Saturday, December 31, 2016

අතීතාවර්ජනය..





.....

එහෙ බැලුවා- මෙහෙ බැලුවා.. තව අවුරුද්දක් ඉවරයි.. මේ ටිකේ කාලේ ගෙවෙන වේගය වැඩි ද කොහෙද.. 2016.. ගොඩක් බලාපොරොත්තු තියං හිටිය අවුරුද්දක්.. සමහර ඒවා ඉටු උනා. තව ඒවා කෙලවෙයි කියල හිතුවටත් වඩා අන්ත විදියට කෙලවුනා. ඒ වගේම, කවදාවත් නොවෙයි කියල හිතපු දේවල් දෙකතුනකුත් කොහොම හරි උනා.. 


W2 එක.. මේ තව හීනයක්..

 මේ අවුරුද්දේ වැඩියෙන්ම කරපු දේ ඇවිදින්න ගිය එකද කොහෙද. රේල් හයික් නම් ලොකු ගානක් නොගියට ගිය පොඩි ගමන් ටික සෑහෙන විනෝදජනක, ඒ වගේම වැදගත් ගමන් ටිකක් උනා. යකඩ යකා ගෘප් එකේ ඇඩ්මින්ලා ටික එකට එකතු කරගන්නවා කියන්නේ ලාහෙට ගෙම්බෝ එකතු කරනවාටත් වඩා අමාරු වැඩක්. ඉතිං උන් ටික එක්කහු කරගෙන මාතලේ ගියා කියන්නේ ගිනස් වාර්තාවක් වෙන්න පුළුවන්.  


ඔන්න සෙට් එක..

තව, හීනයක් වෙලා තිබ්බ මරදානේ ධාවනාගාර ටික බලන්න දෙතුන් වතාවක් යන්න පුළුවන් උනා. ඒකට අපේ සහන් මලයා සහ අකිල අයියා උදව් කරා. 


විශ්‍රාමික දිස්ත්‍රික් පරීක්ෂක (ඉහල දිස්ත්‍රික්කය) - තිබ්බොටුමුනුව මහතා සමග..

ඒ වගේම, එක රේල් හයික් එකකුත් යාගත්තා.. ආ එකක් නෙවේ දෙකක්. කලින් ගිය සෙක්ෂන් එකකම උනත් කට්ටිය වෙනස්. ආපු කෝච්චි වෙනස්.. ඒ විස්තර මම මේකේ දැම්මා.  


අවුරුද්දේ එක රේල් හයික් එකක්..

ආ ඒ හයික් එක ගියපු දවසෙම, මගේ හීනයක් වෙලා තිබ්බ, ඒත් කවදාවත් ඉටු වෙයි කියලා තුං හිතකින්වත් නොහිතපු දෙයක් ඉටු උනා. ඒ තමයි, මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ, ඒ කියන්නේ මම ඉගෙනගත්තු, මට නිවසක් වෙච්ච පාසලේ, ආචාර්ය මණ්ඩලයට එකතු වෙන්න ලැබීම. ඒ තමා මගේ පළවෙනි රැකියාව.. 


DIMO එකට ඉස්කෝලේ ළමයි ටික එක්කරන් යන්න ලැබුනා.

ඒ ටික එහෙම වෙද්දී, අවාසනාවන්ත සිදු වීම් කිහිපයකුත් නොවුනම නෙවේ. ඒ අතරින් මට හොඳින්ම දැනිච්ච එකක් උනේ අපේ අත්තම්මා වැටිලා කකුල කඩාගත්ත එක. අවුරුද්ද මුලදීම උන ඒ අනතුරින්, ඇයට තවමත් දෙපයින් තනිවම සිටගත නොහැකියි.
මේ අවුරුද්ද මහ රුවිතෙට ගියපු අවුරුද්දක්. අවුරුදු නැකතේ ඉඳන් නිවාඩු දවස් දක්වා ඔක්කොම තිබ්බේ රුවිතෙට. අවුරුදු නැකත් තිබ්බේ අමු පට්ටපල් රෑ. නිවාඩු ඔක්කොම වගේ සෙනසුරාද/ ඉරිදා. ඉතිං කොහොමද කියහල්ලකෝ රටක් හැටියට ඉස්සරහට තියා පස්සහට වත් යන්නේ.. 


ලංකාවේ ධාවනයේ පවතින පැරණිතම වාෂ්ප එන්ජිම

ඒ අහු අස්සේ, ඇක්සිඩන්ට්, තව තව එක එක දේවල් ගොඩාක් උනා. ජනාධිපති අගමැති ඇතුළු මැති ඇමති මණ්ඩලය හොඳට මහා (කියල කියන) ජනතාවගෙන් අහගත්තා. ඒ වගේම සම හරක් ඇදගෙනත් නාගත්තා දැක්කා. අයවැයක් කියලා එකක් ආවා. මුදල් ඇමති හතර අතේ බදු ගහන හැටි බලං හිටියා අපිත්.. මම දැක්කා එතුමා කියනවා අපි ජනතාවට උපරිමෙන්ම සහන දුන්නා කියල. “දුන්නා ලබ්බ” කියල තමා මට නම් කියන්න තියන්නේ.
ආ ඒ වගේම, අපි ආදරය කරපු, ගෞරව කරපු කලාකරුවන් සහ තවත් පුද්ගලයින් කිහිප දෙනෙක්, මේ රටට වෙන දේ බලාගෙන ඉන්න බැරුව වගේ මේ ලෝකෙම දාල ගිය එකත් මේ අවුරුද්දේ සිද්ධ උනා. අමරදේව මහත්තයා, ඒ වගේම රටක් හිනැස්සු විජය නන්දසිරි මහතා එයින් දෙන්නෙක්.. අවුලක් නෑ ඒ ඔක්කොටොම හරියන්න ජයලලිතත් වලගම්පිටි ගියානේ.
ආ ඒ වගේම, ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැත්වුනා. ඒකෙන් අපේ රටේ වගේම, කවුරුත් නොහිතපු විදියට ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ජයගත්තා. බොහොම සුළු ප්‍රතිශතයකින්. ඒ ගමන්ම, මෙච්චර කාලයක් අපි විහිලු කරපු, බැරැක්කේ ඔබාමාමා යන්න යනවා.. ආ ඒ වගේම දේශපාලනය ගැන කියද්දී, එංගලන්තේ කට්ටිය කිව්වනේ යුරෝපා හවුලෙන් එලියට යන්න ඕනේ කියලත්..
රටවල් ගැන කියද්දී මතක් උනේ. මට ජීවිතේ පළමුවෙනි වතාවට මුහුදින් එතෙර යන්නත් අවස්තාවක් ලැබුනා. ඒ, නොවැම්බර් මාසේ අපේ නැන්දලාගේ ඔෆිස් එකකින් ආපු චාන්ස් එකක්. ගියේ මැලේසියාවට. ගමන නම් නියමයි, හැබැයි එහෙ කෑම තමා අප්සට්..  


කවදාවත් නොහිතපු දෙයක්..

කොහොමින් කොහොම හරි, පළවෙනි අවුරුද්දෙම, ටෙස්ට් පේපර් එකක් හදන්නත්, ශ්‍රේණි තුනක පිළිතුරු පත්‍ර බලන්නත් හැකි උනා. ඒ වැඩ වලට මගේ මිත්‍රයෙක් වෙච්ච කසුන් මුණසිංහ උදව් උනා. ඒ පිළිතුරු පත්‍ර බලනකොට, අනේ අපොයි කියල හිතුන වාරත් නැතුවම නෙවෙයි.. 


මැලේසියා ගිය අපි කට්ටිය..

දෙසැම්බර් නිවාඩු හම්බුන දවසේ මම පළවෙනි වතාවට නත්තල් සාදයකට ගියා. ඒත් අපේ ඉස්කෝලෙන් සංවිධානය කරපු එකක්. රෑට රෑ වෙලා තියපු එකෙන් පස්සේ ගෙදර එන්න ගුරුතුමියක් උදව් කරා. ඊට පස්සේ ටික දවසක් ගෙදරට වෙලා ඉඳල, ගිය සතියේ ගියා රත්නපුර සහ බලංගොඩ. එහේ උනත් මම හිතුවේ නෑ ආය යන්න ලැබෙයි කියල. ඒත් සිතු දේ නොම වෙයි නොසිතු දෙයක් වෙයි කියල තියනවා වගේම, ඒ ගමනත් හොඳ ගමනක් උනා. 


අවුරුද්දේ අන්තිම ටුවර් එක..

ඉඹුලමුල- රජවක-බලංගොඩ-රත්නපුර-කෑගල්ල-පේරාදෙණිය-ගෙලිඔය එක දිගට ඇවිල්ලා තාම කොන්දත් අවුල්. පෙරේදා තමා ගෙදර ආවේ. ඒ අස්සේ ඊයේ අපේ පන්සලේ ලොකු හාමුදුරුවන්ට සන්නස්පත්‍රයක් පිලිගැන්වීමකට උත්සවයක් තිබ්බා. ඒකටත් ගියා. අද රෑ එලි වෙනකල් පිරිතක් තියනවා. ඒකට යන්නත් ඕනේ.
ලොකු හාමුදුරුවන්ට සන්නස්පත්‍රය පිළිගැන්වීමට තිබ්බ පෙරහැර..

සාමාන්‍යයෙන් ඉරට්ටේ අවුරුදු කියන්නේ මගේ අධ්‍යාපනික පැත්තෙන් සාර්ථක ඒත් අනික් පැති වලින් ටිකක් විතර අසාර්ථක අවුරුදු. ඔත්තේ අවුරුදු කියන්නේ ඔක්කොම කෙළවෙන අවුරුදු. ඒත් මේ අවුරුද්දේ ඉඳන් ඒක වෙනස් වෙනවද කොහෙද. බලමුකෝ..
එහෙනම්, හැමෝටම,
ලබන්නාවූ නව වසර සාමය සතුට සපිරි සුභ නව වසරක් වේවා!!   

9 comments:

  1. 2017 නව වසර කම්මැලිකමෙන් තොර ලියන්නට හැකිවන සුබ නව වසරක්ම වේවා.

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා! ජයින් ජයිම වීවා!!

      Delete
  2. සුබ නව වසරක් වේවා මල්ලි!!

    ReplyDelete
  3. වැඩි වැඩියෙන් අඟහරුලෝකෙ කරක් ගහන්න ලැබෙන සුබ නව වසරක් වේවා !

    ReplyDelete
    Replies
    1. එසේම වේවා! භාෂා තුනෙන්ම වැඩි වැඩියෙන් ලියන්න ලැබේවා!

      Delete
  4. ශ්‍රී සුබ නව වසරක් වේවා මචං!!!!

    ReplyDelete
  5. හම්මේ මේ තියෙන්නේ එකක් දාලා. බලාගෙන යනකොට අපේ අඟහරු ෆුල් බිසී නේ. හරිම සතුටුයි මල්ලිගේ පළවෙනි රැකියාව ගැන. මගේ සුබ පැතුම්. මේ එන අවුරුද්දත් හොඳම හොඳ අවුරුද්දක් වෙන්න කියලා පතනවා

    ReplyDelete