Sunday, February 18, 2018

මොබයිල් පරිණාමය..

          මෙයට දස වසරකුත් සතියකට පෙර, එනම්, 2008 පෙබරවාරි මස 11 වන දින, මගේ දිනපොතේ මෙසේ සටහන් වී ඇත- 

          ...................... අද දින මගේ ප්‍රථම ජංගම දුරකථනය ලැබුණි. එය නොකියා 5110 වර්ගයේ එකකි....

          මට ලැබුනේ මෙහි චාජරය සහ දුරකථනය පමණකි. ඒ ද, අක්‍රීය තත්වයෙනි. බැටරියක් දමා පළමුවෙන්ම පණ ගන්වා බලා අද දිනට හරියටම වසරකි. මෙයින් ඇරඹුණු මාගේ ජංගම දුරකථන ඉතිහාසයේ දශකයක මතක ආවර්ජනයක් කිරීමට සිතුවෙමි. 
පරිනාමික චක්‍රය..

          5110 දුරකතනයේ පැවති පණ නොගැන්වෙන දෝෂය සැදීම සඳහා මා ප්‍රථමයෙන් උත්සාහ කලෙමි. අනතුරුව, අප්පච්චිගේ මොබිටෙල් සිම්පත දැමූ විට වැඩ නොකළේය! සිග්නල් නැත.. මේකට මක් උනාදැයි සිතාගත නොහැකිව සිටින විට, මතක් වූයේ ලංකාවේ 1800 සහ 900 ලෙස සංඛ්‍යාත දෙකක නෙට්වර්ක් ක්‍රියාත්මක වන බවයි. අවසානයේ මාර්තු මාසයේ අප්පච්චීට කියා එකල ටීගෝ නමින් තිබුණු ජාලයේ සිම්පතක් ගෙන්වාගතිමි. ඒ, මාගේ ප්‍රථම සිම් පතයි. එය අදටත් ක්‍රියාත්මක ය. 

          ඔය දුරබනනයේ වයිබ්රේට් පහසුකම නොතිබුණු අතර, නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරිය නිසා අධික බරක් තිබුණි. කොටින්ම, වලියකට බය නැතුව ගෙන ගොස්, දෙතුන් දෙනෙක් වත් බිම දැමිය හැකි තත්වයක් තිබුණි. ප්‍රමාණය නිසාම, සාක්කුවේ දමාගෙන යාම කිරීමට අපහසු දෙයක් නොව, කල නොහැකි දෙයක් විනි. 

          එකල තිබුණු ජංගම දුරකථන අලුත්වැඩියා සඟරාවකින් බලාගෙන, ප්‍රථම වරට ජංගම දුරකතනයක් ගැලවීමට ඉගෙනගත්තේ ද මෙම දුරකථනයෙනි. නමුත්, මෙම දුරකථනය නම් 2008 ඔක්තෝබර් මාසයේ අස්ථානගත විය. එහි චාජරය පමණක් මා සතුව ඇත. 

          මගේම කියා ප්‍රථම වරට නව ජංගම දුරකතනයක් ලැබුනේ 2008 අගෝස්තු මාසයේ 16 වන දින ය. ඒ, නොකියා 1200 දුරකතනයකි. කිසිඳු අතිශයෝක්තියකින් තොරව කියන්නේ, මෙතෙක් මා ලද සුපිරිම දුරකථනය එය බවයි. කෙතෙක් සුපිරිද කිවහොත්, අදටත් එය ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයෙන් ඇත! 
1200 සහ 1100 ..
නොකියා සමාගමෙන් නිකුත් කල අතිසාර්ථක දුරකථන දෙකක් හමු වූ අවස්තාව..                             

          මෙකල මා සාමාන්‍යය පෙළ ප්‍රථම වසරේ සිටි සමයයි. යුද්ධය දරුණුවට ඇදුනු මෙම කාලයේ, අමතර පන්ති සහ විවිධ ගමන් යෑම තරමක අවධානමක් එල්ල කළේය. නමුත් ඇත්තටම ඒ කාලයේ එය ගණනක් තිබුනේ නැත. ගෙදරට පණිවිඩයක් දීමට ක්‍රමයක් ලැබුණු නිසා, තිබුණු බයද නැති විය. 

