Saturday, November 7, 2015

දුම්රිය ඉතිහාසයේ අඳුරු මතකයන් ගැවසෙන වටවල වෙත...

            ගල්බොඩ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, මීළඟට පිවිසුනේ ඉතා අලංකාර පසුබිමක් සහිත ප්‍රදේශයකටයි. 
පසු කර  ආ ගල්බොඩ දුම්රිය ස්ථානයේ පහල අවුට්හෝම් සංඥාව.
           එක පසෙකින් තේ වතු ද, අනෙක් පසින් කැළණි මිටියාවත දක්වා දිස් වෙන ඈතට විහිදී ගිය පහත් බිමද, සුන්දර දසුනක් මවා පායි. පැහැදිලි දිනයක කොළඹ නගරාශ්‍රිත ප්‍රදේශයත් මෙම කොටසේදී දැකිය හැකි බව පැවසුනත්, අප ගමන් ගන්නා පොඩි මැණිකේ දුම්රිය, සිය ගමනාන්තය වෙත හැකි ඉක්මනින් ලඟා වීමට ඇති උනන්දුව දක්වමින්, මෙම සොඳුරු දසුන් පසු කොට හැල්මේ ගමන් කරන්නට වූවාය.. 

ඈත කඳු තෙක් දිස් වන පහත් බිම..
           මෙම කොටස අතරමගදී, දෙකිඳ සහ වේවැල්තලාව යනුවෙන් කුඩා දුම්රිය නැවතුම් දෙකක් හමු වුවත්, ඒවා පොඩි මැණිකේ හට ගිමන් හැරීමට ස්ථාන නොවූ බවක් දිස් විය. වේවැල්තලාවෙහි මිනිසුන් කිහිපදෙනෙක් සිටියද, පොඩි මැණිකේ ඔවුන් දෙස වත් නොබලා නලාව හඬවමින් දිගටම සිය ගමනේ යෙදුනි. 

වටවල වෙත ඉක්මන් ගමනින් යන පොඩි මැණිකේ..
           මෙම මාර්ග කොටස ගැන සඳහන් කරන විට, මා හඳුනන රුඩි හොඩ්සන් නම් මහතකු පැවසු තොරතුරු කිහිපයක් මගේ සිහියට නැගෙයි. එයින් පළමුවැන්න නම්, 1970 දශකයේ සිදු වූ අනතුරකි. ඩබ්ලිව් 1 පංතියේ එන්ජිමක් සමග දුම්රියක් ගමන් කරන විට, මෙම කොටසේ පිහිටි බෝක්කුවක් කැඩී ගොස් ඇත. ඩබ්ලිව් 1 එන්ජිමට අනතුරක් නොවී බේරී ඇත. මෙම තොරතුරු සැපයු හොඩ්සන් මහතාගේ පියා, මෙය අලුත්වැඩියා කිරීමෙන් පසු පරීක්ෂණ ධාවන සඳහා ඒ හරහා දුම්රිය රැගෙන ගිය බව ඔහු මා හා පැවසීය. 

වටවල දුම්රිය ස්ථාන නාම පුවරුව.
          මද වංගුවක් පසු කල දුම්රිය, මදකට නතර විය. ඒ, වටවල දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 3259ක උසකින් පිහිටි මම දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 100කුත් දම්වැල් 26ක දුරින් පිහිටා ඇත. මෙම දුම්රිය ස්ථානයද, බඩු ගබඩාවකින්, පාෂ මාර්ග දෙකකින් සහ එක වේදිකාවකින් සමන්විත, පැරණි දුම්රිය ස්ථානයකි. 1890 දශකය වනවිටත්, මෙම දුම්රිය ස්ථානය සම්පූර්ණයෙන්ම ගොඩනැගී තිබුණි. මෙහි දක්නට ඇති විශේෂ උපකරණයක් වන්නේ, දුම්රිය වැගන් වල බර කිරීමට ඇති තරාඳියයි. 

