Monday, September 1, 2014

කටු තුනෙන් වෙලාව කීමට පෙර..


        වර්තමානයේ ඔබ අප සැම එක් දෙයක් සමග අඩු වැඩි වශයෙන් තරඟයක යෙදී සිටින්නෙමු... වත්මන් ජීවන රටාව අනුව එය මගහැරිය නොහැකි තරඟයකි. මෙම තරඟය අප උපතින් ආරම්භ වී මරණය දක්වා දිවෙන තරඟයක් බවට වර්තමාන අතිධාවනකාරී ජීවන රටාව විසින් පත් කර ඇත.. මෙය ජයගැනීම සඳහා, අධිවේගී ගමනාගමන මාර්ග වල පටන්, අධිවේගී පරිගණක යන්ත්‍ර දක්වා යන්ත්‍ර සූත්‍ර නිපදවා ඇත. ඔව්.. දැන් ඔබට මා පැවසීමට යන කරුණ පිලිබඳ අදහසක් ඇති.. ඒ තරඟය නම්, කාලය හා තරඟයයි...
        ඒ නමුත්,, 1950 දශකයට පමණ කලින්, ලෝකය ඉලෙක්ට්‍රොනික මෙවලම් මගින් ආක්‍රමණය කිරීමට පෙර, මෙම කාලයේ අරගලය මිනිසාට එතරම් ප්‍රශ්නයක් නොවුනි.. එවක බ්‍රිතාන්‍ය යටතේ පැවති ආසියා- අප්‍රිකා යටත් විජිත වල සිට, ඇමරිකානු රටවල් දක්වා ලෝකයම වෙලාවට තිතට වැඩ කලත්, එහි අතිධාවනකාරී බවක් දක්නට නොලැබුණි.. තත්පර, මයික්‍රෝ තත්පර ආදිය එවක සාමාන්‍ය ජීවිතයට වැඩිමනත් මිනුම් විය.. කටු තුනේ තත්පර මනින ඔරලෝසු දක්නට ලැබුනේම නැති තරම්ය.. එම කාලයේ, නිවැරදිව කාලය මැනීම සඳහා ලොව පුරා භාවිතා වූයේ, පැරණි, එහෙත් විශ්වාසදායක සහ සූක්‍ෂම යාන්ත්‍රණයක් මත පදනම් වූ අවලම්බන ඔරලෝසුව හෙවත් බට්ටා ඔරලෝසුවයි.. මේ, ඒ පිලිබඳ මගේ මතකයන් සහ උගත් දෑ අනුව තැබෙන සටහනකි...
         එකල ඉහල පන්ති වල සහ මධ්‍යම පන්තියේ ගෙවල් තුලින් නිරතුරු ඇසුණු ශබ්දයක් විය.. නිහඬ රාත්‍රී කාලයේදී, "ටික් ටොක් ටික් ටොක්..." යන අනුකරණයෙන් මෙම ශබ්දය නිවස පුරා පැතිරුණි.. ඒ, එකල එවැනි නිවෙස් වල අනිවාර්ය අංගයක් වූ, ඇමරිකාවේ, එංගලන්තයේ හෝ ජපානයේ නිෂ්පාදිත බට්ටා ඔරලෝසුවේ හඬයි.. මේවා වර්ග කිහිපයකට අයත් විය.. ප්‍රධාන වශයෙන්ම සීනුව සහිත හා රහිත යයි කොටස් දෙකක්ද, සීනුවේ නාද වීමේ කාලය අනුවද, වයින් තැබීමේ දින සංඛ්‍යාව අනුවද බෙදුණි. (3 day winder, 5 day winder, 8 day winder ආදී වශයෙන්) සෙත් තෝමස් ආදිය එකල ජනප්‍රියව තිබුණු නාමයන්ය..
                                             