          එකල යහළුවන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් දුරකථන තිබුණු අතර, බොහොමයක් ඒවා මොනොක්‍රෝම් තිර සහිත නොකියා දුරකථන විය. මේවායින් අප කම්මැලි සිතුනු විට කෙටි පණිවිඩ මගින් විහිලු තහළු කරගත් අතර, පින්තූර පණිවිඩ හෙවත් පික්චර් මැසේජ් එකතු කිරීම එම කාලයේ අපේ උනන්දුව විය. කෝල් නම් ගත්තෙම නැති තරම් වූ අතර, ඒ එකල යන කෝල් එකට මෙන්ම එන කෝල් එකටත් ගාස්තු අය වූ බැවින් ය! 
Tigo සිම්පත සමග ලැබුණු ගාස්තු සටහන..

          එකල තවත් කටයුත්තක් වූයේ කොම්පෝසර් එක භාවිතයෙන් රිංටෝන් තැනීමය. මුලින්ම කුණුහරපයක් වුවද, පසුව එයාටෙල් ජාලයේ නාද රටාව සහ X Files  කතාවේ තේමා වාදනය පවා තිරය නොබලා ටයිප් කිරීමට තරම් එම කලාව ප්‍රගුණ කළෙමු. 

          සාමාන්‍යය පෙළ කිරීමෙන් පසුව මාස හතරක් පමණ භාවිතා කිරීමෙන් අනතුරුව, නොකියා 6230i නම් වූ තෙවැනි දුරකථනය ලැබුණි. මුලින්ම අන්තර්ජංජාලය ගැන දැන සොයා ගත්තේ මෙන්ම, මුහුණු පොත හෙවත් ෆේස්බුක් එකට රිංගුවේ ද ඒකෙ පිහිටෙන් ය. කොත්මලේ ජලාශය බැලීමට ගොස් සේයාරූ ගත්තේ ද එයින් ය. මෙහි මෙමරි කාඩ් දැමීමට හැකි වූ අතර, තත්පරයට කිලෝබයිට සුළු ගානක් වූ අන්තර්ජාල වේගයන් භාවිතා කරමින්, මුලින්ම රසඳුන පත්තරයකින් පදමාලාව කියවූ  “හඳ හඬනා නිහඬ රැයේ” නම් ගීතය ඩවුන්ලෝඩ් කිරීමට පැය කාලකටත් අධික වෙලාවක් ගත වූවා මතකය. 

          මෙයින් පසු ගත් නොකියා 2700 දුරකථනය කමකට නැති වූයෙන්, මාස දෙකක පමණ අවෑමෙන් නොකියා 2370 ක්ලැසික් එකක් ගතිමි. උසස්පෙළ ආසන්නයට පැමිණෙන තුරු, ඉතා විශාල වැඩ කොටසක් කරගත්තේ මෙයින් ය. 

          මෙය භාවිතා කරන සමය, ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රය විශාල පෙරලි ගණනාවක් අත් දුටු කාලයක් විය. ටච් ස්ක්‍රීන් දුරකථන ලොව ආක්‍රමණය කිරීම, Android  මෙහෙයුම් පද්ධතිය කරලියට පැමිණීම, චයිනීස් ෆෝන් ප්‍රසිද්ධ වීම මෙන්ම 3.5G  කනෙක්ෂන් පැමිණීම, එමෙන්ම ජංගම දුරකථන කැමරා ක්ෂේත්‍රයේ දියුණු තියුණු වීම් මෙම කාලයේ සිදුවීය. 

          මෙම කාලයේ ෆේස්බුක් මැසේජ් වෙනම අඩවියක්ව තිබුනේ නැත. ෆේස්බුක් app එක ඩවුන්ලෝඩ් කල විට, බලා සිටිද්දී බැටරි බසී. සිංහල පෙන්නන්නේ ද නැත. මළ විකාරයකි. මෙහි තිබුණු සිම්බියන් S40  මෙහෙයුම් පද්ධතියේ එක වරකට ධාවනය කල හැක්කේ එක ඇප්ලිකේෂන් එකක් පමණි. 
                                             
