Sunday, July 6, 2025

පරිගණක මතක සටහන්..

මේ ටිකේ තම තමන් කම්පියුටර්, ෆෝන් පාවිච්චි කරන්න ගත්ත හැටි ගැන ලියවුන සටහන් කීපයක්ම දැක්කා මගෙ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.. මම කලිං මගෙ ෆෝන් කතාව ගැන බ්ලොග් එකටම ලියල තිබ්බට, කම්පියුටර් ගැන එහෙම ලියන්න උනේ නෑ..

අද හවස් අතේ, කාලෙකට කලිං ලිව්ව වාර්තාවක් හොයන්න මං පරණ හාඩ් එකක් ඇද්දා. ඒක හොයාගෙන යද්දි මට හම්බුනා පරණ ෆොටෝ එකක්. ඒකත් එක්ක, පොඩි කතාවක් ලියල තියන්න හිතුනා.

මං මුලින්ම කම්පියුටර් එකක් කියල එකක් අටවගනිද්දි, මං ඒ ලෙවල් පළවෙනි අවුරුද්දෙ (2010). ඒ දවස් වල අප්පච්චිගෙ යාලුවෙක් අතෑරල දාපු කම්පියුටර් එකක කෑලි ටිකක් මෙහෙ තිබ්බා. ඒකෙ තිබ්බ කෑලි වලිං ගන්න පුලුවන් තත්වෙක තිබ්බෙ මොනිටර් එකයි මවුස් එකයි, සීඩී රොම් එකයි විතරයි.

ඔය දවස් වල මං සුලු සුලුවෙන් එක එක තැන් වල කම්පියුටර් වල, ෆෝන් වල දෝෂ සමනය කරන්න පටං අරං තිබ්බා (තිබ්බ සුලු ඉලෙක්ට්‍රොනික්ස් දැනුමයි, කර කර හිටිය කම්පියුටර් හාඩ්වෙයා කෝස් එකේ දැනුමයි යූස් කරල).

මේකෙදි අතෑරල දාපු කෑලි, එතකොට සුලු සුලු ගණං වලට නුවර පුරා ඇවිදල එකතු කරගත්ත පාවිච්චි කරපු කම්පියුටර් කෑලි අනංමනං එකතු කරල තමයි පළවෙනි කම්පියුටර් එක අටවගන්නෙ. ඔය දවස් වල නුවර ටවුන් එකේ ත්‍රිකුණාමල වීදියෙන් පටන් ගත්තම, උඩ පාරේ යොවුන් එක ගාව ඉඳන් දොඩම්වල හන්දියට එනකල්, ඊට පස්සේ ගුඩ් ෂෙඩ් එක ගාව තිබ්බ කම්පියුටර් පාට්ස් කඩවල් ඔක්කොගෙම කට්ටිය මාව දන්නවා. ඒ සමහර කඩවල් වල තිබ්බ පාට්ස්, එයාලගේ සිස්ටම් එක, මුදලාලිටත් වඩා මම දන්නවා..

 මේකෙ මුල්ම ස්පෙක්ස් මෙහෙමයි-

ප්‍රොසෙසර් එක - පෙන්ටියම් 4 , LGA 775 socket -  2.8GHz

රැම් මතකය - 256MB + 512MB (DDR1)  

හාඩ් ඩිස්ක් එක -  80GB (IDE)

ඔප්ටිකල් ඩ්‍රයිව් එක - 48x CD ROM                             

මදර්බෝඩ් එක - Dell Optiplex 280.

මවුස්/කී බෝඩ් - පරණ එකෙන් ගත්ත PS/2  Ball Mouse + Keyboard

ස්පීකර් - නොකියා 2730c එකේ ඉයර්ෆෝන් එක

මොනිටර් - පුපුර පුපුර වැඩ කරපු පරණ එකේ CRT මොනිටරේ.

UPS - උඩ ගෙදර අයියගේ කම්පියුටර් එකේ යුස් කරලා මෙහෙ තියල තිබ්බ 2003 එකක්.   

මදර්බෝඩ් එකත් එක්ක කොටස් ටිකේ සමීප ජායාරූපයක්.. ඔය හාඩ් එක අර අප්පච්චිගේ යාළුවගේ එකේ තිබ්බ එකක්. 