දුම්රිය වැගන් වල බර කිරීමට ඇති තරාඳිය.
          ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සිය අත්දැකීම් අළලා ඉතා වටිනා ග්‍රන්ථ දෙකක් සම්පාදනය කල විශ්‍රාමලත් දිස්ත්‍රික් පරීක්ෂක තිබ්බොටුමුනුව මහතා, ඔහු ගමන් කල බදුලු රාත්‍රී තැපැල් දුම්රිය, පහලට ගමන් කල දුම්රිය සමග වටවලදී මුහුණට මුහුණ ගැටුණු අයුරු ගැන සටහන් කල විස්තරයත් මේ ලියන මොහොතේදී මට මතක් වේ. 

         ඒ අයුරින්ම, වටවල, ඔබ සැමට මතක ඇති අයුරින්, නාය යාම ගැන 1957 වසරේ සිටම දැඩි ප්‍රසිද්ධියක් උසුලා ඇත. M6 ධාවන පන්තියේ 790 දරණ එන්ජිම, 1990 දශකයේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් සමග නාය යාමකට ලක් විය. එයින් පසු, මෙයට ස්ථිර පිලියමක් ලෙස මාර්ගය මදක් වෙනස් කොට, භූමිය කළුගල් යොදා නැවත සකස් කෙරුණි. දැන් දුම්රිය ධාවනය වන්නේ ඒ නව මාර්ගය ඔස්සේය. 
වටවල දුම්රිය ස්ථානය ආසන්නයේ නාය ගිය කොටස අසලින් ගමන් කරමින්,,,

        වටවල දුම්රිය ස්ථානයට, පැහැදිලි දිනයක, කටුනායක ගුවන් තොටුපලේ විදුලි ආලෝක එලියද දර්ශනය වන බව අසන්නට ලැබුණි. වටවල තේ සිහි කරමින් මදක් ඈතින් තේ කර්මාන්තශාලාවක් දිස් විය. ඒ සියල්ල එසේ සිදු වන විට, දුම්රිය ස්ථානාධිපතිවරයා පොඩි මැණිකේට ඉදිරි මාර්ගය වෙත පිවිසීමට අවසර පත්‍රය ලබා දුන්නේය. නළා හඬත් සමගම, ඇය නැවතත් සිය ගමනට අවතීර්ණ වූවාය..  

25 comments:

  1. දැන්නම් නැගල යනව , එල. ඊලඟ කොටසත් වරද්දන්නේ නැතුව බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! අනිවාර්යෙන්ම එන්න ඊළඟ කොටස බලන්න..

      Delete
  2. බොහොම ලස්සණ විස්තරයක්. වටවල පසුකරමින් දුම්රියේත්, මහා මාර්ගයේත්, කොපමණ වාර ගණනක් ගිහින් ඇද්දැයි මතක නැහැ.

    වටවල ප්‍රදේශයේ අවසාන වතාවට නම් හක්කොලං කොළේ, LTTE ත්‍රස්තවාදී දඩයමේ. හිතන්නවත් බැහැ නේද ඒ පැත්තෙත් LTTE අය හිටියා කියලා.

    ReplyDelete
    Replies
    1. ඇයි රොසැල්ලෙදි නයිට් මේල් එකට බෝම්බ තිබ්බෙ. වෙලාවට අහු වුනේ ඊට කලින් ගිය තෙල් කෝච්චිය. :/

      Delete
    2. වටවල LTTE එකෙන් හිටියයි කියද්දී පුදුමත් හිතෙනවා. හැබැයි ඉතින් වතුකරේ නිසා පුදුමයකුත් නෑ. ඒ චාරිකා නම් ඉතාම ත්‍රාසජනක චාරිකා වෙන්න ඇති නේ... මහාමාර්ගයේ මම නම් ගිහිං තියන්නේ එකම එක වතාවයි. දුම්රිය මාර්ගයේ නම් කිහිප වතාවක් ගිහිං තියනවා..

