Saturday, November 21, 2015

ශ්‍රී පාද අඩවිය වෙත...

        රොසැල්ලෙන් පිටත් වූ පොඩි මැණිකේ, දැන් නියම අයුරින් තේ වගාවන් අතරට පිවිසේ. මාර්ගයේ තියුණු වංගුවක් පසු කරන පොඩි මැණිකේ, තේ වත්තක් අතරින් නැවතත් තියුණු වංගුවකින් වමට හැරේ. මෙසේ එක ළඟ පිහිටි වංගු මෙම මාර්ගයේ බොහෝ දක්නට ලැබෙයි. මෙම වංගු වල නියම ස්වභාවය දැකිය හැක්කේ, රාත්‍රී තැපැල් දුම්රියේ ගමන් කරන විටයි.. 

තේ වතු අතරට පිවිසෙන පොඩ්ඩි..
        මෙයට පෙර බදුලු ගමන කිහිපවරක් ගොස් තිබු අකිල අයියා ඇතුලට වී වාඩි වී සිටියත්, මාගේ සහ අශාන්ගේ ප්‍රථම බදුලු ගමන මෙය වූ බැවින්, අපට නම් පා පුවරුවෙන් ඇතුලට යාමක් නොවීය. 

අතරමග පිහිටි කුඩා පාලමකින් එතෙර වන පොඩ්ඩි..
        පාලම්, බිංග ආදී ඉතා අරුම පුදුම ඉපැරණි නිර්මාණ අප හමුවේ විටින් විට දර්ශනය විය. ඒ මෙන්ම, පාලමක් පසු කොට ඉතා කෙටි දුරකින්, එම පාලම අප හට අප පසුපසින් දැකගත හැකි තරම් තියුණු වංගු වලින් මාර්ගය සමන්විත විය..
                     
පෙර සේයාරුවේ වූ පාලම මෙසේ සේයාරුවක සටහන් විය..                     
        සැතපුම් ගණනක් මග ගෙවා බොහෝ වෙලාවක් හිටගෙන සිටියත් වෙහෙසක්ද නොදැනුනේ, මැණිකේ සමග යන මෙම ගමනේ සුන්දරත්වය නිසාම විය යුතුය.. 

තේ වතු සහ අතරින් පතර දිස් වන නිවාස සහිත භූමි දර්ශනය..
       බදුලු ගොස් නැතත්, උසස් පෙළ විභාගයට පෙරදීම මුහුණු පොතේ මිතුරන් කණ්ඩායමක් සමග රේල් හයික් කිහිපයකට සහභාගී වී තිබු අශාන් හැටන් දුම්රිය ස්ථානයට පොඩ්ඩි සේන්දු වූ බව පැවසීය.. 

හැටන් දුම්රිය ස්ථානය සමීපයේ පිහිටි තේ වත්තක්..                    
       නැවතත් තේ වතු අතරින් දිගහැරෙන පහත් බිමක මනරම් දර්ශනයක් අප නෙතට හසු විය. ඒ සමගම, තවත් ටික දුරක් ගිය විට, පහලින් මහා මාර්ගයක් දක්නට ලැබුණි. 
හැටන් වෙත දිවෙන මහා මාර්ගය.
        නියමිත වෙලාවට තත්පරයක් හෝ ප්‍රමාද නොවී, ඇය හැටන් දුම්රිය ස්ථානයට ලඟා වූවාය. ඒ, එකල ඉහලට යන පොඩි මැණිකේට, පහලට එන උඩරට මැණිකේ මුණ ගැසෙන ස්ථානයයි. අප එනතුරු ඇය තෙවන වේදිකාවේ බලාසිටි අයුරු මට දකින්නට ලැබුණි. 
හැටන් වෙත ලඟා වන පොඩි මැණිකේ.. දකුණු පස මාර්ගයේ අප එනතුරු බලා සිටි උඩරට මැණිකේ දැකිය හැක.
       හැටන් දුම්රිය ස්ථානය, බෙහෙවින් ප්‍රසිද්ධියට පත් වන්නේ, ශ්‍රී පාද වන්දනාකරුවන් අතරයි. දුම්රිය මගින් ශ්‍රී පාදය වන්දනා කිරීමට තිබුණු එක සහ පහසු මාර්ගය වූයේත් හැටන් දුම්රිය ස්ථානය හරහා යාමයි (අනික් මාර්ගය නම් කැළණි වැලි මාර්ගය ඔස්සේ ගමනයි). 

