Tuesday, November 21, 2023

කර්මාන්ත පුහුණුව - සතිය - 5

            මේ සතියේ මට වැඩියෙන් ම බලන්න ඕනේ උනේ මේන් ජෙනරේටර් පැත්ත. කලින් 27 වගේ මේ ෂොප් එක සෙක්ෂන් වලට වෙන් කරලා තිබ්බේ නැහැ. එකම හෝල් එක වගේ නිසා ඉතින් එක සෙක්ෂන් එකක කියල හිටියෙත් නැහැ මම. වැඩක් කෙරෙන්නේ කොතැනද, එතැනට ගිහිං බැලුවා. 

මේ තියන්නේ S11 පන්තියේ ප්‍රධාන ජනකයේ ආමේචර් එක. ඔය ඉස්සරහින්ම තියන පොඩි එතුම තමා එක්සයිටෙෂන් ජෙනරේටරය. ඊට පස්සේ අළු පාටට තියන්නේ ඒ නිපදවන තෙකලා ප්‍රත්‍යාවර්ථ ධාරාව, සරල ධාරාවක් කරන 3 ෆේස් රෙක්ටිෆයර් එක. ඊට පස්සේ තියන්නේ ප්‍රධාන ජනකයට අදාළ ආමේචරය. මේකේ ඩයෝඩ් ප්ලේට් එකේ ප්‍රශ්නයක් තිබුනේ. මේ ඒක චෙක් කරන ගමන්.

          දැන් මම මෙච්චරලා කිව්වේ බ්‍රශ්ලස් ඔල්ටර්නේටර් යොදාගන්නවා කියල නේ මෝටර් වලට පවර් දෙන්න. එතකොට දැන් මොනවද මේ ආය ජෙනරේටර් ගැන කියන්නේ කියල බලයි (ඔල්ටනේටර් - ප්‍රත්‍යාවර්ථ ධාරා ජනක. මේවයේ ප්‍රතිදානය ප්‍රත්‍යාවර්ථ ධාරාවක්. ජෙනරේටර් - සරල ධාරා ජනක. මේවයේ ප්‍රතිදානය සරල ධාරාවක්). මේ සතියේ මට ඔය වර්ග දෙක ගැන තමා ඉගෙනගන්න හම්බුනේ. 

M9 පන්තියේ ප්‍රධාන ජනක දෙකක්. 

          මුලින්ම, මට මේ සතියේ බලන්න හම්බුනා මේ කියපු DC ජෙනරේටර් වල ආමේචර් වල කරන පරීක්ෂණයක්. මේකට අපි යොදාගන්නවා “Ductometer” කියල උපකරණයක්. මේක නම් සෑහෙන පරණ එකක්. මේකෙන් මනින්නේ මයික්‍රෝ ඕම් පරාසය. මෙතනින් බලනවා කමියුටේටර් එකේ අනුයාත ස්ලොට් දෙකක් අතර ප්‍රතිරෝධය. මේ අගය ඉතාම කුඩා අගයක් වෙන්න ඕනේ. මයික්‍රෝ ඕම්ස් 20-40 අතර තමා සාමාන්‍ය අගය තියන්නේ. මේ අගය ඕනෙවට වඩා වැඩි වෙන්නත් බැහැ, අඩු වෙන්නත් බැහැ. ප්‍රතිරෝධය 0ක් කියන්නේ ලුහු පරිපථ (Short circuit) කියන එක. අධික නැත්තම් අනන්ත ප්‍රතිරෝධයක් කියන්නේ විසන්ධි වෙලා (Disconnected circuit) කියන එක. ඒ වගේම, හැම ස්ලොට් දෙකක් අතරම අගය සමාන වෙන්න ඕනේ. 

Ductometer එකත් එක්ක වැඩ කරන මම තුමා.. ඔය තියන්නේ M6 එකක ට්‍රැක්ෂන් මෝටර් එකක ආමේචර් එකක්. 

