Sunday, January 5, 2020

පසු වූ වසරක සමාලෝචනය..


එහෙ බැලුවා- මෙහෙ බැලුවා- අවුරුද්දක් ඉවරයි..
2019.. මේ අවුරුද්දත් ගිය අවුරුද්ද වගේ ම තමා එක අතකට. එච්චර පෙරලි නම් උනේ නෑ තමා. ඒත් ඉතිං පාඩුවේ ගලාගෙන ගිය අවුරුද්දකුත් නෙවේ නේ.. මේ  අවුරුද්ද නම් එක අතකට ප්‍රමාද දෝෂයටම ඇරුන අවුරුද්දක් කියන්න පුළුවන්. ඇයි ඉතිං කරන්න පටන් ගත්ත හැම දේ ම වගේ පරක්කු උනා. රට අතින් ගත්තත් මගේ ජීවිතේ අතින් ගත්තත් ඒකෙ වෙනසක් තිබ්බේ නැහැ.
ෆේල් වෙච්ච නවීන තාක්ෂණික යුගයේ එන්ජිමක් අවුරුදු 50 පැනපු වාෂ්ප දොඹකරයකින් උස්සලා රෝද මාරු කරනවා බලන්නත් පුළුවන් උනා.. 
මුලදී නම් අවුරුද්දේ කිසි අමුත්තක් තිබ්බේ නැහැ. 


මේ කස්ටියත් එක්ක ගල්බොඩ- නාවලපිටිය රවුමක් ගහන්නත් සෙට් උනා..
සාමාන්‍යය විදියට පටන් අරගෙන ගියා. ඉස්කෝලේ 6 වසරේ පන්තියක් හම්බුනා, මධ්‍යයම අංශයේ විෂයය වලින් නිදහස් කරා, එතකොට බිග් මැච් රාජකාරි, ස්පෝට්ස් මීට් එක, එතනින් එහාට ගිහාම කැම්පස් එකේ එක්සෑම් සහ අසයින්මන්ට්.... 


6 වසරේ පන්තිය එක්ක එයාෆෝස් මියුසියම් එකටත් යාගත්තා..
ආ මෙන්න මෙතනින් තමා අවුරුද්ද පීලි පනින්න පටන්ගත්තේ. 

මේ පාර අපේ යකඩ යකා ගෘප් එකේ ගෙට් එකක් තිබ්බ නේ. මම ඉතිං ඕකෙත් වැඩ ටිකක් කළා. ඒ ගැන කලින් අප්‍රේල් පෝස්ට් එකේ කිව්වා නේ. ඉතිං ඔය අහු අස්සටම ඉස්කෝලේ පිරිත සෙට් උනා. එදාටම තමා අසන්යින්මන්ට් දෙන්නත් තිබ්බේ කැම්පස් එකේ. අනේ මම පෙන් එකට සේව් කරලා එදා ඉස්කෝලේ රූම් එක අස් කරා. ඒ අතරවාරේ පෙන් එක රහත් වෙලා!
ශෝක් ඉතිං. ආපහු මුල සිට සරලව ටයිප් කරලා රැයක් ඇහැරලා හදලා ගිහිං දුන්නා අසයින්මන්ට් ටික. ඒ කරලා ඉතිං පිරිතටත් ඉඳලා, රෑ පැය දෙකක් වගේ රෙස්ට් එකක් අරගෙන ගෙට් එකටත් ගිහිං ආවා. 


ඉස්කෝලේ පිරිත..



යකඩ යකා ගෙට් එක- සේයාරුව- කවිඳු හසංක පෙරේරා.

සිංහල විවාද සංසඳය.. මේකෙත් නායකයා නැතුව තමා මේ අවුරුද්ද අදින්න උනේ.මනුස්සයා ජපන්ගත උනානේ..


ඊට පස්සේ ඉතිං අප්‍රේල්. ස්ටාෆ් ට්‍රිප් එකක් ගියා, ඒකෙ භාගයක් වගේ වැස්ස අනුභව කරා.  නිවාඩුවේ හැමදාම යන කොළඹ ගමන නම් යාගන්න බැරි උනා. හැබැයි අපි සෙට් එකක් ගියා නානුඔය- රාගල පුංචි කෝච්චි පාර හොයාගෙන නම්. ඒක ගියේ අප්‍රේල් 18 වෙනිදා. මේ පාර ටිකක් මාසේ එහෙ මෙහෙ වෙලා වගේ තිබ්බ නිසා, අපිට දහම් පාසලේ අවුරුදු උත්සවය තියාගන්න බැරි උනා අප්‍රේල් නිවාඩුවට කලින්. 


වැස්ස අනුභව කල ස්ටාෆ් ට්‍රිප් එක..

