Friday, June 13, 2014

අපේ තුවක්කු ඉහලම.....

              ඔන්න ඉතින් කාලෙකට පස්සේ ආව බ්ලොග් එක පැත්තේ.. බ්ලොග් එක පැත්තේ විතරක් නෙවේ ලැප් එක හරියට දැක්කෙත් මාසෙකට විතර පස්සේ තමා.. මොකද මට පහුගිය ටිකේ වි භාගයක් තිබ්බ. ඒකෙ වැඩ නිසා මේ හතරමායිමට තහංචියක් දාගෙන තමා හිටියේ.
             හරි, පහුගිය ටිකේ කෝච්චි ගැනයි හොල්මන් ගැනයි කතා කරා.. මාව ආපහු ලැප් එක ගාවට අරගෙන ආවෙත්නම් කෝච්චියක් තමයි. ඒ උනාට ඒ ගැන වැඩි විස්තරයක් ලියන්න යන්නේ නෑ.. කෙටියෙන් කිව්වොත්, සෑහෙන කාලෙකට පස්සේ වාෂ්ප දුම්රිය එන්ජිමක් උඩරට දුම්රිය මාර්ගයේ ඉහල කොටසට ආපු එක තමා හේතු උනේ. හරි ඒ ඇති.
             ඔය පහුගිය දවසක පෝස්ට් එකක් දාපු වෙලාවක දැන් මේ පැත්තේ දකින්න නැති ධාරා කියල තිබ්බ විභාග කාලෙට තමා ලියන්න දේවල් හිටු කියල මතක් වෙන්නේ කියල. ඒක සහතික ඇත්ත අෆ්ෆා. ඔය විභාගෙට උවමනා කරන පරණ පොතක් හොයන්න අල්මාරියක් ඇදපු වෙලාවක, මට බොහොම අපූරු "වස්තුවක්" හම්බුනා..
        
මේ තමා උන බට තුවක්කුව...
      මේ තුවක්කුවට තව නමක් කියනවා.. අනික් පළාත් වල කොහොමද මම දන්නේ නෑ අපි නම් පොඩි කාලේ මේකට අච්චු බටේ කියන නමත් පාවිච්චි කරා.. ඔය දැන් තියන ප්ලාස්ටික් Air gun කියන පිස්තෝල වගේ නෙවෙයි. මේකකින් වෙඩි තියනකොට ඩෝන් ගාල සද්දෙත් එනවා. ඒ වගේම, පරිසරයට කිසිම හානියක් නෑ.. ඔය මම දාල තියන තුවක්කුව හැදුවේ මම 6 වසරේ ඉන්නකොට. ඒ කියන්නේ 2004. අගෝස්තු වල තමා මගේ දිනපොතේ හැටියට. ඒ කියන්නේ දැනට අවුරුදු 10කට කලින්. ඒ උනාට, පුංචි පිපිරීමක් ඇරෙන්න, තාමත් ඉතා හොඳ ක්‍රියාකාරී මට්ටමෙන් තියනවා!!
         මේකක් හදාගන්න හැටි කියනවා නම්, මුලින්ම හොයාගන්න ඕනේ උණ පඳුරක්. ඒ කියන්නේ මෙන්න මෙව්වා..
මේ තමා කහ උණ. කොළ උණත් තියනවා. හැබැයි කහ උණ බටේ හයියයි වගේම වැඩි කල් පැවැත්මක් තියනවා..
විද්‍යාත්මක නාමය- Bambusa vulgaris.

