Thursday, March 19, 2020

කොරෝනා කාලේ..


මාසෙට එකක් ලියන්නම් කියල කිව්වට පෙබරවාරි මාසේ ලියන්නයි කියල ලොකුවට දෙයක් හදාගන්න බැරි උනා. ඒ වගේ ම ඉතිං ලියන්න විවේකයක් වැටුනෙත් නැහැ, ඉස්කෝලේ වැඩ එක්ක. ගිය අවුරුද්දේ අග වෙද්දී චීනෙන් අලුත් වෛරස් ලෙඩක් පැතිරෙන්න පටන් ගත්ත නේ. ඔන්න ඒක ලංකාවටත් ඇවිල්ලා, ගිය සතියේ බ්‍රහස්පතින්දා හවස අපිට අණ ලැබුනා කටයුතු මේ තත්වෙන් නතර කරලා ගෙදර යන්න කියල. අප්‍රේල් 20 වෙනකල් නිවාඩු.
2020-03-19
මේ ලෙඩේ ගැන හතර වටේ එක එක පෝස්ට් ශෙයා වෙනවා දැක්කා. ගොඩාක් අය ඒ ගැන ලියල තිබ්බ. ඒ උනාට මම හිතුවා මේ ගැන මගේ සත පනහ මෙතනට දාල තියන එක ප්‍රයෝජනවත් වේවි කියල. රෝගයේ පැතිරීම සහ අනික් ඒ දේවල් නම් හොයාගන්න පුළුවන් එකේ, මම වෙන පැත්තක් කතා කරන්නම් කියල තමා මේක ලියන්න පටන් ගත්තේ. 

මම දැක්කා ෆේස්බුක් එකේ එහෙම නෝටිස් එකක් ශෙයා වෙනවා මේක අරහෙම විනාස වෙනවා, මෙහෙම විනාස වෙනවා, මෙච්චර කාලයක් අරහේ තියනවා මෙහෙ තියනවා කියල. ගත්ත සෝස් එක හැටියට දාල තිබ්බේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවිය. ඒත් එතනට ගියහම එහෙම දේවල් කියල නැහැ. අපි බලමුකෝ මේක ටිකක් කතා කරලා. 

කට්ටිය කොරෝනා කොරෝනා කිව්වට, මේ කොරෝනා කියන්නේ වෛරස් වල එක කාණ්ඩයක් විතරයි. කොරෝනා කියන වචනයේ ඔටුන්න කියන තේරුම තියනවා. මේ වෛරස් වලත් හැඩය ටිකක් ඒ වගේ. ඒ නිසා තමා මේක කොරෝනා වෛරස් එකක් වෙන්නේ. මේ ලෙඩේ ඇත්ත නම SARS- CoV-2. මේක කෙටි කරපු නමක්. සම්පූර්ණ වශයෙන් කිව්වොත් Severe Acute Respiratory Syndrome Corona Virus- 2. මේක සරලව හැඳින්වෙන්නේ COVID – 19 කියල. ඒ කියන්නේ  COrona VIrus Disease. 19 කෑල්ල ආවේ 2019 කියන එකෙන්. මේක හඳුනාගත්තේ 2019 නිසා. 
image copyrights-
The Philadelphia Inquirer
 
මේක ඇවිල්ලා සරල RNA වෛරස් එකක්. ශ්වසන අබාධ තමා ඇති කරන්නේ. ඒ වගේම, ප්‍රතිකාර නොකරොත් තත්වේ දරුණු වෙන්න පුළුවන්, ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල අයට. මෙතෙක් ඕකෙන් මැරිලා තියන්නේ එහෙම අය. ඒ වගේම, මේක සත්තු හරහා බෝ වෙන ( zoonotic ) එකක්. මේක පටන්ගත්තේ, එලියට ගියේ කොහොමද කියන එකට හරි තොරතුරු නැති උනාට, චීනයේ වූහාන් ප්‍රාන්තයේ තමා මුල. එතනින් වවුලෝ දෙන්නෙක්ටයි, උන්ව කාපු මිනිස්සුන්ටයි එතනින් එළියටයි තමා බෝ උනේ.  

දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් ඇයි මේකට බෙහෙත් නැත්තේ කියන එක. ඒකට උත්තරේ දෙන්න නම්, වෛරස් එකක් කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් බලල ඉන්න වෙනවා. වෛරස් කිව්වම හැමෝටම මතක් වෙන්නේ කම්පියුටර් වෛරස්. ඇත්ත ඒ දෙකේ යම් සමාන කමක් තියනවා. වෛරස් එකක් ඇත්තටම ජීවයේ සහ අජීවී බවේ සීමාව කියල කියන්න පුළුවන්. 

වෛරසයක් කියන්නේ සෛලීය සංවිධානයක් නැති, ඉතාම සරල ඒකකයක්. ප්‍රෝටීන කිහිපයක්, සමහරවිට එන්සයිම් කිහිපයක් සහ ප්‍රවේණික රසායනික වලින් පමණක් මේවා සමන්විතයි. ඒ ප්‍රවේණික ද්‍රව්‍ය අනිවාර්යයෙන් ම DNA වෙන්න ඕනේ නැහැ. ඊටත් ප්‍රාථමික RNA වෙන්න පුළුවන්. ඒ වගේම ශ්වසනය වගේ කාර්යයන් කරන්න අවශ්‍ය සෛලමය ඉන්ද්‍රීයයන් (Organelles)  පිහිටලා නැති නිසා ඒ දේවල් කරන්න බැහැ. ඒ කියන්නේ සරල භාෂාවෙන් කිව්වොත් හුස්ම ගන්නේ  නැහැ! 

සාමාන්‍යයෙන් අද විද්‍යාව ජීවයේ අර්ථකථනය විදියට හඳුන්වද්දී ගන්න නිර්ණායක වෙන පරිවෘතීය ක්‍රියා, ශ්වසනය, චලනය වගේ ඒවායින් බාගයක් වත් වෛරසයක් සිදු නොකරන නිසා, ගොඩක් විද්‍යාඥයෝ වෛරස ජීවීන් විදියට සලකන්නේ නැහැ.. 

වෛරසයක් ඇත්තටම සජීවී සෛලයක් ඇතුලට යනකල් අජීවී. ඒ නිසාම මේවට ඕනේ ම පරිසර තත්වයක රැඳෙන්න පුළුවන්. ඒ වගේම මේවා ප්‍රතිජීවක වලට අහු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට විතරක් නෙවේ සජීවී සෛල තියන ඕනේ ම තැනකට මේවා යනවා. කොටින්ම අපිට ලෙඩ කරන බැක්ටීරියා වලට පවා මේවායින් කරදර තියනවා! 

ජීවී සෛලයක් ඇතුලට ගියාට පස්සේ, එකේ ජීව ක්‍රියාවලි ටික පාවිච්චි කරලා, වෛරස් එක තමන්ගේ අනු පිටපත් හදාගන්නවා හිටු කියල. ඊට පස්සේ ඉතිං ඒ සෛලය හරහා අනික් සෛල වලටත් පැතිරෙනවා. ඒ වගේම තව වැඩක් වෙනවා. මේ ෆොටෝකොපි ප්‍රොසෙස් එකේ දී අර ප්‍රවේණික ද්‍රව්‍ය වල සැකැස්ම වෙනස් වෙනවා විකෘති වෙලා. එතකොට ඉතිං බෙහෙත් වලට නෙවේ ඕනේ එකකට ඔරොත්තු දෙන විදියට හැදෙනවා. මේක DNA පාදක වෙච්ච වෛරස් වල අඩු වේගෙකින් සිද්ද උනාට, RNA වල සරලත්වයත් එක්ක ඉතාම අධික වේගයකින් සිද්ද වෙනවා. 


එතකොට ඉතිං බෙහෙත් අරගෙන වැඩක් නැහැ, මොකද බෙහෙත ගන්නකොට තියන වෛරස් එකේ ලක්ෂණ නෙවේ වැඩ කරන්න පටන්ගන්නකොට තියන්නේ.  දැන් මේ කොරෝනා වෛරස් ලෙඩේටත් වගකියන්න ඕනේ RNA වෛරස් එකක්. ඉතිං, ඒකටත් ප්‍රතිජීවක වැඩ කරන්නේ නැහැ. 