මේකෙ දුවවපු OS එක වින්ඩෝස් Xp සර්විස් පැක් 2. පස්සෙ අර විජය පරිගණක ටික බලාගෙන, ඒ එක්කම වින්ඩෝස් 98 ඩුවල් බූට් කරා. මේකට තව OS එකක් හම්බුනා SLITAS කියල ලිනක්ස් එකක්. MB30 ක OS එකක්. පෙන් එකකින් බූට් කරන්න පුළුවන්. හැබැයි දාන්න හදපු දෙපාරම එරර් එකක් ඇවිත් මගින් නවතිනවා. තාම පෙන් එකේ ISO එක තියනවා.

මේක ඉතිං අර පරණ එකේ කේසිං එකට දාන්න බැරි නිසා (ඩෙල් ඔප්ටිප්ලෙක්ස් බෝඩ් ස්ටෑන්ඩර්ඩ් AT/ ATX කේසිං වලට තියන්න බෑ) මේසෙ උඩ මේ විදිහට තමයි තියල තිබ්බෙ. පවර් ස්විච් එක වෙනුවට ඒ පින් දෙක නියනකින් ෂෝට් කරල තමයි ඔන් කරන්නෙ. මේකෙන් හැබැයි සෑහෙන්න යමක් ඉගෙනගත්තා හාඩ්වෙයා පැත්තෙන්.

මේකෙ තිබ්බ සොෆ්ට්වෙයා ගත්තම, ඔෆිස් 2007, Winamp, නීරෝ, ජෙට් ඕඩියෝ, VLC ප්ලේයර්, අවාස්ට් ඇන්ටිවයිරස්, ෆයර්ෆොක්ස් වගේ කීපයක් තිබ්බා. ඒ දවස් වල මං ඩිස්ක් එකක් තියං හිටියා සොෆ්ට්වෙයා දාලා දෙන්න එහෙම ඉල්ලන අයට. එතකොට මම කරන්නේ ඔය ඩිස්ක් එක එක්ක Xp ඩිස්ක් එක අරං ගිහිං සිස්ටම් දාලා, සොෆ්ට්වෙයා ටිකත් දාලා දීලා එනවා. (නෙට් එකෙන් සොෆ්ට්වෙයා බාන වැඩේ තවම ලොකුවට ඇවිත් තිබ්බෙ නෑ). මේ කාලේ අලුත්ම වින්ඩෝස් එක තිබ්බේ විස්ටා. ඒක එච්චර හොඳ ප්‍රතිචාර තිබ්බ එකක් නොවෙන නිසා, ගොඩක් අය Xp ම යූස් කරා. 2010 අග වගේ තමා වින්ඩෝස් 7 මෙහෙ කම්පියුටර් වලට එන්න ගත්තේ.

මේක නිකංම එළියෙ තිබ්බ නිසා හාඩ්වෙයා දෝෂ සෑහෙන්න එනවා. දූවිලි අනංමනං එක්ක. මේ කාලෙ අපෙ ගෙදරත් හදන ගමන් තිබ්බෙ. එතකොට ඒවත් බලපෑවා. එක්කො රැම් බුරුල් වෙනවා, මදර්බෝඩ් එක උඩ දූවිලි රැඳෙනවා අනංමනං. එහෙම උනාම ඉතිං මදර් බෝඩ් එක එලියට අරං ගිහින්, ෆෑන් එකේ ඉඳන් ගලවලා සුද්ද කරලා, CMOS බැටරි ඒකත් ගලවලා ආය දාලා සෙට් කරාම On වෙනවා.

මේ කාලෙ අපෙ ගෙදර වයරිං එකේ Earth නෑ. ඉතිං කොහෙ හරි ලෝහ කෑල්ලක අත පය ගෑවුනාම ආය නෑ වදිනවා දුං විසික් වෙන්නම කරන්ට්.. කොටිංම මේකෙන් වැඩක් කරගන්න එක බෝම්බයක් නිශ්ක්‍රිය කරන තරමෙ වැඩක්. ඒ එක්කම, අටවපු කෑලි වීම නිසාම එන දෝෂත් තිබ්බා. එක දවසක් නිවාඩු දවසක මේක On කරාම කියනවා “Operating System not found” කියල. කාලා වරෙන්කො ඉතින්.. 