       හැටන් දුම්රිය ස්ථානය මෙහෙයුම් කටයුතු සඳහා විවෘත කෙරුනේ වර්ෂ 1884 ජුනි මස 4 වන දිනයි. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 108යි දම්වැල් 13ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4141ක උසකිනුත් පිහිටි මෙම දුම්රිය ස්ථානය, උඩරට ප්‍රධාන දුම්රිය ස්ථානයකි. වේදිකා තුනකින් සහ ගබඩා සංකීර්ණයකින්, මගී විවේකාගාරයකින් වර්තමානයේ සමන්විත මෙම දුම්රිය ස්ථානය, අතීතයේදී වාෂ්ප එන්ජින් 2ක් සඳහා ධාවනාගාරයක් මෙන්ම හැරවුම් මේසයක් සහ තරමක් විශාල අංගනයකින් සමන්විත විය. 

       හැටන් දුම්රිය ස්ථානය, අතීතයේදී හඳුන්වා ඇත්තේ “Hatton- Garden” යනුවෙනි. එකල භාවිතා වූ නාම පුවරු ක්‍රමය අනුව, ඉහලින්ම ඉංග්‍රීසියෙන් එසේ සටහන් වෙද්දී, ඊට යටින් සිංහලෙන් “හැටන් වත්ත” යයි සඳහන් වී ඇත. මේ තොරතුර ලබා දුන්නේ පෙර සඳහන් කල තිබ්බොටුමුනුව මහතාය. 

      හැටන් දුම්රිය ස්ථානය එදා මෙන්ම තවමත් උඩරට දුම්රිය ධාවනය සම්බන්ධ ප්‍රධාන දුම්රිය ස්ථානයකි. හැටන් දුම්රිය ස්ථානයෙන් ගමන නිමා කරන මෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙතින් ආරම්භ වන දුම්රියයන් කිහිපයක් අදත් ධාවනය වේ.    
      මෙම ඉපැරණි දුම්රිය ස්ථානයේ, පොඩි මැණිකේ විනාඩි 2ක් පමණ කාලයක් නැවතී සිටියාය. ඒ අතර, පහලට යන උඩරට මැණිකේ වෙත පිටත් වීමට සංඥා නිකුත් කෙරුණි. අප මිතුරකු වූ ලකිත රත්නවීර අයියා පහලට යන උඩරට මැණිකේ දුම්රියේ සිටියදී අප හා කතා කළේය. 

උඩරට මැණිකේ සමග පහලට යන ගමන් අප හා කතා කිරීමට පැමිණි ලකිත අයියා..

      දුම්රිය දෙකම පිටත් වීමට සූදානම්ය. තියුණු නලා හඬ දෙකක් දෙපසින් ඇසුනේ, මැණිකෙලා දෙදෙනා එකිනෙකාට සමු ගැනීමේ ආචාරය පවත්වන්නාක් මෙනි. ඒ සමගම මද ගැස්මක් සමගින් පොඩි මැණිකේ, සිය ගමනට අවතීර්ණ වූවාය.. 

27 comments:

  1. හැටන් දුම්‍රියස්ථානය උඩරට මාර්ගයේ ප්‍රධාන මධ්‍යස්ථානයක්. නාවලපිටියට පසුව හමුවන මුල්ම ප්‍රධාන දුම්‍රිය ස්ථානය හැටන්. මේ පරිසරයත් ඉතාම අලංකාරයි. ඇත්තෙන්ම එතැන් සිට තමයි වඩා මනරම් දර්ශන ගොඩක් අපට හමු වන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඇත්තෙන්ම මෙතනින් එහාට තමයි ලයින් ඒකෙ ලස්සන හරිය පටන්ගන්නේ. ඒ වගේම අවදානම් හරිය පටන් ගන්නේ..

