Sunday, September 30, 2018

ඉන්ටර්සිටි සන්නිය..


සිකුරාදා වැඩ කිහිපයක්ම දමාගෙන කොලොම්පුරය වෙත ඇදුනෙමි. උදෑසන නගරාන්තර දුම්රියෙන් ගොස්, උදෑසන දුම්රිය මූලස්ථානයට ගොඩ වැදී එතැන කටයුතු සියල්ල ඉටුකරගතිමි. ඒ පිලිබඳ මෙතන සඳහනක් නොකරමි. 


පහලට ගිය නගරාන්තර දුම්රිය..

දවල් පොත් ප්‍රදර්ශනයට ද ගියෙමි. මිනිසුන් සූ ගා සිටියද පොත් ගන්න නම් එතරමට නැත. බහුතරයක් ඇවිදීමට ද, කොටසක් පෙම් කෙලීමට ද, කොටසක් නූඩ්ල්ස් කෑමට ද ආදී වශයෙන් පැමිණ, නිස්කාරනේ එම තැන හිර කොට තිබෙනු දුටිමි. කෙසේ හෝ, අවැසි පොත් ටිකක් ගෙන, මරදාන හරහා කොළඹ කොටුවට සේන්දු වුනෙමි. 


බුක් ෆෙයා..


කීමට ආ කතාව පටන් ගන්නේ මෙතනින්ය.
මේ සතියේ මුල පටන්ම දුම්රිය අක්‍රීය වීම් ගැන ද, ඒවා දුම්රිය සේවයේ හා භාහිර පුද්ගලයින්ගේ සහයෙන් අලුත්වැඩියා කරගෙන ගිය අයුරු ද අසන්නට ලැබුණි. මේ අතර, බ්‍රහස්පතින්දා රාත්‍රී 7.45ට ගෙලිඔය පසු කර යා යුතු දුම්රිය රාත්‍රී 9.20 තෙක් ප්‍රමාද වීම ද, සිතේ තරමක දෙගිඩියාවක් ඇති නොකලාම නොවේ. 


කොළඹ කොටුවට එන මහනුවර නගරාන්තර සීග්‍රඝාමී දුම්රිය..

කෙසේ හෝ, සිකුරාදා හවස 3 වන විටත් නගරාන්තර දුම්රිය කොටුවේ නොවීය. එය කොටුවට ආවේ 3.15ට පමණ ය. එන්ජින් අංකය M6 පංතියේ 797 ය. මෙම එන්ජිම පිලිබඳ ව ද මා සතුව ඇත්තේ එතරම් සුභදායී අත්දැකීම් නොවේ. කෙසේ හෝ, නියමිත වෙලාවට ම නගරාන්තර දුම්රිය මහනුවර බලා පිටත් වුනි.


කොළඹින් පිටත්වීමට සූදානම්ව..

දුම්රිය ස්ථානයේ දී, මා හඳුනන අයියා කෙනෙක් හමු විය. ඔහු මා දුටු පමණින්ම කීවේ, “මල්ලි මේක මේ ටිකේ ම කැඩුන ඈ..” කියා ය. එය අද දිනයේත් එසේ ම වේ යයි සිතන්නට මට කාරණයක් නොවූ බැවින්, අසුනට බර වී සිංදුවක් අසමින් පැමිණියෙමි. 


කෙසේ හෝ, වෙනදා පුරුදු ගමන් විලාශයෙන් වෙනස් වූ, තරමක් මන්දගාමී වේගයක් ඇය පෙන්නුම් කළා ය. එය ගණනකට නොගත් මම, වටපිට බලමින් පැමිණියෙමි. කෙසේ හෝ මේ අයුරින් හීන්දෙනිය- පට්ටිගොඩ ආදිය පසු කර, කීනවෙල අසලට එන විට දුම්රියේ වේගය හොඳටම අඩු වී, මාර්ග සංඥාවක් අසලම නැවතුණි. 


මග හිට්ටෝ...

සංඥා නැතිව දුම්රිය නතර වීම සාමාන්‍යය දෙයකි. එහෙත් මා නොසන්සුන් කලේ මෙම නැවතුමේ දීර්ඝතාවයයි. හෙඩ්සෙට් එක ගලවා කන් යොමා සිටිත්දී, ඩීසල් මෝටරය රේස් වෙනු ඇසුනෙන් ටික වෙලාවකින් මා දුම්රියේ එන්ජිම දෙසට ගියෙමි.


මෙවේලෙහි පොද වැස්සක් පැවතුනි. කුඩයක් ද ගෙන තවත් දෙතුන් දෙනෙක් සමග එන්ජිම වෙත ආ අපට, තාක්ෂණ ශිල්පීන් කිහිප දෙනෙක් සමග රියදුරු මහතා සහ සහායක තැන එන්ජිම ගොඩ ගැනීමට උත්සාහ කරනු පෙනුනි. එක් වරක් එන්ජිම අදින්නට උත්සාහ කරන විට, අන්තිම රෝද කට්ටලය ලිස්සීමට (Wheel slip) ලක් විය.


