Tuesday, June 19, 2018

රැකියාව - ගුරුකම


හරියටම අවුරුදු 10කට කලින් වගේ, එක දවසක ඉරිදා දහම් පාසැල් ගිහිං බලද්දී පංතියටම දෙන්නයි. මෙච්චර අඩු උනාමයි. කරුමෙට එදා ආචාර්යය මණ්ඩලයේ පැමිණීමත් එහෙමමයි. ඉතිං ලොකු හාමුදුරුවෝ මාව දැම්ම ගිහිං 6 වසරේ පන්තියකට උගන්නන්න කියල. ඔන්න ඔහොමයි ශිෂ්‍ය නායක විදියට කොනකට වෙලා හිටපු මම, ගුරුවරයෙක් වීමේ පළමු පියවර තිබ්බේ.
ඔතනින් පස්සේ සාපෙ ඉවර උනාම 12 වසරට ගිහාම කෙලින්ම ස්ටාෆ් එකටම ගත්තා අවුරුද්දකින්. එතන ඉඳන් ඉතිං මේ වෙනකල් ගුරු සේවයේ තමා. අවුරුදු අටක් ස්වේච්ජා ඊට පස්සේ 2016 ඉඳන් ඉස්කෝලේ ගුරුපත්වීමක් ලැබුනා.
කොහොමින් කොහොම හරි, ඔය ගුරු සේවයේ ඉද්දි තියන හොඳම දේ තමා ළමයි එක්ක වැඩ කරන්න සෙට් වෙන එක. ඒකත් එක වයස් මට්ටමේ වෙද්දී ශෝක්. දහම් පාසලේ නම් කොහොමත් නංගි නැත්තම් මල්ලි කියල නේ කතා කරන්නෙත්. ඉස්කෝලේ නම් කට හුරුවට සර් කියනවා. මට නම් එයාලටත් මල්ලි කියවෙන වෙලාවල් නැතුවම නෙවේ..


කොහොම හරි, දහම් පාසලේ මම 2012දී ටික කාලයක් නොයා ඉඳල, 2013 ආපහු ගියහම, දාන්න කෙනෙක් නැතුව හිටි 6 වසරේ පන්තිය මට බාර දුන්නා. මමත් හා කියල ගියා. අම්මෝ මෙන්න ඉන්නවා කොල්ලෝ කෙල්ලෝ 30ක් විතර මගේ දිහා කන්න වගේ බලාගෙන. මමත් ඉතිං ඒ කාලේ කටේ පුරුද්දට ගුඩ් මෝනිං කිව්වා. එක්කෙනෙක් කට හෙල්ලුවේ නැහැ. පස්සේ ආපහු කට්ටියව නැගිට්ටවල ආයුබෝවන් කියල, රෙජිස්ටර් එකට නම් ටික එහෙම අරං වැඩ පටන්ගත්තා.
දහම්පාසලේ පන්තිය

අවුරුද්ද ඉවර වෙද්දී ඒ ක්ලාස් එක තමා වැඩිම රිසල්ට්ස් පෙන්නපු ක්ලාස් එක. පහුගිය අවුරුදු 4ම ඕකට මම ම උගන්නන්න සෙට් උනා. ඒකත් එක්කම පැරලල් ආපු 2016 11 පංතියත් මගෙත් එක්ක සෙට් උනා ක්ලාස් ටීචර් නොවුනත්.
 
සෑහෙන වැඩ ගොඩක් කරපු දහම් අවසානේ පන්තිය..

ඒ ගමන්ම, 2016 ඉස්කෝලෙට ගියාම ඒ අවුරුද්දේ 6H 6I පන්ති දෙකටත් මම රිලීෆ් වැටිලා, සුපර්විෂන් වැටිලා, බුද්ධාගම උගන්නලා සෙට් උනා. ඉස්කෝලෙට මුලින්ම ගියේ සාමාන්‍යය පෙළ යාන්ත්‍රික තාක්ෂණවේදය උගන්නන්න. එතන හිටියේ ළමයි තුං දෙනයි. හරියට ක්ලාස් එකක් වගේ බාර උනේ ඔය 6 H, I  දෙක තමා වාර විභාගේ කාලේ.
එක්සෑම් අස්සේ වෙන වැඩ..


මේ වගේ ක්ලාස් එක්ක ෆිට් වෙන එකේ හොඳ වගේම නරක පැතිත් තියනවා. මේ අවුරුද්ද මුලදී මාව ක්ලාස් ටීචර් කෙනෙක් හැටියට වැටුනා 8I එකට. ඒකත් අර කලින් කියපු H I දෙක එකට කරලා ආපු ක්ලාස් එකක්. ජනවාරි මාසේ ඉස්කෝලේ පටන් ගත්තම මමත් පොර සේ ගියා ඉස්කෝලේ. ගිහිං ඔන්න ක්ලාස් වලට ළමයි ටික තෝරනකොට මමත් ගිහිං හිටියා. මට ඇහෙනවා ඔන්න ළමයි අස්සෙන් කවුදෝ අහනවා “කවුද අපේ ක්ලාස් ටීචර්”.. පහල ඉඳන් එකෙක් ඩිම් වෙලා වගේ කියනවා “ධනසේකර සර්..”  කියල. මට තනියම හිනා ඉතිං..

