Sunday, July 28, 2019

ෆුට් සයිකලෙන් මෝටර් සයිකලයක්..


මැයි මාසෙන් පස්සේ ඔන්න ආපහු පෝස්ට් එකක් අරං ආවා. ඇත්තටම මීට කලින් මොනාහරි ලියාගන්න උවමනාව තිබ්බත්, ලොකුවට ලියන්න කියල දෙයක් සෙට් උනේ නැහැ. ලොකු වැදගත් වැඩක් නැතුව නිසොල්මනේ ගෙවිල ගිය වාරයක් කියන්න පුළුවන්. රටේ ආරක්ෂක තත්ත්වෙත් එක්ක එච්චර අනංමනං කරගන්න හැකියාවක් තිබ්බෙත් නෑ ඉතිං.
කොහොමින් කොහොම හරි, නොකරයි කිව්වට මුකුත් නොකරේමත් නැහැ. ගිය වාරේ ඉඳන් අපේ ළමයි ටිකක් මට කිය කියා හිටිය අදහසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් උනා. ඒ ගැන තමා අද කොටලා දාන්න හිතං ආවේ.

ඔරිජිනල් ජපන් බයිසිකල් එකක්..
(සේයරූ අනුග්‍රහය-ත්‍රිත්ව විද්‍යාලයීය මාධ්‍ය ඒකකය)

මේ ළමයි ටික තමා අර මම කිහිප වතාවක් මේ බ්ලොග් එකේ සටහන් වලදී ලියපු 9I පන්තියේ ළමයි ටික. ඔය ළමයි ටික ඉතිං 6 වසරේ ඉඳන් මගේ එක්ක වැඩ කරලා තිබ්බ නිසා, ඕනේ දෙයක් ඇවිත් කියනවා. ඔතන හිටියා ජොෂුවා කියල දරුවෙක්. ඔය දරුවයි එයාගේ තව ලිනාල් කියල යාළුවෙකුයි ඇවිත් මගෙන් ඇහුවා
“සර්, ෆුට් සයිකල් එකකට එන්ජින් එකක් තියල මෝටර් බයික් එකක් හදන්න බැරි ද?” කියල.


2017දි අපි සෙට් එකක් ඕක කරන්න බැලුවා 10 වසරේ ළමයි ටිකක් එක්ක. ඒක හැබැයි සාර්ථක කරගන්න බැරි උනා. ඒ නිසා මම කිව්වා තියරිටිකලි නම් පුළුවන්, ප්‍රැක්ටිකලි අමාරුයි ටිකක්, ඒත් බලමු කිව්වා. පස්සේ ඒ දරුවා හොයාගෙන ආවා ඉන්ටර්නෙට් එකෙන් පොඩි එන්ජිමක්. ඒක තිබ්බොත් නම් කරගන්න පුළුවන් වෙයි කියල හිතුන නිසා ගණන් බලද්දී ඒ එන්ජිම ලංකාවට එද්දී සෑහෙන ගානක්! 

ඔය අහු අස්සේ මගෙන් 6 වසරේ ඉඳන් බුද්ධ ධර්මය ඉගෙනගන්න දරුවෙක් ඉන්නවා ධනිත කියල ඔය පන්තියේ ම. මේ දරුවා ඕනේ දේකට දක්ෂයි, නමුත් ඔය යාන්ත්‍රික කාර්මික පැත්තට වැඩිය නැහැ. අපිට දැන් ෆුට් සයිකලේකුත් එපැයි. අපි ටික ලයිබ්‍රරියට වෙලා මේ ගැන කතා කර කර ඉද්දි වෙන වැඩකට ඔතනට ඇවිත් හිටිය මේ දරුවා කිව්වා
“සර් අපේ ගෙදර පරණ බයිසිකලයක් තියනවා, ගැලපෙනවා නම් දෙන්නම්” කියල. 



මේ එයාගේ සහෝදර බයිසිකලය. මේක තමා ලැබෙන්න තිබ්බේ. පස්සේ අනිකේ තත්වය මීට වඩා හොඳ නිසා අනික ලැබුනා. පාට විතරයි වෙනස්.

