Saturday, November 16, 2013

මහා රාත්‍රියේ සිහින දේශයකට ගිය ගමනේ චාරිකා සටහන...



මේකේ නයි පොළොංගු නෙවේ තව නොදන්නා උනුත් පැලපදියම් වෙලා. හොල්මන් එහෙමත් ඇති හෙව්වා නම්.......

 බ්ලොග් එක අමතක වෙලා වත් අතැරලා වත් තිබ්බේ නෑ.. ගමනක් ප්ලෑන් කරගෙන හිටියා.. ඒකෙ චාරිකා සටහන දාන්න හිටියට එක එක හේතු නිසා ගමන කල් ගියා.. ඒ නිසා ඉතින් පෝස්ට් එකත් කල් ගියා.. මොකෝ ගමන යන්නේ නැතුව පෝස්ට් එක ලියන්නේ කොහොමද.... හරි ඒ කතා වැඩක් නෑ.. මෙන්න සටහන.. 

පට්ටිපොළ දුම්රිය ස්ථානය..


         ඔන්න ඔය උඩින් දාල තියන තැන තමා මේ පාර අපේ ගමනාන්තය උනේ.. ගමනාන්තයමත් නෙවේ, දුම්රිය ගමනේ අවසානය උනේ මෙතන.. මෙතන ඉඳන් ඔහිය දක්වා පාගමනින් මහ එලිතැන්න රක්ෂිත අඩවිය හරහා ගිය පාගමන ගැන සටහන තමා අද ලියන්න බලාපොරොත්තු වෙන්නේ....
        මේ ගමනත් ඉතින් එක දවසින් ගිහින් එන්න තමා ප්ලෑන් කලේ.. ඒ කිව්වේ බදුලු මේල් එකේ ගිහින්, අදාළ ටික බලල, පොඩ්ඩි හරි 1008 දුම්රියේ හරි ආපහු එන්න තමා. ඒ කිව්වේ මේ ගමනේ කාලසටහනම තමා. ඒ උනාට ඉතින් ඒ දවස් වල පොඩ්ඩිගේ තිබ්බ ගතිය දැන් නෑ.. හරි ඒ කතා පස්සට...
        මේ ගමන දාගත්තත් හරි එක එක බාධා ආව. වෙලාවක වැස්ස, තව වෙලාවක කට්ටිය නෑ, තව දවසක යන්න පුළුවන් දුර වැඩියි, අන්තිමට අශාන් සහ මම තීරණය කළා මේ කොටස බලල එමු කියල. ඒ ගිය ඉරිදා උදේ. දහම් පාසලේ උගන්න උගන්න ඉද්දි තමා මොලේට මීටර් උනේ.. ඊට පස්සේ හවස මූණුපොතට රිංගලා නිපුන අයියාවත් වැඩේට සෙට් කරගත්තා.. වැඩි කල් නොයවා 11 වෙනි සඳුදා රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන යන්න කතා කරගත්තා... කෑම කලින් විදියමයි.. ඒ කිව්වේ පාන් :)
          තැපැල් දුම්රිය අල්ලන්න කලින් පාරක් ගිහින් එක්ස්පීරියන්ස් හම්බ වෙලා තිබ්බ නිසා, මම මේ පාර ගෙදරින් ගියේ 8. 15 ට වගේ, ඒ කියන්නේ පැයක් විතර පරක්කු වෙලා. ගියෙත් කොට කොටා සර්විස් එකක. ඒක යද්දී 9ට 20යි. වැඩේ ඉවරනේ. ඉන්න වෙන්නේ පැය දෙක හමාරක් වගේ.. කිසි අවුලක් නෑ. හැබැයි මේ පාරත් 11 වෙනකල් වේදිකාවේ හිටිය එකම මගියා මම විතරයි... එදා වගේම මම ගියේ පාපුවරුවේ. ප්ලේන් නම් දැක්ක 30 කට වැඩි වෙන්න. මම හිතන්නේ අර චුයින්ගම් එකට කට්ටිය අරන් ආපුව වෙන්න ඇති. මෙතන ඉඳන් කතාව ෆොටෝ වලින් කියන්නම්....
මේ ඇවිල්ල එන්ජින් දෙක හමු උන මොහොත. ඔය සැලුට් ගහගන්නේ.. :)

