Saturday, October 31, 2015

කාලයට අමතක වූ අඩවියක් වෙත..

       වෙලාව පෙරවරු 9.59 වී ඇත. ඉඟුරු ඔය දුම්රිය ස්ථානාධිපතිතුමාගේ නළා හඬ සමගම තිරිංග මැදිරි දෙකෙන්ද සංඥා නිකුත් විය. මද ගැස්මකුත් සමග ඇය නැවතත් ඉදිරියට ඇදෙන්නට විය. 

ගල්බොඩ බලා ඇදෙන පොඩි මැණිකේ...
       ඉදිරියට එන කොටස තරමක් දැඩි වංගු වලින් යුතුය. පා පුවරු සංචාරකයින්ගෙන් සහ සාමාන්‍ය මිනිසුන්ගෙන් පිරී ඇත. නමුත් අප පේරාදෙණියේ සිටම පා පුවරුවේ සිටි බැවින් අපට බාධාවක් නොවීය. නවීන බලවේග දුම්රියයන්ගේ නැති ආකර්ෂණයක් පැරණි පොඩි මැණිකේට සහ උඩරට මැණිකේට ලැබෙන්නේ මෙවැනි වංගු සහිත මාර්ගයේ ධාවනය වන විටය. ඇතින්නියකගේ ගමන සිහි කරවමින්, දෙපසට පැද්දෙමින්, වංගු වලදී දෙපසට නැවෙමින් පොඩි මැණිකේ සිය ගමනේ යෙදෙයි. 

        මෙම දුම්රිය බලය ලබන M6 පන්තියේ එන්ජිමේ හඬ ද එම ලාලිත්‍යටම එක් වෙයි. මෙම එන්ජිමේ හඬ සැබැවින්ම ගීතවත් හඬකි. වෙනත් එන්ජින් වල නොමැති සුමුදු හඬක් එයින් නැගෙයි. කලකට පෙර දුම්රිය ගැන වටිනා බ්ලොග් අඩවියක් ලියූ ගෙහාන් චන්දික මිත්‍රයා ඒ ගැන සටහන් කරමින්, “උඩරට කඳුකරයේ බටහිර ජර්මානු රිද්මය” නමින් මෙම එන්ජිම හැඳින්වීය.
එය සැබැවින්ම අත්දැකීමට නම් ඔබත් එම එන්ජිම සමගින් කඳු තරණය කර තිබිය යුතුය. ඔබ සිටින්නේ නැරඹුම් මැදිරියේ නම්, දුම්රියේ හඬ අතරින්, ඉදිරිපස ඇති එන්ජිමේ හඬ ඔබට සිහින් මුනුමුණු හඬක් ලෙස ඇසෙනු ඇත. මට නම් එය දැනුනේ පොඩි මැණිකේ සියුම් ගීතයක් මුමුණමින් කඳු අතරට ගමන් කරන්නාක් මෙන්ය. 
  
මෙම කුඩා නැවතුම අසල දුම්රිය සේවයේ ඛේදවාචකයක් සටහන්ව තිබේ. ඒ නම්, වර්ෂ 1973 දී, මෙහි නතර කල ගැරට් වර්ගයේ අංක 343 දරණ එන්ජිම ගිනිගෙන විනාශ වී යාමයි...
       මෙම කොටසේදී, අපට තවත් බිංග දෙකක් එකක් පසුපසින් එකක් ලෙසින් හමු වේ. කොළඹ සිට එන විට හමුවන 12 වන සහ 13න් වන බිංග දෙක ඒවාය. ඒ නමුත්, සැබැවින්ම මේ වනවිට පොඩි මැණිකේ බිංග 14ක් පසු කොට ඇත. ඒ, පසු කාලීනව නිර්මාණය වූ අංක 5A සහ 9A යන බිංග දෙකත් සමගය. 

පහලට යන යෝධ ජලනලය.
       බිංග දෙක අතරේ, කුඩා, එහෙත් සෑහෙන පහලින් ගලන විශාල වතුර පහරක් මතින් ඇය ඉදිරියට ඇදෙයි. මෙය පසෙකින්, පහලට ජලය ගෙන යන විශාල කොළ පැහැති නලයක් ඇත. 
  
ගල්බොඩ දුම්රිය ස්ථානය වෙත ඇතුළුවන පොඩි මැණිකේ...
      බිංග තුලින් එලියට ආ පොඩි මැණිකේ, කෙටි ගමනකින් අනතුරුව, වංගුවක් සමග පිහිටි දුම්රිය ස්ථානයකට ඇතුළු වූවාය. ඒ, ගල්බොඩ දුම්රිය ස්ථානයයි. මුහුදු මට්ටමේ සිට අඩි 2581ක් උසින් පිහිටි මෙම දුම්රිය ස්ථානය, කොළඹ සිට සැතපුම් 94ක් සහ දම්වැල් 36ක දුරකින් පිහිටා ඇත. ඒ නම්, පසුගිය සැතපුම් හතර තුල, දුම්රිය අඩි 400ක් ඉහල නැග ඇත. 

ගල්බොඩ දුම්රිය ස්ථාන නාම පුවරුව..
      ගල්බොඩ, ඉතා පැරණි දුම්රිය ස්ථානයකි. විශාල වතුර ටැංකියක්, ගබඩාවක්, පැරණි ක්‍රමයට සෑදු දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලක් සහ දුම්රිය දෙකක් මාරු වීමට පාෂ මාර්ගයකින් සමන්විත, අති දර්ශනීය දුම්රිය ස්ථානයකි. ලංකාවේ පවතින ඉතාම පිරිසිදු ජල උල්පත් අතරින් එකක් මෙම දුම්රිය ස්ථානයට නොමිලයේම ජලය සපයයි. ගල්බොඩ දුම්රිය ස්ථානයට පොඩි මැණිකේ ලඟා වීමට නියමිතව තිබුනේ 10.10ටය. හරියටම තිතට එම වෙලාවටම පැමිණීමට පොඩි මැණිකේ එදින සමත් වූවාය. 


     මගීන් දුම්රියට නැග අවසන්ය. වාෂ්ප දුම්රිය යුගයෙන් ඉතිරි වූ දැවැන්ත ජල ටැංකිය අබියස සිට නළා හඬක් නිකුත් කල පොඩි මැණිකේ, නැවතත් සිය කඳු අතරට යන සවාරියට අවතීර්ණ වූවාය...      
ගල්බොඩ දුම්රිය ස්ථානය.. ගබඩාවේ පාෂ මාර්ගයේ සිට ගත් සේයාරුවකි.

23 comments:

  1. තව සෑහෙන දුරක් යන්න තියෙනවා නේ

    ReplyDelete
    Replies
    1. අප්පා ඔව්.. තව එහෙම්මම. තාම උදේ 10.10යි වෙලාව. හවස 4 වෙනකල් යනවා..

      Delete
  2. මෙහෙම කෝච්චි ට්‍රිප් එකක් නම් මට තාම යාගන්න හම්බ වෙලා නැහැ බන්. ඒ හින්දා මේ විස්තර බොහොම හිතට වදිනවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! දිගටම එමු එහෙනම්..

      Delete
  3. බිංග කියන වචනෙට නම් එකඟ නැහැ. එහෙම වචනයක් නැහැ. එක්කෝ බිංගේ, නැත්නම් බිම්ගේ, එහෙමත් නැත්නම් බිම්ගෙය. බලන්න Tunnel කියන වචනෙට මොකක්ද දෙන තේරුම කියලා.

    ගල්බොඩ වගේ ප්‍රදේශවල ජනතාවට කොළඹ යන්න පහසුම ක්‍රමය කෝච්චිය නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඒ අදහසට. මම හොයල බලන්නම්.
      ඔව්. ගල්බොඩ වගේ පැති වලට නුවරට වත් යාගන්න අමාරුයි කෝච්චි නැති උනොත්. අඩුම ගානේ නාවලපිටියට වත් බෑ.

      Delete
  4. සැතපුම් හතරට අඩි හාරසීයක්.. සෑහෙන්න උසට නැගල වගේ.
    ඉතුරු ටිකත් නගිමු බලන්න.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක නේ අඩි 44ට එකක ආනතිය කියන්නේ. ඔය හරියේ මේල් එක යනකොට කෝච්චියේ ඉස්සරහ එන්ජිම පිටිපස්සේ එන්ජිමට වඩා අඩි 10ක් උසින් තියන්නේ.

      Delete
  5. පොඩි මැණිකෙගෙනුයි, උඩරට මැණිකේගෙනුයි වැඩිය ලස්සන කවුද? :P

    ReplyDelete
    Replies
    1. පොඩි මැණිකේ, M2c එන්ජිම තියෙන කාලේ, අර නිල යක්කු නම් නෙවේ චයිනීස්.

      Delete
    2. දෙන්නම ලස්සනයි. උඩරට මැණිකේ කියද්දී පොඩි වැදගත්, ආඩම්බරකාර කෙනෙක් මතක් වෙන්නේ. එයාගේ ගමනත් එහෙමයි. මග නතර කිරිලි නෑ, කඩාගෙන බිඳගෙන යනවා. ඒත් පොඩි මැණිකේ කියද්දී එහෙම නෙවේ. හුරතල් කෙනෙක් මතක් වෙන්නේ. ඇත්තටම පොඩි මැණිකේ තරුණයි. උඩරට මැණිකේ වයසයි.

      සොමියාගේ කතාව හරි. දැන් නම් දෙකම එකයි. මෙලෝ රහක් නෑ..

      Delete
  6. ආසම ගමනක් තමා සහෝ, කොළඹ ඉඳන් බදුල්ලට.

    ReplyDelete
    Replies
    1. මමත් බොහොම ආස කරන ගමනක්. එන්න දිගටම අපිත් එක්ක බදුලු යන්න..

      Delete
  7. මෙහෙම ලියන එක වටිනවා.... මෙදා පාර මාත් කොච්චියේ ස්ටේෂන් දෙකක් හරි යනවා..... මෙච්චර විස්තර ගොනු කරන්න මල්ලී ගොඩක් මහන්සී වෙනවා වෙන්ට ඕනා...ජය!

    ReplyDelete
    Replies
    1. ස්ටේෂන් දෙකක් නම් මදි.. අඩුම ගානේ නුවරට වත් එන්න ඕනේ.. ස්තුතියි සුභ පැතුමට!!

      Delete
  8. දැන් තමයි නැගල යන හරිය පටන්ගන්නේ. ඊලඟ කොටස් ටිකත් අනිවාර්යෙන් බල්න්නම්.

    ReplyDelete
    Replies
    1. දැන් තමා නැගල යන්නේ. හරියට හරි. එන්න එන්න දිගටම.

      Delete
  9. බදුලු යන්න තියන ආසාව උඔ වැඩි කරනවා.
    එල ද බ්‍රා

    ReplyDelete
    Replies
    1. ආසාව හොඳ වෙන්නත් එක්ක යමු රවුමක් ගිහිං එන්න...

      Delete
  10. අපේ ගෙවල් ළගට ඒන්න තව ගොඩක් දුරයි පුතේ..... ඒහෙට ඒද්දි දවල් දෙකයි තිහ වෙනවා.... අදත් දෙක හමාරට කෝච්චිය යනවා මං අහගෙන...

    ReplyDelete
    Replies
    1. එන්නම්කෝ හෙමීට.. තවම වටවල..

      Delete