Saturday, March 12, 2016

ගමනක අවසානය...

          හාලිඇල දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, සිය ගමනේ අවසාන පියවර කිහිපය තැබීමට පටන් ගත්තාය. බදුල්ල දෙසට ඇති අඩි 44ට එකක් වූ සුපුරුදු බෑවුම හෙමිහිට තරණය කිරීමට පටන් ගත් ඇය, හාලිඇල දුම්රිය ස්ථානයෙන් නික්මුනේ විනාඩියක හෝ ප්‍රමාදයක් නැතිවය. 

          මෙම කොටසේ, පරිසරය නැවතත් අපට පුරුදු මහනුවර පරිසරය මෙන්ම විය. සැලකිය යුතු දෙයක් වශයෙන් හමු වූයේ පාලමක් පමණි. නමුත්, මෙම කොටසේ අවසානයට ලං වන්නට, උඩරට දුම්රිය මාර්ගයේ දැකිය හැකි අවසාන බිම්ගෙය, එනම් අංක 43 බිම්ගෙය හමු වේ. අඩි 216ක දිගින් යුතු මෙම බිම්ගෙය හමු වන්නේ, බදුල්ල අවුට් හෝම් සංඥාව  ආසන්නයේය. 

          මෙම අවුට් හෝම් සංඥාව දුටු මට, මා පාසල් යන සමයේ  ඇසූ කතාවක් සිහි විය. දුම්රිය ස්ථානයක් අසල ඇති සංඥා කණුවට මදක් එපිටින්, රතු පාට රේල් පීලි කැබලි දෙකක් හරහට සවි කල කණුවක් ඔබ දැක ඇතැයි සිතමි. මෙයට දුම්රිය සේවයේ ව්‍යවහාර වන්නේ රම්පාල පොල්ල” කියාය. මෙයට එසේ ඇමතීමට හේතු වූ කතාවක් ඇත. 
Inner home සංඥාව.
(සේයාරුව- අකිල කරුණාරත්න)
          දුම්රිය සාමාන්‍යාධිකාරී ධූරය දරණ සමයේ, බී. ඩී. රම්පාල මහතා, වරක් බණ්ඩාරවෙලින් බදුල්ල දෙසට යන දුම්රියක රියදුරු කුටියට ගොඩ විය. එතැන් සිට දුම්රිය පදවාගෙන ගියේ ඔහුය. බදුල්ල දෙසට ලං වන විට, අවුට් හෝම් සංඥාව පසු කර, ඉන් පසු ඇති “Inner home” සංඥාව තිබුනේ “Danger” සංඥාව දක්වමින්ය. නමුත්, රම්පාල මහතාට වෙලාවට දුම්රිය නතර කරගැනීමට නොහැකි විය. සංඥා කුලුන පසුකොට ටික දුරක් ඇදී ගිය දුම්රිය, නියාමකවරයා විසින් තිරිංග යොදා නවත්වන්නට යෙදුනි. 

          ටික වෙලාවකින් සංඥා ලැබුණි. දුම්රිය බදුල්ල වේදිකාවේ නතර කෙරුණි. රියදුරු කුටිය වෙත පැමිණි ප්‍රධාන නියාමකවරයා, රියදුරු අසුනේ සිටින පුද්ගලයා හඳුනා නොගෙන, සංඥා කුලුන අසල නියමිත පරිදි දුම්රිය නොනැවැත්වීම හේතුවෙන් “ඉතා හොඳ අනර්ඝ භාෂාවෙන්” රියදුරු අසුනේ සිටි රම්පාල මහතාට බැන වැදී යන්නට ගියේය. 

          පසුවදා කොළඹ බලා ගිය සාමාන්‍යාධිකාරීවරයා, අදාළ නියාමකවරයාට කැඳවීමේ ලිපියක් යැවීය. ඒ අනුව එහි පැමිණි  නියාමකවරයා වෙත, දඩ පත්‍රිකා 4ක් ඉදිරිපත් කෙරුණි. අනතුරුව එතුමා මෙසේ පැවසීය. 