         උණ පඳුරක් හොයාගෙන, එකෙන් එක ගහක් කපල දාගන්න ඕනේ. ඒ ගහ ඇද නැති එකක් වීම අනිවාර්යයි. මේකේ ඉහලම කොටස තමා තුවක්කුවට ගන්න වෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ තියන බටේ හීනි වෙන තරමට හොඳයි. සාමාන්යෙන් පැන්සලක මහතට වගේ තියෙන්න තිබ්බ නම් ගානයි. දැන් ඔන්න ඔය හරියෙන්, ගැටෙත් එක්කම කපාගන්න ඕනේ සෙන්ටිමීටර් 15ක් 20ක් දිග කෙලින් කෑල්ලක්. ඊට පස්සේ, ගැට දෙක මුලින්ම වගේ කපල අයින් කරගන්න, හැබැයි මේ වැඩේ කරනකොට බටේ පලාගන්න එපා..
         ඔය ටික කරාම මෙන්න මෙහෙම තියෙන්න ඕනේ.
ඔන්න තුවක්කු බටේ.. මේකේ නම් සෙලෝටේප් වලින් සීල් කරලා තියන්නේ වටේට. අලුත් එකක ඒවා ඕනේ නෑ. මේක කොළ උණ වලින් හදපු එකක්.
         රයිට්. ඊළඟට වෙඩි තියන කොටස, නැත්තම් ට්‍රිගර් එක කිව්වා නම් හරි යයි.. මේකට, අර ගහේම, ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලට ලඟම පුරුකෙන් වගේ, සෙන්ටිමීටර් 5ක් විතර දිග කෑල්ලක් කපාගන්න, හැබැයි, ගැටේකුත් අහු වෙන්න. එකරලා, කිතුල් කෝටුවක් හරි ඒ වගේ නැවෙන්නේ නැති, හයිය තියන, අර ඉස්සෙල්ල කපාගත්ත කෑල්ලේ බටේ ඇතුලෙන් ලේසියෙන් යවන්න පුළුවන්, ඒ බටේට වඩා සෙන්ටිමීටර් 5ක් වගේ වැඩියෙන් තියන කෝටුවක් කපාගන්න. පරණ හයිය හැඳි මිටක් තියනවා නම් සුද්ද කරලා ගත්තත් කමක් නෑ. ඔය කෝටුව, අර ගත්ත පොඩි උණ කෑල්ලේ ඇතුලට යවාගන්න. මේක හොඳට හිරවෙන තරමට හොඳයි.. ගැටේ තියන්න කිව්වේ, වෙඩි තියනකොට ඔය කෝටුව අනික් පැත්තෙන් එන එක වලක්වන්න. මේක සම්පූර්ණ කරගත්තම මේ වගේ වෙන්න ඕනේ...
පේනවා නේද මම අගින් ගැටයක් තියල තියන හැටි..
         දැන් ඔය වැඩ ටික කරගත්ත නම්,තුවක්කුව හදල ඉවරයි. එතකොට කෝ උණ්ඩ?? මේකට දාන ඔරිජිනල් උණ්ඩ තමා කුඩුදවුල ඇට. දැන් කට්ටිය අහයිද දන්නේ නෑ ඒ මොන කුනුහරපයක්ද කියල. :D
නෑ නෑ බයවෙන්න ඕනේ නෑ. මේකට තව උණ්ඩ වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. එකතු කරගන්න මෙන්න මේ ටික-
පරණ පත්තර පිටු දෙක තුනක්,
ටිකක් ලොකු කෝප්පයක්,
කෝප්පෙන් භාගයක් තරමට වතුර.
         ඔය ටිකෙන් උණ්ඩයක් හදාගන්නේ මෙන්න මෙහෙමයි. මුලින්ම පත්තර පිටුවක් ඔය වතුර ටිකේ හොඳට පොඟවගන්න. ඊට පස්සේ ඒක ඔය තුවක්කුවට දාගන්න පුළුවන් තරමක කෑලි වලට කඩල ගුලි කරගන්න. අච්චු කූර (ඔය උඩ තියන්නේ.. ) අරගෙන, ඕක දිග බටේ එක පැත්තකට යවාගන්න. දැන් තව එකක් අරගෙන අනික් පැත්තෙන් තියල හෙමීට කූරෙන් ඇතුලට තල්ලු කරන්න. කූරෙන් අඟල් භාගයක් තරම ඇතුල් කරන්න පුළුවන් තරමට කොළ ගුලිය ඇතුලට ගියහම, කූර බටේට ඇතුල් කරලා, වෙර දාල තල්ලු කරන එකයි තියන්නේ. බටේ පිපුරුවේ නැත්තම්, අර කලින් තියපු ගුලිය ඩෝන් ගාල එලියට විසික් වේවි. (මූනට අල්ලාගෙන එහෙම ඔය වැඩේ කරන්න එපා ඇහැක් හොයන්න යන්න වේවි ඊට පස්සේ)
          මේ තියන්නේ ඔය සම්පූර්ණ කට්ටලය..
ඔන්න සම්පූර්ණ කට්ටලය. ඔතන එකක් තෙමපු උණ්ඩයක්. අනික කලින් පාර පාවිච්චි කරලා ඇතුලේ තිබ්බ එක.
                            