මේ තියන්නේ මම අටවපු මුල්ම කම්පියුටර් එක 2012 දි ගත්ත ෆොටෝ එකක්. ඔය පෙන්නලා තියන හාඩ් එක 15GB එකක්. ඒ කාලේ යූස් කරපු නොකියා 2730C එකත් තියනවා ළඟ. ඒ කාලේ ආපු තරම නෙට් ආවේ ඔය ෆෝන් එකෙන්. ෆොටෝ එක ගත්තේ Nokia 6220c එකෙන්. 

 මේකෙන් හැබැයි, අප්පච්චිගෙ ලියුම් ටයිප් කරල දෙන එක, මගෙ ඒ ලෙවල් ප්‍රොජෙක්ට් එකේ මුල් අදියරේ වැඩ ටික කරන එක, වින්ඩෝස් වල අහුමුලු වල තිබ්බ දේවල් ඉගෙනගන්න එක, ගේම් ගහන එක වගේ ගොඩක් දේවල් කරගත්තා. නුවර නබීෂා කම්ප්ලේක්ස් එකේ යටම තට්ටුවේ තිබ්බා ගේම්/ සොෆ්ට්වෙයා විකුණන කඩයක්. තාම තියනවා මම හිතන්නේ. ඔතනින් අරන් එන ඒවා මුලින්ම ටෙස්ට් කරෙත් මේකේ. මීට අමතරව ඔය කෝස් එකේ කියපු, පත්තර වල ගිය ආටිකල් වල තිබ්බ දේවල් අත්හදා බලන්නත් මේක යූස් කරා. ඕවර් ක්ලොක් කරන්න ට්‍රයි කරෙත් මේකෙන් තමයි. මේ කාලෙ ප්‍රොසෙසර් වල තර්මල් ත්‍රොට්ලිං කියල එකක් නෑ. ඕවර්හීට් උනොත් ප්‍රොසෙසරේ ලෙප්ට්..

ඕක ඔහොම 2016 වගේ වෙනකල් අපෙ දිහා තිබ්බා. පස්සෙ මගෙ යාලුවෙක් බෝඩ් එක අරගත්තා. ඒ අතර ඉතිං මේකෙ රැම්, ප්‍රොසෙසර් අප්ග්‍රේඩ් උනා, ග්‍රැෆික්ස් කාඩ්, සවුන්ඩ් කාඩ් එකතු උනා, පවර් යුනිට් එක මාරු උනා (පුපුරලා), ඔප්ටිකල් ඩ්‍රයිව් එක DVD රයිටර් උනා, හාඩ් එක 160GB උනා.. අන්තිමට මොනිටර් එකකුත් දාගන්න පුලුවන් උනා.

ඔය අතරෙ 2011 අගට වෙන්න මට ලැප් එකක් හම්බුනා. ඒ කියලත් ඔය අරහෙන් මෙහෙන් හම්බෙන ගේම්ස්, සොෆ්ට්වෙයා දුවවන්න, ෂුවර් නැති පෙන්, ඩිස්ක් අනංමනං ගහන්න ඕක තමයි යූස් කරේ. කොටින්ම ලැප් එක රිස්ක් කරගන්න බැරි දේවල් වලට මේක යූස් කරා.

අදටත් මේකෙන් ඉතුරු උන සමහර කෑලි මං ගාව තියනව. මේකට පස්සෙ හම්බුන ස්ටෑන්ඩර්ඩ් ATX බෝඩ් එකත් එක්ක පරණ රෙට්‍රොපීසී එකක් ගෙදර තියං ඉන්නව හද්දා පරණ ගේම්ස් එහෙම දුවවන්න. දැන් තියන ලැප් එකේ හොඳ ස්පෙක්ස් තිබ්බත්, NFS2, Desert Storm වගේ මම පොඩි කාලෙ ගහපු ගේම්ස් එහෙම කාලෙකට සැරයක් හරි සෙල්ලම් කරන්න, අතිධාවනකාරී වර්තමානයෙන් පොඩ්ඩකට හරි මිදිල, පරණ කාලෙට එස්කේප් වෙන්න ඒක හොඳ ක්‍රමයක්..