          අපි ප්‍රත්‍යාවර්තක ජනක ගැන කලින් කතා කරපු නිසා, මේ සතියේ බලමු සරල ධාරා ජනක ගැන. මුලින්ම මතක තියාගන්න ඕනේ කතන්දරේ තමයි, හැම විදුලි ජනකයක්ම ඇතුලින් නිපදවන්නේ ප්‍රත්‍යාවර්තක ධාරාව. මේක සරල ධාරාව බවට පත් කරලා එලියට අරගන්න තමයි ඔය මම කලින් කියපු න්‍යාදේශය (Commutator) පාවිච්චි වෙන්නේ. 

කමියුටේටර් එක පොලිෂ් කිරීම. මේක නම් M4 එකක.  

          ධ්‍රැව දෙකක් විතරක් (සරලව ගත්තොත් ආමේචර් එකේ - සල දඟරයේ - තනි එතුමක්) තියන මෝටරයක් ගත්තොත්, මේ ආමේචර් එක කැරකෙනකොට, ධාරාව ගලන දිශාව මාරු වෙනවා. මේක සාමාන්‍ය පෙළ විද්‍යාව හදාරපු කෙනෙක් දන්නවා. බයිසිකල් ඩයිනමෝ එකකට මැද බිංදුව තියන වෝල්ට්මීටර් එකක් හරි, නැත්තම් මල්ටිමීටර් එකක සෙන්ටර් සීරෝ මොඩ් එකට දාලා හරි සම්බන්ධ කරලා, ඩයිනමෝ එක කැරකුවාම අපිට මේ විචලනය බලාගන්න පුළුවන්. එතකොට මේ ධාරාව එක පැත්තකට ගමන් කරවන්න නම්, අපිට මේ දිශාව මාරු වෙන තැන දී, දඟරයේ අග්‍ර දෙකේ සම්බන්ධය මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ ක්ෂණිකව පරිපථයේ අග්‍ර මාරු කරන්න ඕනේ. මෙන්න මේ වැඩේ ට තමා කමියුටේටර් එක පාවිච්චි වෙන්නේ. ඔය තඹ පතුරු වලින් කරන්නේ ඒ වගේ.

          අපේ රේල්වේ එකේ තියන M2, M6 වගේ එන්ජින් වල තියන්නේ මේ විදියේ සරල ධාරා විදුලි ජනක. මේ එන්ජින් වල තව විශේෂත්වයක් තමයි, මේවයේ ඩීසල්මෝටර් එක පණ ගන්වන්න, විශේෂ ක්‍රියාරම්භ මෝටරයක් (Starter Motor) නැති එක. මේ වැඩේ කරන්නේ, ඔය උඩින් කියපු වර්ගයේ ප්‍රධාන ජනකයට බැටරි විදුලිය සපයලා, ඒක මෝටර් එකක් විදියට භාවිතා කරලා. න්‍යායාත්මකව ගත්තම, ඕනෙම මෝටර් එකක් ජෙනරේටරයක් විදියටත්, ඕනෙම ජෙනරේටරයක් මෝටරයක් විදියටත් දුවවන්න පුළුවන් (නිසි පරිදි විදුලි සම්බන්ධය දීලා).

          එතකොට මෙතන එන ප්‍රශ්නයක් තියනවා. ස්ථාවරව පිහිටවපු විදුලි ජනකය ක්‍රියාත්මක වෙන්නේ ඒකාකාරී වේගයකින්. මෙන්න මේ වේගය උඩ, ප්‍රතිදාන විදුලි ධාරාවේ සංඛ්‍යාතය තීරණය වෙනවා. හැබැයි මේ ඩීසල්- විදුලි දුම්රිය එන්ජිමක, ඩීසල්මෝටරය හැම වෙලාවේම ඒකාකාරී වේගයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. සාමාන්‍ය දුම්රිය එන්ජිමක ත්වරණ මට්ටම් (Accelerator levels – notches) 8ක් තියනවා. M2 වර්ගයේ එන්ජිමක ඩීසල්මෝටරය ලැසි දිවුමේ (Idle rpm) වේගය විනාඩියට වට 200ක් පමණ වෙනවා. උපරිම වේගයේ දී (නොච් 8 දී) මේක විනාඩියට වට 850ක් වගේ වෙනවා.

