Monday, January 21, 2013

බ්‍රිතාන්‍ය යුගයේ සිහිවටන සොයා ඉපැරණි ලෝකයකට ගියෙමු..







ඇඩිෂම් බංගලාව..

          කාලෙකින් බ්ලොග් එක හතර මායිමේ පස් පාගන්න බැරි උනා. වැඩ නිසාමත් නෙවෙයි.. එක අතකට වැදගත් දෙයක් තිබ්බෙත්නෑ ඉතින් ලියන්න. වැස්ස ගැන හැමෝම කතා කල නිසා අමුතුවෙන් මෙතනත් කියවන්න ඕනේ නෑනේ කියල හිතල එක ගැන නම් මුකුත් දැම්මේ නෑ. ඒ කියල ඉතින් මේක අමතක වෙලාම තිබ්බෙත් නෑ. කොහොමින් කොහොමින් හරි ගලන්න වැහැපු වැස්ස හමාර වෙලා මෙන්න බොලේ පොලොව කරුකුට්ටන් වෙන්නම පායන්න ගත්ත දැන් සතියක හමාරක ඉඳල! එතකොට ඉතින් තවත් නම් ගේ ඇතුලට වෙලා බලා ඉන්න හැකියාවක් තිබ්බේ නෑ. ඉතින් අශාන් විජේකෝන් කියන මගේ මිත්‍රයයි මමයි කතා උනා  කාලයක් තිස්සේ අපේ හිත් වල තිබ්බ ගමනක් යන්න. ඒ තමා හපුතලේ ඇඩිශම් බංගලාව  බලන්න යන්නයි ඒ ගමන්ම ලංකාවේ තියන ලස්සනම දුම්රිය ස්ථාන වලින් එකක් වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට හපුතලේ බලා පාගමනින් යාමටත්.
           කියන්න නම් ලේසියි. ඒත් කරන්න නම් අමාරුයි කියන එකේ සත්‍යතාවය වැටහුනේ මේ ගමන සංවිධානය කරන්න ගියහම. පළවෙනියට බැලුවේ අපිට මේ ගමන දවස් දෙකක් නැතුව තනි දවසින් ඉවර කරගන්න පුලුවනිද කියල. ඒ කියන්නේ හපුතලේ පැත්තේ නවතින්නේ නැතුව එන්න පුලුවන්ද කියල. එතකොට මට පිහිටට ආවේ මගේ මිත්‍රයෙක් වන අපේ බ්ලොග් අවකාශයේත් සිටින දුම්රිය පාගමන් විශාල සංඛ්‍යාවක් ගොස් ඇති තූර්ය ඔවිටිපාන  අයියා සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් සහ මගේ තවත් මිතුරෙක් වන රකිත ආරියරත්න මහතා. ඒ දෙපොළටම මම බෙහෙවින් ස්තුති වන්ත වෙනවා අපිට ඒ උදව් කිරීම ගැන. ඒ උදව් නොවෙන්න අපි තාම යනවා!! එයාල තමා ඇත්තෙන්ම අපිට යන්න ඕනේ කෝච්චි ගැන දැනුවත් කරලා එහෙම මූලික වැඩ ටික කරේ.
           ඒ වැඩ ටිකත් හරි කියමුකෝ.. ඒ අස්සේ දැන් කට්ටිය එකතු කරගන්නත් එපාය. අපි ඕක යන්න හිටියේ ජනවාරි 25. නමුත්  ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ කියල තියන්නේ කට කහනවට නොවෙන නිසා, අපි තීරණය කළා 18 රාත්‍රී තැපැල් දුම්රියේ යන්න. ඉතින් අපි තුර්ය අයියට එහෙමත් එන්න කිව්වා. කොහොමින් කොහොමින් හරි ඒ අයට එයාලගේ කාර්ය බහුල ජීවිත වලින් එදාට විරාමයක් ගන්න බෑ කියල අන්තිම වෙද්දී ඉතිරි උනේ අශාන් සහ මම විතරයි. කමක් නෑ කියල ඉන්නකොට ඔන්න තව බාල්දියක් පෙරලුනා සඳුදා උදෙන්ම. මට එකසිය ගානට හෙම්බිරිස්සාව සමග උන ආවා. මම බදාදා වෙනකල්ම ගමන යන්න වෙන එකක් නෑ කියලයි හිතන් හිටියේ.. නමුත් කොහොමින් කොහොමින් හරි, සිකුරාදා උදේ වෙනකොට සියලුම ප්‍රශ්න විසඳිලා අපිට යන්න කොළ එලිය වැටුනා..
