Wednesday, December 21, 2016

අහිමි වූ රාජ්‍යය සොයා නැවත පැමිණි රැජින..

මේ පැත්තට ආවේ කල්පාන්තරේකින් විතර.. කට්ටිය තාම ඉන්නවද දන්නේ නෑ.. ඉස්කෝලේ වැඩයි අරවයි මේවයි එක්ක මේ පැත්තට එන්න විදියක් නැතුව ගියා.. හොඳයි.. ඒකෙන් කමක් නෑ. ඔන්න අද ඉඳන් ආපහු මේක ලියවෙනවා..
දැන් ටික දවසකට ඉස්සර, මගේ කාලෙක ඉඳන් තිබ්බ ලොකු බලාපොරොත්තුවක් සඵල උනා. මේ සටහන ඒ ගැන.. (නෑ නෑ.. කෙල්ලෙක් සෙට් උනේ නෑ.. මේ රේල්ලුවට සම්බන්ධ දෙයක්) 
යකඩ යකා සමූහය වෙනුවෙන් නිර්මාණය වූ W2 සේයාරුව..
මේ බ්ලොග් එකේ මම ගොඩක් කතා කරලා තියන දෙයක් තමයි වාෂ්ප දුම්රිය. ඔන්න ඔය වාෂ්ප දුම්රිය එන්ජින් විශ්‍රාම ගන්වන්න තීරණය කිරීමෙන් තමා මේ කතාව පටන් ගන්නේ. ඒ කියන්නේ 1960 දශකයෙන්. මේ ගැනත් මම ගොඩක් විස්තර කියල තියනවා. කෙටියෙන් කිව්වොත්, ඒ කාලේ දුම්රිය සාමාන්‍යාධිකාරී- බී. ඩී. රම්පාල මහත්තය තමා මේ තීරණය ගත්තේ. හැබැයි, ඒ කාලේ එංගලන්ත බඩු අරගන්නවට තරමක අකමැත්තක් තිබුනා. ඒ නිසා, අපේ කට්ටිය හැරුනා ජර්මනිය දිහාවට. 
සාමාන්‍යාධිකාරී රම්පාල මහතා.
ජර්මනිය මේ කාලේදී නැගෙනහිර - බටහිර කියල බෙදල නේ තිබ්බේ. අපිට ඕනේ උනා සාමාන්‍ය ධාවන කටයුතු වලට එක වර්ගේකුයි, උඩරට ධාවනයට ටිකක් බලයෙන් වැඩි වර්ගේකුයි. ඉතිං, බටහිර ජර්මනියේ Henschel සමාගමෙන් සාමාන්‍ය ධාවන කටයුතු වලට  W1 පන්තියත්, නැගෙනහිර ජර්මනියේ Lokomotivebau Karl Marx සමාගමෙන් උඩරට ධාවනයට W2 පන්තියත් අපිට එකතු වෙනවා. මේ එන්ජින් වල තාක්ෂණික විස්තර මෙතනින් බලන්නකෝ.. 
කර්මාන්තශාලාවේ ගත් සේයාරුවක්.. (අනුග්‍රහය- ගෙහාන් චන්දික අයියා)
          හරි.. දැන් ඔන්න කතාවට. මේ ඩබ්ලිව් 2 එන්ජිම ගැන තමා අද කියන්න යන්නේ. ඔය එන්ජිම ඇවිල්ල එසේ මෙසේ නෙවේ.. ගෙනාවේ ඒ කාලේ තිබ්බ ගැරට් එක අයින් කරන්න. ඉතිං ඒ කාලේ හැටියට ලොකු බලයක් වෙච්ච අශ්වබල 1500ක ඩීසල් මෝටර් එකක් එක්ක ආවේ. මේ එන්ජිම ගැන මම තොරතුරු මුලින්ම දැනගත්තේ 2007දී. ඊට කලින් දැකල තියෙන්න ඇති. ඒත් පෙනුමෙන් මේක ඩබ්ලිව් 1 වගේම නිසා වැඩි ගානක් නෑ. 
මේවගේ සෑහෙන තොරතුරු ගානක් නම් හොයාගන්න නෑ.. මොකද මේ  සමාගම  1970  ගණන් වලම වහලා. විකිපීඩියා එකෙත් වැඩි තොරතුරක් නෑ..