දින 8ක දුන්නක් සහිත ඇමරිකාවේ නිෂ්පාදිත සෙත් තෝමස් ඔරලෝසුවක්.. මෙය 1940 දශකයේ නිෂ්පාදනයක් වන අතර, තවමත් මැනවින් ක්‍රියාත්මක වේ..
        අවලම්බන ඔරලෝසුවේ ඉතිහාසය ගැන කෙටියෙන් සඳහන් කළහොත්, එය 1600 සියවස දක්වා දිව යයි.. ඉතාලියේ විසූ විද්‍යාඥයකු වන, ගැලීලියෝ ගැලීලි විසින්, දේවස්ථානයක කුළුනක වූ පහනක් පැද්දෙන අයුරු නිරීක්ෂණයෙන් මේ පිලිබඳ මූලික අදහස ඉදිරිපත් කර ඇත.. ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ ඔහු අවලම්බන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට උත්සාහකර ඇතත්, එය සාර්ථක වූ බවක් අසන්නට නැත. අවලම්බන ඔරලෝසුවේ නිර්මාතෘ වශයෙන් හැඳින්වෙන්නේ ක්‍රිස්ටියන් හයිජෙන්ස් නමැත්තෙකි. එතෙක් මෙතෙක් ලොව පරමාණු ඔරලෝසුවට පසු බිහි වූ නිවැරදිම ඔරලෝසු වශයෙන් අවලම්බන ඔරලෝසු සැලකේ..
       ඔබ පැරණි අවලම්බන ඔරලෝසුවක් ගලවා බැලුවහොත්, ඔබට පහත වැනි දර්ශනයක් දක්නට ලැබෙනු ඇත..                                          
අවලම්බන ඔරලෝසුවේ ක්‍රියාකාරී කොටස්.
        පෙනුමෙන් ඉතා සංකීර්ණ යාන්ත්‍රණයක් ලෙස දිස් වුවත්, මෙය පදනම් වන්නේ ඉතාම සරල යාන්ත්‍රණයක් මතයි.. එනම් දෝලන චලිත මූලධර්මයක් මතයි. සරල අනුවර්තී චලිතය (Simple Harmonic Motion) ලෙස විද්‍යා විෂයට ඉගැන්වෙන මෙම චලිතයේ යාමනය කරන ලද අවස්තාවක් මේ සඳහා යොදා ගනී.. අවලම්බන ඔරලෝසුවක් නිවැරදිව කාලය දැක්වීමට නම් එහි පැද්දෙන කාලය (Time period) නියතව පවත්වාගත යුතුය. එය අවලම්බයේ දිග ආදිය මත රඳා පවතී.. ඒ සඳහා යෙදිය හැකි සමීකරණයක් පහත පරිදි වේ..
                                     
මෙහි සඳහන් ගුරුත්වජ ත්වරණය සාමාන්යෙන් 9.8ක් ලෙස සැලකේ..
සාමාන්‍ය අවලම්බන ඔරලෝසුවක අවලම්බනය එක ආවර්තයක් සම්පූර්ණ කරන විට තත්පර දෙකක කාලයක් ගනී.. ඒ නම්, එක පසෙකට එක තත්පරය බැගින්ය. එහි සංඛ්‍යාතය 0.5Hz ලෙස දැක්විය හැක.
      ඉහත දක්වූ ඔරලෝසුවේ බට්ටා හෙවත් අවලම්බය වට කිහිපයකින් නොනැවතී දිගටම දිවවීම සඳහා යම්කිසි බල ප්‍රභවයක් අවශ්‍යය. මුල් කාලීන ඔරලෝසු වල ඒ සඳහා එල්ලෙන බරක් උපයෝගී කර ගැනුනි. සැලකියයුතු බරක් දම්වැලක එක කොනකට සම්බන්ධ කොට, දම්වැලේ අනික් කොන මහත සිලින්ඩරයක බඳ වටා එතෙන සේ මෙම ඔරලෝසු සකස්වී තිබුණි. බර පහත් වන විට, දම්වැල සිලින්ඩරයෙන් ගිලිහේ.. වයින් කිරීමක් නොමැති වූ අතර, ඒ වෙනුවට නැවත දම්වැල සිලින්ඩරය වටා එතීමේ ක්‍රියාවලියක් විය. නමුත් මෙම ක්‍රමය තරමක් ආයාසකර, කරදරකාරී එකක් විය.. එම අභියෝගය ජය ගන්නා ලද්දේ තදින් එතුන දුන්නක ගබඩා වූ ශක්තිය ක්‍රමයෙන් දිගහැරෙන විට නිදහස් වීමේ මූලධර්මය උපයෝගී කරගනිමින්ය. දුන්නේ දිගහැරීම ක්‍රමවත් කරනු සඳහාත්, එය අවලම්බය වෙත සම්ප්‍රේෂණය කිරීම සඳහාත් "Escapement" නම් කොටස යොදාගැනුනි. මෙහිද වර්ග කිහිපයක් වූ අතර, Anchor Escapement හා Dead beat Escapement යන වර්ග ඔරලෝසු වල බෙහෙවින් භාවිතා විය.. ඔබ අවලම්බන හෝ වයින් තබන ඔරලෝසුවක් ප්‍රවේශමෙන් ගලවා බැලුවහොත්,      
Anchor Escapement යාන්ත්‍රණය- මෙහි ඉහලින් පිහිටි කොටස "Anchor" නම් වේ.. නැවක නැංගූරමක හැඩය නිසා ඒ නම වැටී ඇත.. Dead Beat Escapement යාන්ත්‍රණය මෙහිම වැඩි දියුණු කල අවස්ථාවකි..

