මැයි මාසේ ලිව්වට පස්සේ බ්ලොග් එක ලියන්න
උනේ නෑ කාරණා කිහිපයක් නිසා. එකක් තමා මම
දැන් ඉස්කෝලේ උගන්නන්න යනවා. ඒ නිසා කොහෙවත් යන්නවත් අලුතෙන් මුකුත් බලන්න වත්
හම්බුනේ නෑ. අනික් එක මේ ටිකේ එක එක එක්සෑම් පෝලිමක් සෙට් උනා.
කොහොමින් කොහොම හරි, මාස තුනක් ආපහු ඉස්කෝලේ
ගිහිල්ල හෙම්බත් වෙලා ඉද්දි (මොකද දැන් යන්නේ ඉගෙනගන්න නෙවේ නේ), මගේ මිත්‍රයෙක්
කතා කරලා කියනව මෙන්න මෙහෙම-
“මම 19 වෙනිදා නිවාඩු එනවා. කොහේ හරි යමුද..?”
මේ ඇවිල්ලා අශාන් විජේකෝන්. මටත් කොහේ හරි යන්න තමා උවමනා වෙලා තිබ්බේ. ඉතිං, මමත් හැරෙන තැපෑලෙන් උත්තරයක් යැව්වා -
“හරි. සෙනසුරාදා අපි රොසැල්ලේ ගිහිං එමු..”
කියල.
“මම 19 වෙනිදා නිවාඩු එනවා. කොහේ හරි යමුද..?”
මේ ඇවිල්ලා අශාන් විජේකෝන්. මටත් කොහේ හරි යන්න තමා උවමනා වෙලා තිබ්බේ. ඉතිං, මමත් හැරෙන තැපෑලෙන් උත්තරයක් යැව්වා -
“හරි. සෙනසුරාදා අපි රොසැල්ලේ ගිහිං එමු..”
කියල.
ඔන්න ඉතිං ඕකෙන් ගමන තීන්දු උනා. මද වැහි ගතියක්
තිබ්බත්, සෙනසුරාදා පොඩි මැණිකේ දුම්රියේ රොසැල්ලට ගිහිං , ආපහු එන පොඩි මැණිකේ
එක්කම ආපහු යන්න තමා කල්පනා කරේ.
ඔන් ද වේ.. |
මමත් ඉතිං ගෙලිඔයෙන් බිස්කට් එකක් එහෙම අරං,
ස්ටේෂන් එකට ගිහිං, ඇහුවා පොඩ්ඩි කොහොමද කියල. පොඩ්ඩක් පරක්කුයි කියපු නිසා,
දුම්රිය සේවයේ ඉන්න මගේ හිතවත් ජනක අයියට කතා කරලා ඇහුවා රොසැල්ලේ මොනාද බලන්න
තියන්නේ, කවුද දැන් ඉන්නේ කියල. එයා බලන්න ඕනේ ටික කියල, එහෙ දුම්රිය
ස්ථානාධිපතිතුමා දැනුවත් කරන්නත් පියවර අරං තිබුනා. ඒ ගැන ඔහුට ගොඩාක් පිං!!
අශාන්, සහන් සහ මමතුමා.. |
කොහොමින් කොහොම හරි, පොඩි මැණිකේ ෆුට් බෝඩ් එකකට
වෙලා අපි දෙන්නා කයියක් දාගෙන ගියා. මගදී සහන් ජයසූරිය මලයත් බදුල්ලේද කොහෙද යන
ගමන් ඇවිත් කතා කරලා ගියා.
මෙතන තමා 1973දී ගැරට් එකක් ගිනි ගත්තේ.. |
කොහොමින් කොහොම හරි, පොඩි ප්‍රමාදයක් එක්ක අපි
රොසැල්ලෙන් බැස්සා. එතනින් හම්බුනා අපිට පහලට යන උඩරට මැණිකේ. ඒ දෙන්නගේ මාරුවත්
බලල, වේදිකාව පැත්තට යනකොට දුම්රිය ස්ථානාධිපතිතුමා අපිට කතා කළා.
ඉහලට යන පොඩි මැණිකේ සහ පහලට යන උඩරට මැණිකේ.. |
බලද්දී ඒත් දන්න අඳුරන කෙනෙක්. ඉතිං මෙයා අපේ
විස්තර එහෙම අහලා, සංඥා කුටිය බලන්න එක්ක ගියා. එතැනදී මේ කුඩා, එහෙත් විශේෂ
දුම්රිය ස්ථානයේ මෙහෙයුම් කටයුතු ගැන දැනගන්න ලැබුනා.
