ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය හේරත් දිසානායක මහතා, කුරුණෑගල බිෂොප් තුමා වන ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා සහ ගරු විදුහල්පති බ්‍රිගේඩියර් උදය ආරියරත්න මහතා අතින් පොල්තෙල් පහන් දැල්වීමෙන් ආරම්භ විය... 
කුරුණෑගල බිෂොප් තුමා වන ගරු ශාන්ත ෆ්‍රැන්සිස් පියතුමා පොල්තෙල් පහන දල්වමින්...


අමුත්තන් පිළිගනිමින්..

නර්තනාංගයක්..
ගාල්ල මහින්ද විද්‍යාලය විවාදය ආරම්භ කරමින්...

               මෙහිදී විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන තාර්කික බවේ මංපෙත් විවර කරන බුද්ධිමය මෙහෙයුම- "වාග් ප්‍රතිභා" විවාද තරඟාවලියේ අවසන් වටයේ තරඟය පැවැත්වීමට යෙදී තිබුණු අතර, මෙවර වාග් සටන් බිමට පිවිසියේ දකුණු ලක අගනුවර ප්‍රධාන පාසලක් වන ගාල්ල මහින්ද විද්‍යාලය සහ කන්ද උඩරට විද්‍යාර්තීන් වන විද්‍යාර්ථ විදුහලයි.. තියුණු තරඟයකින් අනතුරුව ගාල්ල මහින්ද විද්‍යාලය 2013 වසර සඳහා ශූරතාවය දිනාගනු ලැබුණි...

                    
මහනුවර විද්‍යාර්ථ විදුහලේ කණ්ඩායම ප්‍රති තර්ක ඉදිරිපත් කරමින්...
       එම තියුණු තරඟයෙන් අනතුරුව කුරුණෑගල බිෂොප් තුමා ඉතා හරවත් හා වටිනා කතාවක් කල අතර, සාහිත්‍යයේ අගයත්, වත්මන් ගුරු භූමිකාවේ තත්වයත් එයින් දැක්වුණි.. ඊට අමතරව, එතුමා අතින් අප සාහිත්‍ය සංගමයට විශිෂ්ට සේවයක් ඉටු කර, පාසලෙන් විශ්‍රාම ගොස් සිටින ගුරු මෑණිවරුන්ට හා පියවරුන්ට සමරු පලක ප්‍රධානයක් සිදු විය..
ගරු කුරුණෑගල බිෂොප් තුමා සභාව අමතමින්..
පිදිය යුත්තන් පිදීම ක්‍රියාවෙන් ඔප්පු කිරීම...

          මෙම කටයුතු අතර මුහුදු පුත්තු නාට්‍යයේ කොටසක්ද. හෙන්රි ජයසේන මහතාගේ හුණු වටයේ කතාව නාට්‍යයෙන් කොටසක්ද ආදී වශයෙන් නාට්‍යංගද, සිංහල භාෂා දින තරඟ වලින් ජයග්‍රහණය කල මධ්‍යම පළාතේ පාසල් වල සිසු සිසුවියන්ට සහතික පත් ප්‍රධානය කිරීම ද සිදු කෙරිණි..
ගරු විදුහල්පති, බ්‍රිගේඩියර් උදය ආරියරත්න මහතා සභාව අමතමින්...
                  
පැමිණ සිටි සිසුන් දෙමාපියන්, ගුරුබවතුන් ඇතුළු අමුත්තන්..

             මෙම උත්සවයේ ප්‍රධානාරාධිත මහාචාර්ය හේරත් දිසානායක මහතා විසින් සාහිත්‍යයේ අගය, සාහිත්‍ය සුරැකීම, භාෂාව කෙරෙහි ව්‍යාකරණයේ බලපෑම සහ වැදගත්කම ඇතුළු ඉතා පුළුල් පරාසයක කරුණු දැක්වීමක් සහිතව වටිනා දිගු දේශනයක් කළේය...

උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ, මහාචාර්ය හේරත් දිසානායක මහතා හරබර දේශනයක් ඉදිරිපත් කරමින්...

