![]() |
Nokia S30, Nokia S60, Android 9, iOS 16 |
මම මුලින්ම ෆෝන් පාවිච්චි කරන්න පටන් ගත්ත කාලේ තිබ්බ ඒවා ඇත්තටම “ෆෝන්” විතරයි. ඉන්ටර්නෙට්, වයර්ලස් චාජිං, රෙටිනා ඩිස්ප්ලේ අනංමනං තියා හරි හමං කැමරා එකක් වත් තිබ්බේ නැහැ. හැබැයි ඉතිං “සන්නිවේදනය” කියන මූලික අරමුණ නම් උපරිමයෙන් තිබ්බා. මම සෙල්ෆෝන් අතපත ගාන්න අරගෙන ගෙවුන දශක දෙක ඇතුලේ, මේ ක්ෂේත්රයේ විශාල පරිවර්තනයක් දකින්න ලැබුනා.
මම ෆෝන් පටන්ගත්තේ නොකියා වලින්. පළවෙනි OS එක (මෙහෙයුම් පද්ධතිය) Nokia Series 30, එහෙමත් නැත්තම් කෙටියෙන් S30 (දැන් එන S30+ එක නෙවෙයි). හරිම සරලයි. අවශ්‍ය වැඩ ඔක්කොම වගේ තිබ්බා. මෙනු එක එහෙම ඇස් වහගෙන උනත් යන්න පුළුවන්. තව ඉතින් ඕකේ තිබ්බා මරු මරු වැඩත් (අර ටෝන් කම්පෝසර් එක, පික්චර් මැසේජස් එහෙම).. මලාට ක්‍රෑෂ් වෙන්නේ නෑ. අප්ඩේට් ප්‍රශ්න නම් කවදාවත් නෑ. ෆෝන් එක ඔන් කරලා විනාඩියෙන් කෝල් එකක් ගන්න හැකි. හොඳම කතන්දරේ තමයි බැටරි එක. මම යුස් කරපු විදියට, එක පාරක් ෆුල් චාජ් කරාම සතියක් ඇද්ද හැකි. සිග්නල් උනත් හොඳම තත්වෙන් තිබ්බා. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරේ නොකියා 1200.
![]() |
Nokia 1200 (මගේම වූ පළවෙනිම දුරකථනය.. තවම වැඩ) |
ඊළඟට මට හොඳටම සෙට් උන OS එක තමා Nokia Symbian Series 60, එහෙමත් නැත්තම් S60. ජාවා පාදක මෙහෙයුම් පද්ධතියක් උන මේක ඉතාම හොඳ, කාලයක් ලෝකේ ප්‍රසිද්ධම මෙහෙයුම් පද්ධතියක්. මේකේ විශේෂත්වය තමයි, ඉතාම අඩු බලයක හාඩ්වෙයා එක්ක උනත් බොහොම හොඳට දුවන්න පුළුවන් උන එක. GB ගණන් RAM අහල වත් තිබ්බේ නෑ ඒ කාලේ ෆෝන් වල. මෙගාබයිට් 128ක වගේ RAM මෙමරි එක්ක, අද කාලේ ස්මාට්ෆෝන් වලින් කරන්න පුළුවන් වැඩ උනත් ඒ කාලේ හැටියට සාර්ථකව කරගන්න පුළුවන් තරම් මේ මෙහෙයුම් පද්ධතිය ප්‍රබලයි. ඒ වගේම, ගේම්ස්, ඇප්ලිකේෂන් එහෙම හොඳට තිබ්බා. ඩවුන්ලෝඩ් කරගන්න නෙට් ඕනේ උනාට, බහුතරයක් වැඩ කරන්න නෙට් ඕනේ උනේ නැහැ. ලේසියකට ක්‍රෑෂ් වෙන්නේ එහෙමත් නැති හොඳ, වැඩහිතකාමී මෙහෙයුම් පද්ධතියක්. මේ ප්ලැට්ෆෝම් එකේ මම යූස් කරා කීපයක්ම. වැඩියෙන්ම ඇල්ලුවේ නොකියා 6220c.
