Friday, March 13, 2015

ජීවන පාඩම..

    ලියනවා ලියනවා කිව්වට එක එක කසාඳ හින්ද ලියන්නම බැරි උනා අෆ්ෆා.. මේ ටිකේ නම් සයිලන්ට් වෙන්න උනේ අර 6220c ෆෝන් එක කොහොම හරි හදාගන්න මූල්‍ය ප්‍රතිපාදන හොයාගන්න ඉන්ටර්නෙට් වියදම් කපාහැරපු නිසා. ඒ වැඩේ සෑහෙන පමණකින් ඉවර කරලා, ආව ආපහු සමාජය හමුවට.. බ්ලොග් එකේ ලියන්න දේවල් තිබ්බට, එක පාරට ලියන්න මොකදෝ වගේ.. ඒ නිසා ට්‍රයල් එකක් වගේ දුවන්න දාන්න දෙයක් හිත හිත ඉන්නකොට මීටරේට ආව කතාවක්.  මේ කතාව මම 9 වසරේ ඉන්නකොට ඉංග්‍රීසි වලට ඉගෙනගත්ත කතාවක්.. මේකෙන් ලොකු පණිවිඩයක් දෙනවා.. ඒ නිසා මේක සිංහලට පරිවර්තනය කරලා බ්ලොග් එකේ ලියන්න හිතුවා.. 


                                   
    
         මේ කතාව පලස්තීනේ කතාවක්.. පලස්තීනේ හිටිය මෝසස් කියල ඇඳුම් මහන මනුස්සයෙක්. මේ මනුස්සයට තව හිටිය එයාගේ බිරිඳ සහ ළමයි තුන් දෙනෙක්. හැබැයි, මේ මනුස්සයට වැඩ කරන්න, ඉන්න, උයන්න පිහන්න, ඔක්කොටොම කියල තිබ්බේ එකම එක කාමරයයි!! මේ ගෙදර ජීවිතේ දවසින් දවස අමාරු වෙන්න ගත්තා.. මනුස්සයට වැඩක් කරන්න ඕනේ උනාම ළමයි ඒක කඩාකප්පල් කරනවා.. උයන්න පිහන්න අස් කරන්න ඕනේ උනහම එහෙන් හරස් වෙලා..
           මේ කරදරේ ඉවසන්න බැරුව, මේ මනුස්සය දවසක් යනවා එහෙ අපේ පන්සල් වගේ තියන පූජ්‍ය පක්ෂය ඉන්න තැනට. එහෙ ඒකට කියන්නේ සිනගෝගය කියල ඉන්නේ රැබයි කියන පූජකයෝ. මේ ගොල්ලෝ ඇත්තෙන්ම දාර්ශනිකයෝ වගේ කට්ටියක්. මේ මනුස්සය ගිහින්, අර පූජකතුමාට කියනවා

" පූජකතුමනි, මට මගේ ගෙදර ජීවිතේ එපා වෙලා තියන්නේ.. අපි පස් දෙනෙක්ට ජීවත් වෙන්න, මට වැඩ කරන්න, උයන්න පිහන්න ඉන්න වෙලා තියන්නේ එකම එක කාමරයකයි.. ජීවිතේ කරදර එන්න එන්න වැඩි වෙනවා.. ළමයින්ගේ කරදර එහෙන්.. කරුණාකරලා මට ජීවිතේට උපදෙසක් දෙන්න"

මේක අහගෙන ඉඳල පූජකතුමා කියනවා,

"මෝසස්, ඕගොල්ලන්ගේ ගෙදර ඉන්නවද කුකුලෙක්?"

"නැහැ පූජකතුමනි.."

"හොඳයි, එහෙනම් කුකුලෙක් හොයාගෙන ඇති කරන්න ගන්න. ඒ කරලා ලබන සතියේ එන්න මේ පැත්තේ.."

මෝසස් ගිහිල්ල, සතියකින් එනවා..

" අනේ පූජකතුමනි, තත්වය තවත් විකාරයි.. කුකුලා උදේ පාන්දර හඬලලා අපිව පට්ටපල් පාන්දර ඇහැරවනවා. උගේ ජරාව කාමරේ පුරා වැටෙනවා.."

"හරි, මෝසස්, ඔයාලගේ ගෙදර ඉන්නවද බළලෙක්?"

"නැහැ පූජකතුමනි.."

"හොඳයි, එහෙනම් බළලෙක් හොයාගෙන, සතියකින් එන්න මාව හම්බවෙන්න.."

සතියකින් මෙයා එනවා ආපහු..