          ඊළඟට තමා තව වැඩක් සෙට් උනේ. දැන් අපි තීරණය කලේ රාත්‍රී තැපැල් දුම්රියෙන් ගිහින් අදාළ ටික බලල, පොඩි මැණිකේ දුම්රියෙන් ආපහු එන්න. ඒ කියන්නේ අපි සිකුරාදා රෑ ඉන්නේ දුම්රියේ. හිටිය වගේ නෙවේ අපි කන්න බොන්නත් එපයි.. ඉතින් මම ඕනේ මගුලක් කියල පාන් ටිකක් හදාගෙන ඔන්න ඉතින් රෑ 7.30ට විතර ගෙදරින් එලියට බැහැල පේරාදෙණියට යන්න බස් එකකට නැග්ග.
           ඒක 7.45 වෙද්දී පේරාදෙණියේ. යකෝ නයිට් මේල් එක එන්න තව පය 3යි ගානක් තියනවා!! මොනා කරන්නද? මුළු දුම්රිය ස්ථානයටම හිටිය එකම මගියා මම විතරයි. ඉතින් දුම්රිය ස්ථානාධිපති තුමා මට කාර්යාලය ඇතුලේ ඉන්න ඉඩ දෙන්න කාරුණික උනා. ඒ ගැන එතුමාටත් ස්තුතියි!  එහෙම නොවෙන්න මම එදා වේදිකාවේ සීතලට මැරෙනවා ආය දෙකක් නෑ..
            ඔය අස්සේ ඒ හිපාටු කෝච්චිය පැයක් විතර ප්‍රමාදයි කියල දැනගන්න ලැබුනා.. මට ඒ වෙලාවේ නම් ගමන නතර කරලා පයින්ම ගෙදර එන්න නොහිතුනා කිව්වොත් ඒ බොරු. කමක් නෑ කියල ඉතින් හිටිය. ඔන්න 12ට 15ක් තියල දුම්රිය ආව දෙවෙනි වේදිකාවට. මහනුවරට යන තැපැල් මලු ප්‍රවාහනය කරන මැදිරිය ගලවල අපි එතනින් පිටත් වෙද්දී සෙනසුරාදට ඉතුරු වෙලා තිබ්බේ තව විනාඩි 5යි!!
මෙයා තමා අපිව අරන්ගියේ පට්ටිපොළ වෙනකල්.
             ඔන්න දැන් ඉතින් පට්ට සීතලේ ගැහි ගැහි, අහසේ තරු, ප්ලේන් එහෙම ගණන් කර කර අපි දෙන්න පාපුවරුවක හිටගෙන යනවා. ගම්පොලදී තව එන්ජිමක් පිටිපස්සෙන් අමුණනවා දුම්රියට අමතර බලයක් දෙන්න. එතකොට එකකින් අදිනවා එකකින් තල්ලු කරනවා. එහෙම පට්ටිපොළ වෙනකල් ගියාම පිටිපස්සේ තිබ්බ එන්ජිමත් ඉස්සරහට අරගෙන එකෙන් දුම්රිය ඇදගෙන යනවා..
පිටිපස්සේ තිබ්බ එන්ජිම පට්ටිපොලදී ඉස්සරහට..
              ඇත්තෙන්ම එතන ඇදිල්ලක් වෙනවට වඩා තිරිංග යෙදීමක් තමා වෙන්නේ. මොකද මෙතන ඉඳල බොහොම තියුණු බෑවුමක් පටන් ගන්නේ බදුල්ල පැත්තට. කොහොමින් කොහොම හරි, පාන්දර 6 විතර වෙනකොට අපි ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ලඟා උනා.. එතකොට එලිය වැටෙන්න පටන් අරන්..
ඔන්න අපි ආවා..
             මම ජීවිතේ දැකපු සුන්දරම දර්ශනවලින් එකක් දැක්කේ ඒ වෙලාවේ තමා.. ඉර පායාගෙන එද්දී ඒ පළාත හරිම ලස්සනයි.. කොච්චර ලස්සනද කියනවා නම් අපිට එතන පැයක් උනත් ඉන්න තිබ්බ. අපි ඉතින් ඒ අවස්ථාව අපේ ජංගම දුරකථන වල කැමරා වලින් ජායාරුප ගත කරගත්ත. නමුත් ඒවා ඉතින් එච්චර ඉස්තරම් තත්ත්වෙකට නම් නෑ.
බලන්නකෝ ඉර පායාගෙන එද්දී තියන ලස්සන..
             කොහොමින් කොහොම හරි අපි ඉදල්ගස්හින්නේ වැඩ ඉවර කරලා පයින් ඇවිදගෙන ගියා. ඒ අතරේදී අපිට හම්බවෙච්ච් මාර්හ පරීක්ෂක මහත්තයෙක් අපිට ඇඩිශම් බංගලාවට යන නිවැරදි පාර කියල දුන්නා. ඉතින් අපි ඉස්සරහට එනකොට කිව්වත් වගේම අපිට හපුතලේ බස් මාර්ගය දුම්රිය මාර්ගය හරහා යන හරස් මාර්ගය හමු උනා. එතන තිබ්බ තවත් දෙයක් තියනවා..
ග්ලෙනනොර්. (Glenanore)
              