ඔහොම පටන් අරගෙන, ඒ මාසේ නියමෙට වැඩ කරගෙන ආවා. කොහොමත් ඉස්කෝලෙට ගිය අවුරුද්දේ මම රිලීෆ් වැඩ කරන්න ඔය ක්ලාස් දේකට ගියාම අනංමනං පොතට එළියෙන් උගන්නපු හින්ද ක්ලාස් දෙකම සෙට් මගෙත් එක්ක. දවසක් මට නිකා ඉන්න බැරුව ඔය ක්ලාස් දෙකට පෙට්‍රල් එන්ජින් එක කියල දුන්නා. ආය දවසක් හොල්මං ගැන කතා කරා. ඔය නිසා ක්ලාස් දෙකම මගෙත් එක්ක හොඳට හිටියා.
එක්සෑම් සුපර්විෂන් යද්දිත් මම සහනශීලී නමුත් නූලට තිතට නීතියට වැඩ කරපු නිසා ළමයි ටික මගේ වෙලාවේදී සද්ද නොකර හිටිය වගේම මගෙත් එක්ක කෝපරේට් කරා. ඉතිං ඔය ඔක්කොම එක්ක මේ අවුරුද්ද වෙද්දී එයාලට මාවයි මට එයාලයි හරියට අයියල මල්ලිලා ගානට සෙට් උනා. කොහොමත් මම ඉස්කෝලේ ඕල්ඩ් බෝයි නේ. ඉතිං අනික් ටීචර්ලා එක්ක සර්ලා එක්ක නොකියන දේවල් මගෙත් එක්ක එයාල කියනවා.
ඔය අහු අස්සේ ඔය ක්ලාස් දෙක එක්කං ක්ලාස් ට්‍රිප් එක යන්නත් සෙට් උනා. ඉස්කෝලේ කාලේදී මම අන්තිමට ට්‍රිප් එකක් ගියේ 2008. ඉතිං මටත් ඒක අර පාසැල් කාලෙට ආපහු ගිය ගමනක් වගේ උනා. ළමයි ටිකත් හරි හොඳ වෙච්ච එකෙත්, මම ඉස්කෝලේ හිටිය ක්ලාස් එක වගේම මේකත් ඉංග්‍රීසි මාධ්‍යය වෙච්ච නිසාත්, හරියට මගේ 8 වසරේ පන්තිය එක්ක ගියා වගේ තමා. සිංදු කියල, ෆොටෝ ගහල, කතා කරලා ළමයි ටික එයාලගේ සතුට අරගත්තා. මමත් ට්‍රිප් එකේ රසය වින්දා.
ක්ලාස් ට්‍රිප් එක..
පළමු වෙනි වාරේ වාර විභාගෙන් පස්සේ, දවස් දෙකයි ඉතුරු උනේ. ඒත් ඒ දවස් දෙකත් මම කරේ පංතියට වෙලා, බුද්ධාගම පිළිතුරු පත්‍ර බලපු එක. මම කරේ අදාළ ළමය ලඟට අරන්ම පිළිතුරු පත්‍රය බලපු එක. එතකොට කෙලින්ම ඇයි ලකුණු අඩු වෙන්නේ, කොහොමද ලකුණු හැදෙන්නේ කියන එක දකින නිසා. ඔය වැඩේට ළමයිත් බොහොම කැමති උනා. නිවාඩු ලැබෙන්න කලින්ම බුද්ධ ධර්මය ලකුණු දීල ඉවර කරගන්න පුළුවන් උනා.
නිවාඩුවෙන් පස්සේ කාලය ටිකක් අවුල් ගියා කිව්වොත් තමා හරි. වැඩ ටිකක් වැඩි උනා, කරන්න අමාරු වෙන තරමට. ඒ අස්සේ, අලුතෙන් එන 12 වසරේ කට්ටියට දාන්න ක්ලාස් ටීචර්ල හොයද්දි ඉස්කෝලේ පොඩි අවුලකට මුහුණ පාලා වගේ. මොකද, එක පාරටම මාව අර 8 වසරේ පන්තියෙන් ඇදල දැම්මා 12 වසරට. ඒකත් වාණිජ ධාරාවේ. කවද කාපු ටකරං ද කිව්වලු.
ඉස්කෝලේ මාව ප්‍රසිද්ධ ටිකක් සැර, නීතියට වැඩ කරන සර් කෙනෙක් හැටියට (එකේ ඇත්තක් නැත්තේමත් නෑ ඉතිං). පාසැල පටන්ගත්ත ගමන් මේක දැනුම් දුන්නත්, මම හිතුව ඕක කොහෙන් හරි කැරකිලා මාරු වෙයි කියල. ඉතිං පළවෙනි සති දෙක වගේ මම මගේ පාඩුවේ වැඩ කරන ගියා. ලකුණු සටහන් හදන වැඩේ ට සහය ඉල්ලුවම, සෑහෙන ගානක් කැමැත්තෙන්ම ඇවිත් වැඩ ටික නූලට තිතට කරගන්න උපරිම සහයක් දුන්නා. අන්තිමේ බලද්දී, සම්පූර්ණ ලකුණු සටහන හදල තිබ්බේ මගේ පන්තිය විතරයි.

මොනිටර් පැනල් එක  


ඔය වැඩ ටික ඔහොම යද්දී, උප විදුහල්පතිතුමා, මගේ මාරු වීම ස්ථිර කරා. ඕක ළමයින්ට මම ඉතිං අන්තිම සතියේ සිකුරාදා කිව්වා. දැක්කා කට්ටියගේ මූණු ටික දෙක වෙනවා. වෙන එකක් තියා, අවුරුදු 10ක් විතර එක එක පන්ති වලට උගන්නල තිබ්බ මටත් ටිකක් නෙවේ සෑහෙන අවුලක් උනා අන්තිමට කතා කරන්න ගියාම.
 
8I පන්තිය..
                                   