එකත් 27ට වගේ ප්ලෑන් කරලා, මම ඉතිං බැලුවා කොළඹ එහෙම රවුමක් දාල එන්නම් කියල. 23 වෙනිදා වගේ යන්න ටිකට් බුක් කරන්න යන්න හිතාගෙන 21 දහම් පාසැල් ගියා. අනේ අපොයි එදා තමා අර )(#&)*&@+  බෝම්බ ගැහුවේ.
ඉතිං වැඩ ඔක්කොම කණපිට හැරුනා. ඒ වෙද්දී තිබ්බ කාපාලු හිපාටු (ප්+) ආණ්ඩුව ඒක හරිම ලස්සන විදියට කළමනාකරණය කළා. සමාජ මාධ්‍යය වහලා එහෙම.. අපේ ඉස්කෝලේ ක්‍රිස්තියානි ඉස්කෝලයක් වෙන නිසාත්, තවත් ප්‍රහාර එල්ල වීමේ අවධානම නිසාත්, මැයි වගේ වෙනකල් ම ඉස්කෝල පටන්ගන්න එක කල් ගියා.
එහෙම වෙලත් හැබැයි, ළමයි ආවේ බොහොම බයෙන් වගේම ඉතාම අල්ප වශයෙන්. ඒ සතියම ඉගැන්නුවට වඩා ලයිබ්‍රරියේ හිටි එක තමා කලේ. උදේ සෙකියුරිටි සර්විස් එකට හෙල්ප් එකක් විදියට ඉස්කෝල පරීක්ෂා කරන්නත් ගියා. කෝච්චියේ එහෙම සූ ගාල සෙනග හිටියා. 


ෆුට් සයිකලේ මෝටර් සයිකලයක් කරපු කස්ටිය..

දෙවෙනි වාරේ ඔය මේ හේතු නිසාම ඉතාම නිශ්ශබ්ද ඒ වගේම කෙටි වාරයක් විදියට ගෙවිලා ගියා. ඔය වාරේ කරපු ප්‍රධානම වැඩේ තමා අර කලින් පෝස්ට් එකේ කියපු ඉස්කෝලේ මෝටර් කාර්මික ශිල්පය හදාරණ අයට පොඩි වර්ක්ෂොප් එකක් දාලා දීලා, ඒකෙ අර මෝටර් සයිකල් එක හදපු එක. වැස්සයි අනංමනං එක්කයි වැඩි දෙයක් කරන්න උනේ නෑ. ඒ වාරේ පත්තු උනේ වාර විභාග වල උත්තර පත්‍ර බලන්න ගත්තම. ඇයි යකෝ පළාත් පේපර්ස් නියමෙට හදලා, ඒවල මාකින් ස්කීම් ඊටත් වඩා ලෙසටම හදල එවල තිබ්බා. ඒ ගැන වැඩි යමක් කතා නොකර ඉන්නම්.. 


ජලරොකට් තරඟයක් සඳහා මොරටුව විශ්වවිද්‍යාලය වෙත..මෙතෙන්දි අපිට සෑහෙන උදව් කරපු මගේ පාසැල් මිතුරු රාජිත කටුගහ ඇතුළු හැමෝටම ගොඩක් පිං!

අගෝස්තු නිවාඩුව නම් කිසි අවුලක් නෑ. හැබැයි ඉතිං දහම් පාසැල් තරඟ වලට හිර උන නිසා ගෙදරම තමා ඉන්න උනේ. හැබැයි එහෙමයි කියල ගෙදරට වෙලා ම හිටියෙත් නෑ. ඔය මාසේ මැද අපේ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයේ විවාද කරපු මල්ලි කෙනෙක් තව යාලුවෙක් එක්ක ගියා නේ ෆුට් සයිකලේ රට හරහා. මමත් ඒ ගමනේ පොඩි කොටසකට එකතු උනා.

 

බයිසිකල් ටුවර් එක..
           

ආ ඒ වගේම, 2000 අවුරුද්දේ අම්මලත් එක්ක පෙරහැර බැලුවට පස්සේ, ආපහු නුවර ඉඳන්ම පෙරහැර බලන්න අවස්තාවක් හම්බුනා. ඒකටත් ආරාධනා කරේ මගෙන් ඉගෙනගත්ත දරුවෙක්. එදා ම උදේ කැම්පස් එකේ සෙට් එකක් එක්ක මහියංගනේ ගිහිං ඇවිල්ලා, කෙලින්ම එතනට ආවා. කොහොම හරි සෙනග ගොඩේ වලි කාලා, රේල් පාරක් දිගේ රන් එකකුත් තියලා, තාප්පෙකිනුයි වැටකිනුයිත් පැනලා, යන්තම් සන්තම් තැනට ලඟා වෙලා පෙරහැරත් බැලුවා. පහුවදා පාන්දර 126 එකේ (පැය දෙකක ප්‍රමාදයක් එක්ක) ගෙදරට ලඟා උනා ගැටළුවක් නැතුව. ඒ අවස්තාව හදල දුන්න අනුජ දරුවටත් ගොඩාක් පිං! 
මහියංගන චෛත්‍යය 

දළදා කරඬුව රැගත් හස්තියා..


ඒ අතරම, කාලෙක ඉඳන් යාගන්නම ඕනේ කියල හිතං හිටිය ගමනකුත් යාගන්න ලැබුනා. ඒ තමා නයිට් මේල් එකේ බදුලු යන එක. මහා වැසි අතරේ උනත් ඒ ගමනත් යාගත්තා ඉස්කෝලේ දරුවෙකුටත් පිං සිද්ධ වෙන්න.

නයිට් මේල් එකේ බදුලු ගමන..