          ඔය එන්ජින් එක ගැන මම කරුණු කීප තැනකින් බැලුවා. ඒ හොයාගෙන යද්දී අහන්න හම්බුන දේවල් ටිකක් තමා අද කියන්න යන්නේ. මේ එන්ජින් එක ආපු කාලේ, ට්‍රයල් එක යන්න හදනකොට මේකේ ආවලු පොඩි අවුලක්. දැන් ඉතිං ජර්මන් සෙට් එක හිටු කියල දාගෙන මේක හදනවලු. රම්පාල මහත්තයා ඕක බලං ඉඳල, කිව්වලු “ අයිසේ, ඕකට ෆ්ලෝටින් බුෂ් එකක් දානවා ඔයි” කියල ඉංග්‍රීසියෙන් (කෑල්ලේ නම හරිද දන්නේ නෑ මට කියපු එක්කෙනා එහෙම තමා කිව්වේ. රිලේ වලට අදාළ එකක්). ඕක දැම්මට පස්සේ ඒ අවුල හරිලු. දැන් ඉතිං ඕක හදාගෙන යන්න යනකොට, රම්පාල මහත්තය කිව්වලු, “You can’t pass Pattipola with those settings” ( ඔහොම හදල පට්ටිපොළ පාස් කරන්න බෑ යකෝ) කියල. ජර්මන් කාරයෝ ටිකත් ඉතිං අනේ නිකා හිටපං උඹ මොකාද කියල ගියාලු. අනේ හරියටම පට්ටිපොලදී එන්ජිම නතර උනාලු.
(මේවා ඉතිං දුම්රියේ ජනශ්‍රැතිය තමා)
          කොහොමින් කොහොම හරි, මේ එන්ජින් වලට ඒ කාලේ මැදිරි 14ක් තිබ්බ බදුලු මේල් එක තනියම අදින්න පුළුවන් කියන රෙකමදාරුව රම්පාල මහත්තයට ලැබිල තියනවා. ඒත් ටොන් 18 මැදිරි අයින් වෙලා 20 මැදිරි එනකොට ඒවායින් 14 නම් අදින්න හරිම අමාරු වෙලා තියනවා. රියදුරු මහත්තුරු බෑ කිව්වම, “ උඹලට බැරි නම් හිටපං මම ඇදල පෙන්නන්න” කියල රම්පාල මහත්තයත් කෝච්චිය එලවන්න ගියාම බැරිලු. වීල් ස්ලිප් වෙන්න ගත්තලු (සාමාන්‍යයෙන් ද්‍රවශක්ති එන්ජිමක වීල් ස්ලිප් වෙන්නේ හරිම කලාතුරකින්). පස්සේ මේ මනුස්සයට පොළොවේ පස් කන්න තරම් අප්සට් ලු. ඒ පාර මේල් එක පෙට්ටි 12ට අඩු කරාලු. එතකොට පෙට්ටි මදි.. දැන් මොකක් කොරන්නද කියල, අනේ ඉතිං පරණ විදියටම, අපි පයිලට් කර යන්න යමු පුතේ කියල ඩබ්ලිව් 1 එකක් දුන්නලු මේල් එකට..
          කොහොමින් කොහොම හරි, මේ අස්සේ මේ එන්ජින් උඩරට මැණිකේ, පොඩි මැණිකේ වගේ උඩරටට එන ප්‍රධාන දුම්රිය සියල්ලම වැඩ කරන්න අරං තියනවා. ඒ අස්සේ, මේ එන්ජින් නිපදවපු Karl Marx Werks සමාගම මූල්‍ය අර්බුධයකට ලක් වෙලා බංකොලොත් වෙනවා.. මේ එන්ජින් හදන එකෙත් කතාවක් තියනවා. මුලින්ම ටෙන්ඩර් කෝල් කරපුවාම ජර්මනියෙන් එවපු සැලසුම් බලපු රම්පාල මහත්තය කිව්වලු, “ඔය ප්ලෑන් වලට හදපුව මෙහෙ දුවන්න බෑ, මෙන්න මේ විදියට හදනවා නම් හදන්න” කියල. එයාගේ සැලැස්මක් යැව්වලු. ඉතිං සමාගමෙන් ඒ සැලැස්ම බලල, “මේ විදියට හැදුවොත් අපි හදන්න හිටි 10 වෙනුවට ඒ ගානට 15ක් හදන්න පුළුවන්” කියල කිව්වලු. 
තනිකර ජර්මන් භාෂාවෙන් සටහන් වූ නිෂ්පාදකයාගේ විස්තර පුවරුව..
මේ එන්ජින් එකේ තොරතුරු සටහන් පරිවර්තනය කරලා තමා මම ජර්මන් ඉගෙනගත්තේ..
          පස්සේ ඉතිං හදලා, පලවෙනි එන්ජිම, (V150.001) එක ඒ සමාගමෙන් තියාගෙන, අනික්වා අංක 703 ඉඳන් 716ට අංක කරලා අපිට එවලා. දැන් වගේම ඉස්සරත් කමිෂන් එකක් දෙනවා නේ. ඉතිං සමාගමෙන් ඒක කිව්වම, රම්පාල මහත්තය කියල, “මට නම් සල්ලි එපා, පුළුවන් නම් අපේ රේල්ලුවේ නිලධාරීන්ට කාර් ටිකක් දෙන්න” කියල. මේ ගැන බොහොම පැහැදුණු ඒ සමාගම, රේල්ලුවට අලුත්ම බෙන්ස් කාර් ටිකක් දීල තියනවා. එයින් කිහිපයක් අදටත් ධාවනය වෙනවා! ඒ වගේම, අදටත් මෙම එන්ජිමට අදාළ පේටන්ට් බලපත්‍රය තියන්නේ ශ්‍රී ලංකා දුම්රිය සේවයට.. 