පන්තියේ අයට ගහල බැනල එලවල තිබ්බට, විභාග වලදී ලකුණු කපල, අඩු කරලා, කතා කරාට බැනල, ලකුණු අඩු කරන්න කියල ලියල තිබ්බට, “අනේ සර් තව විනාඩියක්..” කියද්දී වෙලාවට පිළිතුරු පත්‍රය අරගෙන තිබ්බට, ඒ ළමයි ටිකටත් මම අයින් වෙලා යන එක ලොකු අවුලක් කියල කට්ටියගේ මූණු වලින් දැක්කා. මම ඇත්තටම හිතුව මම යන එකට මුන් ටික මාර හැපී එකේ ඉඳී කියල. එත් ඇත්තටම උනේ ඒකෙ අනික් පැත්ත.
කොහොමින් කොහොම හරි, මම ඉගෙනගත්ත ඉස්කෝලේ වැඩ කරන්න අරං බාරගත්ත පළමුවෙනි පංතිය මාස 5කින් වගේ අතාරින්න උනා. කරන් ආපු වැඩ ටිකක් මග නතර උනා. අලුත් තැනකින් අලුත් විදියකට වැඩ පටන් ගත්තා. කොහොමත් පාසලකට කියන්නේ විද්‍යායතනයක් කියල නේ. ඒ කියන්නේ පොතේ පතේ දැනුම විතරක් නෙවේ. කෙනෙක් සමාජයට මුහුණ දෙන හැටිත් උගන්නනවා. හමුවීම, එක් වී වැඩ කිරීම, නීතියට එකඟව වැඩ කිරීම, ඒ වගේම වෙන්වීම් මේ අවුරුදු 14 ඇතුලත උගන්නල ඒ පුද්ගලයා සමාජයට හැඩගැස්වීම පාසලෙන් කරන ලොකුම ඉගැන්වීමක්. ඒක මම උනත් තාම ඉගෙනගනිමින් පවතිනවා.
           මගේ අවුරුදු 10ක් වෙන ගුරු ජීවිතයේ අත්දැකීම් කිහිපයක් තව ඉස්සරහට මේකේ ලියන්න බලාපොරොත්තු වෙනවා. රස කතා, දුක හිතෙන කතා, විහිලු කතා වගේම, යකා නගින කතාත් ඉස්සරහට එයි. ඒවා ඉතිං, යථා කාලයේදී තථා අයුරින් සිද්ධ වෙයි..

Saturday, April 14, 2018

මෙදා සැරේ අවුරුදු..




ආපහු ඔන්න නිවාඩු හම්බුනා. මේ පාර කැලැන්ඩර් එක හදල තියන්නේ රුවිතෙට. ඒ නිසා අප්‍රේල් මාසෙම වෙසක් වැටෙනවා. ඉතිං අපේ පාසලේ පාලනාධිකාරිය ඔය දෙකම අල්ලලා මාසෙක නිවාඩුවක් දෙන්න තරම් කාරුණික උනා. ඒ කියන්නේ වෙන අයට ඉස්කෝල 23 වෙනිදා පටන්ගනිද්දී අපිට පටන්ගන්නේ මැයි 9 වෙනිදා!
නිවාඩු ලැබුනට ඉතිං, ඊට පස්සේ දවස් ටිකෙත් එක එක එක එක වැඩ සෙට් උනා. ඉස්කෝලෙම තෑගි දීමේ උත්සවයි තව සංගම් වල වැඩයි ඊළඟට කරගන්න බැරි උන අනික් වැඩයි අවුරුදු උත්සවයි ඉවර වෙද්දී 11 වෙනිදා උනා.
          එදා ගේ අස් කරන්නම් කියල හිටියට ඒක පටන්ගන්න උනේ 12 වෙනිදා දවල්. අම්මෝ.. ඒක නම් ඕනේ නෑ ආය. 2008 ජූලි මාසේ පරණ ගෙදර කාමරේ තිබ්බ ඒවා අහුරපු දවස් මතක් උනා. ඒ වගේම දෙයක් උනා අන්තිමේ මේකත්. තව ඒ කාලේ ෆයිල් වලට පුරවපුව ආපහු හම්බෙලා ඉතිහාසෙත් මතක් උනා.
කොහොමින් කොහොමින් හරි, මේ පාර අවුරුදු සිරි නම් අම්මටසිරි කියවෙන තරමටම අඩු වෙලා තිබ්බ කියල පෙනුනා. ඇයි ඉතිං මිනිස්සුන්ට මාර ජොලි නේ. පොල්තෙල් බෝතලේ 300යි. යකෝ ලංකාවේ ගහෙන් බාලා හදන තෙල් එක 300 වෙද්දී අර මුහුද මැද ඉඳන් හාරලා නැව් වලින් මෙහාට ඇවිල්ල පිරිසිදුත් වෙලා එන පෙට්‍රල් බෝතලේ එකසිය ගානක්. යකාගේ රටක් තමා මේකත්.
අවුරුදු උත්සව නම් එකසිය ගානට සෙට් උනා මේ පාර. නිවාඩු දෙන්න කලින්ම දහම් පාසලේ එක තිබ්බා. එකත් මේ පාර පොඩ්ඩක් මොඩ් වෙලා තිබ්බ. වැස්ස ධාවන තරඟ ටිකේ පාර නම් කාල තිබ්බ. ඒ නිසා වෙනද වගේ දුර බැරි උනා. ඒ නිසාම, අපේ ස්පොර්ට්මීට් එකටත් වඩා තරඟ ටික සංකීර්ණ උනා. දන්නෝ දනිති. 
                            
කෑම මේසය..
නිවාඩුවෙන් පස්සේ ස්ටාෆ් ගිල්ඩ් එකේ අවුරුදු උත්සවෙටත් මේ පාර ගියා. අම්මෝ.. සූ ගාලා සෙනග හිටියා. හැබැයි හවස තිබ්බේ පල්ලෙකැලේ පිට්ටනියේ. හරිම ලස්සන හැන්දෑවක්. ලොකුවට නැති උනාට ලස්සනට වැඩේ ගියා. එකේ නම් ගම හරහා දුවල දිනුවා. 
කෑම මේසය විවෘත කිරීම.. උපවිදුහල්පති තුමා අතින්.

සංගීත සාජ්ජය..