රොසැල්ල කියන්නේ විශේෂිත දුම්රිය ස්ථානයක් කියල
මම බදුලු ටුවර් එකේදිත් කිව්වා. එකක් තමා මේ දුම්රිය ස්ථානයට එන්න තියන්නේ දම්වැල්
පහේ වංගු දෙකක් පහු කරගෙන. මේ දෙක තියන්නේ S අකුරේ
හැඩේට. මේකට අපි කියන්නේ Rozelle
S Curve කියලා.
මෙතැනදී කන්ද තරණය කිරීම සහ වංගුව ගැනීම එක විටම සිදු වෙනවා.
ගූගල් එකේ මේ S curve එක පෙන්නන්නේ මෙන්න මෙහෙමයි.. |
මේ දෙවෙනි වංගුව අරං ඉවර උන ගමන්ම, පාෂ මාර්ගයට
(Loop line) දුම්රිය යොමු කිරීමේ පයින්ටු (Points) හමු වෙනවා. වංගුවක පයින්ටුව පිහිටි එකම දුම්රිය
ස්ථානය මෙය විය හැකි බව තමයි දුම්රිය ස්ථානයෙන් දැනගන්න ලැබුනේ. ඒ වගේම, ඉහල සිට
(හැටන් සිට) එන දුම්රියක් අවශ්‍ය වේලාවකදී පීලි පැන්නවීමට අවශ්‍ය පයින්ටුවකුත් ( Catch point) මෙහි තිබෙනවා.
කාලයක් මේ දුම්රිය ස්ථානය අසල සිදු වුනු නාය
යාමක් නිසා, ඉහලට එන දුම්රියක් පාෂ මාර්ගයට ඇතුලත් කර ගැනීම තහනම් කොට තිබුනා. ඒ
කාලේ ඔය දෙවෙනි වංගුව දම්වැල් හතර හමාරක අරයක් එන විදියට හැදුවා. පස්සේ 1990 දශකයේ
නැවතත් එම වංගුව සාමාන්‍ය ප්‍රමාණයට ගෙන තිබෙනවා.
රොසැල්ල දුම්රිය ස්ථානයේ තියන තවත් විශේෂතාවයක්
තමයි Train Indicator
Bars කියල
කියන්නේ. මෙම උපක්‍රමය මීට අමතරව දකින්න තියන්නේ පලුගස්වැව, බෝලවත්ත දුම්රිය ස්ථාන
වල පමණයි. මෙයින් කෙරෙන්නේ, එක් මාර්ගයකට (උදා- ප්‍රධාන මාර්ගයට) දුම්රියක් හරවා
මෙම Indicator bar එක එසවූ පසු, එය මත දුම්රිය පවතින විට, කිසිඳු
හේතුවක් මත නැවත සංඥා ආපසු හැරවීම හෝ තවත් දුම්රියකට එම මාර්ගයට ඒමට සංඥා නිකුත්
කල නොහැකි සේ අගුලු දැමීමයි. මෙය ආරක්‍ෂිත උපක්‍රමයක් ලෙස භාවිතා වන්නක්. සැමෆෝ
සංඥා සමග මෙම Indicator
bars ඒකාබද්ධ
කර තිබෙනවා.
රොසැල්ල දුම්රිය ස්ථානය.. දකුණු පීල්ලට සමාන්තරව ගමන් කරන්නේ Train Indicator Bar ඒකයි.. |
රොසැල්ල දුම්රිය ස්ථානයේ සංඥා කුටියේ ලීවර 11ක්
තිබෙනවා. මෙම එක් එක් ලීවරයේ ක්‍රියාකාරීත්වය අප හට පැහැදිලි කල සංඥා ක්‍රියාකරු -
සරත් සිල්වා මහතා, මෙම ඉපැරණි සංඥා පද්ධතිය ක්‍රියා විරහිත වීම් හෝ වෙනත් ආපදා
දක්වන්නේ ඉතාමත් කලාතුරකින් බවත් අප හට පැහැදිලි කළා.
සංඥා කුටිය. මෙතන එක එක පාටින් තියන ලීවර් වලට එක එක තේරුම් තියනවා. රතු- සංඥා අත්. කළු- පයින්ටු. නිල්- අගුලු. සුදු- අමතර ලීවර්. |
සංඥා කුටියේ වැඩ කටයුතු ඉවර වී, අප දුම්රිය ස්ථාන
පරිශ්‍රය නැරඹීමට ගියා. දැඩි අවු රශ්මියෙන් තොර දිනයක් වූ එදින, තරමක් සිසිල් ස්වභාවයක්
ගත්තා.