ලාංජනයක්..
          කොහොම හරි, මූල්‍ය අර්බුධයෙන් සමාගම වැහෙද්දී, එයාල තියාගත්ත එන්ජිමත් අංක 729 යටතේ අපේ රටට එනවා. හැබැයි 1971 වෙද්දී රම්පාල මහත්තයා විශ්‍රාම යනවා. එතනින් පස්සේ රටේ තත්වයත් අවුල් උනානේ. කැරලි දෙකක් අහු උනා, එවගේදී හානි වෙච්ච දෙයක් තමා මේ ඩබ්ලිව් පන්තියේ එන්ජින්. මේවගේ යාන්ත්‍රණ අවුල් කිරීමේ ඉඳන්, සමහර වෙලාවට යකඩ කුඩු සම්ප්‍රේෂණ පද්ධති වලට දැමීම දක්වා මේ කඩාකප්පල් ක්‍රියාවන් දුරදිග ගොස් තිබෙනවා.
          ඔය අතරවාරයේදී, වටවලදී මේ එන්ජින් දෙකක් (W2- 714/716)  මුහුණට මුහුණ හැප්පෙනවා. ඒ, බදුල්ල බලා යන තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට එන දුම්රියයි. පහලට එන දුම්රිය රියදුරු මහතාට ඇති වූ හදිසි අසනීපයක් සහ මෙම එන්ජිමේ  DVR (Drivers Vigilance Relay) ක්‍රියාකාරීත්වය අවුල් වීම නිසා ඇති වූ දෝෂයක් මෙයට හේතු වෙනවා. මේ සිදු වීම වෙන්නේ 1974 වසරේ.
          සමාගමේ පිහිටත් නැති නිසා, සහ මේ එන්ජින් වලට ආවේණික වෙච්ච තවත් යාන්ත්‍රික දෝෂ කිහිපයක් නිසාත්, එක දිගට සේවා කාලයන් ඉකුත් වී තිබියදී උඩරට ධාවනය නිසාත්, අධික ගෙවීම් සහ දෝෂ නිසා මේවා එකින් එක සේවයෙන් ඉවත් වෙනවා. දුම්රිය සේවය කරන්නේ එහෙම අයින් වෙන එන්ජින් වලින් කෑලි අරගෙන හොඳට තියන ඒවා දුවනවා. මේකට කියන්නේ “Cannibalisation” කියල. 
අංක 704 එන්ජිම අවසාන කාලයේ (සෙයාරූ හිමිකරු නොදනී.. ෆේස්බුක් අඩවියේ පළකර තිබුණු සේයාරුවකි)
තව දෙයක්- මේ එන්ජින් වල තියනවා තිරිංග පද්ධතිය ක්‍රියා කරවන පටි එලවුම් (Belt drives) කිහිපයක්. මේවට එන බෙල්ට් ලංකාවේ හදන්න හැදුවම ඒක අසාර්ථක උනා. ඒ වගේම, මේ එන්ජින් වල තියන ගියර් පෙට්ටියට දාන තෙල් එකේ නියම උකු ගතිය (දුස්‍රාවීතාවය-  viscosity) එන විදියට මෙහෙ අපිට හදාගන්න බැරි උනා..  මේ වැඩ නිසා, 2010 වෙනකොට ඉතුරු වෙන්නේ මේවයින් එන්ජින් දෙකයි. ඒ, අංක 704 සහ 715. වර්ෂ 2011 වෙද්දී මේ දෙකත් ධාවනයෙන් ඉවත් වන්නේ, දුම්රිය සේවයේ එක යුගයක නිමාවක් සනිටුහන් කරමින්. 
අංක 704 එන්ජිම අවසාන කාලයේ තනි ධාවනයක (Light locomotive) යෙදෙමින්..