දැන් කට්ටිය සූ ගාලා සිංහල සංස්කෘතිය ද මොකද්ද එකක් ගැන කියෙව්වට, ඒ චාරිත්‍ර නම් මාර ගොඩක් කරනවා. මම හිතන්නේ දැන් අවුරුද්දට ෂොපින් යාම කියල වෙනම අලුත් චාරිත්‍රයක් දාන්න වෙනවා. ඇයි යකෝ, කන්න නැතුව හිටියත් අවුරුදු කිට්ටු වෙනකොට ටවුන් වලයි රෙදි කඩ වලයි අර මොකකදෝ වගේ සෙනග. හදිසියකට ඇඳුමක් කැඩුමක් ගන්න ගිය එකෙක් එහෙම අනාතයි ඉතිං. ඒ සෙනග බැලුවම මට හිතිච්ච දේ තමා යකෝ අවුරුද්දේ ඉතුරු හරිය මුන් හිටියේ හෙළුවෙන්ද කියන එක.
රෙදිත් ගත්තයි කියමුකෝ. එකලෙක්තරා රටෙක අවුරුදු කාලයේ නෑගම් යාම යයි චාරිත්‍රයක් විය කියල පුස්කොල පොතක නෙවේ කඩදාසි පොතක තිබිල කියෙව්වා. හැබැයි දැන් නම් නෑගම් නෙවේ නෑයෝ එද්දී ගම දාල යන තත්වයක් තියන්නේ. අනික් අතට ඉතිං එහෙමයි කියල දැන් ගෙවල් වලට එකතු වෙන්නෙත් නෑ කට්ටිය. ඉස්සර 2004-2005 වගේ අවුරුදු කාල වල අපි එක එකාගේ ගෙවල් වලට ගිහිං සෙල්ලම් කරනවා, කයිය ගහන් ඉන්නවා, අඩුම තරමේ කැරම් අතක් වත් ගහනවා. ඒකට දැන්.. එකෙක් නෑ පාරකවත්. ගෙදරකට ගියත් නිකම් ඔෆිෂල් ඉන්ටර්වීව් එකකට ගියා වගේ කතා කරලා යනවා. නැත්තම් ඔන්න කොහේ හරි ඉඳන් කවදාවත් දැකපු නැති එකෙක් ඇවිත් අහයි- “පුතා මාව අඳුරනවද” කියල. යකෝ අඳුරනවා නම් ගිහිං කතා කරනවනේ පොර අහනකල් ඉන්නේ නෑ නේ..
මේ පාර වැඩිය ගිනිකෙළි නම් ගෙනාවේ නැහැ. අප්පච්චි රතිඤ්ඤා ටිකක් ගෙනල්ල තිබ්බ. ඒ අස්සේ මේ අහස් කූරු හූ කියන්න පටන් අරගෙන. දවස තිස්සෙම අර දෙවෙනි ලෝක යුද්ධ කාලේ වගේ. අහස් කූරු ටිකකුත් කොහෙන්දෝ හම්බවෙලා තියනවා දැක්කා ගේ මුල්ලක. අද රෑ දාන්නම් කියල හිතං හිටියට හිටු කියල වහින්න පටන්ගත්තා. ඒ වැඩේ කල් දැම්මා. තව 2008 ගෙනල්ල අලුත් ගෙදරට ගිහින් පත්තු කරන්න කියල තියාගත්ත ටිකකුත් තියනවා. ඒ ටිකත් දානවා හෙට. 
.....ගුවන් ගත වීම ස්වල්ප වේලාවක් ප්‍රමාද වන  බව කරුණාවෙන් සලකන්න..
මේ අවුරුද්දේ හැබැයි එල වැඩක් වෙලා තිබ්බා. නොනැගතේ සෙට් වෙලා තිබ්බේ රෑට. ඉතිං වෙනදට කිසි දෙයක් කරන්න බැරුව ලැප් එක දිහා බලාගෙන කාලේ කන එක මේ පාර නිදාගන්න පුළුවන් උනා. එක පාරක් නොනැගතේ බ්ලොග් ලියල ඒ අවුරුද්දෙම මේක ලියාගන්න බැරි උනා. මේ අවුරුද්දේ නොනැගතේ නිදාගෙන ඊට පස්සේ නිදාගන්න නැති වෙයිද දන්නේ නෑ අවුරුද්දම..
මේක ලියන වෙලාවෙත් ධාරානිපාත වර්ෂාවක් ඇදහැලෙනවා. දවස් දෙකක් ඉඳන් දූවිලි නාලා, ඒ මදිවට අද කිරිබත් කාලා, තව මදි පාඩුවට අයිස්ක්‍රීමුත් කාලා, ඒ මදිවට වැස්සේත් තෙමිලා, සෑහෙන ඇරියස් එකක් එකතු වෙලා තියනවා. හෙට වෙද්දී ඵල දරයිද දන්නේ නෑ HO2  ගලාගෙන. උදේ අවුරුද්ද පටන් ගත්තෙම පළාතේ බළල්ලු ටික පන්නල දාල. අල්ලපු ගෙදර එකෙක් පාරෙන් පැනල වහලෙටත් උඩින් දුවනවා දැක්කා. උන් ටික නම් පැයක් විතර මගේ ගුණ ගයන ගමන් හෙව්වා ඇහුනා. අවුරුද්ද සුබයි වගේ ඒ නිසා..
බලමුකෝ.. ඔන්න එහෙනම් ලියන කියවන කමෙන්ට් කරන නොකරන එකී මෙකී නොකී හැමෝටම .. 
                    


Sunday, February 18, 2018

මොබයිල් පරිණාමය..

          මෙයට දස වසරකුත් සතියකට පෙර, එනම්, 2008 පෙබරවාරි මස 11 වන දින, මගේ දිනපොතේ මෙසේ සටහන් වී ඇත- 

          ...................... අද දින මගේ ප්‍රථම ජංගම දුරකථනය ලැබුණි. එය නොකියා 5110 වර්ගයේ එකකි....