හැබැයි, අපිට පුළුවන් වෛරස් එකක ක්‍රියාකාරීත්වය අඩපණ කරලා, ඒකෙන් වෙන හානිය එහෙම නවත්තන්න. නැත්තම් වෛරස් එකත් එක්ක ඇඟේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය කරන සටන ට සහයක් දෙන්න. ඔන්න ඔය ක්‍රම දෙකට අපි වෛරස් ලෙඩ එක්ක සටන් කරනවා. 

අපේ ඇඟට ඕනේ ම වෛරස් එකක් ආවම, එක පාරක් ලෙඩේ හැදෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියනවා. නමුත් ඊට පස්සේ ඒකට විරුද්ධව හදාගන්න ප්‍රතිදේහ, ඇඟේ තියාගෙන ඉන්නවා. ආපහු වතාවක ඒක ආවම, ඇඟේ තියන ප්‍රතිදේහ වලින් වැඩේ ක්ලෝස් කරලා දානවා අපිටත් නොදැනීම. ඔය ක්‍රියාවලියට අනුව තමා අර පැපොල එහෙම එක පාරක් විතරක් හැදෙන්නේ. හැබැයි ඉතිං වයසත් එක්ක ඔය ප්‍රතිදේහ විනාශ උනොත් නං ආයෙත් ලෙඩේ හැදෙන්න හැකියාව තියනවා. 

ඔය ප්‍රතිශක්තිය ඇති කරන තව ක්‍රමයක් තියනවා. ඒ තමයි ඔය වෛරස් එකේ සැර බාල කරපු වර්ෂන් එකක්, එහෙමත් නැත්තම් ඒ වගේ ම කෝඩ් කරපු ජාන කොටසක් ඇඟට දෙන එක. ඉන්ජෙක්ෂන් ගහනවා කියල කියන්නේ ඒක. ඕකෙනුත් වෙන්නේ අර කලින් වැඩේ ම තමා, නමුත් ලෙඩේ නොහැදී ප්‍රතිශක්තිය ඇති වෙනවා. 

ඔය ක්‍රම වලට අමතරව, වෛරස් එකක ක්‍රියාකාරීත්වයේ ලකුණු අඳුරගෙන එතෙන්ට ප්‍රතිකාර කරන්න රසායනික යවන ක්‍රම තියනවා, හරියටම කම්පියුටර් වෛරස් අල්ලනවා වගේ ම. මේවට කියන්නේ ප්‍රතිවෛරස් කියල. ඔය ලඟදි ඇමරිකාවේ එක්කෙනෙක්ට දීල ටෙස්ට් කරයි කියන්නේ අන්න එහෙම එකක්. කොහොම හරි, වෛරස් වලට ප්‍රතිජීවක නම් නැහැ.

ඒ වගේම, සමහරු කියල තිබ්බා දැක්කා සෙල්සියස් 27 වෙද්දී මේක විනාශ වෙනවා කියල. එහෙම එකක් නැහැ, මොකද මනුෂ්‍ය ශරීරයේ සාමාන්‍යය උෂ්ණත්වයත් සෙල්සියස් 36.5ක් වගේ වෙනවා. එහෙම විනාස වෙනවා නම් මේක ඇඟට එන්නත් බෑ නේ, අනික ඔය වෛරස් හැදිලා තියන ප්‍රෝටීන් විනාස වෙන්න ඕනේ වෛරස් විනාස වෙන්න. ප්‍රෝටීන් විනාශ වෙන්න ඊට වඩා ඉහල උෂ්ණත්වයක් ඕනේ. 

අනික තමා එක එක මතුපිටවල් වල ජීව කාලය කියල එකක් දැක්කා. වෛරස් එකක් සජීවී ධාරක සෛලයක් තුලට යනකල් අජීවී. ඒක ජීවයේ ලක්ෂණය වෙන පරිසරයට හැඩ ගැසෙමින් ගුණනය වීම කියන එකත් පෙන්නන්නේ සජීවී ධාරක සෛලයක් ඇතුලේ විතරයි. (ඔව් මළ සිරුරු වල වෛරස් නැහැ). ඒ නිසා එහෙම ජීව කාලයක් කියල දෙයක් කියන්න අමාරුයි. 