          උසස්පෙළ ට මාස කිහිපයක් තබා, නොකියා 6220 ක්ලැසික් දුරකතයක් ගතිමි. මෙය භාවිතා කල තත්වයෙන් මිලදී ගත්ත ද, අවසානයේ 1200 එකට පසුව ලද සුපිරිම දුරකථනය බවට පත් විය. කැමරාව, එකල තිබුණු සාමාන්‍යය ඩිජිටල් කැමරාවක් තරමට ම විශිෂ්ට වූ අතර, ජංගම දුරකථන වල දුර්ලභ අංගයක් වූ සෙනොන් ෆ්ලෑෂ් එකකින් යුක්ත විය. අදටත් අර්ධ ක්‍රියාකාරී තත්වයෙන් පවතින මෙය, එම තත්වයට පත් වූයේ ද 2015 දීය. 
6220 දුරකථනයේ ඇතුලාන්තය.
          අනතුරුව 2012 අගදී ලද නොකියා 6720 ක්ලැසික් දුරකථනයත්, එය මාරු වී ලද ලුමියා 620 දුරකතනත් එතරම් මගේ කටයුතු සහ පිළිවෙල සමග සහයෝගයෙන් වැඩ කලේ නැත. ලුමියා 620 මා ලද ප්‍රථම ටච් ස්ක්‍රීන් දුරකතනයයි. එය මාරු කොට ලබා ගත් සෝනි එරික්සන් එක්ස්පීරියා රේ දුරකථනය, මට  Android  මෙහෙයුම් පද්ධතිය තිත්ත කරවීමට සමත් විය. 
නොකියා E52 දුරකතනයේ ඇතුලත..
          එය තිබියදීම ලැබුණු නොකියා  E52  දුරකතනයක් කලක් භාවිතා කල අතර, ඒ අතරතුර ලබාගත් නව නොකියා 230 දුරකතනයක් විකිණීමෙන් ලබාගත් මුදල් සහ අතේ තිබුණු මුදල් දමා, අවසානයේ ඇපල් අයිෆෝන් 5S දුරකතනයක් ගතිමි. 

          ඇපල් දුරකථනය මගේ දෘෂ්ටිකෝණයෙන් නම්, සියලු නවීන අංග සහිත, එහෙත් භාවිතය අතින් 2000 දශකයේ පවතින දුරකතනයකි. ඒ ඇයිද කිවහොත්, බ්ලුටූත් ආදී කිසිදු ක්‍රමයකින් කිසිවක් හුවමාරු කල නොහැක. ගීත, වීඩියෝ ආදිය ඩවුන්ලෝඩ් කල නොහැක. අඩුම තරමේ, ජායාරූපයක් වත් හුවමාරු කල නොහැක. නමුත් ඒ අතරම, කිසිඳු විටක ස්ටක් නොවෙන අතර, විශ්වාසවන්ත භාවය නම් උපරිම ය. 

          2016 ලබාගත් මෙම දුරකථනය තවමත් හොඳින් ක්‍රියාත්මක වේ. ඇපල් සමාගම පසුගිය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, 5S දුරකථනය සඳහා සේවා අත්හිටවනු ලැබුණි. නමුත් මගේ දැනීමේ හැටියට, අස්ථානගත නොවුනහොත් හෝ හදිසි ආපදාවකට ලක් නොවුනහොත්, අඩුම වශයෙන් තවත් වසර 4ක් හෝ භාවිතා කල හැකි තත්වයක් මෙහි ඇත. 

          1999 වසරේ ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත් තැන සිට, දුරකථනයේ පරිනාමික යුගයේ අති දැවැන්ත පෙරලියක් අපේ පරම්පරාව සියැසින් දැකගතිමු. කුඩා අවධියේ රූපවාහිනී බලන විට, ඩයලොග් එකෙන් ඕෆ් පීක් සඳහා ගාස්තු අඩු කරන ලද බව කියන දැන්වීමක් විකාශය වනු මට මතකය. එසේ අඩු වූ ගාස්තු, අද නැවතත් අහස උසට නැග, හඳේ හැප්පීමට යන බවක් දිස් වේ. 

          එකල අත්‍යවශ්‍ය පණිවිඩයකට පමණක් භාවිතා වූ මෙම උපාංගය, අද නැතුවම බැරි, හැම වෙලේම අතේ රැඳෙන (හෝ කනේ රැඳෙන) උපාංගයක් වී ඇත. මෙය ඇත්තටම කරදරයක් වන අවස්ථා ද නැත්තේ නොවේ. වෙලාවකට මම ද, මෙහි කරදර වැඩි වන විට, 1200 දුරකථනය භාවිතයට ගනී. ජංගම දුරකථන, එතෙක් දුරට අද ප්‍රයෝජනවත් මෙන්ම කරදරකාරී උපාංගයක් බවට පත් වී ඇත. මේ නිසා සිදු වූ ජීවිතහානි ප්‍රමාණය නිමක් නැත. 2011 වසරේ මගේම පාසලේ මට පහල පන්තියක ශිෂ්‍යයෙක්, දුරකථන පණිවිඩයක් දෙමින් පාර පිලිබඳ අවධානය ගිලිහී දුම්රිය මාර්ගය මාරු වීමට යාමේදී දුම්රියට හසුවිය. 
                                                      

