Friday, January 12, 2018

මා මළ පසු...


                                            
මා මළ පසු සොහොන් කොතේ-
දුක් ගීයක් ලියනු මැනවි..
මේ ලොව යම් කිසිවකු මා හට පෙම්කල බව-
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට කියාවි..  


          කලකට පෙර මහගම සේකර ශූරීන් අතින් ලියැවී අමරදේවයන්ගේ හඬින් ගැයුණු එම ගීතයේ එසේ කියැවෙද්දී, මේ සටහන ලියවෙන්නේ වර්තමානයේ මල ගෙවල් සහ මරණය පවා වෙළඳාම විසින් අතික්‍රමණය කර, සිය තත්වය පෙන්වීමේ කැඩපතක් ලෙස යොදාගැනීමට සමාජය යොමු වී සිටින මොහොතකය. 

          අද මා පියාණන්, හෙට දුර ඈතක මළ ගෙදරක යාමට තිබෙන බව පැවසීය. මා පියාණන් ඉතා දක්ෂ කථිකයෙක් වන නිසාම, මෙවැනි ස්ථාන වලදී කතාවක් වරදින්නේ නැත. පාඩම් මේසයේ පොත දෙස බලා මේ ගැන සිතමින් සිටි මට, මේ අකුරු කිහිපය සටහන් කර තැබීමට සිත් විය. 

          මළ ගෙදර මගුල් ගෙදරක් වන් වූ අද වැනි කලෙක, එහි තිබිය යුතු දුකට වඩා ඇත්තේ සාදයක ස්වරූපයකි. විවිධ ඇඳුම් ආයිත්තම් වලින් සැරසුණු කාන්තාවන්, විලාසිතා තරඟයකට ඉදිරිපත් වූවාක් මෙන් හැසිරීමත්, “පොෂ්” විදියට ඉංග්‍රීසිත් නොවන සිංහලත් නොවන අමුතුම බසකින් අමුතුම ක්‍රමයකට වැළපීමත්, අවසානයේ කෑම වෙලාව පැමිණි විට, “බුෆේ” ක්‍රමයට සූදානම් කෙරුණු අති උත්කෘෂ්ට කෑම මේසය වෙත පැමිණ විවාහ මංගල්‍යයකට නොදෙවෙනි අයුරින් ආහාර ගැනීමත් සිදු වේ. 

          සාමාන්‍යයෙන් වත්මන් මළ ගෙදරක් දින දෙකක හෝ දෙක හමාරක කාලයක් පැවැත්වේ. ඊට වඩා කල් පැවැත්විය හැකි වුවත්, එසේ කිරීම අදාළ නිවැසියන් බංකොලොත් භාවයට පත් කිරීමට හේතු වන බැවින්, එසේ නොකෙරෙන බව සිතිය හැකිය. අවසාන දවසේ අවමංගල සභාව නම් මංගල සභාවකට නොදෙවෙනි සභාවක් තබනු ලැබේ.  

         මෙහි ගුණ කථන නම් නිමක් නැත. හාමුදුරුවන් එකකුත්, වැඩිහිටියන්ගෙන් කෙනෙකුත්, ඥාති කෙනෙකුත්, මිතුරෙකුත්, මිතුරියකත් ආදී වශයෙන් අටෝරාසියක් කතා මෙහි පැවැත්වේ. සාමාන්‍යයෙන් වැස්සකට වත් පන්සලට ගොඩ නොවූ තැනැත්තා මෙහිදී මහා උපාසක ය. ඉන්නා තුරු අංචි ඇද පවුල් කෙටවූ පුද්ගලයා/ කාන්තාව මෙහිදී සද්ගුණවත් ගමට හිතැති සුදනා ය. 

        මේ සියලු විකාර බලමින් අර මියගිය පුද්ගලයා ඉපදී සිටින ලොවකදී පපුවේ අමාරුවක් සැදී නැවත මිය නොගියහොත්, මෙවැනි ඥාතී මිතුරු පිරිසක් අතහැර දමා ඒමට සිදු වීමේ ශෝකයෙන් ලය පැලී මිය යනු ඒකාන්තය. වත්මන් ලංකාවේ මළ ගෙදර වනාහී එතරම් අලංකෘත වූත්, අත්‍යලංකාර වූත්, නොයෙක් විකාර ඇත්තා වූත්, බලන්නටම වටිනා වූත් දර්ශනමාත්‍රයකි. 