          අපි කොහොමද මෙන්න මේ වේග පරාසයේ දී, අපිට ඕනේ පරාමිතික වලට විදුලි ජනකයේ ප්‍රතිදානය පවත්වාගන්නේ? මේක ඇත්තටම මටත් ලොකුවට තිබ්බ ප්‍රශ්නයක්. මේකට උත්තර කියල දුන්නේ ෂොප් 39 හිටපු සුපරීක්ෂක ප්‍රේමලාල් මහතා. මේ විදුලි ජනක සරල ධාරා ජනක. ඒ නිසා අපිට මේවයේ සංඛ්‍යාතයෙන් ඇති වැඩක් නැහැ! එලියට එන ධාරාව/ විභව අන්තරය තමයි අපිට වැදගත් වෙන්නේ. අපි මේ දෙක අවශ්‍ය මට්ටම් වල තියාගන්න කරන්නේ, ක්ෂේත්‍ර දඟරයට සපයන වෝල්ටීයතාවය (Excitation Current/ Voltage) පාලනය කරන එක. මේකට අපි යොදාගන්නවා AVR කියල උපකරණයක්. මේකෙන් කරන්නේ සරලවම, ඩීසල් මොටරයේ වේගය අඳුරගෙන, ඒ අනුව අදාළ විදියට ක්ෂේත්‍ර දඟර වෝල්ටීයතාවය පාලනය කරන එක. අඩු වෙද්දී ජනකයේ ප්‍රතිදානය අඩුයි. වැඩි වෙද්දී වැඩියි. ඔච්චරයි සරල කතාව. 

M2C- 627 වර්ගයේ ධාවනය වන එන්ජිමක්.

          මේ M2 කියන එන්ජිමේ ප්‍රධාන ජනකය ගත්තම, මේකේ තියනවා විවිධ කාර්යයන් සඳහා යොදාගන්නා එතුම්, නැත්තම් වයින්ඩින් සෙට් කීපයක් ම. මේවා ඔක්කොම ගැන මෙතන විස්තරයක් කරන්නේ නැහැ, නමුත් කිහිපයක් ගැන සඳහන් කරන්නම්. මේවට සිංහල වචන නම් හොයන්න බැහැ ඉතින්, ඒ නිසා ඉංග්‍රීසියෙන් ම ලියන්නම්. මේ මම සඳහන් කරන්නේ ක්ෂේත්‍ර දඟරයට අදාළ විස්තර. මතක තියාගන්න මේක DC එහෙමත් නැත්තම් සරල ධාරා ජනකයක්. 

M2 පන්තියේ ප්‍රධාන විදුලි ජනකයේ ක්ෂේත්‍ර දඟරය සහ නිවස්නය. ඔය හීනියට තියන්නේ Inter- Poles.  

පළවෙනියට ම Main Pole කියන කොයිල් සෙට් එක තියනවා. මේවා තමයි විදුලිය නිපදවීම ගැන ප්‍රධානම වැඩ කොටස කරන්නේ. ඊළඟට තියනවා  Inter Pole කියන සෙට් එක. මේවායින් කරන කාර්යය තමයි, DC මෝටරයක් හරි ජෙනරේටරයක් හරි දුවනකොට, කාබන් බ්‍රෂ් වලින් කමියුටේටර් එකට විදුලිය සපයද්දී විදුලි පුලිඟු ඇති වෙනවා. මේකට කියනවා “Armature reaction” කියල. මේක අඩු කරන්න නම්, ක්ෂේත්‍ර දඟරයේ චුම්භක ක්ෂේත්‍රයේ තලය නැවත සකස් කරන්න ඕනේ. ඒකට, අතරමැදින් තව පොඩි විද්‍යුත් චුම්භක පිහිටුවනවා. ඒවාට තමයි මේ Inter poles කියන්නේ. මේවා පිහිටුවනකොට, ඉස්සරහින් තියන මේන් පෝල් එකත් එක්ක සම ධ්‍රැව වෙන්න ඕනේ, ඒ වගේම ශ්‍රේණිගතව සම්බන්ධ වෙන්න ඕනේ.