        මෙවැනි කොටසක් දකිනු ඇත.. අවලම්බයේ හෝ කෙහෙ දුන්නේ ක්‍රියාකාරීත්වය යාමනය කරන්නේ මෙම කොටසෙන්ය. මෙය වර්තමානය දක්වාම භාවිතයේ පවතින අතර, වඩාත් සූක්‍ෂම නිවරදිතාවයක් අවශ්‍ය වන ස්ථාන සඳහා වැඩිදියුණු කරන ලද සංකීර්ණ එස්කේප්මන්ට් යාන්ත්‍රණ යොදා ඇත. ඔබ නිවසේ අවලම්බන ඔරලෝසුවක් ඇත්නම්, අවලම්බනය පැද්දෙන විට සහ වයින් කරන විට විනාඩි කටුව සුළු වශයෙන් ආපසු පනින බවක් ඇත්නම්, එහි භාවිතා වන්නේ Anchor Escapement යාන්ත්‍රණය වේ..  මේ අනුව, සාමාන්‍ය අවලම්බන ඔරලෝසුවක මූලික කොටස් පහත පරිදි වේ..
මෙම කොටස් වල සිංහල නම් සොයාගැනීමට නොහැකි විය.. මෙහි දක්වා ඇත්තේ අවලම්බයට සම්බන්ධ කොටස් පමණි.  ඉහත දක්වූ සේයාරුවේ ඇති ඉතිරි දැති රෝද කට්ටල කටු දිවවීමටත්, සීනුවේ යාන්ත්‍රණය සඳහාත්ය.
            සාමාන්‍ය අවලම්බන ඔරලෝසුවක වත්මන් බැටරියෙන් ක්‍රියාකරන ඔරලෝසුවක නැති ලක්ෂණයක් විය. එනම්, නිවැරදි ක්‍රියාකාරීත්වය සඳහා මෙම ඔරලෝසුව නිවැරදිව බිත්තියේ එල්ලිය යුතු විය. ඒ නම්, ඔරලෝසුව පොළොවට ලම්භකව පිහිටිය යුතු වූ අතර, නොඑසේ වූ විට, තත්පර කාලය අඩු වීම හෝ වැඩි වීම, ටික වෙලාවකින් නතර වීම සිදු වේ.. බට්ටා දුවන්නේ පෘතුවි ගුරුත්වයේ පිහිටෙන්ය. එම නිසා හරියට තත්පර පැනීමට නම් එය නිවැරදි තැනදී සිදුවිය යුතු වීම මෙයට හේතුවයි. මෙම ඔරලෝසු නිවැරදිව නිවැරදි කාලයට තෙල් ආදිය දමා නඩත්තු කල යුතුය. එමෙන්ම මුහුදු මට්ටමේ සිට බොහෝ උසක් ඉහලට ගෙන ගියහොත්, ඒ අනුව අවලම්බයේ දිග වෙනස් කල යුතුය. වායුගෝලයේ ඇති සුළු කැළඹීමක් හෝ මෙහි ක්‍රියාකාරීත්වයට බාධා එල්ල කරන නිසා, මෙම අවලම්බය කුඩා දොරක් සහිත කුටීරයක අඩංගු කරන ලදී.. වයින් තබා, දොර විවර කර අවලම්බය හෙමින් සෙලවිය යුතුය.
            මෙහි සීනුවද යාන්ත්‍රික ක්‍රමයක් අනුව ක්‍රියාත්මක වේ. පැය කාලෙන් කාලට, භාගයෙන් භාගයට, හෝරාවෙන් හෝරාවට නාද වන සීනු සහිත ඔරලෝසු එකල දක්නට ලැබුණි. මා ඉහතින් දක්වූ යන්ත්‍රයේ සීනුව පැය භාගයකට වරක් නාඩ වේ. ඒ සඳහාද, දුන්නක ගැටෙන යකඩ හිසක් හෝ දිග තඹ කූරු දෙකක ගැටෙන හිස් දෙකක් ආදී නොයෙක් ක්‍රම භාවිතා විය..
            අවලම්බන ඔරලෝසු ගැන සඳහන් කරන විට, සඳහන් නොකර නොහැකිම දෙයක් වන්නේ "Grandfather's Clock" යනුවෙන් හැඳින්වූ ඔරලෝසු වර්ගයයි.. මෙය ඉතා විශාල ඔරලෝසු වර්ගයක් වූ අතර, බිත්තියක එල්ලීම කල නොහැකි විය. ඒ වෙනුවට, මේවා මට්ටම් කර බිම සිටුවනු ලැබීය.. බොහෝවිට එල්ලෙන බර මගින් මේවා දුවවනු ලැබුණි. පොහොසත් නිවෙස් වල හා පුස්තකාල ආදියේ භාවිතා විය.. වර්තමානයේ ක්‍රියාකාරී මෙම වර්ගයේ ඔරලෝසුවක් ලක්ෂ ගණනක වටිනාකමට හිමිකම් කියයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ මෙවැනි ක්‍රියාකාරී ඔරලෝසු දෙකක් දක්නට ඇත.
                           
Grandfather's Clock වර්ගයේ ඔරලෝසුවක්..
             
         මුලින් සඳහන් කලාක් මෙන්, 70 දශකයේ අග භාගය පමණ වන විට, අවලම්බන ඔරලෝසු, වාෂ්ප දුම්රිය, වැල්ව රේඩියෝ ආදිය අභාවයට යන්නට විය.. තත්පරයට වෙලාව කියන, ඉලෙක්ට්‍රොනික හෝ වයින් ඔරලෝසු එම ස්ථානය අත්පත් කරගත්තේය.. නමුත්, කණගාටුවට කරුණ නම්, වර්තමාන වෙළඳපොලේ ඇති බැටරියෙන් ක්‍රියාකරන බිත්ති ඔරලෝසු අවුරුදු 10ක් පමණ යන විට ලෙඩ දෙන නමුත්, මෙම ඉපැරණි බට්ටා ඔරලෝසු නිවැරදිව වෙලාව දක්වමින්, තවමත් ක්‍රියාත්මකව පැවතීමයි... බට්ටා ඔරලෝසුව ගැන කියන මේ සටහන හමාර කරන්නට යන විට මා 3 වසරේ සිටියදී බටහිර සංගීතය විෂය යටතේ මා උගත් "My grandfather's clock" නමින් වූ ගීතයක් සිහියට ආවේය.. එම ගීතය ඇසීම සඳහා මෙතනින්  එන්න..

ස්තුතිය-
* අප විද්‍යාලයේ ආචාර්ය පාලිත නවරත්න ගුරුපියාණන්ට,
* මහනුවර Antenna House ආයතනයේ ඔරලෝසු කාර්මික අංශයට,

සෙයාරූ සඳහා අනුග්‍රහය-  google වෙබ් අඩවිය සහ විකිපීඩියා  විශ්වකෝෂය..
ක්‍රියාකාරී යන්ත්‍රයේ හා ඔරලෝසුවේ සෙයාරූ මා විසින් අලුත්වැඩියාවක් අතරතුර ගන්නා ලද ඒවාය..