          හැබැයි, 2012 වසර ලබනවත් එක්ක, ලැබෙන ආරංචි වලින් කියවුනේ, දුම්රිය දෙපාර්තමේන්තුවෙන්, ආපහු ඩබ්ලිව් 2 එන්ජින් කිහිපයක් හදන්න යන බවක්.. ඉතිං, ද්‍රවශක්ති එන්ජින් වලට බොහොම කැමති කෙනෙක් හැටියට, මමත් ආසාවෙන් බලං හිටියා කවදද ඩබ්ලිව් 2 එන්ජිමකින් අදින කෝච්චියකින් නුවර යන්න ලැබෙන්නේ කියල. ගෙලිඔයේ ඉඳන් මහනුවරට යනකොට අහු වෙනවා එක තැනක් එතන පාරෙන් එහා පැත්තේ කීල්ස් සුපර් එකක් තියනවා. ඉස්සරහ තනිකර වීදුරු. මම ඔතනින් යද්දී ඔකේ පේන W3 (W1 වලට අලුතෙන් එන්ජින් තියල හදපු එන්ජින්) එක දිහා බලං හිතනවා ළඟදීම ඔතනින් W2 එකක් දිහාත් ඔහොම බලන්න පුළුවන් වෙයි නේද කියල...
          හැබැයි, මේ දවස අවුරුද්දෙන් අවුරුද්ද කල් ගියා. මේක හදන්න ගන්නවා, ආය මොකක් හරි ප්‍රශ්නයක් ඇවිල්ල නවතිනවා.. ආය හදන්න ගන්නවා, ආය නවතිනවා.. ඔහොම ඔහොම ගිහින්, මේකටම කියල අලුතෙන් Paxman Valenta V12  එන්ජින් දෙකකුත් ආවා. ඒකත් බර්මියුඩා ත්‍රිකෝනෙට වැටුනා වගේ, අතුරුදන් වෙලා ගියා. ඊටපස්සේ මේ ගැන ආරංචියක් හම්බුනේ, 2015 අග! මෙන්න මේක හදලා එලියට දාලා!! 
බලසපැයුම් එන්ජිම (ඩීසල් මෝටරය) - Paxman Valenta
          දැන් ඉතිං මට මේක බලන්න යනකල් ඉවසිල්ලක් නෑ.. කොහොම හරි, එක දවසක් මට ෆේස්බුක් එකේ මිත්‍රයෙක් එක්ක ද්‍රවශක්ති ධාවනාගාරයට යන්න ලැබෙනවා. ඔන්න ඔතනදි, මට හම්බවෙනවා අලුත් හදවතක් එක්ක ධාවනයට සූදානමින් ඉන්න  W2a- 715!  
කඩුගන්නාව තරණය කර.. මෙම දුම්රිය පසුපසින් තල්ලු කිරීමකින් තොරවම කඩුගන්නාව තරණය කළා..
සේයාරු හිමිකම- කසුන් මුණසිංහ.
          ඊටත් ටික දවසකට පස්සේ, මෙයා පරණ උනත් වැඩ එහෙමමයි කියන්න වගේ, රුමේනියන් මැදිරි 9ක් (ටොන් 250ක්) එක්ක කඩුගන්නාව තනිවම තරණය කරමින් කන්ද උඩරට ට නැවත සැපත් වෙනවා! එදා ඒ අවස්තාව බලාගන්න මටත් වාසනාව තිබුනා.. ඊට පහුවෙනිදම, ටිකිරි මැණිකේ අරගෙන මෙයා නාවලපිටියට නැවතත් ගොඩවදිනවා.. 
නැවත පණ ලබා මහනුවරට පැමිණි පළමු පරීක්ෂණ ධාවනය අතරතුර..
          715 එන්ජිමේ සාර්ථකත්වයත් එක්කම, 704 එන්ජිමත් ඉක්මනින් නැවත පණ ලබනවා.. මේ වෙනකොට, නොයෙක් දුම්රිය සමග මේ එන්ජින් දෙක නැවතත් සාර්ථකව උඩරට ධාවනයේ යෙදෙනවා.. ඒ, ලංකාවේ සෑම මාර්ගයකම ධාවනය කල හැකි දුම්රිය එන්ජිම වශයෙන් W3 පන්තිය හිමිකරගෙන සිටි තත්වයට අභියෝග කරමින්..
          බොහොමයක් පැරණි රියදුරු මහත්වරුන් මෙම එන්ජින් ගැන ලොකු පැහැදීමකින් කතා කරනවා. මේ එන්ජින් නැවත ආපු එක ගැන එයාලට සතුටයි. ජර්මනියේ මේ එන්ජින් නිපදවූ සමාගම වැසී ගොස් දැනට දශක හතරකට වැඩියි.. නමුත්, දුම්රිය සේවයේ නිලධාරීන් ඇතුළු සියලු දෙනාගේ කැපවීමට සහ සේවයට ස්තුති වන්නට, මෙම එන්ජින් ලංකාවේ අදටත් ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙනවා!! ඒ, Old is gold නම් කියමනේ සත්‍යතාවය මනාව තහවුරු කරමින්..
විශේෂ ස්තුතිය-