මේ තමා අර විදුලි බලාගාරයට ජලය සපයන දිය පහර..මේක ගත්තේ S වංගුවේ ඉඳන්.. |
මෙම දුම්රිය ස්ථානයට මෑතක් වන තුරුම බලය සැපයුනේ ඒ අසල පිහිටි බිංඔය නමැති
කුඩා ජල පහරෙන් බලය ලැබූ කුඩා විදුලි බලාගාරයකින්. අද වනවිට ක්‍රියා විරහිත තත්වයේ
පවතින මෙම බලාගාරය වෙත ලඟා වීම ඉතා අපහසු බව පෙනුණු බැවින්, අසලටම ගොස් අප එය
අත්හැර දැම්මා.
බලාගාරය බලන්න තේ වත්තක් හරහා යන්න උනා.. |
නැවතත් දුම්රිය මාර්ගයට පිවිසුනු අප, දුම්රිය
ස්ථානාධිපති මහතා විසින් අසල වූ තේ කඩයක් වෙත කැඳවාගෙන ගියා. එතනින් නම නොදන්නා
කෑමක් සමග උණුසුම් තේ කෝප්පයක් ලැබුනා. ඒ තේ කෝප්පය මම ජීවිතේට රස බලපු රසම තේ
කෝප්ප වලින් එකක්. තේ බොන අතරේ පොඩි කතාවකට වැටුණු අපිට දැනගන්නේ ලැබුනේ, ආසන්නම
මහා මාර්ගයට කිලෝමීටර් තුනක්- තුන හමාරක් පමණ ඇති බවත්, ඒ අසලින් වැටී තිබුණු
මාර්ගයක කුඩා බස් සේවාවක් වැඩ කරන බවයි.
තේ බොන ගමන්.. |
තේ සංග්‍රහයෙන් පස්සේ, අපි ආපහු දුම්රිය ස්ථානයට
ගියා. මේ දුම්රිය ස්ථානය සෑහෙන්න පැරණි දුම්රිය ස්ථානයක්. මේකේ ඉහල තට්ටුවේ
තියන්නේ දුම්රිය ස්ථානාධිපති නිල නිවාසය. මේක ලෑලි වලින් හදපු එකක්. අපි ඒකත්
බලන්න ගියා. එතනට ගියාම නම් හරියට 1900 මුල් ගණන් වල ගෙදරකට ආපු බවක් දැනුනා.
S වංගුවට පෙනෙන දුම්රිය ස්ථානය.. |
ඊළඟට අපි ගියේ S curve එක
පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න. වංගු දෙක දිගේ පහලට ඇවිදගෙන යද්දී එක්කෙනෙක් මගේ ලේ
පයින්ට් භාගයක් විතර නැති වෙන්නත් වැඩක් කරා. සෙරෙප්පුවේ එහෙම ගන්න දෙයක් නෑ ලේ
එකයි..
ඉහලට යන උඩරට මැණිකේ S වංගුව පසු කරන ගමන්.. |
ඔය වංගුව හරියේදී උඩරට මැණිකේ හම්බුනා. එයා
වංගුවෙන් එන හැටිත් බලලා, අපි ආපහු එන්න පිටත් උනා. ළඟ තිබ්බ වතුර පාරකින් ලේ
හෝදගෙන, ආපහු ස්ටේෂන් එකට ආවා. ඒ ඇවිත් ටිකක් වෙලා කතා කරකර ඉද්දි, අපිට ආපහු යන්න
තියන පොඩි මැණිකේ දුම්රිය හැටන් වලින් ආවයි කියල දුම්රිය ස්ථානාධිපති තුමා දැනුම්
දුන්නා. ඉතිං අපි ටිකට් එහෙම අරගෙන, හැමෝටම ස්තුතියි කියල ආපහු එන්න නැග්ගා.
දුම්රිය ස්ථානාධිපති- හබරකඩ මහතා, අශාන් සහ මම තුමා.. |
එන ගමන් ඉතිං ෆුට් බෝඩ් තමයි. මම අරං ගියපු
බිස්කට් එකත් බෙදාගෙන කාලා, පරණ ඔපාදූපයි, කෝච්චි විස්තරයි අනංමනං ඔක්කොමයි කතා කර
කර හෙමින් හෙමින් ආපහු ආවා..
කෙටි ඒත් සාර්ථක, රසවත්, විනෝදජනක ගමනකින් පස්සේ
මම ගෙලිඔයෙන් බැහැල ආපහු ගෙදර ආවා. ඇවිත් මේ සටහන ලියන්න තව විස්තර හොයද්දී, මම
කලිනුත් සඳහන් කරපු තිබ්බොටුමුනුව මහත්තයා කිව්වා මෙන්න මෙහෙම කතාවක්.
