Friday, January 1, 2021

මාරයා සමග ගෙවිච්ච අවුරුද්දක මතක සටහන්..

 

2003 මව සමග පදිංචි ව සිටි නිවස..

    අර වෙනදා මම රිවීව් එක පටන් ගන්නේ එහෙ බලලා මෙහෙ බලද්දී අවුරුද්දක් ගිහිං කියල.. මේ අවුරුද්දට නම් ඒක හරියට ම ගැලපෙනවා. රිවීව් එකක් ලියන්ට කියල ඉතිං ලොකු දෙයක් ඇත්තේ ම නැති තරම්. ඇයි ඉතිං වැඩිහරියක් ගෙදරට වෙලා ම නේ හිටියේ. හැබැයි ඉතිං මුකුත් නොවුනා ම ත් කියන්ට බැහැ. 

    ඇත්තටම අවුරුද්ද ලස්සනට පටන් ගත්තා. කලින් අවුරුද්දේ ඉඳන් චීනේ වෛරස් එකක් ගැන කතා තිබ්බත්, අපි එච්චර හිතුවේ නැහැ ඕක ලංකාවට තියා ඒ අල්ලපු රටවල් වලට වත් යයි කියල. ඉතිං අපි සාමාන්‍යය විදියට වැඩ පටන් අරගෙන ගියා. 

ගල් අඟුරු එන්ජින් දෙකක කෝච්චියක්.. කාලෙකින් හම්බෙන අවස්තාවක්..

    ඉස්කෝලේ ඉතිං පළවෙනි වාරේ ජනවාරි වල ම ස්පෝට්ස් මීට් එක තියනවා නේ. ඕකට ඉතිං පහුගිය වතා වල වගේ ම අපිට රේස් එකක් දාලා තිබ්බා. හැබැයි මේ පාර රිලේ එකක්. ඒකටත් දිව්වා. දුවල අපෙ ටීම් එක දිනුවා. ඒත් එක්කම ජනවාරි 31 වෙනිදා තිබ්බ ඒ උත්සවය තමා එතකොට හිටිය ෆවුලර් වොට් සර්ගේ අන්තිම උත්සවය සහ රාජකාරී දවස. මම තමා අන්තිම තෑග්ග ගත්තේ.. 

බයිසිකල් ටුවර් එකක් අතර වාරේ..

    ඒකත් එහෙම ඉවර වෙද්දී, මේ පාර තමා මට ඉස්කෝලේ ට ගියා ට පස්සේ ටෙක්නිකල් වලට වැඩි ම ළමයි පිරිසක් සෙට් වෙච්ච අවුරුද්ද. 10, 11 දෙකම ගත්තම ළමයි 30ක් ඔක්කොම. මේ සෙට් එක අරගෙන රත්මලානේ දුම්රිය කර්මාන්තශාලාව බලන්ට ගියා අවුරුද්දේ පළවෙනි ෆීල්ඩ් විසිට් එක හැටියට. තව සර් කෙනෙකුත් එක්කන් ගියා ඒකට. 

ෆීල්ඩ් විසිට් එක.. මේක තමා මේ ළමයි ගිය එකම චාරිකාව. 

    පෙබරවාරි මාසේ එහෙම ඉවර වෙද්දී, මාර්තු මාසේ පළමුවෙනි සතියේ මේ අවුරුද්දේ පිරිතත් තිබ්බා. ඒකටත් ඉතිං වෙනදා දෙන සහයෝගය දීලා, සාර්ථකව වැඩ අවසන් කරා. මේ පාර අලුතෙන් පිරිත් කොටුවකුත් හදලා, ඒක ඉස්කෝලෙට ම දීලත් ගියා. 

පිරිත දවසේ ගෝලබාලයෝ එක්ක..
සේයාරු අනුග්‍රහය- ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය.
 
පිරිත් කොටුව.