එකේ ෆොටෝ එකක් ගෙන්නාගෙන බැලුවම එයාගේ අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා. ඉතිං මම වයිස් ප්‍රින්සිපල් සර්ගෙන් අවසරත් අරගෙන ඔන්න ඉස්සෙල්ලම බයිසිකලේ ගෙන්නගත්තා. ඒක ජපන් බයිසිකලයක්. ලේඩීස් වර්ගය කියන්නේ. එන්න ඒකක්. ඔය වැඩ ටිකටයි, ගේන එන්ජිම තීරණය කරලා ජොෂුවාගේ තාත්තට කියල ඕක ඕඩර් කරගන්නයි පළමුවෙනි වාරේ ගියා. 

අප්‍රේල් නිවාඩුව ඉවර උන ගමන්ම එන්ජිම ඉස්කෝලෙට ගෙන්නාගෙන අපි වැඩ පටන්ගන්නයි හැදුවේ. ඒත් මොන.. නිවාඩුව ඉවර වෙන්න දවස් ගානක් තියල, තව්හිද් ජමාද් එකෙන් ගැහුවා. ඒ ගැන මේ සටහනේ විස්තර කරන්න යන්නේ නෑ කුණුහරප ලියවෙන්න පුළුවන් නිසා. ඒකෙන් මේ වැඩේ මාසයක් විතර ම කල් ගියා කිව්වොත් වරදක් නැහැ. 

කොහොමින් කොහොම හරි, ඔන්න මැයි මාසේ අන්තිමේ එන්ජිම අරගෙන ආවා ඉස්කෝලෙට. මේක ඇවිල්ලා ද්වි පහර (Two Stroke) , 50CC එන්ජිමක්. ලුබ්‍රිකේෂන් තියන්නේ පෙට්‍රොයිල් ක්‍රමය. සාමාන්‍යය මෝටර් සයිකලයක් වගේ ම තමා. මේකේ ක්ලච් එකක් එක්ක ට්‍රාන්ස්මිෂන් එකක්, මැග්නිටෝ ජනකයක් එහෙම තියනවා. තනි සිලින්ඩරේ එන්ජිමක්. මේ සෙට් එක එක කිට් එකකට අහුරලා තමා ආවේ.  



මෙන්න මේ වගේ කෑලි ටිකක් තමා අපිට ලැබුනේ..

මැයි මාසේ අපි ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික තාක්ෂනය හදාරන ළමයින්ට ඉගෙනගන්න වෙනම තැනක් හදලා දුන්නා. එතෙන්ට ඕනේ බ්ලොක් ගලේ ඉඳන් ගඩොල හරහා යකඩ බාර් එක දක්වා හැම දෙයක්ම මෝටර් යාන්ත්‍රික සංගමය එක්ක අපි ටික හොයල දීලා මාස එක හමාරෙන් වගේ වැඩේ ඉවර කරගෙන ඒක විවෘත කරා. 


වැඩ පටන්ගත්ත දවසේ.. පේනවා නේ කට්ටියගේ තියන ආසාව..

 ඔතන කරන පලවෙනි ව්‍යාපෘතිය හැටියට තමා මේ බයිසිකල් වැඩේ පටන්ගත්තේ. හැදුවේ සීනියර් සෙක්ෂන් එකේ ළමයින්ට උනාට, දැන් පළවෙනි ව්‍යාපෘතිය කරන්නේ 9 වසරේ ළමයි ටිකක්! එයාලටත් ඉතිං අත්දැකීම අලුත්. එතන කිසි කෙනෙක් අඩුම ගානේ පෙට්‍රල් එන්ජිමක් ගලවල වත් තිබ්බේ නැහැ. 


ගලවන්න කලින් අවසන් ගෞරව දැක්වීම....

සීනියර් සෙක්ෂන් එකේ මෝටර් යාන්ත්‍රික සංගමයේ එහෙමත් උදව් ඇතිව, ළමයි ටික වැඩේ පටන් ගත්තා. පළවෙනියට ම මුළු ෆ්‍රේම් එකම හිස් කරලා ළමයි ඒක රතු/කළු වලින් පේන්ට් කරා. ස්ප්‍රේ පේන්ට්. ඒ වැඩේ ඉවර වෙද්දී අනික් ටික දෙනා එන්ජිමයි ක්ලච් එකයි ටික සෙට් කරගෙන. 



කට්ටිය පේන්ට් වැඩ..

ඔන්න දැන් පළවෙනි ගැටලුව. මේ ක්‍රමයේ හැටියට පිටිපස්සේ රෝදේ වම් පැත්තට අමතර දැති රෝදයක් එන්න ඕනේ මොටරේ ඉඳන් එන දම්වැල සෙට් වෙන්න. මේ රෝදේ ස්පෝක් වලට හිර වෙන විදියට තමා තියන්නේ. මේක හයි කරන්න බැලුවම, ඒ ඔරිජිනල් ජපන් හබ් එකත් එක්ක ඒ සෙල්ලම් දාන්න බෑ! 

