Saturday, February 13, 2016

විසි වසරක් උඩරට දුම්රිය මාර්ගයේ අන්ත්‍ය දුම්රිය ස්ථානය වූ බණ්ඩාරවෙල වෙත..

දියතලාව දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ, නැවතත් සිය සුපුරුදු බැස්ම වෙත අවතීර්ණ වූවාය. මා හට කැමරාවක් නොවූ බැවින්, වටපිට සිරි නරඹමින් ගමන් කිරීමට හැකි විය. අවට පරිසරය නැවතත් උඩරට තෙත් කලාපයේ සිට සුපුරුදු පරිසරයක් වෙත මාරු වන ලක්ෂණ දිස් විය. 

මෙම කොටසේදී, අපට මෙම ගමනේ හමු වන අංක 38 වන බිම්ගෙය හමු වේ. අඩි 300ක් පමණ දිගින් යුතු මෙම බිම්ගෙය, පොඩි මැණිකේ දුම්රිය සම්පූර්ණයෙන්ම ගිලගැනීමට සමත් විය. 

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය අසල ඇති පාළම.
එයින් එලියට පැමිණි පොඩි මැණිකේ, තවත් මද දුරක් ගමන් කලාය. වංගුවක පිහිටි පාලමක් තරණය කල ඇය, තව දුරටත් සිය ගමන් වේගය බාල කලාය. ඒ, නැවතත් අප දුම්රිය ස්ථානයකට ලඟා වූ බව හඟවමින්ය. 

බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සිට පෙනෙන  දර්ශනය..
මුහුදු මට්ටමේ සිට අඩි 4019ක් ඉහලින් සහ කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 160ක් සහ දම්වැල් 36ක් දුරින් පිහිටි මෙම ප්‍රධාන දුම්රිය ස්ථානය නම්, කාලයක් උඩරට දුම්රිය මාර්ගයේ අන්ත්‍ය දුම්රිය ස්ථානය වූ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයයි. 

බණ්ඩාරවෙල, ඌව පළාතේ ඉහල කොටසේ ප්‍රධාන නගරයයි. මෙම නගරය දුම්රිය මාර්ගය මගින් සම්බන්ධ වූයේ, 1894 වසරේ සැප්තැම්බර් 13න් වන දාය. එයින් 19 වන ශතවර්ෂයේ උඩරට මාර්ගයේ වැඩ කටයුතු අවසන් විය. ධාවනාගාරයක්, හැරවුම් වේදිකාවක්, ගබඩා සංකීර්ණ සහ විශාල අංගනයක් සහිතව මෙම දුම්රිය ස්ථානය ගොඩ නැංවුනි. හැරවුම් වේදිකාව ආදිය තවමත් ක්‍රියාකාරී තත්වයේ පවතී. 

බණ්ඩාරවෙල හැරවුම් වේදිකාව සහ දුම්රිය ධාවනාගාරය.
බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට මෑතදී එකතු වූ තවත් ඓතිහාසික වටිනාකමකින් යුතු දුම්රිය සිහිවටනයක්, දුම්රිය ස්ථාන ගොඩනැගිල්ලට ඉදිරිපසින්, පාෂ මාර්ග වලට එපිටින් දැකගත හැකිය. ඒ, අප රටේ දුම්රිය සේවයේ ස්වර්ණමය යුගයේදී සේවයට එකතු වූ G2 ධාවන පන්තියේ අවසාන සාමාජිකයාය. ඒ නම්, G2- 535  දරණ දුම්රිය එන්ජිමයි. 

බණ්ඩාරවෙල විවේක සුවයෙන් පසු වන G2- 535
භාණ්ඩ ප්‍රවාහන කටයුතු බොහෝ සිදු වූ එම කාලයේ. ෂන්ටින් කටයුතු සඳහා මෙන්ම, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා එන්ජින් වැඩි වැඩියෙන් අවශ්‍ය විය. ඒ අනුව,  Heavy Shunting  කටයුතු සඳහා, මෙම  G2  පන්තියේ  එන්ජින් එංගලන්තයෙන් ආනයනය කෙරුණි. පසුව අතහැර දැමුණු මෙම එන්ජින්, අවසානයේ යකඩ වලට කැපී ගියේය. නමුත්, එකල බදුල්ල ධාවනාගාරය භාරව සිටි ධාවනාගාර ෆෝමන්- නිලුපුල් වික්‍රමගේ මහතා සහ තවත් දුම්රිය නිලධරයින් කිහිප දෙනෙකුගේ මැදිහත් වීමෙන්, එයින් එක එන්ජිමක් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සංරක්ෂණය කෙරුණි. 

අප බණ්ඩාරවෙලට ලඟා වන විට, මාගේ දුරකථනය සිය බැටරියේ අවසාන බිංදු කිහිපයෙන් හුස්ම අදිමින් තිබුණි. එහෙත්, බණ්ඩාරවෙලදී අපට හමු වූ M6- 791  එන්ජිමේ  සහ, G2 – 535  එන්ජිමේ  සේයාරු කිහිපයක් රැගෙන දීමට එයට හැකි විය. 

සිල්පර කොට පටවාගත් දුම්රියක් සමග පහලට යන M6- 791

බණ්ඩාරවෙල විනාඩියක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය නලාව නාද කරේ, ගමනට සූදානම් බව අපට කියන්නට මෙනි..

30 comments:

  1. අපි එකපාරක් හැටන් ගියා බණ්ඩාරවෙලින් නැගල. ඒ දවස්වල බ්ලොග් තිබ්බෙ නැති හින්ද මේ විසරත් මොකුත් දන්නෑනෙ.
    ඉස්සරහට යං.

    ReplyDelete
    Replies
    1. මට මේ ගමනෙන් පස්සේ තාම ඒ පැත්තේ යන්න බැරි උනා. දැන් නම් යන්න වැඩි ආසාවකුත් නෑ අර ඉලව් පවර්සෙට් වල.

      Delete
  2. ඔන්න පුරුදු විදිහටම මමත් ආවා. ඒක නෙවෙයි කොළඹ ඉඳලා බණ්ඩාරවෙලට සැතපුම් 156ට වැඩියි වගේ නේද? දියතලාවටත් 156ට කිට්ටු දුරක් වගේ නේද තිබුණේ?

    ReplyDelete
    Replies
    1. ඔව්. ඒක පොඩි මිස්ටේක් එකක්. ඒක හැදුවා.

      Delete
  3. සෑහෙන දිග ගමනක් දැන් ඇවිත් තියෙන්නේ. තොරතුරු වල රසයේ කිසි අඩුවක් නෑ. ජය වේවා.... ඉතිරි ටිකත් යමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි! තව බොහොම පොඩ්ඩ දුරයි.

      Delete
  4. බණ්ඩාරවෙල ඉඳලා හාලිඇල දක්වා දුම්රිය මාර්ගයේ පයින් ගිහිල්ල තියනවා කීප වරක් රාත්‍රී කාලයේදී. 1988 - 89 කාලයේ. ත්‍රාසජනක අත්දැකීම් ලැබුවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතිම් ඒ කොල්ලා කාලෙනේ... දැන් නම් හිතන්නවත් එපා මාමේ :)

      Delete
    2. ඒ අත්දැකීම් ටික බෙදාගන්නකෝ අපිත් එක්ක.. ඒ වගේ තොරතුරු එකතු කරගන්නත් එක්කම තමා මම මේ පෝස්ට් ටික ලියන්න හිතුවේ..

      Delete
  5. ඊ ලග පාර ලංකාවට ආවම කෝච්චියේ බදුලු යන්න ඕනා ;)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් යන්න. මම නම් කියන්නේ, යනකොට රාත්‍රී තැපැල් දුම්රියෙන් ගිහිං, එනකොට බදුල්ලෙන් 1008 දුම්රියේ එන්න. පුළුවන් නම් නැරඹුම් මැදිරියේ ආසනයක් වෙන් කරගන්න. (ඒත් මම නම් රෙකමෙන්ඩ් කරන්නේ Second Class Reserved එකේ ෆුට් බෝඩ් එක).

      Delete
  6. 535 කොහොමද අවසාන එක වුනේ?

    ReplyDelete
    Replies
    1. එකෙන් අදහස් කලේ ඉතුරු වෙලා තියන අන්තිම එක කියන එක.

      Delete
  7. උබේ මේ තොරතුරු ලිවිල්ලට අපිටත් කෝච්චියේ යන්නම හිතෙනවා. බලමුකො ලංකාවට ආවම.

    ReplyDelete
    Replies
    1. යන්න යන්න. ඒක සෑහෙන්න වටිනවා. ඒ වගේම යන ගමන් පුළුවන් කමක් තිබුනොත් රියදුරු මහත්වරුන් එක්ක එහෙම කතා කරන්න. එයාල ළඟ තියනවා ගොඩක් තොරතුරු.

      Delete
  8. බලපං කොච්චර අය මේ ගැන කියවන්න ආසද කියල. නවත්තන්න එපා මල්ලි.

    ReplyDelete
    Replies
    1. විචාරකතුමාගේ ඉල්ලීමක් තියනවනේ ඉටු කරන්න. ඉතිං කොහොමද නවත්තන්නේ?

      Delete
  9. තේ එක රහයි නේද?????????

    ReplyDelete
    Replies
    1. රහයි රහයි! තෑන්ක් යූ වේවා ඈ!

      Delete
  10. මරු මරු ඉති‍රි ටිකත් ඔහොම යමු.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිරි ගැන්වීමට!

      Delete
  11. මම සෑහෙන කාලෙකින් ආවේ නැති උනාට තාම කෝච්චිය යනවා වගේ...හොඳයි හොඳයි..ඔහොම යං

    ReplyDelete
    Replies
    1. අප්පා සයුරිව දැකපු කල්.. දැන් අපි සෑහෙන දුරක් ඇවිත්.. ඉතුරු ටිකත් බලලම යන්න ඔය ආපු එකේ...

      Delete
  12. කාලෙකට පස්සෙ මේ පැත්තේ ආවා. බණ්ඩාර්වෙල පැත්තේ කෝච්චියේ ගියා දැනට ගොඩ කාලෙකට ඉස්සර. ඒ අතීතයත් මතක් උනා. බලන්න බැරි වෙච්චි පෝස්ට් එහෙමත් බලන්නම් මේ ගමන්ම.

    ReplyDelete
    Replies
    1. මම මේ ඒත් මතක් කරා නැතතේ මොකද කියලා. හා හා බලාගෙන යමුකෝ එහෙනම්...

      Delete
  13. ලංකාවෙ මාසයක් ඉදල මදි මේ සවාරි යන්න. අගහරු මල්ලි එක්ක බ්ලොග් එකෙක් යන සවාරිය විතරයි. උඹට ස්තුතියි මලේ මේ ලිපි පෙළට නැවත නැවත.

    ReplyDelete
    Replies
    1. මේ ගමන යන්න මාසයක් ඕනේ නෑ අක්කා. දවස් දෙකෙන් ගිහිං එන්න පුළුවන්. මම කියනවට ගිහිං බලන්නකෝ..

      Delete
  14. පවර් බෑන්ක් එකක් ගනියෝ.

    ReplyDelete
    Replies
    1. මේ ෆෝන් එකට පවර් බෑන්ක් එකක් ගත්ත නම්, මාසයක් දුවන්න පුළුවන් වෙයි..

      Delete