         ඔය තුවක්කුවෙන් වෙඩි තියන්න ටිකක් පුරුදු වෙන්න ඕනේ. අපි ඒ දවස් වල ඕවලින් යුද්ධ හිටන් කරලා තියනවා. ලේ පාට හිටින්න, කොල පොඟවන වතුරට රතු පාට දිය සායම් හරි ගඩොල් කුඩු හරි දිය කරනවා.. :D

          මේකේ ක්‍රියාකාරීත්වය තියන්නේ වායු පීඩනය මත. ඒ කියන්නේ, කොළ ගුලි දෙකෙන් හිර වෙනවනේ වාතය කොටසක්. බටේ හරහා එලියට යන්නත් බෑ. ඉතින් එක පැත්තකින් තල්ලු කරද්දී, වායු පීඩනය නිසා ලේසි කෙලවරින් කොළ ගුලිය විසි කරගෙන වාතය නිදහස් වෙනවා. එහිදී වායුවේ තිබ්බ ශක්තියෙන් කොටසක් ශබ්දය විදිහටත් නිදහස් වෙනවා. බැරි වෙලාවත් උණ බටේ දුර්වල උනොත්, බටේ පුපුරන්නත් ඉඩ තියනවා.. ඔය අච්චු බටේට සමාන යාන්ත්‍රණයක් මත තමා වාෂ්ප දුම්රිය වැඩ කරන්නෙත්.. වායු බලයේ තරම හිතාගන්නකෝ ඉතින්...

48 comments:

  1. ඕවට මේ පැත්තෙනං කියන්නෙ කිරිල්ල වෙඩි කියල.
    ඕවට දාන්න ගන්නෙ කිරිල්ල කියන ගස්වල ගෙඩි. ඒව නැති කාලෙට ඔය වගේ කඩදාසි කොළ පොඟවලත් දාල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඔව් එක එක පැති වල එක එක නම් නේ.. කොහොම හරි, අපි නම් පාවිච්චි කරේ කඩදාසි කොළ තමා.. :D

      Delete
  2. අපිත් මේවයින් හොරා පොලිස් කළ ඒ කාලය මතක් වුණා. අපි දාන්නෙත් කොහි කරිල්ල හො වෙඩික්කා කියන ගෙඩි වර්ගය වැදුණාම පාරක් පුපුරු හිටිනවා. අගෙයි මලයා.

    ReplyDelete
    Replies
    1. අෆ්ෆා අපිත් කියල වෙනසක් නෑ.. ඉස්සර හවස් වරුවේ එහෙම මේ පැත්ත මුදා නොගත් කලාපයක් වගේ තමා.. අපි කඩදාසි රතු පාට කරලා ගන්නේ.. :D

      Delete
  3. ප්‍රසන්න අපි කියන්නේ කෝකිරිල්ල කියල , දංගෙඩි උනත් දාන්න පුලුවං ,

    ReplyDelete
    Replies
    1. ඔය වැඩේට හොදම උණ ගස් නෙමෙයි බට ගස් , මැරෙන්ඩ ඔන්න මෙන්න තියන පුරුක් දිග එකකින් ගත්තහම , සබ්දය සහ උන්ඩය යන දුර වැඩි කරගන්න පුළුවං , ඒකට ඉස්සරහට ලොකු නූල් කෝන් එකක් ගහ ගත්තහම සබ්දය තවත් ටිකක් වැඩි කරගන්න පුලුවං ,

      මං ඉස්සර හදනව දෙකක් , වෙඩි තියල බලල එකක් ගන්නවා ඊලක්කය ගන්න , ඒ තරම් හොදට ඉලක්කය ගන්න බැරි එක වැඩි ශබ්දයක් ගන්න නුල් කෝන් එකක් දාලා හදාගන්නව

      හැබැයි දෙකටම එක අච්චු කූරයි , ඒක හදාගත්තේ වරිච්චි බිත්තියක් අස්සේ තිබිලා ගත්ත පරණ පුවක් පටියකින් , මිටට බට කෑල්ලක් නැතුව ඒ කොටසත් කපාගත්තා අර පුවක් පටියෙන්ම

      බට දෙකම එකට තියල ඔට්ටපාලුවලින් බැදලා තමයි තිබුනේ , ආයේ ඉතින් ඕකත් අරගන යන්නේ නිකං රම්බෝ වාගේ තමයි