මා එන්ජිමේ රියදුරු මහතාට කතා කොට, ඒ බව දන්වා, වැලි ටිකක් දමා ඇදීමට යෝජනා කලත්, ඔහු සඳහන් කලේ ගැටළුව එය නොවන බව ය. එතැන සිටි කාලය තුල ඔහු දෙමටගොඩ ධාවනාගාරය අමතා එතනින් ලද උපදෙස් අනුව සියල්ල ක්‍රියාත්මක කළේය. නමුත් සියල්ල ගඟට කැපූ ඉණි මෙන් විය. අවසානයේ අප යෝජනා කරේ, එන්ජිම සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත කර බලන ලෙස ය. එතැන සිටි කාර්ය මණ්ඩලය ද ඒ සමග එකඟ වූ බැවින්, ඔවුන් එය කිරීමට සූදානම් වෙත්දී, අප බැස මැදිරිය වෙත ආවේ, ඒ වන විටත් වර්ෂාවක් ඇද හැලෙමින් පැවති බැවින් ය.


මේ වනවිට මගීන් තරමක් නොසන්සුන් වී සිටියේ, කලින් දින ද මෙය මග නතර වී තිබුණු බැවිනුත්, පැයක් පමණ එක තැන සිටිය ද, කිසිඳු සහයක් නොපැමිණි බැවිනුත් ය. මා දුම්රිය පාලක මැදිරිය සම්බන්ධ කරගැනීමට උත්සාහ කලත්, එය කල නොහැකි විය.


ඔන්න ඔය අතර, එතැන සිටි මගීන් පිරිසක් ගොස් එන්ජිම වට කර, නියාමකවරයා සහ රියදුරු මහතාට බැනවදින අයුරු ද, කෝලාහලයකට සැරසෙමින් සිටිනු ද, මැදිරියේ සිටි අපට දක්නට ලැබුණි. පහල මාර්ගය සම්පූර්ණයෙන් දැන් අවහිර ය.


වලියක් වලියක්..

ඔය අහු අස්සේ 4.35ට කොළඹ කොටුවෙන් පිටත්ව මහනුවර බලා ධාවනය වන සෙංකඩගල මැණිකේ දුම්රිය පහල මාර්ගය ඔස්සේ නගරාන්තරය පසු කර යන්නට ආවාය. එනමුත් පහල මාර්ගයේ සිටි පිරිසක් එය නැවත්වීමට සංඥා කොට එය නතර කරගත්හ.


පසුකර යන්නට ආ සෙංකඩගල මැණිකේ දුම්රිය මග නතර කරගත් අවස්තාව.

දැන් මෙතැන මත දෙකකි. බහුතරය හැකි පමණින් සෙංකඩගල මැණිකේ නැගී එයට යාමට ඉඩ දිය යුතු යයි කියා, එයට නැගුණි. නමුත්, සිය පොරත්වය පෙන්වීමට අවැසි වූ, දුම්රිය ධාවනය ගැන හෝ, තමන්ගේ කරුමයක් වෙන මිනිසුන් පිටින් යැවීම පිලිබඳ අබමල් රේණුවක තරම් තැකීමක් නොමැති කිහිප දෙනෙක්, තමන්ට මහත් අසාධාරණයක් වූ බව කියමින් දුම්රිය මාර්ගය අවහිර කළහ.


කතා කොට නොහැකි වූ තැන, අප ඇසුවේ “දැන් පාරවල් දෙකම බ්ලොක් කරාම ප්‍රශ්නය විසඳෙනවා ද” යනුවෙනි. එයට දුන් පිළිතුර හමුවේ ඔවුන්ගේ තාර්කික බුද්ධිය පිලිබඳ ඇති වූ ගෞරවය නිසාම, එතනින් එහාට කිසිත් කතා නොකර, අප ගොස් සෙංකඩගල මැණිකේ දුම්රියේ එල්ලුනෙමු.


තවත් ස්වල්ප වෙලාවකින්, නගරාන්තර දුම්රියේ පසු පසින් M10 පංතියේ එන්ජිමක් පැමිණ නතර විය. ඒ අතර, සෙංකඩගල මැණිකේ දුම්රියේ පැමිණි මගීන් 100කට අධික සංඛ්‍යාවක් ගොස්, මාර්ගය අවහිර කරමින් සිටි කිහිප දෙනා බලය යොදා ඉවත් කළහ. අවසානයේ නගරාන්තර දුම්රියේ ඉතිරි වී සිටි මගීන්ගේ දැඩි හූ හඬ මැද සෙංකඩගල මැණිකේ ඉදිරියට ගියා ය. ඒ හූ හඬ නිකුත් වූයේ, සෙංකඩගල මැණිකේ දුම්රිය ට ද, නොඑසේ නම් සමස්ථ දුම්රිය සේවයට ද යන්න මා තවමත් කල්පනා කරමි.


පසුපසින් පැමිණි M10 පන්තියේ එන්ජිමෙන් නගරාන්තර දුම්රිය තල්ලු කිරීමට සූදානම් වීම.