      Delete
  2. හැටන් වලටත් ආව එහෙනං.
    කෝච්චියෙ එන අය විතරක් නෙමෙයි බස් එකේ හැටන් වලට එන අයටත් ඔය රේල්වේ ස්ටේෂමට ගිහිල්ල නල්ලතන්නි යන බස් එකට නගින්න ලේසියි.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හිතුවට වඩා ඉක්මනින් පොඩ්ඩි යනවා නෙහ්?
      මම නම් කියන්නේ ඔය ගමන කෝච්චියෙම යන එක ලේසීයි.

      Delete
    2. යකෝ මල්ලි උඹ හිතුවද ගොඩකවෙල ඉඳල හැටන් වලට කෝච්චි තියෙනව කියල.
      අපේ ආණ්ඩුවක් ආපු දවසක එහෙම එකක් හදාගත්තොත් මිසක.

      Delete
    3. නෑහ් එහෙම නෙවේ මම කිව්වේ. යන්න පුළුවන් පැති වල ඉඳන් කෝච්චියේ එන එක ලේසීයි කියලා. ආණ්ඩුවක් ආවම කියල බලන්නකෝ. මට නම් රේල් පාරවල් ගැන කතා කරනකොට මොකාගෙ ආණ්ඩුවත් එකයි.

      Delete
  3. උඩරට මැනිකේ , පොඩි මැනිකේ කියලා ලියලා තියෙන විදියට ගෑනු ලමයි දෙන්නෙක් එක්ක මේ ගමන යනවා වගේ දැනෙන්නේ...:P

    ReplyDelete
    Replies
    1. මට ඉතිං කොහොමත් පොඩි මැණිකේ කියන්නේ ගෑනු ළමයෙක් වගේ තමා. ඒක නේ මම එයාට පොඩ්ඩි කියන්නේ.. :D

      Delete
  4. යං යං ඔහොම යං.... එල....

    ReplyDelete
  5. යකෝ මේ කෝච්චි ගමං ගැන විස්තරනං පට්ට. මං කැමතිම මාතෘකාවක්. ඩූඩයියත් ලිව්වා ඔය ගැන.
    අනේ මේ අකුරුයි පසුබිමයි ගැන මක්කා හරි කොරහං සත්තලනේ.

    ReplyDelete
    Replies
    1. ඒ ටික හදන්න ඕනේ අෆ්ෆා. වැඩේ තියන්නේ, මට ඒ සෙටිංස් හදන ඔප්ෂන් එක හොයාගන්න බෑ. විශේෂෙන් අර කමෙන්ට්ස් වලයි ෆොටෝ වලයි අකුරු වල සයිස් එක වැඩි කරන ගැජට් එක.

      Delete
    2. බ්ලොග් එකේ ඉහල දකුණු කෙළවෙරේ Design කියන තැනට කොටංට.
      ඊට පස්සෙ එකේදි ලොකුවට තියෙන රූපෙට යටින් Customize කොටංට. ගොඩක් සෙටිංස් හැදුවැකි.
      ඊට පස්සෙ එන එකේදි ඉහල Advanced කියන එක තෝරන්න. ඒකෙ ෆොන්ට් එක හදන්න පුළුවන්.

      Delete
  6. පැරණි දුම්රිය ස්ථාන බොහොමයක් යම්කිසි කෞතුක වටිනාකමකින් යුක්තයි. ඒ විස්තරත් ඉඩ ලැබෙන පරිදි පලකරන්න.

    බිංග යන වචනය හරිද වැරදිද කියා සොයා බැලුවාද? මමනම් තවමත් කියන්නේ, එවැනි වචනයක් නැහැ කියලයි.

    කොළඹ 'අන්ත්‍ය' දුම්රිය ස්ථානය යන යෙදුම main terminal වැනි යෙදුමකට සමාන එකක්ද? එහෙම නැත්නම් එය කොළඹ 'අත්‍යන්ත' දුම්රිය ස්ථානය වියයුතුද?