          මට ලැබුනේ මෙහි චාජරය සහ දුරකථනය පමණකි. ඒ ද, අක්‍රීය තත්වයෙනි. බැටරියක් දමා පළමුවෙන්ම පණ ගන්වා බලා අද දිනට හරියටම වසරකි. මෙයින් ඇරඹුණු මාගේ ජංගම දුරකථන ඉතිහාසයේ දශකයක මතක ආවර්ජනයක් කිරීමට සිතුවෙමි. 
පරිනාමික චක්‍රය..

          5110 දුරකතනයේ පැවති පණ නොගැන්වෙන දෝෂය සැදීම සඳහා මා ප්‍රථමයෙන් උත්සාහ කලෙමි. අනතුරුව, අප්පච්චිගේ මොබිටෙල් සිම්පත දැමූ විට වැඩ නොකළේය! සිග්නල් නැත.. මේකට මක් උනාදැයි සිතාගත නොහැකිව සිටින විට, මතක් වූයේ ලංකාවේ 1800 සහ 900 ලෙස සංඛ්‍යාත දෙකක නෙට්වර්ක් ක්‍රියාත්මක වන බවයි. අවසානයේ මාර්තු මාසයේ අප්පච්චීට කියා එකල ටීගෝ නමින් තිබුණු ජාලයේ සිම්පතක් ගෙන්වාගතිමි. ඒ, මාගේ ප්‍රථම සිම් පතයි. එය අදටත් ක්‍රියාත්මක ය. 

          ඔය දුරබනනයේ වයිබ්රේට් පහසුකම නොතිබුණු අතර, නිකල් මෙටල් හයිඩ්‍රයිඩ් බැටරිය නිසා අධික බරක් තිබුණි. කොටින්ම, වලියකට බය නැතුව ගෙන ගොස්, දෙතුන් දෙනෙක් වත් බිම දැමිය හැකි තත්වයක් තිබුණි. ප්‍රමාණය නිසාම, සාක්කුවේ දමාගෙන යාම කිරීමට අපහසු දෙයක් නොව, කල නොහැකි දෙයක් විනි. 

          එකල තිබුණු ජංගම දුරකථන අලුත්වැඩියා සඟරාවකින් බලාගෙන, ප්‍රථම වරට ජංගම දුරකතනයක් ගැලවීමට ඉගෙනගත්තේ ද මෙම දුරකථනයෙනි. නමුත්, මෙම දුරකථනය නම් 2008 ඔක්තෝබර් මාසයේ අස්ථානගත විය. එහි චාජරය පමණක් මා සතුව ඇත. 

          මගේම කියා ප්‍රථම වරට නව ජංගම දුරකතනයක් ලැබුනේ 2008 අගෝස්තු මාසයේ 16 වන දින ය. ඒ, නොකියා 1200 දුරකතනයකි. කිසිඳු අතිශයෝක්තියකින් තොරව කියන්නේ, මෙතෙක් මා ලද සුපිරිම දුරකථනය එය බවයි. කෙතෙක් සුපිරිද කිවහොත්, අදටත් එය ඉතා හොඳ ක්‍රියාකාරී තත්වයෙන් ඇත! 
1200 සහ 1100 ..
නොකියා සමාගමෙන් නිකුත් කල අතිසාර්ථක දුරකථන දෙකක් හමු වූ අවස්තාව..                             

          මෙකල මා සාමාන්‍යය පෙළ ප්‍රථම වසරේ සිටි සමයයි. යුද්ධය දරුණුවට ඇදුනු මෙම කාලයේ, අමතර පන්ති සහ විවිධ ගමන් යෑම තරමක අවධානමක් එල්ල කළේය. නමුත් ඇත්තටම ඒ කාලයේ එය ගණනක් තිබුනේ නැත. ගෙදරට පණිවිඩයක් දීමට ක්‍රමයක් ලැබුණු නිසා, තිබුණු බයද නැති විය. 

          එකල යහළුවන්ගෙන් කිහිප දෙනෙකුට පමණක් දුරකථන තිබුණු අතර, බොහොමයක් ඒවා මොනොක්‍රෝම් තිර සහිත නොකියා දුරකථන විය. මේවායින් අප කම්මැලි සිතුනු විට කෙටි පණිවිඩ මගින් විහිලු තහළු කරගත් අතර, පින්තූර පණිවිඩ හෙවත් පික්චර් මැසේජ් එකතු කිරීම එම කාලයේ අපේ උනන්දුව විය. කෝල් නම් ගත්තෙම නැති තරම් වූ අතර, ඒ එකල යන කෝල් එකට මෙන්ම එන කෝල් එකටත් ගාස්තු අය වූ බැවින් ය! 
Tigo සිම්පත සමග ලැබුණු ගාස්තු සටහන..

          එකල තවත් කටයුත්තක් වූයේ කොම්පෝසර් එක භාවිතයෙන් රිංටෝන් තැනීමය. මුලින්ම කුණුහරපයක් වුවද, පසුව එයාටෙල් ජාලයේ නාද රටාව සහ X Files  කතාවේ තේමා වාදනය පවා තිරය නොබලා ටයිප් කිරීමට තරම් එම කලාව ප්‍රගුණ කළෙමු. 

          සාමාන්‍යය පෙළ කිරීමෙන් පසුව මාස හතරක් පමණ භාවිතා කිරීමෙන් අනතුරුව, නොකියා 6230i නම් වූ තෙවැනි දුරකථනය ලැබුණි. මුලින්ම අන්තර්ජංජාලය ගැන දැන සොයා ගත්තේ මෙන්ම, මුහුණු පොත හෙවත් ෆේස්බුක් එකට රිංගුවේ ද ඒකෙ පිහිටෙන් ය. කොත්මලේ ජලාශය බැලීමට ගොස් සේයාරූ ගත්තේ ද එයින් ය. මෙහි මෙමරි කාඩ් දැමීමට හැකි වූ අතර, තත්පරයට කිලෝබයිට සුළු ගානක් වූ අන්තර්ජාල වේගයන් භාවිතා කරමින්, මුලින්ම රසඳුන පත්තරයකින් පදමාලාව කියවූ  “හඳ හඬනා නිහඬ රැයේ” නම් ගීතය ඩවුන්ලෝඩ් කිරීමට පැය කාලකටත් අධික වෙලාවක් ගත වූවා මතකය. 