          එමෙන්ම, 2004 වසරේ පළ වූ “බුවාලන්තයේ සිට” නම් කතාවේ, ජංගම දුරකතනයට කුදලාගෙන යන දුරකථනය යයි නම් තබා තිබුණි. සත්‍ය වශයෙන්ම එකල විවිධ සමාගම් වලින් හැකිලිය හැකි දුරකථන, දෙකට නවන දුරකථන ආදී වශයෙන් නානාප්‍රකාර දුරකථන හඳුන්වා දුනි. නමුත් දැන් නම් සියල්ල එක මෝස්තරයට පැමිණ, කුදලාගෙන නොව අතේ තබාගෙන යෑම පවා කරදරකාරී වන තැනට පැමිණ ඇත. මා දුටු මෙහි ඉතිහාස කතාව අනුව අවසානයේ මට කිව හැක්කේ, ගඩොල් බාගයක් ලෙස ඇරැඹී, ජංගම දුරකථනය ටයිල් කැටයක්ව නැවතුනු බවය.. 

13 comments:

  1. කියුවම මතක් උනේ.. මගේ ජංගම දුරකථන ඉතිහාසයට මේ අවුරුද්දට අවුරුදු විස්සක් වෙනවා.. 1998 දී ගත්ත සෝනි එරික්සන් ඇනලොග් ෆෝන් එකයි ඊට පස්සේ ඒ අවුරුද්දෙම ගත්ත ඇල්කටෙල් වන් ටච් ඊසි (ඩිජිටල්?) ෆෝන් එකයි දෙක තමයි මටයි කියල ඉස්සෙල්ලම ගත්ත ෆෝන් දෙක.. ජංගම දුරකතනයකින් මුලින්ම කෝල් එකක් ගත්තේ නම් 1995 දී වගේ යාලුවෙකුගේ අයියා කෙනෙක්ගේ ගඩොල් භාගෙකින්.. කියුවම මොකද එදා මටනම් කූන් කූන් ගානවා ඇර වෙන මෙලෝ දෙයක් ඇහුනේ නෑ..:)
    අදටත් ස්මාට් ෆෝන් කොච්චර ආවත් Nokia 1100 ක් තමයි මගේ ලංගම ඉන්න ජංගම දුරකථන සහකරු!

    ReplyDelete
    Replies
    1. අම්ම ගාව තිබ්බා පරණ එරික්සන් ෆෝන් එකක්. ඩයලොග් කනෙක්ෂන් එකක් දාලා. ඒකෙන් තමා මම නම් පළවෙනි ජංගම ඇමතුම ගත්තෙ. 2002 දි.

      Delete
  2. උබ දැකපු කල්..කොහෙද බන් හිටියෙ?????

    ReplyDelete
    Replies
    1. ගම් පළාතෙ ගිහිං හිටයනෙ ආයිබෝං..

      Delete
  3. ඔය ඩබල් වන් ඩබල් සීරෝ ෆෝන් එක, සමහරු හඳුන්වන්නෙ මිඩ්ල්වන් ඩබල් සීරෝ කියල. ඇයි දන්නවද?

    ReplyDelete
  4. නොකියා 5110 එකෙන් ගහල දෙතුන් දෙනෙක් බිම දාන්න පුලුවන්නං මෝටරෝලා ප්‍රෝපයිල් 300 එකෙන් ගහල කී දෙනෙක් බිම දාගන්න තිබ්බද. මම මුලින්ම පාවිච්චි කලේ ඒව එකක්.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ෆෝන් හැදුවෙම ඒකටත් එක්කද කොහෙද..

      Delete
  5. බුවාලන්තයේ සිට දැක්කම කොටන්න හිතං ආපු කමෙන්ට් එකත් මගඇරුණා. ඔය ෆොටෝ එක දාලා තියෙන්නෙ - පරණ බුවාලන්තේ කතන්දර ටික අඟහරුවා ගාව තියෙනවද? මෑතක රසඳුනේ පළ වුණ ටික නම් මම එකතු කළා.

    ReplyDelete
    Replies
    1. මගෙ ගාව කොටසක් තියනවා පරණ ඒවා. මෑතක ගිය ඒව නම් සිළුමිණ සයිට් එකේ තියනවා ගන්න පුලුවන්.

      Delete
  6. අඟහරුගෙන් වැදගත් සටහනක්. ස්තුතියි

    ReplyDelete
    Replies
    1. මේ පැත්තෙ ආවමයි නේද??

      Delete
  7. ශතුටුයි......අඟහරූ

    ReplyDelete