ඒ ගිහිං ඇවිත් ඊළඟ දවසේ ගියා කොළඹ. ගියේ අංක 24 දරණ දුම්රියේ. එදා තමා 23/24 දුම්රිය දෙක HLS  ධාවනාගාරයෙන් නිල මට්ටමින් කරපු අන්තිම දවස. ඊට පස්සේ ඉඳන් RS එකට දීලා තිබ්බා. ඩබ්ලිව් පන්තියේ එන්ජින් එක දිගට ෆේල් වෙන්න ගත්ත එක තමා හේතු උනේ. ඒ හුවමාරුවත් එක්ක, 1969 ඉඳන් අවුරුදු 50ක් ක්‍රියාත්මක උන ද්‍රවශක්ති ධාවනාගාරයෙන් සිදු වූ සීග්‍රඝාමී දුම්රියේ අවසානයත් සනිටුහන් උනා. ඒ අන්තිම ගමනටත් මට සහභාගී වෙන්න ලැබුනා. 


1024 ඩබ්ලිව් ක්ලාස් එකක්එක්ක අවසාන ගමන..

ඒ නිවාඩුව එහෙම ගෙවුනම, අවුරුද්දේ කාර්යයබහුලම වාරේ පටන්ගත්තා. අර 21 ප්‍රහාරයෙන් පස්සේ නැවතිලා තිබ්බ අමතර වැඩ එකින් එක පටන්ගත්තා, හැබැයි ඊට පස්සේ ඔක්කොම එකක් පස්සේ එකක් එන්න ගත්තා. කැම්පස් එක්සෑම් වල ඉඳන් විවාද තරඟ, ඉස්කෝලේ උත්සව එහෙම එකක් පස්සේ එකක්.. 


කලම්බෝ බුක් ෆෙයා එකටත් යාගන්න ලැබුනා. මේ පාර ඵලදාව නම් අඩුයි..

අපේ ඉස්කෝලේ සිංහල සාහිත්‍යය සංගමයේ විවාද තරඟාවලිය, “වාග් ප්‍රතිභා” තරඟාවලියත් ලස්සනට සංවිධානය කරගන්න පුළුවන් උනා හැබැයි. ඒකට නම් මට වඩා ළමයි ටිකයි සිංහල අධ්‍යයනාංශය භාර රන්දෙනිය ටීචරුයි තමා මහන්සි උනේ. හිතුවටත් වඩා ඉස්කෝල ආවා. අන්තිමේ ඒකත් නතර උනේ මම එක්කෙනෙක්ට සුද්ධ සිංහල කියල දීලා! 

 

සිංහල සාහිත්‍යය සංගමය මගින් සංවිධානය කල වාග් ප්‍රතිභා තරඟාවලිය අතරතුර..

(පසුව එකතු කරන ලදී - මේ අස්සෙම වඩේ එකක් කන්න ගිහිං හක්කේ දතක් කඩල ගියා! මුන් මේවා කොන්ක්‍රීට් දාල හදනවද කොහෙද. ඒක කියපු ගමන් ඔය විවාද කණ්ඩායමේ දරුවෙක් මට ෆැකල්ටි එකේ ඩොක්ටර් කෙනෙක් අඳුන්වල දීලා ඒක ෆිල් කරලා දුන්නා. ඒ හැමෝටම පිං සිද්ධ වෙන්න තාම කට යහතින් තියනවා). 
ඔය අහු අස්සේ ඔන්න ස්ටාෆ් එකෙන් ආපහු ට්‍රිප් එකක් ගියා. කියන්න සන්තෝසයි මිත්‍රවරුනි ඒකෙත් භාගයක් වැස්ස අනුභව කරා! 



ඊළඟ ට්‍රිප් එක.. මේකේ නම් කන්දක් උඩට නැග්ගා.. පොඩි කාලේ රිටිගල නැග්ගට පස්සේ මෙහෙම එකක් ගියාම ද කොහෙද..




ඔක්තෝබර් මාසේ ලේ දෙන්නත් පුළුවන් උනා..

ඊට පස්සේ චීවර මාසය, එහෙමත් නැත්තම් කඨින පිංකම ආවා. ඒක නම් කරා හැබැයි ලස්සනට. මේ පාර ඒ දවස් වලට ම වගේ කැම්පස් එකේ වැඩ ටිකක් සෙට් වෙලා තිබ්බ නිසා වැඩිය යාගන්න උනේ නැහැ ඒ පැත්තේ. හැබැයි පෙරහැරට නම් ගියා. ඒ පෙරහැර ගැන නම් කියන්න තියන්නේ ඒකත් මේ කාලේ අනික් වැඩ වගේ ම තමා. රුවිතෙට ගියේ.
හැබැයි දවාලේ අපි පන්සලට යනකොට අපූරු වැඩක් කරලා තිබ්බා. ඒ තමා පරණ ක්‍රමයට සිවුරක් (චීවරයක්) පඬු පොවනවා! ඒක නම් සෑහෙන වටිනා වැඩක් බලනවා නම්. එදා ඒකත් බලාගත්තා. 


චීවරයක් පැරණි සාම්ප්‍රදායික ක්‍රමයට අනුව පඬු පොවා සකස් කිරීම.