“ මේකෙන් දෙකක් අයිති මට. මොකද, මම මට අදාළ නැති වැඩක් කරා. අනික නතර කරන්න ඕනේ සිග්නල් ඒකෙ මම නතර කරේ නෑ. ඉතුරු දෙක තමුන්ට. පලවෙනි එක- නියාමකගේ රාජකාරිය තමා ධාවන අධීක්ෂණය. රියදුරා හරියට හරි තැන කෝච්චිය නතර කරේ නැත්තම් තමුන් දැනගන්න ඕනේ නතර කරන්න. එකට තමා බ්‍රේක් ලීවර්  එකක් දීල තියන්නේ. අනික් එක, තමුන්ගේ හැසිරීම.” 

          මෙම සිදුවීමෙන් අනතුරුව, සෑම සංඥා කුළුණක් ඉදිරිපසින්ම, මීටර් 400ක් (සැතපුම් කාලක්) දුරින්, ඉදිරියෙහි සංඥාවක් ඇත යන්න ඇඟවීමට මෙම රතු පැහැති රේල් පීලි දෙකක් හරහට සවි කල කනුව යොදනු ලැබුණි. මේවා අදත් බොහෝ ස්ථාන වල දැකිය හැකිය. 
ආ මග දෙස හැරී බැලීම- නැරඹුම් මැදිරියේ සිට.
          සැතපුම් හතරක දුර ගෙවූ පොඩි මැණිකේ, බදුල්ල Inner home සංඥාව ලබාගෙන, බදුල්ල දුම්රිය ස්ථානයට ඇතුළු වූවාය. පස්වරු 4 වනවිට එහි පැමිණිය යුතුව තිබුනත්, අද දින, පස්වරු 3.55 වන විට පොඩි මැණිකේ බදුල්ල පළමුවන වේදිකාවේ විය! 
ගමන අවසන් කල පොඩි මැණිකේ.. මෙම එන්ජිම, නැවතත් රාත්‍රී තැපැල් දුම්රිය සමග කොළඹ යා යුතුය.
          උඩරට දුම්රිය මාර්ගයේ අවසාන දුම්රිය ස්ථානය, හෙවත් අන්ත්‍ය දුම්රිය ස්ථානය වන, බදුල්ල දුම්රිය ස්ථානයට අප දැන් පැමිණ ඇත. කොළඹ කොටුවේ සිට සැතපුම් 181ක් සහ දම්වැල් 7ක දුරක් ගෙවා, මුහුදු මට්ටමේ සිට අඩි 6226ක් වැනි ඉතා ඉහල උසකට නැග, නැවතත් මුහුදු මට්ටමේ සිට අඩි 2140ක උසක් දක්වා පහල බැස ඇත. 
බදුල්ල නාම පුවරුව.
    
උඩරට මාර්ගයේ අන්තිම කෙලවර. 
   
         බදුල්ල දුම්රිය ස්ථානය සේවා කටයුතු සඳහා විවෘත වූයේ වර්ෂ 1924 පෙබරවාරි මස 5 වැනි දිනයි. පාෂ මාර්ග කිහිපයක් සහිත අංගනයක් මෙන්ම, තරමක් විශාල ධාවනාගාරයක්, හැරවුම් මේසයක්, වේදිකා තුනක් සහිත මෙම අන්ත්‍ය දුම්රිය ස්ථානය, මෑතදී දීර්ඝ කරන ලද වේදිකා දෙක සහ 60 දශකයේ එක් කෙරුණු වහලය හැරෙන්නට, තවමත් සිය පැරණි උරුමයන් ආරක්ෂා කරගෙන සිටී. 
දුම්රිය ස්ථානයේ ඉදිරිපස..
සේයාරුව- අකිල කරුණාරත්න.
   
දුම්රිය කාල සටහන- බදුල්ල.
       