      Delete
    3. චන්දික අයියා- ඒ කතාව නම් මම අහල නෑ. වැඩි විස්තර දෙන්න පුළුවන් ද?

      Delete
  3. ගමන හොඳයි ඔහොම යමු. ජය.

    ReplyDelete
  4. ඔහොම යං.
    වටවල කාලයක් තිස්සෙ ලංකාවෙ වැඩිම වර්ෂාපතනය තිබ්බ ප්‍රදේශයක් වෙලා තිබුන.

    ReplyDelete
    Replies
    1. දැන් කියලත් වැඩි වෙනසක් නැතුව ඇති මම හිතන්නේ. කොහොමත් ඔය පැත්තට පට්ට වැස්සක් තමා වහින්නේ. ගල්බොඩ වටවල ඉහල වටවල එහෙම ආය එපා වෙනවා වැහි දවස් වලට.

      Delete
  5. බොහෝම ලස්සන වස්තරයක් මචං.. අපූරුයි..

    ReplyDelete
    Replies
    1. තැන්ක්ස් වේවා! එන්න දිගටම කියවන්න පුළුවන් තව හොඳ විස්තර ඉස්සරහට.

      Delete
  6. සතියට එක සැරයක් කෝච්චි ගමන හරි අගෙයි....මේ විස්තර හරි වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ විස්තර දන්න අය අද හරි අඩුයි. ස්තුතියි කමෙන්ටුවට!!

      Delete
  7. මෙව්වා කියෙව්වාම යට ගිහින් තියන කෝච්චි පිස්සුව අලුත් වෙනවා ඉතින්.. අපූරු විස්තරයක්.;. අද තමා බ්ලොග් එක දැක්කේ.. දිගටම එන්නම්කෝ..

    ReplyDelete
    Replies
    1. හා හා ඒ පිස්සුවට එහෙම යට යන්න දෙන්න එපා. සාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට! එන්නම්කෝ ඒ පැත්තෙත්..

      Delete
  8. හිතට අල්ලල ගියා විස්තරේ.. ජය වේවා.. ඔය කටුනායක එළි පේනවා කියන එක ඇත්තක්ද කියල හොයන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඒක කිව්වේ දුම්රිය ස්ථානාධිපති කෙනෙක්. ඔය වගේ ගොඩක් අපූරු දේවල් වෙනවා ඔය උඩරට මාර්ගයේ. හොයල බලන්නකෝ..

      Delete
  9. කෝච්චි පෙට්ටි වල බර කිරන්නෙ ඇයි අඟා...?

    ReplyDelete
  10. විස්තරය කියවපුවම උඩරට දුම්රිය මාර්ගයේ , පොඩි මැණිකේ දුම්රියෙන් ගමනක් ගියා වගේ හැගීමක් දැනුනා.

    ReplyDelete
    Replies
    1. හෝව් හෝව් තාම පොඩ්ඩි යනවා.. මුළු ගමනම එන්න.

      Delete
  11. මට මේ පෝස්ට් එක මග ඇරුනේ කොහොමද? අර කැටි වලාකුලුවල ලස්සන කියලා ඒක දිහා කොච්චර වෙලා නම් බලා හිටියද?

    ලස්සනට කතාව ගලාගෙන යනවා අඟහරුවෝ...

    ReplyDelete
    Replies
    1. අක්කට පෝස්ට් එක වගේම මේ කමෙන්ට්ස් ලෝඩ් වෙන්නේ නැති අවුලක් තිබ්බා. අද තමා මේ අන්තිම කමෙන්ට්ස් දෙක දැක්කේ. ඒ ෆොටෝ එක ඕනේ නම් එවන්නම්.. තැන්ක්ස් හැමදාම ඇවිල්ලා කියවල යනවට. ලංකාවට ආපු වෙලාවක පොඩ්ඩි එක්කම ඔය ගමන යන්නකෝ..

      Delete