ඒ වැඩ ඉවර වෙද්දී ආපහු එක්සෑම් වැඩ පටන්ගත්තා. පේපර්ස් හදන්නයි බලන්නයි ප්‍රැක්ටිකල් කරන්නයි අන්තිමේ සිලබස් කවර කරන්නයි. මේ පාර අවුරුද්දේ වැඩ කරන්න තිබ්බ කාලේ අඩු නිසා ද කොහෙද සුපුරුදු වේගෙන් ම ආවත් සිලබස් එක අන්තිම දවස වෙනකල් ම ඇදිලා ගියා. සමහර ශ්‍රේණි වල මට පුනරීක්ෂණ විදියට කරගන්න හැකි උනේ එක ප්‍රශ්න පත්‍රයක් විතරයි.. 


අරුප්පොල තාක්ෂණික විද්‍යාලය වෙත ගිය ගමන..

මේ පාර වාර විභාග වලට කලින්ම දහම් පාසැල් විභාග තිබ්බා. ඒක නම් මේ ඉලව් ජන්දේ නිසා වෙච්ච මගුලක්. හැබැයි ඉතිං දහම් පාසලේ මුල ඉඳන් මම ටිකක් වේගෙන් උගන්නගෙන ආව නිසා සිලබස් එක නම් ඉවර කරලා තිබ්බේ. පේපර්ස් ටික නම් ලොකු ගැටළුවක් නැහැ. 


දහම් පාසැල් පන්තිය- 10 ශ්‍රේණිය.

ඉස්කෝලේ වාර විභාග නම් ජන්දෙට කලින් කොහොමත් පටන්ගන්නවා මොකද 11 වසරේ අය ඉන්න නිසා. හැබැයි අපරාදේ කියන්න බෑ නොවැම්බර් 16 ජන්දේ තිබ්බට දවස් 4ක් නිවාඩු ආවා. පේපර්ස් ටික බලාගත්තා ඒ ටිකේ. නැත්තම් ලෝක අමාරුවක වැටෙන්න තිබ්බා. ජන්දේ ගැන නම් ඉතිං ලොකු දෙයක් කියන්නේ නෑ මෙතන. 


අත්තම්මාගේ සහ අත්තාගේ අවුරුද්දේ දානය..

පේපර්ස් ටික බලන අන්තිම දවස් දෙකේ ඉස්කෝලේ ස්විමිං මීට් එක තිබ්බා. එතන අනවුන්සින් සෙට් උන නිසා පේපර්ස් වලට ටිකක් බලපෑවා. කොහොම හරි අන්තිම විනාඩියේ ඉවර කරලා ලකුණු ටික දුන්නා. 


පේපර් මාකින්.. (පැපරාසි ෆොටෝ එකකි)

මේ සැරේ මම 2016 ඉඳන් වැඩ කරගෙන ආපු ළමයි ටික එන අවුරුද්දේ 10 වසරට යනවා. ඉතිං ඒ පන්තියේ ළමයි ටික එක්ක රෙජිස්ටර් හදලා රිපෝට් හදලා ඒ ටිකත් ඉවර කරා. බොහෝ විට ඒ පන්තිය මුණ ගැහෙන අන්තිම වතාව වෙන්න පුළුවන්.
නිවාඩු දෙන දවසේ ඉතිං ස්ටාෆ් ක්‍රිස්මස් ඩිනර් එක සුපුරුදු පරිදි පැවැත්වුනා. ඒකටත් හිටියා. මෙදා පාර නම් හැබැයි ගෙදර එන්න කාර් එකක් සෙට් උනා ගම්පොල ඉන්න සර් කෙනෙක්ගේ. ඒ නිසා බය නැතුව ඉවර වෙනකල් ඉන්න පුළුවන් උනා. 


තාප්ප වල චිත්‍ර අඳින්නත් සෙට් උනා..