      ඕකේ මිනි වර්ෂන් එකකුත් තිබුනා සාක්කුවේ දාාගන ඉස්කෝලෙට ගෙනියන්ඩ , ඒක හදන්නේ පැන් බටයකින් , ඒකට දාන්නේ ගදපාන ( බාලොලියා ) ගෙඩි

      දැං හැදෙන එකාලට කොහෙද බං එහෙම ආතල් එකක්

      Delete
    2. ඉදල හිටල හරි මොනවහරි ලියහං බං , දැන් කියවන්ඩ දෙයක් නැ , බ්ලොග් දෙක තුනක් ඇරෙන්ඩ අනිත්වා හෙවනැලි

      Delete
    3. මම නම් මිනි වර්ෂන් හද හද හිටියේ නෑ ඕකම තමා ඉස්කෝලෙට ගෙනිච්චේත්. ගෙනියල බැල්කනි එකේ ඉඳල බාස්කට්බෝල් කෝට් එකට තිබ්බ හතර පහක්. මමත් මෙයින් දෙකක් හදාගෙන හිටිය. බයිසිකලේ යන්නෙත් එකක් ලෝඩ් කරලා අතේ තියාගෙන අනික් එක සාක්කුවේ දාගෙන. සාක්කුවේ දාන් හිටිය එක දවසක් වැටිලා පිටිපස්සේ රෝදෙට අහු උනා. එදායින් පස්සේ මේකත් ගෙදර.
      දැන් ඉන්න උන් මේවා අඳුරන්නෙත් නෑ... උණ බට තුවක්කුව කිව්වම ඒ මොකද්ද අහන උන් නේ දැන් ඉන්නේ. 90 දශකයේ මුල කට්ටිය තමා මේවලින් සෙල්ලම් කරපු අවසාන පරම්පරාව.
      ලියන්නම් ලියන්නම් දැන් ප්‍රශ්නයක් නෑ...

      Delete
    4. පෑන් බට තුවක්කුවට අපි නං දාන්නෙ ගම්මිරිස් ඇට, අටං...

      Delete
    5. පෑන් බට තුවක්කුව හදල අච්චු කූරට ගන්නේ මොකද්ද?

      Delete
    6. ඉස්ෆෝක් කම්බියක් කපලා අරගත්තහම මරු

      Delete
    7. තෑන්ක්ස් වේවා!!

      Delete
    8. අපිත් දැම්මේ කිරිල්ල ගෙඩි බං.. කිරිල්ල ගෙඩිය සිදුරට තියලා මිටෙන් පොඩි තට්ටුවක් එහෙම දාලා ලෝඩ් කරගන්නෙ :D

      Delete
    9. අන්න අපිත් එහෙම තමා කඩදාසි ලෝඩ් කරෙත්. බටේ හීනියට වගේ පිපුරුවම හුලන් ටික යන්න කලින් වෙඩි තියන්න ඕනේ.

      Delete
  4. කිරිල්ල ගෙඩි නේද ඊය කියන්නේ? මේ පැත්තේ දාන්නේ ඒවා... ආයේ උණ බට තුවක්කුවක් හදා ගන්න ආස හිතුනා මේක දැකලා

    ReplyDelete
    Replies
    1. හදාගමු හදාගමු.. ඔය උඩින් ඉන්නේ මේ ශිල්පයේ කෙල පැමිණි කස්ටිය.. ඊළඟ ගෙට් එකේදී මෙව්වයින් යුද්දයක් කරන්න බැරුවය.. :D

      Delete
  5. හිහි උණ බට තුවක්කුව...
    අපි නං යූස් කලේ කිරිල්ලයි කරදාසි පොගවලා හදපු ගුලියි...
    වැදුණහම කාගෙ හරි එක්කො අපි දුවනව...
    නැත්තං අපි දුවනව..
    හිහි

    ReplyDelete
    Replies
    1. අපි පාරවල් වලට එහෙම තියනවා ඉස්සර ගස් උඩ ඉඳල.
      බොහෝ වෙලාවට අපි අපිම තමා තියාගන්නේ.