තව වාතය හරහා යන්නේ නැහැ කිව්වා දැක්කා බර වැඩියි කියල. මේ වෛරස් එකක් නැනෝමීටර් ගණන් වල වස්තු. ටොන් ගණන් බර දේවල් නෙවේ. සාමාන්‍යය දූවිලිත් පාවෙන හුළඟට විරියොන් (වෛරස් ඒකක) ටිකක් අරගෙන යන එක බොහොම පහසු වැඩක්. සාමාන්‍යය කිවිසුමකදී එලියට එන විෂබීජ වලට මීටර එක හමාරක් වත් යාගන්න පුළුවන්. 

එතකොට දැන් අපිට මේකෙන් ආරක්ෂා වෙන්න ම බැරි ද? නෑ අනිවාර්යයෙන් පුළුවන්. පළවෙනිම දේ තමා තමන් නිරාවරණය වීම වැලැක්වීම. ඒ කියන්නේ ඔය විදියට වාතයෙන් හරි නැතුව මොකක හරි තිබිල හරි තමන්ගේ ඇඟට එන තැන් වලට නොයා ඉන්න එක. 

ඊළඟ එක තමා පිරිසිදු වීම. අත් නිතරම පිරිසිදුව තියාගන්න එක, ඒ වගේම නිතරම කට, නහය, ඇස් එහෙම නොඅල්ලා ඉන්න එක. මම දැකල තියනවා ලංකාවේ ගොඩක් අය බස් එකක උනත් යන්නේ හරියට අකම්පහල වෙලා වගේ හිස අත් ගහගෙන නැත්තම් නිකටේ අත් ගහගෙන. ඔන්න ඕවා නවත්තන්න වෙනවා. 

එතනින් එහාට ගිහාම, මේ සටහන ලියවෙද්දී රෝගීන් ගණන 51ක් වෙලා ලංකාවේ දත්ත වලින්. උනේ කොහොමද කාගේ වරදින් ද කියන එක දැන් වාද කරලා වැඩක් නැහැ. නිරෝධායනය ප්‍රතික්ෂේප කරලා ගෙවල් වලට ගියපු මහාචාර්ය සියල්ලදත් ල සෙට් එකකින් රට වටේ ගියපු කතාව දන්නා නිසා ආය ඒ ගැන මෙතන ලියන්න යන්නෙත් නැහැ. 

දැන් අපිට රටක් හැටියට කරන්න පුළුවන් දේවල් (නමුත් නොකරන) ගොඩක් තියනවා. ප්‍රධාන වශයෙන්, රට ලොක් ඩවුන් කිරීම. හැබැයි මෙතන මම ලොක් ඩවුන් කියල අදහස් කරේ අර චීනේ වගේ නෙවේ. යම් සීමා වලට යටත් ව ගමන්බිමන් සහ වෙනත් කාර්යයන් සීමා කිරීමක්. 

ඒ කිව්වේ, අත්‍යවශ්‍ය සේවා ටික හැරෙන්න අනික් ඔක්කොම අනිවාර්යය පඩි සහිත නිවාඩු දෙන්න ඕනේ. විනෝද චාරිකා වන්දනා චාරිකා එහෙම නවත්තල, ඒ ස්ථාන වහල දාන්න ඕනේ. මළ ගෙවල් වගේ අවස්ථා හැරෙන්න වෙනත් මහජනයා රැස් වීමට ඇති දේවල් නවත්තන්න ඕනේ. 

මෙහෙම බත් කන හරක් ඉද්දි ඉතිං...
හැබැයි මෙතන ප්‍රශ්නයක් තියනවා, ලංකාවේ වැඩි හරියක් අඩු ආදායම්ලාභී, දවස් පඩියෙන් යැපෙන අය. එයාලට විසඳුමක් දෙන්න ක්‍රම කීපයකට පුළුවන් මේ විදියේ ලොක් ඩවුන් කිරීමකින්. එකක් තමා ඇති හැකි අය ගෙවල් වල නිසා ඔය කාලේ ගෙවල් සුද්ද කිරීම් එහෙම නිසා රැකියා අවස්ථා ලැබෙනවා. අනික් එක රජයෙන් යම් සහනාධාරයක් බෙදල දෙන්න පුළුවන්.  