දෙසැම්බර් නිවාඩුවේ වැහැපු නැති සති දෙකක් වගේ තමා තිබ්බේ. ඒ දෙකේ ඉතිං ඇවිද්දා. පොඩි මැණිකේ ආපහු බදුලු යන්න හම්බුනා. මේ පාර ගිහිං මම උගන්නපු දරුවෙක්ගේ ගෙදර රැයක් ඉඳලා පහුවදා ඒ පැත්තේ ටිකක් ඇවිදලා කරලා එන්න ලැබුනා.
ඊළඟට ඉතිං කොළඹ ගිහිං දුම්රිය කෞතුකාගාරය පැත්තේ තොරතුරු ටික බලලා, තව ආකයිව්ස් වල 2018 නවත්තපු වැඩ ටිකයි අනික් දේවලුයි කරලා එන්න හැකි උනා. ඉවර නම් කරන්න බෑ ඒක මේ යන විදියට. මේ අවුරුද්දේ වත් බලන්න ඕනේ එතනට වැඩි කාලයක් දෙන්න.
ඔහොම තමා ඉතිං මගේ ජීවිතේ නම් ගෙවුනේ. හරිම කාර්යය බහුල අවුරුද්දක් උනා කිව්වොත් නිවැරදියි. ඉස්කෝලේ නම් ඉතිං තිබ්බ විදියටම තියනවා කියන්න තමා තියන්නේ. මම මුලින්ම උගන්වන්න ආපු 11 වසරේ ළමයි ටික මේ පාර උසස් පෙළ ලිව්වා. ළමයි ඔක්කොම සමත් වෙලා තිබ්බා ප්‍රතිපල වල හැටියට නම්. ඒකෙ වැඩේ කියන්නේ මගේ 2014 රිසල්ට්ස් ආවෙත් දෙසැම්බර් 27 මයි.
එතනින් එහාට ගියාම ඉස්කෝලේ 2018 පටන්ගත්ත 3ට ඇරෙන කේස් එක කොහොම හරි කරලා 2.45 කරගන්න පුළුවන් උනා. වැඩිපුර වැඩක් කරන්න අකමැතියි නෙවේ, එත් කාලේ නිකම් අපරාදේ ගෙවන්නේ මොකටද.. අපිටත් වඩා ළමයි ඒ වැඩේ ට අකමැති බව කට්ටියගේ පැමිණීමෙන් පේන්න තිබ්බා.
ඒ වගේම, ඉස්කෝලේ 2017 වසරේ උපවිදුහල්පති විදියට පත් වෙලා ආපු ජේ. ඩී. විල්සන් සර් අගෝස්තු නිවාඩුව දෙනවත් එක්කම විශ්‍රාම ගියා. ඒ වගේම, අලුත්ම ආරංචියට අනුව මේ අවුරුද්දේ ජනවාරි 31 වෙනිදායින් අපේ විදුහල්පති, ඇන්ඩෘ ෆවුලර් වොට් මහත්තයත් අයින් වෙනවා කියල තමා කියන්නේ. ගිය අවුරුද්ද අවසන් වෙනකොට දැනගන්න තිබ්බේ නම් එයාට තව ඉස්සරහටත් සේවා දිගුවක් ලැබෙන බවක්.
රට ගැන කිව්වොත් නම්.... මුල් හරිය ගැන නම් කිසිවක් නොකියන තරමට හොඳයි වගේ.. මොකද ඉතිං කියන්න ගියොත් මතක් වෙන්නෙම සුද්ද සිංහල. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති තුමාගෙන් රට බලාපොරොත්තු වෙච්ච දේ ලැබුනේ නෑ වගේම, ඒ ආණ්ඩුවත් අන්තිමට රටට විහිලු සැපයුවාට වැඩි යමක් අවුරුද්ද තුල කරේ නෑ කියන ස්ථාවරයේ මම ඉන්නවා. අන්තිමට නොවැම්බර් 16 වෙනිදා ජනාධිපතිවරණයෙන්, ප්‍රධාන අපේක්ෂකයා (දෙදෙනා කියමුකෝ) සෑහෙන පරතරයකින් පරදවලා, දේශපාලනඥයෙක් නොවුණු, ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා.
ඒ ජන්දේ ගැන ටිකක් බැලුවොත්, රටේ සාමාන්‍ය ජනතාවට ආණ්ඩුව සමග කොයිතරම් නම් අප්‍රසාදයක් තිබ්බ ද කියන එක ලොකුවට පැහැදිලි උනයි කියන එක තමා අඟහරු අපේ අදහස. ඒ වගේම, ශ්‍රී ලංකාවට නැවත නොලැබෙන, අනගි අවස්තාවක් ලැබිල තියනවා රට හරි මාවතට අරගන්න. ඒක කොහොම පාවිච්චි වෙයි ද කියල අපි ඉතිං බලං ඉන්නවා. හැබැයි මේ මැතිවරණයේ ජනප්‍රියම චරිතය උනේ නම් ඒ කවුරුත් නෙවේ මහින්ද දේශප්‍රිය හෙවත් මැතිවරණ කොමසාරිස්තුමා කිව්වොත් ඒ තමයි ඇත්ත.
ඔය අහු අස්සේ, කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමාගේ සමුගැනීම, ඒ වගේම ඇමේසන් වනාන්තරය ගිනි (තැබීම) ගැනීම, වැසි සහ ගංවතුර අනතුරු හතර වටෙන්ම වාර්තා උනා. ගෝලීය උෂ්ණත්වයේ වෙනස් වීම සමග කාලගුණ වෙනස් වීම් දැන් දැන් අපිට දැනෙන්න පටන් අරගෙන.
අවුරුද්ද අවසානෙට අපිට බොහොම අපූරු තාරකා විද්‍යාත්මක සංසිද්ධියක් දැකගන්න ලැබුනා. ඒ තමා වලයාකාර සූර්යග්‍රහණයක්. මේක මම පොඩි ඇටවුමක් පාවිච්චි කරලා සේයාරූ ගත කළා ජංගම දුරකතනයෙන්. අවාසනාවට එකේ උපරිම අවස්ථාවේ මම උඩ බලං හිටිය මිසක් ෆොටෝ එකක් ගන්න සිහියක් තිබ්බේ නෑ. ඒක ඒ තරමට ලස්සනයි. දෙසැම්බර් 26 වෙනිදා තිබ්බ ඒක මම හිතන්නේ අපි ජීවිත කාලේ දකින අන්තිම වලයාකාර සූර්යග්‍රහණය.

