Saturday, February 6, 2016

බෝයර් යුද්ධයේ මතකයන් සඟවාගත් දියතලාව වෙත..

හපුතලේ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ පොඩි මැණිකේ දුම්රිය, තවමත් මාර්ගයේ දැඩි ආනතිය අවසන් නොවූ බව හඟවමින් ප්‍රවේශමෙන් ඉදිරියට ඇදුනි. එන්ජිමේ ඉදිරිපස පිහිටි ඩයිනමික් තිරිංග පද්ධතියේ සිසිලන පංකාව වේගයෙන් ක්‍රියාත්මක වන අයුරු අපට අසන්නට ලැබුණි. විටෙක, එය M6 එන්ජිමේ ඩීසල් මොටරයේ හඬ පරයමින් නැගෙන්නට විය. 
ආනතියේ වෙනසක් - අඩි 40ට එකක් වශයෙන් පැවති බෑවුම, අඩි 100ට එකක් වශයෙන් වෙනස් වේ.
දුම්රිය රියදුරු මහතුන් වෙත පැටවී ඇත්තේ කොයි තරම් බැරෑරුම් වගකීමක්ද යන්න පසක් කරගැනීමට අවැසි අයෙක් වෙතොත්, ඔහුට මා දෙන උපදෙස නම්, උඩරට මාර්ගයේ ධාවනය වන දුම්රියක එන්ජිමට ආසන්නතම මැදිරියේ ගමන් කරන ලෙසයි. හැකි නම්, සාමාන්‍යාධිකාරීතුමාගේ අවසරය මත, එන්ජිමේ ගමන් කරන ලෙසයි. 

දුම්රිය එන්ජින් රියදුරුමහතකු වීමට වසර පහක් තිස්සේ කැපවීමෙන් පුහුණු වීම් කල යුතුය. එම කාලසීමාව අවසානයේ පුහුණුව සාර්ථකව අවසන් කරන්නන් තෙවන ශ්‍රේණියේ රියදුරන් ලෙසින් සේවයට අනුයුක්ත කෙරේ. එහෙත්, ඔවුන්ට උඩරට මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීමට වරම් නැත. නාවලපිටියෙන් ඉහල කොටසට අනුයුක්ත කෙරෙන්නේ ප්‍රථම ශ්‍රේණියේ (Locomotive Driver- Class 1) රියදුරු මහත්වරුන් පමණි. 
විවෘත කලාපයක් හරහා..
සේයාරුව අකිල අයියාගෙන් ලැබුණි. මේ ආපසු යන ගමන්ය.
අප ගමන් කරන මෙම දුම්රිය පදවන්නේ එවැනි ප්‍රථම පන්තියේ දුම්රිය රියදුරුමහතෙකි. පා පුවරුවේ සිටින අපට, ඔහු සීරුවෙන් ලීවර් එහා මෙහා කරමින් දුම්රිය පාලනය කරනු දැකිය හැකිය. 
එක පෙලට වැවී ඇති පයින් වනාන්තරයක්..
මෙම කොටසද ඉතා මනහර පාරිසරික සුන්දරත්වයක් විදහා දක්වයි. පයින් වනාන්තර මෙන්ම, විවෘත ප්‍රදේශ පසු කරමින් ධාවනය වූ පොඩි මැණිකේ, මෙම ගමනේ අපට හමුවන 37 වන බිම්ගෙය පසු කලාය. එයට කෙටි දුරකට පසු, ඇය නැවතත් දුම්රිය ස්ථානයකට අවතීර්ණ වූවාය.. 
දියතලාව දුම්රිය ස්ථානයේ වේදිකාවට පෙනෙන දර්ශනය.
ඒ, කොළඹ අන්ත්‍ය දුම්රිය ස්ථානයේ සිට සැතපුම් 156ක් සහ දම්වැල් 54ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට අඩි 4367ක උසකිනුත් පිහිටි දියතලාව දුම්රිය ස්ථානයයි. ගබඩාවකින්, පාෂ මාර්ග තුනක් සහිත අංගනයකින් මෙන්ම මැදිරි වල බර කිරීම සඳහා තරාඳියකින් (Weigh Bridge) සමන්විත මෙම දුම්රිය ස්ථානය, ඉතා අලංකාර ලෙසින් නඩත්තු කර ඇත. 
තරාඳිය (Weigh bridge).
අප්‍රිකාවේ බෝයර් යුද්ධය පැවති කාලයේ යුධ සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් මෙම දුම්රිය ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගොස් ඇත. එම කාලයේ, මෙම දුම්රිය ස්ථානය වෙත හා මෙහි සිට ඍජු දුම්රිය සේවාවක් කන්කසන්තුරේ වරාය දක්වා පැවතී ඇත. ඒ, සිර කරුවන් ප්‍රවාහනය වෙනුවෙනි. යුද්ධයෙන් පසුවත් මෙම සංකීර්ණය බ්‍රිතාන්‍ය හමුදාවේ කඳවුරක් සහ රෝහලක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. අදටත් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ පුහුණු කඳවුරක් මේ ආශ්‍රිතව පවතී. 