       මෙම උත්සවය මෙසේ අතිසාර්ථක අයුරින් පැවැත්විය හැකි වූයේ සාහිත්‍ය සංගමය මෙහෙයවන රන්දෙනිය ගුරු මෑණියන් ඇතුළු අනෙකුත් සියලුම ගුරුමණ්ඩලයේද, සභාපති ඇතුළු සියලු සිසුන්ගේද, ආදී ශිෂ්‍යන්ගේද එකමුතු කමින් සහ මහන්සිය නොබලා කල කැපවීම් රාශියක් තුලින් බව මා මේ අවස්ථාවේදී සිහි කල යුතුමය.
විශේෂ ස්තුතිය-


  •  ගරු විදුහල්පති තුමාට.. 
  • සිංහල සාහිත්‍ය සංගමයේ සියලු ගුරුභවතුන්ට..
  • සිංහල සාහිත්‍ය සංගමයේ  ගරු සභාපති ඇතුළු සියලු සිසුන්ට..
  • දිවා රෑ නොබලා මේ වෙනුවෙන් කැපවී වැඩ කල සියලු දෙනාට...
    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴

    මෙම උත්සවයට මටද ආරාධනා කල සියල්ලන්ටම මා ස්තුති වන්ත වන අතර, සිංහල සාහිත්‍ය සංගමයට දිගු ගමනක් යාමට මා ඉත සිතින් ආශීර්වාද කරමි.. සිංහල භාෂාව දෙවෙනි තැනට වැටී පර භාෂා නැගී එන අවදියක ඉතා සාර්ථක අයුරින් මෙවැනි තරඟ ඇතුළු වැඩසටහන් රාශියක් දියත් කරමින් දිවයිනට වැඩ දායි පුද්ගලයින් බිහිකිරීමට උර දෙන ඒ විශිෂ්ට මෙහෙවරට මාගේ ශීර්ෂ ප්‍රණාමය........                   
                                                                 


                                             

10 comments:

  1. ත්‍රිත්ව විද්‍යාලයේ මගේ ඥාති සොහොයුරන් කීප දෙනෙක් ඉගෙන ගත්තා. ඒ දවස්වල නම් සිංහල භාෂාවට ඔය තරම් තැනක් තිබුණු බවක් මතක නෑ. එයාලා සිංහල කතා කලෙත් නෑ.

    දැන් නම් තත්වය ගොඩක් වෙනස් වගේ. ලඟදි මෙයාලගේ බෙර කණ්ඩායමක් තියෙන බව (නැට්ටුවොත් එක්කම ) දැනගත්තා. ගොඩාක් සතුටුයි. රට රටවල සංචාරය කරනවලු නැටුම් පෙන්නන්ට.

    ත්‍රිත්ව විද්‍යාලයට ජයවේවා...!!!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ ඒ කාලේ ගැන තොරතුරු ටිකක් දුන්නට. අපි ඉන්න කාලේ උනත් වැඩි දෙනෙකුට සිංහල භාෂාව විභාගේ පාස් වෙන්න ඉගෙනගන්න එක විෂයක් විතරයි.. ඉංග්‍රීසියෙන්ම කතා නොකලට සිංහල භාෂාව ගැන වැඩි සැලකීමක් තිබ්බේ නෑ.. මම කියන්න ඕනේ දැනට තියන සිංහල විෂය නිර්දේශයත් ඒක වෙන්න බලපෑවා. අර මාරයා තුමා දවසක් දාල තිබ්බේ.. අක්ක කියන්නේ කොයි කාලේ වගේද?
      අපේ ඉස්කෝලේ නැටුම් කණ්ඩායම නම් සෑහෙන වැඩ ටිකක් කරනවා තමා. කලින් හිටිය ජනශාන්ත සර් නම් ඒගැන බොහොම කැපවීමෙන් වැඩ කළා.
      ස්තුතියි අක්කේ සුභ පැතුමට!!

      Delete
  2. හෆොයි! අපේ ඉස්කෝලේවත් ඔච්චර වයස නැහැනේ.

    ReplyDelete
    Replies
    1. :D
      අක්කලාගේ ඉස්කෝලේ මොකද්ද? ස්තුතියි හැමදාම වගේ මෙහෙට්ට එනවට!දිගටම ඉන්න හොඳේ.. මමත් ඔයාලගේ පැත්තේ ඇවිත් යනවා. ෆෝන් එකෙන් කමෙන්ට් කරන්න බැරුවට කියවනවා දිගටම..

      Delete
  3. විදු මව තව කල් යෙහෙන් වැජඹේවා..!

    ReplyDelete
  4. සුබ පැතුම්! ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා!!!

    ReplyDelete
  5. Replies
    1. සැළලිහිනියාටත් ස්තුතියි!

      Delete