 

සූර්යග්‍රහණය බලපු හැටි..
සන්ග්ලාස් දෙක පොඩ්ඩක් එහෙ මෙහෙ කරා- ෆෝන් එකට සූම් ලෙන්ස් එකක් හරියට මැනලා කරලා හයි කරා- සන්ග්ලාස් එක ඒක ඉස්සරහින් තිබ්බා.. උපරිම අවස්තාව නම් වතුරෙනුයි කන්නාඩියෙනුයි තමා බැලුවේ. වතුර එක අප්සට් ගියොත් කියල කන්නාඩිය තියල තිබ්බේ. ඔය තුන හතරෙන්ම බලාගත්තා නියමෙට ම..

නත්තල් ඉවරල පහුවදා, ඒ කියන්නේ ඔය සූර්යග්‍රහණය දවසේ මට අවුරුද්දේ කනගාටුදායක ම ආරංචිය අහන්න ලැබුනා. ඒ තමා නුවර එලිය පුංචි කෝච්චි පාරේ ඉතුරු වෙලා තිබ්බ දුම්රිය ස්ථාන තුනෙන් එකක් (නානුඔය-නුවරඑලිය-බෘක්සයිඩ්), ගිනි ගැනීමක් මගින් සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය එක. මේක ගිනි තැබීමක් බවට මගේ නම් කිසිම සැකයක් නෑ. මේවා කරන අයට නම් අනිවාර්යයෙන් දැඩි දඬුවම් දෙන්න ඕනේ. 


Brookeside දුම්රිය නැවතුම..

ඒ වගේම, පහුගිය අවුරුද්ද දුම්රිය සේවය දිව්වට වඩා වර්ජන වල හිටියේ. ඉතිං ගොඩක් වෙලාවට කෝච්චි සීසන් අරං බස් වලට ගෙවාගෙන යන්න උනා. හැබැයි අපේ ඉස්කෝලේ සර් කෙනෙක් මට ඒ දවස් වල ඉඳන් දිගටම සර්ගේ කාර් එකෙන් ගමන් පහසුව සැලැස්සුවා. ඒකට ඒ සර්ට ගොඩක් පිං! ඒ වැඩේ හින්දම අපේ ස්ටාෆ් එකෙන් ඒ කාර් එකට විදුලි මැණිකේ කියල අලුත් නමකුත් දුන්නා!
කොහොමින් කොහොම හරි, අවුරුද්දත් ඒ විදියට ඉවර උනා. මේ රිවීව් එක මම සාමාන්‍යයෙන් දාන්නේ දෙසැම්බර් 30 හෝ 31. ඒත් මේ පාර ඒ දවස් දෙකේ මම කොළඹ හිටියේ. 2020 අවුරුද්ද පටන්ගත්තේම උණක් හදාගෙන. ඒකෙන් දවස් දෙකක් ඇඳේ. ඊට පස්සේ කැම්පස් එකේ පොඩි වැඩ ටිකක් තිබුන නිසා, මේ පෝස්ට් එක දවස් පහක් කල් ගියා.
කමක් නැහැ, මේ අවුරුද්දේ නම් ලියන්න ගොඩක් දේවල් තියනවා. මාසෙට එකක් ගානේ වත් ලියලා ඒ ටික ලියන්න ඕනේ. උපාධි අනංමනං වැඩ ටිකත් මේ අවුරුද්දේ ඉවරකරගන්න ඕනේ. දහම් පාසැල ගිය අවුරුද්දෙන් නවත්තනවා කියල හිතුවට, මේ අවුරුද්දෙත් මුල් වාරෙට පන්තියක් හම්බුනා අද. ඉතිං ඕවා මේවා එක්කයි, රිසර්ච් එහෙම එක්කයි සෑහෙන වැඩ අධික අවුරුද්දක් වේවි.. 


මේ තමා ලංකාවට ආපු අලුත්ම පවර් සෙට් එක. S14. කලින් ආපු S12 එකේ සමාගමේම තමා. හැබැයි මේකේ ඒ සී තියනවා.. ටිකක් එන්ජින් පවර් එක එහෙම අඩු කරලා. මේක ලියවෙද්දී 971/972 සෙට් එක සර්විස් එකේ තියනවා. ඒකෙන් දෙනුවර මැණිකේ දුම්රිය (කලින් මහනුවර- කොළඹ කොටුව අතර ධාවනය වූ) කොළඹ කොටුව- බදුල්ල දක්වා දවසක් හැර දවසක් ධාවනය වෙනවා.. තව ඉතිං M11 කියල මළ හිපාටුවකුත් ආවා..දේවාලෙකට රෝද හයිකරලා වගේ..