විශ්‍රාමික දිස්ත්‍රික් පරීක්ෂක- තිබ්බොටුමුනුව මහතා,
පුත්තලම ධාවනාගාර ෆෝමන්- නිලුපුල් වික්‍රමගේ මහතා,
ද්‍රවශක්ති ධාවනාගාරය භාර- තෙන්නකෝන් මහතා,
දුම්රිය රියදුරු- රොඩ්රිගෝ සහ සෙනෙවිරත්න මහත්වරුන්,
රුඩි හොඩ්සන් මහතා, ගෙහාන් චන්දික, අකිල ආරියප්පෙරුම, සහන් ජයසූරිය, තුර්ය ඔවිටිපාන, කසුන් මුණසිංහ ඇතුළු මිතුරන් සැමට.. 











18 comments:

  1. නියමයි මල්ලි. තව එක්කෙනෙක් හැදෙන ආරංචියක් තියෙනවනේ බාපොරොත්තු තියන් ඉමු. එයත් ඉක්මනටම හැදෙයි.

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම කැමතියි තවත් මෙයින් එකක් හරි හැදෙනවා නම්..

      Delete
  2. W2 විතරක් නෙවෙයි M6 එකේ පේටන්ට් අයිතිය තියෙන්නෙත් ලංකා දුම්රිය දෙපාර්ථමේන්තුව සතුව.
    මම නම් බලාගෙන ඉන්නේ M2 එංජින් දෙකක් එක්ක තැපැල් දුම්රිය ආයේ බදුලු එනකම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත. W1, W2, M6 ඔක්කොම තියන්නේ අපිට. M2 දුවනවා මමත් එක පාරයි දැකල තියන්නේ එකම කෝච්චියේ..

      Delete
  3. ඇති යන්තං පොස්ට් එක දාලා :D

    ReplyDelete
    Replies
    1. දැන් නින්ද යයි නේ.. :P

      Delete
    2. අනිවා අනිවා :D

      Delete
  4. ඉස්සර යාල්දේවි ඇද්දෙත් ඕ්කක් නේද

    ReplyDelete
    Replies
    1. මේවා ගෙනාවේ නම් උඩරට මාර්ගයට. ඒත් සමහරවිට යාල්දේවි එකත් එහෙන් මෙහෙන් වැඩ කරන්න ඇති.. මොකද යාල්දේවි එකට දිව්වෙම M2, M4 සහ M6. ඉස්සරම කාලේ M1.

      Delete
  5. Would be great to have an English Translation.

    ReplyDelete
    Replies
    1. Will translate and send you the script for sure..

      Delete
  6. මල්ලි කාලෙකින් කෝච්චි විස්තර ගොඩක් අරගෙන ඇවිත්.

    ReplyDelete
    Replies
    1. කාලෙකින් ලියන්න වෙලාවක් හම්බුනා අක්කා..

      Delete
  7. නියමයි. මේ වගේ ඇංජිමක් තියෙන එකකට තමයි ලැජ්ජ නැතුව කෝච්චියක් කියල කියන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත අයියා..