          බදුල්ල දුම්රිය ස්ථානය වටේ ඇවිද, සෙයාරූ කිහිපයක් ගත් අප සිව් දෙනා, අපට නවාතැන් සූදානම් කර තිබුණු අකිල අයියාගේ ඥාති නිවසට ගියෙමු. අපව උණුසුම් අයුරින් පිළිගත් එම නිවැසියන්ටත්, විශේෂයෙන්, අනතුරකට ලක් වී සිටියදී පවා අපව නාන්නට පවා කැඳවාගෙන ගිය එම ඥාති සොහොයුරාටත්, එම ස්ථානය සූදානම් කර දුන්, ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ජනක මිලන්ත අයියාටත් මා ඉත සිතින් ස්තුති වන්ත වෙමි. 
බදුල්ල දුම්රිය ස්ථානයේ අංගනය.
          එමෙන්ම, එදා මධ්‍යම රාත්‍රිය පසු වන තුරුත්, වල්පල් අසමින් සිය නින්ද අහිමි කරගත් අකිල අයියා, අශාන්, රුචිර යන මිතුරන්ටද මාගේ ලාම්පු කණගාටුව ප්‍රකාශ කරමි. ලෝකයේ සුන්දරතම දුම්රිය චාරිකා කිහිපය අතරට වැටෙන බදුලු දුම්රිය ගමන තවත් රසවත් කිරීමට එම මිතුරන්ගේ සහභාගීත්වය හේතු විය. මෙම චාරිකාව මේ අයුරින්ම නැවත යාමට හැකි වන්නේ නැත. එබැවින්, මෙය ජීවිතයට එක් වරක් පමණක් ලැබුණු සුන්දර අත්දැකීමකි. එම අත්දැකීම බෙදාහදාගත් ඔබටත් ස්තුතියි!

සමූහ සේයාරුව- අකිල අයියාගේ කැමරාවෙන්, අරලිය ගසක් උඩ තබා ගන්නා ලදී..

32 comments:

  1. බොහොම හොඳ චාරිකා සටහනක්. මෙහි විශේෂත්වය හැටියට දකින්නේ, අපේ දුම්රිය සේවය පිළිබඳව වැදගත් කරුණු රාශියක්ද එක් කරමින්, ඉදිරිපත් කිරීමයි. එහිදී ඔබ තාක්ෂණික කරුණු පමණක් නොව, පරිසරය, ඉතිහාසය, සංස්කෘතිය, ආදී විවිධ පැතිකඩ දක්වමින්, විස්තර ඉදිරිපත් කළා.

    ඔබට බොහොම ස්තුතියි. මේ ලිපිපෙළ ලියන්නට ඔබ සෑහෙන වෙහෙසක් ගත් බවද, අමතක කරන්නේ නැහැ.

    විවේකයක් අරගෙන, දුම්රිය සංඥා පිලිබඳ කතාව පටන් ගම්මු.

    රම්පාල මහත්තයා හිටියේ, අපි ඉස්කෝලේ යන කාලේ. එතුමා අධ්‍යයනය කරන්න වටිනා චරිතයක්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබතුමාගේ අදහසට! ඒ වගේම, ඔබතුමාගේ අත්දැකීම් ආදිය බෙදාගත්තාටත් ස්තුතියි!
      ලිපි පෙළ ලියන්න නම් සෑහෙන මහන්සියක් ගත්තා. ඒක ඇත්ත. විශේෂයෙන් සේයාරු වලට. මෙයින් සමහර සේයාරු මගේ මිතුරන්ට අයිති ඒවා.
      සංඥා ගැන සටහන එක් කරන්නම්.. ඒක සැකසෙමින් පවතිනවා.
      රම්පාල මහත්තය ගැනත් කතා ටිකක් මම දාන්නම්. මේ සටහන් ටික ලියන්න කරුණු හොයද්දි එතුමා ගැනත් කතා ටිකක් මට හම්බුනා.

      Delete
    2. ඔය තියෙන්නෙ ලියන්ඩ මාතෘකා... දිගටම ලියපං මල්ලි.

      Delete
    3. ඒ ටිකත් ලියමුකො එහෙනම්...

      Delete
  2. ඔන්න ගමන අවසානය වෙනකල්ම අපිත් ආවා. හරිම සුන්දර චාරිකා අද්දැකීමක්. ස්තුතියි දීර්ග ගමනක සුන්දර මතක සටහන අප හමුවේ තැබුවාට. ජයෙන් ජය වේවා එහෙනම්.