කොහොමටත් මගේ මතකයේ හැටියට දශකයක් පටන්ගන්න අවුරුදු මට වැඩ අධිකයි. 2000 දශකය පටන්ගනිද්දී මම 2 වසරේ. ඉස්කෝලෙට හරියට හැඩගැහිලා ඒ වැඩ ටික අල්ලගන්නයි, අම්මා ගෙනත් දීපු පත්තර එහෙම කන්දරාවයි එයා කියල දීපු ඇඩ්වාන්ස් ගණන් එහෙම අල්ලගන්නයි ඒ කාලේ නැහුනා. 2010 තමා මම උසස් පෙළ පටන්ගත්තේ. මුලින්ම ගණිතය විෂයය ධාරාවෙන් පටන් අරගෙන, පස්සේ ජීව විද්‍යාවට මාරු උනා. ඒ එක්කම කම්පියුටර් හාඩ්වෙයා අනංමනං ඉගෙනගත්තා.. 2020ත් ඒ වගේම වේවි ඉතිං..
දැන් වයස 27ක් මේ අවුරුද්දට.. ඉතිං අපි වටේ අපිටත් වඩා අපි ගැන සැලකිලිමත් වෙන විවිධ පාර්ශවයන්ගෙන් විවිධාකාර යෝජනා අදහස් එනවා. හොඳ රස්සාවක් හොයාගන්නේ නැද්ද, ඔකේ පඩි මදි නැද්ද, රට යන්න, මාස්ටර්ස් කරන්නේ නැද්ද, දැන් කවුරුහරි හොයාගෙන ද, බඳින්නේ කවද්ද..... ඔය වගේ නානාප්‍රකාර දේවල්. මම ඉතිං ඒවාට හිනා වෙලා නිකම් ඉන්නවා. මගේ ජීවිතේ යන්නේ ඒකට ඕනේ වේගෙන්. මගේ භාෂාවෙන් කිව්වොත් මම ඒකට පුංචි කෝච්චිය වගේ යන්න දීලා තියන්නේ. අපිට දෙයක් ලබාගන්න නම් ඒකට කාලේ හරියනකල් ඉන්න ඕනේ.
ඉතිං, පහුගිය අවුරුද්දේ වැඩ සාර්ථක කරගන්න සෑහෙන දෙනෙක් උදව් කළා. සාමාන්‍යයෙන් මගේ ළඟ ආශ්‍රයේ ඉන්නේ යාලු මිත්‍රයෝ කීප දෙනයි. ඔය තූර්ය, ගෙහාන්, ලහිරු, ගයන්ත අයියල කට්ටිය, එතනින් එහාට ගිහාම අනුත්තරා අක්කා, අරෝෂා අක්කා සහ කණිෂ්ක, වාසනා අයියා ඇතුළු ඉස්කෝලේ ස්ටාෆ් එකේ සෙට් එක.. ඒ වගේම බදුලු ගමන් දෙක සාර්ථක කරගන්න උදව් කරපු නිලුපුල් වික්‍රමගේ අයියා, නලින් අබේරත්න මහත්මයා සහ ඒ වගේම ඉස්කෝලේ වැඩ වලට උදව් කරපු හසරංග, නදිල්, දුලිත්, ධනිත, ධනංජය ඇතුළු ගෝල පිරිසටත් අනික් අයටත් ස්තුතියක් නොකලොත් ඒක යුතුකමක් පැහැර හැරීමක් වෙනවා. ඉතිං ඒ හැමෝටමත්, ලියන කියවන ඔයාල හැමෝටමත්, ලැබුවා වූ 2020 දශකයත් අවුරුද්දත් සුභ වේවා කියල ප්‍රාර්ථනා කරන්න කැමතියි සටහනේ අවසානයට!

24 comments:

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා අගහරුවෝ.

    කොළඹ Railway meuseum එක දැන් open කරලාද තියෙන්නේ?

    මමත් ආවා නුවර, මාතලේ පැත්තේ නිවාඩුවට. චිත්‍ර ටික නම් ලස්සනට තියෙනවා හොදේ.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!
      මියුසියම් එක තවම ඕපන් කරලා නැහැ. ඒත් ඩබ්ලිව් 2 එකේ ෆොටෝ ටිකක් එහෙම එයාලට දීලා විස්තර ටිකක් දීලා එන්න ගියා. පුළුවන් සහයෝගයක් දෙන්න ඕනේ නේ ඒවාට.
      චිත්‍ර වැඩේ ට නම් මටත් ලොකුවට යමක් කරන්න උනේ නෑ එහෙං මෙහෙන් අඳින්න සෙට් උනාට. ඒත් වැඩේ ලස්සනයි තමා.

      Delete
  2. සුබ නව වසරක් වේවා මචං. ඇත්තට මෙහෙම අවුරුද්ද ගැන පසු විපරමක් ලියලා තියෙන එකනම් හොදයි වගේ තමා.

    ReplyDelete
    Replies
    1. එසේම වේවා!
      ඔව්. මම හැම අවුරුද්දෙම වගේ රිවීව් එකක් ලියනවා. පස්සෙන් පහු කියවද්දී මරු. අනික ඉතිං ඒ අවුරුද්දේ උනේ මොනවද කියල පොඩ්ඩක් රිෆර් කරන්නත් හැකි නේ.

      Delete
  3. අර ආරුක්කු පාළමේ පොටෝ එක නං සිරා බං...

    ReplyDelete
    Replies
    1. මේල් එක ගැන වෙනම පෝස්ට් එකක් එනවා. එකේදී තව ෆොටෝ දාන්නම්..