          මෙයින් පසු ගත් නොකියා 2700 දුරකථනය කමකට නැති වූයෙන්, මාස දෙකක පමණ අවෑමෙන් නොකියා 2370 ක්ලැසික් එකක් ගතිමි. උසස්පෙළ ආසන්නයට පැමිණෙන තුරු, ඉතා විශාල වැඩ කොටසක් කරගත්තේ මෙයින් ය. 

          මෙය භාවිතා කරන සමය, ලංකාවේ ජංගම දුරකථන ක්ෂේත්‍රය විශාල පෙරලි ගණනාවක් අත් දුටු කාලයක් විය. ටච් ස්ක්‍රීන් දුරකථන ලොව ආක්‍රමණය කිරීම, Android  මෙහෙයුම් පද්ධතිය කරලියට පැමිණීම, චයිනීස් ෆෝන් ප්‍රසිද්ධ වීම මෙන්ම 3.5G  කනෙක්ෂන් පැමිණීම, එමෙන්ම ජංගම දුරකථන කැමරා ක්ෂේත්‍රයේ දියුණු තියුණු වීම් මෙම කාලයේ සිදුවීය. 

          මෙම කාලයේ ෆේස්බුක් මැසේජ් වෙනම අඩවියක්ව තිබුනේ නැත. ෆේස්බුක් app එක ඩවුන්ලෝඩ් කල විට, බලා සිටිද්දී බැටරි බසී. සිංහල පෙන්නන්නේ ද නැත. මළ විකාරයකි. මෙහි තිබුණු සිම්බියන් S40  මෙහෙයුම් පද්ධතියේ එක වරකට ධාවනය කල හැක්කේ එක ඇප්ලිකේෂන් එකක් පමණි. 
                                             
          උසස්පෙළ ට මාස කිහිපයක් තබා, නොකියා 6220 ක්ලැසික් දුරකතයක් ගතිමි. මෙය භාවිතා කල තත්වයෙන් මිලදී ගත්ත ද, අවසානයේ 1200 එකට පසුව ලද සුපිරිම දුරකථනය බවට පත් විය. කැමරාව, එකල තිබුණු සාමාන්‍යය ඩිජිටල් කැමරාවක් තරමට ම විශිෂ්ට වූ අතර, ජංගම දුරකථන වල දුර්ලභ අංගයක් වූ සෙනොන් ෆ්ලෑෂ් එකකින් යුක්ත විය. අදටත් අර්ධ ක්‍රියාකාරී තත්වයෙන් පවතින මෙය, එම තත්වයට පත් වූයේ ද 2015 දීය. 
6220 දුරකථනයේ ඇතුලාන්තය.
          අනතුරුව 2012 අගදී ලද නොකියා 6720 ක්ලැසික් දුරකථනයත්, එය මාරු වී ලද ලුමියා 620 දුරකතනත් එතරම් මගේ කටයුතු සහ පිළිවෙල සමග සහයෝගයෙන් වැඩ කලේ නැත. ලුමියා 620 මා ලද ප්‍රථම ටච් ස්ක්‍රීන් දුරකතනයයි. එය මාරු කොට ලබා ගත් සෝනි එරික්සන් එක්ස්පීරියා රේ දුරකථනය, මට  Android  මෙහෙයුම් පද්ධතිය තිත්ත කරවීමට සමත් විය. 
නොකියා E52 දුරකතනයේ ඇතුලත..
          එය තිබියදීම ලැබුණු නොකියා  E52  දුරකතනයක් කලක් භාවිතා කල අතර, ඒ අතරතුර ලබාගත් නව නොකියා 230 දුරකතනයක් විකිණීමෙන් ලබාගත් මුදල් සහ අතේ තිබුණු මුදල් දමා, අවසානයේ ඇපල් අයිෆෝන් 5S දුරකතනයක් ගතිමි. 

          ඇපල් දුරකථනය මගේ දෘෂ්ටිකෝණයෙන් නම්, සියලු නවීන අංග සහිත, එහෙත් භාවිතය අතින් 2000 දශකයේ පවතින දුරකතනයකි. ඒ ඇයිද කිවහොත්, බ්ලුටූත් ආදී කිසිදු ක්‍රමයකින් කිසිවක් හුවමාරු කල නොහැක. ගීත, වීඩියෝ ආදිය ඩවුන්ලෝඩ් කල නොහැක. අඩුම තරමේ, ජායාරූපයක් වත් හුවමාරු කල නොහැක. නමුත් ඒ අතරම, කිසිඳු විටක ස්ටක් නොවෙන අතර, විශ්වාසවන්ත භාවය නම් උපරිම ය. 

          2016 ලබාගත් මෙම දුරකථනය තවමත් හොඳින් ක්‍රියාත්මක වේ. ඇපල් සමාගම පසුගිය යාවත්කාලීන කිරීමෙන් අනතුරුව, 5S දුරකථනය සඳහා සේවා අත්හිටවනු ලැබුණි. නමුත් මගේ දැනීමේ හැටියට, අස්ථානගත නොවුනහොත් හෝ හදිසි ආපදාවකට ලක් නොවුනහොත්, අඩුම වශයෙන් තවත් වසර 4ක් හෝ භාවිතා කල හැකි තත්වයක් මෙහි ඇත. 