35 comments:

  1. ඉතා වැදගත්, හරවත් වගේම පැරණි ඔරලෝසු ගැන සහ ඒවායේ ඉතිහාසය ගැන ලියල තියෙන රසවත් සටහනක්. මට මතකයි අපේ ආච්චිලගේ ගෙදර තිබුණු බට්ටා ඔරලුසුව එහෙම ඒ කාලේ වැඩ කරපු හැටි. දැන් නම් ඒක ගල් වෙලා වයින් නොකර තිබිලම.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඇගයීමට!!
      ඒක වයින් කරලා, මැෂින් තෙල් ටිකක් දාල බලන්න පොඩ්ඩක් සුද්ද කරලා. බොහෝ විට තාම වැඩ ඇති.. ඔය මම දාල තියන සින්දුවෙත් කියන්නේ එහෙම ඔරලෝසුවක් ගැන..

      Delete
  2. මටත් ඔලුවට ආවේ ඕකම තමයි , කොහොමද හදල අරගන එල්ලුවහම

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල.. මමත් ඔය ගෙදර පැත්තකට දාල තිබ්බ එකක් හෙමීට ගලවල සුද්ද කරලා, තෙල් ටිකක් දාල අරගෙන හැදුවා.. දැන් ඔය ලෙසටම දුවන්නේ.. බැටරියෙන් දුවන එකට වඩා හොඳට වෙලාව කියනවා පැය භාගෙන් භාගෙට ඝාන්ටාරේ වගේ... :D
      ඔය උඩින්ම තියන කළු පාට එක.

      Delete
  3. බරසාර දේවල් තේරුණාද මන්දා.. කෝම හරි කියෙවුවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... :D ඔකේ තව තියනවා තියරි ටිකක්.. මම ඔක්කොම දැම්මේ නෑ කියවන කට්ටියට ඔලුව රිදෙන්න ගනීවි කියල...

      Delete
  4. ඔරලෝසු නැති ලෝකයක් තිබ්බා නම් කොච්චර හොඳද හිතුණා...:(

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත අක්කා.. හැබැයි, මේ ලෝකේ එහෙම උනා නම්, අද අපි දකින යන්ත්‍ර සූත්‍ර වැඩි හරියක් නැහැ.. මොකද, ඔරලෝසුව තමා ගබඩා කල ශක්තිය ක්‍රමානුකූලව භාවිතා කිරීම ගැන පලවෙනි යාන්ත්‍රනය..

      Delete
  5. විභාගේ ඉවර වුනාට කොල්ලා physics අමතක කරලා නෑ වගේ, හොඳ විශිෂ්ට ගනයේ ලිපියක්. මේ ඔය ඉස්සරම ආපු ඔරිජිනල් බට්ටා ඔරලෝසුවක් අපේ ආච්චිලගේ ගෙදර තාමත් තියෙනවා , එකේ spirit level දෙකක් එකටම සවි කරලා තියෙනවා . එකෙන් තමයි හරියටම ලෙවල් කරන්න ඕන ඔරලෝසුව

    ReplyDelete
    Replies
    1. හෆොයි ෆිසික්ස් එහෙමත් අමතක කරලා පුලුවන්ද... ඔය තාපය වගේ අනංමනං ටිකක් ඇරෙන්න අනික් ටිකේ ගණන් කොහොම උනත් තියරි ටික නම් මතකයි.. ඔව් හොඳම ඔරලෝසුවල ස්පිරිට් ලෙවෙල් එකක් හෝ දෙකක් තිබ්බ කියල මමත් අහල තියනවා. අර ග්‍රෑන්ඩ්ෆාදර් ඔරලෝසුවල ඒක අනිවාර්යයි..

      Delete
  6. Replies
    1. එකනේ... මමත් මේ බැලුවා මොකෝ මේ ටිකේ දකින්න නැත්තේ කියල.. ඔයාලගේ කැම්පස් එකේ මෙයින් දෙකක් තියනවා..