දැන් ඉතිං මක් කොරන්නද.. අලුතෙන්ම හබ් එකක් අරගෙන ඒකට රීම් එක සෙට් කරගෙන ගෙනාවා එක ළමයෙක්. ඔන්න දැන් ඒ වැඩේ හරි. බැලන්ස් කරලා වීල් එක සෙට් කරගත්තා. 

ඊළඟට චේන් එක දාන්න ගියාම ඒක කොටයි. පුරුකක් වැඩි කරාම දිග වැඩියි. චේන් එකක නිදහස් බුරුල වැඩි උනොත් චේන් එක පනිනවා. මේකට ඉතිං පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා, ටෙන්ෂනර් එක අයින් කරලා ජිල්මාර්ට් එකක් දාගත්තා. 

ඊළඟට තෙල් ටැංකිය. මේකේ තියන භයානක ම කොටස. ඇයි, තෙල් එන්න තියන්නේ පොඩි බටයක්. රබර් එකක්. උණු වෙන්න පුළුවන් ලේසියෙන්. තෙල් කියන්නේ ඉන්ධන. ඒ කියන්නේ පෙට්‍රල්. නිකම් රත් උනත් ඇති නේ. ඉතිං අපි මොකද කරේ ඕක එන්ජිමෙන් පුළුවන් තරම් ඈත තියන විදියට ඉස්කෝලේ වෙල්ඩින් වැඩපොළට ගෙනිහින් අර ලේඩීස් බයිසිකලේ ට ෆ්‍රේම් එකක් වෙල්ඩ් කරගත්තා.. (දැන් ඕනේ නම් ඩබල් දාලා පාගන්නත් පුළුවන්). 

ඔය ඔක්කොම සෙට් වෙද්දී ජුලි 15 වගේ උනා. ජුලි 17 අපි ඕක ටෙස්ට් කරමු කියල කතා උනා. කට්ටියට එක්සෑම් භීතිකාව. අන්තිමේ අවසර අරගෙන, පොඩි ඉස්කෝලේ පිට්ටනියට ගෙනිහින් බැලුවා ස්ටාර්ට් කරන්න. අනේ අපොයි ස්ටාර්ට් වෙන්නේ නැහැ! මම එක පාරක් ට්‍රයි කරද්දී පොඩ්ඩක් ස්ටාර්ට් උනත් ඊට පස්සේ එන්ජිම බෑ කියල ම යි කිව්වේ. මටත් දැන් අවුල් ටිකක් වෙච්ච වැඩේ ට. 



බයිසි මොටෝව..

ගෙදර ඇවිත් හිතල බැලුව මොකද්ද වෙන්න පුළුවන් අවුල කියල. එන්ජිමට පෙට්‍රල් එනවා හැබැයි ලාවට. ස්පාර්ක් වෙනවා. එත් ස්ටාර්ට් වෙන්නේ නැහැ. චෝක් එක ඇදල බැලුවත් නැහැ. මම නිකමට හිතුව කාබියුරේටර් එකේ මොකක් හරි වත් ද කියල. ගූගල් දෙයියන්ට කියල ජාලේ කරක් ගහල බැලුව. ඒ එන්ජිමේ විස්තර අරහෙන් මෙහෙන් හොයල බැලුව. අපි කරපු වැඩේ කිසි වැරද්දක් නැහැ.  

ඔන්න පහු වෙනිදා හිටු කියල වහින්න ගත්තා. ආය ට්‍රයල් තියා නිකම් පයින් ඇවිදින්න වත් බෑ. මම 4/5 පීරියඩ් වල නිදහස්. එක්සෑම් එකක් ඔලුවේ තියං උනත් අර ළමයින්ගේ ඊයේ අප්සට් මූණු ටික දකිද්දී හරි අවුල්. ඉතිං මම ගිහිං රූම් එකට, ගැලෙව්වා කාබ් එක අන්තිම ඇනේට ම. හරි නේ. මොනවදෝ තෙල් වගේ තියනවා කාබ් එකේ. සුද්ද කරා සම්පූර්නෙන් පෙට්‍රල් වලින්. ආපහු හයි කරා. ඉන්ධන යන නලයත් හරියට හදලා වැඩි කොටස කපල අයින් කරා. 