" කුකුලයි බළලායි කෙළවරක් නැතුව රණ්ඩු කරනවා... බලල අපේ බාල දුවව හූරල එයා පැය දෙකක් ඇඩුවා.."

"හරි, ගිහිල්ල, බල්ලෙක් හොයාගෙන සතියකින් එන්න මෙහාට..."

ඊළඟ සතියේ මනුස්සය ආපහු එනකොට, ඇස් දෙක යට කළු පැල්ලම් ගැහිලා.. නිදාගෙන නෑ හරියට..
"මොකද තත්වේ?" පූජකතුමා අහනවා..

"කියල වැඩක් නෑ පූජකතුමනි.. දැන් මට තේරෙනවා ඇයි මිනිස්සු කියන්නේ සමහරු බලු බළල්ලු වගේ රණ්ඩු වෙනවා කියල... අපි එක විනාඩියක් කනක් ඇහිලා හිටියේ නෑ.. බල්ලයි බළලායි කාමරේ වටේ දුව දුව රණ්ඩු කරනවා.. කුකුලා අඬලනකොට බලලා ඤාව් ඤාව් ගානවා ඉවරයක් නැතුව. ඒ අස්සේ බල්ලා බුරනවා.. ඒ අස්සේ ළමයිත් කෑ ගගහා රණ්ඩු කරනවා.. මගේ බිරිඳ මේ සත්තු කාමරේට ගේන එක ගැන කොච්චර තරහින්ද ඉන්නේ කිව්වොත් මගෙත් එක්ක කතා කරන්නෙත් නෑ..."

"හරි... ඒත්, මෝසස්ට පුලුවන්ද බූරුවෙක් හොයාගන්න?"

" හොයාගන්න නම් පුළුවන්, ඒත් කරුණාකරලා මට කියන්න එපා ඌව අපිත් එක්ක කාමරේ තියාගන්න කියලා...."

          ඊළඟ සතියේ මෝසස් එනකොට, යුද්ධෙට ගිහිල්ල වගේ පෙනුමක් මනුස්සයාගේ තිබ්බා..
බූරුවා එයාගේ කකුලට පයින් ගහලා, බල්ලා අත හපලා, බළලා මූණ හූරලා... බූරුවා කාමරේ මුළු ඉඩම වගේ අල්ලාගෙන.. අනික් අයට හැරෙන්නවත් ඉඩක් නෑ.. මේ කතාව අහගෙන හිටපු පූජකතුමා, මෝසස්ට කිව්වා බූරුවව ආපහු දීල, සතියකින් එන්න කියලා..

         ඒ ඊළඟ සතියේ එනකොට, මනුස්සයාගේ කලින් තිබුණු දුක්ඛදායක පෙනුම ටිකක් අඩු වෙලා තිබුනා..
"බල්ලයි බලලයි තවමත් රණ්ඩු කරනවා, ඒ උනාට අඩුම ගානේ, මට පයින් ගහන්න දැන් බූරුවෙක් නෑ..."

"හරි, බල්ලව ආපහු දෙන්න. දීල සතියකින් එන්න.."

       ඊළඟ සතියේ එද්දී, මනුස්සය හොඳට විවේක අරගෙන තියන බව පෙනුමෙන් කියන්න පුළුවන් තත්වයක් තිබ්බා.. "කුකුලයි බළලායි තවමත් රණ්ඩු කරලා ළමයින්ට එහෙම කරදර කරනවා, නමුත් දැන් අපිව හපන්න බල්ලෙක් නෑ අඩුම ගානේ..." මෝසස් කිව්වා..

"කුකුලයි බළලාවයි ආපහු දීල ලබන සතියෙත් එන්න.."

     ඊළඟ සතියේ මෝසස් සිනගෝගයට දිව්වා.. ඔහු අලුත් මිනිසෙක් බවට පත්වෙලා හිටියා...
"දැන් කොහොමද තත්වේ?"

"දැන් නම් නියමයි.. මම පුදුම වාසනාවන්ත මනුස්සයෙක්. මොකද, මට හොඳ සෞඛ්‍ය සම්පන්න, නිරෝගී දරුවන් තුන් දෙනෙකුත්, හොඳ මවක් සහ බිරිඳක්, වගේම වැඩ කරන්න, ඉන්න ජීවත් වෙන්න ලස්සන පුංචි කාමරයක් තියනවා... ආය වෙන මොනවද මනුස්සයෙක්ට අවශ්‍ය...?"

" මෝසස්,"
පූජකතුමා ඔහුගේ දිගු රැවුල අතගාමින් කිව්වා..
" ඔබ මේ ඉගෙනගත්තේ ජීවිතේ වටිනාම පාඩමක්.. එක තමයි, තමාට ඇති දෙයින් සෑහීමට පත්වීම... මේ පාඩම කිසිම දවසක අමතක කරන්න එපා.."