ඊයේ ජනාධිපතිතුමා ජාතිය අමතල, සැමන්, පරිප්පු වල මිල අඩු කරා. එතුමා ඒක කියපු විදියෙයි වෙලාවෙයි ප්‍රශ්නයක් තිබ්බට, මම නම් දකින්නේ ඒ පියවර හොඳයි. එන්න ඒ වගේ සහන ටිකක් සලස්වල දීල, රට ක්‍රමානුකූලව අවම ක්‍රියාකාරීත්වයෙන් තියාගෙන යන්න පුලුවන්නම් මම හිතන්නේ සාර්ථකයි. 

ඒත් ඉතිං මේක ලංකාව නේ. අපි දැක්කා නිවාඩුනේ කියල වෙරළවල්, දියඇලි එහෙම පුරාවට ඇවිදලා කට්ටිය. කෝච්චි වල යනවා හුරේ දාගෙන ඇවිදින්න. ඔය මිනිස්සුන්ට ඉතිං මට නම් කියන්න තියන්නේ සිගරට් බොන උන්ට කියන ටික ම තමා. “උඹල මැරුණට කමක් නෑ, අනික් මිනිස්සු මරන්න එපා” කියල. සිගරට් බොන අයට මේ වගේ වෛරස් වල හානි වැඩි කියලත් මෙතන ම මම කියල තියන්නම්. 

බ්‍රහස්පතින්දා නිවාඩුත් අරගෙන ගෙදර යද්දී දැකපු තව එක දෙයක් ගැන කියන්න හිතුවා සටහනේ අන්තිමට. ගෙදර එන ගමන් බලාගෙන ආවා, ඔක්කොම වගේ සුපර්මාකට්, සතොස, කඩවල් හිස්. මිනිස්සු හාල් කිලෝ 10-20 අරගෙන යනවා. මේක ට නමක් තිබ්බා “Panic buying”  කියලා. මෙන්න මේ අසමජ්ජාති වැඩේ නම් නවත්තන්න වෙනවා. මාසෙකට වගේ ආහාර රැස් කරගත්තට කමක් නැහැ, ඒත් තියන ඔක්කොම උස්සං ගියාම අනික් මිනිස්සු?? මාස්ක් එහෙම ගැනත් කියන්න තියන්නේ ඔච්චර ම තමා. 

දැන් මේකට ප්‍රතිතර්කයක් ගෙනෙයි ඒකත් ස්වභාවධර්මය ම තමා, සුදුස්සා ඉතුරු වෙනවා, ශක්තිවන්තයා ඉතුරු වෙනවා, අනික් අය මැරෙනවා කියන එක. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමා, සල්ලි තියන මනුස්සයා කියන්නේ ශක්තිවන්තයා එහෙමත් නැත්තම් උචිතයා කියන එක නෙවේ. ඒක හැබැයි තේරුම් ගන්න නම් මනුෂ්‍ය සංහතිය ට තව සෑහෙන කාලයක් යාවි. 

තව එක දෙයක්- මම දැක්කා දෙවියෝ කොර වෙලා එහෙම දේවාල වැහිලා, යාතිකා ආන්ස්වර් නැතුව ගිහිං, මක්කම, වතිකානුව පවා හිස් වෙලා. ඒ අස්සේ බෞද්ධයෝ ටිකක් උදම් අනනවා ශ්‍රීපාදය වැහුවේ නැහැ කියල. මීට වඩා අමනකමක් මම නම් දැක්කේ නෑ. බුදු හාමුදුරුවෝ කවදාවත් ගස් ගල් පර්වත චෛත්‍ය වැඳීම අනුමත කලේ නැහැ
“බහුං වේ සරණං යන්ති- පබ්බතානි වනානි ච
ආරාම රුක්ඛ චෙත්‍යානි- මනුස්සා භය තජ්ජිතා” 
කියලා ධම්මපදයේ කියල තිබ්බේ ඕකමයි. ඒවායේ හාස්කම් හොයන යදින මිනිස්සු මිත්‍යාදෘෂ්ටික හැටියට තමා හැඳින්වූවේ. ඒ වගේ ම, විශාලා මහනුවර ඇති වෙච්ච තුන් බියයි (රෝග- දුර්භික්ෂ- අමනුෂ්‍ය) මේ කොරෝනා වසංගතයයි සමාන කරලා, රැස් වෙලා රතන සූත්‍රය දේශනා කරාම හරි කියන අයට මට කියන්න තියන්නේ, රතන සූත්‍රය හොඳින් තේරුම විමසලා, ඒක දේශනා කරපු කතාවත් අහල තේරුම් අරගෙන ම ඉන්න කියල තමා. විශාලා මහනුවර ම රැස් කරවල බුදු හාමුදුරුවෝ මේක කියෙව්වේ අර තුන්බිය සංසිඳුන ට පස්සේ. ඊට කලින් කලේ ආනන්ද හාමුදුරුවෝ ලවා කියවපු එක විතරයි. 