ගැලෙව්වා ස්පාර්ක් ප්ලග් එක. කැරකුවා බලන්න රෝදේ ක්ලච් එක අතෑරලා. ඔන්න දැන් නම් සැරට පෙට්‍රල් එනවා කිසි අවුලක් නැතුව. ඔය ටික ඔහොම තියල මම ගියා දවල්ට කාලා එන්න. එද්දී ඉතිං අර ළමයි ටික ඉන්නවා. දැන් ඊයේ මොකද සර් උනේ, කියල දෙන්න කියල එක යුද්ධයයි. 

මම ඉතිං තියරිය කියල දීල, නිකම් බලමු කියල බයිසිකලේ උස්සල, එක්කෙනෙක්ට කිව්වා රෝදේ කරකවන්න කියල. වෙලාව 2.30 ට වගේ ඇති. දෙතුන් පාරක් හයියෙන් කැරකුවත් මේකාගෙන් ප්‍රතිචාරයක් නැහැ. ඔය වෙලාවේ එළියේ 6 වසරේ ළමයි ටිකක් එකතු වෙලා ඉතිං එක එක ඒවා කියනවා. එකෙක් කියනවා
“ඕක ස්ටාර්ට් උනොත් මම රුපියල් සීයක් දෙනවා” කියල. 

අපි ඔය මුකුත් ගණන්ගත්තෙ නැහැ. කාබ් එකට තෙල් ටිකක් එන්න පම්ප් කරලා, චෝක් එකත් ෆුල් ඇරලා, අන්තිම පාර කියල අර දරුවට කිව්වා රෝදේ හයියෙන් කරකවන්න කියල. මෙන්න බොලේ එක පාරටම ස්ටාර්ට් උනා..! අනේ අප්පේ ඒ වෙලාවේ කට්ටියගේ කටවල් කනේ. මෝටර් මිකැනිසම් උගන්නල තිබ්බත්, මෙච්චර කාලෙකට මුල ඉඳන් වාහනයක් ඇසෙම්බල් කරලා තිබ්බේ නැහැ මමත්, ෆුට් සයිකලේ ඇරෙන්න. ඉතිං මටත් හරි සන්තෝසයි. 



පළවෙනියට ස්ටාර්ට් කරපු වෙලාවේ.. ඉතුරු වෙලා හිටියේ මෙච්චරයි ඒ වෙද්දී. බයිසිකලේ ටිකක් ප්‍රසිද්ධියට අකැමැති වගේ. කට්ටිය බලං නො ඉද්දි තමයි වැඩ පෙන්නන්නේ.
(සේයාරූ අනුග්‍රහය- ගයේන්ද්‍ර අමරසේකර)

එදා වැඩ එතනින් හමාර කරලා, ඊළඟ දවසේ උදෙත් ඇවිත් ඔන්න ස්ටාර්ට් කරලා මම රවුමක් පැද්දා එතන. ඒක නම් අපේ සර් කෙනෙක් වීඩියෝ කරලා ෆේස්බුක් දාලත් තිබ්බා. මම හිතන්නේ අපේ ඉස්කෝලේ කට්ටියක් මුල ඉඳලා කොටස් එකතු කරලා වාහනයක් පණගැන්නුවා ම ද කොහෙද ඒ.  

මේ බයිසිකලේ ස්ටාර්ට් කරන්න තියන්නේ පෙඩල් කරගෙන ගිහිල්ලා පැයට සැතපුම් 5 ක වගේ වේගෙකදී ක්ලච් එක අතැරලා. ඊට පස්සේ සාමාන්‍යය මෝටර් සයිකලයක් වගේ ක්ලච් එකෙනුයි ඇක්සෙලරේටර් එකෙනුයි පාලනය කරගන්න ඕනේ. මෙතෙන්දි අපිට අවුලක් ආවා එන්ජිමේ එක්ස්හෝස්ට් එක, එහෙමත් නැත්තම් සයිලන්සරේ වදිනවා පෙඩල් එකේ. ඒ නිසා මේ ඔක්කොම ට්‍රයල් ගියේ සයිලන්සරේ නැතුව (ඔව් ඔව් කන ළඟ හෙන ගහනවා වගේ තමා..) 


ඔන්න කට්ටියම..
වමේ ඉඳන් (මූණු පිළිවෙලට)-
නිම්නාද්, දිල්ශාන්, රවීජ, ධනිත, ජොෂුවා, ලිනුක, හසරංග, රයන්, ජනිදු, ලිනාල්, සනිතු, නේමින්දර සහ මම තුමා..
සේයාරූ අනුග්‍රහය- චේතක අතුකෝරල.

