2014 වසරේ සැප්තැම්බර් මාසයේ දිනෙක, මා සහ මට
ඉගැන්වූ ගුරුවරයකු මාතර කෝච්චියෙන් කොළඹ පොත් ප්‍රදර්ශනයට ගියෙමු. එහිදී, අප
දෙදෙනාම නොයෙකුත් පොත් මිළට ගත් අතර, මාගේ දුම්රියට ඇති ඇල්ම දැන සිටි ඔහු, මා හට
දුම්රිය ගැන ලියැවුණු පොතක් පෙන්වීය. ඒ, එච්. යූ. තිබ්බොටුමුනුවේ නම් අයෙකු විසින්
රචනා කොට තිබූ, “Adventures
in Steam- British Era…” නම් කෘතියකි.
මට නිධානයක් සේ වටිනා කෘතිය.. |
එදා ගෙදර ආ මම, මෙම කෘතිය ගැන කලින් අසා කියවා
තිබුනත්, මෙය කියවීම මදක් කල් දැම්මෙමි. සති තුනකට පමණ පසු, රාත්‍රී ආහාරයට පෙර
විදුලිය විසන්දි වූ අවස්තාවක, ඉටිපන්දම් එළියෙන් මෙම පොත කියවීමට ගත්තේ විදුලිය
එනතුරු කිරීමට දෙයක් වශයෙනි..
නමුත්, මෙම පොත මා සිත කෙතරම් ඇදගත්තේ ද කිවහොත්,
විදුලිය නැවත පැමිණි පසුද, පොත පසෙකින් තබා රාත්‍රී ආහාරය සඳහා ගියේ මෙහි පිටු
සියල්ලම කියවා හමාර කිරීමෙන් පසුවය.
අනතුරුව, මා ලත් අත්දැකීම්, ඇසුදුටු කරුණු ආදිය
නිසාත්, මා විසින්ද ලිපි සම්පාදනය කල “Lanka Railway Digest” නම් සඟරාවට එහි කතුවරයා විසින් සපයා තිබුණු ලිපි
නිසාත්, ඔහු හමු වී කතාකිරීමේ ආශාවක් ඇති විය. වරින් වර එක එක කරුණු නිසා කල් ගිය
මෙම කටයුත්ත, 2015 වසරේ ඉටුකරගැනීමට, මා පොතේ දී තිබුණු අංකය අනුව ඔහු ඇමතුවෙමි.
“Hello! Can I speak to Mr. Thibbotumunuwe please? “
-
“Yes,
speaking, who is this?”
මා හඳුන්වාදීමෙන් සහ හමුවීමට දිනයක් යොදාගැනීමෙන්
ඒ කෙටි සංවාදය අවසන් විය. දවස් තුනකට පසු, මහනුවරින් මරදානටත්, මරදානෙන්
කොට්ටාවටත් දුම්රියෙන් ගොස්, එතනින් කියූ මංසලකුණු අනුව නිවස සොයාගෙන මත්තේගොඩ ප්‍රදේශයට
ගියේ ගැහෙන හදින්ය.
එදින මද වර්ෂාවක් විය. බස් නැවතුම අසල කඩයකට වී
සිටි වයස්ගත පුද්ගලයකු, මා බැස වටපිට බලනු දැක ලඟට විත්, සුභාෂ් දැයි විමසා
සිටියේය. හඳුනාගැනීමෙන් අනතුරුව, පයින් යන දුරින් පිහිටි ඔහුගේ නිවස වෙත අප ඇවිද
ගියෙමු. වයස අවුරුදු 94ක් පිරී සිටි ඔහුගේ කාය ශක්තිය සහ නිරෝගීභාවය මා විශ්මයට
පත් කිරීමට සමත් විය. ඔහු අඩුම ගනනේ හරමිටියකදු භාවිතා කලේ නැත!
නිවසට පැමිණ ආසනයක් පැනවූ ඔහු, ආ කාරණය විමසීය.