            ඕක තමයි කතාව.. බලන්න, අපි හැමෝම එක විදියකට බැලුවම මෝසස් වගේ.. කොච්චර දේවල් තිබ්බත් අපිට මදි.. එක දේකින් සෑහීමට පත් වෙන්නේ නෑ.. තව තව දේවල් හොයාගෙන යනවා.. රුපියල් සීයක් හම්බුනාම, ඇයි 1000ක් නැත්තේ කියල ඒ පස්සේ දුවනවා.. ෆෝන් එකක් හම්බුනාම, ඒක තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න ඇති උනත්, අලුත් එකක් ආපු ගමන් වැඩක් නැති උනත් ඒ පස්සෙත් දුවනවා..
    ඒ උනත්, අපි මොහොතකට නැවතිලා හිතන්නේ නෑ, යකෝ මට මෙච්චර වත් නැති වෙන්න තිබ්බා නේද කියල.. මේක තමා එක ඉංග්‍රීසි ජාතික කතුවරයෙක් ලිව්වේ,

" I complained because I had no shoes, but then I met a man who had no feet"
කියල. දලයි ලාමා තුමා දවසක් මෙන්න මෙහෙම කිව්වා..
"What most surprises me is the humanity itself, for men spend all their health to earn money, and later they spend all that to regain health. And they live like they'll never die, and die having never really lived"
 මේක තේරුම්ගන්න එච්චර අමාරු නෑ කියල හිතනවා.. මීට අවුරුදු 2500කට කලින් බුදු හාමුදුරුවෝ දේශනා කරෙත් සරල ගති පැවතුම් ඇති වීමත්, ලද දෙයින් සතුටු වීමත් දියුණුවට හේතු වෙනවා කියලයි.. ඉතින් මෙච්චර දේවල් උදාහරණ එක්කම පැහැදිලිව තියෙද්දිත්, ඇයි අපි තවත් එක එක අනවශ්‍ය දේවල් පස්සේ දුවන්නේ?? අන්තිමට මොකද්ද මේකෙන් ලැබෙන්නේ??
හිතන්න විනාඩියක්...

Look before you leap,
And before you ask or complain about anything,
Stop and think for a minute that,
Things could be worse....


12 comments:

  1. මිනිස්සු විහින් ජීවිත සංකීර්ණ කරන් ඉන්නේ වඩා වැඩි දේවල් පස්සේ දුවන්න ගිහින්.. හැමෝම වැටිලා ඉන්නේ ඔය ට්‍රැක් එකට තමයි..

    ReplyDelete
    Replies
    1. අන්න ඒක තමා.. එක තැනකින් නතර වෙන්නේ නෑ.. අන්තිමේ බෙරේ පලුවකුත් නෑ නටපු තොවිලෙකුත් නෑ වගේ තමා.. ඒත් ඒක තේරුම් ගන්නකොට පරක්කු වැඩියි..

      Delete
  2. ඇත්තටම හොඳ පාඩමක් තමා. ආපහු ආපු එක හොඳයි. අඟහරු ලෝකෙම පාලුවෙලා තිබ්බේ අඟහරුවා නැතුව.:P

    ReplyDelete
    Replies
    1. මේ කතාව 9 වසරේ ඉගෙනගනිද්දීත් හොඳට හිතට වැදුනා.. ආ ඔව් ඔව් ලෝකේ ගැන නම් කට්ටිය කිව්වා.. :D

      Delete
  3. අැත්ත අගහරුවා...................... මිනිස්සු තියෙන දේ ගැන හිතන්නේ නැහැ.... නැති දේ ගැන විතරයි බලන්නේ..............

    ReplyDelete
    Replies
    1. එකනේ.. ඒත් කට්ටිය බලන්නේ නෑ, අනේ මට මෙහෙම වත් නැති උනා නම් කියලා..

      Delete
  4. හුග කාෙලකින් උෙඹ ෙපාස්ටුවක් කිෙයව්ෙව. නියමයි

    ReplyDelete
    Replies
    1. ඔව් අෆ්ෆා.. ලියන්න තියා නෙට් එන්න වත් බැරි උනා සෑහෙන කාලෙකින්.. ස්තුතියි ඇලර්ට් එකේ ඉඳල ලිව්ව ගමන් ආවට!

      Delete
  5. Replies
    1. එමමයි.. එසේමයි!!
      ස්තුතියි ප්‍රතිචාරයට!

      Delete