![]() |
Nokia 6220c (මගේ පළවෙනි "ස්මාට්" දුරකථනය.. මේකත් තවම වැඩ..) |
ඊට පස්සේ අපි ගොඩක් අයට සමීප OS එක උනේ Android. මම මේකෙන් ෆෝන් 3ක් පාවිච්චි කරා, ඒ වගේම කලින් ඒවා වගේ නෙවෙයි, මේකේ ළඟ ළඟ සංස්කරණ යාවත්කාලීන වෙන නිසා, එයින් කීපයක්මත් පාවිච්චි කරා. හැබැයි මුල් කාලේ මට ඔය මෙහෙයුම් පද්ධතිය ඇල්ලුවෙම නැහැ. අර කලින් දෙකේ තිබ්බ “ලේසිය, පහසුව සහ රිලයබිලිටි එකත් එක්ක ආපු සරල බව” නැති වීම කියන කතාව මට ටිකක් තදින් දැනුනා. ආපහු එකක් එක දිගට යූස් උනේ මේ ලඟදි, මට යාලුවෙක්ගෙන් හම්බවෙලා, රිපෙයාර් කරලා ගත්ත ෆෝන් එකක් නිසා. හැබැයි ඒ පාවිච්චි කරද්දී මට තේරෙන්න ගත්තා ඉස්සරට වඩා දැන් මේ OS එක සෑහෙන්න පොලිෂ් වෙලා කියලා. සංකීර්ණ බව නම් වැඩි වෙලා, හැබැයි කලින්ට වඩා මගේ විදියට හැඩගස්වගන්න පුළුවන් කියල මට තේරුනා. මෙතන මගේ අත්දැකීමට පාදක උනේ Android 9 සංස්කරණය උඩ දුවන නොකියා 8.
![]() |
Nokia 8 (මේක නම් මම ගත්ත එකක් නෙවෙයි, අක්‍රීය තත්වයෙන් මට ඇවිත්, දැන් ඉගෙනගන්න ගමන් පාවිච්චියේ) |
අන්තිමට, අද කාලේ තවත් ඉතාමත් ප්‍රසිද්ධ මෙහෙයුම් පද්ධතියක් වෙන, iOS, එහෙමත් නැත්තම් Apple සමාගමේ iPhone වලට එන මෙහෙයුම් පද්ධතිය. මේකෙත් මම මුලින්ම පටන්ගනිද්දී තිබ්බේ 9 සංස්කරණය. එතන ඉඳන් මම දැන් මේ යූස් කරන 16 වෙනකල් හැම එකක්ම වගේ මම හොඳටම පාවිච්චි කරා. කලින් දෙක වගේ නෙවෙයි, මේක ක්ලෝස්ඩ් සෝස් (ඒ කියන්නේ මුල් කේත සටහන නිදහස් නැහැ). ඒ වගේම, මේ OS එකට ෆෝන් හදන්නේ ඇපල් එක විතරයි. එක අතකට ඒ නිසා වැඩ කරන්න සෑහෙන ලේසි, මොකද හාඩ්වෙයා හදලා තියන්නේ මේකට ගැලපෙන්න නිසා. මේකෙත් රිසෝසස් පාවිච්චිය ඉතාම හොඳයි. 128GB වලින් 1GB වලටත් අඩුවෙන් ෆ්‍රී තියද්දීත් සෑහෙන තරමක වේගයකින් ක්‍රියාත්මක වෙන්න පුළුවන්, විශ්වාසී, ආරක්ෂාකාරී මෙහෙයුම් පද්ධතියක්. මේකෙත් මම ෆෝන් කීපයක්ම පාවිච්චි කරා. මෙතන දාලා තියන්නේ අයිෆෝන් SE2.
![]() |
Apple iPhone SE2 (අන්තිමටම ගත්ත දුරකථනය. දැන් දුවන්නේ මේක) |
මම මෙතන මේ හතරෙන් හොඳම OS එක මොකද්ද කියලා නෙවෙයි කියන්න උත්සාහ කරේ. මට වඩාත්ම ගැලපුනේ, පහසු උනේ මොකද්ද, මගේ අත්දැකීම මොකද්ද කියන එක. අපි හැමෝම ෆෝන් එකකින් බලාපොරොත්තු වෙන්නේ එක එක දේවල්. ඒ නිසා, එක්කෙනෙක්ට හරියන OS එක තව කෙනෙක්ට හරි නොයන්න පුළුවන්.