          1999 වසරේ ප්‍රථම දුරකථන ඇමතුම ලබාගත් තැන සිට, දුරකථනයේ පරිනාමික යුගයේ අති දැවැන්ත පෙරලියක් අපේ පරම්පරාව සියැසින් දැකගතිමු. කුඩා අවධියේ රූපවාහිනී බලන විට, ඩයලොග් එකෙන් ඕෆ් පීක් සඳහා ගාස්තු අඩු කරන ලද බව කියන දැන්වීමක් විකාශය වනු මට මතකය. එසේ අඩු වූ ගාස්තු, අද නැවතත් අහස උසට නැග, හඳේ හැප්පීමට යන බවක් දිස් වේ. 

          එකල අත්‍යවශ්‍ය පණිවිඩයකට පමණක් භාවිතා වූ මෙම උපාංගය, අද නැතුවම බැරි, හැම වෙලේම අතේ රැඳෙන (හෝ කනේ රැඳෙන) උපාංගයක් වී ඇත. මෙය ඇත්තටම කරදරයක් වන අවස්ථා ද නැත්තේ නොවේ. වෙලාවකට මම ද, මෙහි කරදර වැඩි වන විට, 1200 දුරකථනය භාවිතයට ගනී. ජංගම දුරකථන, එතෙක් දුරට අද ප්‍රයෝජනවත් මෙන්ම කරදරකාරී උපාංගයක් බවට පත් වී ඇත. මේ නිසා සිදු වූ ජීවිතහානි ප්‍රමාණය නිමක් නැත. 2011 වසරේ මගේම පාසලේ මට පහල පන්තියක ශිෂ්‍යයෙක්, දුරකථන පණිවිඩයක් දෙමින් පාර පිලිබඳ අවධානය ගිලිහී දුම්රිය මාර්ගය මාරු වීමට යාමේදී දුම්රියට හසුවිය. 
                                                      

          එමෙන්ම, 2004 වසරේ පළ වූ “බුවාලන්තයේ සිට” නම් කතාවේ, ජංගම දුරකතනයට කුදලාගෙන යන දුරකථනය යයි නම් තබා තිබුණි. සත්‍ය වශයෙන්ම එකල විවිධ සමාගම් වලින් හැකිලිය හැකි දුරකථන, දෙකට නවන දුරකථන ආදී වශයෙන් නානාප්‍රකාර දුරකථන හඳුන්වා දුනි. නමුත් දැන් නම් සියල්ල එක මෝස්තරයට පැමිණ, කුදලාගෙන නොව අතේ තබාගෙන යෑම පවා කරදරකාරී වන තැනට පැමිණ ඇත. මා දුටු මෙහි ඉතිහාස කතාව අනුව අවසානයේ මට කිව හැක්කේ, ගඩොල් බාගයක් ලෙස ඇරැඹී, ජංගම දුරකථනය ටයිල් කැටයක්ව නැවතුනු බවය.. 

Thursday, February 15, 2018

විවාහ මගුල් සහ මළ මගුල්..

                                         

          පහුගිය දවසක පාසලේ 8 ශ්‍රේණියේ පන්තියකට බුද්ධ ධර්මය විෂයය යටතේ බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර ගැන ඉගැන්වීමට තිබුණි. එම පාඩම කරන අතරවාරයේ ඔලුවට ආ කරුණු සුවල්පයක් මෙසේ අකුරු කර තබන්නෙමි. 

          ඊයේ දිනයේ ලංකාවේ මතු නොව ලොව බොහෝ රටවල වැලන්ටයින් නම් දිනයක් විශේෂයෙන් තරුණ පරම්පරාව විසින් සමරන ලදී. එයට තව වචනයක් භාවිතා වේ. එනම්, ආදරවන්තයින්ගේ දිනය යන්නයි. අද මෙම සටහනින් මා කතා කරන්නේ ආදරය ගැන ය. හැබැයි ඉතිං, මෙකී වැලන්ටයින් දිනය සමරන්නේ ද, කාගේදෝ ආදරය වෙනුවෙන් වූ මරණයක් වෙනුවෙනි. එනම්, මෙය මගුලක් නොව මළ මගුලකි. 

          තරුණ කාන්තාවක් සහ පුරුෂයෙක් එකිනෙකා කෙරෙහි ආකර්ෂණය වීම සරලව ආදරය ලෙස අර්ථකථනය කෙරේ. නමුත්, අද දින පත්තරයේ පලවන මංගල යෝජනා තීරයන් විශ්ලේෂණය කර බැලීමේදී ඉහත නිර්වචනය අභියෝගයට ලක් වන අයුරු ද දක්නට හැකිය. 

          මේ ගැන කියන්නේ නම්, අද ලංකාවේ පුවත්පත් වල පලවන විහිලු කතා තීරයන්ට වඩා විහිලු මේවායේ තිබේ. එක් දිනක් ෆේස්බුක් අඩවියේ පළවූ මංගල යොජනාවක මෙසේ සඳහන් වී තිබෙනු දක්නට ලැබුණි- 

“............................. උගත් රූමත් කාන්තාවට වාහනයක් ගැනීම අදහස බැවින් විවාහයට රියදුරු මහතෙක් සොයති.......” 

          බඳින එකාට ඉතිං බුදු සරණයි දෙවි පිහිට තමා ය. ඒ අස්සේ තවත් වර්ගයක් ඇත. ඔවුන්ගේ දැන්වීම් පොදුවේ මෙම ආකෘතිය ගනී- 

“.................. උගත් බුද්ධිමත් චරිතවත් දියණියට මතින් දුමින් තොර අහිංසක සුකුමාල සහකරුවෙක් සොයයි.. (සුළු වරදකින් දරුවෙක් සිටී).....” 