මම කලින් කිව්වා ගම්පොල ඉඳල නයිට් මේල් එකට එන්ජින් දෙකක් දානවා කියල. මේ එන්ජින් දෙකම පට්ටිපොලදී එකතු වෙලා පහලට අරන් යනවා මේල් එක. අපි ගිය දවසේ කොටුවෙන් ආවේ M6- 786. ගම්පොලින් උදව් උනේ M6- 797. මේ ඒ දෙන්න එකතු උන වෙලාව තමා උඩින් දාල තියන්නේ..
කෝච්චිය ගියාට පස්සේ එදා ඉදල්ගස්හින්නේදී  ගත්ත වගේ ඉර පායනවා බලන්න ගියා. ඒ උනාට මීදුමයි වලාකුලුයි ඒ වැඩේ කෑවා. ඇත්තම කිව්වොත් අපි ගෙදර එනකල් ඉර දැක්කේ නෑ දවසටම.
මේ ඉන්නේ මම තුමා.. මෙච්චර ඇඳගෙන හිටියත් සීතලට වෙව්ලනවා..  උෂ්ණත්වේ තිබ්බේ සෙල්සියස් 14රෙ!

පට්ටිපොළ ගත්තාම එක විශේෂත්වයක් තියනවා.. උසම දුම්රිය ස්ථානය නෙවේ..මෙතන දුම්රිය ත්‍රිකෝණයක් තිබ්බ තැනක්.. ඒ කිව්වේ පේරාදෙණිය හන්දිය වගේ. මේ ත්‍රිකොනේ පාවිච්චි කරලා තියන්නේ ඉස්සර වාෂ්ප එන්ජින් යුගයේ භාවිතා වූ එන්ජින් ආපසු හරවාගන්න. හැරවුම් වේදිකාවක් තනා නඩත්තු කරනවාට වඩා අඩු වියදමකින් ත්‍රිකෝණයක් නඩත්තු කල හැකිවීමත්, ගැරට් (C1A) වැනි අඩි 70ක් පමණ දිග වාෂ්ප එන්ජින් හරවා ගැනීමට ලේසි වීමත් හේතුවෙන් මෙය ඉදි උනා.. ඒ කාලේ B1, B2 ආදී වාෂ්ප එන්ජින් එක් පසෙකට පමණක් ධාවනය කල හැකි තත්වයේ තමයි තිබුනේ. අනිත් පැත්තට යනවා නම් හෙඩ් ලයිට් එහෙම නෑ.. ඒ නිසා එන්ජිම හැරවීම අනිවාර්ය උනා.. පට්ටිපොළ තෙක් පසු පසින් අමුණන එන්ජිම ආපසු යැවීම සඳහා මෙතනින් හරවා යවා තිබෙනවා.. නමුත් 1960 දශකයේ ඩීසල් දුම්රිය ආදේශයත් සමග මෙය වල් බිහි වූ අතර, 1990 වන විට බණ්ඩාරවෙල දෙසින් වූ කොටස සම්පූර්ණයෙන් ගලවා දමා දැන් ඉතිරි වී තිබෙන්නේ මෙම කොටස පමණයි. ජායාරූපයේ දකුණු දෙසින් ඇති මාර්ගය එම ත්‍රිකෝණයේ සිට එන මාර්ගයයි.. 
මෙතනට වෙලා තමා අපි උදේට කෑවේ..
මෙන්න තොරතුරු ටිකක් කතා කරන්න අවස්ථාවක්.. පට්ටිපොළ දැනට උසම දුම්රිය ස්ථානය උනාට, ලංකාවේ දුම්රියක් ගිය උසම දුම්රිය ස්ථානය කඳපොල. මෙතෙන්ට වඩා තවත් අඩි 120ක් උසයි. හැබැයි එක තිබ්බේ පටු ආමාන මාර්ගයක් වෙච්ච උඩුපුස්සැල්ලාව මාර්ගයේ..