    දැන් තමා කෙලිය පටන් ගත්තේ. මෙච්චර කල් මේ අවුරුද්දේ ගිනි ගහන්ට පෑවිල්ලක් අල්ලලා තිබ්බා. අනේ ඉතිං එක එක්කෙනා එක එක තියරි ඉස්සරහට දැම්මා, මේ පායන්නේ රටේ වාසනාවට, කොරෝනා උෂ්ණත්වය නිසා විනාස වෙනවා ය, අරකයි මේකයි කියල. ඔන්න එතකොට ම මාර්තු 12 ලංකාවෙන් කොරෝනා අහු උනා. උදේ අහු වෙලා හවස් වෙද්දී ඉස්කෝල වහලා, 20 ගණන් වෙද්දී රට ලොක් ඩවුන්. 

කෑම පෝලිමේ.. කූපන් එකකුත් ලැබුනා නම් කතාව සම්පූර්ණයි..

    ඔතනින් පස්සේ තමා හොඳම හරිය. භාරකාර ආණ්ඩුවක් වගේ එකක් නේ තිබ්බේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා ඒක එක්ක එකතු වෙලා සෑහෙන කොන්ට්‍රෝල් කිරිල්ලක් කරා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්තයා, තව එතකොට හෙද කාර්යයමන්ඩලයේ පුෂ්පා රම්‍යානි හෙද නෝනා එහෙම ජනතාව දැනුවත් කරන්ට සෑහෙන වෙහෙසක් අරගත්තා. ඕකට අනිල් ජාසිංහ මහත්තයා එහෙමත් ලොකුවට දායක වෙලා සමාජය පාලනය කරගත්තා. 

රටේ ආර්ථිකේ වගේ ම බිමට සමතලා වෙච්ච ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ..

    මිනිස්සුත් ඉතිං ගෙවල් වලට වෙලා හෝ ගාලා කෑම හදන්ටයි, වතු වවන්ටයි, මාස්ක් මහන්ටයි අනංමනං කරා. කොටින්ම ජූනි මාසේ වගේ වෙනකොට හාල් මැස්සෝ, කරවල එහෙමත් හිටවන තත්වයක් තමා තිබුනේ. 

ලොක් ඩවුන් කාලේ වෙනුවෙන් හැදිච්චා. උපුටාගැනීම ෆේස්බුක් වෙබ් අඩවියෙන්.

වතු වැඩ..

    ඔය අහු අස්සේ ඔන්න අගෝස්තු මාසේ ජන්දේ තියලා, ඒකෙන් පොහොට්ටු පාර්ශවය සෑහෙන තරමක බහුතරයක් එක්ක ආණ්ඩුවක් පිහිටෙව්වා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැති හැටියට දිව්රුම් දුන්නා. ඔය වැඩෙත් එක්කම රටේ තිබ්බ ලොක් ඩවුන් තත්වයත් ටිකින් ටික ලිහිල් කරලා, සමාජය යථාවත් කරන්ට පටන්ගත්තා. 

නිවාඩුවේ දහම් පාසලේ ළමයින්ට සයන්ස් අනංමනං ටිකක් ඉගැන්නුවා. ක්ලාස් එහෙම ඇනහිටලා තිබ්බ කාලේ.

    ඇත්තටම අපිත් හිතුවා හරි මේ කරදරේ ඉවරයි, ආපහු සුපුරුදු ටයිම් ටේබල් එක ට යන්ට පුළුවන් වෙයි කියල. මාස්ක් දාගෙන යන එක ට අමතරව හැබැයි. අර පහුගිය නිවාඩු කාලේ වෙච්ච තව දෙයක් තමා අධ්‍යාපනය සහසම්පූර්නයෙන් ම මාර්ගගත හෙවත් තේරෙන භාෂාවෙන් කිව්වොත් ඔන්ලයින් වෙච්ච එක. අපේ ඉස්කෝලේ නම් ට්‍රයල් කරලා ටිකක් විතර පහු පරක්කු උනත්, සෑහෙන දියුණු මට්ටමකින් ඒ වැඩේ ක්‍රියාත්මක උනා. ඒක අපේ ඉස්කෝලේ කොච්චර සාර්ථක උනා ද කිව්වොත්, ජූලි මාසේ පටන්ගත්ත ඔන්ලයින් වැඩේ නිසා අගෝස්තු වෙද්දී මගේ සිලබස් එකත් ඉවරයි බුද්ධ ධර්මයයි යාන්ත්‍රික තාක්ෂණවේදය යි දෙකම! 