මෙතැනදී, මම විශේෂෙන් මතක් කරන්න ඕනේ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඔය කාලේ FB අනංමනං නෑ නේ. ඉතින් මට කම්පියුටර් ගැන උපදෙස්, මගපෙන්වීම් දුන්නේ මගේ කසින් කෙනෙක් වෙන පුලතිසි අයියා, එරංග අයියා, තව මාත් එක්ක ඔය ඉලෙක්ට්‍රොනික් වැඩ වලට බැහැල හිටිය දහම්පාසලේ යාලුවා විරාන්, ගෙවල් ළඟ අකිල අයියා, තව කෝච්චි සෙට් එකේ අකිල අයියා, මෙන්ඩිස් අයියා, ගයාන් අයියා එහෙම තමා අහන අහන ප්‍රශ්න වලට උත්තරයි, තව සොෆ්ට්වෙයා එහෙමයි ගෙනත් දුන්නේ/ කියල දුන්නේ. ඊළඟට ඔය කාලේ ඉස්කෝලේ අපිට GIT උගන්නපු මායා කරුණාතිලක ටීචර්. මොකද, මේ බෝඩ් එක තිබ්බ තත්වේ එක්ක හැම සතියකම මොකක් හරි දෝෂයක්. සොෆ්ට්වෙයා පැත්තේ එකක් නම් අහන්නෙම ඔය ටීචර්ගෙන්.

ප.ලි - ෆේස්බුක් එකට දාන්න මේක මුලින් ලිව්වේ. ඒකට දාන්න පුළුවන් තරමට වඩා දිග උන නිසා, තව විස්තර ටිකක් එක්කම, බ්ලොග් එකට දැම්මා.

14 comments:

  1. ලස්සන මතකයක්. අර කරන්ට් වදින, කම්පූටර එලිමහන් රංග පීඨය නියමයි. ඉස්සර මමත් ඔහොම තමයි. දැන් නම් පුදුමත් හිතෙනවා, මලේ නැත්තෙ ඇයි කියලා. 🤣

    ReplyDelete
    Replies
    1. ඒ වගේ රංග පීඨ නම් තාම අටවනවා වෙලාවකට මම.. මලේ නැත්තේ ඒ කාලේ මොකක් හරි ශීල්ඩ් එකක් වත් තියෙන්න ඇති අපිට. නැත්තම් කරපු වැඩ වල හැටියට මැරිලා නෙවේ නවතින්නේ..

      Delete
  2. මගේ මුල්ම කම්පියුටරේ උනේ පෙන්ටියම් 1 33Mhz එකක්. ඒක මාරම කාලයක් ඇද්දා. ලොකුම වැඩක් ගත්තේ ඒකෙන්. ඊට පස්සේ celenium processor එකකට මාරු උනා. දැන් පාවිච්චි කරන ගැජමැටික් එක්ක බලද්දී හිතෙනවා සිරාවට කොහොමද ඉස්සර ඒවගෙන් එච්චර වැඩ කළේ කියලා

    ReplyDelete
    Replies
    1. සෙලේනියම්???
      සෙලරෝන් ද? මං ගාවත් තිබ්බා යාලුවෙක් දීපු මෙගාහර්ට්ස් 800ක සෙලරෝන් එකක්. තාම වැඩ ඇති.

      Delete
  3. මගේනං මුල්ම එක උනේ පෙන්ටියම් 1 200Mhz එකක්. අපරාදෙ කියන්න බෑ දැන් කරන වැඩ ඔක්කොම කිසි අවුලක් නැතුව ඒකෙත් කළා.
    මං හිතන්නෙ මමයි මගේ යාලුවයි තරං ටෙක් ශ්‍රී ලංකා හෙඩ් ඔෆිස් එකේ උංට වදයක් වෙන්න නැතුව ඇති වෙන කවුරුවත්.

    ReplyDelete
    Replies
    1. මම ගොඩක් දේවල් විජය පරිගණක එකට පිං සිද්ධ වෙන්න කරගත්ත. අනික් ඒවාට ඉතින් වදයක් උන සෙට් එක තමා අර මෙන්ෂන් කරලා තියන්නේ අන්තිම ජේදයේ...