            මේ තමා ග්ලෙනනොර් (Glenanore) කියන පෞරාණික අගයක් තියන ඉපැරණි දුම්රිය පොළ. මෙතන තියන විශේෂත්වය තමා තවමත් මේක පරණ විදියටම තියන එක. ලංකෙම් ආයතනයෙන් මේක ඒ පරණ විදියටම සංරක්ෂණය කරලා තියනවා. මෙතනට ආවම හරියට බ්‍රිතාන්‍ය පාලන යුගයේදී තේ පටවපු දුම්රිය ස්ථානයකට ආව වගේමයි. මෙතන තවමත් තේ කිරන්න එහෙම පාවිච්චි වෙනවා. ඒ බවට සාක්ෂි ඕනේ තරම් දකින්න ලැබුනා.. උදේ ආහාරය එතැනදී අරගෙන අපි කියපු පාර දිගේ ඇඩිෂම් බංගලාවට පිටත් උනා..
           අපි පිටත් වෙන්න යනකොට එතන රේල් ගේට්ටුව මුරට හිටි කෙනා අපිට කෙටි මාර්ගයක් පෙන්නලා දුන්නා.. නමුත් ඒක හරියට ශ්‍රීපාදේ යනකොට හමුවෙන මහගිරිදඹේ වගේ පාරක් කිව්වොත් අශාන් මගෙත් එක්ක එකඟ වේවි මම හිතන්නේ. මම ඕක නතර නොවීම තරණය කළා. නමුත් තව බොහෝ දුරක් ඉහලට යාමට ඇති බවයි පෙනුනේ.. ආසන්නයටම යනකල් කිසිම නාම පුවරුවක් හෝ සවි කර නැහැ. නමුත් අපි කොහොමින් කොහොම හරි හෙමි හෙමින් ගිහින් අදාළ තැනට ලඟා උනා..
පළමු දැක්ම..