      Delete
  6. මම ඉස්සල්ලා දැක්කේ ඔයාට වී භාගයක් තියෙනවා කියලා. :)

    මටත් දැන් මොන වගේ හරි කමක් නෑ තුවක්කු ටිකක් ඕනි වෙලා තියෙන්නේ. හොඳ වෙලාවට අඟහරුවා අහුවුණා වැඩේට. :D

    ReplyDelete
    Replies
    1. හෆ්ෆා පොඩ්ඩි අක්කා... වෙලාවට පස්සේ හරියට දැක්කේ නේද.. :D
      දෙන්නම් දෙන්නම් කිසි ප්‍රශ්නයක් නෑ.. ඕනේ බෝර් එකයි ගානයි එවන්න..

      Delete
  7. දැන් ඉතිං අහල පහල උන් වසලා හමාරයි.මට ආරංචිය ආවා මලයා ඔය තුවක්කුව දහම්පාසලේ උගන්වන්න යනකොටත් ගෙනියනවා කියලා... කතාව ඇත්තේයි :D

    ReplyDelete
    Replies
    1. පීසුද.. අහල පහල උන්ට තියන්නේ නෑ ඒකෙන්.. ඒක දැන් කෞතුක භාණ්ඩයක් වගේ.
      දහම්පාසලට තුවක්කු ඕනේ නෑ..

      Delete
  8. ඔන්න භාණ්ඩේ. ඉස්සර ඉස්කෝලේ ගෙනියලා පලු නගින්න වෙඩි තියන්නේ , බට ගස් වලින් තමයි හදන්න පුළුවන් සිරාම තුවක්කු

    ReplyDelete
    Replies
    1. බට ගහක් මෙහෙ දකින්නවත් නෑ දැන්.. මගේ ගාව තියන තුවක්කුව අද ෆයර් කරනවා දැකල අත්තත් කිව්වේ ඕව ඉස්සර බට ගස් වලින් හදනවා කියල..

      Delete
    2. බට ගස් තියනවා තාම..බං හවසට පාරෙ යනවා ස්කිනි එහෙම ගහං .. :D

      Delete
    3. ඔය කොයි පළාතේද?

      Delete
  9. පොඩි කාලෙ ම්න් ගාවත් එකක් තිබුනා..

    ReplyDelete
    Replies
    1. මේකත් මම 6 වසරේදී හදපු එක. තව සෑහෙන ගානක් හැදුව.. ඒවා සමහරක් ඒ දවස් වලම රීප්ලේස් උනා. අනික්වා එක්කෝ බට පිපුරුව. නැත්තම් වැටිලා එහෙම කැඩුන. ඉතුරු උනේ ඕක.

      Delete
  10. අඩේ අපිටත් එහෙම අතීතයක් තිබුනා නේද කියලා මතක් වුනා..

    ReplyDelete
    Replies
    1. වර්තමාන දරුවන්ට අහිමි ඒ සුන්දර ළමා කාලය...

      Delete
  11. කිරිල්ල,කොන්කිරීඤ,අමු ගම්බිරිස් ඇට,ලපටි දම් ගෙඩි තමා අපේ ප්‍රියතම උණ්ඩ..කිරිල්ලයක් කකා නොවෑ විදින්නෙත්..කඩදාසි ගැන දැනන් හිටියත් පාවිච්චි කරලා න හෆ්ෆා...අපිට උණ්ඩ හිගයක් තිබුනේ නැ නොවෑ ඒ කලේ..
    උන ගහට වඩා බට ගහ තමා හොද..සද්දේ වැඩි...මම නම් ගත්ත්තේ කොපි කොටුව

    ReplyDelete
    Replies
    1. කෝපි ගස් අපි ගත්තේ දුනු ඊතල හදනකොට. කිතුල් කෝටු වලින් අපිට අඩුවක් තිබ්බේ නෑ.. කොහෙන් හරි එකක් සෙට් උනා. අපි නම් කඩදාසි තමා පාවිච්චි කරේ වැඩියෙන්ම.
      බට ගස් නෑ අෆ්ෆා ලේසියට හොයාගන්න. ලඟම තිබ්බේ උණ.

      Delete
    2. හෙවනක මිටි වෙලා මෝරපු රත්මල් කෝට්ට , කැට කෑල කෝට්ට , එව්වත් ගත්ත හැකි

      Delete
    3. හිට පිය මම දැං එකක් හදනව

      Delete
    4. හදමු හදමු. පුළුවන් නම් ඕව ටිකක් හදාගෙන එමු ඊළඟ ගෙට් එකට. ඇවිල්ල තියමු කට්ටියට නිල් වෙන්න.. :D

      Delete
    5. මම ගෙනත් පැලකරපු පොඩි බට පදුරක ගස් හතරක් පහක් තිබුනා බං , කෙල්ලටත් හෙන පංපෝරියක් ගහල එකක් කපල බලනකොට ඒක හරියන්නේ නැ . ඒක අර හිල පොඩි ජාතියේ මල් බට පදුරක් .