      Delete
  4. මම මුලිම්ම ගත්තේ Sinclair කොම්පැනියේ ZX Spectrum එකක්. Zilog 80 (Z80) ප්‍රොසෙසර් එක.
    ඕඩියෝ කැසට් වල ප්‍රෝග්‍රම් එක සේව් කළේ. ගෙදර TV එක තමා මොනිටරේ.
    ඔෆිස් එකේ පාවිච්චි කලේ TRS80, RadioShack කොම්පියුටරයක්. අපි ඒකට කිව්වේ බ්‍රිටිෂ් ලේලන්ඩ් එක කියල, ෆ්ලොපි එක රීඩ් කරනකොට අන්න සද්ද. අඟල් අටේ ෆ්ලොපි.
    20MB හාඩ් ඩ්‍රයිව් එක (ඒ කාලෙ ඒවා ලක්ෂරි!!), බැකප් එකක් ගන්න මෙට්‍රොපොලිටන් කොම්පැනියටම යන්න ඕනේ. බලන්ඩ එපායැ එතන සේර්ල මිසීලගේ ගනකම.
    මුල්ම කාලෙ SPC (Stored program control ) ටෙලිකොම් එක්ස්චේන්ජ් වල 17kB RAM එක තිබුනේ අඩි 20 කොන්ටේනර් ටැංකියක. අහල ඇතිනේ බබල් මෙමරි. කොච්චර රත්වෙනවද කිව්වොත් තව වෙනම අඩි 20 ටැංකියක් තිබ්බ AC යුනිට් එක. එව්වට ප්‍රෝග්‍රම් එකක් ලෝඩ් කරනව කියන්නෙ ඉතිං බරපතල කේස් එකක් තමා. අනික රිමෝට්ලි කරනව කියන්නෙ. අම්මප අපි එහෙම වැඩත් කළානේ .
    ජයවේවා!

    හැට්..

    ReplyDelete
    Replies
    1. ඕඩියෝ කැසට් කියද්දී ඔන්න තවත් ලියන්න දේවල් කප්පරක් මතක් උනා. මේ දැනුත් මම කැසට් එකක් අහන ගමන්.. මගේ යාලුවෙක් ඉන්නවා මෙට්‍රොපොලිටන් එකෙන් ලැප් එකක් අරගත්ත. ඒක මනුස්සයා ගාව තිබ්බට වඩා තිබ්බේ මෙට්‍රොපොලිටන් සර්විස් එකේ. පස්සේ මදර්බෝඩ් එක ගිහිං කියලා ආපහු දීලා තිබ්බා. මුකුත් කරන්න බැරි නිසා මේ ලඟදි මට ගෙනත් දුන්නා කෑලි ගන්න හරි මොනා හරි කැමති දෙයක් කරගන්න කියල. ගලවලා බැලුවම බෝඩ් එක ගිනි විතරයි තියලා නොතිබ්බේ..

      Delete
  5. මේක කියවන කොට මම කොච්චර වයසද කියල හිතුන 😀. මුල්න්ම සෝවියට් දේශයේදී තමා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් කරන්න ගත්තේ . කාඩ් වලට හිල් ගහල දෙනවා ලොකු මේන් ෆ්‍රේම් කම්පියුටරෙකින් . ඒක ගිහිල්ල වෙන තැනකට දුන්නහම ප්‍රෝග්‍රෑම් එක ප්‍රින්ට් කරල දෙනවා . පස්සේ ඊස්ට් ජර්මන් රොබට්‍රෝන් කියලා ඒවා හමොටම් දුන්න . අන්තිම 1990 වෙනකොට IBM 286, 386 ඒවා ලැබුන . මගේ මුල්ම ප්‍රයිවෙට් එක ලන්ඩන් වලදී ගත්ත අම්ස්ට්‍රැඩ් කියල එකක් . ඊට පස්සේ හදන්න ගත්ත කම්පියුටර් මාර්කට් වලට ගිහින් කාලි අරන් .

    ReplyDelete
    Replies
    1. සෝවියට් කම්පියුටර් ගැන වෙලාවක ලියමු එහෙනම්.. මම කොහේදී හරි දැක්කා 386 ප්‍රොසෙසර් එකක් කාබන් කොපි කරලා හදපු සොවියට ප්‍රොසෙසර් එකක්..