ගබඩාව.
දියතලාව දුම්රිය ස්ථානයේදී පහලට යන දුම්රියක් හමු විය. M6- 792 එන්ජිම එහිදී අපට හමු විය. පසුදින අප පහලට කැඳවාගෙන ආවේ එම එන්ජිමයි. දියතලාව දුම්රිය ස්ථානයේ විනාඩි 2ක් නැවතී සිටි පොඩි මැණිකේ, නැවතත් සිය ගමන් ආරම්භ කලාය. ඒ, කාලයක් උඩරට මාර්ගයේ අන්ත්‍ය දුම්රිය ස්ථානය ලෙස පැවති බණ්ඩාරවෙල වෙත යාමටයි..
දියතලාව දුම්රිය ස්ථානය ආපසු එන ගමනේදී..

21 comments:

  1. දැන් ඉන්න සාමාන්‍යාධිකාරීතුමාගේ අවසරයක් ගන්නවට වඩාලේසී ඉබ්බෙක්ගෙන් පිහාටු ටිකක් ඉල්ල ගන්නවා. මතකයිනේ කොළඹ නුවර යන්න දෙන්න බෑ කිව්ව මනුස්සයානේ

    ReplyDelete
    Replies
    1. හිහි... අපි නම් ඕවා නොදනිමි..

      Delete
  2. ඔන්න මම ආවා. ඒ කාලේ උඩරට දුම්‍රිය ධාවනය වෙලා තියෙන්නේ බණ්ඩාරවෙල දක්වා තමයි. බදුල්ලට යන්න පටන්ගෙන තියෙන්නේ පසුවයි. තාම කෝච්චියේ යන්න බැරි උනා. ඒත් ඒපැත්තේ ගිහින් තියෙනව හරිම ලස්සන පලාතක්.

    ReplyDelete
    Replies
    1. ඔව්. බණ්ඩාරවෙල සෑහෙන කාලයක් ටර්මිනස් එක විදියට තිබිල තියනවා. ඒ කතාව ඊළඟ සතියේ..

      Delete
  3. Replies
    1. තව පොඩ්ඩයි.. බොහොම පොඩ්ඩයි..

      Delete
  4. අපුරැ විස්තරයක්...මල්ලී පුළුවන් නම් 1928 දී ලංකාවට ගෙනාව ගල් අගුරැ දුම්රිය ගැන විස්තරයක් දාන්න .... ඒ දුම්රිය අවුරැදු 15 වකට පස්සේ ඊයේ පෙරේදා දවසක පන ගන්වලා කියලා දැන ගන්න ලැබුනා..

    ReplyDelete
    Replies
    1. ඔව්. මම ඒ ගැන ලියන්නම්. ඒක ගෙනාවේ 1928 නෙවේ 1922. මම අද ගිහිං අල්ලගත්තා ඕක. ලියන්නම් ඒ ගැනත්.

      Delete
  5. දියතලාව, දියතලාව, බුදු අම්මෝ දියතලාව. මම මුලින්ම දියතලාවට ගියේ 1966 දී, කණිෂ්ඨ පාසල් ශිෂ්‍යභාටයකු වශයෙන්. ගල් අඟුරු දහනය වන ස්ටීම් එන්ජින් එකක් සහිත කෝච්චියේ ගිය ගමන, හරිම විනෝද ජනකයි. ඔලුව එලියට දාගෙන ගියොත්, සමහර අවස්ථා වලදී ඉතා සියුම් ගල් අඟුරු කැට ඇහැට වැටෙනවා. තව කෙනෙකු විසින් ඇසට කරින් හයියෙන් පිඹීමෙන් හෝ වතුරෙන් සේදීමෙන් තමයි ඉවත් කරන්න ඕනේ?

    දියතලාවේ ශිෂ්‍යභට පුහුණුව සඳහා 1966 සිට 1974 පමණ වනතුරු ගියේත්, හමුදාවට බැඳීමෙන් පසු දියතලාවේ පුහුණුව ලැබූ කාලයේත්, ගමන්කළේ දුම්රියෙන්මයි. ඒ නිසයි උඩරට දුම්රිය මාර්ගය ගැන හොඳ අවබෝධයක් තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇසට කටින් පිඹීමෙන් කියා නිවැරදි වියයුතුයි.

      Delete
    2. හප්පා හැට ගණන් කියන්නේ රේල්ලුවේ හොඳම කාලේ නේ. සමහර විට මතක ඇති ගැරට් එන්ජිම එහෙමත්. සෑහෙන දුමක් දාපු ලොකු සද්ධන්ත ස්ටීම් එන්ජින් එකක්? සිලින්ඩර් හතරක? පසුගිය සතියේ ඔය පැත්තේ ආපහු ස්ටීම් එන්ජින් එකක් කරක් ගැහුවා. ඒ ගැන හෙට පෝස්ට් එකක් දාන්නම්..

      Delete
  6. බෝයර් යුද්ධය වෙලාවේ සිරකරුවන් රදවා තැබීමට හැදූ ගොඩනැගිලි තමා පස්සේ කාලෙක හමුදා පුහුණු කදවුරු සදහා භාවිතා කරලා තියෙන්නේ. දුම්රිය ස්ථානයේ සිට වත්මන් යුද හමුදා පුහුණු කදවුරට කේබල් මගින් භාණ්ඩ ප්‍රවාහණය කළ බවටත් අදහසක් තියෙනවා. හරිම ලස්සන ප්‍රදේශයක්... තේ ලෑස්තියි... කාලා බීලාම යමු....... ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තේ එකට! කේබල් වැඩේ නම් දන්නේ නෑ. ඒ ගැන ටිකක් හොයන්න වෙනවා. ඒ කාලේ තාක්ෂණයත් එක්ක...

      Delete
    2. That is true. See DBU journals.

      Delete
  7. https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison

    http://lankapura.com/2008/07/diyatalawa-camp-ceylon/

    http://www.sundaytimes.lk/141026/plus/driven-to-tell-stories-of-the-forgotten-boer-pows-124145.html

    ReplyDelete
  8. අගහරුවගේ කෝච්චි ගමන් කියෙව්වාම ඉතින් කෝච්චියේ ට්‍රිප් එකක් යන්න මාර ආසාවක් ඇතිවුනා..

    ReplyDelete
    Replies
    1. ගිහිං එන්න ගිහිං එන්න. මේ ගමන යන්න පුළුවන් නම් සෑහෙන්න වටිනවා! සාදරයෙන් පිලිගන්නවා අඟහරු අඩවියට..!

      Delete
  9. බලන්න බැරි උන නිසා පරක්කු වෙලා තමයි පෝස්ට් එක කියෙවුවේ. දැනගෙන හිටපු නැති ඉතිහාස කතාවක් දැනගත්තා

    ReplyDelete
  10. දියතලාවෙ දුම්රිය වෙිදිකාවෙ ඉදන් බලද්දි පිදුරැතලාගල කන්ද ේනවා

    ReplyDelete
  11. >>ආනතියේ වෙනසක් - අඩි 40ට එකක් වශයෙන් පැවති බෑවුම, අඩි 100ට එකක් වශයෙන් වෙනස් වේ.<<

    මට මේ පින්තූරෙ ගැන කියන්න අඟහරුවා. ඔය සංඥාවෙ එක අතක 40යි අනිකෙ 100යි කියලද තියෙන්නේ? ඒවගෙ එකකින් ආනතිය කියවෙන බව ඕං මම දැනුයි දන්නෙ. ආයෙ බලන්න ඕනෙ මගෙ ෆෝටෝස් මෙහෙම එකක් තියෙනවද කියලා බලන්න.

    ReplyDelete