 මේ වැඩේ ඉතිං කොහොමින් කොහොම හරි සාර්ථක උනා. ළමයි ටික එකා වගේ වැඩ කරා. මම 12.50 ට එනවා කිව්වා නම් ළමයි ටික තිතට වෙලාවට එතන. මම හිතන්නේ අනික් පීරියඩ් එකකට වත් එච්චර රයිට් ටයිම් යන්නේ නැතුව ඇති කට්ටිය. වැඩේ ඉස්කෝලේ වටේ ම ගිහිං තිබ්බා. ඉතිං මීඩියා යුනිට් එකෙන් මේක ගැන පොඩි වීඩියෝ එකකුත් කරලා වෙබ් සයිට් එකට දාලා තිබ්බ. මෙතනින් ගිහිං බලන්නකෝ. 

ගුරුවරයෙක් විදියට මම නම් දකින්නේ මේ වැඩේ ළමයි කල යුතු ම වැඩක් විදියට. විශේෂයෙන් පිරිමි ළමයි. මොකද එයාලා ලෝකෙට සමාජෙට ගියාම මේ කාර්මික යාන්ත්‍රික පැත්ත එක්ක ජීවත් වෙන ළමයි. ඒ ගැන කිසි දෙයක් නොදැන හැම දේ ම ගරාජ් එකට බාර දීලා ගාන ගෙවන ළමයි ටිකක් වෙනුවට, තමන්ගේ වාහනේ ගැන එහෙම දැනුමක් තියනවා නම් ඒ සේව්‍ය සේවක දෙපැත්තටම හොඳයි කියන එකයි මගේ අදහස. 

අනික තමා අත් හුරුව. පොතටම සීමා වෙච්ච ළමයි අතරේ යම් කිසි ප්‍රායෝගික දැනුමක් තියන ළමයි හොයන එක අද හරි අමාරුයි. මේ ළමයි මේක හරහා බොහොමයක් ආවුද උපකරණ පාවිච්චි කරන හැටි, නොකළ යුතු හැටි, ප්‍රායෝගිකව ම ඉගෙනගත්තා. ග්‍රීස් ගාගෙන, පේන්ට් ගාගෙන ඒ වැඩ හරියට කරන්න ඉගෙනගත්තා. මම හිතන්නේ ඒක තමා අන්තිමේ වටිනාම දේ. මේ ළමයි ඊළඟ අවුරුද්දේ සාමාන්‍යය පෙළ ට යාන්ත්‍රික තාක්ෂණවේදය තෝරාගත්තොත් කවුරු ඉගැන්නුවේ නැතත් පේපර් එක ලියල A සාමාර්ථයක් ගන්න එක ඉර හඳ වගේ විශ්වාසයි. 

මම මේ සටහන ලියන්න හිතුවෙ මේක මටත් පෞද්ගලිකව ලොකු සතුටක් ගෙනාපු ව්‍යාපෘතියක් වෙච්ච නිසා. සාමාන්‍යයෙන් වර්තමාන ගුරු ජීවිතේ කියන්නේ එපා කරපු රස්සාවක් කිව්වොත් එකේ වරදක් නැහැ. ඉතිං ඒ ඒකාකාරී බවෙන් මිදිලා, මේ වගේ දෙයක් කරන්න ලැබීම ඇත්තටම සතුටක්. ඒ වගේම, ඉස්කෝලේ මෝටර් යාන්ත්‍රික සංගමයේ හිටපු සභාපති කෙනෙක් හැටියට, මේ වගේ දෙයක් මගේ සේවා කාලය ඇතුලේ කරගන්න පුළුවන් උන එකත් මට ලොකු දෙයක්.  

මේ ළමයින්ට තවත් ඉදිරියට මේ වගේ දේවල් සහ මීට ඉස්සරහ තාක්ෂණයත් ජයගන්න පුළුවන් වෙන්න කියන එක තමයි මම අන්තිමේට තියන ප්‍රාර්ථනාව. 



ප. ලි - පෝස්ට් සීයකුත් වැටිලා.. මෙච්චර කල් ඇදගෙන එන්න පුළුවන් වෙයි කියල නම් හිතුවේ නැහැ. සිය වෙනි පෝස්ට් එක හොඳ දෙයක් ගැන ලියන්න හම්බුනා. මෙච්චර කල් ලියපුවා කියවපු, කමෙන්ට් කරපු, උදව් කරපු හැමෝටම ස්තුතියි!