    ReplyDelete
    Replies
    1. ඔබටත් ස්තුතියි දිගටම අපිත් එක්ක රැඳී හිටියට! ඒ වගේම අදහස් පල කරාට!

      Delete
  3. අද පොඩි මැණිකේගේ ගමන වෙනදාතට වඩා ලස්සනයි. 'රම්පාල පොල්ල' ගැන අහලා තිබ්බේ නෑ.

    අපූරු කතා පෙලක්. ඉවර වුනු එක ගැන දුකයි.

    ReplyDelete
    Replies
    1. සෑහෙන කාලෙකින් අක්කවත් දැක්කේ. ඔන්න පොඩ්ඩි එක්ක ගිය සටහන. මේ සටහනේ ආකෘතිය ගැන මුලින්ම අදහස දුන්නේ අක්ක. මතකද? එදා කිව්වේ ඔන්න මග නතර වෙන්නේ නැතුව ලියන්න කියලා. ඔන්න මම ලිව්වා. ස්තුතියි හොඳේ අදහසට!

      Delete
  4. ඔය අන්තිම බිංගේට පහලින් තමා බදුලු ඔය හරස් කරලා බැඳපු වේල්ල තියෙන්නේ , ඉස්කෝලෙන කට්ටි පැනලා යන එවුන්ගෙන් 99% කම යන්නේ ඔතනට නාන්න , "බන්ට්" එකට ගියේ නැති එකෙක් එහෙ ඉස්කෝල වල නෑ ,.

    කොහොම හරි වෙල්කම් to බදුල්ල ... අගන සටහනක් , නියමයි අඟහරු

    ReplyDelete
    Replies
    1. මේ වගේ තැනක් හැම පළාතකම වගේ තියනවා නේද? බදුල්ල නම් නියමයි. ආය දකින්න නොවෙන එක තමා දුක..

      Delete
  5. ඔන්න බොලත් එක්ක අපිත් බදුල්ලටම ආව එහෙනං.
    ඉතා වටිනා සුන්දර සටහන් පෙළක්.

    ReplyDelete
    Replies
    1. එල එල.. ටිකට් දීලා එලියට යන්න ඈ.. :D
      ස්තුතියි අදහස් වලට!

      Delete
    2. මෙම චාරිකාව නැවත ේ අයුරින් යාමට හැකිවන් ේ නැත.
      No words..... :-'(

      Delete
  6. පාඨකයාගෙ මනසට දැ නෙන ආකාරයට තාත්විකව ලිපිය ලියල තියෙනව, ඡායාරෑපත් ඇතුලත් කරල තියෙන නිසා ලිපියෙ වටිනාකම තවත් වැඩියි. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! ගමනට ආවට වගේම මගදී ගත්ත සේයාරු වලටත්. මේ ගමනෙන් තමා ඉස්සරහට අපි ගිය දුම්රිය ගමන්, පා ගමන් හැම එකටම අඩිතාලම වැටුනේ..

      Delete
  7. පාඨකයාගෙ මනසට දැ නෙන ආකාරයට තාත්විකව ලිපිය ලියල තියෙනව, ඡායාරෑපත් ඇතුලත් කරල තියෙන නිසා ලිපියෙ වටිනාකම තවත් වැඩියි. සුභ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ඔබේ සේයාරු ටික ලැබුනේ නැහැ. ඒ නිසා ඇතුලත් කරන්න උනේ නැහැ. තවමත් ඒ ටික තියනවාද?

      Delete
  8. මහන්සියට බොමුද බෙලිමල් වීදුරුවක්...

    ReplyDelete
    Replies
    1. හා. එවන්නකො බලන්න.

      Delete
  9. අගහරුවෝ......... මුලින් ම කියන්න ඕනේ උඹේ වැඩේ නං අති සුපිරියි... මේ ගැන විස්තර හොයන කෙනෙකුට මේක ලොකු දෙයක් වේවි..... අලුතෙන් කෙනෙක්ට මේ පැත්ත ගැන බලද්දිත් මේක වැදගත් වේවි.... ඒ නිසා මේක හොද විස්තර එකතුවක්.... අලුත් ගමන කොහෙටද????????