      හිටහං මම කොහෙන් හරි හොද බට ගහක් හොය‍ාගන්නව

      Delete
    6. හොයමු හොයමු හොයල හදාගෙන ෆොටෝ ටිකක් එහෙම දාමුකෝ හදන හැටිත් එක්කම..

      Delete
  12. බොහොම හොඳයි බොහොම හොඳයි. අද කාලේ ළමයි අහලා දැකලා නැති, අපි පොඩි කාලේ 'මහා සටන් කල' මේ තුවක්කුව ගැන අද ලෝකයට කියාදීම ගැන බොහොම ස්තුතියි.

    අද ඉන්න දරුවන්ට ඉස්කෝලෙන් කිව්වොත් පැවරුමක් ලෙස මේ තුවක්කුවක් හදන්න කියලා තාත්තා තමයි හදන්නේ. ළමයා දන්නෙත් නෑ හදලා දෙනකල්. නැත්නම් දන්නා කෙනෙකුට සල්ලි දීලා හදවාගන්නවා. ඉතින් කොහෙද ප්‍රයෝගික දැනුමක් ලැබෙන්නේ.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අනිවාර්යෙන්.. දැන් ඉන්න උන් කුරුම්බැට්ටි මැෂිම හදන්න දන්නෙවත් නෑ. තුවක්කු ගැන කුමන කතාද...
      මට මේ සටහන ලියනකොට විචාරක තුමාව මතක් උනා අර කාලතුවක්කු ටික එක්කම. ඒ උනාට කොහෙද ඉතින් මේකේ මෙන්ෂන් කරා කියල නොටිෆයි වෙයි කියලය..
      උන බට තුවක්කු, කුරුම්බැට්ටි මැෂින්, පැපොල් බට නලා වලින් සෙල්ලම් කරපු අන්තිම පරම්පරාව අපි...

      Delete
    2. මම ඔබව මගේ බ්ලොග් රෝලට දාගත්තා. මීට පස්සේ මගහැරෙන එකක් නැහැ. අටම් තමයි පාර කිව්වේ.

      Delete
    3. බොහොම ස්තුතියි විචාරක තුමනි! ඒ වගේම අටම්ටත් ගොඩාක් ස්තුතියි පාර කිව්වට!

      Delete
  13. Replies
    1. ඔව්.. සහතික ඇත්ත. එකනේ වැඩ කරන එකක්ම තියාගෙන ඉන්නේ...

      Delete
  14. පාර කිව්වේ අටමා.. මාත් පොත් බෑග් එකේ ඔබාගෙන ඉස්කෝලෙ ගෙනිච්චා ඕක..සාක්කු දෙකේ බුලට්. :D

    ReplyDelete
    Replies
    1. මමත් බෑග් එකේ තමා අරගෙන ගියේ.. පන්තියට එහා පැත්තේ ටැප් එකක් තිබ්බ හින්ද උණ්ඩ ප්‍රශ්නයක් උනේ නෑ..

      Delete
  15. දැක්කමත් ආයිමත් හිත පොඩිකාලෙට ගිහිං ආවා............ඔය කාලේ උන්ඩයක් කොයි වෙලෙත් කටේ දාං හිටියේ කෙල වලිං තෙත් කරං නැත්තං හදිස්සියට වතුර හොයං ලෑස්තිවෙනකොට අනිත් එකා අපිට තියලා ඉවරයි

    ReplyDelete
    Replies
    1. අපි නම් ඉතින් ගෙවල් වල ඉඳලමනේ යුද්ධ කරන්නේ. වතුරේ ප්‍රශ්නයක් තිබුනේ නෑ ඒක නිසා..

      Delete
  16. ඕකට තව හරියටම හරි දං ගැට. ඉදෙන්න කලිං කොල පාටට තියෙන දං ගැට ඔය විදිහට කටෙන් බස්සනකොට වැඩි කොටස කැඩිල අයිං වෙනවා .

    ReplyDelete