      Delete
  7. මාත් ආසම දෙයක් තමයි බට්ට ඔරලෝසු. ඒත් රෑට ඕක ටොක් ටොක් ගානකොටනං මල කරදරේ. :D

    හොඳ ලිපියක්.

    ReplyDelete
    Replies
    1. මෙහෙ නම් අපි ඒකට පුරුදු වෙලා.. මුල් දවස් වල නම් ඕක ටාන් ටාන් ගාද්දී රෑ තිස්සේ ඇහැරෙනවා.. දැන් නම් ප්‍රශ්නයක් නෑ..
      ස්තුතියි!

      Delete
  8. ඉස්සර වෙන ක්‍රමයක් නැත්නම් රෑ කෙහෙල් ගහක් කපල වෙලාව බලන කතාවක් අහල තියනවද? කෙහෙල් බඩේ එලියට එන ප්‍රමාණය මැනල?

    ReplyDelete
    Replies
    1. 5 වසරේ සිංහල අච්චුපොතේ ඔය කතාව තිබ්බ මතකයි.. රෑ ළමයෙක් එහෙම ඉපදුනාම උපන් වෙලාව බලාගන්න කරනවලු නේද ඔය වැඩේ?

      Delete
  9. අනෙ අම්මේ බං ඔරලෝසුවෙන් වෙලාව බලන එක තරම් ලේසි නෑනෙ!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ නේද... දැන් නම් එන ඔරලෝසුවල කටුත් නෑ නේ.. හැබැයි ඉතින් කැඩුනොත් කැඩුනම තමා ඒවා නම්... මේවා නම් කොහේ හරි කෑලි තියනකල් හද හද දුවවන්න පුළුවන්.. එහෙමකට රිපෙයාර් එන්නෙත් නෑ ඉතින්..

      Delete
  10. ඔය අවලම් බට්ටා නිසා දවසක් මට තව ටිකෙන් නානවා බං.. හැක්.. ස්තුතියි විස්තරේට.. අර සුත්තරේන් මාත් වැඩ කරා ඒත් මගේ කාලය අප්සැට් උනා..

    ReplyDelete
    Replies
    1. තවම බට්ටා අප්සැට් ද?

      Delete
    2. මම නම් ප්‍රැක්ටිකල් එකක්ම කරා තනියම ඔය සූත්තරෙන්.. හැබැයි එදා නම් අපි හෙව්වේ දිග නෙවේ ගුරුත්වය.. යාන්තම් 9.9ක් ආව.

      Delete
  11. නියමයි පට්ටයි එල ද බ්‍රා.
    සමහර දේවල් ටිකක් බර වැඩි ඒත් කියේව්වා

    ReplyDelete
    Replies
    1. මටත් ඒක නම් තේරුනා ලියල ඉවර උනාට පස්සේ,, තව මේකේ තියරි සෑහෙන්න තියනවා.. ඒ උනාට දාන්න ගියේ නෑ වැඩිය..
      ස්තුතියි ප්‍රතිචාරයට!!

      Delete
  12. niyama lipiyak angaharuwoo....issara matath thibunaa wine watch ekak. dannam okkoma battery thamaa

    ReplyDelete
    Replies
    1. ආ සයුරි අක්කේ කාලෙකින්!!
      අපේ අත්ත දීපු වයින් ඔරලෝසුවක් මගේ ගාව තාම තියනවා.. ස්විස් මේඩ් ටයිටන් එකක්.. තවම ධාවන තත්වයේ.. බැටරි එවල හොඳ එකක් හොයාගන්න නෑ නේ අෆ්ෆා.. තිබ්බත් ඉතින් බැටරි බැස්සම ඉවරයිනේ.. මගේ ගාව තියනවා 2003 ගත්ත Casio F91 එකක්.. මම පාවිච්චි කරපු හොඳම ඩිජිටල් ඔරලෝසුව..

      Delete
  13. ඉතා වැදගත් සහ වැඩියේ කතා බහ නොකරන දෙයක් බොහොම සරලව පැහැදිලි කරල දීලා තියෙනව. ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ස්තූතියි!