    ජූලි මාසේ කොහොම හරි ඉස්කෝලේ ට ස්මාර්ට් බෝඩ් ටිකකුත් අරගෙන ඇවිත්, ඒවා ට්‍රයල් කරන්ටත් මම සම්බන්ධ උනා. මම දන්න විදියට ඉස්කෝලේ පළවෙනි ඔෆිෂල් ඔන්ලයින් ක්ලාස් එක කරේ මම. ඒවාට ඉතිං මයික් ටෙස්ට් කරපු විදිය, කැමරා ටෙස්ට් කරපු විදිය එහෙම ගැන සෑහෙන රසකතා ගොඩක් තියනවා. ඒවා වෙනම ලියන්නම් දවසක. 

ස්මාර්ට් බෝඩ් ඉගැන්නිල්ල.. මේ නම් විදුලි තාක්ෂණය පාඩමක්. මුල්ම කාලේ එකක්. 

    ඔය අහු අස්සෙම අගෝස්තු 2 වෙනිදා අපේ යකඩ යක්කු සෙට් එකේ අවිවාහක ව හිටිය අවසාන සාමාජිකයා (මම හැරෙන්ට) විවාපත් උනා. ඒ උත්සවේ ට මටත් එන්ට කියල තිබුන නිසා කිට මරලා මාස්ක් එකකුත් දාගෙන අංක 26 කොළඹ ගියා. කෝච්චියේ සූ ගාල 10ක් විතර හිටියා ගම්පහට යනකල් ම! 

ලහිරු අයියාගේ වෙඩින් එක.. 

උපන්දිනේ දවසේ මාළිගාවට නම් යාගත්තා කල්‍යාණ මිත්‍රයෙක් එක්ක.

    ඒකෙන් මේකෙන් ඔන්න අගෝස්තු 20 වෙනිදා ඉඳන් අදියර කිහිපයක් යටතේ ඉස්කෝල විවෘත උනා. පළවෙනියට උසස්පෙළ සහ සාමාන්‍ය පෙළ පන්ති, ඊට පස්සේ 9 ඉඳන් 6 වෙනකල්. එතනින් පහල පටන්ගත්තේ නැහැ. මම ඔන්ලයින් කරන්ට බැරි පාඩම් ටිකක් ඉතුරු කරගෙන තිබ්බා, ඒවා ඔය ටිකේ ටක් ගාලා ඉවර කරලා දැම්මා. ඔහොම සාමාන්‍ය විදියට ම නොවුනත් ඒ ආසන්න වශයෙන් මාස දෙකක්, ඔක්තෝබර් 5 වෙනිදා වෙනකල් රට දිව්වා. මේ වෙද්දී අපේ රට කොරෝනා පාලනය අතින් දෙවෙනි තැන තිබ්බේ. ඔය වෙද්දී මාස්ක් නැතුව යන තත්වෙට, සැනිටයිසර් බෝතල් වේලෙන තත්වෙට ඇවිල්ලා. ඔක්තෝබර් 2 වෙනිදා අපේ ඉස්කෝලේ දුරස්ථභාවය තියාගෙන, ලෝක ළමා දිනය සැමරුවා. ඒ එක්කම අපිට අලුතෙන් විදුහල්පති කෙනෙක් පත් වෙලා ආවා. ඒ අපේ ආදිශිෂ්‍යයෙක් වෙන අරලිය ජයසුන්දර පියතුමා. එදා ගෙදර ගිහිං ඉරිදා දහම් පාසලුත් ගියා. ලේ දන් දීමත් තිබ්බා. ඔන්න ඔය අතරේ ආරංචියක් ආවා කොළඹ- කුරුනෑගල පැති වල ආපහු කොරෝනා තියනවා කියල! 

ලේ දන් දෙන එක නම් කරගන්ට ලැබුනා..