        ටිකට් අරගෙන ඇතුලට ගියා විතරයි.. "එංගලන්තේ ආව වගේ"" මේ අශාන්ගේ හඬ. ඇත්තෙන්ම මටත් ඒ හැඟීම ඒ විදියටම දැනුනා! ඒ තරමටම එතන පෞරාණික බව රැකගෙන තිබුනා.. සංචාරකයන්ට පෙන්වන්නේ බොහොම සුළු කොටසක් උනත්, ඒ ඇතුලේ ජායාරුප ගැනීම තහනම් උනත්, එළියේ අපිට ඕනේ හැටියකට ජයාරූප ගැනීමට තහනමක් නෑ. මේ බංගලාව ගොඩනගල තියන්නේ සම්පූර්ණ කළු ගලින්. ඒ 1931 වර්ෂයේදී. තෝමස් ලිස්ටර් කියන සුදු ජාතික වැවිලි කරුවා තමයි මේක ගොඩ නගල තියන්නේ. වැඩි විස්තර ඕනේ නම් කලින් දාපු ලින්ක් එකට ගිහින් බලාගෙන එන්නකෝ..
        ඒක ඉක්මනට බලල ඉවර කරලා අපි ආපහු ගමන පිටත් උනා. ඒක නම් එච්චර අමාරුවක් උනේ නෑ මොකද ගමන තිබ්බෙම පහලට. හපුතලේට එද්දී 10.25 විතර උනා. ඒ ඇවිත් අපි බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා යන පොඩි මැණිකේ දුම්රිය එනතුරු බලා හිටියා.
        වෙලාවට විනාඩි 10ක් පමණ ප්‍රමාද වී දුම්රිය පැමිණියා.. එතනදීත් අපේ ඉමහත් සතුටට හේතු වන ලෙස දන්නා හඳුනන රියදුරු මහතෙකු සිටි බැවින් අපිට මද දුරක් (හපුතලේ සිට පට්ටිපොළ දක්වා) එන්ජිමේ ගමන් කිරීමේ අවස්තාවක් ලැබුනා. ඒ ගැන ඔහුට ගොඩාක් පින්!!
මීදුමෙන් වැහෙන ඉදල්ගස්හින්න..
         නානුඔයට පැමිණි දුම්රිය එහි සුළු කාර්මික දෝෂයක් අලුත්වැඩියා කරමින් සිට ඉහලට එන පොඩි මැණිකේ දුම්රිය ආවයින් පස්සේ ගමනට පිටත් උනා..
සුළු කාර්මික දෝෂයකට නානුඔයේදී පිළියම්..
         නමුත් ගමනේ අත්දැකීම් තවමත් අවසන් වී තිබුනේ නැහැ. වටවලට පැමිණි දුම්රියෙන් එන්ජිම ගලවා ඉවත් කරගන්නා ආකාරය දුටු මට කුමක් හෝ ජල්බරිස් එකක් වෙලා තියන වග තේරුනා. ඉතින් ගිහින් බැලුවම කට්ටියක් අලවංගු, උදලු එහෙම එන්ජිමට පටවනවා. ගාඩ් මහත්තයගෙන් ඇහුවම කිව්වා "අපිට කලින් ගිය උඩරට මැණිකේ ගල්බොඩදී පීලි පැනල. ඒ සෙට් එක ඇදගෙන එන්න අපේ එන්ජිම යවනවා. කෝච්චිය පැයක් විතර ප්‍රමාද වේවි" කියල.
කෝ යකෝ එන්ජිම??