          තවත් පාර්ශවයක් ඇත. ඔවුන් සියලු වස්තූන්ගෙන් සපිරි දිව්‍යසම දිවියක් ගෙවන අතර, ජීවිතයේ පාළුව කාන්සිය නිවාගැනීමට තරුණ කාන්තාවක් සොයයි. මෙහි කිසි අවුලක් නැත. නමුත් අවුල මතු වන්නේ මොවුන්ගේ වයස දුටු විටය. මට හමු වී ඇති සමහර දැන්වීම් වලදී මෙය වයස 80 පමණ වූ අවස්ථාද දැක ඇත්තෙමි. 

          මේ සියලු ආතබූත බලාගෙන යන විට, මංගල යෝජනා තීරය - මංගල විහිලු තීරය ලෙස සංශෝධනය කිරීමේ වරදක් මා නොදකිමි. 

          කෙසේ හෝ කොහෙන් හෝ සහකරු/සහකාරිය හමු වූ විට, මීළඟ කාරිය වන්නේ කසාඳ බැඳීමයි. අද ලංකාවේ කසාඳය හෙවත් විවාහය වනාහී, අදාළ පවුල් මතු නොව අදාළ නැති අහක සිටින මිතුරු මිතුරියන් පවා මූල්‍යමය වහනයකට ලක් විය හැකි අති භයංකාර කටයුත්තකි. 

          උදාහරණයකට, අද කාලයේ මගුලක් ගැනීමේදී එය හෝටලයක (ගෙස්ට් හවුස් එකක) නොගතහොත් එය “පොෂ්” මදි බව කියවේ. මෙයින් එකක සාමාන්‍යයෙන් කෑමට හැකි අයුරින් සැකසූ ආහාර පිඟානක් අඩුම 4000ක් වත් වේ. සිතා බලන්න- සෙනග 100ක් පමණ පවුල් දෙකෙන්ම ආවොත් 100 x 4000 = 400000කි. රුපියල්ම 400000ක් ආහාර වලට පමණක් වියදම් ය!! මේ අවශේෂ වියදම් නැතුව ය. 

          කලකට පෙර පොඩි කුමාරිහාමි නම් බ්ලොග් එකේ හාට් ඇටැක් හැදෙන ආකාරයේ මගුල් සැලසුමක් දුටිමි. නමුත් අද සමහර මගුල් දකින විට, ඒවා මොනවද යයි සිතේ. පෙර මංගල්‍යයෙන් අනතුරුව ගත් එක් සේයාරුවක් වෙනුවට, දැන් ප්‍රී ෂූට්, වෙඩින් ෂූට්, හෝම් කමින් ෂූට් ආදී නානාප්‍රකාර ෂූට් වර්ග හැටහුටාමාරක් ඇත. මේවාට යන ගණන් බැලීමේදී තුවක්කුවක් ගෙන බුලට් ෂූට් කරගැනීමට නොසිතීමම පුදුමයකි. 

          ඈත ඉතිහාසයේ තමන් කැමති කාන්තාවගේ හිසට පොල්ලකින් තඩි බා සිය වාසස්ථානයට ඇදගෙන ආ විවාහ ක්‍රමයක් තිබුණු බව කියති. ඒ ක්‍රමය පසුව වෙනස් වී, අද කාලයේ විච්චූර්ණ විකාරය වෙත විකාශය කෙසේ වෙතත් විනාශය වී ඇත. ඒ මේ සියලු වැඩකිඩ දමා ලියාපදිංචි කරන විවාහය, මාසයකින් හමාරකින් අවසන් කොට කෙල්ල පැත්තකටත්, කොල්ලා අනෙක් පසටත් ගොස්, දෙදෙනාම තරඟයට සිය “සෙකන්ඩ් ෂයි” එක කිරීමට වලි කෑමත් අද සුලභ දර්ශනයකි. 

          පෙර යුගයේ විවාහයකට ආරාධනා ලැබුණු විට පවුලම සහභාගී විය. ආරාධනාවද පවුලටම ලැබුණි. එසේ නොයාමට නම් හොඳ හේතුවක් තිබිය යුතු වූයේ, නොගියේ  නම් අදාළ අය තරහා විය හැකි බැවිනි. නමුත්, සත්‍යය නම්, අද කාලයේ ආරාධනා කර නොගොස් සිටීමෙන්, සංවිධායකයින්ට විශාල වාසියක් වන බවයි. මේ මගුල් වලදී සිදු වන රසකතා බොහොමයකි. එයින් කිහිපයක් කලකට පෙර දුමී අයියා මෙසේ සටහන් කර තිබුණි.. 

          විවාහ ගැන කතා කරද්දී හඳහන හෙවත් නැකත් පත්‍රය ගැන කතා නොකරම බැරිය. බොරු හඳහන් සෑදීමේ සිට, විවිධ මගඩි සම්‍යක් ප්‍රයෝග සමග හඳහන බැඳී පවතී. කැමති කෙල්ල සමග විසි පොරොන්දම් නොගැලපෙද්දී, හඳහන් හදාගෙන හෝ විවාහ වීම ලංකාවේ සිදු වේ. එසේම, කපුවකු මගින් සිදු වන විවාහයකදී වුවත් මෙම නැකත් පත ප්‍රධාන තීරකයක් වේ. 

                           
          වතාවක් මෙසේ මගුලක් කතා කරන්නට යන කපුවකුට, අදාළ නැකත් පත ගෙන යාමට අමතක වුනි. දැන් කිරීමට දෙයක් නොමැති බැවින්, එම අමතක වීම කපු මහතා මෙසේ කවියකින් ගෙදර උදවියට ප්‍රකාශ කළේය.

“ මේ මනමාල මහතාගේ නැකත් පත - අත්වැරදීමකින් අද මෙහි ගෙනත් නැත..” 

          මෙය කන වැකුණු කාමරයේ සැරසෙමින් සිටි මනාලිය, කවියේ ඉතිරි දෙපාදය මෙසේ සම්පූර්ණ කලේ ලු. 

“එහෙනම් අම්මේ ඒ දීගෙන් කමක් නැත- මේ මනමාල මහතාගේ නැකත් පත..”