මම උනත් ඔය අතරට Windows phone, Series 30+, Series 40 වගේ අනික් OS එහෙමත් විටින් විට පාවිච්චි කරා. හැබැයි මට අදටත් හොඳටම ගැලපුනා සහ ගැලපෙනවා කියල මට තේරෙන්නේ නොකියා S60 ෆෝන් එක. කාලයට අනුව iPhone එකක් මම පාවිච්චි කරනවා ලොකු ගැටළුවක් නැතුව. හැබැයි දැන් තියන එකෙන් පස්සේ iPhone පරිණාමය උන දිශානතිය (සහ ගණන්) එක්ක බැලුවම, බොහෝ දුරට මගේ ඊළඟ තේරීම Android එකක් වෙන්න ඉඩ සෑහෙන්න තියනවා.
ප.ලි - මා සතු වූ තෙලබණු මැයෙන් කලෙකට පෙර ලියැවුණු සටහනකට මෙතැනින් පිවිසිය හැකියැ..
+++++++++++++++👌
ReplyDeleteස්තුතියි වැට ට!!
Deleteහොඳ මතකයක්. මම නම් ඉතින් (පිටසක්වලයට වඩා වයසින් වැඩිවෙච්චි නිසා) මුළින්ම පාවිච්චි කරේ Ericsson 1018
ReplyDeleteමමත් පළවෙනියටම යුස් කරේ 5110 එකක්. හැබැයි ඒක ට්‍රයල් වගේ තමා පාවිච්චි කරේ.
Deleteමොබයිල් වල සැබෑ පෙරලියක් කලේ iPhone එක. ඒක තේරුම් ගන්න පරක්කු වුන නිසා නොකියා, එරික්සන් වඳවෙලා ගියා. බ්ලැක්බෙරි, කෝපරේට් ක්ලයන්ට්ලා එක්ක තව ටික කලක් "අයින හපාගෙන" හිටියත්, අන්තිමට වැටුනා. ඇපල් iPhone එක වටා, කල්චර් එකක් ගොඩ නගලා පාරිභෝගිකගෙන් "කිරි දොවන්න" ගත්තා. හොඳ වෙලාවට විකල්පයක් විදිහට ඇන්ඩ්‍රොයිඩ් ආවෙ.
ReplyDeleteරැම්,රොම් ඩිස්ප්ලේ වැඩි වෙනවා, එහෙන් මෙහෙන් විච්චූරණ එනවා මිසක්, iPhone වලින් පස්සෙ, මොබයිල් වල සැබෑ පෙරලියක් වුනේ නෑ. බාගදා ආයෙ එන එකකුත් නෑ.
ආපු දේ අතරින්, ෆිංගර් ප්‍රින්ට්, මොබයිල් බෑන්කින් , 2FA වගේ දේ ටිකක් ප්‍රයෝජනවත්.
හරියටම හරි. ඇපල් කොහොමටත් අද කරන්නෙත් ඒකනේ. පොඩි දේවල් ටිකක් ලොකු කරලා පෙන්නලා දැන් ගාන කපනවා. ඇන්ඩ්‍රොයිඩ් නැති උනා නම් මිනිස්සුන්ට වෙන ඔප්ෂන් එකකුත් නැති එකේ තනිකරම ඒකාධිකාරයක් වෙනවා. වින්ඩෝස් වලට කරන්න පුළුවන් දෙයක් තිබ්බෙත් නැහැ.
Deleteඅන්තිමට කාටත් පිහිට ගුගල් දෙයියො තමා
Deleteඅනේ ද කියන්නේ..
Deleteඉස්සරෝම පාවිචිචි කලේ නොකියා 1100 එකක්
ReplyDelete1100 මං ගන්න කාලේ වෙද්දී ඉවරයි. හැබැයි මට පස්සේ එකක් හම්බුනා රිපෙයාර් කරන්න. සුපිරි ෆෝන් එකක් ඈ..
Deleteඅඟහරුවා ෆෝන් රෙපයාරුත් කරනවද? දැන් මේ අලුත් සර්කිට් අපිව කඩේ යවන නිසා, මට දැන් මේවා එපා වේගනයි එන්නෙ.