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහස් දැක්වීමට! මේ විස්තරය දැන් කී තැනක කී දෙනෙක්ගේ නමින් පළ වෙලා තියෙයිද දන්නේ නෑ හැබැයි.. :D
      ආය නම් මේ වගේ ගමන් යන්න බෑ කුරුටු මට. සෞඛ්‍ය අන්තිමේටම පිරිහිලා තියන්නේ. එකයි මම කිව්වේ අර ජීවිතේටම එක් වරක් පමණක් ලැබුණු අත්දැකීමක් කියලා.

      Delete
  10. අර දුම්රිය මාර්ගයේ අන්තිම කෙලවර කියන පින්තූරෙ තියෙන්නේ රම්පාල පොල්ලක් නෙවෙයි නේද? ඒක මරු කතාව.

    මමත් අර බෝඩ් එකේ පින්තූර ගත්තා. නමුත් ආලෝක තත්වය නිසා පොඩ්ඩක් හෙලවිලා අප්සෙට් වෙලා තිබ්බා.

    බොහොම ස්තුතියි මේ රසවත් චාරිකා සටහනට.

    ReplyDelete
    Replies
    1. නෑ. මේ පෝස්ට් ඒකෙ රම්පාල පොල්ලේ ෆොටෝ නෑ. මම එකක් එකතු කරන්නම්. අපේ ගෙවල් ළඟ තියනවා එකක්.
      ඔබතුමාගේ සටහනත් නියමයි. ඒ ටික එක ලේබල් එකක් යටතට වගේ ගන්න පුළුවන් නම් බලන්න ලේසි වේවි නේද?
      ස්තුතියි ඇවිත් අදහස් දුන්නට!

      Delete
  11. ඔන්න එහෙනං ගමන අහවරයි! මල් හතයි මචං! මේ ඔක්කොම එකට එකතු කරලා PDF එකක් වගේ හැදුවත් පාඩු නෑ... ගොඩක් යට ප්‍රයෝජනවත් වෙයි.

    ReplyDelete
    Replies
    1. මේක තව ටික දවසකින් එහෙම හදල තියෙයි ඉන්ටර්නෙට් එකේම. ඒක ෂුවර්.
      ස්තුතියි අදහසට! කාලෙකින් දැක්කේ මේ පැත්තේ.

      Delete
  12. බදුල්ලටම ආවා එහෙනම්. ඔන්න මමත් සුබපැතුම් එකතු කරනවා.

    මමත් රේල් පාරේ සමහර තැන්වල රතු පසුබිමේ මැද සුදු ඉරක් තියෙන කිරිබත් කෑල්ලේ හැඩයට සවිකරපු බෝඩ් එකක් දැකලා තියෙනවා. ඔයා කියපු 'රම්පාල පොල්ලයි' මේකයි දෙකෙන්ම කියවෙන්නේ එකම සංඥාවද? මම හිතාගෙන හිටියේ ඒක තියෙන්නේ ඉදිරියෙන් තියෙන අනාරක්ෂිත හරස්මාර්ග ගැන දුම්රිය රියදුරාට දන්වන්න කියලයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුභ පැතුමට!
      ඔබ කියන සංඥාවෙන් දැක්වෙන්නේ අනාරක්ෂිත හරස් මාර්ගයක් ඉදිරියෙන් කියන එකයි. දුම්රිය සංඥා ගැන මම වෙනම පෝස්ටුවක් පළ කරනවා. ඒකෙ මේ ගැන සටහන් කරන්නම්!

      Delete
    2. ස්තුතියි පැහැදිලිකිරීමට. මගේ අනුමානය හරි වගේ.

      Delete
  13. ආං මචං, උඹ පුල පුලා බලං හිටපු කතාව මං ලියන්ඩ පටං ගත්තා. පළවෙනි කොටස දැම්මා.

    ReplyDelete
    Replies
    1. හුරේ... මේ එනවා මේ එනවා..

      Delete
  14. කොහොම හරි අන්තිම කොටස කියෙවුවා. ජය වේවා. රමපාල පොල්ල ගැන දැනුවත් කළාට ස්තුතියි අඟහරුවෝ.

    ReplyDelete