පට්ටිපොළ ස්ටේෂන් එකේ ඇවිදලා ඉවර වෙලා අපි ආව ලෝකේ පුළුල් ආමාන දුම්රිය මාර්ගයක් ගිය උසම තැන වෙන පට්ටිපොළ ඉඳන් කිලෝ මීටර් භාගයක් පමණ දුරින් පිහිටා ඇති මේ ස්ථානය බලන්න. මෙතනින් එහාට බදුල්ල පැත්තට වෙනකල් බෑවුමක් තමා තියන්නේ.. සීඝ්‍ර බෑවුමක්.. අඩි 44ක් යද්දී අඩියක් පහලට වැටෙනවා.. ඒ කියන්නේ බදුලු මේල් එක ගත්තම කෝච්චියේ ඉස්සරහා එන්ජිම සහ අන්තිම පෙට්ටිය අතර අඩි 15ක විතර බෑවුම් වෙනසක් තියනවා. අන්තිම පෙට්ටිය තියන්නේ එන්ජිමට අඩි 15ක් උඩින්!!
මේ ඉන්නේ අපි 4 දෙනා.. දෙපැත්තෙන්ම බෝඩ් දෙකක් ගහල තියනවා උසම ස්ථානය ලකුණු කරලා..
මේවට තමා මහරත් මල් කියන්නේ.. මේ ටිකේ සෑහෙන්න තියනවා..
මේ තමා අංක 18 දරණ බිංගේ. මේකේ තියන විශේෂත්වේ තමා කාලගුණික කලාප දෙකක් අතර පිහිටා තිබීම. ඒ කිව්වේ පට්ටිපොළ පැත්තෙන් යද්දී තියන්නේ සීතල, වැහිබර කාලගුනයකින් යුක්ත උඩරට තෙත් කලාපය. ඒ උනාට ඔහිය පැත්තෙන් එලියට එද්දී තියන්නේ වැඩි සීතලකින් තොර, උඩරට වියලි කලාපය.පෙළක් දවසට මේ පැත්තෙන්ඇතුලට යද්දී වහිනවා. එහා පැත්තෙන් එලියට එද්දී අව්ව පායලා!! හිතාගන්නත් බෑ නේද...
ඒ උනාට මීදුම නැත්තෙත් නෑ.. අපි ගිය දවස නම් පලාතම මීදුමෙන් වැහිලා.. අශාන් නම් මීදුමට බොහොම ආස උනා.. :D
මේ එන්නේ බදුල්ලේ ඉඳන් කොළඹ ටොකුවට යන උඩරට මැණිකේ.. බලන්නකෝ අන්තිම පාරට වඩා කොච්චර වෙනස් වෙලාද... ඒ උනාට පරණ සෙට් එකේ තිබ්බ ගතිය නම් මේ හිපාටු වල නෑ. අනික තමා උඩරට මැණිකේ කියද්දී තියන ගතිය නෑ මේවල..
මම කිව්වේ අශාන් මීදුමට සෑහෙන ආස උනා කියලා.. මේ පේනවනේ.. අනික් කස්ටිය කන්න ලැස්ති වෙද්දීත් මේ මනුස්සයා ෆොටෝ අල්ලනවා...
මෙන්න හැංගිලා වෙඩි තියනවෝ....
මේ තමා ඔහිය රක්ෂිතය. මේක වතාවක් දෙකක් ගිනි ගත්තා... මේ පේනවනේ.. කළු ගැහිලා ඔක්කොම. හැබැයි කඳේ පිටපොත්ත ගිනි අරන් ඇතුල බේරිලා. ගහට හානියක් නෑ.. හානි උන ගස් වලින් රේල් පාරේ පිච්චුනු සිල්බර කොට වෙනුවට සිල්බර කොට හදලා දැම්මා..

ඒ හරියෙදීම තමා මෙයා අහු උනේ.. මේ ඇවිල්ල අං කටුස්සෙක්. ලංකාවට ආවේනික එක්කෙනෙක්.