      Delete
    2. මට මතක විධිහට 8086 කොපි කරලා ගහපු එකක් තමා තිබුනේ අපට 1990 අග වෙනකොට . ඒ දවස් වල අපි වගේ ස්ටුඩන්ට් ල හරහා තමා ඕව ඇද්දේ . රොබට්‍රෝන් එකනම් හොඳ ඊස්ට් ජර්මන් නිෂ්පාදනයක් . වැඩේ කියන්නේ මගේ වයිෆ් ගේ තාත්ත ඒකෙ ඉංජිනේරුවෙක් . එයත් කාර්මික පුහුණුවට ගිහින් තියෙන්නේ රොබට්‍රෝන් කම්පැනි එකට . පස්සේ මාමණ්ඩි ටෙලිකොම් ඉන්ජෙක් හැටියට බටහිර ජර්මනියේ වැඩ කළා . තවම හිනා යන්නේ අර ලොකු මේන් ෆ්‍රේම් කම්පියුටරේ මෙමරිය මෙගා බයිට් 100 ද කොහද ? මෙන්ෆ්රේම් එඅ මුල ඉඳන්ම හොඳට තිබුන . ස්ට්‍රෙලා , යුරල් , පයිස්ක් හෙම කියල . පර්සනල් කම්පියුටර් තමයි කර ගන්න බැරිවුනේ .

      Delete
    3. ඒ කම්පැනි දිගටම ආවා නම් අද මේ සමාගම් දෙක තුනක් ඔය ව්‍යාපාරයම පාලනය කරන එක නවතිනවා. සමහර විට එහෙම නම් හොඳ කම්පියුටර් මීට වඩා අඩුවට ගන්නත් පුළුවන් වෙන්න තිබ්බා.
      සෝවියට් රටේ එයාලගෙම ප්‍රොසෙසර් හැදුවේම නැද්ද එතකොට?

      Delete
    4. ඕක හෙන දිග කතාවක් අඟහරුවා . සෝවියට් දේශය කඩා වැටීමට හේතුවත් මම හිතන විධිහට සැඟවිලා තියෙනවා ඒක ඇතුලේ . අර ගගාරින් යවන කොට 20MB ප්‍රොසෙසර් එකක් තමයි ඒ යානයට සෙට් කරලා තිබ්බේ . එතකොට මුළු අභ්‍යවකාශ සීන් එකම ලොකු මේන් ෆ්‍රේම් වලින් රන් කරලා තියෙන්න , යූරල් වගේ . අපේ උනිව අල (මම ඉගෙන ගත්තේ අසූ ගණන් වල ) තිබ්බෙත් ඒවා . ඒවා ඇමෙරිකාවේ හෝ ඊට වැඩිය හොඳට හෝ තිබ්බ . නමුත් IBM හෙම පපර්සනල් කම්පියුටර් පැත්තට යනකොට ගේට්ස් DOS සිස්ටම් එක ගෙන එනකොට අසූ ගණන් වල මුල හරියේ සෝවියට් දේශය ඒවා නොතකා හරිය . මොකද සාමාන්‍ය මිනිසුන්ට දේවල් හැදුවේ නැහැ . ඔක්කොම රජයේ . රජය මිනිසුන්ට දෙන්නේ . රජයට තිබුනහම ඇති වගේ මතවාදයක් තිබුනේ . හරියට ඩෙනිමක් හැදුවේ නැති හේතුවම තමා මෙතනත් . හැබැයි සෝවියට් දේශය ඇහැරෙනකොට , නැගෙනහිර ජර්මනිය රොබට්‍රෝන් හදන කොට (ඒවා හොඳයි . අපි වැඩ කලේ එවල ) නමුත් වෙස්ට් එක පහු කරලා ගිහින් ඉවරයි . මට මටහ්කයි එහෙන් අපි ඇප්ම්ලිෆයර් , බෆල් එහෙම ගන්නවා . වෙස්ට් එකේ වගේම ක්වොලිටි . ඒ වුනාට ඒ කාලේ ජපානේ හෙම ගහපු කැසට් ප්ලේයර් එකක් . වෝක්මන් එකක් හදා ගන්න බැහැ . අවුලේ නේ ඉතින් .

      Delete
    5. අන්න ඒක තමා මම දකින අවුල සෝවියට් රටේ. පාලනය කිරීම ඕනෑවට වඩා වැඩි උනා වගේ. ඉස්සරහට යන ලෝකේ එක්ක සමාජවාදය යාවත්කාලීන උනේ නැහැ. ඒක ම එයාලගේ කඩා වැටීම උනා.

      Delete