DeleteGaN Charger
හදාගන්න පුළුවන් දෙයක් නම් මම කරනවා. අතේ තියන ටූල්ස් වලින් කරගන්න පුළුවන් ටික නම් මම ම කරගන්නවා කොහොම හරි.
Deleteමුලින්ම මගේම කියලා පාවිච්චි කළේ Nokia 2610 එකක්. ඊට පස්සේ Nokia N70/ N95 වගේ එව්වා පාවිච්චි කළා.. ඒ කාලේ මාරම user friendly phones එව්වා.
ReplyDeleteඊට පස්සේ මාරු උනේ Windows Phone වලට. කොච්චර ඇබ්බැහි උනාද කිව්වොත් ඒවට mobile application 10 ක් විතරත් ලිව්වා.
ඊට පස්සේ Android.. Google pixel එක්ක. flagship mobile එකක් විදිහට හරිම user friendly.
වින්ඩෝස් මටත් සෑහෙන්න අල්ලලා ගියා. මට ඒකෙ එපා උනේ apps හොයාගන්න නැති උන එක එක්ක මම යුස් කරපු ලුමියා 620 එකේ හාඩ්වෙයා පැත්ත. මොකා ඩිසයින් කරා ද කියල මම අදටත් හිතනවා ඒ කෙහෙම්මල. හොඳට කරගෙන ඉස්සරහට අරගෙන ආවා නම් අද iOS, Android දෙකටම හොඳ තරඟයක් දෙන්න පුළුවන් මට්ටමේ තිබ්බ එකක්. හැබැයි ඉතින් මයික්‍රෝසොෆ්ට් එකේ අදටත් දුවන තියරියක් වෙන, මුලින් මාර හොඳ ප්‍රොඩක්ට් එකක් එලියට දීලා, පස්සේ හා ගැනීමේ තියරිය මේකටත් බලපාපු නිසා ඒ OS එක ඒ කාලෙම අවසන් ගමන් ගියා. අපරාදේ..
Deleteමාත් කාලෙක ඉඳල පෝන් ගැන පොස්ටුවක් ලියන්න ඉන්නව. ඒත් කම්මැලි!
ReplyDeleteමයෙත් මේ විදිහට තමා ෆෝන් පාවිච්චිය ගලා ගියේ. මුලින්ම බටන් පොන් එක, ඊට පස්සෙ චයිනිස් බපල් ෆෝන්, පහුව අන්දරොයිද 😁
ඇපල් පාවිච්චි කරේ ම නැද්ද?
Deleteමුලදී තිබ්බ ඔය ඔක්කොම , නොකියා සිට මෝටරෝල , සංසුන් සැම්සුන් ඊට පස්සේ අයිෆෝන් 4 ඉඳන් දිගටම ඒක විතරයි . ලෙහෙසියි පහසුයි වඩාත්ම හේතුව ආරක්ෂාකාරී අතින් වඩා හොඳයි . හැබැයි ඇන්ඩ්‍රොයිඩ් හොඳ ඇප් තියන්ව් iphone එකේ නැති . අර ගස් වල ෆොටෝ අරන් හොයන්න පුළුවන් එක , කුරුල්ලාගේ ෆොටෝ එක රන් හොයන වගේ දේ iphone ඇප් නැහැ
ReplyDeleteiPhone ඉස්සරහට යන විදිය නම් මට අල්ලන්නේ නැහැ එච්චර. ස්ටීව් ජොබ්ස් ගේ කාලේ තිබ්බ තියරි දැන් ඇපල් එක අතහැරලා වගේ දැනෙනවා. ඇපල් එකත් android පස්සෙම දුවන ලයින් එකක් තමා පෙන්නේ මට. ස්ටීව් ජොබ්ස් කිව්වේ අතට හොඳටම හරියන්නේ අඟල් 4ක ස්ක්‍රීන් එකක් කියල. මේ කතාව සෑහෙන්න ඇත්ත. ඉස්සර සැම්සුන් එකට කට්ටිය මීම්ස් පවා හැදුවා මතකයි "ඔබ සමාගමෙන් නිර්මාණය කරන දුරකථන බහාලිය හැකි සාක්කු සහිත ඩෙනිම් ද නිර්මාණය කරන්න" කියලා.
Delete