මා ඇසූ ප්‍රශ්න වලට පැහැදිලිව පිළිතුරු සැපයූ ඔහු, අමතර කරුණු සහ මතක සටහන් ගෙනහැර
දැක්වීය. ආ වැඩේ ඉවර නම් යන්න යයි නොකී ඔහු,
“You must be thirsty than me” යයි කියා මා හට සිසිල් බීම එකක් පිළිගැන්වීමට තරම් කාරුණික විය. ඒ අප පළමුවෙන් හමු වූ දිනය විය..
“You must be thirsty than me” යයි කියා මා හට සිසිල් බීම එකක් පිළිගැන්වීමට තරම් කාරුණික විය. ඒ අප පළමුවෙන් හමු වූ දිනය විය..
පසුව, මා ඔහුගෙන් එදා අසාගත් දෑ සහ තවත් මා මතකයේ
තිබුණු දෑ ගොනු කොට, උසස්පෙළ සහ නොයෙක් සටහන් ඉක්මනින් ලිවීමට හුරු වී විනාශ වුනු
මගේ අත් අකුරින් ලියා, තරමක් දිග ලිපියක් යැව්වෙමි. මේ, එයට ඔහු එවූ පිළිතුරයි..
අත් අකුරු පැහැදිලි කරගන්නා ලෙස උපදෙස් දෙමින් ලියු ලිපිය.. |
මීට පසුව දුරකතනයෙන් ද, කිහිප වරක් ලිපි මගින් ද
මාගේ ප්‍රශ්න වලට කාරුණිකව පිළිතුරු දීමට තරම් ඔහු නිහතමානී විය. තමාට දැන් වයස
යයිද, කැමති දෙයක් ඔහු වෙත පැමිණ අසාගෙන යන ලෙසද කිසි දා මට නොකීවේය. තරමක් දීර්ඝව
පැහැදිලි කල යුතු දෙයක් පමණක්, නැවත ආ දිනයක අසන ලෙස කීවේය. ඒ4 කොළ දෙක තුනක්
පුරාවට මා අසන ප්‍රශ්න වලට පිළිතුරු ලියා එවීමට තරම් කාරුණික වූයේ, මා දුම්රිය
දෙපාර්තමේන්තුව සමග කිසි සම්බන්ධයක් නැති කෙනෙක් බව නොසලකාය.
වර්ෂ 1942 ලෝක යුද්ධ සමයේ දුම්රිය
දෙපාර්තමේන්තුවට විශේෂ ආධුනික රියදුරු (Special Apprentice
Driver) කෙනෙකු ලෙස බැඳී, අවුරුදු පහක පුහුණුව නිම කර 1947
වසරේ වාෂ්ප එන්ජින් රියදුරකු වශයෙන් සේවයට එක් වූ ඔහු සතුව, ඉතාමත් වටිනා, දුම්රිය
ලෝලී අපහට සහ ඉතිහාසයට ලැදි සැමට, ධන නිධානයක් මෙන් වටිනා අත්දැකීම් රාශියක් විය.
ගල් අඟුරු වෙනුවට ලෝක යුද්ධ සමයේ දර යොදා වාෂ්ප
එන්ජින් ධාවනය කිරීම, ගැරට් එන්ජින් වලට ගල් අඟුරු වෙනුවට දැවී තෙල් භාවිතය, 1971
කැරලි සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් විශේෂ දුම්රිය ධාවනය, ඒ මෙන්ම සහල් ප්‍රවාහනය
තහනම් වූ අවධියේ දුම්රිය රියදුරන් සහල් ප්‍රවාහනය ආදී නැවත කිසි දා නොලැබෙන
අත්දැකීම් මෙන්ම, දිස්ත්‍රික් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලද පසු, පැවැත්වූ
පරීක්ෂණ, ඒවායින් හැකි සැම විටම රියදුරන් සහ අනෙකුත් දුම්රිය සේවකයින්
නිවරදිකරුවන් වන අයුරින් වාර්තා සකස් කල හැටි, කඩුගන්නාවේ දුම්රිය එන්ජිමක් තැපැල්
දුම්රිය පසුපස ධාවනය වූ සිදුවීමෙන් පසු, අදටත් භාවිතයේ පවතින “Scotch Block” නම් උපකරණය දුම්රියට හඳුන්වාදීම ආදී බොහෝ වටිනා
අත්දැකීම් ඔහු සතුවිය. ඒ මෙන්ම, ඒවා නිර්ලෝභීව ඔහු අපට බෙදා දුන්නේය.