      Delete
  4. අර ගිණිගත්තෙ බෲක්සයිඩ්ද? අපරාදෙ ඇන්ටික් ස්පොට් එක...

    ReplyDelete
    Replies
    1. ගිනි ගත්තේ නෙවේ ගිනි තිබ්බේ.. ඔව් අපරාදේ තමා. ජාතික අපරාදයක්. ඉඩම් කේස් එකක් කියල තමා ආරංචිය. ඔය අපි ගිය දවසෙත් ෆොටෝ ගන්නවට වත් කැමති උනේ නෑ එතන හිටිය එකා.

      Delete
  5. මචං මාත් උඹට යෝජනාවක් කරන්නං... උපාධිය කරගෙන, SLAS ලියහං. උඹට ගැළපෙන ම ජොබ් එක.

    ReplyDelete
    Replies
    1. මටත් හිතිලා තියන්නේ ඒක නම්! ස්තුතියි! මම බලන්නම් ඒක!

      Delete
  6. අර ක්රේන් එකෙන් උස්සන්නෙ මේ මෑතක මරදානෙදි පීලි පැනපු එන්ජිමද?

    ReplyDelete
    Replies
    1. ආ නෑ නෑ. මේක මේ ගම්පොල දී ඇක්සල් හිර උන මැඩම් -9 වර්ගයේ එකක්. අරක තමා අලුත් දේවාලේ.

      Delete
  7. අගහරුවෝ,

    පුලුවන් නම්, ඊ මේල් එක දෙන්නකෝ වටින පින්තූර ටිකක් එවන්න කෝච්චි ගැන.

    ReplyDelete
    Replies
    1. subashdhanasekara@gmail.com
      එවන්නකො බලන්න.

      Delete
    2. එව්වා,

      කෝච්චි ටිකට් එකක පින්තූරයක්.

      බලන්නකෝ

      Delete
    3. වටිනා එඩ්මන්සන් ටිකට් පතක්. මෙය ඉතාමත් සුරැකිව ඔබ සතුව තබාගන්න. නුදුරේදීම එඩ්මන්සන් ක්‍රමයට සමු දීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය සූදානම්. එදාට මේවා මිල කල නොහැකි වේවි.

      Delete
    4. Return එක දැන් නෑ,

      අනිත් ඒවා තාමත් දෙනවා.

      කඩුගන්නාවේ platform එකත් ඒ වගේම පරණයි.

      Delete
    5. ඔබතුමා ෆේස්බුක් ඉන්නවා නම් මගේ ප්‍රොෆයිල් එකේ බලන්න මම ඒ විස්තර දාලා ඇති. කඩුගන්නාව ගැන එහෙම.

      Delete
  8. මනුස්ස ලෝකෙන් අයි මෙහාට ගොඩ වුණේ, බ්ලොග් වසන්තයෙන් දැකලා. හොඳයි, රහයි, අවුරුද්දකම ඒවා නිසා අනාගතයේදී කාට වුණත් පලදායී වේවි.

    දෙසැම්බරයේ අහම්බෙන් වෙනත් ගමනක් යද්දී Pra Jay, සිරිබිරිස් උන්නැහේ, නෙවිල් අනුරසිරි හිතවතුන් එක්ක කඩුගන්නාවේ දුම්රිය කෞතුකාගාරේට ගොඩවුණා. ගිහින් බලන්නම වටිනවා.... නියමෙට විස්තරත් කියලා දෙනවා.
    දුම්රිය මැදිරියක් ඇතුළෙම ඓතිහාසික තොරතුරු පෙන්වන වීඩියෝ දර්ශනයකුත්.... කාලෙකින් අපේ රජයේ ආයතනයක් ගැන සිත පහන් වුණා.

    ඇතුල්වීමේ ටිකට් පතත් කෝච්චි ටිකට් එකක්!

    ReplyDelete
    Replies
    1. මනුස්ස ලෝකෙන් පැමිණි ඔබතුමා සාදරයෙන් පිලිගන්නවා!
      කඩුගන්නාව ගැන නම් මගේ ලොකු සතුටක් නැහැ. එතන තියන දේවල් විනාස වෙන්න ඇරලා තියන්නේ. අර M1 ඩීසල් එන්ජින් එක නිකම් සුද්ද කරලා වත් නැහැ.
      අඩුම ගානේ විස්තර වත් කියල දෙනවා නම් වටිනවා.
      කොහොම හරි ඔය කෞතුකාගාරය ගැන මම කලින් පෝස්ට් එකක් දැම්මා 2014 වගේ. බලන්නකෝ..

      Delete
  9. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අඟහරු ... මේ ලියලා තියෙන විදිහ නම් හරිම සිත් ගන්නා සුළුයි. අළුත් අවුරුද්ද ත්‍රාසජනක වේවා කියලා සුභ පතනවා.🤭

    ReplyDelete
    Replies
    1. අඟහරු අඩවියට සාදරයෙන් පිලිගන්නවා!
      මේ අවුරුද්ද නම් ත්‍රාසජනක වේවි කියල මමත් හිතනවා!

      Delete
  10. අම්මෝ ඇති යන්තම් අන්තිමට අපේ නමුත් ලියලා 🥴🥴🥴

    ReplyDelete