ගිය සතියේ අපි හිටියේ ෂොප් 27. මේ සතිය තමයි 27 ට අනුයුක්ත අන්තිම සතිය. ඒ වගේම, මේ සතියේ නවාතැනත් මාරු වෙලා, ඒ ළඟ පාතකට එන්න සිද්ධ උනා සතියකට. ඒ උදව්ව කරපු මගේ හොඳ මිත්‍රයෙක් වෙන සදීෂ මල්ලිට ස්තුති කරගෙනම මේ සතියේ සටහන පටන් ගන්නම්.
මේ සතියේ මට නියමිතව තිබුනේ ෂොප් 27 අන්තිම සෙක්ෂන් එක, S11 කට්ටල වල අලුත්වැඩියා සිද්ධ වෙන කොටස. හැබැයි S11 කට්ටල රත්මලානට එන්නේ නැහැ. ඒවා අලුත්වැඩියා වෙන්නේ දෙමටගොඩ. ගලවන උපාංග තමයි මෙහාට එන්නේ. පළවෙනි දවසේ මම යනකොට, සෙක්ෂන් එකේ සුපරීක්ෂක ප්‍රසංග අයියා එක්කම කට්ටිය දෙමටගොඩ ගිහින්. ඉතින් එදා මම එතන හිටිය අය එක්ක, S11 වයරින් සටහන් එහෙම බලාගෙන, කලින් සෙක්ෂන් එකේ KMT ටිකක් ටෙස්ට් කරගෙන, Y පන්තියේ රිපෙයාර් වලට එබීගෙන හිටියා.
මේ Y පන්තිය ගැන මෙතැනදී යමක් කියන්න ඕනේ කියල හිතුනා. මේක 1969 දී රම්පාල මහත්තයා යටතේ සිද්ධ උන දුම්රිය සේවය ඩීසල්කරණය කිරීමේ වැඩ සටහන යටතේ ආව එන්ජින් එකක්. මේක ගෙනාවේ යාඩ් ෂන්ටින් වල නියුතුව සිටි E පන්තියේ වාෂ්ප එන්ජින් වල වැඩ බාර දෙන්න. මේකේ තියන ඩීසල් එන්ජිම, සිලින්ඩර් 8ක අශ්වබල 530ක රෝල්ස් රොයිස් එකක් කිව්වොත් සමහරු පුදුම වෙයි. ඒ වගේම, ද්‍රවශක්ති ක්‍රමයට ක්‍රියාත්මක වෙන මේ එන්ජිමේ, සම්ප්‍රේෂණ ද්‍රවය (Transmission Fluid) හැටියට ක්‍රියා කරන්නේ ඩීසල්! මේකේ විදුලි පද්ධතිය ඉතාම සරලයි. හැබැයි, 1969 ඉඳන් මේ වෙනකල් තාම එක එන්ජිමක් හැර ඔක්කොම වැඩ!
Y පන්තියේ රෝල්ස් රොයිස් ඩීසල් මෝටරය.
මේ සතියට නියමිත S11 ගැන බලන්න හම්බුනේ දෙවෙනි දවසේ. කලින් දවසේ කොළඹ ගිහිං අරගෙන ආව කොටස් වලින්, පළවෙනියට ම බැලුවේ චේන්ජ්ඕවර් ස්විච් එක. මේකේ කාර්යයභාරය S10 එකේ එකට සමානයි. හැබැයි මේකේ සැකැස්ම ඒකට වඩා සෑහෙන්න වෙනස්. මේකේ තිබ්බ දෝෂය තමා අධික ධාරාවක් අරගෙන එක බෝල්ට් එකක් උණු වෙලා ගිහිං.
S11 වර්ගයේ චේන්ජ් ඕවර් ස්විච් එක (රිවර්සර් ස්වීචය).
ඒ වගේම, මේ S11 කට්ටලයේත් තියනවා කලින් බලපු KMT වල කාර්යය ම කරන උපාංගයක්. ඒත් මේකෙදි එක හඳුන්වලා තියන්නේ LC, නැත්තම් “ලයින් කන්ටැක්ටර්” කියල. කාර්යය එක උනාට, මේ දෙකේ බිල්ඩ් කොලිටිය නම් අහසට පොළොව වගේ හැබැයි.
මම මෙතැනට ගියේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ශිල්පීය පුහුණුවකට නේ. එතකොට, මම දැනගෙන ඉන්න ඕනේ මොනවද ඒ පද්ධති වල එන්න පුළුවන් දෝෂ, ඒ වගේම ඒවා නිරාකරණය කරද්දී මොනවද බලන්න ඕනේ කියල. ඕනෙම දෝෂයකට, උත්තර දෙන්න ඕනේ දෝෂයට නෙවෙයි. දෝෂය ඇති වෙන්න හේතුවට. ඔය උඩින් කිව්ව දේවල් වලට නම්, අපිට කරන්න පුළුවන් එකම දේ තමා නිසි ප්‍රමිතියට තියන උපාංග වලින් ඒ කොටස් ප්‍රතිස්ථාපනය කරන එක.
ඊළඟට ආපු දෝෂය තමා S11 වල මම දැකපු ලොකුම දේ (විදුලි පැත්තෙන්). මේ බලවේග කට්ටල වල, දෙපැත්තෙන් රියදුරු කුටි දෙකක් තියනවා. මේ එකක විතරයි ඩීසල්මෝටරය තියන්නේ. එතකොට එක පැත්තකට යනකොට අදිනවා, අනික් පැත්තට යනකොට තල්ලු කරනවා. මේ වැඩේට දෙපැත්ත සම්බන්ධ කරන්නේ “Multiple Connector” කියල කේබල් එකකින්. මේක කේබල් 19ක් එකට හිටින්න තියලා තනි ශීල්ඩ් එකක් දාලා හදපු බන්ඩ්ල් කේබල් එකක්. මේ S11 වල තියන ප්‍රශ්නය තමා, මේ කේබල් එක ට යොදාගෙන තියන්නේ බාල ශ්‍රේණියක තඹ. ඒ උඩින් ටින් ලෝහය ගාලා රබර් ශීල්ඩ් එකක් දාලා තියන්නේ (ඉන්දියානු නිෂ්පාදන වල තත්වය තමයි ඉතින්).
කේබල් 19ක බන්ඩ්ල් කේබලය අලුත්වැඩියාව අතරතුර.
කල් යනකොට, මේ රබර් පැලිලා, පිටි වෙනවා. ඊට පස්සේ, වැස්සට වතුර යනවා කේබල් අස්සට. මේ බලවේග කට්ටල වල බඳ තහඩු වෙන්නේ කොටසක් විතරයි. මූණ ෆයිබර් ග්ලාස්. ඔය සීමාව යට තියනවා විද්‍යුත් පාලන පද්ධතිය. මේක සරල පරිගණකයක්. ඕකට වතුර ගිහාම, රියදුරු මහත්තයා දාන නොච් එක නෙවේ රෙජිස්ටර් වෙන්නේ. 3-4 දැම්මම 8 කියල යන්නේ. දැන් මේ අවුල් සහගත ප්‍රදානය නිසා, අර පාලන පරිගණකය කරන්නේ සම්පූර්ණයෙන් ම බලවේග කට්ටලය ෂට් ඩවුන් කරනවා. ප්‍රතිපලය - මග හිටිනවා. මේක තමයි එදා මම ආපු එකට වෙලා තිබ්බේ.
ඕවා තමා මේ සතියේ බලන්න උනේ. තව ඔය S11 වලට අදාළ මෝටර් කන්ටැක්ටර්, චේන්ජ් ඕවර් ස්විච්, රිලේ එහෙම ටෙස්ට් කරන්න විශේෂ පරීක්ෂණ මැදිරියක් ස්ථාපනය කරලා තියනවා. එතැනදී මේ අලුත්වැඩියා කරපු උපාංග ටෙස්ට් කරන්න අවස්තාව ලැබුනා.
මේ කොටස් වැඩ කරන්නේ වායව බලයෙන්. බාර් 5ක සම්පීඩිත වායුව තමයි යොදාගන්නේ (වායුගෝලීය පීඩනය = බාර් 1.01, රසදිය අඟල් 25, රසදිය සෙන්ටිමීටර් 76). දුම්රියක බොහෝ පාලන පද්ධති යොදාගන්නේ මේ ක්‍රමය. W3 පන්තියේ තියනවා සම්බෝලයක් වගේ. ඒ ගැන ෂොප් 19දී කියන්නම්.
S10 පන්තියට අදාළ වායු සම්පීඩක යන්ත්‍රයක්. පාලන පද්ධතියට අවශ්‍ය සම්පීඩිත වායුව සපයන්නේ මෙමගින්.