    ReplyDelete
    Replies
    1. විචාරක මහත්මයා, එය අත්‍යන්ත විය යුතුයි සහ එම දුම්රිය පලේ සඳහන් වන්නේත් ඒ අයුරින්. (Colombo Terminus යන අරුතින්. එකල මුහුදුබඩ මාර්ගයක් නොතිබුණ නිසා කොළඹ අත්‍යන්ත දුම්රිය පලක් වුණා. එම ගොඩනැඟිල්ල කෞතුකාගාරයක් වශයෙන් තවමත් තිබෙනවා. ස්ථානය මරදාන කාර්මික විද්‍යාලය ඉදිරිපිට)

      Delete
    2. බිම්ගෙය යන වචනයේ විකෘතියක් වශයෙන් බිංගේ යන වචනය ඇති වී ඇති බව දැනගන්නට ලැබුනා. ඒ හැර ඒ ගැන නිවැරදි තොරතුරක් ලැබුනේ නෑ. කෙසේ වෙතත් එම වචනය බිංගෙවල් වැනි ආකාරයකින් නිවැරදි විය යුතු බව මමත් සිතනවා.
      "කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය" යනු Colombo Terminus Station යන ඉපැරණි කොළඹ දුම්රිය ස්ථානයට යෙදුනු නමයි. අත්‍යන්ත නොව අන්ත්‍ය දුම්රිය ස්ථානයයි.

      Delete
    3. දොඩන්- කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ නෑම පුවරුවේ දැක්වෙන්නේ "කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානය" යනුවෙන්. අත්‍යන්ත නොවේ. අත්‍යන්ත යන්නෙහි අදහස වෙනස්. මෙය කෞතුකාගාරය මෙන්ම ඛනිජ ඉන්ධන ගබඩාව ලෙසත් භාවිතා වෙනවා. ප්‍රධාන මාර්ගයේ සිට මෙම දුම්රිය ස්ථානය වෙත මාර්ගයක් තවමත් වැටී තිබෙනවා.

      Delete
    4. කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ පින්තූරයක් හොයාගන්න පුළුවන් නම් හරිම වටිනවා. ඔය අසලම තිබෙනවා පැරණි ට්‍රිපොලි වෙළඳ සංකීර්ණයට යාබදව යුද හමුදා ආහාර සැපයුම් ගබඩාවක්.

      බිංගේ යන්න විකෘතියක් නොවේ. කටවහර අනුව සෑදුන වචනයක්. උයනගේ, මළගේ, දුම්ගේ, වැනි වචනත් එලෙස කටවහර අනුව සෑදුන වචන.

      Delete
    5. අන්න හරි. ඒ වගේ වචනයක්. මගේ ගාව තියනවා ඒ නෑම පුවරුවේ ජායාරූපයක්. මම 2010 ගිහිං ගත්ත එකක්. ආය වෙලාවක මරදානේ ගිය වෙලාවක හොඳ ෆොටෝ එකක් ගන්න ඕනේ කැමරා එකෙන්.

      Delete
  7. කොච්වි ගමනකට තව,තවත් මගේ හිත කෑදර කරවනවා මේ ලිපි පෙලම...මෙදා පාර කොච්චියක යනවමයි ලංකාවට ආවම.. ජය!

    ReplyDelete
    Replies
    1. කොච්චියක?

      Delete
    2. කොච්චියක නොගිහින් කෝච්චියකම යන්න.. :D අනිවාර්යෙන් බදුලු ගමන යන්න. ඒක වටිනවා..

      Delete
  8. මම පොඩි මෙන්ඩටත් කිව්වා මේ විස්තර.
    එල ද බ්‍රා මචං

    ReplyDelete
    Replies
    1. පොඩි මෙන්ඩාත් එයි නේ එහෙනම්.. තැන්ක්ස් ඈ!

      Delete
  9. මං කවදාවත් සිරීපාදේ ගිහිං නැ , කතරගම ගිහිනුත් නැ

    ReplyDelete
    Replies
    1. මමත් ශ්‍රී පාදේ ගිහිං තියන්නේ එකම එක වතාවයි. කතරගමත් එහෙමයි. කතරගම ගියේ හරියටම අවුරුදු 10කට කලින්.

      Delete