දෙවෙනි පොත.. |
පසුගිය වසරේ, දෙසැම්බර් මස 16 වනදා, මා තවත්
මිතුරකු සමග ඔහු හමුවන්නට ගියේ, වෙනදා මෙන් මගේ අවශ්‍යතාවයකටම නොව, පැමිණෙන ලෙස
ඔහු විසින්ම කරන ලද ආරාධනයකට අනුවය. අප යන විට මදක් රෝගී තත්වයක පසු වුවද, පෙර
මෙන්ම විවිධ කරුණු කියමින් අප සමග පැය තුනකට ආසන්න කාලයක් පිළිසඳරේ යෙදුනි.
“ මට හම්බුන උගන්නපු ඒ මහත්තය හරි හොඳයි. ගොඩ්ෆ්‍රී
කිංග්ස්ටන් කියල නම. මාව රෝස්ටර් කරනකොට බුකින් ක්ලාක් කිව්වෙත් හරි අමාරුයි වැඩ
කරන්න, පුලුවන්ද කියල. මම හා කමක් නෑ කියල භාරගත්ත. පලවෙනි අපිට වැඩ කරන්න තිබ්බේ
තලෙයිමන්නාරම කෝච්චිය. මම කලින් ගිහිං ටූල් බොක්ස් එක එහෙම හොඳට සුද්ද කරලා, ආවුද
හොඳට දිලිසෙන්න සුද්ද කරලා තිබ්බ. එන්ජිමත් කට්ටිය එක්ක හොඳට සුද්ද කරා.
මිනිහ ඇවිත් බැලුව, මොකද්ද නම ඇහුව, එච්චරයි. ඊට
පස්සේ කිසි කතාවක් නෑ එලවාගෙන යනවා. මම අඟුරු දානවා.. ගිහිං අනුරාධපුරෙන් බැස්ස.
බැහැල යනකොට කිව්වා I
will be waiting for you in the Booking Office කියල. ඔන්න ඔච්චරයි. බුක් ඔෆ් කරලා ඉවර වෙලා
යනකොට තමා කතා කරේ....”
මෙලෙස සංවාදයේ යෙදී, ළඟදී ඔහු විසින් ලියු පොත
ගැනද සඳහන් කොට, ඒ සඳහා සේයාරුවක් රැගෙන දිය හැකි දැයි විමසීය. එයට අප එකඟ වූ පසු,
ඒ ගැන විස්තර කතා කොට, ඔහුට සුභ පතා, අප ඔහුගෙන් සමුගත්තෙමු. ඒ, නැවත හමුවන
පොරොන්දුව පිටය.. එහෙත්..
එම පොරොන්දුව කිසිදා ඉටු නොවන පොරොන්දුවක් වන්නට දෛවය තීන්දු කොට තිබුණි.
එම පොරොන්දුව කිසිදා ඉටු නොවන පොරොන්දුවක් වන්නට දෛවය තීන්දු කොට තිබුණි.
එම සෙනසුරාදා දිනම ඔහුට උවමනා සේයාරුව ගැනීම
පිණිස පිටත් වීමු. එය හමාර කොට, ගෙදර පැමිණි මා හට රත්නපුරය බලා පිටත් වීමට සිදු
විය. එහිදී මා ඔහු අමතා, මා බලංගොඩ බලා පිටත් වන බවත්, සේයාරුව ලබාගත් බවත්
දැන්වීමි. ඒ, මා ඔහු ඇමතු අවසාන වතාව විය.
ජනවාරි පළමුවන දා, දිවා ආහාරයෙන් පසුව අලුත්
අවුරුද්දට සුභ පැතීමට ගත් ඇමතුමට ප්‍රතිචාරයක් නොවීය. ගෙදර දුරකතනයද විසන්දි වී
තිබුණි. අනතුරුව පාසල් පටන්ගත් බැවින්, එම කටයුතු වල නියැළී, අද දින උදයේ,
ෆේස්බුක් අඩවිය වෙත පිවිසුණු විට දුටු දෙයින් මා හදවත මොහොතකට නතර විය.