        මේ සියල්ල සටහන් කරන විට, යම් දවසක මා මළ පසු කුමකින් කුමක් සිදු වේ දැයි නිකමට සිතුනි. ඒ අනුව, මා මළ පසු සිදු කිරීමට මා යෝජනා කරන දෑ පහත අයුරින් සටහන් කිරීමට සිතුනි. –
  • ·        මියගිය දිනට පසු දිනම පාංශුකූලය ලබා දී දේහය වෛද්‍ය විද්‍යාලයට ලබා දිය යුතුය (ඔවුන් ප්‍රයෝජන ගෙන සුදුස්සක් කරනු ඇත) .
  • ·        එකදු ගුණ කථනයක් හෝ අවශ්‍ය නැත (මැරිච්ච එකා ගැන මොකට කියනවද) .
  • ·        මා මළ පසු ඇඳට හෝ මේසයට හෝ කාමරයට හෝ අරක්ගෙන සිටීවි යයි බිය විය යුතු නැත. එහෙයින් එම දේවල් ගිනි තැබීම අනවශ්‍ය ය.
  • ·        දේහය ගිනි නොතබන බැවින්/ වළලනු නොලබල බැවින්, මිනී පෙට්ටියක අවශ්‍යතාවයක් නැත. ඒ සඳහා වියදම් කිරීම මා නිකරුනේ බැනුම් ඇසීමටත් හේතු වේ.. (මේකාට තව පෙට්ටිත් හොයන්න උනා නේ... නොදකින් කාලකන්නියා...)
  • ·        එන කිසිවකුට හෝ කන්නට නොදිය යුතුය. මළ ගෙවල් වලින් කෑම අප්‍රිය කල යුතු දෙයකි. ඇරත් කුණු වන විසබීජ පිරි මළ සිරුරක් අසළ තබාගෙන ආහාර ගැනීම කෙතරම් ගැලපේ දැයි ඔබම කල්පනා කර බලන්න.
  • ·        දුර කතර ගෙවාගෙන මළගෙදර පැමිණීම අවශ්‍ය නැත.
  • ·        පෝස්ටර් හෝ බැනර් අවශ්‍ය නැත. මා ප්‍රසිද්ධ වීමට ඉතා අකමැතිය.
          සොහොන් කොත් සෑදීම නමැති අඥාන ක්‍රියාව කවදා අපේ මිනිසුන් නවත්වයි දැයි මට කිව නොහැක. කෙසේ නමුත් එකක් නම් සහතිකය. පොළොවට බරක් වන පරිදි, මගේ මිනී වල ඉහ කෙලවරේ නම් සොහොන් කොත් නොබැඳෙන බවයි. 
                                 
          මහගම සේකර ශූරීන් පෙර ලෙස කීවත්, ඔහුගේ සොහොන් කොතේ ද දුක් ගී ලියවුනේ නැත. පරිසරයට පස් වී යන මේ කය වෙත මොන දුක් ගී ද.. මොන ආදරේ ද.. 

අප පාසලේ පාසැල් ගීයේ මෙසේ සඳහන් වේ -
For though the dust that’s a part of us- To dust again be gone..” 

          මෙම පාඨය සත්‍යයක් කරමින්, අප මුතුන් මිත්තන් කරා සේ, සරලව පොළොවට පස් වී මව්බිමට පොහොරක් වීමට වත්මන් සමාජයේ මිනිසුන්ට මොලේ පෑදේවා කියා පතමින් මෙම කෙටි සටහන අවසන් කරමි.. 

                                   

8 comments:

  1. මගේ ක්‍රමයම තමයි. ලබන ආත්මයේදි සෙට් වෙමු බ්‍රදර් 👊🏽.
    One day we’ll meet face to face. But the place called out of space - flipSyde

    ReplyDelete
    Replies
    1. එකෙන්ම සෙට් වෙමු! මේ ලෝකෙට නම් ආය එන්න එපා කියල තමා මමත් කියන්නේ.

      Delete
  2. ඇත්ත ලිපියක් මගේ පියත් හොදින් ඉන්න කාලේ ඔහුගේ අවසන් කැමැත්ත ප්‍රකාශ කරලා තිබුණා.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. මමත් දැන්මම ලිව්වා. මොකද අන්තිම වෙලාව කියන එක කොයි වෙලාවද දන්නේ නෑ නේ.

      Delete
  3. මාත් මේ ළඟදි මේ පැත්තෙ වයසක ගෑණු එක්කෙනෙක්ගෙ අන්තිම කැමැත්තක් ටයිප් සෙටින් කරල දුන්න. බොලාගෙ කැමති ඒවයින් වැඩි හරියක් එතනත් තියෙනව.

    ReplyDelete
    Replies
    1. තව සිම්පල් කරගන්න පුලුවන්නම් තවත් හොඳයි. හැබැයි අවුරුදු 50ක් වගේ හිටියොත් නම් එහෙම වෙයි. ඇයි කරන්න මොකෙක් වත් නැති වෙනවනේ..

      Delete
  4. අපෙ සියාගේ අවසන් කැමැත්ත මතක් උනා මට. සිමෙන්ති නැති සොහොන් කොත් නැති වල ඉහලින් තැඹිලි ගහක් හිටවන්න කියපු.

    ReplyDelete
    Replies
    1. අන්න නියම අන්තිම කැමැත්තක්.. මළාට පස්සෙ මොන ස්මාරකද අක්කා..

      Delete