         බල්ලා නයා කාපිය කිව්වලු. දැන් ඉතින් මොකක් කොරන්නද කියල අශාන් එක්ක කතා කරලා, ඔක්කොටොම කලින් මොනවා හරි කාල ඉන්න ඕනේ කියල දුම්රිය ස්ථානයෙන් ඇහුව කඩයක් ගැන. පැත්ත පලාතක එකක් නෑ කියල තමා අහන්න ලැබුනේ. ඉතින් එහෙනම් දුම්රියේ කැන්ටිමේ තියන ටිකවත් ඉවර වෙන්න කලින් කමු කියල දෙන්න නැග්ග ඒකට. යකෝ එකේ එනකොට තිබ්බ කෑම වලින් 20න් එකක්වත් නෑ. දුම්රිය නතර කරලා විනාඩි 10ක් යන්න කලින් එකේ තිබ්බ ඔක්කොම කෑමජාති ඉවරයි!!
වටවල දුම්රිය ස්ථානයේ ඇතිදුම්රිය මැදිරි වල බර මැනීමට භාවිතා කල තරාඳිය.
       අපි ඉතින් කාල එහෙම එළියේ ටිකක් ඇවිදලා, වටවල පරණ ගබඩාව පැත්තේ තිබ්බ කොට ටිකක් උඩට වෙලා කයියක් දාගෙන හිටියා. ඒ අතරේ ඔන්න අර සෙට් එක අරන් එන්ජිම ආව.
ඔය එන්නේ ඇදගෙන..
       ඒක පිටිපස්සෙන්ම බදුලු යන බලවේග දුම්රියත් ආව. ඉතින් අපි ආපහු පිටත් වෙලා නාවෙලපිටියට ආවේ තිරිංග මැදිරියේ. ඒ අර පීලි පැනපු එක හරියට බලාගන්න. ඒකත් බලාගෙන නාවෙලපිටි එද්දී 5.10යි. එතනින් ගම්පොල එද්දී නුවරින් 5ට හැටන් යන දුම්රිය, ඒ කියන්නේ මම ගෙදර එන්න හිතාගෙන හිටි දුම්රිය ගෙලිඔයෙන් පිටත් වෙලා. ඉතින් ඒ දුම්රිය දෙක මාරු උනේ ගම්පොලින්. දැන් ඉතින් බස් එකෙන් පටන් අරන් බස් එකේනම් ගමන ඉවර කරන්නයි තියන්නේ කියල හිතාගෙන පෙරදෙනියටම ආව.
ටිකිරි මැණිකේ පොඩි මැණිකේ හමුව.
         එතෙන්දී අශාන්ව ඒ දුම්රියේම පිටත් කරලා මම පේරාදෙණියේ දුම්රිය ස්ථානයට උඩින් යන මහා මාර්ගයේ පාලම ලඟින් මහනුවර- ගම්පොල බස් රථයකට නැග්ග. ඒ වෙද්දී වෙලාව හවස 6.20ට විතර ඇති. යකෝ නැග්ගට පස්සේ තමා තේරුනේ ඉතිරි පැයත් ස්ටේෂන් එකේ ඉඳල 7. 10යට එන කෝච්චියෙම ආව නම් හොඳයි කියල. බස් එකේ පොල් පටවල වගේ සෙනග. මම හිතන්නේ පොල් වත් එහෙම පටවන්නේ නැතුව ඇති. ඒ අස්සේ කොන්දා තව ලෝඩ් කරනවා. මට ඌට ගහන්න තරම් තරහයි.. එත් ගහන්න තියා අතක් පයක් වත් හොලවගන්න බෑ එකේ. ඉතින් පොඩි වෙලා තැලිලා තැලිලා ගෙදර ගාවට යන්තම් 6.45 වෙද්දී ආව. ඒ ජීවිතයේ ගිය සුන්දරම චාරිකාවක් නිමා කරමින්..
ඔන්න ඔහේ අපි දෙන්නත් පින්තූරයක් ගත්ත ගමන මතක් වෙන්නත් එක්කල.