ඒ, ඔහුගේ අවමංගල උත්සවය වෙනුවෙන් පවුලේ
සාමාජිකයින් විසින් පල කෙරුණු පුවත්පත් දැන්වීමේ ජායාරූපයකි.. 2016 අවුරුද්ද, මෙරට
සිටි ප්‍රබුද්ධ, වැඩ දායක, වටිනා පුද්ගලයින් බොහෝ දෙනෙක් බිලිබාගත්තේය. එයින්
අවසාන වශයෙන්, අවුරුද්ද අවසන් වන්නට හොරා කිහිපයක් තිබියදී, මෙම වටිනා සොඳුරු මිනිසාද
මෙලොවට ආයුබෝවන් කියා තිබුණි..
මා හට කල හැක්කක් නොවීය. නිවසට ඇමතුමක් ගෙන මාගේ
කනගාටුව ප්‍රකාශ කලෙමි. සවස ඔහු ලියූ පළමු කෘතිය නැවත අතට ගත්තේ කියැවීමට වඩා,
ඔහුගේ මතකයන් ආවර්ජනය කිරීමටය. එහි පිටු පෙරලන සෑම අවස්ථාවකම, එම පිටු අතරේ සිට,
ඔහු එම කතාව ඔහුගේ හඬින් මා හට පවසනු ඇසේ.. ඔහු නික්ම ගොස් ඇත. ජීවිත කෝච්චියේ
සැතපුම් 96ක් ගෙවා, දුම්රිය නතර වී ඇත.. එන්ජිමේ ගින්දර නිවී ඇත.. ඔහුම පැවසූ
පරිදි, ඔහු වර්ෂ 25ක් ගින්දර රස්නය වින්දේය. වාෂ්ප එන්ජින් වල දුම් බිව්වේය. ගැරට්
එන්ජින් වල තෙල් මිශ්‍ර දුම ද, ඩීසල් දුමද ඇති තරම් වින්දේය.. නැවත සංසාරයේ ගින්දර
නොවිඳ, නිර්වාණයේ සුවය අත් වේවායි මා ප්‍රාර්ථනා කරන්නෙමි....!
මේ සටහනට ස්තුතියි.
ReplyDeleteස්තුතියි කමෙන්ටුවටත්!!
Deleteමම මුල ඉඳන් අගටම එක හුස්මට කියවල ඉවර කරල තියෙන්නේ පොත් අතලොස්සක් විතරයි. මෙතුමගේ පොත් දෙක ඒ අතර තියෙනවා. ගල් අඟුරු එන්ජිමක් එක්ක ගැටෙමින් කර්කෂ වෘත්තියක නියැලුනත් මෙතුමාගේ රචනා සහ වාග් ශෛලිය ඉතාම සියුමැලි සිත්ගන්නා සුළු එකක්. අපිට කවදාවත් නැවත දිකින්න නොලැබෙන දේවල් අපේ ඇස් ඉදිරිපිට මවා ගන්න පුළුවන් තරමට සියුම්ව විස්තර කරල මෙතුමා ලිපි ලියල තිබ්බේ. ඒ වගේම මෙතුමා මුණගැහුණු අවස්ථාවන් කීපයේදී තමන්ගේ අත්දැකීම් ගැන කියපු විස්තරත් ඉතාම ආකර්ශනීයයි. ඒ දේවල් වත්මන පරම්පරාව සමග බෙදාහදගන්න පුදුම උනන්දුවක් එතුමට තිබ්බා. එවන් සුන්දර පුද්ගලයෙකුගේ නික්ම යෑම අතිශය කණගාටුදායකයි.
ReplyDeleteඑතුමාට උතුම් නිර්වාණ සුවය පතමු!!!
"අපිට කවදාවත් නැවත දිකින්න නොලැබෙන දේවල් අපේ ඇස් ඉදිරිපිට මවා ගන්න පුළුවන් තරමට සියුම්ව විස්තර කරල මෙතුමා ලිපි ලියල තිබ්බේ."