    එවෙලේ ම ඉස්කෝල වැහුවා. ආපහු ඉතිං ගෙදරට හිර උනා. රට ලොක් ඩවුන් කරේ නැති උනාට, අහු වෙන අහු වෙන පැති වලට සංචරණ සීමා පැනෙව්වා. මේක ලියන වෙලාව වෙද්දීත් ඒ සමහර තැන් එහෙමයි. ආපහු මැදින් දවස් තුනක් ඉස්කෝල පටන්ගත්තත්, එසැනෙන් ම වහන්ට උනා, මොකද එකක් කොරෝනා මේ පාර රට වටේ ම ගිහිල්ලා තිබ්බ නිසාත්, ළමයින්ගේ පැමිණීම මාර හොඳ වෙච්ච නිසා ත්. අද වෙද්දීත් මේක තමා ඉතිං රටේ නම් තත්වය. ඔය අතරම, ඇමේසන් ගිනි ගත්තා, ඕස්ට්‍රේලියාවේ ගිනි ගත්තා, ලෙබනන් වල ද කොහෙද මොකක් හරි පිපුරුවා... ඔහොම තව සෑහෙන්ට වැඩ තිබ්බා. ඔය ඔක්කොටොම වඩා, ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහත්තයා පැරදිලා ජෝ බයිඩ්න් පත් වුනා. තාම බල මාරුව සිද්ධ වෙලා නැහැ හැබැයි. 

කහ පාට ලංගම බස්.. මේ ස්කුල් සර්විස් දුවන ඒවා.. 

    මගේ ජීවිතේ පැත්තෙන් ගත්තොත් මහා ම මහා කම්මැලි අවුරුද්දක් කියන්ට පුළුවනි. වැඩි හරියක් කරේ ගෙදරට වෙලා ලැප් එක ට විරවාගෙන හිටිය එකයි ලැප් එකට බුරපු එකයි ෆෝන් එක කූරු ගාපු එකයි තමා. මේ අවුරුද්දේ මගේ එක උපාධියක් ඉවර වෙන්ට නියමිතයි. ඒකෙ ත් අන්තිම විභාගේ ඔන්ලයින් වෙලා. දැන් මේ අසයින්මන්ට් ගහන ගමන් තමා මේකත් ටයිප් කරන්නේ. 

ඒ අස්සේ ඔය නත්තල් තරු පේන ඒවා ආවා, උල්කාපාත වැහි ආවා. මේවා ඉතිං මාර විදියට පෙනුනා වැස්ස වලාහක දෙයියන්ට පිං සිද්ධ වෙන්ට. අම්මපා. ආ, අම්මපා කියද්දී මතක් උනේ, අපේ අම්මටත් අසනීප තත්වයක් ආවා හදිසියේම. දැන් නම් ප්‍රතිකාර ලබමින් සුව අතට හැරෙමින් ඉන්නවා. කොහොමත් මේ අවුරුද්දේ ලෙඩ වලින් නම් අඩුවක් උනේ නෑ අපි හැමෝටම.

ඒත් එක්කම, මගෙන් ඉගෙනගන්න ළමයෙක් හැදුවා මේ වගේ වෙලාවල් වලට ප්‍රයෝජනවත් වෙන රැහැන් රහිත වෙද නළාවක්! මේකට නම් මාධ්‍ය අවධානය එහෙමත් සෑහෙන්ට ලැබුනා. මගෙන් ඉගෙනගත්ත දරුවෙක් ඒ වගේ යමක් කරපු එක නම් ඇත්තටම ආඩම්බරයි. මේක අපිට මහනුවර තිබ්බ කර්මාන්ත ප්‍රදර්ශනයක ඉදිරිපත් කරන්ටත් අවස්තාවක් ලැබුනා. ඒ ප්‍රදර්ශනය ගැනත් වෙනම පෝස්ට් එකක් ලිව්ව හැකි ඉතිං.

වෙද නළාව නිර්මාණය කල වෙනුර විජේසේකර සහ මමතුමා ඇතුළු ගෝලබාලයින්..