විශේෂ ස්තුතිය-
අශාන් විජේකෝන් මිත්‍රයාට.
ගෙහාන් චන්දික, තුර්ය ඔවිටිපාන අයියලාට.
රකිත ආරියරත්න මහතාට.
මට ගමන් වියදම් සපයා දුන් මා  පියාණන්ට.
සහ නන් අයුරින් උපකාර කල සැමට...

21 comments:

  1. නියමයි. හොඳට විස්තරාත්මක විදිහට ලියලා තියෙනවා ඉදිරියෙදි යන කෙනෙක්ට උනත් ප්‍රයෝජනවත් වෙන විදිහට. ඒ වගේම ගමනේ රසවත්බව නොඅඩුව පාඨකයාට ලබාදීලා තියෙනවා. වැඩේ හොඳයි. ඉදිරියටම යමු. ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මේ පැත්තේ ඇවිත් කියවල කමෙන්ට් කරාට! දිගටම මගෙත් එක්ක ඉන්න!

      Delete
  2. එල එල මල්ලි... කෝ අර පීලි පැන්න එකාගෙ පින්තූරු?

    ReplyDelete
  3. මේකෙ font colour එකට ලා අළු පාටක් දාන්න. මේ සුදු පාට ඇහැට අමාරුයි

    ReplyDelete
    Replies
    1. හරි අයිය ඊළඟ එකේ ඉඳල එහෙම කරන්නම්.. ඒකෙ ෆොටෝවක් තියනවා එත් අයිතිය මගේ නෙවේ. ඒකයි දැම්මේ නැත්තේ. ස්තුතියි මේ පැත්තේ ආවට!

      Delete
  4. nice gamana ,,,,,,, dhannawanam mamath anawa

    ReplyDelete
  5. Replies
    1. තැන්කු තැන්කු! අපි වැඩිය ප්‍රසිද්ධ කරේ නෑ ගමන.

      Delete
  6. ඔය දාල තියෙන්නේ ලස්සන පෝස්ටුවක් , ෆොටෝ නම් මදි සුභාශයෝ :ඩී :ඩී

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා! එව්වා එහෙම තමා.. වටිනා කියන දේවල් එහෙමත් දෙනවද තිත් දෙකයි දිව දොට්ට..

      Delete
  7. නියමයි මල්ලි.නියමෙටම ලියල තියෙනවා...
    එතකොට අර පීලි පැන්න මැණිකා කොළඹ ආවෙ නැතෙයි???

    ReplyDelete
    Replies
    1. ගියා ගියා. ඊළඟ දවසේ දවල් ගියා. පහුවදා ආපහු බදුලුත් ගියා.

      Delete
  8. අපිත් ගමන ගියා වගේ මේක කියවද්දි. . .හොඳටම ලියල තියෙනව... :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි මහත්තය මේ පැත්තේ ඇවිත් ගියාට! ඒ වගේම කමෙන්ට් කරාට!

      Delete
  9. හොඳ මාර්ගොපදේශනයක් සහිතව පොස්ට් එක ලියල තියනවා කාටත් වැදගත් වෙයි. සාර්ථකයි.

    ReplyDelete
    Replies
    1. තැන්කු වේවා මේ පැත්තේ ඇවිත් කියවල කුරුටු ගාල ගියාට! දිගටම මගෙත් එක්ක ඉන්න!

      Delete
  10. ගොඩාක් හොඳට ලියලා තියෙනවා. ඉදිරියට වැඩි වැඩියෙන් පෝස්ට් දාන්න හැකියාව සහ අවස්ථාව ලැබේව කියලා ප්‍රාර්ථනා කරනවා.... :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තුතියි සුභ පැතුමට සහ ප්‍රාර්ථනාවට!! දිගටම අපි එක්ක ඉන්න!!

      Delete
  11. ගමන ගැන රසවත් සටහනක් ලියලා.
    එංගලන්තයට පොඩි ගමනක් ගියා වගේ නේද?

    ඉස්කෝලේ කාලෙදි මෙහෙම නම් මෙයා ලොකු උනාම ලෝකේ වටේ යයි.:)
    සුබ පතනව අඟහරුට.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කුමාරිහාමි මේ පැත්තේ ඇවිත් අපිව බලල යනවට!!
      :-D
      ඔව් ඔව් සල්ලි තිබ්බ නම් ලෝකේ වටේම යනවා!!
      මේ ගමන මම ජීවිතේ ගිය ගමන් වලින් හොඳම එකක්. ආපහු මේ පළාතටම යන්න බලාපොරොත්තු වෙනවා!

      Delete