          ප.ලි -
          සෑම කළු වලාවක ම රිදී රේඛාවක් ඇත කිව්වා වගේ, මේ වසංගතය ඇත්තට ම ලෝකය අතින් බැලුවම සෑහෙන හොඳක් කරගෙන තියනවා. එක පැත්තකින් අපේ රටේ “පොෂ්” කියල හිතං හිටි ඈයෝ ආපහු අපේ පැරණි සාම්ප්‍රදායික ක්‍රම වල ගුණ දකින්න පටන් අරං තිබුනා. ඒත් ඊට වඩා ලොකුම දේ තමා ලෝකයේ පරිසර දූෂණය සෑහෙන පමණකින් පහල ගිහිං. මම දැක්කා චීනේ වූහාන් වල අවුරුදු ගානකට පස්සේ චෙරි මල් පිපිලා. ඔය චීනේ නගරෙක (ෂැන්හයි ද මතක නෑ) විද්‍යාඥයෙක් රෑ වායුගෝලය වැකියුම් කරලා එකතු වෙච්ච දේවල් වලින් ගඩොලක් හදලා තිබ්බා. ඒ තරමට දූෂණය වෙලා තිබ්බ පරිසරය, ආපහු හෙමින් හෙමින් යතා තත්වයට එනවා. 

Image source- Facebook

          මේ ගැන කල්පනා කරද්දී මට හිතුනේ, අපි ස්වභාවධර්මය ඉක්මවලා යන්න ගිහිං අපේ ම විනාශය සලස්වාගෙන ද කියල. මොකද අපේ මිනිස්සු නඩු අහනවා වගේ නෙවේ, ස්වභාවධර්මය නඩු අහන්න පටන් ගත්තම, එතනට නිලය බලය කුලය ධනය මොකුත්ම අදාළ නෑ. දැන් ඒ නඩු විභාගය පටන් අරගෙන ද කියල මට නොහිතුනාම නෙවේ...  


7 comments:

  1. Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට!

      Delete
  2. ඇත්තටම වර්තමානයට ගැලපෙන්නම ලියලා තියෙනවා.

    ගුවන් තොටුපලේ ගෙදර යන්න ආපු මහාචාර්ය මහතා සහ මහත්මිය (යැයි සිතාගත්) රට හරක් දෙදෙනා සහ ඇගිලි 10 කටේ ගසාගෙන විසිල් ගැසූ හරකා ගැන ඉතින් post එකේ තියෙන දෙයට මම එකඟයි.

    ReplyDelete
  3. Lankawa denatamath parakkuyi. eth haniya awama kara ganna apita thamath puluwan. sthuthi denuwath kirim walata.

    ReplyDelete
  4. කෙසේ වෙතත් දැන්නම් කොරෝනා එපාවෙලා තියෙන්නේ. ලංකාවට ඇත්තටම ආදරේ මිනිස්සු පිටරට. ඒවගේම ජනතාවගේ බුද්ධිමත් භාවය සදාචාරය පෙන්නපු හොඳ අවස්ථාවක් මේක. අපේ දේ අගේ නොකරපු ගොඩ සුද්දන්ටත් මේක හොඳ පාඩමක්. ඒ වගේම ඇති නැති පරතරය, මනුෂ්‍යත්වය ගැන උගන්වපු මහා පාඩමක්
    විචාරක දියණිය

    ReplyDelete