Sunday, August 25, 2024

හෙඩ්සෙට්..

Nokia HS- 47 හෙඩ්සෙට් එකක් සමග 6220c දුරකථනය     
            

          සාමාන්‍යයෙන් දැන් කාලේ හැදෙන ගොඩක් ඉලෙක්ට්‍රොනික් දේවල් හදලා තියන්නෙම අලුත්වැඩියා කරන්න බැරි වෙන්න. ඒ කියන්නේ කඩෙන් අරගෙන භාවිතා කරලා, මොන ආකාරයකට හරි කැඩුනම, විසි කරලා වෙන අලුත් එකක් ගන්නවා හැරෙන්න සාමාන්‍යයෙන් වෙන විකල්පයක් නෑ.

          මේකෙන් වෙන අයහපත් බලපෑම ලියන්න ගියෝතින් ඒක සෑහෙන ලොකු පෝස්ට් එකක් වෙනවා. හැබැයි කෙටියෙන් කිව්වොත්, ලංකාව වගේ ආර්ථිකයක් තියන රටක මිනිස්සුන්ට මේ දේ කරන්න තියන ප්‍රායෝගික අපහසුතාවය, ඒ වගේම මේ විසි කරන ඒවා පරිසරයට එකතු වීමෙන් වෙන බලපෑම වගේ දේවල් ලියන්නම ඕනේ (E – Waste කියන මාතෘකාව අරගෙන පොඩ්ඩක් හොයල බැලුවොත්, හාට් ඇටැක් හැදෙන තරම් දරුණු තොරතුරු තියනවා).

          මේ විදියට ඉක්මනට විසි කරන්න වෙන එක උපකරණයක් තමයි හෙඩ්සෙට්, එහෙමත් නැත්තම් ඉයර්ෆෝන්. අද කාලේ මේවා පාවිච්චි නොකරන අය හරිම අඩුයි. මේවයෙත් එක එක වර්ග ගොඩක් තියනවා. හෙඩ් ෆෝන්/ ඉයර් ෆෝන් කියන ප්‍රධාන වර්ගීකරණය අස්සේ, වයර් සහිත/ වයර් රහිත, 3.5mm/ 2.5mm (දැන්නම් හොයන්න අඩුයි) වගේ සෑහෙන කතා තියනවා. මොක උනත් ඉතින් එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගිහාම හරි සිංදුව ඉවර වෙන්න කලින් බැටරිය ඉවර වෙන්න ගත්තම හරි, කුණු කූඩෙට තමයි..

          හැබැයි ඇත්තටම ඒක එහෙම වෙන්නම ඕනෙද??

          සාමාන්‍යයෙන් කරන්න බෑ වගේ පෙනුනත්, ටිකක් මහන්සි උනොතින් ඉයර්ෆෝන් එකක් උනත් තව ටිකක් ඇදගෙන යන්න හැකි තරමින් රිපෙයාර් කරගන්න පුළුවන්. මම ඉයර්ෆෝන් එක්ක ලොකුවට වැඩ කරන්න අරගත්තේ 2005 විතර. ඒ කාලේ රුපියල් 40කට ගන්න තිබ්බා ඉයර්ෆෝන්. මේවා කිසිම කොලිටි එකක් නැති, මයික් එහෙම නැති, 3.5mm ජැක් එකත් එක්ක එන ඒවා. මාසෙන් දෙකෙන් ඉවරයි.

          මේවා එක පැත්තක් වැඩ නැතුව ගිහාම කරන්න පුළුවන් එකම වැඩේ උනේ හෙමීට ගලවලා ඇතුලේ ස්පීකර් එක අරගන්න එක. මේ පොඩි ස්පීකර් එක මැග්නටික් මයික් එකක් හැටියට යොදාගන්න පුළුවන් කම තිබ්බා (ශබ්දය ඒ තරම් කොලිටි නැති උනත්). ඊට අමතරව, රේඩියෝ සර්කිට් හදනකොට ඒරියල් එකක් හැටියට ඉතාම හොඳයි. මේක මම විශේෂයෙන් නෝට් කරලා තියනවා ඇපල් ඉයර්ෆෝන් වල ස්පීකර් වල. 2014 වෙනකල් මෙසේ උඩ තිබ්බ සර්කිට් එකේ ඒරියල් එක උනේ ඒකක්.

          ඔන්න ඔතනින් තමා මම හෙඩ්සෙට් එක්ක වැඩ කරන්න පටන් ගත්තේ. 2007 මට හම්බුනා mp3 ප්ලේයර් එකක්. ඒ එක්ක හම්බුනා කලින් ඒවා එක්ක බලද්දී සෑහෙන හොඳ ඉයර්ෆෝන් එකක්. හැබැයි ඒකත් මාස 4යි දිව්වේ. ඒකෙ ස්පීකර් දෙකත් එක්ක හවුසින් දෙක මම අරං තියාගෙන හිටියා. 

කැඩී ගිය හවුසින් එකක් වෙනුවට පැරණි (ඉහත සඳහන් 2007 ලැබුණු) හවුසින් එකක් යෙදූ 3.5mm ජැක් එකක් සහිත ඉයර්ෆෝන් එකක්..

 

          2012 ඒ ලෙවල් කට උඩ තියලා වගේ, අහන්න තිබ්බ හෙඩ්සෙට් එක අභාවප්‍රාප්ත උනා. අලුත් එකක් ගන්න බැලුවම, සාමාන්‍ය හොඳ එකක් 1500+. ඒ කාලේ ඉතිං ආදායම් නෑ නේ.. ඒ කාලේ ඉයර්ෆෝන් එකක් ගන්න ගෙදරින් ඉල්ලන්නත් බැරි තත්වයක් තිබ්බේ. ඉතිං මම පටන් ගත්තා ක්ලාස් නැති සෙනසුරාදාවක් අල්ලාගෙන, ඕකටම ආවුද/ උපකරණ ටිකකුත් හදාගෙන, ඉයර්ෆෝන් රිපෙයාර් කරන්න. මේකෙන් ගත්ත අත්දැකීම් වලින්, මගේ හොඳ මිත්‍රයෙක් වෙන කාංචනගේ Nokia HS-47 එක රිපෙයාර් කරලා දෙන්න හැකි උනා.

          දැන් තියන ආර්ථික තත්ත්වෙත් එක්ක, කොරෝනා වලට කලින් සාමාන්‍යයෙන් හොඳ බ්‍රෑන්ඩ් එකක (AKG, Sony, Sennheiser, Beats, JBL, Skull Candy වගේ) අඩුම ගාණට - 1500- 2000 අතර - තිබ්බ එකක් උනත් දැන් 4000 – 5000 අතර හෝ ඊටත් එහා. බොහොම පරෙස්සමෙන් පාවිච්චි කරත්, උපරිම අවුරුදු 4ක් වගේ තමා (මම JBL Tune 110 එකක් පාවිච්චි කරනවා දැන් අවුරුදු 3.5ක්).

          ඉතිං මට මේ පහුගිය ටිකේ සෙට් උන රිපෙයාර් ටිකක් එක්ක, මට හිතුනා මේ ගැන පොඩ්ඩක් මගේ අත්දැකීම් ඇසුරෙන් ලියන්න ඕනේ කියල. මම මේ පෝස්ට් එකේ හෙඩ්සෙට් රිපෙයාර් කරන ක්‍රම සහ විධි නම් කියන්න යන්නේ නැහැ, මොකද ඒවා මේ විදියට අකුරෙන් අකුර ලියන්නත් බෑ, අනික එකකට හරියන ක්‍රමය තව එකකට හරි යන්නෙත් නැති නිසා. නමුත් පොදුවේ හෙඩ්සෙට් ගැන කරුණු ටිකක් ලියල තියන්න හිතුවා.

          ඉයර්ෆෝන්/ හෙඩ්ෆෝන් මොකක් ගත්තත්, සයිස් වෙනස් උනාට, ඇතුලේ තියන ජාති ඔක්කොම එකයි. ස්පීකර් දෙකක්, ඕඩියෝ ජැක් එකක් තමා ප්‍රධානම කොටස්. මේවා කේබල් එකකින් සමබන්ධ කරලා තියනවා. තව ඔය ෆෝන් එක්ක එන ඒවායේ මැද තියනවා මයික් එකක්. කන්ඩෙන්සර් මයික් එකක්. සමහර ඒවායේ ශබ්දය වෙනස් කරන්නත් බට්න් දෙකක් එක්කම තියනවා එතන.

          ජැක් එක ගත්තම, කොටස් 3, කොටස් 4 කියලා වර්ග දෙකක් තියනවා. මේවා සම්බන්ධ වෙන්නේ, යටම කොටස වම් ස්පීකර් එක, ඊළඟ එක දකුණු ස්පීකර් එක, ඊළඟ එක ඍණ අග්‍රය, උඩම එක මයික් එක (මේ අන්තිම දෙක සමහර වෙලාවට මාරු වෙනවා. සෝනි - නොකියා වල මේ භේදය තිබ්බා). එතන ඉඳන් කේබල් එකක් එනවා ඔය සන්නායක 4 අරගෙන උඩට. මේ කේබල් හානි උනොත් නම් ආය කරන්න දෙයක් නෑ, හෙඩ්සෙට් එක අයින් කරන්න වෙනවා. හැබැයි එතකොටත්, අර මම කලින් කිව්ව කොටස් ටික තියාගෙන වයර් එක අයින් කරාට කිසිම පාඩුවක් නෑ.

දැන් තියන USB හෙඩ්සෙට් වලත් (ඇපල්, මයික්‍රෝ, C වගේ වර්ග වල) මේ වයර් 4 තමා අරගන්නේ. ඇපල් වල ලයිට්නින් පෝට් එක/ C පෝට් එක තියන හවුසින් එක ඇතුලෙම ඩිජිටල්- ඇනලොග් කන්වර්ටර් එකක් තියනවා.

          මම මෙතන වැඩිපුරම කතා කරන්න ආවේ ස්පීකර් ගැන. ලොකු ස්පීකර් එකකයි මේවයේ තියන මිලිමීටර් 13 හෝ 09 ස්පීකර් එකයි ගත්තම ලොකු වෙනසක් නෑ ක්‍රියාකාරී මූලධර්මයේ. මම මේ දාලා තියන ෆොටෝ එකේ එක එක කොටස් නම් කරලා තියනවා. මම ඒ ටික පහලින් දාන්නම් අංක පිළිවෙලින්. මේ ඉයර්ෆෝන් වල. හෙඩ්ෆෝන් වල මේ ටිකම ටිකක් ලොකුවට තියනවා (මිලිමීටර් 44 වගේ). 

ඉයර්ෆෝන් වර්ගයේ සෙට් එකක විවිධ කොටස්. පැහැදිලි කිරීම පහලින්..

 

1. වොයිස් කොයිල් එක එක්ක ඩයෆ්‍රම් එක. කොයිල් එක එක්ක කම්පනය වෙලා ශබ්දය උපදවන්නේ මේකෙන්. මේක ගොඩක් වෙලාවට පොලිතීන්. මේකේ වටේට යකඩ රවුමක් තියනවා ආතතිය තියාගන්නයි බේස් එකට සෙට් වෙන්නයි.

2. කොයිල් එක නැතුව ඩයෆ්‍රම් එක. මේකට ලොකු ස්පීකර් වලදී වොයිස් කෝන් එක කියලත් කියනවා.

3. ඉදිරිපස ආවරණය - මේක 13mm වර්ගයට එන එක. මේක තියන්නේ කෝන් එකට ඉස්සරහින් දැලක් වගේ. කෝන් එක ඕනෙවට වැඩිය ඉස්සරහට තල්ලු වෙන්න නොදෙන එක, බේස් වලදී විසි වෙන්න නොදෙන එක වගේ දේවල් මේකෙන් කරනවා.

4. වොයිස් කොයිල් එක - මේක නිත්‍ය චුම්බකයක් වටේට තියන්නේ ඒකෙ ගෑවෙන්න නොදී. ඒ තරමට තමා ඔය රවුම හදල තියන්නේ. ජැක් එකෙන් එන සංඥාව එන්නේ මේකට. ඒ වෙනස් වෙන ධාරාව එක්ක මේක කාන්දම් වෙනවා. ඒ කාන්දම, ස්ථිර චුම්බකයේ බලයට ප්‍රතික්‍රියා කරද්දී ඔය කොයිල් එක ඉස්සරහට පස්සට හෙලවෙනවා (කම්පනය වෙනවා). මෝටර් එකේ තියරියම තමයි. 

වොයිස් කොයිල් එක විසන්ධි වීම නිසා අක්‍රීය වූ ස්පීකරයක්. මේවා සීරුවට ගලවලා, වොයිස් කොයිල් එක ඉවත් කරලා, ඒකෙ කොණ හොයාගෙන වටයක් පමණ ගලවා නැවත සම්බන්ධ කිරීමෙන් ක්‍රියාකාරී තත්වයට පත් කරන්න පුළුවන්.

 

5. කැබිනට් එක - මේක 9mm එකක්. මේකෙන් තමයි ස්පීකර් යුනිට් එකේ හයිය හදල දෙන්නේ. ඒ වගේම, නිත්‍ය චුම්භකය හෙලවෙන්නේ නැතුව තියාගෙන ඉන්න එක, විදුලි සම්බන්ධයට අවශ්‍ය පරිපථය දරාගෙන ඉන්න එක, වොයිස් කොයිල් එක දරාගෙන ඉන්න එක මේකෙන් කරනවා.

6. ඉදිරිපස ආවරණය - මේක 9 mm එකක්. පොඩි උනාට මේකෙන් වෙන්නෙත් උඩ අංක 3න් කිව්ව දේ ම තමා.

7. කැබිනට් එකේ ඇතුලත පෙනුම. මේක 13 mm එකක්. ඔය මැද තියන රවුම තමා නිත්‍ය චුම්බකය. මේක නියෝඩිමියම් වර්ගයේ එකක්. සෑහෙන තරමක චුම්බක බලයක් මේ කාන්දම් වල තියනවා. අධික බේස් හඬක දී, ඉදිරියට එන කෝන් එක ඉරිලා යන්නේ නැති වෙන්න වාතය ඇදලා ගන්න තමයි අර හිල් සෙට් එකක් දාලා තියන්නේ.

8. ඔය කැබිනට් එකේම උඩ පැත්ත. ඔය කළු පාට තියන්නේ වොයිස් කොයිල් එකේ අග්‍ර දෙක එලියට ඇවිත්, විද්‍යුත් සම්බන්ධක පරිපථය එක්ක සම්බන්ධ වෙන තැන. ඒ පෑස්සුම් අග්‍ර තමා උඩ තියන්නේ.

9. සම්පූර්ණ ක්‍රියාකාරී 9 mm ස්පීකරයක්. මැද පොඩියට රතු රවුමක් තියන්නේ වොයිස් කොයිල් එක.

10. මේ මම කරපු පොඩි පරීක්ෂණයක්. 13mm ඩ්‍රයිවර් එකකට කඩදාසි රවුමක් කපලා වොයිස් කොයිල් එකට තියල බැලුවා කඩදාසිය කොච්චර සාර්ථකද, හඬ කොහොමද කියල. මේ අරගෙන තියන්නේ සාමාන්‍ය A4 80 gsm කොලයක්. කිසිම ප්‍රශ්නයක් නෑ පාවිච්චි කරන්න පුළුවන්. වතුර නොයනකල් හැබැයි.

11. මේ අර මම කියපු පරණ, ගණන් අඩු ඉයර්ෆෝන් එකක ඩ්‍රයිවර් එක. මේක 10mm වගේ ඇති. මේකේ කාන්දම තමයි ඔය කළුවට තියන රවුම. ඒක ෆෙරස් මැග්නට් එකක් (නියෝඩිමියම් නෙවෙයි). දැන් මේ වර්ගය දකින්න නැතිම තරම්. මේක තවම වැඩ.

12. සම්පූර්ණ නමුත් දෝෂ සහිත 13mm ඩ්‍රයිවර් එකක්. මේකේ වොයිස් කොයිල් එකයි ඩයෆ්‍රම් එකයි එක තැනකින් ගැලවිලා තියනවා. මෙහෙම දිව්වම වොයිස් කොයිල් එක කාන්දමේ වැදිලා, කම්බි පොට හීරිලා, ෂෝට් වෙනවා.

13. ඉයර්ෆෝන් හවුසින් එක. මේක නම් වයර්ලස් එකක එකක්. මේවා දැන් වර්ග 3ක් එනවා. ඉස්සරම ආපු ප්ලාස්ටික්/රබර් ලොකු හිස තියන වර්ගය (මේකේ හම්බෙන්නේ 13mm වර්ගය), පස්සේ ආපු රබර් කොටසක් සහිත කණ ඇතුලටම හයි වෙන වර්ගය (මේකේ ගොඩක් වෙලාවට හම්බ වෙන්නේ 8mm ස්පීකර්) සහ ඇපල් සමාගමෙන් හඳුන්වා දුන් හැඩය.

14. ඉයර්ෆෝන් කේබලය - මේක දෙහර රැහැනක් (2 core wire). වර්ණ දෙකක තඹ කම්බි දෙපොටක් එක්ක, ලේසියෙන් කැඩිලා නොයන්න ප්ලාස්ටික් තන්තු ටිකක් එකට කරලා, රබර් ආවරණයක් හරි රෙදි ආවරණයක් එක්ක හරි තමා මේක තියන්නේ. ගොඩක්ම දෝෂ ඇති කරන්නේ මෙයා. හැබැයි ඒකට භාවිතයත් බලපානවා.

15. ඇපල් සමාගමෙන් හඳුන්වා දුන් හැඩයේ හවුසින් එකක ඉදිරිපස ආවරණය. මේක පෙන්නලා තියන්නේ ඇතුලතින්. මේක උඩට හයි වෙනවා ස්පීකර් එක (මේ වර්ගයේ 13mm එකක්). ඒක ගම් දාලා සීල් කරලා වගේ තියනවා බේස් හඬ හොඳින් තියාගන්න.

          මේවා එකතු වෙලා තමයි සම්පූර්ණ හෙඩ්ෆෝන්/ ඉයර්ෆෝන් එකක් හැදෙන්නේ. හෙඩ්ෆෝන් වල වෙනස ඩ්‍රයිවර් එක ලොකු වෙන එක විතරයි. හෙඩ්ෆෝන් ගත්තම ඉතින් කන් වලට එළියෙන් (On ear/ Over ear) විදියට තමා පළඳින්නේ. තව ඔය වයර්ලස් ඒවායේ තියනවා බැටරි එකක් එක්ක සර්කිට් එකක් (බඩ්ස්/පොඩ්ස් වර්ගයේ). එහෙම නැත්තම් බෙල්ල වටේ එතෙන කෝඩ් එකක එක පැත්තක මයික් එක එක්ක කන්ට්‍රෝල් බෝඩ් එකයි, අනික් පැත්තේ බැටරි එකයි සෙට් වෙන්න හවුසින් දෙකක් හදලා තියනවා. මේවයේ ෆේල් වෙන්න තැන් වැඩියි.

          සාමාන්‍යයෙන් හෙඩ්සෙට් එකක් ගනිද්දී බලන්න ඕනේ විශේෂයෙන් වයර් වල තත්වය. අතට දැනෙන තරමට දුර්වල නම් ආය හිතන්න දෙයක් නෑ උපරිම සති දෙකයි. ආය බලන්න ඕනේ දෙපැත්තම ඇහෙනවා ද කියල. මේක බලන්න ෆෝන් එකට ගහලා, මොකක් හරි ප්ලේ කරලා, සවුන්ඩ් සෙටිංස් වලට ගිහිං බැලන්ස් එක දෙපැත්තට ඇදලා බලන්න. Left තියද්දි ඇහෙන්න පුළුවන් ඒ පැත්ත විතරයි. 

JBL Tune - 110 වර්ගයේ ඉයර්ෆෝන් එකක තාක්ෂණික පිරිවිතර. උපුටාගැනීම -
JBL වෙබ් අඩවිය

 

          ඊළඟට හොඳ හෙඩ්සෙට් වල ගහල තියනවා ඉම්පිඩන්ස් (Impedance - සම්බාධනය) කියලා අගයක්. මේ තියන්නේ සමස්ථ හෙඩ් සෙට් එකෙන්ම විදුලියට ඇති කරන බාධාව. මේක වැඩි වෙන තරමට, හෙඩ්සෙට් එක වැඩ කරවන්න අදාළ උපාංගයෙන් ගන්න ඕනේ වෙහෙස වැඩියි ( = වැය වෙන බැටරි බලය වැඩියි). සාමාන්‍යයෙන් ඔම්ස් 8, 16, 32 වගේ තමා අරගන්න තියන්නේ. වයර්ලස් එකකත් මේ අගය ගහල තිබ්බොත්, මතක තියාගන්න ඕනේ දේ තමා මේ අගය වැඩි වෙන්න වෙන්න, බැටරි එක පාවිච්චි කරන්න හැකි කාලේ අඩු වෙන්න පුළුවන් (මේකට නිෂ්පාදකයන් ඒ ඒ අදාළ විදියට වැඩි ධාරිතාවෙන් - mAh අගයකින්- යුතු බැටරි යොදන්න හැකි). 

ඔම්ස් 32ක සම්බාධනයක් පෙන්වන ස්පීකරයක්.

 

          ස්පීකර්/ හෙඩ්සෙට් රිපෙයාර් ගැන ලොකුවට මෙතන කතා කරන්න යන්නේ නැහැ, හැබැයි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දැම්මොත්, ඒ ගැන ඉදිරි පෝස්ට් එකකින් කතා කරන්න බලන්න පුළුවන්. මේ ගැන වීඩියෝ එකක් ආශ්‍රයෙන් සාකච්ජා කරන එක වඩා සාර්ථක උනත්, එකක් බ්ලොග් එකේ වීඩියෝ දාන්න බෑ (මම දන්න තරමින්) සහ මට යූටියුබ් චැනල් නම් නෑ.

          එහෙමනම්, මීළඟ පාර හෙඩ්සෙට් එකක් ගනිද්දී හරියට බලල තෝරලා අරගෙන, කැඩුනොත් රිපෙයාර් කරගන්න බලන්න (කානු වලට/ පරිසරයට විසි නොකර) කියල නැවත මතක් කරන ගමන්,පෝස්ට් එක අවසන් කරනවා...