ඒ එක්කම, කලින් සතියේ අලුත්වැඩියා කරන්න සෙට් උන S10-882 පරීක්ෂණ චාරිකාව යෙදිලා තිබුනා අලුත්ගමට. මේ ගමනටත් මට එක් වෙන්න ලැබුනා. මේකේ බොගි මාරු කරලා තිබ්බ නිසා, ධාවනයේ දී බලන පරාමිතික වලට, ඇක්සල් වල උෂ්ණත්වයත් ඇතුලත් වෙලා තිබුනා.
S10-882 මෝටර් කාරය පරීක්ෂණ ධාවනය සඳහා පිටත්ව යාම.
මේ S10 පන්තියේ තියනවා ඩයිනමික් බ්‍රේක් පහසුකම. මම කිව්වා මේ ගැන වැඩි විස්තර මේ සතියේ කියනවා කියලා. මම ගිය සතියේ කිව්වා, මේ බලවේග කට්ටල වල යොදාගන්නේ සරල ධාරා ශ්‍රේණිගත මෝටර් කියල. මේකේ එක විද්‍යුත් චුම්භකයකට සරල ධාරාවක් දුන්නම, ඒක නිත්‍ය චුම්භකයක් වෙනවා. කෝච්චියේ ධාවනය නිසා, ආමේචර් එක කැරකෙනවා නේ. එතකොට වෙන්නේ, මෝටර් එක, ජෙනරේටර් එකක් විදියට ක්‍රියාත්මක වෙනවා.
දැන් නිපදවෙන මේ විදුලියට, විබැරක් (Load එකක්) සම්බන්ධ කරලා, මේ විදුලි ගමනට බාධාවක් කරාම, අර කැරකෙන ආමේචර් එක නතර වෙන්න බලනවා. මේ ලෝඩ් එක වෙන්නේ ප්‍රතිරෝධක පද්ධතියක්. ප්‍රතිරෝධක වල කාර්යය තමයි විදුලි ශක්තිය තාපය බවට හරවලා යවන එක. අපි ප්‍රතිරෝධකයකට V වෝල්ටීයතාවයක් I ධාරාවකින් දුන්නොත්, ප්‍රතිරෝධය R නම්, මේ හානි වෙන ජවය සමාන වෙනවා ධාරාවේ වර්ගයේ සහ ප්‍රතිරෝධයේ ගුණිතයට (I2 x R = I squared R). මේ තාපය, සිසිලන පංකාවක් හරහා වායුගෝලයට නිදහස් කෙරෙනවා. මේ S පන්තියේ බලවේග කට්ටල වලත් මේ විදියට තිරිංග යොදලා, බ්‍රේක් පෑඩ් ගෙවීම අවම කරලා දුම්රිය මන්දනය කරගන්න පුළුවන්. හැබැයි, මේ ජනනය වෙන විදුලියේ බලය, වේගය එක්ක අඩු වෙන නිසා, දුම්රිය සම්පූර්ණයෙන් ම නවත්තන්න මේ ක්‍රමයට අමාරුයි, තැනිතලා මාර්ගයක.
විදුලි දුම්රිය වලදී නම්, මේ උපදින බලය ආපහු ජාලයට එකතු කෙරෙනවා. මේකට අපි කියනවා Regenerative Dynamic Braking කියලා. අපේ ක්‍රමයට කියන්නේ Resistive නැත්තම් Rheostatic Dynamic Braking කියලා. ඩීසල් - ද්‍රවශක්ති ක්‍රමයේදී මේක ම වෙන විදියකට කෙරෙනවා. ඒ ගැන, ෂොප් 19දී බලමු,
අපි 882 පවර් කාර් එක ට්‍රයල් කරනකොට, මේ තිරිංග ක්‍රියාත්මක වීමත් බැලුවා. ඒ වගේම, ධාවන වේගයේ උපරිම මට්ටමට ගෙනල්ලා, නවත්තලා තැන් කීපයකම, ඇක්සල් 4 ම උෂ්ණත්වය බැලුවා. සියල්ල හොඳ මට්ටමේ තිබුනා.
881 රත් උන ඇක්සලයේ ජර්නල් පෙට්ටිය සහිත කොටස.
මේ ඇක්සල්, වාහනයක ඇක්සල් වලින් වෙනස්. දරන්න වෙන ලෝඩ් එකත් එක්ක, මේවා විශේෂයෙන් ස්නේහනය (Lubricate) කරන්න ඕනේ. කෝච්චියේ ඇක්සල් වල බෙයාරින් එක හයි වෙලා තියන තැනට කියනවා ජර්නල් බොක්ස් කියලා. මේකේ තියනවා ග්‍රීස් සීල් එකක්. ඒ වගේම, මේ ඇක්සල් එලවන මෝටරය සම්බන්ධ වෙන තැනට, “Wick pad” කියලා තවත් ස්නේහන කොටසක් එකතු වෙනවා. මම මේ ෂොප් එකේ ට්‍රේනිං හිටිය අන්තිම දවසේ දිවා විවේකය වෙද්දී, S10 881 ආවා රත් වෙලා හිර උන ඇක්සල් එකක් එක්ක. මේක කොච්චර රත් වෙලා ද කියනවා නම්, අඩි 2-3ක් ඈතින් අත ලං කරාම පවා රස්නේ දැනෙන තරම්.
කර්මාන්තශාලා අංක 27 සිටි අවසාන දිනය.
ඊළඟ සතියේ එහෙම නම් ෂොප් 39න් හම්බ වෙමු..
👌👌
ReplyDeleteThanks!
Deleteහොඳයි. ඔක්කොම කියෙව්වා. ඒත්, අනුන්ගේ තාක්ෂණයකට, සිංහල වචන විතරක් නිෂ්පාදනය කිරීම, කොච්චර කාර්‍යක්ෂමද කියන එක ප්‍රශ්ණයක් නෙමෙයිද කියන හැඟීම ආව. මම නිවැරදි නොවෙන්නත් පුළුවන්, ඒත් මේ මට හිතුන දේ.
ReplyDeleteපාරිභාෂික වචන හදන එකේ නම් අවුලක් නැහැ, හැබැයි ඒවා අර්ථවත් වගේම කියවන්නත් පහසු නම් තමයි හොඳ.
Deleteඔය Y පන්තියේ එන්ජින් කියන්නේ හන්ස්ලෙට් එන්ජිම වෙන්නෝන! ඒකෙ තමයි රෝල්ස් රොයිස් එන්ජිම තියෙන්නේ කියලයි මම අහලා තියෙන්නේ.
ReplyDelete"සම්ප්‍රේශක ද්‍රවය" කියන්නේ ටෝක් කන්වරටරය තුල තියෙන ATF වලටද?
ඔව්, හන්ස්ලට් එන්ජිම තමයි! සම්ප්‍රේෂණ ද්‍රවය කිව්වේ ටෝක් කන්වර්ටර් ෆ්ලුයිඩ් එකට. මේ වචන නම් අපිට යාන්ත්‍රික තාක්ෂණවේදය උගන්නද්දී කියල දීපු පාරිභාෂික වචන.
DeleteTransmission Fluid එක විදිහට ඩීසල්! ම්ම්ම්ම්ම්ම්... ඒකට ඩීසල් වගේ ද්‍රවයක් පාවිච්චි කරන එක ගැන පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවද සර්..?
ReplyDeleteමේ එන්ජිමේ බලය අශ්වබල 530ක් වගේ අඩු ගානක්. ලොකු වේගෙකින් අදින්නෙත් නැහැ, ඒ නිසා අමතරව වෙන ද්‍රවයක් භාවිතා නොකර, සම්පීඩිත ඩීසල් ම භාවිතා කරලා තියනවා.
DeleteTransmission Fluid එක විදිහට ඩීසල් දාපුවම ඕව රත්වෙලා ගිනිගන්නැද්ද?
ReplyDeleteමේක මටත් ආපු ප්‍රශ්නයක්.. ඇත්තට කෝච්චියෝ කොහොමද බං ඒ සීන් එක වෙන්නෙ?
Deleteනැහැ, ඩීසල් කියන්නේ අවශ්‍ය පීඩනය සහ උෂ්ණත්වයට එනකල් ගිනි නොගන්නා ඉන්ධනයක්. පෙට්‍රල් එහෙම උනාට, ඩීසල් එහෙම ගිනි ගන්නේ නැහැ. ඇත්තටම ඩීසල් එන්ජින් එකක වෙන්නෙත්, 1: 14ටත් වඩා ඉහල අනුපාත වලට වායුව සම්පීඩනය කරලා, ඒකට ඩීසල් විදින එක නේ. ටෝක් කන්වර්ටර් එකක ඒ තරම් ඉහල පීඩන නැති නිසා, ගිනි ගැනීමේ අවධානමක් නැහැ.
Delete👍👍👍
ReplyDeleteThank you!
Delete