    ට්‍රිප් එහෙම යන්ට හිටිය ඒවා ඔක්කොම වගේ කැන්සල් උනා. මේ අවුරුද්දේ අංක 1007 එක්ක බදුලු යන්ට, මාතර, කන්කසන්තුරේ එහෙම යාගන්ට උවමනාව තිබ්බා. ඒ ඔක්කොටොම චීනා කෙලියා. එකම එක හයික් එකක් යාගත්තා අවුරුද්ද මුල. ඒ වටගොඩ ඉඳන් තලවකැලේ ට. ඒ ගැන කලින් ලිව්ව නිසා ආය ලියන්නේ නැහැ. දෙතුන් වතාවක් කොළඹ යන්ට පුළුවන් උනා බුක් ෆෙයා එකටත් එක්ක. ඔච්චර තමා මගේ ගමන්බිමන්. අළුත් යාළුවො ටිකක් හම්බුනා ෆේස්බුක් එකට පිං සිද්ධ වෙන්ට. ඒ වගේ ම ඉතිං අවුරුදු දෙකක වගේ ඉඳන් එල්ල වෙන විවාහ මරණීය තර්ජනයත් තාම ඒ විදියට ම ක්‍රියාත්මක වෙනවා. 

බුක් ෆෙයා ගමන. මෙදා පාර ළමයි දෙන්නෙකුත් ඇදගෙන යන්ට පුළුවන් උනා.

නිවාඩුයි කියල ගේ අස්සට ම වෙලා ඉන්ටත් බෑ නෙහ්..

    2011 ඉඳන් මගේ දුකට සැපට හිටිය ලැප් එක ලෙඩ උනා, දැන් අසාධ්‍ය තත්වයේ ඉන්නේ. ඒක යන්තම් හරි ඇදගෙන යන්ට බලන්ට ඕනේ. ඒ වගේ ම මගේ කටට හෙන දුර්දශාපන්න කාලයක් ලබලා. දෙතුන් වතාවක් ම දත් සෙට් එක රිපෙයාර් කරගන්ට උනා. හැබැයි ඉතිං වෙච්ච දේවල් වල හැටියට ඔයින් ගියා මදැයි.. අවුරුද්ද අන්තිම ටිකේ ඉතිං පැණි වලි එහෙම තිබ්බා. කොරෝනා වලට එක එක පැණි වර්ග, කසාය එහෙම එක එක දෙවියෝ, භූතයෝ, යක්කු එහෙම හෙළි කරනවා දැක්කා. ඒ වගේ ම බටහිර ලෝකෙන් ඉන්ජෙක්ෂනුත් ඇවිල්ලා තිබ්බා. සේනක බිබිලේ ප්‍රතිපත්තියට විරුද්ධව එළිපිට ම වැඩ කරපු ෆයිසර් සමාගමත් එයින් එකක්. මේක ලියවෙනකොට, ඒ එක එන්නතක් ලංකාවට ගේන්ට වැඩ සිද්ධ වෙමින් පවතිනවා. 

අත්තම්මාගේ දෙවර්ෂ පූර්ණ පිංකම 

 

මේ තමා මේ අවුරුද්දේ දැකපු වාසනාවන්තම සිද්ධිය. ඔය රෝද සෙට් එක යට මනුස්සයෙක් ඉන්නවා! අහු වුනා කෝච්චියට. ඒත් ආපහු ජීවත් වෙන්ට වාසනාව තිබ්බා.

 

ආ මට කියන්ට බැරි උනා.. කැමරා රාජයෙක් හම්බුනා.. 

    මේ අවුරුද්ද ඉතිං ඔහොම තමා ගෙවුනේ. කරන්ට හිතං හිටි ගොඩාක් දේවල් මිස් වෙච්ච, ජීවිතේ කවදාවත් නොකරපු දේවල් කරන්ට වෙච්ච, වෙනස් ම අවුරුද්දක්. ඒ වගේ ම ගොඩ දෙනෙක් ට රැකියා අහිමි වෙලා, උන්හිටි තැන් පවා අහිමි වෙලා. අර අවුරුද්ද මුල දී කිරියෙන් පැණියෙන් උතුරන්ට කියල විශ් කරා ට, කිරියෙන් කෙසේ වෙතත් පැණියෙන් නම් නියමෙට ම උතුරපු අවුරුද්ද තමා මේක. අන්තිම වාක්‍යය හැටියට මට දාන්ට තියන්නේ, 2013 අවුරුද්ද අවසානේ දාපු එකම තමා. 