“ඉස්සර (1940 දශකයේ) ඔය ස්ටේෂන් එකේ නම ඉංග්‍රීසියෙන්
ගහල තිබ්බේ “Rozelle” කියලා.
ඒ යටිං, සිංහලෙන් “බිංඔය” කියලා ගහල තිබ්බා. මේ කාලේ ස්ටේෂන් බෝඩ් වල උඩින්ම ගහල
තිබ්බේ ඉංග්‍රීසි නම.”
මේ රොසැල්ල කියන නම අපි එහෙම කිව්වට, අදටත්
ස්ටේෂන් එකේ ගහල තියන්නේ “Rozelle” කියලා. මම හිතන විදියට, මේ නම තියන තේ වත්තක් මේ
කිට්ටුව තියෙන්න ඇති. මොකද ඔය වගේ තේ වතු ආශ්‍රය කරගෙන නම් වැටුන සෑහෙන දුම්රිය
ස්ථාන ගානක් අපේ ප්‍රධාන මාර්ගයේ තියනවා.
ඒ වගේම, මේ පැත්ත හරිම නිස්කලංකයි. තවමත් නොඉඳුල්
පරිසරයක ගතිය, ලස්සන තියනවා. මේ පැත්තේ ඇවිදින්න යනවා නම්, පා සටහන් හැරෙන්න වෙන
කිසිම දෙයක් දමා නොඑන ලෙස කාරුණික ඉල්ලීමක් කරනවා. මේ අලංකාර සම්පත් මේ විදියටම
ඉදිරි පරම්පරා වලට දායාද කරන එක අපේ වගකීමක්..
හුදෙකලා රොසැල්ල දුම්රිය ස්ථානය... |
ඔටෝ පබ්ලිෂ් දුන්නා නම් ඕක හරියනවා
ReplyDeleteනානුඔය පටු දුම්රිය මාර්ගය දිගේ යන්න ආසාවක් තියෙනවා. වෙලාවක යමුද ඒ ලයින් එකේ
ඒක දෙවෙනි සැරේ කරලා බැලුවා. හරි ගියේ නෑ. ඒ පෝස්ට් එක කොහෙවත් සේව් වෙලත් නෑ.
Deleteයන්න බලමු වෙලාවක.
ගමනට එක්නොවිමට නොහැකි වීම ගැන බවලත් කණගාටුව
ReplyDeleteඑක් නොවීමට නොහැකි වීම?
Deleteකාලෙකට පස්සේ වැදගත් තොරතුරු ටිකක් එක්ක අප හමුවට පැමිණියාට ස්තූතියි. ජයවේවා.
ReplyDeleteකාලෙකින් කියන්නේ මාස තුනකින් විතර.. කට්ටිය මේක තවම බලනවා කියන එකත් සතුටක්!
Deleteඑල එල සුපිරියට ලියල තියෙනව (y)
ReplyDeleteතැන්ක්ස් වේවා! පවර් ප්ලාන්ට් එකත් බලාගෙන එන්න තිබ්බ නම් නේද..
Deleteගොඩක් සතුටුයි :- ඔබ ගුරුවරයකු බවට පත්වීම. සැබෑ ගුරුවරයකු වන්නට, 1970 දශකයේ ගුරුවරයකුව සිටි, මගේ ආශිර්වාදය පිරිනමනවා.
ReplyDeleteසතුටුයි :- ආයෙත් ලියන්න පටන්ගැනීම.
වඩා හොඳයි :- එක වරම ලොකු පින්තූර බ්ලොත් ලිපියට ඇතුළු කළානම්. බොහොම ටික දෙනයි පින්තූර ටික වෙනම අරගෙන බලන්නේ.
තරහයි :- දුම්රිය සංඥා ගැන නොලිව්ව එකට.
ශාස්ත්‍රයක් කියමි :- ඔබේ ලැප්ටොප් එකේ Action Center එකෙන් දී තිබෙන පණිවිඩය කියවන්න. එය ඉක්මනින් නිවැරදි කරගන්න. ලිපිය ලියන වෙලාවේ සිග්නල් මදි වගේ පෙනෙනවා.
උදව්වක් :- ස්ක්‍රීන් ෂොට් එක එඩිට් කරලා, පින්තූරයේ අවශ්‍ය කොටස් ටික විතරක් දැමීම තමයි සුදුසු. ඒ සඳහා නොමිලේ ලබාගතහැකි මෙන්න මේ මෘදුකාංගය බාගන්න. බොහොම පුංචි, සරල, නමුත්, වැඩ ගොඩක් කරන්න පුළුවන් එකක්.
http://www.photoscape.org/ps/main/index.php
එක වරම ලොකු පින්තූර ලිපියට ඇතුල් කරන එක හොඳ වැඩක් ලෙස මම නොසිතමි. සමහර බ්ලොග් රෝල් පිස්සු කෙලීමට එය හේතුවක් විය හැක.