සියලු සිද්ධි අවසානයේ, සෙංකඩගල මැණිකේ දුම්රිය රාත්‍රී 8.30 වන විට පේරාදෙණියට ලඟා විය. ඇද හැලෙමින් පැවති ධාරානිපාත වර්ෂාව මැදින් මා 9 වන විට නිවසට පැමිණියෙමි. රුපියල් 280කට ලොව වෙන කිසිම තැනකින් නොලැබිය හැකි “ආතල්” එකක් අපේ රේල්ලුව අපිට සැපයූ බව එතැන සිටි බොහෝ දෙනෙක් උපහාසයෙන් පැවසුවත්, දුම්රිය යනු පාරේ යන බස් එකක් මෙන් යයි සිතා සිටින මිනිසුන් සිටිනා තාක් කල්, මේවා මේ අයුරින්ම සිදු වනු ඇත.


මෙහිදී කාර්යය මණ්ඩලයට එල්ල වූ ප්‍රධානතම චෝදනාව නම්, පෙරදින ද මග නතර වී තිබියදී, ඔවුන් එන්ජිම රැගෙන ආවේ කිසිඳු පරීක්ෂාවකින් තොරව වන බවයි. එසේ ම, ක්‍රියා විරහිත වූ මොහොතේ ද, කාර්යය මණ්ඩලයට දඬුවම් දීම හෝ වෙනත් දුම්රිය ප්‍රමාද කිරීම, මා නම් අනුමත නොකරමි.


දුම්රිය සේවයේ අඩුපාඩු ඇත. විශේෂයෙන්, මගීන් සමග කටයුතු කිරීමට නොදන්නා නිලධාරීන් මෙන්ම සේවකයින් ද මා දැක ඇත්තෙමි. එහෙත්, නගරාන්තර දුම්රියේ ප්‍රවේශපත්‍ර සෑහෙන ගණන් මිලදී ගෙන, ඒවා නැවත විකුණමින් ආදායම් උපයන මගීන් ද, තමන්ට වූ අසාධාරණයකට සමාජයකින්ම පළි ගැනීමේ මානසිකත්වයකින් පෙලෙන මගීන් ද, මා දැක ඇත්තෙමි. එදා දුම්රිය මූලස්ථානයේ දී මිනිසුන්ගේ ආකල්ප පිලිබඳ කතා බහක් ඇති විය. මෙතනදීත් මට සිහි වූයේ, ආකල්ප අතින් අප රට බොහෝ පසුපසින් සිටින බව මිස, වෙන කිසිවක් නොවේ ය..

12 comments:

  1. දුම්රිය සේවයේ පොඩි පොඩි අඩුපාඩු නැති උන දවසට වඩාත් කාර්යක්ෂම සේවයක් දුම්රිය දෙපාර්තමේන්තුව සපයයි කියලා බලාපොරොත්තු වෙනවා

    ReplyDelete
    Replies
    1. අපිත් ඉතිං එහෙම බලාපොරොත්තු වෙනවා. පස්සේ මතක් වෙනවා මේක ලංකාව කියල.

      Delete
  2. 797 ගැන තියෙන අමිහිරි ඉතිහාසය මොකක්ද?

    ReplyDelete
    Replies
    1. ඒක වෙනම පෝස්ට් එකකින් කතා කරන්න වෙනවා..

      Delete
  3. Replies
    1. වැටට තැන්ක්යූ කිව්වා...

      Delete
  4. //තමන්ට වූ අසාධාරණයකට සමාජයකින්ම පළි ගැනීමේ මානසිකත්වයකින් පෙලෙන මගීන් //
    -මේ වගේ ගස් බල්ලෝ නම් කොහෙත් ඉන්නවා මලේ...

    -------
    ඉස්ටෝරිය නම් පට්ට ආතල්...

    ReplyDelete
    Replies
    1. අම්මෝ ඒ ආතල් එක උපරිමෙන්ම ගන්න එදා එතන ඉන්න තිබ්බේ..

      Delete
  5. ගන්න ටිකට් එකේ මුදලට හරියන්න ඔය වගේ ආතල් එකක් දෙන ල.දු.දෙ. ගැන සතුටුවෙයං මල්ලි. වෙන රටකනං පෙට්ටියෙ දොරවල් වහගෙන ගල් බිල්ලො වගේ බහින තැනට යනේකනෙ වෙන්නෙ. හැක්..

    ReplyDelete
    Replies
    1. සතුටුයි සතුටුයි. සතුට වැඩි කමට එදා මිනිස්සු තව පොඩ්ඩෙන් ගිනි කෙලි සංදර්ශනයක් පවත්වනවා රේල් පාරේ..

      Delete
  6. දැන් ලංකාවේ දේවල් සිද්ධ වෙන විදිහට රේල්වේ එක ඔහොම නොවුනොත් තමයි පුදුමේ, නමුත් දුම්රියට ආදරේ කරන කෙනෙක් විදියට මේවා දැක්කම ඇත්තටම දුකයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත අක්කා. දුම්රියට ආදරේ කරන කෙනෙක් විදියට දුම්රිය මේ යන ගමන ගැන මාර දුකයි..

      Delete