    ReplyDelete
    Replies
    1. කතා බහ කියන්නේ අයියා, මේකකට කෑලි ගන්නත් දැන් නුවරටම තියන්නේ එකම එක කඩයයි!! මම ඔය දන්න ටිකක් විතරයි ලිව්වේ.. ඒකත් ඉස්කෝලේ සයන්ස් සර්ගෙනුයි මම ගෙදර තියන ඔරලෝසු දෙක රිපෙයාර් කරද්දී ඉගෙනගත්තුවයි, අත්ත එක්ක කයිවාරු දිගාරිනකොට කියපුවයි තමයි..

      Delete
  14. සීයාගෙන් හම්බ වෙච්ච තෑග්ග තමා කාමරේට වෙලා දැන් බට්ට පද්ද පද්ද වෙලාව කියන්නේ පැයෙන් පැයට, හරවත් ලිපියක් සහෝදරයා, උත්සාහය අගය කරනවා, ගෙදර ඉන්න ඉන්දගේ කතාව දන්නා නිසා ඔබගේ ලිපිය මැනවින් වැටහුනා, කොහොමත් physics වල සරලම තියරියක පරයෝගිකම අවස්තාවක්නේ මේක, අපේ ගෙදර එකා ගේ ටෝන් එක බිග්බෙන් එකේ ටෝන් එකම තමයි, පය කාලෙන් කාලට වදිනවා, පය කාලකට මිසුක් එක එකවතාවක්, පැය බාගෙට දෙවතාවක්, පැය තුන්කාලට තුන්වතාවක්, පයට හතරවතාවක් වැදිලා ඊට පස්සේ තියෙන වෙලාව අනුව ඒ ගානට සමාන වෙන්න සීනුව
    වදිනවා, රෑට ඕක ටක් ටුක් ගාවට ඒ සද්දේ නිකන් බාවනාවක් වගේ එකත් එක්කම නින්ද යනවා.

    ReplyDelete
    Replies
    1. මෙහෙ එක නම් පැය භාගෙට එකයි, පැයට ඒ අදාළ පැය ගානට වදිනවා.. එකට එකයි, එක හමාරට එකයි, දෙකට දෙකයි, දෙක හමාරට එකයි ඒ වගේ.. බට්ටාගේ සද්දේ නම් භාවනාවක් වගේ තමයි.. අර ඝාන්ටරෙත් ඉතින් එච්චර අවුලක් නෑ ටකරං සද්දයක් නෙවේ ඒකත්. මමත් ඔය ලිපිය ලියන්න හිතුවෙත් ගෙදර තියන දෙක රිපෙයාර් කරද්දී හිතට ආපු අදහස් ටිකකුයි, දැන් මේවා දන්න උන් තියා දුවනවා දැකපු උන්වත් නෑ කියපු අත්තගේ කතාවටයි..

      Delete
  15. අපේ සීයලැහේ ඔය ජාතියේ ඔරලෝසුවක් තිබ්බා ,,,,තවමත් තියෙනවා බිත්තියක එල්ලිලා මං හිතන් නෑ ආයෙත් පණ ගහලා ගන්න පුළුවන් වෙයි කියලා...ඒත් ලංකාවට ගිය කාලෙක උත්සහ කරලා බලන්න ඕනා හදන්න....

    ReplyDelete
    Replies
    1. මුකුත් කැඩිලා බිඳිලා නැත්තම්, හෙමීට දූවිලි එහෙම පොඩි පින්සලකින් හෙමීට පිහදාල, මැෂින් තෙල් පොඩ්ඩක් දාල එල්ලලා බලන්න. බිත්තියෙන් ගලවන්න කලින් බට්ටව ගලවන්න. හෙමීට සුද්ද කරලා, ඔරලෝසුව එල්ලලා, ඊට පස්සේ ලෙවල් කරලා, වයින් කරලා බට්ටව එල්ලලා හෙමීට පොඩි තල්ලුවක් දෙන්න. දුවනවා නම් වැඩේ ගොඩ.. නැත්තම් මෙතන කමෙන්ට් එකක් දාන්න...

      Delete
  16. ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete