Saturday, December 12, 2015

පාරාදීසයේ ඉම වෙත...


         
ඉහල කොත්මලේ ජලාශය හරහා..
          තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩ්ඩි, මෑත කාලයේ අප සමාජයේ විශාල කතාබහකට ලක් වූ ඉහල කොත්මලේ ජලාශය හරහා ගමන් කලාය. ජලාශය හරහා ඇයට එතෙර වීමට වංගුවක පිහිටි ඉතා අලංකාර පාලමක් සාදා ඇත. 
ජලාශය හරහා ඇති පාලම.
ඉහල කොත්මලේ ජලාශයේ දොරටු සහ වේල්ල.
            එයින් එතෙර වී, ජලාශය වටේට ඇය ගමන් කරේ, ඉතා දැඩි ආනතියක් සහිත වූ මාර්ගයක බව අපට දැනුනි. එන්ජිමට ආසන්න මැදිරියේ සිටි මට, පසුපස නිරීක්ෂණ මැදිරිය මා සිටි මට්ටමට බොහෝ පහලින් ඇති බව දක්නට හැකි විය. 
  
ජලාශයෙන් එතෙර වී කන්ද නගින්නට සැරසෙමින්..
            මෙම අඩවිය පසුකරන පොඩි මැණිකේ, මද දුරකට පසු පිවිසෙන්නේ වක්‍රාකාර මාර්ගයකටයි. මෙම කොටසේ තිබෙන වංගු සංඛ්‍යාව කොපමණ දැයි කිවහොත්, තලවාකැලේ සහ වටගොඩ අතර සිතියමක තනි කෙලින් ඉරක් ඇන්දහොත්, දුම්රිය මාර්ගය එම ඉර ස්ථාන නමයකින් කැපී යයි! 
වංගු සහිත මාර්ගය තරණය කරන පොඩ්ඩි..
            තලවාකැලේ දුම්රිය ස්ථානයෙන් සැතපුම් එක හමාරකට දෙකකට පමණ ඉහලින්. ඩෙවෝන් ඇල්ල පිහිටා තිබේ. දැන් නම් එය නොපිහිටි තරම් ය. 
මෙන්න ඉතිරිය..
            දුම්රිය වංගු, තේ වතු පසු කරමින් ඉහලට ඇදෙයි. ඈතින් ඉතා අලංකාර පාලමක් දිස් වේ.  
ඈතින් දිස් වූ පාලම..
“තව ටිකකින් අර පාලම උඩින් අපි යනවා. ෆොටෝ එකක් ගහල තියාගනින්..” 

අකිල අයියා එසේ කියනු ඇසෙයි. මා හනිකට සේයාරුවක් ගනිමි.. තවත් විනාඩියක පමණ ඇවෑමෙන්, පොඩි මැණිකේ ඉතා සීරුවෙන් එම පාලම හරහා ගමන් කරයි..! 
පාලම උඩින් ගමන් කරන පොඩි මැණිකේ..
            පාලම පසුකරන පොඩි මැණිකේ, මෙම ගමනේදී අපට හමුවන 16 වන බිංගය පසු කරයි. එසේ පසු කරන පොඩි මැණිකේ, මෙම මාර්ගයේ හමුවන තවත් අලංකාර මෙන්ම තරමක් විස්මයජනක ඉදිකිරීමක් වෙත පිවිසේ. ලංකාවේ දුම්රිය මාර්ගයක (පුළුල් ආමාන - Broad Gauge) උපරිම ආනතිය අඩි 44ට එකකි. කිසිම හේතුවක් නිසා මෙය ඉක්මවා යා නොහැකිය. එම නිසා උඩරට මාර්ගයට භූවිෂමතාවයට අනුව සැකසීමට ඇති එකම ක්‍රමය නම්, උස වෙනස් වීම් වලදී, ඉතා දිගු දුරවල් යොදා වක්‍රාකාර මාර්ගයක උස මෙන්ම දුර තරණය කිරීමයි. 
Soda Bottle Curve.
            මෙම කොටසේදී, දම්වැල් දහයක දුරින් පිහිටි ස්ථාන දෙකක් අතර ඇති අඩි 90ක උස පරතරය තරණය කිරීමට, දුම්රිය මාර්ගය සැතපුමක පමණ දුරක් ගෙවයි! මෙම කොටස හඳුන්වන්නේ “Soda bottle curve” යනුවෙන්ය. ඒ, මෙම මාර්ගය ඉහල සිට බැලීමේදී පැරණි සෝඩා බෝතලයක හැඩයට දිස් වන නිසාය. එමෙන්ම, මෙම කොටසේ යන දුම්රියකට, සෝඩා බෝතලයේ කට කොටසේදී, පසු කර ආ මාර්ගය ඉතා පහලින් දැකිය හැකිය. 

            මෙම වංගුව පසුකල පොඩි මැණිකේ, තවත් කෙටි දුරක ධාවනයෙන් පසු, ලඟා වූයේ තවත් ඉපැරණි බවේ ලක්ෂණ ඉතිරි කරගෙන සිටින දුම්රිය ස්ථානයක් වන වටගොඩ දුම්රිය ස්ථානය වෙතයි.. 
ඉපැරණි බව කියාපාන දුම්රිය ස්ථානය..
           වටගොඩ දුම්රිය ස්ථානය, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 120කුත් දම්වැල් 10ක දුරකින් ද, මුහුදු මට්ටමේ සිට අඩි 4400ක උසකින් ද පිහිටා ඇත. වටගොඩ වනාහී තරමක කුඩා දුම්රිය ස්ථානයකි. පාෂ මාර්ග තුනක්, එක් බඩු ගබඩාවක් සහ රෝද 4 ගැල් රථවල බර කිරීම සඳහා තරාඳියකින් යුක්ත මෙම දුම්රිය ස්ථානය සතුව, පැරණි වතුර ටැංකියක් ද ඇත. 
වටගොඩ වතුර ටැංකිය.

          වටගොඩ දුම්රිය ස්ථානය පිහිටා ඇත්තේ ග්‍රේට් වෙස්ටර්න් කඳු වළල්ලට පිවිසුමේය. මෙහි වායුගෝලයේ ද පැහැදිලි වෙනසක් දක්නට ලැබුණි. එනම් විශේෂයෙන් එදින හිරු සහිත දිනයක් වූ බැවින්, වායුගෝලය නැවුම් බවක් ඉසිලීය. පොඩි මැණිකේ එදින නියමිත වෙලාවට විනාඩියක් කලින් වටගොඩ වෙත ලඟා වූවාය. එබැවින්, විනාඩි දෙකක කාලයක් එහි නවතා තිබුණු දුම්රිය, පෙරවරු 11.55ට, වටගොඩ දුම්රිය ස්ථානයෙන් ග්‍රේට් වෙස්ටර්න් බලා පිටත් වූවාය...  

පාලුවට ගොස් වල් වැදී ඇති වටගොඩ අංගනය සහ තරාඳිය.






18 comments:

  1. බදුල්ලට යන්න තව ගොඩක් කල් යයිද අඟහරුවෝ

    ReplyDelete
    Replies
    1. ගණන් කරලා බලන්න ඉස්සරහට තව ස්ටේෂන් කීයක් තියේද කියලා..

      Delete
    2. https://en.wikipedia.org/wiki/List_of_railway_stations_in_Sri_Lanka

      Delete
    3. ස්තුතියි ලින්ක් එකට!

      Delete
  2. විස්තරෙත් මසුරං, බොලාගේ පොටෝත් මසුරං
    ජයවේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ කමෙන්ටුවටත්!

      Delete
  3. මුලදි මම හිතුවෙ අර පාලමයි, වටරවුමයි දෙමෝදර කියලා. එහෙනං ඊට කිට්ටුවෙන් යන තව තැනක් තියෙනවා නේද?
    විස්තුරය සුපිරි! මේක දෙනවා බාලිකාවට බලන්න.

    ReplyDelete
    Replies
    1. දවසක් මම අපේ ජ්‍යොෂ්ඨ නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ සමග, ඔහුගේ වාහනයෙන්, කෑගල්ලේ සිට නුවරට යද්දී, කඩුගන්නාව ප්‍රදේශයේදී, අර නිලධාරියාගේ බිරිඳ හිටපු ගමන් කෑගැහුවා, 'අනේ යසේ (යසේ කිව්වේ ඒ නිලධාරියාට බිරිඳ කියන හුරතල් නම) එන ගමන් අපි සීගිරියටත් ගිහින් යමු' කියලා. අර නිලධාරියාත් මමත් පුදුම වුනා, සීගිරි යන්න නම් කොච්චර දුර යන්න ඕනෙද කියලා. මොකද වෙලා තියෙන්නේ. අර නෝනා බතලේගල දැක්කම, ඒ සීගිරිය කියලා හිතලා.

      Delete
    2. ඔව්. ඔය රේල් පාරක දුර වගේම ආනතිය තරණය කරන්න ක්‍රම කීපයක් තියනවා. එයින් දෙක තුනක්ම අපේ රේල් පාරවල් වල දකින්න පුළුවන්.

      Delete
    3. විචාරක තුමා- හෆ්ෆා... ඉතිං රවුමම ගිහිං සීගිරියත් බැලුවද නැත්තම් සීගිරිය කියල බතලේගල පෙන්නුවද?

      Delete
  4. මේ කතාවට අදාළ විස්තර හොඳින් ඉදිරිපත් කරන්න නම්, කෝච්චියේ යන ගමන් ගන්න පින්තූර ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නමුත් ඔබ ඉතා වෙහෙසවී, සතුටුදායක පින්තූර රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

    ඩෙවන් අල්ලේ අලංකාරය බැලිය හැකි තවත් ක්‍රමයක් තියනවා. ඒ තමයි, ඇල්ල වැටෙන්නට පටන්ගන්න තැනට ගිහින් පහළ බලන එක. එය ඉතාම ත්‍රාසජනක අත්දැකීමක්.

    අර ගූගල් සිතියම ඊට වඩා ලොකුවට පෙන්නුවානම් හොඳයි. එසේම දුම්රිය මග පාටකර පෙන්නුවානම් තවත් හොඳයි.

    දුම්රිය දෙපාර්තමේන්තුව තවමත් පාවිච්චි කරන්නේ ඉම්පීරියල් මිනුම් ක්‍රමද? නැත්නම් ඔබට ලැබුණු තොරතුරු වල තිබෙන්නේ ඒ මිනුම් ක්‍රමද? දම්වැල් 10 ක් වැනි යෙදුමක් සමග, මෙට්‍රික් පරිවර්තනයද යොදනවානම්, පාඨකයන්ට විශාල රුකුලක් ලැබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම ඒවා ප්‍රමාණවත් නෑ. මම මේ පෝස්ට් සීරීස් එකට දැම්මේ මේ ගමනේදී ගත්ත ෆොටෝ විතරයි. එයින් ඒ කාලේ වෙද්දී ඒ දේවල් තිබ්බ විදිය, යන ගමන් මට අහු වෙච්ච විදිය කියන්නයි ඕනේ උනේ. මොකද නාවලපිටියෙන් එහා දේවල් මම ඔය දැක්කේ 1990 දශකයේ දැක්කට පස්සේ. ඒත් බොහෝ දේවල් දකින්නේ පලවෙනි වතාවට. ඒ දැකලත් කොහොම හරි ෆොටෝ එකක් අල්ලගන්න හැකි උනා. ෆෝන් එකෙන්. අද ඒ කෝච්චියවත්, ඔය ෆොටෝ ගත්ත ෆෝන් එකවත් මගේ ළඟ නෑ.
      දිය ඇලි ටික බලන්න වෙනම වෙලාවක යන්න ඕනේ.
      ඔව්. ඒ සිතියමේ වැඩේ නම් කරන්න පුළුවන් උනා නම් හොඳයි කියල මටත් පස්සේ හිතුනා. දෙමෝදර සිතියම දානකොට එහෙම කරන්නම්.
      දුම්රිය දෙපාර්තමේන්තුව උඩරට, මාතලේ මාර්ග වලට තවමත් බ්‍රිතාන්‍ය ඒකක පාවිච්චි කරනවා. මගේ ගාව ඒකක දෙකෙන්ම මිනුම් තියනවා. ඒත් අර ඔරිජිනල් ගතියට හිටින්න තමා බ්‍රිතාන්‍ය ඒකක වලින් දුන්නේ. පෝස්ට් සීරීස් එක අන්තිමේ ඔය වගේ දත්ත සටහනක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

      Delete
  5. පුරුදු විදිහට මමත් ආවා. බොහොම ස්තුතියි වටගොඩ මාර්ගයේ විශේෂත්වය ගැනත් ටිකක් කිවුව එක ගැන.

    ReplyDelete
    Replies
    1. ඊළඟ පෝස්ට් ඒකත් කියවන්න එන්න.. මාර්ග විස්තර තව තියනවා. ඉදිරි පෝස්ට් වලදී ඒවා ඉදිරිපත් කරන්නම්..

      Delete
  6. ජයවෙවා. වැඩ ගොඩක් තිබුන වෙලාවකයි බැලුවේ ඇවිත්. ගොහින් එන්නං....

    ReplyDelete
  7. නියමයි. කලින් පෝස්ට් එක බලන්න බැරි උනා ඒකත් බලලම යන්නම්

    ReplyDelete
    Replies
    1. ඒක තමා මමත් බැලුවා මොකෝ දකින්න නැත්තේ කියලා.. හා හා බලල යන්නකෝ..

      Delete