      Delete
  8. අද තමයි දැනගත්තේ කෝච්චි එන්ජින් සම්බන්ධ පේටන්ට් අයිතියක් අපට තියනවා කියලා. අපිට බැරිද කෑලි ගෙනල්ල එන්ජින් මෙහෙදී එකලස් කරලා විකුනන්න ඒ පේටන්ට් අයිතිය යටතේ.

    ReplyDelete
    Replies
    1. අප්පෝ පුලුවන්. විකුණන එක කෙසේ වෙතත් අපිට හදාගන්නත් පුලුවන්. ඒත් කවුද ඉතිං කරන්නේ...?

      Delete
  9. මල්ලී, ලංකාවෙ හදන්න බැරි කමක් නැහැ. දැන් එම් 1, එම්2, එම්4 තිබුනට එම්3 කියලා එකක් ගැන කිය වෙන්නේ නෑනේ. ඒක තමයි ලංකාවේ 1956 දිද කොහෙද හැදුවා කියන "ජයන්ති" එන්ජිමේ කේත අංකය කියලා කවුදෝ දවසක් මට කිව්ව. කතාව ඇත්ත නම් අපේ රටේ ඇන්ජිමක් හදලා තියෙනවා! ඔය රම්පාල මහත්තයාගේ ගේ තිබුනේ මම දන්න තරමින් කොට්ටාවත් පන්නිපිටියත් අතර තියෙන පැට්‍රොල් ශෙඩ් එක ලඟ. (මොරවක මෙඩිටෝ කොම්පැනිය ලඟ) ඔය මහත්තයාගේ සහෝදරයා තමයි ඩී බී නිහාල්සිංහ හෙවත් ශ්‍රී ලංකාවේ ප්‍රතම සිනමාස්කෝප් චිත්‍ර පටිය -වැලිකතර හදපු අධියුරු තුමා. මුන්නැහැගෙ තාත්තා තමයි ඩී බී ධනපාල - ලංකාදීප පුවත් පතේ මුල් කතු තුමා. රම්පාල මහත්තයා එකම කාලේ දුම් රිය දෙපාර්තමේන්තුවේ වගේම ඉන්ජිනේරු සංස්ථාවේ මුල් පුටුවේ ඉන්දලා තියෙනවා. හැබැයි පඩි අරන් තියෙන්නේ දුම් රියෙන් විතරයි. අනෙක ගරු සේවයක්. (මේ වගේම මහත්තයෙක් හිටිය වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ ඩබ්ලිව් එච් පෙරෙරා කියලා එයාට කවුරුත් කිව්වේ "කෑලෑ රජ්ජුරුවෝ" කියලා. එයාම තමයි ඒකාලේ දැව සංස්ථාවේත් ප්‍රධානියා. එයත් කලේ ගරුසේවයක් !) ඉතින් දවසක් ඉංජිනේරු සංස්ථාවේ රැසවීමකදී සභාවෙන් යෝජනාවක් ඇවිල්ලා තියෙනවා " දුම් රිය දෙපාර්තමේන්තුවට අයිති ඉඩමක් ඉන්ජිනේරු සංස්ථාවේ ප්‍රයෝජනයට ලබාගැනීමක් පිලිබඳව!" එතුමා මූලාසනයේ ඉඳලා කියලා තියෙනවා එහෙම ඉල්ලීමක් තියෙනවානම් ඒක දුම් රිය් දෙපාර්තමෙන්තුවෙ අ ප්‍රධානියා වෙත ලිඛිතව යොමු කරණ මෙන්! වැඩේ ඒ විදියටම කෙරුනාට පසුව පසුදිනෙක දුම් රිය දෙපාර්තමේන්තුවේ තම කන්තෝරු කාමරයට ගියපසු එමලිපියට පිලිතුරක් ලෙස ; ඉන්ජිනේරු සංස්ථාවේ සභාපතිට ලිපියක් ලිව්වේලු. "සභාපති තුමනි, ඔබගේ ඉල්ලීම ඉටුකිරීමට නොහැකිවීම ගැන කණ්ගාටුවෙමි..........................." යනුවෙන්. මා දන්න තරමින් දුම් රියෙන් ලාභ ලභා ඇත්තේ එතුමන් ගේ කාලයේදී පමනි. නිහාල්සිංහ ආනදියයෙක් වන අතර රම්පාල මහතා කීර්තිමත් නාලන්දියයකු වේ.

    තට්ට්යා

    ReplyDelete