මේ තමා ලංකාවේ තනි කෙලින් පිහිටි දිගම දුම්රිය බිංගේ.. අංක 20 බිංගේ.. පේනවනේ අනිත් කොන? මේක අතුල වැහි ලිහිණින්ගේ ලැගුම් පොලක් විදියටත් පාවිච්චි වෙනවා...
මේ තමා මහනුවරින් පාන්දර 3.30 ට බදුල්ල බලා යන මිශ්‍ර දුම්රිය. මේක කොච්චර හයියෙන් යනවද කියනවා නම්, පෙළක් දවසට නුවරින් 8. 40 ට එන පොඩ්ඩිත් මෙයාට කලින් යනවා!
මේ පැත්තේ තියන පාලමක උනත් සෑහෙන ගතියක් තියනවා.. මේ තියන්නේ ඔහියට ලං වෙලා තියන ඒ වගේ එකක්.. මේක හරහා පිටස්තර අයට යන්න තහනම් උනත්, අපිට පියාඹන්න බැරි නිසා මේක හරහා ආව..
කොහොමින් කොහොම හරි, 11.03 ට ඔහියෙන් පිටත් වෙන පොඩ්ඩි අල්ලගන්න 11.02 වෙද්දී වේදිකාවට එන්න අපිට හැකි උනා... මේ තමා පහලට එන පොඩ්ඩි ට පෙත්ත (ටැබ්ලට් එක) දීපු අවස්තාව. මේක නැත්තම් මෙයාට මෙතනින් එහාට යන්න අවසර නෑ..

මෙතනින් එහාට ඉතින් සුපුරුදු කතන්දරේ තමා..ටොකොස් ටොකොස් ගගා හෙමීට පහලට ආවා.. අර එදා එම් 6 එක එක්ක එද්දී තිබ්බ ගතියෙන් භාගයක් වත් නෑ...  

මේ වගේ ලස්සන දර්ශන නම් මේ මාර්ගයේ හැම තැනම.. බලන්නකෝ තේ වත්තේ ලස්සන..මේවා නැත්තම් මෙහාට දුම්රිය එන්නෙත් නෑ...

නානුඔය පාලමෙන් එතෙර වෙන පොඩ්ඩි...

දැන් පොඩ්ඩි ගෙලිඔයේ නවත්තන නිසාත්,මහනුවරට ගියත් ටිකිරි මැණිකේ පරක්කුද කියල දැනගන්න විදියක් නැති නිසාත්, මම ගෙලිඔයෙන් බැහැල ගෙදර ආවා.. මේ ඉන්නේ තුන් දෙනා.. එයාලටනම් තව යන්න තියනවා.. ගමනට අන්තිමට සම්බන්ධ වෙලා, පළවෙනියට සමුගත් කෙනා උනේ මම...

     මේ ගමනත් මම ගිය සුන්දරම චාරිකා අතරට වැටෙනවා.. ගමනේ මුළු දුර කිලෝ මීටර් 7ක් පමණ. ඒ වගේම කූඩැල්ලෝ එහෙම ලේ පයින්ට් එකක් වත් අදින්න ඇති. ඒ උනාට, ඇත්තෙන්ම ඒ වගේ චාරිකා තියන්නේ අතේ ඇඟිලි වලටත් වඩා අඩුවෙන්.. ඒ උනාට මට මේ ගමනෙන් සම්පූර්ණ කරගන්න බැරි දේවල් ටිකකුත් තිබ්බා. ඒ තමා, 1008 දුම්රියේ ආපසු පැමිණීම, සහ පට්ටිපොළට ඉර පායන ලස්සන ජයාරූප ගත කිරීම.. ඒ ටික නැවත වතාවක් ගිය වෙලාවක හරි කරගන්න ඕනේ..
      මේ ගමන මෙච්චර සාර්ථක විදියට අවසන් කරන්න අත හිත දුන් සියලු දෙනාටම මම මේ වෙලාවේ ස්තුති කරනවා.. ඒ වගේම, අපිව මග දිගට දැනුමෙන් පෝෂණය කරපු ආසිරි අනුරාධ අයියටත්, ගමනේ මට මිස් වෙන්න ගිය පින්තූර අරන් දීපු අශාන් විජේකෝන් මිත්‍රයාටත්, නිපුන දොඩන්තැන්න අයියාටත් බෙහෙවින්ම ස්තුතියි.. ඒ වගේම, වෙනද වගේ මට උදව් කල තුර්ය අයියා සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ රකිත ආරියරත්න මහතාටත්, නිලුපුල් වික්‍රමගේ මහතාටත් ඒ ස්තුතිය යන්න ඕනේ.. තව පේරාදෙණිය දුම්රිය ස්ථාන කාර්ය මණ්ඩලයට, පට්ටිපොළ සහ ඔහිය දුම්රිය ස්ථානාධිපතිලාටත් ඒ ස්තුතිය යනවා..
    නැවතත් මේ වගේම සංචාරයක් ඔහිය- ඉදල්ගස්හින්න අතරේ යන්නත් හිතේ කොනක බලාපොරොත්තුවක් තියනවා...  


27 comments:

  1. බ්ලොගේට ගොඩ වෙන්නෙ කවද්ද එදාට ට්‍රිප් ගිහින්..

    ReplyDelete
    Replies
    1. ට්‍රිප් යනව වගේම යන්නං වාලෙ යන්නැතුව ස්තාන ගැන හොද අවබොදයෙන් හා විමසිල්ලෙන් යන බවක් පේනවා :)

      Delete
    2. මේ ඉන්නේ අර සමියා නොහොත් මුදියා කියන එක්කෙනාද? මම හිතුවේ චූටි ළමයෙක් කියලා මූණු පොතේ දාන ඒවායේ හැටියට.:)

      Delete
    3. නෑ නෑ,, තව පෝස්ට් තියනවා.. ඒ උනාට ඒවා වේටින් ලිස්ට් එකේ තියනවා ට්‍රිප් එකක් තියා ඇවිදගන්න වත් බැරි වෙලාවක් ආවොත් දාන්න කියල.. දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමග කියල තියන්නේ කට කහනවට නෙවෙයිනේ ආයිබෝන්.. ඒ නිසා මම නම් කොහේ හරි යද්දී පුළුවන් තරම් තොරතුරු අරන් තමා යන්නේ..

      Delete
    4. මට නම් එයාව මීට් වෙලා නැද්ද කොහෙද පොඩ්ඩි අක්කේ..

      Delete
  2. පොඩ්ඩි කියන කොට මම බැලුවේ මම මොනවද කරලා තියෙන්නේ කියලා. කෝච්චියක්නේ...:D

    සීතලයිනේ. ඔන්න දැන් අඟහරුට සීත අත්දැකීමක් ලැබුණා ...ඔය එක්කම හිම වටේටම වැටිලා තිබ්බොත් කොහොමද? එතකොට උෂ්ණත්වය තවත් බැහැලනේ.
    හොඳ ගමනක්.

    මෙයාට නම් තදින් කෝච්චි පිස්සුවක් තියෙනවා. කෝච්චියක් තමා කවද හරි තෑගි දෙන්ට වෙන්නේ...:)

    ReplyDelete
    Replies
    1. ඒක නම් ඇත්ත අක්කේ.. මම පොඩ්ඩි කියල ලියද්දිත් අක්කව මතක් උනා මොනවා කමෙන්ට් කරයිද කියල.. පොඩි මැණිකේ කියනවට වඩා මම ආසයි පොඩ්ඩි කියල කියන්න, දැන් තියන එකටත් වඩා ඉස්සර ගිය සෙට් එකට පොඩ්ඩි හරියට ගැලපෙනවා..
      අම්මෝ සීතල නම්... අන්තිම හරිය දුවලත් කිසි දාඩියක් නෑ..
      හිම තිබ්බ නම් එහෙනම් මේ පොස්ට් එක නෑ අද..
      ඒ කාලේ නුවර එලියට කෝච්චි යන කාලේ නම් ඒ වගේ ගමනක් යන්න තිබ්බා...
      කෝච්චි උන සන්නිපාත තත්වෙට ඇවිත් මේ බැහැල යන කාලේ..

      Delete
  3. Replies
    1. අනේ බකමූන් භාෂාව නම් දන්නේ නෑ අයියා..

      Delete
  4. Replies
    1. මෙයා කවදා ඉඳන්ද දන්නේ නෑ බකමූණෙක් උණේ? :D:D

      Delete
    2. එකනේ අක්ක බලන්නකෝ මෙච්චර හොඳට හිටි මනුස්සයා..

      Delete
  5. බොහොම සුන්දරව හිතට කාවදින අපූරු ශෛලියකින් ලියන ලද සංචාරක සටහන හරිම අගෙයි අගහරුවා. මාත් ඉදල්ගස්හින්නේ ඉදන් හපුතලේට පයින් ගිහින් තියනවා රේල් පාර දිගේ.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කමෙන්ට් එකට! මම නුවර එලි මාර්ගය ගැන සටහන ලියලා පින්තූර ටිකක් ගන්න යන්න ඉන්නේ.. ඒ වැඩේ කරන්නම්.. හපුතලේට ගිය ගමනේ සටහනේ ලින්ක් එක තමා අර දාල තියන්නේ.. ඒ ගමන නම් අති සුන්දරයි...

      Delete
  6. Replies
    1. යනවා නං යන්.. මම රෙඩි,

      Delete
  7. හොඳ ගමනක් වගේ මල්ලි... මම දැකපු දෙයක් තමයි අඟහරු යන්නෙ ම කෝච්චිවල!

    ReplyDelete
    Replies
    1. හොඳ කියන්නේ නියම ගමන. අපිට ඉතින් ප්‍රයිවට් වාහන නෑ.. තියන එක මෙහෙ දුවන්න බෑ.. බස් වල ගියොත් ට්‍රිප් එක කෙසේ වෙතත් මගේ ට්‍රිප් එක යනවා.. ඒ නිසා විසඳුම තමා දුම්රිය.

      Delete
  8. Dodan neda ara sniper 1k atawagena inne???

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්.. වෙඩි තියන්න මානං ඉන්නේ..

      Delete
  9. නියම ගමනක්නේ. බිං ගෙවල් ගැන එහෙම තොරතුරු කිව්වට ස්තුත්යි හොඳේ.

    ReplyDelete
    Replies
    1. ආ සයුරි අක්කත් ඇවිත් ඉන්නේ.. ඔව් නියම ගමන.. ආය කතා දෙකක් නෑ ඒ ගැන නම්.. එල එල වෙල්කම් කිව්වා අක්කා!

      Delete
  10. කොහොමාද ගමන .... මම නම් ඉතින් ගෙදර යන පාර නිසා අර හැමදාම දකින කුකුලගේ කරමලේ වගේ වෙලා බං

    ReplyDelete
    Replies
    1. ගමන නම් නියමයි.. මමත් මේ පාරේ මුල ටික හැමදාම යන නිසා ඒ වගේම තමා. කොහෙටද ඒ??

      Delete
  11. හ්ම්ම්ම්ම් ගොඩ කාලෙකින් ගොඩවදින්න බැරිවුනා. ඔය ගිහින් තියෙන්නේ අපූරු ගමනක්. ඔය පොඩ්ඩි කියන්නේ මොකද ඒ කෝච්චියට??

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. රාජකාරි ඇති නේ..
      ගමන පස්ට.
      පොඩ්ඩි කියන්නේ මේකනේ කෝරලේ මහත්තයෝ..
      ඔය කෝච්චියේ නම පොඩි මැණිකේ..
      අර කලින් තිබ්බ සෙට් එක යනකොට ඒ දවස් වල මාර ලස්සනයි. අනික ඉතින් මාව හැමදාම වගේ අරහේ මෙහෙ එක්ක ගිය මැණිකේ නේ..
      ඉතින් පොඩි මැණිකේ කියන එක කෙටි කරලා, පොඩ්ඩි කියල මම නම දැම්ම.

      Delete
  12. මටත් එකම එක වතාවයි ඔය කෝස්සි පාරවල් වල යන්න ලැබුනෙ. අපි නම් කඩුගන්නාවෙ ඉදලා ස්ටේසන් තුනක් පල්ලම් බැස්සා..ටිකක් දුර ගමනක් ඒක.

    ReplyDelete