You have given me more than enough. Just shut your *%$@{}+ mouth and go. Thanks for coming and please don’t come back. F&@£ you! 

    2012 අවුරුද්දේ දෙසැම්බර් 21 වෙනිදා ලෝක විනාසයක් වෙනවා කියල බලාගෙන හිටියා කට්ටියම. ඒක 2021 අවුරුද්දේ නොවේවා කියල ප්‍රාර්ථනා කරමු. එළඹෙන අවුරුද්ද ලෝකේ තත්වය යහපත් වෙන හැමෝටම සුභ වෙන අවුරුද්දක් වේවා!

22 comments:

  1. ඉවරයි කීවට ඉවරමත් නෑ ඉතින්

    ReplyDelete
  2. මදෑ ඔහොම ගියා.
    ඔන්ලයින් වැඩෙන් එක හොඳක් උනේ ළමයින්ට ෆෝන් එකක් අල්ලන්නවත් දුන්නෙ නැති දෙමව්පියන්ට ළමයින්ට ෆෝන් අරංම දෙන්න වෙච්ච එකයි.

    ReplyDelete
    Replies
    1. අම්මප ඇත්ත. ෆෝන් වලට ලැප්ටොප් වලට පට්ට පතුරු යන්ට බැන බැන හිටිය උදවිය දැන් හතරවටේ වර්ණනා කරනවා කියලත් පේනවා..

      Delete
  3. එහෙනං ඒකයි නේ...? ආං මම අලුත් කතාවෙ චරිතයකට නම දැම්මා සුභාෂ් බණ්ඩාර ධනසේකර කියලා. ලැප හදාගත්ත කාලෙක පෙනේවා! බොට සුභ නව වසරක් වේවා මල්ලි. හිතන පතන දේවල් හරි යන්ඩ වාසනා වේවා!

    ReplyDelete
    Replies
    1. මාවත් ජාත්‍යන්තරේට යැව්වා ද.. තෑන්ක්ස් වේවා! මම ඇවිත් බලන්නම්! මේ අලුත් ලැප් එක තියනවා, ඒත් මේකේ කීබෝඩ් එකෙන් ටයිප් කරන්ට ටිකක් අමාරුයි. මේ පෝස්ට් එක නම් අලුත් එකෙන් හැදුවේ. ඒ නිසාමයි හරියට 31 වෙනිදා ම දාන්ටත් බැරි උනේ.
      අයියටත් එසේ ම වේවා!

      Delete
  4. කර්මාන්ත ප්‍රදර්ශනය කිව්වේ KCCඑකේ තිබ්බ INNEX 2020 එකද?
    කොහොම උනත් ඉවර උනේ තවත් එක අවුරුද්දක් විතරක් උනාට සැහෙන වැඩ කොටසක් පස්සට ගියපු එකයි උනේ.
    නව වසරට සුබ පැතුම්!.

    ReplyDelete
    Replies
    1. අන්න හරි ඉනෙක්ස් එක තමා. ඒකෙ හොඳ ම පරිප්පුව කෑවෙ කලින් දවසේ ස්ටෝල් එක ලෑස්ති කරන්ට ගිය අපි ටික.
      ඔයාටත් එසේ ම වේවා!

      Delete
  5. ගෙවුන වර්ෂය පිළිබඳ සාර්තක මතකාවර්ජනයක් ලෙස දැකිය හැකියි. මතකය විතරයි ඉතුරු වන්නේ.
    විචාරක දියණිය

    ReplyDelete
  6. කෝච්චියට අහුවෙලා ජිවත් වෙන්න වාසනාව ලැබිච්චි එකා කවුද යකු! ජයවේවා! සුභ අලුත් අවුරුද්දක් වේවා! :))

    ReplyDelete
    Replies
    1. ඒ කවුද කියල නම් දන්නේ නෑ..

      Delete