19 comments:

  1. එල එල සුපිරිම වැඩක්!
    නරකද ධනසේකර මෝටර් ට්‍රේඩර්ස් වගේ නමක් දාල වැඩේ පටන් ගත්තොත්? ;)

    ReplyDelete
    Replies
    1. ඒකත් නරකම නෑ. අදහසත් හොඳයි අකුරුත් ගැලපෙනවා.

      Delete
  2. අඳුරට සාප කරමින් ඉන්නවට වඩා පහනක් දල්වන එක පින්කමක් මතෝ.Peter Tabichi උන්නැහේව මතක් උනා.සියය දෙසිය කරන්න සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුබ පැතුමට!
      ලියන්න බලනවා හැකි තාක් කාලයක් මේක.

      Delete
  3. ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මේවගෙ කට්ටලය ගානෙ ඉස්කොල වලට දෙන්න ඕනි. අපේ ළමයින්ගේ වැඩ පොලිෂ් වෙන්න.
    නියමයි +++++

    ReplyDelete
    Replies
    1. ඒක නම් මටත් හිතුනා. විශේෂයෙන් 10 වසරේ යාන්ත්‍රික තාක්ෂණවේදය විෂයයට මෝටර් සයිකල් එක ඉගෙනගන්න තියන නිසා මේකක් දෙන්න පුලුවන්නම් හොඳයි. ලොකු ගාණක් යන්නෙත් නෑ වැඩේ ට. ඕනේ නම් මෙහෙ හදලම දෙන්න පුළුවන්. ඔය ටැබ් දෙන්න කෑගහන වෙලාවේ මෙයින් දෙකක් දුන්න නම් ඉස්කෝලෙකට ගොඩක් ප්‍රයෝජනවත්.

      Delete
  4. Happy 100th anniversary වේවා!

    ReplyDelete
  5. සුපිරිම වැඩක් බං! අද ඉන්න නමට ගුරුවරු අතරේ උඹ ඩයල් එකක්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අයියා!
      මේ දරුවෝ ටික තමා ඉතිං වැඩ ටික ඇදගෙන ගියේ. මම පොඩ්ඩක් මග පෙන්නුවා විතරයි.

      Delete
  6. සීයට සුබ පැතුම්.
    කට්ටිය එකතු වෙලා කරපු වැඩේනං අගෙයි.

    අඟහරුව දැකල තිබුනෙ නැද්ද ඔය විදියට ඇන්ජිමක් හයිකරපු බයිසිකල් කාලෙකට කලින් පාරෙ තිබ්බ. අපේ පැත්තෙත් දෙක තුනක්ම තිබ්බ ඒ කාලෙ. ඒ ඇන්ජින් එකත් එක්ක කිට් එක විකුණන්න පත්තරවල ඇඩ් හිටං දාල තිබ්බ. නමුත් ඒ වැඩේ ටික කාලෙකදි නැතිවෙලා ගියේ ඇයි කියල හිතාගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. මම 8 වසරේ වගේ ඉද්දි නුවර එකක් තිබ්බා ලොකු බයිසිකලෙකට තියපු එකක්. පස්සේ මම හිතන්නේ ඕක පාරේ දුවවන්න ප්‍රශ්න එන්න ඇති. ඒ අදහස නම් ගොඩක් හොඳ අදහසක්. ලංකාවේ ඉතිං හොඳ අදහස් වලට තැනක් නෑ නේ. ඒ නිසා ඒ කන්සෙප්ට් එක එහෙමම මැරිලා යන්න දෙන්න ඇති.

      Delete
  7. පට්ට භාණ්ඩේ නේද?

    100 ට සුබ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. සිරාවට ඈ.. අදත් ග්‍රවුන්ඩ් එකට අරං ගිහිං පැද පැද හිටියා කට්ටිය.

      එසේම වේවා රජතුමනි!!

      Delete
  8. ඔන්න මමත් මෙහෙ ආවා

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්නවා අඟහරු අඩවියට!

      Delete
  9. අනේ අගහරුවෝ මට ඔයාව සම්බන්ධ කර ගන්න පුළුවන් ක්‍රමයක් කියන්න. Email or phone number

    කෝච්චි ගැන විස්තර ටිකක් තියෙනවා දැන ගන්න.

    ReplyDelete