Deleteගුරුවරයෙක් වෙන්න ලැබීම ගැන මටත් ඉතාම සතුටුයි.. ස්තුතියි ඒ ගැන සතුට පළ කලාට!
Deleteපළවෙනි පාර පොස්ට් එක ලියද්දි ෆොටෝ ටික ලොකුවට තමා දැම්මේ. මීට වඩා දැම්මත් එක්ක. ඒත් ඒකට වෙච්ච දෙයක් නෑ.
දුම්රිය සංඥා ගැන අනිවාර්යයෙන් ලියනවා. හැකි ඉක්මනින්ම.
ලියන වෙලාවේ සිග්නල් කියන්නේ, අපේ පැත්තේ කොහොමත් ඉන්ටර්නෙට් ස්පීඩ් 60kbps වලින් පහල!
ස්ක්‍රීන් ෂොට් එක එඩිට් කරන්න අමතක උනා. ඒ ගැන මතක් කිරීමට ස්තුතියි!!
මම ලියන ලිපිවලට පින්තූර ගොඩක් දානවා. නමුත් කවදාවත් මට කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැහැ. බ්ලොගර් එකේ එන ලෙඩක් තියනවා සමහර වෙලාවට ඔය පබ්ලිෂ් නොවීම. එතන ඔප්ෂන් එකක් එනවා dismiss කියලා. ඒක ඔබලා නැවත පබ්ලිෂ් කරන්න.
Deleteමුලින්ම අලුත් රස්සාවට සුබ පැතුම් !
ReplyDeleteහදිස්සියෙ ගියා උනත් ලස්සන ගමන් විස්තරයක් තියෙන්නෙ.
අර නම නොදන්න කෑමෙ පින්තූරයක් දැම්මනං අපිටත් බලාගන්න තිබ්බ මොනාද කියල ඒ.
ස්තුතියි සුභ පැතුමට!
Deleteනම නොදන්න කෑම කොච්චර රහද කියනවා නම් ඒකෙ ෆොටෝ ගන්න අමතකම උනා..
එහෙනං උඹ දැන් අපූරු ගුරුවරයෙක්
ReplyDeleteඑහෙම වෙන්න හිතං ඉන්නවා ඉතිං..
DeleteWhat?
ReplyDeleteකාලෙකට පස්සෙ ඔන්න මමත් ආව මේ පැත්තේ. පෝස්ට් එක කියෙවුවා .සුබපැතුම්
ReplyDeleteකාලෙකින් මේ පැත්තේ දැක්කේ..
Deleteමම කෝච්චි ලෝලියෙක් බව අඟහරුව දන්නවනේ. ඉතින් බොහොම කෑදර කමින් කියෙව්වා. අර පීල්ල ලඟින් ගත්ත පින්තූරයක් දැම්මනම් train indicator bar එක වඩා හොඳින් බලාගන්න තිබ්බා.
ReplyDeleteඅඟහරු මොන විෂයයද උගන්වන්නෙ?
පෝස්ට් ලියනකොට නෝට් පෑඩ් එකක ලියලා පස්සෙ අලවන එක තමයි මම කරන්නෙ. එතකොට ආයෙ ලියන්න වෙන්නෙ නෑ.
පීල්ල ලඟින් ගත්ත එකක්. එක හෙලවිලා. :(
Deleteමම බුද්ධාගම උගන්නන්නේ මේ වාරේ නම්.
අර බදුලු ටුවර් එක ලියද්දි නම් එහෙම තමා කලේ. එත් මේක එහෙම කරන්න බැරි උනා. අන්තිම පාරට ලියද්දි නම් වර්ඩ් ෆයිල් එකක ගහල කොපි- පේස්ට් කළා.
අද තමයි නිදහසේ මේ පොස්ට් එක බලන්න වුණේ. සැහෙන්න දැනුමක් එකතු කර ගත්තා මේ පොස්ට් එකෙන්. හරිම සිත් ඇදගන්න විස්තරයක්.
ReplyDeleteඅද තමා ඔන්න මේ පැත්තට එන්න ලැබුනේ. දැනුමට යමක් ගත්තා නම් සතුටුයි!
Deleteකෝ බන් උබ ලියපන්කො
ReplyDeleteSir ? Is this your blog ?
ReplyDelete