Deleteසහතික ඇත්ත. දැනටත් මම පොත කියවද්දී අර නයිට් මේල් එක ගැන එහෙම කියල තියන කොටස් ටික හිතේ ඇඳෙනවා වගේ.. මමත් ඒ කෝච්චියේ ඉන්නවා වගේ..
මටත් හිතාගන්න බැරි උනා එක පාරට ආරංචිය ආවම.
කීමට කිසිත් නැත.
ReplyDeleteඑතුමාට උතුම් නිර්වාණ සුවය පතමි
දැන් ඉතින් කීමට යමක් තිබුනත් කුමට ද...
Deleteබොහොම අපූරු සටහනක්
ReplyDeleteස්තුතියි!
Deleteඑතුමාට නිවන් සුව පතමි !
ReplyDeleteමමත් එසේම පතමි..
Deleteඑතුමව එකම එක වරක් හරි මුණ ගැහෙන්න වාසනාවක් තිබුණු එක ගැන මටත් සතුටක් තියෙනවා. මම සාමාන්‍යයෙන් ඉංග්‍රීසි පොත් කියවන්න කම්මැලි වුනත් එතුමගේ පොත් ඉතා ආසාවෙන් කියවූවා. තූර්ය කිවුවා වගේම ඉතා රසවත් ආකාරයට එතුමා තමන්ගේ අත් දැකීම් ගැන ලියල තියෙනවා. අර ඇසිස්ටන් කෙනෙක් රේල් කාර් එකක් අරන් ගිය කතාව, රා මුට්ටිය ගත්ත කතාව එහෙම ඉතාම රසවත් විදියට ලියල තියෙනවා. මම ආසාවෙන් හිටියේ එතුමගේ අවසර ඇතිව ඒ කතා සිංහලෙන් LRD එකට හෝ Blog එකට ලියන්න. එතුමාගෙ නිහඬ සමුගැනීමත් එක්ක දුම්රිය සේවයේ සැඟවිලා තියෙන ඉතිහාසයේ හුඟක් සිදුවීම් වල මතකයන් අපිට නැති වෙලා ගියා. සෑහෙන්න කණගාටුවක් දැනෙන්නෙ. :(
ReplyDeleteඑතුමට නිවන් සුව පතනවා.
ඒ සියළුම කතා ඔහු අතින්ම පරිවර්තනය වුනා. නමුත් අපගේ අවාසනාවකට එම කෘතිය පල කිරීමට පෙර ඔහු අපගෙන් සමුගෙන ගියා.. ඒ ගැන හැකි යමක් කිරීමට මා බලාපොරොත්තු වෙනවා..
Deleteඔහු වෙනුවෙන් කළ හැකි හොඳ දෙයක් අඟහරුවා කරල තියෙන්නෙ..
ReplyDeleteමේ ලිපිය ලිවීම, ඔහු ගැන අපව දැනුවත් කිරීම,
ඔහුට අනුමෝදම් විය යුතු, ඔබ කළ පිනක් !
ස්තුතියි කමෙන්ටුවට! පරක්කු වෙලා උත්තර දුන්නට සමාව භාජනේට දාන්න! සුබ නව වසරක්!
Deleteඋබ ගැන ආඩම්බරයි මචෝ
ReplyDeleteස්තුතියි!!
DeleteExcellent Mars bars! Great writing. Enjoyed it immensely.
ReplyDeleteThanks for the comment mate!
Deleteදුක හිතෙන කතාවක් :(
ReplyDeleteඅනිවාර්යයෙන්ම...
Deleteඑතුමාට නිවන් සුව පතමි !
ReplyDeleteමමත් එසේම පතමි..
Deleteතිබ්බොටුමුණුව මහතාගේ පුත්‍රයකු ගුවන් හමුදා සේවයේ සිටියදි දිවි පිදුවා. ඔහු වෙනුවෙන් ඉදිකල ස්මාරකයක් ඒකල ගුවන් හමුදා කදවුරේ පිහිටුවා තිබෙනවා. General Duties Pilot Wng Commander Thibbotumunuwe
ReplyDeleteඒ ගැන එතුමාගේ දෙවැනි පොතේ සඳහන් වෙනවා..
Delete