ඊළඟට, Compensating Winding කියල එකක් තියනවා. මේකෙන් වෙන කාර්යය තමයි, ස්ටේටර් එකේ චුම්භක ක්ෂේත්‍රය විකෘති වීම වැලැක්වීම. එතනින් එහාට තියනවා Shunt Field කියල කොයිල් සෙට් එකක්. මේ එතුම් සම්බන්ධ වෙලා තියන වයරින් සටහන් මට ලැබුනත්, ඒවා මෙතන ඉදිරිපත් කරන්න නම් බලාපොරොත්තුවක් නැහැ. එතුම් කියන වචනය මම මෙතන යොදාගත්තට, මේවා අපි ඔයාලා දකින පොඩි මෝටර් වල තියන හීන් කම්බි වගේ නෙවෙයි. මේවා ලොකු ධාරා ගෙනියන නිසා ආමාණය විශාල සන්නායක වලින් තමයි හදල තියන්නේ. 

M2 පන්තියේ ප්‍රධාන ජනකයේ ආමේචරය. ඔය අන්ඩර් කට් කරන අතරතුර.

ඒ වගේම, මේ M6 පන්තියේ එන්ජින් ගැනත් යමක් කියන්න ඕනේ. මේ M6 වර්ගයේ 788 එන්ජිම මම ඉන්න කාලේ සම්පූර්ණ අලුත්වැඩියාවකින් පස්සේ සේවයට එකතු වෙන්න සූදානම් වෙන ගමන් තිබ්බේ. මේකේ අවසාන සැකසුම් කරන්න මටත් දායක වෙන්න ලැබුනා. මේ එන්ජිම, ඇමරිකාවේ EMD සමාගමේ G22CW කියන සැලසුමට අනුව, බටහිර ජර්මනියේ හෙන්ෂල් සමාගමේ නිර්මාණය වෙලා 1979 ලංකාවට ආව එන්ජිමක්. සමහරු ජරාව කියල බනින තරමට දෙකේ කොළේට දැම්මට, මම නම් ආසම එන්ජිමක්. මේකේ විශිෂ්ඨ නිර්මාණයේ තරම බලාගන්නත් හැකි උනා මට මේ කාලේදී.

මේ එන්ජිමේ සමහර රිලේ, විදුලි උපාංග, අවුරුදු 44කට පස්සෙත් තවම Factory originals! ඒ වගේම තමයි, මේකේ භාවිතා වෙන EMD – 645 කියන දෙපහර ඩීසල්මෝටරයේ අඩු භ්‍රමණ වේගය නිසා (උපරිමය විනාඩියට වට 890), ගෙවී යාම ඉතාමත් අඩුයි. විදුලි පද්ධතිය උනත් සංඛ්‍යාංක විද්‍යුත් පාලන උපාංග නැති, බොහොම සරල එකක්. මේ කාලේ නිර්මාණය වෙන දුම්රිය එන්ජින් එක්ක බැලුවම, කලාත්මකබව, නිර්මානාත්මක බව වගේම සේවා යෝග්‍යතාවය සහ කල් පැවැත්ම කියන සාධක ඔක්කොම කැටි වෙන්න හදපු විශිෂ්ඨ යන්ත්‍රයක් කියන එක තමා අවසාන වශයෙන් මට කියන්න තියන්නේ. මෙහෙම යන්ත්‍ර එක්ක වැඩ කරන්න ලැබීම වාසනාවක්. 

ප්‍රධාන ජනකයට සම්බන්ධිත ඔක්සිලරි ජෙනරේටර් 2. ඔය උඩින් ශාෆ්ට් එකක් යන්නේ මෝටර් බ්ලෝවර් එකට.  

ප. ලි - සටහන ප්‍රමාද වී ධාවනය කරන්න සිදු උනා කාර්මික දෝෂ කිහිපයක් නිසා. ඒ ගැන සමාව බාජනෙකට දාන්න.

7 comments:

  1. ප්‍රමාද වී උනත් මොකෝ ඔය අගේට ධාවනය වෙලා තියෙන්නෙ.

    ReplyDelete
  2. සරල ධාර ජෙනරේටර් වල කොයිල් වලට වෙනම විදුලිය සපයනවා නේද -Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete